සෝදිසියෙන් ඉන්න!
යුක්රේන යුද්ධයත් එක්ක පැටලුණ ආගම් - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
යුක්රේනයේ යුද්ධය ගැන ඉහළ පෙළේ ආගමික නායකයන් ළඟදී කියපු දේවල් බලන්න.
“යුක්රේන ආක්‍රමණයට විරුද්ධව රුසියානු ඕතඩොක්ස් පල්ලියේ අගරදගුරු කිරිල් වචනයක්වත් කිව්වේ නැහැ. ඔහු පූජාවලදී යුක්රේනයට විරුද්ධව කියන බොරු කතා, යුද්ධය සාධාරණීකරණය කරන්න ජනාධිපති පුටින් පාවිච්චි කරනවා.”—EUobserver, 2022 මාර්තු 7.
“යුක්රේන ආක්‍රමණය අගරදගුරු කිරිල් විස්තර කරන්නේ පව්කාරකමට විරුද්ධව කරන සටනක් විදිහට. රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන එකේ කිසිම වරදක් නැහැ කියලා අඟවන්නයි ඔහු උත්සාහ කරන්නේ.”—AP News, 2022 මාර්තු 8.
“යුක්රේනයේ ඕතඩොක්ස් පල්ලියේ අගරදගුරු වන කීව්හි 1වෙනි එපිෆේනියස්, රුසියාවට විරුද්ධව සටන් කරන්න යුක්රේනයේ සෙබළුන්ට සඳුදා ආශීර්වාද කළා. රුසියානු සෙබළුන්ව මරණ එක පාපයක් නෙමෙයි කියලා ඔහු කිව්වා.”—Jerusalem Post, 2022 මාර්තු 16.
“අපි යුක්රේනයේ හමුදාවටත් රට වෙනුවෙන් සටන් වදින හැමෝටමත් අපේ සහයෝගය දෙනවා. රට රකින විරුවන්ට ආශීර්වාද කරන්න කියලා අපි දෙවියන්ට යාච්ඤා කරනවා.”—UCCRO a නිකුත් කළ ප්‍රකාශය, 2022 පෙබරවාරි 24.
ඔයා ඒ ගැන හිතන්නේ මොකක්ද? යේසුස්ගේ අඩි පාරේ යනවා කියලා කියන ආගම්වලට පුළුවන්ද යුද්ධයට යන්න තමන්ගේ ආගමේ අයව දිරිගන්වන්න? බයිබලයේ ඒ ගැන කියන්නේ මොකක්ද?
ආගම් යුද්ධවලට පැටලුණේ අද ඊයේ නෙමෙයි
ඈත අතීතයේ ඉඳන්ම ආගම් යුද්ධවලට අනුබල දීලා, ඒවා සාධාරණීකරණය කරලා, යුද්ධ කරන්න මිනිස්සුන්ව පොලඹවලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ සාමයේ වෙස් වලාගෙන. ආගමික නායකයන් කරන මේ කුහකකම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුදු ගාණක් තිස්සේ හෙළි කරලා තියෙනවා. ඒ ගැන මේ ප්‍රකාශනවලින් දැනගන්න.
දෙවියන්ගේ සහ යේසුස්ගේ නාමයෙන් කරපු සමූල ඝාතනවලට රෝමානු කතෝලික සභාව වග කියන්න ඕනෙ ඇයි කියලා දැනගන්න “කුරුස යුද්ධය මුලාවක්” (ඉංග්‍රීසියෙන්) කියන ලිපිය බලන්න.
ගෝත්‍රික යුද්ධ සහ සමූල ඝාතන වළක්වන්න ආගම්වලට බැරි වෙලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න “අප්‍රිකාවේ කතෝලික සභාව” (ඉංග්‍රීසියෙන්) කියන ලිපිය බලන්න.
කතෝලික, ඕතඩොක්ස් සහ රෙපරමාදු පූජකයන් තමන්ගේ රටේ ඉන්න සෙබළුන්ට ආශීර්වාද කළේ සතුරු හමුදාවේ ඉන්න එයාලගෙම ආගමේ අයට විරුද්ධව යුද්ධ කරන්නයි. ඒ ගැන දැනගන්න “ආගම වග කිව යුතුද?,” “ආගම් සහ යුද්ධ” (ඉංග්‍රීසියෙන්) සහ “ආගම පැති ගනියි” (ඉංග්‍රීසියෙන්) කියන ලිපි බලන්න.
ක්‍රිස්තියානි ආගම් යුද්ධවලට හවුල් වෙන එක හරිද?
යේසුස් කිව්වේ මෙහෙමයි: “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” (මතෙව් 22:39) “ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න.”—මතෙව් 5:44-47.
මේ ගැන හිතන්න: ප්‍රේම කරන්න කියලා යේසුස් දීපු ආඥාව තමන් පිළිපදිනවා කියලා ආගමික නායකයන් කියනවා. හැබැයි යුද්ධ කරලා අනිත් අයව මරන්න කියලත් එයාලා තමන්ගේ ආගමේ අයට කියනවා. ඒක හරිද? ඒ ගැන දැනගන්න “සැබෑ ක්‍රිස්තියානීන් සහ යුද්ධය” (ඉංග්‍රීසියෙන්) සහ “වෛර කරන අයට ප්‍රේම කරන්න අපිට පුළුවන්ද?” කියන ලිපි බලන්න.
යේසුස් කිව්වේ මෙහෙමයි: “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර මාව [ඔවුන්ගේ] අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ.” (යොහන් 18:36) “කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.”—මතෙව් 26:47-52.
මේ ගැන හිතන්න: තමන්ව බේරගන්නවත් සටන් කරන්න එපා කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වා නම් ක්‍රිස්තියානීන් වෙන හේතුවලට සටන් කරන එක හරිද? යේසුස්ගේ මුල් ගෝලයන් ඔහුව කිට්ටුවෙන් අනුගමනය කරපු විදිහ සහ ඔහු උගන්නපු දේවල් පිළිපැද්ද විදිහ ගැන දැනගන්න “ක්‍රිස්තියානීන්ට යුද්ධවලට හවුල් විය හැකිද?” කියන ලිපිය බලන්න.
යුද්ධවලට උල්පන්දම් දෙන ආගම්වලට වෙන්නේ මොකක්ද?
යේසුස්ව දන්නවා කියලා කිව්වාට ඔහු උගන්නපු දේවල් තඹ සතේකට මායිම් කරන්නේ නැති ආගම් දෙවියන් පිළිගන්නේ නැහැ.—මතෙව් 7:21-23; තීතස් 1:16.
බයිබලයේ කියනවා “පොළොව මත මරනු ලැබූ සියල්ලන්ගේ ලේවලට” ආගම් “වග කිව යුතුයි” කියලා. (එළිදරව් 18:21, 24) එහෙම කියන්නේ ඇයි කියලා දැනගන්න “මහ බැබිලෝනිය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.
හොඳ පල දරන්නේ නැති හැම ගහක්ම ‘කපලා ගින්නට විසි කරලා දානවා’ වගේ දෙවියන්ට පිළිකුල් දේවල් කරන ආගම් ඔහු සම්පූර්ණයෙන්ම විනාශ කරනවා කියලා යේසුස් කිව්වා. (මතෙව් 7:15-20) ඒක වෙන්නේ කොහොමද කියලා දැනගන්න “ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?” කියන ලිපිය බලන්න.
Photo credits, left to right: Photo by Sefa Karacan/Anadolu Agency/Getty Images; Maxym Marusenko/NurPhoto via Getty Images
a UCCRO කියන්නේ යුක්රේනයේ සර්ව ආගමික සංවිධානයක්. ඕතඩොක්ස්, ග්‍රීක කතෝලික, රෝමානු කතෝලික, රෙපරමාදු, එවැන්ජලිස්ත සභාවන් ඇතුළු ක්‍රිස්තියානි ආගම් 15ක් වගේම යුදෙව් සහ මුස්ලිම් ආගම් ඒකට අයිතියි.