Skip to content

පටුනට යන්න

රජ කෙනෙකුට දෙන්න වටින තෑගි

රජ කෙනෙකුට දෙන්න වටින තෑගි

‘නැඟෙනහිර දෙසින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ පැමිණ, තම මංජුසාවන් ඇර රන්ද කට්ටකුමංජල්ද සුවඳ ලාටුද යන තෑගි දරුවාට දුන්නෝය.’—මතෙව් 2:1, 11.

වැදගත් කෙනෙක්ට දෙන්න ඔබ තෝරගන්නේ මොන වගේ තෑග්ගක්ද? අතීතයේදී සමහර සුවඳ ද්‍රව්‍යවලට රත්තරන් වගේම වටිනාකමක් තිබුණා. ඒවා රජ කෙනෙක්ට තෑගි හැටියට දෙන්නත් සුදුසු වුණා. * ඒ නිසා තමයි ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ ‘යුදෙව්වරුන්ව පාලනය කරන රජට’ සුවඳ ද්‍රව්‍ය දෙකක් තෑගි හැටියට දුන්නේ.—මතෙව් 2:1, 2, 11.

බෝල්සම් තෙල්

ෂෙබාහි රැජිණ සලමොන් රජුව බලන්න ගියාම ‘රන් තලෙන්ත එකසිය විස්සක්ද මැණික්ද බෝල්සම් තෙල් අතිවිශාල ප්‍රමාණයක්ද දුන්නා. එදින ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් බෝල්සම් තෙල් ප්‍රමාණයට සමාන තෙල් ප්‍රමාණයක් කෙදිනකවත් ඔහුට ලැබුණේ නැහැ.’ * (2 ලේකම් 9:9) රජවරුත් තෑගි හැටියට සලමොන්ට බෝල්සම් තෙල් යැව්වා.—2 ලේකම් 9:23, 24.

අතීතයේදී සුවඳ ද්‍රව්‍යවලටත් ඒවායින් හදපු දේවලටත් එච්චර වටිනාකමක් ලැබුණේ ඇයි? ඒවා රූපලාවන්‍ය ද්‍රව්‍යවලටත් ආගමික කටයුතුවලටත් භූමදාන කටයුතුවලටත් පාවිච්චි කරපු නිසා නැතුවම බැරි ද්‍රව්‍යයන් වුණා. (“ අතීතයේදී සුවඳ ද්‍රව්‍ය පාවිච්චි කරපු විදිහ” කියන කොටුව බලන්න.) ඒවාට ලොකු ඉල්ලුමක් තිබුණා වගේම ගෙන්වන්නත් ලොකු මුදලක් වැය වුණා.

අරාබි කාන්තාරය හරහා

පැඟිරි කුරුඳු

එදා සමහර සුවඳවත් පැළෑටි වැවුණේ යොර්දාන් නිම්නයේ. තවත් ඒවා පිටරටින් ගෙන්නුවා. බයිබලයේ සුවඳ ද්‍රව්‍ය ගණනාවක් සඳහන් වෙනවා. සැෆ්රන්, අගිල්, බෝල්සම්, කුරුඳු, කට්ටකුමංජල් සහ සුවඳ ලාටු වඩාත් ප්‍රසිද්ධ ඒවායින් කීපයක්. ඊට අමතරව කෑම රස ගන්වන සූදුරු, මිංචි සහ ඈඳුරු වගේ කුළු බඩු කීපයක් ගැනත් සඳහන් වෙනවා.

ඒවා ගෙන්නුවේ කොහෙන්ද? අගිල්, පැඟිරි කුරුඳු සහ කුරුඳු චීනයේ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අද වගේම එදත් බහුලව තිබුණා. සුවඳ ලාටු හා කට්ටකුමංජල් ලබාගත්ත ගස් සහ පඳුරු වැවුණේ දකුණු අරාබිකරයේ ඉඳලා අප්‍රිකාවේ සෝමාලියාව දක්වා දිව යන කාන්තාර ප්‍රදේශවලයි. සුවඳැති ජටාමාංස තෙල් ලබාගත්ත පැළය වැවුණේ හිමාලයා කඳුකරයේ විතරමයි.

සැෆ්රන්

ඊශ්‍රායෙල් දේශයට සුවඳ ද්‍රව්‍යයන් අරගෙන ගියේ අරාබිය හරහායි. මේ නිසා ක්‍රිස්තු පූර්ව දෙදාහත් දාහත් අතර කාලයේදී “නැඟෙනහිර හා බටහිර රටවල් අතර වෙළඳ භාණ්ඩ රැගෙන යෑමේ තනි අයිතිකරුවන්” වෙලා හිටියේ අරාබියයි කියලා පොතක කියනවා. (The Book of Spices) දකුණු ඊශ්‍රායෙලයේ නෙගෙව් ප්‍රදේශයේ පුරාණ නගර, බලකොටු සහ තවලම්කරුවන් නවතින ස්ථාන දකින්න තියෙනවා. ඒක ඒ ප්‍රදේශය සුවඳ ද්‍රව්‍ය වෙළඳාම්කරුවන්ගේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙලා තිබුණා කියන එකට පැහැදිලි සාක්ෂියක්. “දකුණු අරාබියේ ඉඳලා මධ්‍යධරණී රටවල් දක්වා සුවඳ ද්‍රව්‍ය වෙළඳාමෙන් විශාල ලාභයක් උපයලා තියෙනවා” කියලා ඒකෙන් පේනවා. එහෙම වාර්තා වුණේ යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයේ වාර්තාවක.

“හොඳ වෙළඳ භාණ්ඩයක් වෙලා තිබුණ සුවඳ ද්‍රව්‍යවල මිටිය පොඩියි, ගාණ සැරයි, ඉල්ලුම ඉහළයි.”—The Book of Spices

තවලම්කරුවන් සුවඳ ද්‍රව්‍යය පටවගෙන අරාබිය හරහා කිලෝමීටර් 1,800ක විතර දුරක් ගමන් කළා. (යෝබ් 6:19) බයිබලයේ කියනවා ඉෂ්මායෙල්වරුන්ගේ තවලම්කරුවන් ගිලියද් ඉඳලා ඊජිප්තුවට ‘ලැබ්ඩනම් මැලියම්, බෝල්සම් තෙල්, රුක්ලාටු’ වගේ සුවඳ ද්‍රව්‍ය අරගෙන ගියා කියලා. (උත්පත්ති 37:25) යාකොබ්ගේ පුතාලා ඔවුන්ගේ සහෝදරයා වුණ යෝසෙප්ව වහලෙක් හැටියට විකුණුවෙත් ඒ වෙළඳාම්කරුවන්ටයි.

“රහස රැකගෙන හිටියා”

ඈඳුරු

අරාබි වෙළඳාම්කරුවන් සුවඳ ද්‍රව්‍ය වෙළඳාමේ අයිතිය සියවස් ගණනාවක් පුරා අල්ලගෙන හිටියා. ආසියාවේ තියෙන පැඟිරි කුරුඳු හා කුරුඳු වගේ ද්‍රව්‍යයන් ගෙන්නලා බෙදාහරින ප්‍රධාන වෙළඳාම්කරුවන් බවට ඔවුන් පත් වුණා. මධ්‍යධරණී මුහුද අවට රටවල ඉන්න අය මේ ව්‍යාපාරයට අත ගහයි කියන බය නිසා අරාබිවරුන් ඔවුන්ව වළක්වන්න බොරු කතා ගෙතුවා. ඔවුන් කිව්වේ සුවඳ ද්‍රව්‍යයන් ලබාගන්න හුඟක් අනතුරුදායක තත්වයන්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලයි. අරාබිවරුන් සුවඳ ද්‍රව්‍ය ගෙන්නෙව්වේ කොහෙන්ද කියන “රහස රැකගෙන හිටියා” කියලා එක පොතක කියනවා.—The Book of Spices.

සූදුරු

අරාබිවරු පැතිරෙව්වේ මොන වගේ බොරු කතාද? ක්‍රි.පූ. 5වන සියවසේ ග්‍රීක ඉතිහාසඥ හෙරෝඩටස් ඒ බොරු කතා ගැන විස්තර කරලා තියෙනවා. භයානක කුරුල්ලන් ළඟා වෙන්නවත් බැරි උස පර්වතවල කුරුඳු පොතුවලින් කූඩු හදනවා. කුරුඳු එකතු කරන අය ඒ කූඩුවල තියෙන වටිනා කුරුඳු ගන්න ඕන නිසා කඳු පාමුලට විශාල මස් කුට්ටි දානවා. කෑදර කුරුල්ලෝ මස් කුට්ටි අරගෙන ගිහින් උන්ගේ කැදලිවල පුරවගන්නවා. ඉතින් මොකද වෙන්නේ? කැදලි කැඩිලා බිමට වැටෙනවා. එතකොට කුරුඳු එකතු කරන අයට පුළුවන් වෙනවා වෙළඳාම්කරුවන්ට ඒ කුරුඳු විකුණන්න. ඒ වගේ බොරු කතා ගොඩක් පැතිරුණා. කලින් සඳහන් කරපු පොතේ කියන්නේ “මේ කුරුඳු එකතු කෙරුවේ අනතුරු මැද කියලා කතා පැතිරෙව්ව නිසා ඒවා අධික මිලකට විකුණන්න පුළුවන් වුණා” කියලයි.

මිංචි

අන්තිමේදී අරාබිවරුන්ගේ රහස හෙළි වුණා. සුවඳ ද්‍රව්‍ය වෙළඳාම් කිරීමේ තනි අයිතිය නැතුව ගියා. ක්‍රි.පූ. 5වන සියවස වෙද්දී ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව විශාල වරායක් වගේම සුවඳ ද්‍රව්‍ය වෙළඳාම් කිරීමේ වෙළඳ මධ්‍යස්ථානයක් බවටත් පත් වුණා. ඉන්දියන් සාගරය හරහා හමන මුහුදු සුළං ගැන හොඳ අවබෝධයක් ලබාගත්ත රෝමවරු ඔවුන්ගේ නැව් ඊජිප්තුවෙන් ඉන්දියාවට යැව්වා. ප්‍රතිඵලයක් හැටියට, මිල අධික සුවඳ ද්‍රව්‍ය බහුලව ලැබෙන්න පටන්ගත්තා. ඒ නිසා සුවඳ ද්‍රව්‍යවල මිල පහත වැටුණා.

අද නම් සුවඳ ද්‍රව්‍ය රත්තරන් තරම් වටින්නෙවත් තෑගි හැටියට රජ කෙනෙක්ට ඒවා දෙන්නෙවත් නැහැ. ඒත් ලෝකේ පුරාම හුඟදෙනෙක් සුවඳ විලවුන් හා බෙහෙත් වර්ගවලටත් කෑම රසගන්වන්නත් ඒවා යොදාගන්නවා. සිත් ඇදගන්න සුවඳ නිසා ඒවා එදා වගේම අදත් කා අතරත් ජනප්‍රියයි.

කුරුඳු

^ 3 ඡේ. බයිබලයේ “සුවඳ ද්‍රව්‍ය” කියලා කියන්නේ සුවඳක් විහිදුවන ගස්වලින් ගත්ත කොටස්වලට මිස කෑමවලට පාවිච්චි කරන කුළු බඩුවලටම නෙවෙයි.

^ 4 ඡේ. “බෝල්සම් තෙල්” කියන්නේ සුවඳවත් තෙල් නැත්නම් ගස්වලින් හා පඳුරුවලින් ගත්ත මැලියම්.