භාෂාවන් බිහි වුණේ බාබෙල් නුවරින්ද?
“යෙහෝවා දෙවි . . . ඔවුන්ව පොළොව පුරා විසුරුවාහැරියේය. එබැවින් ඔවුහු නුවර ගොඩනැඟීමේ කාර්යය ක්‍රමක්‍රමයෙන් අත්හැරියෝය. යෙහෝවා දෙවි එම ස්ථානයේදී පොළොවේ වැසියන් කතා කරමින් සිටි භාෂාව අවුල් කළ නිසා එම නුවරට බාබෙල් යන නම තබන ලදි.”—උත්පත්ති 11:8, 9.
බයිබලයේ සඳහන් ඒ සිදුවීම සත්‍යයක්ද? එහි වාර්තා වී තිබෙන විදිහට විවිධ භාෂා බිහි වුණේ එකපාරටමද? සමහරු එම වාර්තාව හාස්‍යයට ලක් කරනවා. ලේඛකයෙක් පැවසුවේ “බාබෙල් කොත හා බැඳුණු මිථ්‍යා කථාව හරයක් නැති කාතාවලින් එකක්” කියායි. යුදෙව් රබ්බිවරයෙක්ද මෙවැනි අදහසක් පළ කළා. “එය විවිධ ජාතීන්වල බිහි වීම විස්තර කරන්න තැනූ කිසිම පදනමක් නැති බොරු කතාවක්.”
බාබෙල් නුවර හා සම්බන්ධ සිදුවීම සමහරු විශ්වාස නොකරන්නේ ඇයි? ඊට හේතුව භාෂාවේ ආරම්භය ගැන පළ කර තිබෙන සමහර මතවලට එම සිදුවීම එකඟ නොවීමයි. උදාහරණයකට සමහරු කියන්නේ මූල භාෂා එකපාරටම බිහි නොවූ බවයි. ඒ වෙනුවට එක ප්‍රධාන භාෂාවක් පරිණාමය වී මූල භාෂා බිහි වුණා කියලයි. තවත් අය කියන්නේ විවිධ සත්ව ශබ්දවලින් පටන්ගත් භාෂා, දියුණු භාෂා දක්වා පරිණාමය වී මූල භාෂා වෙන වෙනම බිහි වූ බවයි. එවැනි පරස්පර අදහස් තිබෙන නිසා මහාචාර්ය ෆිච් තම පොතක මෙසේ සඳහන් කළා. “භාෂාවල ආරම්භය ගැන පැහැදිලි අදහසක් ලබාගන්න අපිට තාම පුළුවන්කමක් නැහැ.”—The Evolution of Language.
භාෂාවල ආරම්භය හා ඒවාවල විකාශනය ගැන පුරාවිද්‍යාඥයන් හා පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ මොනවාද? ඒ සොයාගැනීම් භාෂාවල ආරම්භය ගැන පළ කර තිබෙන මත සමඟ එකඟද? නැත්නම් ඒවා බයිබලයේ සඳහන් වාර්තාවට එකඟද? දැන් අපි භාෂාවල ආරම්භය ගැන බයිබලයේ සඳහන් සිද්ධිය සලකා බලමු.
එය සිදු වුණේ කවදද? කොතැනද?
මිනිසුන් කතා කරමින් සිටි භාෂාව වෙනස් වුණේ පසු කාලයකදී බැබිලෝනිය ලෙස හැඳින්වූ ‘ෂීනාර් දේශයේදී’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 11:2) එය සිදු වුණේ කොයි කාලයේද? පේලෙග් නම් පුද්ගලයා ජීවත් වූ කාලයේ “පොළොවේ යම් භේදයක් හටගත්” බව බයිබලයේ පවසනවා. පේලෙග් ඉපදුණේ ආබ්‍රහම් ඉපදෙන්න අවුරුදු 250කට විතර කලිනුයි. ඒ අනුව මිනිසුන්ගේ මුල් භාෂාව වෙනස් වුණේ මීට අවුරුදු 4,200කට පමණ පෙරයි.—උත්පත්ති 10:25; 11:18-26.
නමුත් සමහර විද්වතුන් පවසන්නේ මීට අවුරුදු 1,00,000කට පමණ පෙර මිනිසුන් කතා කළ ප්‍රධාන භාෂාව පරිණාමය වී විවිධ භාෂා බිහි වූ බවයි. * තවත් අය කියන්නේ මීට අවුරුදු 6,000කට පමණ පෙර තිබූ මූල භාෂා කීපයකින් අද තිබෙන භාෂා බිහි වී තිබෙනවා කියායි. නමුත් භාවිතයේ නැති භාෂාවල එනම් මළ භාෂාවල ආරම්භය සොයන්නේ කෙසේද යන ප්රශ්නය මෙහිදී පැනනඟිනවා. ඒ ගැන සඟරාවක මෙසේ සඳහන් වුණා. “ජීව විද්‍යාඥයන්ට ෆොසිලවලින් සාක්ෂි සොයාගත හැකියි. නමුත් භාෂාවේදීන්ට භාෂා විකාශනය වූ ආකාරය සොයා බැලීමට සාක්ෂි නැහැ.” භාෂා පරිණාමය වූ විදිහ ගැන භාෂාවේදියෙක් නිගමනවලට ආවේ උපකල්පන මත කියා එම සඟරාවේ තවදුරටත් සඳහන් වුණා.—Economist.
එම සඟරාවේ එසේ සඳහන් වුණත් ඈත අතීතයේ භාවිත කළ භාෂාවන් ගැන සාක්ෂි නැතුවාම නොවෙයි. මෙසපොතේමියාවෙන් එනම් පුරාණ ෂීනාර් නුවර අසල ප්‍රදේශයෙන් අකුරු ඇතුළත් පැරණි මැටි පුවරු සොයාගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා. * ඒ ගැන විශ්වකෝෂයක මෙවැනි අදහසක් පළ වුණා. “මිනිසුන්ට සොයාගැනීමට හැකි වී තිබෙන අක්ෂර ඇතුළත් පැරණිතම පුවරු අවුරුදු 4,000කට හෝ 5,000කට වඩා පැරණි නැහැ. ඊට වඩා පැරණි සාක්ෂි සොයාගන්න ලැබෙයි කියා සිතිය නොහැකියි.” (The New Encyclopædia Britannica) ඉන් පැහැදිලි වෙන්නේ බාබෙල් නුවර සිද්ධිය ගැන බයිබලයේ සඳහන් වාර්තාව සමඟ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් එකඟ බවයි.
භාෂාවයි සිතන පතන විදිහයි
දෙවියන් බාබෙල් නුවරදී භාෂාව අවුල් කළේ කෙනෙක් කියන දේ තව කෙනෙක්ට තේරුම්ගන්න නොහැකි වීම සඳහයි. (උත්පත්ති 11:7) ප්‍රතිඵලයක් ලෙස බාබෙල් නුවර ගොඩනැඟීමේ කාර්යය අත්හැර මිනිසුන් පොළොව පුරා විසිර ගියා. (උත්පත්ති 11:8, 9) එක ප්‍රධාන භාෂාවකින් අද තියෙන සියලුම භාෂා බිහි වුණා කියන අදහස බයිබලයේ නැති බව ඉන් සනාථ වෙනවා. ඒ වෙනුවට එහි පෙන්නුම් කරන්නේ හැඟීම් දැනීම් හොඳින් ප්‍රකාශ කරන්න පුළුවන් එකිනෙකට වෙනස් භාෂා ගණනාවක් එකපාරටම බිහි වුණා කියායි.
අද තිබෙන මූල භාෂා අධ්‍යයනය කරන විට පැහැදිලි වෙන්නේ කුමක්ද? ඒවා අතර සමානකම් තිබෙනවා කියාද නැත්නම් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් කියාද? ඒ ගැන විද්‍යාඥවරියක් මෙවැනි අදහසක් පළ කළා. “භාෂාවේදීන් ලෝකයේ තියෙන භාෂාවන් (භාෂා 7,000න් හෝ ඊට වැඩි ගණනෙන් අධ්‍යයනය කර තිබෙන්නේ ඉතා සුළු ගණනක්) ගැඹුරින් හදාරන විට ඒවා එකිනෙකට මොන තරම් වෙනස්ද කියා ඔවුන්ට තව තවත් තහවුරු වෙනවා.” එක මූල භාෂාවකට අයත් භාෂා අතර සමානකම් තිබුණත් ඒවා වෙනත් මූල භාෂාවකට අයත් භාෂාවලට කොහෙත්ම සමාන නැහැ. උදාහරණයකට එක මූල භාෂාවකට අයත් චීනයේ භාවිත වන කැන්ටනීස් භාෂාව හා හකා භාෂාව අතර සමානකම් තිබෙනවා. නමුත් ඒ භාෂා දෙක වෙනත් මූල භාෂාවකට අයත්, ස්පාඤ්ඤයේ භාවිත වෙන කැටලැන් භාෂාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.
මිනිසුන් හිතන පතන විදිහ හා අවට සිදු වන දේවල් විස්තර කරන විදිහ භාෂාවත් සමඟ වෙනස් වෙනවා. උදාහරණයකට එක භාෂාවකින් “ඔයාගේ දකුණු අතේ පොඩි සතෙක් වහලා” කියා පවසන දේ තවත් භාෂාවකින් “ඔයාගේ නිරිතදිග අතේ පොඩි සතෙක් වහලා” කියා පැවසිය හැකියි. භාෂා දෙකක් එකම අදහස ප්‍රකාශ කරන විදිහ කොතරම් වෙනස්ද කියා ඉන් පැහැදිලියි. එවැනි වෙනස්කම් වියවුලකට මඟ පාදනවා.
එහෙමනම් බාබෙල් නුවර ඉදි කරමින් සිටි මිනිසුන්ගේ භාෂාව අවුල් කළ විට අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිව එම කාර්යය නතර කර දැමීම පුදුමයක්ද?මුල්ම භාෂාව නොදියුණු භාෂාවක්ද?
මිනිසුන් භාවිත කළ මුල්ම භාෂාව සත්ව ශබ්දවලින් පටන්ගත් නොදියුණු භාෂාවක්ද? නැත්නම් එය අංග සම්පූර්ණ භාෂාවක්ද? මුල්ම මිනිසා වූ ආදම් සත්වයන්ට හා පියාසර කරන ජීවීන්ට නම් දැමූ බව බයිබලයේ වාර්තා වෙනවා. ඉන් පෙනී යන්නේ අලුතෙන් වචන තැනීමේ හැකියාව එම භාෂාව සතුව තිබූ බවයි. (උත්පත්ති 2:20) ඒ වගේම ආදම් තම බිරිඳව දුටු විට තම හැඟීම් වචනයට නඟමින් ඇයට කවියක්ද පැවසුවා. ආදම්ගේ බිරිඳ වූ ඒවද දෙවියන් පනවා තිබූ නීතිය ගැනත් එය කඩ කිරීමෙන් අත්වන ප්‍රතිවිපාක ගැනත් පැහැදිලිව පැවසුවා. (උත්පත්ති 2:23; 3:1-3) ඉන් පැහැදිලි වෙන්නේ මිනිසුන් භාවිත කළ මුල්ම භාෂාව ඕනම අදහසක්, හැඟීමක් ප්‍රකාශ කිරීමට හැකියාව තිබූ දියුණු භාෂාවක් බවයි.
බාබෙල් නුවරදී භාෂාව අවුල් කිරීමත් සමඟ එකපාරටම බිහි වූ අලුත් භාෂා නොදියුණු ඒවා නොවෙයි. මන්ද ඒ සිදුවීමෙන් සියවස් කීපයක් ඇතුළත මිනිසුන්ට විශාල නුවරවල් ගොඩනඟන්න, බලවත් හමුදාවන් සංවිධානය කරන්න හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු කරන්න හැකි වුණා. (උත්පත්ති 13:12; 14:1-11; 37:25) බිහි වූ අලුත් භාෂාවන්ට පුළුල් වාග් මාලාවක්, ව්‍යාකරණ පද්ධතියක් නොතිබුණා නම් එතරම් දේවල් කරන්න මිනිසුන්ට හැකි වෙයිද? බයිබල් වාර්තාවට අනුව මිනිසුන් භාවිත කළ මුල්ම භාෂාවත් බාබෙල් නුවරදී බිහි වූ අනිකුත් භාෂාත් ඉතා දියුණු භාෂා මිස සත්ව ශබ්දවලින් පටන්ගත් නොදියුණු භාෂා නොවෙයි.
පර්යේෂකයන් සොයාගෙන තිබෙන තොරතුරුත් ඒ අදහසට එකඟයි. එක් විශ්වකෝෂයක සඳහන් මේ දේ සැලකිල්ලට ගන්න. “කොතරම් නොදියුණු ජන සමාජයක වුණත් භාවිත කරන භාෂාව ඉතා දියුණු තත්වයක තියෙනවා. දියුණුයි කියා සලකන සමාජයක භාවිත කරන භාෂාවක් හා එවැනි භාෂාවක් අතර වෙනසක් නැහැ.” (The Cambridge Encyclopedia of Language) හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ලියූ පොතක මෙසේ සඳහන් වෙනවා. “කිසිම භාෂාවක් ගල් යුගයේ භාෂාවක් කියලා කියන්න බැහැ.”—The Language Instinct.
සැමට එක භාෂාවක්
පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙන අක්ෂර ඇතුළත් පුවරුවල කාලවකවානුව හා ඒවා සොයාගත් ස්ථානය ගැන අපි සලකා බැලුවා. ඒ වගේම මූල භාෂා එකිනෙකට කොතරම් වෙනස්ද කියාත් අතීතයේ භාවිත කළ භාෂා කොයි තරම් දියුණුද කියාත් තේරුම්ගත්තා. ඒ අනුව එළඹිය හැකි නිගමනය නම් බාබෙල් නුවරදී භාෂාව අවුල් කිරීම පිළිබඳ බයිබල් වාර්තාව සත්‍ය වාර්තාවක් බවයි.
යෙහෝවා දෙවියන් බාබෙල් නුවරදී මිනිසුන් කතා කළ භාෂාව අවුල් කළේ ඔවුන් දෙවියන් අරමුණු කළ දේට විරුද්ධව ක්‍රියා කළ නිසයි. (උත්පත්ති 11:4-7) නමුත් දෙවියන් මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. “මම ජනයාට පවිත්‍ර භාෂාව උගන්වා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. එවිට ඒ සියලුදෙනාටම යෙහෝවා දෙවි වන මාගේ නාමයට අයැදින්නත් එක්සත්කමින් මට සේවය කරන්නත් හැකි වනු ඇත.” (ශෙපනියා 3:9) “පවිත්‍ර භාෂාව” කියන්නේ බයිබලයේ සඳහන් සත්‍ය ඉගැන්වීම්වලටයි. ඒ සත්‍ය ඉගැන්වීම් නිසා ලොව වටා සිටින දෙවිට නමස්කාර කරන ජනයා එක්සත් වී සිටිනවා. අනාගතයේදී දෙවියන් භාෂා වියවුල නිරවුල් කර සැමට එක භාෂාවක් දී මිනිසුන්ව එක්සත් කරයි කියා විශ්වාස කළ හැකියි.
^ 8 ඡේ. භාෂාවල ආරම්භය ගැන ඇති විවිධ මත පදනම් වී තිබෙන්නේ මිනිසුන් වානරයාගෙන් පරිණාමය වූ බවට තිබෙන විශ්වාසය මතයි. ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට ජීවයේ ආරම්භය—වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු යන සඟරාවේ 27-29 පිටු බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.
^ 9 ඡේ. පඩි පෙළවල් සහිත ගඩොලින් තැනූ පිරමිඩ හැඩයෙන් යුත් දේවාල ෂීනාර් ප්‍රදේශය අවටින් සොයාගෙන තිබෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ බාබෙල් කොත ගොඩනැඟූ අය ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට තාරද භාවිත කළා කියායි. (උත්පත්ති 11:3, 4) මෙසපොතේමියාවේ “ගල් ඉතා හිඟයි නැත්නම් සොයාගත නොහැකි තරම්” කියාත් තාර නම් ඕන තරම් තිබුණා කියාත් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—The New Encyclopædia Britannica.