Skip to content

පටුනට යන්න

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

“සිතට සතුට ගෙන දෙන දේවල්” ලබා දෙන දෙවි පියාණන්

“සිතට සතුට ගෙන දෙන දේවල්” ලබා දෙන දෙවි පියාණන්

දෙවියන් කැමති අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේ සතුටින් ගත කරනවටයි. හැම දවසකම ඔහු අපි වෙනුවෙන් මොන තරම් යහපත් දේවල් කරනවද! දෙවියන් ගැන කිසිම විශ්වාසයක් නැති අය පවා ඔහුගේ යහපත්කමින් ප්‍රයෝජන ලබනවා. පාවුල් කියපු දෙයකින් ඒ කාරණය තේරුම්ගන්න පුළුවන්.—ක්‍රියා 14:16, 17 කියවන්න.

දෙවිට නමස්කාර නොකළ ලිස්ත්‍රාව කියන පුරාණ නගරයේ වැසියන්ට පාවුල් කිව්වේ මෙහෙමයි. “අතීතයේ නම් දෙවි සෑම ජාතියකටම තමන්ට කැමති දේ කරන්න ඉඩ දුන්නා. ඒ වුණත් ඒ කාලයේදීත් ඔහු බොහෝ යහපත් දේවල් කරමින් තමා සිටින බවට සාක්ෂි ලබා දුන්නා. ඔහු එසේ කළේ ඔබට වැසි ලබා දීමෙන්, සරු අස්වනු ලබා දීමෙන්, කෑමට අවශ්‍ය තරම් ආහාර ලබා දීමෙන් සහ ඔබේ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දීමෙනුයි.”

කෘෂිකර්මාන්තය ලිස්ත්‍රාවේ වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුණා. ඔවුන් ජීවත් වුණේ හොඳට වතුර තිබුණු ඉතා සරුසාර ප්‍රදේශයකයි. ඔවුන් දෙවිගේ යහපත්කම හැම දවසකම අද්දැක්කා. නියම කාලවලදී වැසි, සරු අස්වනු, කෑමට අවශ්‍ය තරම් ආහාර හා සිතට සතුට ගෙන දෙන දේවල් ලැබුණේ දෙවිගේ යහපත්කම නිසා කියලා පාවුල් එයාලට මතක් කළේ හොඳ හේතු ඇතුවයි.

පාවුල් ලිස්ත්‍රාවේ වැසියන්ට කියපු දෙයින් අපිටත් යෙහෝවා දෙවියන් ගැන වැදගත් කරුණු තුනක් ඉගෙනගන්න පුළුවන්.

තීරණ ගැනීමේ නිදහස යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙනවා. පාවුල් කිව්වේ “දෙවි සෑම ජාතියකටම තමන්ට කැමති දේ කරන්න ඉඩ දුන්නා” කියලයි. තමන්ට නමස්කාර කරන්න කියලා දෙවියන් කාටවත් බල කරන්නේ නැහැ. අපේ ජීවිතේ ගත කරන්න ඕන කොහොමද කියන එක තීරණය කරන්න දෙවියන් අපිට නිදහස දීලා තියෙනවා.—ද්විතීය කතාව 30:19.

යෙහෝවා දෙවියන් කැමති අපි හැම කෙනෙක්ම ඔහුව දැන හඳුන ගන්නවටයි. පාවුල් තවදුරටත් මෙහෙම කිව්වා. ‘තමා සිටින බවට දෙවි සාක්ෂි ලබා දුන්නා.’ එක පොතක ඒ අදහස විස්තර කරලා තියෙන්නේ “තමා මොන වගේ දෙවි කෙනෙක්ද කියලා දෙවියන් පැහැදිලිව මිනිසුන්ට හෙළි කර තිබෙනවා” කියලයි. අපිට “දෙවිව නොපෙනුණත්” ඔහු නිර්මාණය කරලා තියෙන දේවලින් ඔහුගේ ගතිලක්ෂණ ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන්. උදාහරණෙකට දෙවියන් මොන තරම් යහපත්, ප්‍රඥාවන්ත, බලවත් හා ප්‍රේමණීය කෙනෙක්ද කියලා අපි අවට තියෙන දේවලින් පැහැදිලි වෙනවා. (රෝම 1:20) ඒ වගේම තමා ගැන තව හුඟක් තොරතුරු දෙවියන් බයිබලේ මාර්ගයෙනුත් හෙළි කරලා තියෙනවා. (2 තිමෝති 3:16, 17) අපි හැම කෙනෙක්ම ඔහුව දැන හඳුන ගන්නවට දෙවියන් කැමතියි කියලා ඒකෙන් තේරෙන්නේ නැද්ද?

හැම දවසකම දෙවියන් අපි වෙනුවෙන් මොන තරම් යහපත් දේවල් කරනවද!

යෙහෝවා දෙවියන් කැමති අපි සතුටින් ඉන්නවටයි. දෙවියන් ‘කෑමට අවශ්‍ය තරම් ආහාර සහ සිතට සතුට ගෙන දෙන දේවල්’ අපිට ලබා දෙනවා කියලත් පාවුල් මතක් කළා. දෙවියන්ව පිළිගන්නේ නැති දුෂ්ට කෙනෙක්ට වුණත් හිතේ හැටියට කෑම කාලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් කැමති අපි ඒ විදිහේ තාවකාලික සතුටක් අද්දකිනවට නෙමෙයි හැමදාටම සැබෑ සතුට අද්දකිනවටයි. ඒ සතුට ලබාගන්න පුළුවන් වෙන්නේ දෙවි පියාණන් ගැන සත්‍ය තොරතුරු ඉගෙනගෙන ඔහු කැමති විදිහට අපි ජීවත් වුණොත් විතරයි.—ගීතාවලිය 144:15; මතෙව් 5:3.

අපි හැම කෙනෙක්ම යෙහෝවා දෙවිගේ යහපත්කම කොච්චරද කියලා දිනපතාම අද්දකිනවා. අපි වෙනුවෙන් බොහෝ යහපත් දේවල් කරන යෙහෝවා දෙවිට අගය පෙන්නන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න ඔයා කැමති නැද්ද?

ජූලි මාසයට නියමිත බයිබල් කියවීම

ක්‍රියා 11 සිට 28 දක්වා