Skip to content

පටුනට යන්න

“මේ ඔබේ දවසයි”

“මේ ඔබේ දවසයි”

129වන ගිලියද් පාසැල

“මේ ඔබේ දවසයි”

වර්ෂ 2010 සැප්තැම්බර් 11වන දා 129වන ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ සිටි ශිෂ්‍යයන්ට පැවරුම් පිරිනමනු ලැබුවා. ඒ විශේෂ අවස්ථාව දැක බලා ගැනීමට 8,000කට ආසන්න පිරිසක් රැස් වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන සැමුවෙල් හර්ඩ් ශිෂ්‍යයන්ව අමතමින් එදින මෙසේ පැවසුවා. “මේ ඔබේ දවසයි. අපි අද මෙහි රැස් වී සිටින්නේ ඔබත් සමඟ ඒ සතුට බෙදාගැනීමටයි.”

‘සවන් යොමු කරන්න’

දෙවිගේ මඟ පෙන්වීම්වලට සවන් දීමේ ඇති වැදගත්කම කාවද්දමින් සහෝදර හර්ඩ් වැඩසටහන ඇරඹුවා. (හිතෝපදේශ 20:12) ඔහු ශිෂ්‍යයන්ට මෙසේ පැවසුවා. “ගිලියද් පාසැලේ පුහුණුව ලැබූ මාස කිහිපය පුරාම ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් දුන්නා. ඒ වගේම සදාකාලයටමත් ඔබ ඔහුගේ හඬට සවන් යොමු කරයි.”

විදේශීය රටවලට සේවය කිරීමට යන ගිලියද් ශිෂ්‍යයන්ට තමන් සතු ඇසීමේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැක්කේ “දෙවිගේ වචනයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට සවන් දීමෙන්” බව සහෝදර හර්ඩ් පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ “අද ඉදිරිපත් කරන තොරතුරු ඉදිරි වසර ගණනාව පුරාවටම ඔබට බොහෝ සේ ප්‍රයෝජනවත් වෙයි” කියායි.

“යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන්න”

පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ගෙරිට් ලෝෂ් කතා කළේ දෙවි කෙරෙහි විශ්වාසය තැබීමේ වැදගත්කම ගැනයි. දෙවිගේ සේවකයන් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ විවිධ අවස්ථාවන් ගැන ඔහු සඳහන් කළා.

ඒ හා සමානව “විදේශ රටවලට ගොස් සේවය කරන අයත් දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා කටයුතු කළ යුතුයි” කියා ඔහු සිහිගැන්වූවා. තවදුරටත් ඔහු මෙසේ පැවසුවා. “‘වෙන රටකට ගිහින් අලුත් භාෂාවක් ඉගෙනගන්න මට පුළුවන් වෙයිද, මම යන රටේ සංස්කෘතියට මට හැඩගැහෙන්න පුළුවන් වෙයිද, පවුලේ අයගෙන් සහ යාළුවන්ගෙන් ඈත් වෙලා මට ඉන්න පුළුවන් වෙයිද’ කියා සමහරවිට ඔබට සිතෙන්න පුළුවන්. එවැනි අභියෝග ජය ගැනීම සඳහා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න” කියා ඔහු ශිෂ්‍යයන්ව දිරිගැන්වූවා.

ඔහු බයිබලයේ සඳහන් මේ වදන්ද ශිෂ්‍යයන්ට මතක් කළා. “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති අයට මහත් නිසැකකමක් ඇත.” (හිතෝපදේශ 14:26) ඔහු තවදුරටත් පැවසුවේ, යෙහෝවා දෙවි විවිධ ක්‍රමවලින් අපට ආශීර්වාද කර තිබෙන ආකාරය ගැන සිතා බලනවා නම් අපිට දෙවි කෙරෙහි මහත් නිසැකකමක් ඇති කරගත හැකි බවයි.

දෙවි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන කෙනෙකුව බයිබලයේ විස්තර කර තිබෙන්නේ මෙසේයි. “ඔහු දිය පාරවල් අසල සිටෙවූ, දිය උල්පත් වෙතට මුල් ඇද ඇති ගසකට සමාන වනු ඇත. ඔහු අතු පතර සරුවට වැඩී ඇති ගසක් මෙන් වන්නේය. දැඩි හිරු රශ්මියෙන් කිසිදු හානියක් නොවන, නියඟයකට පවා හොඳින් ඔරොත්තු දෙන, දිගටම පල දරන ගසකට ඔහු සමාන වන්නේය.”—යෙරෙමියා 17:7, 8.

“යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබනවා නම් ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දීමට හැකි” බව සහෝදර ලෝෂ් ඉදිරිපත් කළ කතාවෙන් මනාව පැහැදිලි වුණා.

“විශ්වාසවන්ත දේවදූතයන්ව ආදර්ශයට ගන්න”

පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ස්ටීවන් ලෙට් ඉදිරිපත් කළ කතාවේ මාතෘකාව එයයි. ඔහු පැවසුවේ, “දේවදූතයන් ගැන බයිබලයේ සඳහන් හැම තොරතුරකින්ම අපට බොහෝ දේ ඉගෙනගත හැකි” බවයි. දේවදූතයන් සතු විඳදරාගැනීම, නිහතමානිකම, උපකාර කිරීමේ ස්වභාවය සහ විශ්වාසවන්තකම ගැන ඔහු සඳහන් කළා.

දේවදූතයෙකුට “පර්සියානු රාජධානියේ අධිපතියා” ලෙස හැඳින්වූ බලවත් භූතයෙකුට විරුද්ධව දවස් 21 පුරා නැඟී සිටින්න සිදු වූ සිද්ධියක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (දානියෙල් 10:13) ඒ දවස් 21 මුළුල්ලේම ඒ දේවදූතයාට විඳදරාගැනීමෙන් කටයුතු කරන්න සිදු වුණා. ඒ හා සමානව “යේසුස්ගේ අනුගාමිකයන් ලෙස අපටත් භූත සේනාවන්ට විරුද්ධව පොරබැදීමට සිදු වෙනවා” කියා සහෝදර ලෙට් පැවසුවා. (එෆීස 6:12) ඒ නිසා “ඔබේ පැවරුම සාර්ථකව ඉටු කිරීම සඳහා පසු නොබැස දිගටම පොරබදින්න” කියා ඔහු සියලුම ශිෂ්‍යයන්ට දිරිගැන්වූවා.

පුරාණයේ සිටි මානෝවා තමාව හමු වීමට පැමිණි දේවදූතයෙකුගෙන් ඔහුගේ නම කුමක්ද කියා ඇසුවා. නමුත් ඒ දේවදූතයා තමාගේ නම හෙළි කළේ නැහැ. එයින් පැහැදිලි වන්නේ ඒ දේවදූතයාගේ නිහතමානිකමයි. (විනිශ්චයකරුවෝ 13:17, 18) එයින් ශිෂ්‍යයන්ට ගත හැකි පාඩම පෙන්වා දෙමින් සහෝදර ලෙට් මෙසේ පැවසුවා. “යම් කෙනෙක් ඔබව හෝ ඔබේ හැකියාවන් ගැන ප්‍රශංසා කළොත් නිහතමානීව එම ප්‍රශංසාව යෙහෝවා දෙවිටත් ඔහුගේ සංවිධානයටත් යොමු කරන්න.”—1 කොරින්ති 4:7.

යේසුස් ගෙත්සෙමන උයනේ යාච්ඤා කරමින් සිටි අවස්ථාවේදීත් ‘දේවදූතයෙක් පැමිණ ඔහුව ශක්තිමත් කළා.’ (ලූක් 22:43) ඉන් පෙනී යන්නේ අන් අයට උපකාර කිරීමට දේවදූතයන් තුළ තිබෙන කැමැත්තයි. “ඒ හා සමානව විදේශ රටකට ගොස් සේවය කරන විට අන් අයට අවශ්‍ය උපකාර හඳුනාගන්න උදව් කරන්න කියා දෙවිට යාච්ඤා කරන”ලෙස සහෝදර ලෙට් ශිෂ්‍යයන්ව දිරිගැන්වූවා.

දේවදූතයන් සීමිත පිරිසක් යක්ෂයාගේ පැත්ත ගත්තත් දේවදූතයන් මහත් සංඛ්‍යාවක් දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා. ඇත්තෙන්ම ඔවුන් අපට තබන්නේ මොන තරම් වටිනා ආදර්ශයක්ද!—එළිදරව් 12:4.

ඒ විශ්වාසවන්ත දේවදූතයන් හා සමානව ඔබත් ‘යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි’ කියා සහෝදර ලෙට් ශිෂ්‍යයන්ට පැවසුවා.—යාකොබ් 4:7.

වැඩසටහනේ වෙනත් අංග

“යෙහෝවා දෙවිව ඔබේ පර්වතය කරගන්න.” එක්සත් ජනපදයේ ශාඛා කමිටු සාමාජිකයෙක් වන සහෝදර ගැරී බ්‍රෝ ඉදිරිපත් කළ කතාවේ මාතෘකාව එයයි. එම කතාව පදනම් වී තිබුණේ ගීතාවලිය 73:26හි සඳහන් අදහස් මතයි. එහි සඳහන් ආකාරයට යෙහෝවා දෙවි පර්වතයක් වන්නේ කෙසේද? සහෝදර බ්‍රෝ එය මෙසේ විස්තර කළා. “තද සුළං තියෙන අවස්ථාවක පත්තර කැබැල්ලක් ඉතා පහසුවෙන් සුළඟට ගසාගෙන යනවා. නමුත් එම පත්තර කැබැල්ල පර්වතයක රැඳුණොත් එය ගසාගෙන යන්නේ නැහැ.” අපේ සිතත් ඒ පත්තර කැබැල්ල වගෙයි. බයිබලයේ පෙන්වා තිබෙන ආකාරයට අපි විවිධ දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණ දෙන විට අපේ සිත අපව රවටනවා. (යෙරෙමියා 17:9) “නමුත් පර්වතයක් බඳු යෙහෝවා දෙවි මත අපි රඳා සිටිනවා නම් අපේ සිත ආරක්ෂා කරගැනීමට අපට හැකියාව ලැබෙනවා” කියා සහෝදර බ්‍රෝ පෙන්නුම් කළා. විදේශීය රටකට ගොස් සේවය කරන විට දේශගුණය, ආහාර පාන, පදිංචි වන නිවස සහ ඇසුරු කරන අය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. එවැනි දේවල් ගැන සිතන විට තම පැවරුම අත්හරින්න කෙනෙක් පෙලඹෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සහෝදර බ්‍රෝ තවදුරටත් මෙසේ පැවසුවා. “සමහර අවස්ථාවලදී තත්වයන් සලකා බලා යම් කාරණා සම්බන්ධයෙන් තීරණ ගන්න ඔබට සිදු විය හැකියි. එවැනි තත්වයන්වලදී යෙහෝවා දෙවි සතුටු වන ආකාරයෙන් ඔබ තීරණ ගත්තොත් යෙහෝවා දෙවි ඔබේ පර්වතය බවට පත් වෙනවා. එවිට ඔහු ඔබට නිසි මඟ පෙන්වා දෙයි.”

“යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යොර්දාන් ගඟට පය තබන්න ඔබට පුළුවන්ද?” යොෂුවා තුන්වන පරිච්ඡේදයේ සඳහන් කරුණු ඇසුරින් ගිලියද් උපදේශකයෙකු වන සහෝදර සෑම් රොබර්සන් දෙවි කෙරෙහි විශ්වාසය තැබීමේ අවශ්‍යතාවය ගැන ශිෂ්‍යයන්ට කතා කළා. ඊශ්‍රායෙල්වරුන්ට දෙවිගේ ආශීර්වාද භුක්ති විඳීමට නම් විශාල බාධකයක්ව තිබූ යොර්දාන් ගඟෙන් එගොඩ විය යුතු වුණා. නමුත් ඒ කාලයේ ගඟ පිටාර ගලන නිසා ඔවුන් ඒ හරහා ගියේ කෙසේද? “යොර්දාන් ගඟ අද්දරට පැමිණි විට වතුරට පා තබා එතනම නතර වී සිටින්න” කියා පූජකයන්ට අණ කරන ලෙසට දෙවි යොෂුවාට පැවසුවා. ඔවුන් එසේ කළ විට “ගලා බසින ජල පහර නතර වෙයි” කියාත් “ගඟ හරහා වේල්ලක් බැන්දාක් මෙන් එම ජල කඳ එක තැන නතර වෙයි” කියාත් යෙහෝවා දෙවි ස්ථිරවම පැවසුවා. (යොෂුවා 3:8, 13) විදේශීය රටකට ගොස් සේවය කරන ඔබටත් “යොර්දාන් ගඟ හා සමාන බාධකවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ බාධා නිසා ඔබේ ගමන අඩාළ වුණොත් ඔබට ලැබිය යුතු ආශීර්වාද නොලැබී යන්න පවා ඉඩ තිබෙනවා” කියා සහෝදර රොබර්සන් පැවසුවා. ‘සමහරවිට විදේශ රටවලින් පැමිණ ඔබ සමඟ සේවය කරන වෙනත් අය සමඟ පැහී වැඩ කිරීම ඔබට අභියෝගයක් විය හැකියි. එවැනි අවස්ථාවලදී පුද්ගලයන් වෙතට අවධානය නොදී ඔබේ පැවරුම වෙතට අවධානය දෙන්න’ කියා ඔහු උනන්දු කළා. ඔහු තවදුරටත් පැවසුවේ, “ඔබ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා ඔබේ පැවරුම ඉටු කළොත් ඕනෑම බාධාවක් ජය ගැනීමට ඔහු ඔබට උපකාර කරයි” කියායි.

“ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරන්න.” ගිලියද් උපදේශකයෙකු වූ සැමුයල්සන් ඉදිරිපත් කළ කතාවේ මාතෘකාව වුණේ එයයි. ඔහු එය පදනම් කරගෙන තිබුණේ හිතෝපදේශ 16:3හි මේ අදහස මතයි. “ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වෙයි.” සහෝදර සැමුයල්සන් ශිෂ්‍යයන්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “ඒ බයිබල් පදයෙන් අදහස් වන්නේ අපි හැමදෙයක්ම දෙවිට භාර දීලා කිසිම දෙයක් නොකර සිටියොත් අපේ සැලසුම් සාර්ථක වෙයි කියලද?” ඔහු පැවසුවේ එවැනි දෙයක් ඉන් අදහස් නොවන බවයි. එය පැහැදිලි කිරීමට හිතෝපදේශ 16:1හි සඳහන් මේ දෙය ඔහු ගෙනහැර දැක්වූවා. ‘තම සිතුම් පැතුම් පාලනය කරන්නේ මිනිසාමයි.’ ඉන්පසු සහෝදර සැමුයල්සන් මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි කවදාවත් ඔබේ සිතුවිලි ආශ්චර්යවත් අයුරින් සකස් කරන්නේ නැහැ. එය කළ යුත්තේ ඔබමයි. බයිබලය අධ්‍යයනය කිරීමෙන්, යාච්ඤා කිරීමෙන් සහ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් ලැබෙන මඟ පෙන්වීම් අනුගමනය කිරීමෙන් ඔබට ඔබේ සිතුවිලි නිවැරදිව සකස් කිරීමට හැකියාව ලැබෙනවා. දෙවි ඔබේ සැලසුම් සාර්ථක කරන්නේ එවිටයි.”

අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා

ගිලියද් පාසැලට සහභාගි වූ ශිෂ්‍යයන් ඒ කාලය තුළ දේවසේවයේ හවුල් වීමෙන් ලැබූ අද්දැකීම් ගැන ගිලියද් උපදේශකයෙක් වන සහෝදර මාක් නූමැර් ශිෂ්‍යයන් කිහිපදෙනෙකුගෙන් විමසුවා. ඒ අද්දැකීම්වලින් පැහැදිලි වුණේ උනන්දුවක් දක්වන අයව සොයාගැනීමට යාච්ඤා කිරීමේ ඇති අවශ්‍යතාවයයි.

මේ එවැනි එක් අද්දැකීමක්. ගිලියද් පාසැලට සහභාගි වූ එක් යුවළක් දිනක් ආපන ශාලාවකට ගියා. ඒ යුවළ ආහාර ගැනීමට පෙර යාච්ඤා කරනවා දුටු එක් සේවකයෙක්, ‘ඔයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද’ කියා ඔවුන්ගෙන් ඇසුවා. එවිට එම යුවළ තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියා පැවසූ විට ඒ තරුණයාද කියා සිටියේ ඔහුත් කුඩා කාලයේදී සාක්ෂිකරුවෙක් ලෙස හැදී වැඩුණු බවයි. නමුත් කාලයක් එක්කම ඔහු ඒ සියල්ල අත්හැර තිබෙනවා. ඔහු අතින් යම් අපරාධයක් සිදු වී තිබුණු නිසා ඔහු සිරභාරයේද සිට තිබෙනවා. කොහොමවුණත් නැවතත් දෙවි ගැන ඉගෙනගෙන තම ජීවිතය වෙනස් කරගන්න ඒ තරුණයාට ලොකු ඕනෑකමක් තිබුණා. ඒ යුවළ ආපන ශාලාවට පැමිණෙන්න සුළු මොහොතකට කලින් ඒ තරුණයා ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කර තිබෙනවා. ඇත්තෙන්ම ඔහුගේ ඒ යාච්ඤාවට එදිනම පිළිතුරු ලැබුණා.

“යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න” යන මාතෘකාව ඔස්සේ කතා කළ සහෝදර රූඩි හාට්ල් ගිලියද් පාසැලෙන් පුහුණුව ලබා තිබූ අද්දැකීම් ලත් සහෝදරයන් තිදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳෙව්වා. ඒ අය වන්නේ වේන් රිජ්වේ, ජේසන් රීඩ් සහ කෙන්ජි චිචී යන අයයි. පිළිවෙලින් ඔවුන් මොසැම්බික්, චිලී සහ නේපාලය යන රටවල සේවය කරනවා. විදේශීය රටකට ගොස් සේවය කිරීමේදී මුහුණ දීමට සිදු වන අභියෝග ගැන ඒ තිදෙනා සඳහන් කළා. ඒ අතරට අලුත් භාෂාවක් ඉගෙනගැනීම, අලුත් සංස්කෘතියකට හුරු වීම සහ පවුලේ අයගෙන් ඈත් වී ජීවත් වීම ඇතුළත් බව ඔවුන් පැවසුවා. ඒ අභියෝග ජය ගැනීමට හැකි එක් ආකාරයක් ගැන සහෝදර චිචී මෙසේ විස්තර කළා. “අපි සේවය කරන්න යන සභාවේ ඉන්න අයත් එක්ක ඉක්මනින්ම මිත්‍රකම් ඇති කරගන්න එක හුඟක් හොඳ දෙයක් කියලා අපි අද්දැකලා තියෙනවා. එතකොට පවුලේ අය ළඟ නැති පාළුව අපිට ඒ තරම් දැනෙන්නේ නැහැ.”

වැඩසටහන අවසානයේදී ශිෂ්‍යයන් 56දෙනාටම ඔවුන්ගේ පැවරුම් පිරිනැමුවා. ඉන්පසු සියලුම ශිෂ්‍යයන් අගය ප්‍රකාශ කරමින් ලියූ ලිපියක් එක් ශිෂ්‍යයෙක් කියවනු ලැබුවා. ඒ ලිපියේ කොටසක පාලක මණ්ඩලයේ සහෝදරයන්ව අගය කරමින් මෙසේ ලියා තිබුණා. “පුහුණු කාලය පුරාම ඔබ සියලුදෙනාම අපව බැහැදකින්න පැමිණියා. ඒ වගේම අපට අවශ්‍ය පුහුණුව ලබා දෙමින් වටිනා මඟ පෙන්වීම්ද සැපයුවා. ඒ හැම දෙයකින්ම පැහැදිලි වුණේ ඔබ අපට මොන තරම් ප්‍රේම කළාද කියායි. ඔබේ ප්‍රේමය අද්දුටු අය හැටියට ඔබව ආදර්ශයට ගනිමින් නිතරම ප්‍රේමණීයව, නිහතමානීව, ඉවසිලිවන්තව සහ අන් අය ගැන සැලකිලිමත් වෙමින් ක්‍රියා කරන්න අපත් වගබලා ගන්නවා.”

[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘යම් කෙනෙක් ඔබට ප්‍රශංසා කළොත් එම ප්‍රශංසාව යෙහෝවා දෙවිටත් ඔහුගේ සංවිධානයටත් යොමු කරන්න’

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔබටත් යොර්දාන් ගඟ හා සමාන බාධකවලට මුහුණ දෙන්න සිදු වෙනවා”

[31වන පිටුවේ වගුව⁄සිතියම]

සහභාගි වූවන්ගේ විස්තර

නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 9

ශිෂ්‍යයන් සංඛ්‍යාව: 56

විවාහ යුවළයන් සංඛ්‍යාව: 28

වයසේ සාමාන්‍යය: 33.0

බව්තීස්ම වූ දා සිට ගෙවී ඇති වසර ගණනේ සාමාන්‍යය: 17.9

පූර්ණකාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය: 13.3

[සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ගිලියද් පාසැලේ ශිෂ්‍යයන් පැවරුම් ලැබූ රටවල් 25

දේවසේවකයන්ගේ පැවරුම්

බොලිවියාව

බොට්ස්වානා

බල්ගේරියාව

කොංගෝව (කින්ෂාසා)

අයිවරි කොස්ට්

ගැම්බියාව

ජර්මනිය

ඉන්දියාව

ඉන්දුනීසියාව

කෙන්යාව

ලයිබීරියාව

මැසිඩෝනියාව

මැඩගස්කරය

මලයාසියාව

මොසැම්බික්

පැනමා

පේරූ

පෝලන්තය

රුමේනියාව

සර්බියාව

සියරා ලියොන්

ස්වාසිලන්තය

ටැන්සානියාව

උගන්ඩා

සිම්බාබ්වේ

[30වන පිටුවේ පින්තූරය]

දේවසේවයේ ගොස් ලැබූ අද්දැකීමක් නිරූපණය කරමින්

[31වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 129වන පන්තිය

පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබෙනවා.

(1) මූනාරෙටෝ, ආර්.; උලොව්සොන්, වයි.; බර්ඩන්, කේ.; නයිජොන්, එල්.; මෝයා, ජී.; ට්‍රෙවින්යෝ, ජී.; ඩියෝන්, ඒ.; ෆ්ලීගල්, ඒ.

(2) ස්මිත්, ජේ.; මයිකල් රාජ්, ජේ.; ස්මිත්, එස්.; පරාමෝ, ඒ.; මැක්ඩොනල්ඩ්, ජේ.; ඩීන්ස්, එම්.; ජොයල්, එස්.; වොට්සන්, එල්.

(3) ජොයල්, සී.; ක්‍රාලී, ටී.; හැකර්, ඩී.; ෂින්කරෙන්කෝ, ජේ.; නැප්, ටී.; ඒලින්ග්, ජේ.; හයිලි, සී.; උලොව්සොන්, බී.

(4) ෆිට්ස්පැට්‍රික්, එම්.; නයිජොන්, බී.; ස්කැලරුඩ්, එල්.; හැරිස්, ඒ.; හැරිස්, එස්.; බර්ඩන්, ආර්.; පරාමෝ, වයි.; ස්කැලරුඩ්, කේ.

(5) ක්‍රාලී, බී.; මයිකල් රාජ්, ජේ.; ලාජ්, ඒ.; ලාජ්, ආර්.; හර්ම්ස්, එන්.; ෆිට්ස්පැට්‍රික්, ජේ.; මෝයා, ආර්.; මූනාරෙටෝ, පී.

(6) වොට්සන්, එස්.; ඩීන්ස්, එම්.; හැකර්, ජේ.; මැක්ඩොනල්ඩ්, ජේ.; ට්‍රෙවින්යෝ, ජේ.; හැරිස්, එස්.; හර්ම්ස්, සී.; හැරිස්, පී.

(7) ෂින්කරෙන්කෝ, වී.; හයිලි, ටී.; ස්මිත්, ඒ.; ඩියෝන්, ජේ.; ඒලින්ග්, ආර්.; ස්මිත්, බී.; නැප්, ටී.; ෆ්ලීගල්, බී.