යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සුව මෙහෙයන් පවත්වන්නේ නැත්තේ ඇයි?
පාඨකයන් අසයි
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සුව මෙහෙයන් පවත්වන්නේ නැත්තේ ඇයි?
▪ යේසුස් මෙන් සාක්ෂිකරුවන්ද දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීම මේ කාලයේදී කළ යුතු ප්‍රධානම කාර්යය බව වටහාගෙන තිබෙනවා. එමෙන්ම සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැක්කේ සුව කිරීම් මගින් නොවන බවත් ඊට දායක වන වෙනත් සාධකයක් තිබෙන බවත් ඔවුන් විශ්වාස කරනවා.
යේසුස් පොළොවේ සිටි කාලයේදී දයානුකම්පාවෙන් පෙලඹී මිනිසුන්ව සුව කළේ වැදගත් කාරණයක් කියා දීමටයි. එසේ කිරීමෙන් ඔහු පෙන්නුම් කළේ දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස තමන් පොළොව පාලනය කරන කාලයේදී කිසිම කෙනෙක් ලෙඩ දුක්වලින් පෙළෙන්නේ නැති බවයි. ඒ කාලයේදී ‘කිසිවෙකුවත්, මා ලෙඩින්යයි පවසන්නේ නැහැ’ කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—යෙසායා 33:24.
කොහොමවුණත් ක්‍රිස්තියානියයි කියාගන්නා අය ඇතුළු වෙනත් ආගම්වලට අයිති අයද අද දින සුව කිරීම් කරනවා. එවැනි “නොයෙක් බලවත් ක්‍රියා” කරන අයව තමා හෙළාදකින බව යේසුස් පැවසුවා. එවැනි අයට යේසුස් පවසන්නේ මෙයයි. “මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ! අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්න.” (මතෙව් 7:22, 23) එසේනම් දෙවිගේ බලයෙන් ලෙඩ සුව කරන බව මවාපාන අයට ඇත්තෙන්ම දෙවිගේ අනුමැතිය තිබෙනවා කියා පැවසිය හැකිද?
අද සිටින ඇතැමුන් සුව කිරීම් කරන ආකාරය සහ යේසුස් මිනිසුන්ව සුව කළ ආකාරය අතර විශාල වෙනසක් තිබෙනවා. එය සලකා බැලීමෙන් අද සුව කිරීම් කරන අය එසේ කරන්නේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන්ද කියා පැහැදිලිව වටහාගත හැකියි.
යේසුස් කිසිම අවස්ථාවක මිනිසුන්ව තමා වෙත ඇදගැනීමේ අරමුණින් සුව කිරීම් කළේ නැහැ. ඇතැම් අවස්ථාවලදී පොදු ජනයා එතරම් නොසිටි තැන්වල සිට ඔහු රෝගීන්ව සුව කළේ ඒ නිසයි. එමෙන්ම බොහෝ අවස්ථාවලදී ඔහුගෙන් සුවය ලැබූ රෝගීන්ට ඒ ගැන අන් අයට පවසන්න එපා කියාත් ඔහු පැවසුවා.—ලූක් 5:13, 14.
මිනිසුන්ව සුව කිරීමට යේසුස් කොයිම අවස්ථාවකදීවත් මුදල් අය කළේ නැහැ. (මතෙව් 10:8) එමෙන්ම සුවය පතා ඔහු වෙත පැමිණි රෝගීන් සුවය නොලබා නැවත හැරී ගියේද නැහැ. යේසුස් ලෙඩුන්ව සුව කළේ ඔවුන් තුළ දෙවි කෙරෙහි තිබුණු විශ්වාසයේ ප්‍රමාණය අනුව නොවෙයි. (ලූක් 6:19; යොහන් 5:5-9, 13) ඇත්තෙන්ම අවස්ථා කිහිපයකදීම ඔහු මිය ගිය අයට පවා නැවත ජීවිතය ලබා දුන්නා.—ලූක් 7:11-17; 8:40-56; යොහන් 11:38-44.
පොළොවේ සිටි කාලයේදී යේසුස් ලෙඩුන්ව සුව කළත් ඔහුගේ ප්‍රධානතම කාර්යය වූයේ දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මිනිසුන්ට දැනුම් දීමයි. සියලුම මිනිසුන්ට නිරෝගී ජීවිතයක් ලැබෙන්නේ දෙවිගේ රාජ්‍යය මාර්ගයෙන් පමණක් බව යේසුස් හොඳින්ම දැන සිටියා. එම රාජ්‍යය ගැන මිනිසුන්ට කියා දී ඔවුන්ව ගෝලයන් බවට පත් කිරීම සඳහා යේසුස් තම අනුගාමිකයන්ව පුහුණු කළේ ඒ නිසයි.—මතෙව් 28:19, 20.
කෙසේවෙතත් පළමු සියවසේ සිටි යේසුස්ගේ ඇතැම් අනුගාමිකයන්ට දෙවිගේ බලයේ උපකාරයෙන් නොයෙක් බලවත් ක්‍රියා කිරීමට හැකියාව තිබුණා. නමුත් කාලයත් සමඟම බලවත් ක්‍රියා කිරීමට දෙවි ඔහුගේ බලය ලබා දීම නතර කළා. (1 කොරින්ති 12:29, 30; 13:8, 13) ඒ අනුව සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැක්කේ ඔවුන් ලෙඩුන්ව සුව කරනවාද නැද්ද යන්න මත නොව ඔවුන් අතර සැබෑ ප්‍රේමය තිබෙනවාද යන කාරණය මතයි. (යොහන් 13:35) ඇත්තෙන්ම විවිධ ජාතීන්ට අයිති මිනිසුන්ව එකිනෙකාට ප්‍රේම කරන එක්සත් සෙනඟක් බවට පත් කිරීමට සුව කිරීම් කරන ආගම් සමත් වී නැහැ.
කොහොමවුණත් ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්සත් සෙනඟක් ලෙස දෙවිට නමස්කාර කරනවා. ඔවුන් අතර ජාති භේද, පන්ති භේද හෝ උස් පහත් භේද වැනි කිසිවක් නැහැ. සාක්ෂිකරුවන් අතර එවැනි එක්සත්කමක් තිබෙන්නේ දෙවිගේ බලය ඔවුන්ට ලැබෙන නිසයි. ඔවුන් එකිනෙකාට සැබවින්ම ප්‍රේම කරන නිසා ඉතිහාසයේ සිදු වී තිබෙන යුද්ධවලට ඔවුන් කොයි ලෙසකින්වත් සම්බන්ධ වී නැහැ. ලොව පුරා සිටින බොහෝ අය අතරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එකිනෙකාට සැබවින්ම ප්‍රේම කරන සෙනඟක් ලෙස ප්‍රසිද්ධ වී තිබෙනවා. එය සැබවින්ම අද්දැකීමට සාක්ෂිකරුවන් පවත්වන රැස්වීමකට සහභාගි වන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි.
[13වන පිටුවේ පින්තූරය]
දෙවිගේ බලයෙන් ලෙඩ සුව කරන බව මවාපාන අයට දෙවිගේ අනුමැතිය තිබෙනවා කියා පැවසිය හැකිද?