Skip to content

පටුනට යන්න

මහා හෙරොද් රජගේ පාලන සමය

මහා හෙරොද් රජගේ පාලන සමය

මහා හෙරොද් රජගේ පාලන සමය

යේසුස් ඉපදුණු කාලයේදී යුදය පාලනය කළේ මහා හෙරොද් රජයි. ළදරු වියේ සිටි යේසුස්ව ඝාතනය කිරීමට ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසා බෙත්ලෙහෙමේ සිටින සියලුම පිරිමි දරුවන්ව ඝාතනය කරන්න කියා ඔහු අණ කළා. එම සිදුවීම ඇතුළු “හෙරොද් රජුගේ කාලයේදී” සිදු වූ තවත් සිද්ධීන් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. එම තොරතුරු සොයා බැලීමෙන් යේසුස්ගේ කාලයේ පැවති තත්වය අවබෝධ කරගත හැකියි.—මතෙව් 2:1-16.

මහා හෙරොද් රජට යේසුස්ව ඝාතනය කිරීමට අවශ්‍ය වුණේ ඇයි? යේසුස් ඉපදුණු කාලයේ යුදෙව්වරුන්ව පාලනය කළේ රජ කෙනෙකු නම් යේසුස් මිය යන අවස්ථාවේදී පොන්තියුස් පිලාත් නම් ආණ්ඩුකාරයා යුදෙව්වන්ව පාලනය කළේ ඇයි? මහා හෙරොද් රජ ගැන ඉතිහාසයේ සඳහන් තොරතුරු සොයා බැලීම බයිබලය අධ්‍යයනය කරන අයට ඉතා වැදගත්. එමනිසා යේසුස්ගේ උපතට දශක කිහිපයකට පෙර සිදු වූ දේවල් ගැන අපි සලකා බලමු.

යුදයේ බල අරගලයක්

මහා ඇලෙක්සැන්ඩර් රජගේ අභාවයෙන් පසු ඔහුගේ රාජ්‍යය කොටස් හතරකට බෙදුණා. ඉන් එක් කොටසක් පාලනය කළේ සෙලුසිඩ් රාජ වංශයයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ මුල් අවදියේදී යුදය පාලනය කළේත් එම රාජ වංශයමයි. නමුත් ක්‍රිස්තු පූර්ව 168දී පමණ සෙලුසිඩ් රජ කෙනෙක් යෙරුසලමේ පිහිටි දේවමාලිගාවේ යෙහෝවා දෙවිට කළ නමස්කාරය නවත්වා එහි සියුස් දෙවිට නමස්කාර කිරීම ස්ථාපිත කිරීමට උත්සාහ කළා. ඒත් හස්මෝනියවරුන් [මකබිවරුන්] ලෙස හැඳින්වූ පවුලක් යුදෙව්වන් සමඟ එකතු වී මෙය නතර කළා. ඉන්පසු ක්‍රි.පූ. 142 සිට ක්‍රි.පූ. 63 දක්වා කාලය පුරා යුදය පාලනය කළේ හස්මෝනියවරුන් විසිනුයි.

ක්‍රිස්තු පූර්ව 66දී හස්මෝනිය සහෝදරයන් දෙදෙනෙක් වූ දෙවන හිර්කැනස් සහ ඇරිස්ටෝබුලස් අතර සිහසුන ලබාගැනීමට අරගලයක් ඇති වුණා. මෙහිදී සිවිල් යුද්ධ ඇති වූ අතර ඔවුන් දෙදෙනාම රෝම ජෙනරාල්වරයෙකු වූ පොම්පේගෙන් උපකාර පැතුවා. ඒ වන විට පොම්පේ සිටියේ සිරියාවෙයි. යුදයේ පාලනය තමන් අතට ගැනීමට මෙය හොඳ අවස්ථාවක් කියා සිතූ ඔහු ඊට මැදිහත් වුණා.

ඒ අවදියේදී රෝමවරුන් නැඟෙනහිර ප්‍රදේශය පුරා සිය අණසක පතුරවමින් සිටියා. එමෙන්ම කුඩා ආසියාවේ ප්‍රදේශ බොහොමයක් පාලනය කළේ රෝමයයි. සිරියාවේ සිටි පාලකයන්ගේ දුර්වලකම් නිසා රෝමවරුන් බලාපොරොත්තු වූ සාමය එහි තිබුණේ නැහැ. එමනිසා සිරියාවේ පාලනය තම අතට ගැනීමට පොම්පේ පියවර ගත්තා.

සිහසුන ලබාගැනීමට හස්මෝනිය කුමරුන් දෙදෙනා අතර තිබූ අරගලය විසඳීමට ඔහු කළේ ක්‍රි.පූ. 63දී යෙරුසලම වටලා හිර්කැනස්ව බලයට පත් කිරීමයි. ඔහු බලයට පත් වුණත් ස්වාධීනව පාලනය කිරීමට ඔහුට හැකි වුණේ නැහැ. ඔහු වැඩ කළ යුතුව තිබුණේ රෝම නීතිවලට යටත්වයි. රටේ අභ්‍යන්තර කටයුතු පාලනය කිරීමට ඔහුට බලය තිබුණත් විදේශ කටයුතුවලදී රෝම නීතිවලට යටත් වීමට ඔහුට සිදු වුණා. මේ ආකාරයට රෝමය ටිකෙන් ටික යෙරුසලම කෙරෙහි සිය අණසක පතුරවන්න පටන්ගත්තා.

මහා හෙරොද්ගේ සම්ප්‍රාප්තිය

හිර්කැනස් දුර්වල පාලකයෙක්. ඒ කාලයේදී ඒදොම් ජාතිකයෙකු වූ ඇන්ටිපාටර් හිර්කැනස්ගේ පාලන කටයුතුවලට උපකාර කළා. ඇන්ටිපාටර් කියන්නේ මහා හෙරෝද් රජුගේ පියාටයි. හිර්කැනස්ව බලයෙන් පහ කිරීමට ඇතැම් යුදෙව්වන් උත්සාහ කළත් ඇන්ටිපාටර් ඊට ඉඩ දුන්නේ නැහැ. කාලයාගේ ඇවෑමෙන් ඇන්ටිපාටර් යුදයේ පාලනය තම අතට ගත්තා. එමෙන්ම ඔහු ජූලියස් සීසර්ට ජයග්‍රහණ ලබාගැනීමට උපකාර කළ නිසා ඔහුව රෝමයේ ප්‍රධාන නියෝජිතයෙක් බවටත් පත් කළා. ඉන්පසුව ඇන්ටිපාටර් තම පුතුන් දෙදෙනා වූ ෆාසෙයිල්ව සහ හෙරොද්ව යෙරුසලමේ හා ගලීලයේ ආණ්ඩුකාරයන් ලෙස පත් කළා.

ඕනෑම දෙයක් කිරීමට රෝමයේ අනුමැතිය අත්‍යවශ්‍යයි යන කාරණය ඇන්ටිපාටර් තම පුතුන් දෙදෙනාට හොඳින් අවබෝධ කර දුන්නා. පියා කියා දුන් එම පාඩම හොඳින් සිතට ගත් හෙරොද් යුදෙව්වන්ගේ ඉල්ලීම් ඉටු කරන අතරේ රෝම අධිරාජ්‍යයේ ප්‍රසාදය දිනාගැනීමටත් වගබලා ගත්තා. වයස අවුරුදු 25දී ආණ්ඩුකාර පදවියට පත් හෙරොද් තම බලප්‍රදේශයේ සිටි කොල්ලකරුවන්ව තුරන් කිරීම නිසා ඔහුට යුදෙව්වන්ගේ පිළිගැනීමත් රෝමයේ ප්‍රසාදයත් හිමි වුණා. එමෙන්ම ඔහු දක්ෂ ජෙනරාල්වරයෙකු ලෙසත් දක්ෂ සංවිධායකයෙකු ලෙසත් කැපීපෙනුණා.

ක්‍රිස්තු පූර්ව 43දී ඇන්ටිපාටර් මිය ගියා. ඊට හේතුව ඔහුගේ සතුරන් ඔහුට වස දීමයි. එදා සිට ඔහුගේ පුත්‍රයා වූ හෙරොද් යුදයේ බලවත්ම තැනැත්තා බවට පත් වුණා. කොහොමවුණත් ඔහුටත් සතුරන් සිටියා. උදාහරණයකට යෙරුසලමේ සිටි රදල පැළැන්තියේ අය ඔහුව බලයෙන් පහ කරන්න කියා රෝමයෙන් ඉල්ලා සිටියා. ඒත් ඇන්ටිපාටර්ට රෝමය ගරු කළ නිසාත් හෙරොද්ගේ දක්ෂතා නිසාත් ඔහුව බලයෙන් පහ කරන්න රෝමය කැමති වුණේ නැහැ.

රජ බවට පත් වෙයි

පොම්පේ විසින් හිර්කැනස්ව බලයට පත් කිරීම ගැන ඇරිස්ටෝබුලස්ට සහයෝගය දැක්වූ අය සිටියේ කෝපයෙන්. ඒ නිසා ඔවුන් ක්‍රි.පූ. 40දී රෝමවරුන්ගේ සතුරන් වූ පාතියන්වරුන් සමඟ එකතු වී හිර්කැනස්ව බලයෙන් පහ කිරීමට සැලසුම් කළා. ඊට හොඳම අවස්ථාව රෝමයේ සිවිල් යුද්ධ පැවති කාලය බව තේරුම්ගත් ඔවුන් සිරියාව ආක්‍රමණය කර හිර්කැනස්ව බලයෙන් පහ කළා. ඉන්පසු ඒ වෙනුවට වෙනත් හස්මෝනිය ජාතිකයෙකුව පත් කළා.

පාතියන්වරුන් හා එක් වූ හස්මෝනියන්වරු මහා හෙරොද්ටත් විශාල තර්ජනයක් වුණා. ඒ නිසා ඔහු උපකාරය පතා රෝමයට පලා ගියා. පාතියන්වරුන්ව යුදයෙන් පන්නා දමා එම ප්‍රදේශය නැවත තමන් සතු කරගැනීමට රෝමයට අවශ්‍ය වුණා. නමුත් මේ කාර්යය කිරීමට නම් විශ්වාසවන්ත පුද්ගලයෙකුගේ නායකත්වය රෝමයට අවශ්‍යයි. ඊට සුදුසුම තැනැත්තා මහා හෙරොද් බව ඔවුන්ට හැඟුණ නිසා රෝම සෙනෙට් සභාව ඔහුව යුදයේ රජ ලෙස පත් කළා. මේ නිසා රෝමයට ගැතිකම් කරන්න ඔහුට සිදු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුව රජකමට පත් කළ දිනයේදී සෙනෙට් සභාවේ සිට ජුපිටර් දේවලය දක්වා පෙරහැරකින් ගොස් බොරු දෙවිවරුන්ට පූජා ඔප්පු කිරීමට ඔහුට සිදු වුණා.

රෝම හමුදාවේ උපකාරය ඇතුව මහා හෙරොද් රජ යුදා දේශයේ සිටි සතුරන්ව පරාජය කර බලය තමන් අතට ගත්තා. ඉන්පසු ඔහු තමාට විරුද්ධ වූ අයගෙන් කෲර ලෙස පළිගත්තා. එමෙන්ම හස්මෝනියවරුන් සහ ඔවුන්ට සහය දැක්වූ යුදෙව් රදල පැළැන්තියේ අයවත් ඔහු නිහඬ කළා. ඒ වගේම රෝමය විසින් පත් කරන ලද රජ කෙනෙක් ගැන යම් කෙනෙක් අකමැත්ත පළ කළා නම් ඔහුටත් මුහුණ දීමට සිදු වූයේ ඒ හා සමාන තත්වයකටයි.

බලයේ සිටීමට ගත් උත්සාහය

ක්‍රිස්තු පූර්ව 31දී මාර්ක් ඇන්තනිව පරදවා ඔක්ටේවියස් රෝමයේ පාලකයා බවට පත් වුණා. මහා හෙරොද් රජට කාලයක් පුරා මාර්ක් ඇන්තනි සමඟ මිත්‍රකමක් තිබුණ නිසා ඔක්ටේවියස්ට තමන් ගැනත් යම් සැකයක් ඇති වෙයි කියා ඔහු භය වුණා. ඒ නිසා ඔහු ඉක්මනින්ම රෝමයේ නව පාලකයා වූ ඔක්ටේවියස්ගේ සිත දිනාගැනීමට කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔක්ටේවියස් ඔහුව යුදයේ රජු ලෙස පිළිගෙන ඔහුගේ බලප්‍රදේශයද විශාල කළා.

මහා හෙරොද් රජගේ පාලන සමයේදී ඔහු සිය රාජ්‍යය ශක්තිමත් කරමින් එය දියුණු කළ අතර යෙරුසලම පුරා ග්‍රීක සංස්කෘතියද ව්‍යාප්ත කළා. ඔහු කළ ඉදි කිරීමේ ව්‍යාපෘති ඇත්තෙන්ම අතිවිශිෂ්ටයි. ඔහු මාලිගා ගොඩනැඟූ අතර සිසේරිය නගරයේ විශාල වරායක්ද ඉදි කළා. ඊට අමතරව ඔහු යෙරුසලමේ තිබූ දේවමාලිගාවද අලුත්වැඩියා කළා. ඔහුගේ මූලික අරමුණ වූයේ රෝමයේ ප්‍රසාදය දිනාගැනීමයි.

මහා හෙරොද් රජ යුදය පුරාම සිය අණසක පැතිරුවා. ඒ නිසා ඔහු සිය බලතල යොදාගෙන සමහර දේවල් තමන්ට කැමති ලෙස කිරීමටද පටන්ගත්තා. උදාහරණයකට උත්තම පූජකයන් ලෙස සේවය කිරීමට ඔහු කැමති අයව පත් කළා.

ඊර්ෂ්‍යාව සහ මිනී මැරීම

බලය සහ කීර්තිය වැඩි වෙත්ම රජුගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නත් වැඩි වුණා. ඔහුට භාර්යාවන් දසදෙනෙක් සිටි අතර ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට අවශ්‍ය වුණේ තමන්ගේම දරුවෙකුව හෙරොද්ගෙන් පසුව රජකමට පත් කරන්නයි. තමන්ගේම පවුලේ අය තමාට විරුද්ධව කුමන්ත්‍රණය කරයි කියා ඔහු තුළ සැකයක් ඇති වුණා. ඒ හේතුව නිසාත් බලයට තිබූ කෑදරකම නිසාත් ඔහු වැඩියෙන්ම ආදරය කළ භාර්යාව වූ මැරියම්ව සහ ඇගේ පුතුන් දෙදෙනාවත් ඝාතනය කළා. ඉන් පැහැදිලි වෙන්නේ බලතණ්හාවෙන් සිටි මහා හෙරොද් කෲර පුද්ගලයෙක් බවයි. ඒ අනුව බෙත්ලෙහෙමේ පිරිමි දරුවන් ඝාතනය කිරීම සම්බන්ධ වාර්තාව සැබෑවක් බව පැහැදිලියි. යම් කෙනෙක් තමන්ගේ පාලනයට තර්ජනයක් නම් ඒ පුද්ගලයාව ඝාතනය කිරීමට ඔහු දෙවරක් සිතුවේ නැහැ.

තමන් මිය ගිය දාට යුදෙව්වන් ප්‍රීති වෙයි කියා මහා හෙරොද් රජ සිතූ බවත් ඒ නිසා ඔහුගේ මරණය සියලුදෙනාටම ශෝක දිනයක් කිරීමට ඔහුට අවශ්‍ය වූ බවත් සමහරුන්ගේ මතයයි. ඒ නිසා ඔහු සැලැස්මක් යෙදුවා. එම සැලැස්මට අනුව යුදෙව්වන් අතර සිටි ප්‍රසිද්ධ පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන තමා මිය ගිය දාට ඔවුන්වත් ඝාතනය කරන්න කියා නියෝග කළා. එසේ කිරීමෙන් සියලුම යුදෙව්වන් ශෝක වෙයි කියා ඔහු සිතුවා. නමුත් ඒ සැලැස්ම ක්‍රියාත්මක වුණේ නැහැ.

රජුගේ මරණින් පසු

මහා හෙරොද් රජ මිය ගිය පසු රෝමය ඔහුගේ පුත්‍රයා වූ ආකෙලාවුස්ව යුදයේ ආණ්ඩුකාරයා ලෙස පත් කළා. මෙය කළේ රෝම පාලකයන් විසිනුයි. එමෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනා වූ හෙරොද් අන්තිපස්ව සහ ෆිලිප්ව දේශාධිපතීන් ලෙස පත් කළා. හෙරොද් අන්තිපස් ගලීලය සහ පෙරයාව භාරව සිටි අතර ෆිලිප් ඉතුරය සහ ට්‍රකොනීටස් ප්‍රදේශය භාරව සිටියා. දශකයක් පුරා ආකෙලාවුස් ගෙන ගිය අසාර්ථක පාලනය නිසා ඔහු වෙනුවට පොන්තියුස් පිලාත්ව යුදයේ ආණ්ඩුකාරයා බවට පත් කරන්න රෝමය තීරණය කළා. කොහොමවුණත් හෙරොද් අන්තිපස් සහ ෆිලිප් දිගටම තමන්ට භාර දුන් ප්‍රදේශවල දේශාධිපතීන් ලෙස සේවය කළා. යේසුස් සිය දේවසේවය පටන්ගත් අවදියේදී පැවති දේශපාලනික වාතාවරණය එයයි.—ලූක් 3:1.

මහා හෙරොද් රජ කැපී පෙනෙන දේශපාලන නායකයෙක් වුණත් ඔහු කෲර මිනී මරුවෙක්. ඒ බව බිලිඳු යේසුස්ව ඝාතනය කිරීමට සැලසුම් කිරීමෙන් පැහැදිලි වෙනවා. මහා හෙරොද් සම්බන්ධ ඉතිහාස වාර්තා සලකා බැලීමෙන් යේසුස්ගේ උපතට පෙර පැවති දේශපාලන තත්වය තේරුම්ගැනීමට හැකි වෙනවා. එමෙන්ම රෝමවරුන් යුදෙව්වන්ගේ පාලකයන් බවට පත් වුණේ කෙසේද කියාත් ඉන් අනාවරණය වෙනවා. ඊට අමතරව යේසුස්ගේ උපතේ සිට ඔහුගේ දේවසේවා කාලය දක්වා පැවති දේශපාලන වාතාවරණය තේරුම්ගැනීමටත් එය මහඟු උපකාරයක්.

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මහා හෙරොද්ගේ කාලයේදී පලස්තීනය හා ඒ අවට ප්‍රදේශය

සිරියාව

ඉතුරය

ගලීලය

ට්‍රකොනීටස්

ගලීල මුහුද

යොර්දාන් ගඟ

සිසේරිය

සමාරිය

පෙරයාව

යෙරුසලම

බෙත්ලෙහෙම

යුදය

ලුණු මුහුද

ඒදොම්

[13වන පිටුවේ පින්තූර]

යේසුස්ගේ උපතට සියවස් දෙකකට පෙර සිටම විවිධ රජවරුන් යුදය පාලනය කර තිබෙනවා. මහා හෙරොද් ඉන් කෙනෙක්