මළ භාෂාවක නොමියෙන සටහන
මළ භාෂාවක නොමියෙන සටහන
පසුගිය සියවස් කිහිපය ඇතුළත මේ ලෝකයේ පැවති භාෂාවන්ගෙන් අඩක්ම පාහේ පහවී ගොස් තිබෙනවා. භාෂාවක් පැවැත්මෙන් තොර වන්නේ එය මුලින්ම කතා කළ ජන කොටස හෝ ජාතිය පහව යනවාත් සමඟයි. ලතින් භාෂාවද එසේමයි. එය වතිකානුවේ නිල භාෂාව වුණත් එහිදී එය පුළුල් ලෙස අධ්‍යයනය කළත් එය සැලකෙන්නේ “මළ භාෂාවක්” හැටියටයි.
බයිබලය මුලින්ම පරිවර්තනය කර ඇති භාෂා අතරින් එකක් වන්නේද ලතින් භාෂාවයි. එවැනි පරිවර්තනයකින් අද සිටින පාඨකයන්ට ප්‍රයෝජනයක් තිබෙනවාද? එම පරිවර්තනය පිළිබඳ උනන්දුමත් තොරතුරු අඩංගු ඉතිහාසය ගැන සලකා බැලීමෙන් ඊට පිළිතුරු සොයාගත හැකියි.
පැරණිතම ලතින් පරිවර්තන
ලතින් භාෂාව රෝමයේ මුල් භාෂාවයි. නමුත් පාවුල් එහි සිටි ක්‍රිස්තියානීන්ට තම ලිපිය ලිව්වේ ග්‍රීක බසිනුයි. * රෝමයේ සිටි ජනයා මේ භාෂා දෙකම කතා කළ නිසා එය ඔවුන්ට ගැටලුවක් වුණේ නැහැ. රෝමයට ග්‍රීක බස කතා කරන බොහෝදෙනා පැමිණීම හේතුවෙන් එහි ප්‍රධාන භාෂාව ග්‍රීක වෙයි කියා බොහෝදෙනා සිතුවා. කෙසේනමුත් රෝම අධිරාජ්‍යයට අයත් පළාත්වල ජනයා කතා කළ භාෂාවන් විවිධයි. නමුත් එම අධිරාජ්‍යය ව්‍යාප්ත වෙනවාත් සමඟම ලතින් භාෂාවද වැඩි වැඩියෙන් භාවිත වෙන්න පටන්ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රීක භාෂාවෙන් ලතින් භාෂාවට ශුද්ධ ලියවිලි පරිවර්තනය කළා. එය ආරම්භ වුණේ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ උතුරු අප්‍රිකාවේ බව පෙනෙන්න තිබෙනවා.
මුලින්ම ලතින් භාෂාවට පරිවර්තනය කළ බයිබලයේ කොටස් හඳුන්වන්නේ පැරණි ලතින් අනුවාදය ලෙසයි. කෙසේනමුත් සම්පූර්ණයෙන්ම ලතින් භාෂාවට පරිවර්තනය කළ පැරණි බයිබල් පිටපතක් අද දින සොයාගැනීමට නැහැ. නමුත් මේ දක්වා ආරක්ෂා වී තිබෙන එහි කොටස්වලින් හා පුරාණ ලේඛකයන් උපුටාගෙන තිබෙන කොටස්වලින් පැහැදිලි වන්නේ පැරණි ලතින් අනුවාදය තනි පොතක් ලෙස නොතිබුණු බවයි. ඒ වෙනුවට එය විවිධ කාලවල සිටි විවිධ පුද්ගලයන් විසින් තනි තනිවම කළ පරිවර්තනවල එකතුවක්.
පුද්ගලයන් තනි තනිවම ශුද්ධ ලියවිලි ලතින් භාෂාවට පරිවර්තනය කිරීම නිසා මහත් ව්‍යාකූලත්වයක් හටගත්තා. ඒ ගැන ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ අගභාගයේ සිටි ඔගස්ටීන් නමැති පුද්ගලයා මෙසේ පැවසුවා. ‘ග්‍රීක ශුද්ධ ලියවිලි සතුව සිටි සෑම කෙනෙක්ම සිතුවේ ඒවා ලතින් භාෂාවට පරිවර්තනය කිරීමේ බාරදූර කාර්යය තමන්ට කළ හැකි බවයි.’ විවිධ ලතින් පරිවර්තනයන් බොහොමයක් භාවිතයේ තිබෙන නිසා ඔගස්ටීන් ඇතුළු තවත් අයට ඒවායේ නිවැරදිභාවය ගැන සැක මතු වුණා.
ජෙරොම්ගේ අනුවාදය
ඉහත කී පරිවර්තන ව්‍යාකූලත්වය විසඳීමට පියවර ගත්තේ ජෙරොම්. ඔහුව ක්‍රි.ව. 382දී රෝමයේ බිෂොප්වරයා වූ ඩමේසස්ගේ ලේකම් ලෙස පත් කළ අතර ලතින් භාෂාවෙන් පරිවර්තනය කර තිබූ සුවිශේෂ පොත් සංශෝධනය කිරීමට බිෂොප්වරයා ඔහුගෙන් ඉල්ලා සිටියා. ඔහු එය වසර කිහිපයකින් නිම කළ අතර පසුව ලතින් භාෂාවෙන් පරිවර්තනය කර තිබූ අනෙකුත් බයිබල් පොත් සංශෝධනය කරන්න පටන්ගත්තා.
ඔහුගේ පරිවර්තනය වල්ගේට් නමින් හැඳින්වූ අතර ඒ සඳහා ඔහු වෙනත් බොහෝ මූලාශ්‍ර යොදාගත්තා. උදාහරණයකට ඔහු ගීතාවලිය පොත සඳහා යොදාගත්තේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ කරන ලද සෙප්ටුඅජින්ට් නම් ග්‍රීක පරිවර්තනයයි. ඔහු සුවිශේෂ පොත් සංශෝධනය කළා පමණක් නොව මුල් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ සැලකිය යුතු
ප්‍රමාණයක්ද පරිවර්තනය කළා. එමෙන්ම වෙනත් අය වල්ගේට් බයිබලයේ අනෙකුත් කොටස් සංශෝධනය කරන්න ඇති. පසුව පැරණි ලතින් අනුවාදයේ සමහර කොටස්ද ජෙරොම්ගේ වල්ගේට් බයිබලයට එකතු කළා.කෙසේනමුත් ජෙරොම්ගේ එම පරිවර්තනයට මුලදී නම් එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඔගස්ටීන් පවා එය විවේචනය කළා. ඒ වුණත් සියලුම ශුද්ධ ලියවිලි කොටස් අඩංගු තනි පොතක් හැටියට මුලින්ම සැලකුවේ ඔහු පරිවර්තනය කළ මෙම බයිබලයයි. පසුව ජෙරොම්ගේ බයිබලය බොහෝ වාර ගණනක් පිටපත් කිරීමේදී යම් දෝෂ සිදු වූ අතර අටවන සහ නවවන සියවස් වන විට ඇල්කුයින් හා තියොඩල්ෆ් යන විශාරදයන් ඒවා නිවැරදි කළා. තවත් අය බයිබල් පද සොයාගැනීම පහසු කරවීම සඳහා බයිබලයේ පොත් පරිච්ඡේදවලට වෙන් කළා. එමෙන්ම චල අකුරු මුද්‍රණ ක්‍රමය සොයාගත් පසු මුලින්ම මුද්‍රණය කළේ ජෙරොම්ගේ වල්ගේට් බයිබලයයි.
ජෙරොම්ගේ අනුවාදය වල්ගේට් යන නමින් මුල් වරට හැඳින්වූයේ 1546දී කතෝලික සභාව පැවැත්වූ සම්මන්ත්‍රණයකදීයි. එහිදී ජෙරොම්ගේ පරිවර්තනය කතෝලික සභාවේ සම්මත බයිබලය ලෙස ප්‍රකාශයට පත් කළා. එමෙන්ම එම බයිබලය සංශෝධනය කළ යුතු බවටත් තීරණය කළා. එය අධීක්ෂණය කළ යුතුව තිබුණේ විශේෂ කමිටුවක් මගිනුයි. නමුත් පස්වන සික්ස්ටස් පාප්වරයාට එය ඉක්මනින් අවසන් වෙනවා දැකීමට තිබූ නොඉවසිලිවන්තකම නිසාත් ඔහුගේම හැකියාවන් ගැන ඔහු ඕනෑවට වඩා සිතීම නිසාත් ඔහුම ඒ කාර්යය කරන්න පටන්ගත්තා. කෙසේනමුත් 1590දී සංශෝධිත පිටපතේ මුද්‍රණය ආරම්භ කළ කාලයේදීම වගේ පාප්වරයා මිය ගියා. එවිට එම පිටපත දෝෂවලින් පිරුණු එකක්
සේ සැලකූ කාදිනල්වරුන් වහාම එය භාවිතයෙන් ඉවත් කළා.පසුව 1592දී අටවන ක්ලෙමන්ට් පාප්වරයා විසින් එහි නව අනුවාදයක් ප්‍රකාශයට පත් කළ අතර පසුව එය සික්ස්ටීන් ක්ලෙමන්ටීන් සංස්කරණය ලෙස හැඳින්වූවා. එමෙන්ම එය කතෝලික සභාවේ සම්මත බයිබලය ලෙස යම් කාලයක් දක්වා පැවතුණා. කතෝලික සභාව විසින් බයිබලය වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමේදී මූලික පදනම ලෙස යොදාගත්තේ සික්ස්ටීන් ක්ලෙමන්ටීන් වල්ගේට් බයිබලයයි. උදාහරණයකට 1781දී ඇන්ටෝනියෝ මාටිනී ඉතාලි භාෂාවට බයිබලය පරිවර්තනය කළේ මෙය යොදාගෙනයි.
නවීන භාෂාවෙන් ලතින් බයිබලයක්
අනෙකුත් අනුවාදයන් මෙන් වල්ගේට් පරිවර්තනයේද යම් සංශෝධනයන් කළ යුතු බව විසිවන සියවසේදී තීරණය කළා. ඒ සඳහා 1965දී කතෝලික සභාව විසින් කොමිසමක් පිහිටෙවූ අතර නවීන භාෂාවට අනුව නව වල්ගේට් පරිවර්තනයක් කිරීමට ඔවුන් මෙම කොමිසමට පැවරුවා. එය ලතින් භාෂාවෙන් පූජා පවත්වන විට භාවිත කිරීමට නියමිතව තිබුණා.
පරිවර්තනය කරන ලද එහි පළමු කොටස 1969දී එළිදැක්වූවා. නොවා වල්ගේටා ලෙස හැඳින්වූ එම බයිබලය 1979දී දෙවන ජුවාම් පාවුලු පාප්වරයා විසින් අනුමත කළා. එහි පළමු සංස්කරණයෙහි නික්මයාම 3:15 හා 6:3 යන ස්ථාන ඇතුළු තවත් ස්ථාන ගණනාවකම දෙවිගේ නම යාවේ ලෙස සඳහන්ව තිබුණා. ඉන්පසුව එම කමිටුවේ එක් සාමාජිකයෙකු විසින් 1986දී කළ දෙවන සංස්කරණයෙන් දෙවිගේ නම ඉවත් කළා. ඒ ගැන ඔවුන් මෙසේ පැවසුවා. ‘දෙවිගේ නාමය ඇතුළත් කිරීම ගැන අපි කනගාටු වෙනවා. දැන් අපි යාවේ යන නම වෙනුවට ස්වාමීන් කියා යොදා තිබෙනවා.’
ශතවර්ෂ කිහිපයකට පෙර ජෙරොම්ගේ වල්ගේට් බයිබලය විවේචනය කළ ලෙසම නොවා වල්ගේටා බයිබලයද කතෝලික විශාරදයන් පවා විවේචනයට ලක් කළා. මෙම බයිබලය ක්‍රිස්තියානියයි කියාගන්නා සියලුම ආගම්වල ඇති ඉගැන්වීම්වලට එකඟයි කියා ඔවුන්
සිතුවා. එමෙන්ම අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් බයිබලය පරිවර්තනය කිරීමේදී මූලික පදනම ලෙස මෙම බයිබලය යොදාගත යුතු බව කතෝලික සභාව පැවසුවා. නමුත් බොහෝදෙනා එය ප්‍රතික්ෂේප කළා. ජර්මනියේද එය මතභේදයට තුඩු දුන් කරුණක් වුණා. එනම් ප්‍රොතෙස්තන්ත හා කතෝලික යන දෙපිරිසටම ගැළපෙන ආකාරයෙන් සංශෝධිත බයිබලයක් සකස් කිරීමේදී මූලික පදනම හැටියට නොවා වල්ගේටා බයිබලය යොදාගන්න කියා කතෝලික සභාව බල කරන බව ප්‍රොතෙස්තන්ත සභාව කියා සිටියා.අද ලතින් භාෂාව පොදුවේ කතා නොකළත් ලතින් භාෂාවෙන් තිබෙන බයිබලය මිලියන ගණන්දෙනාගේ ජීවිතවලට බලපා තිබෙනවා. බොහෝ ආගම්වල භාවිත කරන විශේෂ යෙදුම් ආරම්භ වී ඇත්තේ එයිනුයි. දේවවචනය වන බයිබලය ලියැවී ඇති භාෂාව කුමක් වුවත් එය කියවා එහි ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වන මිලියන ගණනකගේ ජීවිත යහමඟට ගෙන ඒමට තරම් ඊට බලයක් තිබෙනවා.—හෙබ්‍රෙව් 4:12.
[පාදසටහන]
^ 5 ඡේ. ශුද්ධ ලියවිලි ග්‍රීක භාෂාවෙන් ලිවීමට හේතුව දැනගැනීම සඳහා 13වන පිටුවේ ඇති “ඔබ දැන සිටියාද” යන ලිපිය බලන්න.
[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දෙවිගේ නම “යාවේ” කියා ඇති නොවා වල්ගේටා බයිබලයට IIවන ජුවාම් පාවුලු පාප්වරයාගේ අනුමැතිය ලැබුණා
[21වන පිටුවේ කොටුව]
පදනම සැපයූ පරිවර්තන
වර්තමානයේ බොහෝ බයිබල් පරිවර්තනවල භාවිත කරන වචන බොහොමයක් පැරණි ලතින් අනුවාදයෙන් ගත් ඒවායි.
[23වන පිටුවේ කොටුව]
මතභේදයට තුඩු දුන් තීරණයක්
වතිකානුව රෝමානු කතෝලික සභාවේ වන්දනා පිළිවෙත් පිළිබඳ නීති සංග්‍රහය 2001දී මුදාහැරියේ වසර හතරක් පුරා සංශෝධනය කිරීමෙන් පසුවයි. නමුත් කතෝලික විශාරදයන් එය දැඩි ලෙස විවේචනය කළා.
වතිකානුවේ සම්මත බයිබලය ලෙස සලකන්නේ නොවා වල්ගේටා අනුවාදය නිසා එහි සමහර කොටස් බයිබලයේ මුල් පිටපත්වල ඇති අදහසට එකඟ නැති වුණත් වෙනත් බයිබල් පරිවර්තන සඳහා එය භාවිත කළ යුතු බව එම නීති සංග්‍රහයේ සඳහන් කර තිබෙනවා. එය කතෝලික සභාවට අයිති එකක් ලෙස සලකන්නේ එවිට පමණක් බවද එහි සඳහන් වුණා. “ටෙට්‍රග්‍රැමටනය, එනම් හෙබ්‍රෙව් අකුරු හතර මගින් (YHWH) සඳහන් කර ඇති දෙවිගේ නාමය වෙනත් ඕනෑම භාෂාවකට පරිවර්තනය කරන විට” නොවා වල්ගේටාහි දෙවන අනුවාදයේ පරිවර්තනය කර ඇති ආකාරයෙන්ම “ස්වාමීන්” කියා පරිවර්තනය කළ යුතු බව එම නීති සංග්‍රහයේ සඳහන් කර තිබුණා. නමුත් එහි පළමු අනුවාදයේ දෙවිගේ නාමය පරිවර්තනය කර තිබුණේ “ඉයාවේ” ලෙසයි. *
[පාදසටහන]
^ 29 ඡේ. “වතිකානුව දෙවිගේ නම ඉවත් කරයි” නමැති 30වන පිටුවෙහි තිබෙන ලිපිය බලන්න.
[22වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තු වර්ෂ 800දී ඇල්කුයින් සංස්කරණය කරන ලද ලතින් බයිබලය
[හිමිකම් විස්තර]
From Paléographìe latine, by F. Steffens (www.archivi.beniculturali.it)
[22වන පිටුවේ පින්තූර]
සික්ස්ටීන්-ක්ලෙමන්ටීන් වල්ගේට් බයිබලය (1592)
[23වන පිටුවේ පින්තූර]
නොවා වල්ගේටාහි නික්මයාම 3:15 (1979)
[හිමිකම් විස්තර]
© 2008 Libreria Editrice Vaticana