Skip to content

පටුනට යන්න

දෙවි සවන් දෙන යාච්ඤා

දෙවි සවන් දෙන යාච්ඤා

යේසුස්ගෙන් ඉගෙනගනිමු

දෙවි සවන් දෙන යාච්ඤා

යේසුස් බොහෝ අවස්ථාවලදී නිස්කලංක තැන්වලට ගොස් යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඔහුගේ එම ආදර්ශය අනුගමනය කරන්න කියා යේසුස් තම ගෝලයන්ටත් පැවසුවා. එක් අවස්ථාවකදී යේසුස් යාච්ඤා කර නිම වූ විට, ඔහුගේ ගෝලයෙක් ඔහුට මෙසේ පැවසුවා. “ස්වාමිනි, යාච්ඤා කරන්නේ කෙසේද කියා අපටත් උගන්වන්න.” ඒ අවස්ථාවේ යේසුස් පැවසුවේ මෙයයි. “ඔබ යාච්ඤා කරන විට මෙසේ කියන්න. පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා.” (ලූක් 5:16; 11:1, 2) යේසුස් එයින් පෙන්නුම් කළේ අපි යෙහෝවා දෙවිට පමණක් යාච්ඤා කළ යුතු බවයි. ඊට හේතුව යෙහෝවා දෙවි ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ වීමයි.—ගීතාවලිය 65:2, නව ලොව පරිවර්තනය.

සියලුම යාච්ඤාවලට දෙවි සවන් දෙනවාද?

කටපාඩමින් කරන යාච්ඤාවලට දෙවි සවන් දෙන්නේ නැහැ. “යාච්ඤා කරන විට එකම දේ නැවත නැවතත් නොකියන්න” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙව් 6:7) අපේ හදවතට නැඟෙන අදහස් අවංකව දෙවිට යාච්ඤාවෙන් ප්‍රකාශ කරන විට ඔහු ඒවාට සවන් දෙනවා. එක් අවස්ථාවකදී යේසුස් තම ගෝලයන්ට පැවසුවේ ආගමික චාරිත්‍ර අකුරටම පිළිපදින උඩගු පුද්ගලයෙකුගේ යාච්ඤාවලට වඩා වැරදි නිවැරදි කරගැනීමට උත්සාහ කරන පව්කාරයෙකුගේ යාච්ඤාවලට දෙවි සවන් දෙන බවයි. (ලූක් 18:10-14) අපේ යාච්ඤාවලටත් දෙවි සවන් දෙන්නේ අපි නිහතමානීව ඔහුට කීකරු වුණොත් පමණයි. යේසුස් පවා එසේ කටයුතු කළා. ‘පියාණන් මට ඉගැන්වූ ලෙසම මා මේ දේවල් කියන බවත් මා සැමවිටම ඔහුට ප්‍රසන්න දේවල් කරන’ බවත් යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහන් 8:28, 29) ඔහු යාච්ඤා කරමින් දෙවිට පැවසුවේ “මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා” කියායි.—ලූක් 22:42.

අප යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද?

“ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා” කියා යාච්ඤා කිරීමට යේසුස් තම ගෝලයන්ව දිරිගැන්වූවා. ඔහු එසේ පැවසුවේ දෙවිගේ නාමයට නින්දාවක් ඇති වී තිබෙන නිසයි. එමෙන්ම “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යාච්ඤා කරන්න කියාද යේසුස් තම ගෝලයන්ට පැවසුවා. (මතෙව් 6:9, 10) ඔහු එසේ දිරිගැන්වූයේ ස්වර්ගය සහ පොළොව සම්බන්ධයෙන් යෙහෝවා දෙවි අරමුණු කර ඇති දේවල් දේවරාජ්‍යය මාර්ගයෙන් ඉටු වීමට නියමිත නිසයි. ඊට අමතරව අපට දිනපතා අවශ්‍ය ආහාර, රැකියා අවශ්‍යතා, නවාතැන්, ඇඳුම් පැළඳුම්, යහපත් සෞඛ්‍යයක් ඇතුළු වෙනත් කාරණා ගැනත් යාච්ඤා කළ හැකියි. එමෙන්ම අපි කරන වැරදිවලට දෙවිගෙන් සමාව ඉල්ලිය යුතු බවත් යේසුස් පැවසුවා.—ලූක් 11:3, 4.

අප අන් අය වෙනුවෙන් යාච්ඤා කළ යුතුද?

යේසුස් අන් අය වෙනුවෙන් යාච්ඤා කළා. ඒ නිසා ඇතැම් දෙමාපියන් යේසුස් ලවා යාච්ඤා කරවාගැනීමට කුඩා දරුවන්ව ඔහු වෙතට ගෙන ආවා. (මතෙව් 19:13) යේසුස් ඔහුගේ ගෝලයෙකු වූ පේතෘස් වෙනුවෙන්ද යාච්ඤා කළා. ඒ නිසයි “ඔබේ ඇදහිල්ල සම්පූර්ණයෙන්ම නැති නොවන පිණිස මා ඔබ වෙනුවෙන් අයැද තිබේ” කියා යේසුස් පැවසුවේ. (ලූක් 22:32) තමන්ට පීඩා කළ සහ අපහාස කළ අය වෙනුවෙන් පවා යාච්ඤා කිරීමට යේසුස් තම ගෝලයන්ව දිරිගැන්වූවා.—මතෙව් 5:44; ලූක් 6:28.

අප නොකඩවා යාච්ඤා කළ යුත්තේ ඇයි?

යේසුස් යාච්ඤා කිරීමට කාලය වෙන් කළා. එමෙන්ම ඔහු තම ගෝලයන්ව දිරිගැන්වූයේ “උත්සාහය අත් නොහැර” යාච්ඤා කරන්න කියායි. (ලූක් 18:1) යම් කාරණා ගැන අපි දිගින් දිගටම යාච්ඤා කරනවාට දෙවි කැමතියි. යේසුස් පවා පැවසුවේ “නොකඩවා ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ” කියායි. දෙවි කිසිම දිනක අපේ යාච්ඤා නොසලකා හරින්නේ නැහැ. එය තහවුරු කරමින් යේසුස් මෙසේ පැවසුවා. ‘ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් තම බලය දෙනු ඇද්ද?’—ලූක් 11:5-13.

වැඩි විස්තර දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 17වන පරිච්ඡේදය බලන්න. *

[පාදසටහන]

^ 12 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.