Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

Skip to content

පටුනට යන්න

මුල් ක්‍රිස්තියානීන් සහ ලේඛන කටයුතු

මුල් ක්‍රිස්තියානීන් සහ ලේඛන කටයුතු

මුල් ක්‍රිස්තියානීන් සහ ලේඛන කටයුතු

සියවස් ගණනාවක සිට බොහෝදෙනෙක් ශුද්ධ බයිබලයේ අලුත් ගිවිසුම කියවීමට සහ අධ්‍යයනය කිරීමට විශාල කාලයක් වැය කර තිබෙනවා. හරි වැරැද්ද අතර ඇති වෙනස පැහැදිලිව හඳුනාගන්නත් නොයෙකුත් කෘති හා කලා නිර්මාණ බිහි කිරීමටත් ශුද්ධ බයිබලය බෙහෙවින් දායක වී තිබෙනවා. මේ සියල්ලටම වඩා දෙවි ගැනත් යේසුස් ගැනත් සත්‍යය ඉගෙනගැනීමට මිලියන ගණන් මිනිසුන්ට උපකාරවත් වී තිබෙන්නේද බයිබලයයි.—යොහන් 17:3.

අලුත් ගිවිසුමට අයත් සුවිශේෂ පොත් හතර ඇතුළු අනිකුත් පොත් ලියනු ලැබුවේ යේසුස් මිය ගොස් යම් කලක් ගත වූවාට පසුවයි. උදාහරණයකට මතෙව් ඔහුගේ පොත ලියන විට යේසුස් මිය ගොස් වසර හතක් හෝ අටක් ගත වී තිබෙන්න ඇති. එමෙන්ම යොහන් ඔහුගේ පොත ලියනු ලැබුවේ යේසුස්ගේ මරණයෙන් වසර 65කට පමණ පසුවයි. නමුත් යේසුස් කළ කී දේවල් ඉතා නිවැරදිව වාර්තා කිරීමට ඔවුන්ට හැකි වූයේ කෙසේද? ඒ සඳහා දෙවිගේ බලය ඔවුන්ට උපකාරවත් වූ බවට කිසිම සැකයක් නැහැ.—යොහන් 14:16, 26.

යේසුස්ගේ ගෝලයන් අකුරු දැන සිටියාද?

යේසුස්ගේ ඉගැන්වීම් හා ඔහු කළ දේවල් ඔහුගේ ගෝලයන් ලේඛනගත නොකළ බවත් එම තොරතුරු පැතිර ගියේ කටින් කට පමණක් බවත් සමහරුන් විශ්වාස කරනවා. උදාහරණයකට බයිබල් විශාරදයෙක් මෙවැනි අදහසක් පැවසුවා. “යේසුස් දේශනා කළ දේවල් ලේඛනගත කළේ ඔහුගේ මරණයෙන් දශක ගණනාවකට පසුවයි. මේ කාලය අතරතුර කෙනෙක් යේසුස් ගැන දැනගෙන සිටියා නම් එසේ වුණේ කටින් කට ආ තොරතුරුවලිනුයි.” තවත් පර්යේෂකයන් පවසන්නේ යේසුස්ගේ ගෝලයන්ට “අකුරු ලිවීමේ හැකියාව නොතිබුණු” බවයි. * එමෙන්ම යේසුස්ගේ සේවය හා සම්බන්ධ සිදුවීම් කාලයක් පුරා කටින් කට යෑමේ ප්‍රතිඵලයක් ලෙස ඊට අමතර තොරතුරු එකතු වූ බවත් අවසානයේදී අසත්‍ය වාර්තා බිහි වූ බවත් ඔවුන් තවදුරටත් පවසනවා.

යේසුස්ගේ කාලයේ සිටි යුදෙව් ආගම ඉගැන්වූ ගුරුවරුන් යම් දේවල් මතක තබාගැනීමට තොරතුරු කටපාඩම් කළා. එමගින් තොරතුරුවල නිරවද්‍යතාව ආරක්ෂා කරගැනීමට ඔවුන්ට හැකි වුණා. යේසුස්ගේ ගෝලයන්ද මේ ක්‍රමයම අනුගමනය කරන්න ඇති කියා ඇතැම් විශාරදයන් පවසනවා. නමුත් යේසුස්ගේ ගෝලයන් ප්‍රයෝජන ගත්තේ කටින් කට ආ තොරතුරුවලින් පමණද? මේ සම්බන්ධයෙන් අපිට නිශ්චිතවම යමක් පැවසිය නොහැකියි. නමුත් යේසුස්ගේ ගෝලයන් ඔහුගේ ඉගැන්වීම් ලේඛනගත කළ බව සිතීමට යම් හේතු තිබෙනවා.

එදිනෙදා කටයුතුවලදී අකුරු භාවිතය

භාෂා විශාරදයෙකු වන ඇලන් මිලර්ඩ් මෙවැනි දෙයක් පැවසුවා. “යේසුස්ගේ කාලයේ සිටි අය ග්‍රීක, අරාමීය සහ හෙබ්‍රෙව් යන භාෂා කියවීමට සහ ලිවීමට දැනගෙන සිටියා. යේසුස් සේවය කළේ එවැනි පරිසරයකයි.”

විශාරද මිලර්ඩ් තවදුරටත් මෙසේ පවසනවා. “යේසුස්ගේ ජීවිත කතාව ඇතුළත් පොත් ලියැවුණේ අකුරු ලියන්න නොදන්නා සමාජයක කියා බොහෝදෙනා සිතනවා. නමුත් එම අදහස වැරදියි. ඊට හේතුව එදා පැවති සමාජයේ අකුරු ලිවීමට හැකියාව තිබූ අය සිටීමයි. තමන්ගේම ප්‍රයෝජනය සඳහාත් අන් අයට දැනුම් දීම සඳහාත් තොරතුරු සටහන් කරගැනීමට හැකියාව තිබූ අය එදා සිටියා.”

යම් තොරතුරු ඒ මොහොතේදීම වාර්තා කරගැනීම සඳහා සමහරු නිතරම ඉටි තැවරූ පුවරු තමන් ළඟ තබාගත් බව පෙනෙන්න තිබෙනවා. ඒ සඳහා කදිම උදාහරණයක් ලූක් පළමුවන පරිච්ඡේදයෙන් සොයාගත හැකියි. එහි සඳහන් වන ලෙස සෙකරියා නම් පූජකයාට තාවකාලිකව කතා කිරීමේ හැකියාව අහිමි වුණා. ඒ නිසා ඔහුගේ අලුත උපන් පුතාට දැමිය යුතු නම කුමක්ද කියා ඔහුගෙන් ඇසූ විට ඔහු කළ දෙය ලූක් 1:63හි මෙසේ වාර්තා වී තිබෙනවා. ‘ඔහු ලෑල්ලක් ඉල්ලාගෙන, දරුවාගේ නම යොහන් කියා ලිව්වේය.’ සමහරවිට සෙකරියාට පුවරුවක් සොයාගත හැකි වුණේ එතැන සිටි කෙනෙකු ළඟ ඒ මොහොතේ එවැනි පුවරුවක් තිබූ නිසා විය හැකියි. එක් ශබ්දකෝෂයක සඳහන් වන ලෙස එම “ලෑල්ල” ඉටි තවරන ලද එකක් විය හැකියි.

ලේඛන කටයුතු සඳහා අතීතයේදී යම් පුවරු භාවිත කළ බවට තවත් උදාහරණයක් තිබෙනවා. යේසුස්ගේ ගෝලයෙක් වූ පේතෘස් දේවමාලිගා භූමියේ සිටි අයට පැවසූ දෙයක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “පසුතැවිලි වන්න. ඔබේ පව් මකා දමන පිණිස හැරෙන්න.” (ක්‍රියා 3:11, 19) එක් බයිබල් ශබ්දකෝෂයක පෙන්නුම් කරන ආකාරයට ‘මකා දමන්න’ යන යෙදුමෙන් අදහස් වන්නේ “ඉටි තැවරූ පුවරුවක් මත ලියන ලද යමක් මකා දැමීම” යන්නයි.—The New International Dictionary of New Testament Theology.

සුවිශේෂ වාර්තාවල පෙන්නුම් කරන ආකාරයට යේසුස්ගේ අනුගාමිකයන් වූ අය සහ ඔහුට සවන් දුන් අය අතර අකුරු කියවීමට හා ලිවීමට හැකියාව තිබූ අය සිටියා. ඒ අතර බදු අය කරන්නන් වූ මතෙව් සහ සකෙවුස්, (මතෙව් 9:9; ලූක් 19:2) සිනගෝගයේ මුලසුන භාර නිලධාරියා, (මාක් 5:22) හමුදා නිලධාරියා, (මතෙව් 8:5) හෙරොද්ගේ වැඩ භාරව සිටි නිලධාරියාගේ බිරිඳ වූ යොවානා, (ලූක් 8:3) මෙන්ම පරිසිවරුන්, සද්දුසිවරුන් හා සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන්ව සඳහන් කළ හැකියි. (මතෙව් 21:23, 45; 22:23; 26:59) මේ අනුව යේසුස්ගේ මුල් ගෝලයන්ට හා ඔහුගේ අනුගාමිකයන්ට ලිවීමේ හා කියවීමේ හැකියාව තිබූ බව පැහැදිලියි.

ශිෂ්‍යයන්, ගුරුවරුන් හා ලේඛකයන්

යේසුස්ගේ ගෝලයන් දක්ෂ ගුරුවරුන් වීම සඳහා යේසුස් කළ කී දේවල් පමණක් දැන සිටීම ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ වෙනුවට මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය හා අනාගතවක්තෘවරුන් පැවසූ අනාවැකි යේසුස්ට අදාළ වූයේ කෙසේද කියා ඔවුන් අවබෝධ කරගත යුතු වුණා. (ක්‍රියා 18:5) මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ යේසුස් තම ගෝලයන් සමඟ පැවැත්වූ රැස්වීමක් ගැන ලූක් මෙසේ වාර්තා කරනවා. ඒ අවස්ථාවේදී යේසුස් ‘මෝසෙස්ගෙන් පටන්ගෙන සියලු අනාගතවක්තෘවරුන් ඇතුළුව මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ ඔවුන්ට තෝරා දුන්නා.’ ඉන්පසුව යේසුස් ගෝලයන්ට මෙසේ පැවසුවා. ‘මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ මාගේ වදන් මේය. එනම් මෝසෙස්ගේ නීතියෙත් අනාගතවාක්‍යයෙත් ගීතාවලියෙත් මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතුය. ඉන්පසු, ශුද්ධ ලියවිල්ලෙහි අර්ථය ඔවුන් අවබෝධ කරගන්නා පිණිස ඔහු ඔවුන්ගේ මනස් සම්පූර්ණයෙන්ම විවෘත කළා.’ (ලූක් 24:27, 44, 45) පසු කාලයේදී යේසුස් කළ කී දේවල් ගෝලයන්ට ‘මතක් වූ’ අතර ශුද්ධ ලියවිලි පිළිබඳ අවබෝධයත් වැඩි වුණා.—යොහන් 12:16.

යේසුස්ගේ මුල් ගෝලයන් හා අනුගාමිකයන් ශුද්ධ ලියවිල්ල උනන්දුවෙන් අධ්‍යයනය කළා. යේසුස් ගැන පවසා තිබූ අනාවැකි ඉටු වූ ආකාරය ඔවුන්ට අවබෝධ කරගත හැකි වුණේ ඒ නිසයි. (ලූක් 1:1-4; ක්‍රියා 17:11) මේ සම්බන්ධයෙන් වර්ජිනියා විශ්වවිද්‍යාලයේ ආගම් පිළිබඳව අධ්‍යයනය කරන මහාචාර්යවරයෙක් වන හැරී ගැම්බල් මෙවැනි අදහසක් පළ කළා. “ක්‍රිස්තියානි ධර්මය ආරම්භ වූ දා සිට හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල අර්ථය දැනගැනීම සඳහා ඒවා ගැඹුරින් අධ්‍යයනය කළ ක්‍රිස්තියානීන් සිටියා. ඔවුන් එසේ කළේ තම විශ්වාසයන්වලට පදනම සපයන සාක්ෂි ලබාගෙන අන් අයට ඒවා පැවසීම සඳහායි.”

යේසුස්ගේ ගෝලයන් අකුරු ශාස්ත්‍රය නොදැන සිටියා කියාත් ඔවුන් යේසුස් කළ කී දේවල් වාචිකව පමණක් ප්‍රචාරය කළා කියාත් කොහෙත්ම සිතිය නොහැකියි. ඊට හේතුව ඔවුන් අධ්‍යයනය කිරීමේ ලිවීමේ හා කියවීමේ කාර්යයන්වල නිරත වූ නිසයි. ඔවුන් ශිෂ්‍යයන්, ගුරුවරුන් හා ලේඛකයන් ලෙස කටයුතු කළා. යේසුස්ගේ ගෝලයන් දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කළ අතර නිතරම දෙවිගේ බලය මත රඳා සිටියා. යේසුස් ඔවුන්ට සහතික කළේ දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් “මා ඔබට පැවසූ සියල්ල ඔබට සිහි කරවන්නේය” කියායි. (යොහන් 14:17, 26) යේසුස් කළ කී දේවල් ඇතුළු කන්ද උඩ දේශනය වැනි ඉතා දීර්ඝ තොරතුරු පවා නැවත මතකයට නඟාගෙන ඒවා ඉතා නිවැරදිව වාර්තා කිරීමට ඔහුගේ අනුගාමිකයන්ට හැකි වුණේ දෙවි සිය බලය යොදාගෙන ඔවුන්ට උපකාර කළ නිසයි. (මතෙව් 5-7 පරිච්ඡේද) එමෙන්ම යම් අවස්ථාවලදී යේසුස්ගේ හැඟීම් සහ ඔහු යාච්ඤාවෙන් දෙවිට පැවසූ දේවල් පවා ලිවීමට ඔවුන්ට හැකි වුණේ දෙවිගේ බලයේ මඟ පෙන්වීම නිසයි.—මතෙව් 4:2; 9:36; යොහන් 17:1-26.

යේසුස්ගේ ජීවිත කතාව ලියූ ලේඛකයන් සතරදෙනාම වාචිකව ලැබුණු මෙන්ම ලේඛනගත කර තිබූ තොරතුරු යන මාධ්‍ය දෙකෙන්ම ප්‍රයෝජන ගන්න ඇති. කෙසේවෙතත් ඔවුන් ලියූ සෑම දෙයක්ම නිවැරදිව වාර්තා කිරීමට මඟ පෙන්වූයේ යෙහෝවා දෙවියි. ඇත්තෙන්ම “මුළු ශුද්ධ ලියවිල්ලම” ලියැවී තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම යටතේයි. ඒ නිසා දෙවිට ප්‍රසන්න ආකාරයේ ජීවිතයක් ගත කිරීම සඳහා අපට උගන්වන්න බයිබලයට හැකියි.—2 තිමෝති 3:16.

[පාදසටහන]

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යේසුස්ගේ අනුගාමිකයන් අතර අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව තිබූ අය සිටියා

[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යේසුස් කළ කී දේවල් නැවත මතකයට නඟාගෙන ඒවා ඉතා නිවැරදිව වාර්තා කිරීමට ඔහුගේ අනුගාමිකයන්ට හැකි වුණේ දෙවි සිය බලය යොදාගෙන ඔවුන්ට උපකාර කළ නිසයි

[15වන පිටුවේ කොටුව/පින්තූරය]

 යේසුස්ගේ ගෝලයන් නූගත් අයද?

“පේතෘස් සහ යොහන් නිර්භීත ලෙස කතා කරනවා දුටු” පාලකයන් සහ යෙරුසලමේ සිටි වැඩිමහල්ලන්, ‘ඔවුන් නූගත්, සාමාන්‍ය මිනිසුන් බව දැනගත් විට පුදුම වුණා.’ (ක්‍රියා 4:13) ඉන් අදහස් වෙන්නේ යේසුස්ගේ ගෝලයන් අකුරු කියවීමට නොහැකි නූගත් අය වූ බවද? ඒ සම්බන්ධයෙන් එක් බයිබල් උපග්‍රන්ථයක මෙවැනි දෙයක් සඳහන් වුණා. “පේතෘස් [සහ යොහන්] නූගත් කියා පැවසීමෙන් අදහස් වුණේ ඔවුන් ලියන්න නොදැන සිටි අය බව නොවෙයි. පාලකයන් හා වැඩිමහල්ලන් එසේ පැවසුවේ තමන්ගේ සමාජ මට්ටමට වඩා යොහන් සහ පේතෘස්ගේ සමාජ මට්ටම පහත් බව දැක්වීමටයි.”—The New Interpreter’s Bible.

[13වන පිටුවේ පින්තූරය]

‘ඔහු ලෑල්ලක් ඉල්ලාගෙන, දරුවාගේ නම යොහන් කියා ලිව්වේය’

[13වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු වර්ෂ පළමුවන හෝ දෙවන සියවසට අයත් ඉටි පුවරුවක් හා ඒ මත ලිවීමට යොදාගත් මෙවලම්

[හිමිකම් විස්තර]

© British Museum/​Art Resource, NY