Skip to content

පටුනට යන්න

මේ පෘථිවියේ අවසාන හෝරාවද?

මේ පෘථිවියේ අවසාන හෝරාවද?

මේ පෘථිවියේ අවසාන හෝරාවද?

පහත සඳහන් ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

නුදුරු අනාගතයේදී පොළොවේ තත්වය . . .

(අ) හොඳ අතට හැරෙයිද?

(ආ) මේ තත්වය දිගටම පවතීද?

(ඇ) තව තවත් දරුණු වෙයිද?

ඔබ අනාගතය දෙස සුබවාදීව බලන කෙනෙක්ද? එසේනම් ඔබට බොහෝ ප්‍රයෝජන අත් වේවි. අනාගතය දෙස සුබවාදීව බලන අයගේ බුද්ධිමය හැකියාවන් ඉහළ තලයක තිබෙන බවත් ඔවුන් හොඳ සෞඛ්‍ය තත්වයකින් පසු වන බවත් පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. දිගු කාලීනව කරන ලද තවත් සමීක්ෂණයකින් පෙනී ගියේ අනාගතය දෙස අසුබවාදීව බලන අයට වඩා සුබවාදීව බලන අයට හෘද රෝග වැලඳීමට තිබෙන ඉඩ කඩ අඩු බවයි. බයිබලයේද මෙවැනි දෙයක් සඳහන් වී තිබෙනවා. “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි. නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි.”—හිතෝපදේශ 17:22, නව ලොව පරිවර්තනය, NW.

නමුත් අනාගතයේදී පොළොවට සිදු විය හැකි දේවල් පිළිබඳව අහන්න ලැබෙන ආරංචි නිසා අද බොහෝදෙනෙකුට අනාගතය දෙස සුබවාදීව බැලීම ඉතා අසීරු දෙයක් වී තිබෙනවා. එවන් ආරංචි කිහිපයක් ගැන දැන් අපි සලකා බලමු.

තර්ජනයට ලක් වූ පෘථිවිය

වර්ෂ 2002දී ස්ටොක්හෝම් පාරිසරික ආයතනය සඳහන් කළේ ‘මිනිසුන් ආර්ථිකය නඟා සිටුවීම උදෙසා ගන්නාවූ ඇතැම් ක්‍රියාමාර්ගයන් පරිසරයට අහිතකර ලෙස බලපා තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගත්තොත් මිහිමත ජීවයට එය විශාල තර්ජනයක් විය හැකියි.’ ලොව පුරා පවතින දිලිඳුකම, සැමට සම්පත් සාධාරණ ලෙස බෙදී නොයෑම හා ස්වාභාවික සම්පත්වල විනාශය වැනි කාරණා ‘තවත් ප්‍රශ්න වැලකට මඟ විවර කරන බවත්’ එම ආයතනය සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වසර හතරක් පුරා පෘථිවියේ පාරිසරික තත්වය ගැන සමීක්ෂණයක් කළා. එයට රටවල් 95කින් පැමිණි පර්යේෂකයන් 1,360කට වඩා වැඩිදෙනෙක් සහභාගි වුණා. වර්ෂ 2005දී එම සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළා. එහි සඳහන් වුණේ මෙයයි. “මිනිසුන් අතින් පෘථිවියට බොහෝ හානි සිදු වන නිසා එහි ස්වාභාවික ක්‍රියාවලිය තර්ජනයකට ලක් වී තිබෙනවා. ප්‍රතිඵලයක් ලෙස මතු පරම්පරාවන්ට පොළොවේ ජීවත් විය නොහැකි තත්වයක් උදා විය හැකියි.” මෙම තත්වය වෙනස් කිරීමට නම් “මිනිසුන් සාදාගත් නීති, ප්‍රතිපත්ති සහ ක්‍රියාපිළිවෙත්වල විශාල වෙනසක් සිදු විය යුතුයි. නමුත් එවැනි දෙයක් සිදු වන බව නම් පෙනෙන්න නැහැ.”—Millennium Ecosystem Assessment Synthesis Report.

“අපි කිසිම ක්‍රියාමාර්ගයක් නොගත්තොත් අනාගතය භයානක විය හැකියි” කියා බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන බව ඇනා ටිබෙයුකා පැවසුවා. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳුම් හිටුම් ලබා දීමේ ව්‍යාපෘතියක විධායකවරියක් ලෙස කටයුතු කරනවා.

බලාපොරොත්තුවක් ඇතුව සිටීමට හේතු

අනාගතයේදී පොළොවේ යම් භයානක දේවල් සිදු වන බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවා විශ්වාස කරනවා. නමුත් ඒ සියල්ලෙන් පසු මුළු පොළොවම අලංකාරවත් පාරාදීසයක් බවට පත් වන බවත් ඔවුන් විශ්වාස කරනවා. ඔවුන් අනාගතය ගැන එවැනි ආකල්පයක් දරන්නේ ඇයි? ඊට හේතුව බයිබලය මාර්ගයෙන් දෙවි දී තිබෙන පොරොන්දු කෙරෙහි ඔවුන්ට දැඩි විශ්වාසයක් තිබීමයි. ඒ අතරින් එක් පොරොන්දුවක් ගැන සලකා බලන්න. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට හැකි නොවන්නේය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී ඇති සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:10, 11NW.

එවැනි බලාපොරොත්තුවක් සැබවින්ම ඉටු වෙයිද? ඊට පිළිතුරු සෙවීමට කලින් මේ ගැන සිතා බලන්න. අද පොළොවේ සිදු වන භයානක දේවල් ගැන මීට අවුරුදු දහස් ගණනකට පෙර බයිබලයේ සඳහන් කර තිබුණා. මීළඟ ලිපියේ සඳහන් කර ඇති බයිබල් පද කියවා ඒවා සමඟ අද ලෝකයේ සිදු වන දේවල් කොතරම් හොඳින් ගැළපෙනවාද කියා බලන්න. එවිට අනාගතයේදී සිදුවීමට නියමිත දේවල් බයිබලයේ ඉතා නිවැරදිව සඳහන් කර තිබෙන බව විශ්වාස කිරීමට ඔබට හැකි වෙයි!