සුවයක් ගෙනෙන විදිහට කතා කරමු
‘යෙහෝවා දෙවියනි, මාගේ මුවින් පිට වන වචන සැමවිටම ඔබ ඉදිරියේ ප්‍රසන්නව තිබේවා!’—ගීතා. 19:14.
ගීතිකා: 82, 77
1, 2. කතා කිරීමේ හැකියාව ගින්දරට සමාන කරලා තියෙන්නේ ඇයි?
1871දී ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ විශාල කැලෑවක ළැව් ගින්නක් ඇති වුණා. වේගයෙන් පැතිරුණු ඒ ගින්නෙන් ගස් බිලියන 2ක් විතර පිච්චිලා අළු වෙලා ගියා. 1,200කට වඩා වැඩිදෙනෙක් මැරුණා. ඇමරිකාවේ ඇති වුණු කිසිම ගින්නකින් ඒ තරම් පිරිසක් මරණයට පත් වෙලා නැහැ. ඒ ගින්න පටන්ගත්තේ කැලෑව හරහා ගිය අඟුරු කෝච්චිවලින් විසි වුණු පුංචි ගිනිපුපුරුවලින්. “ඉතා විශාල වනාන්තරයකට පවා ගිනි තැබීමට අවශ්‍ය වන්නේ මොන තරම් කුඩා ගිනිපුපුරක්ද” කියලා යාකොබ් 3:5 කියන දේ කොච්චර ඇත්තක්ද! යාකොබ් එහෙම කිව්වේ ඇයි කියලා ටිකක් බලමු.
2 “දිවද ගින්නකි” කියලා ඔහු ඊළඟ පදයේ කියනවා. (යාකො. 3:6) දිවෙන් අදහස් කළේ අපේ කතා කිරීමේ හැකියාවයි. ගින්නකින් ලොකු හානියක් වෙනවා වගේ අපි කියන දෙයක් නිසා ලොකු හානියක් වෙන්න පුළුවන්. කෙනෙකුව මරලා දාන්න හරි ජීවත් කරවන්න හරි අපි කියන දේට පුළුවන් කියලා බයිබලෙත් කියනවා. (හිතෝ. 18:21) එහෙමනම් ‘කිසිම දෙයක් නොකියා ඉන්න එක ඇඟට ගුණයි’ කියලා හිතන එක හරිද? නැහැ. ගින්නට පිච්චෙයි කියලා අපි ගින්දර පාවිච්චි නොකර ඉන්නවද? නැහැ, පරෙස්සමට පාවිච්චි කරනවා. ඒ වගේ අපිත් කතා කරන විදිහ ගැන සැලකිලිමත් වෙනවා නම් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්නත් අනිත් අයව දිරිමත් කරන්නත් අපිට පුළුවන්.—ගීතා. 19:14.
3. දිරිගන්වන විදිහට කතා කරන්න නම් සැලකිලිමත් වෙන්න ඕනෙ මොන පැති 3 ගැනද?
3 අපිට හිතෙන, හැඟෙන විදිහ අනිත් අයට වචනයෙන් කියන්න නැත්නම් සංඥා භාෂාවෙන් කියන්න තියෙන හැකියාව යෙහෝවා දෙවිගෙන් ලැබුණු තෑග්ගක්. ඒත් ඒක අනිත් අයව දිරිගන්වන විදිහට පාවිච්චි කරන්න නම් අපි කතා කරන්න සුදුසු වෙලාව, කතා කරන්නේ මොනවද කියලා තීරණය කරන්න ඕනේ. ඒ වගේම අපි කතා කරන විදිහ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි ඒ පැති 3 ගැන බලමු.—යාකොබ් 3:9, 10 කියවන්න.
කතා කරන්න සුදුසු වෙලාව
4. නිහඬව ඉන්න ඕනෙ මොන වගේ වෙලාවලදීද?
4 කතා කරන්න සුදුසු වෙලාව තීරණය කරද්දී කතා නොකර ඉන්න ඕන මොන වගේ වෙලාවලදීද කියලත් තේරුම්ගන්න ඕනේ. දේශනාකාරයා 3:7 කියන්නෙත් “නිහඬව සිටීමට කාලයක් ඇත” කියලයි. උදාහරණෙකට අනිත් අය කතා කරද්දී ඒ අයට ගෞරවය පෙන්නන්න අපි නිහඬව ඉන්නවා. (යෝබ් 6:24) අනිත් අයගේ පුද්ගලික කාරණා පතුරුවන්න අපිට අයිතියක් නැති නිසා අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. (හිතෝ. 20:19) කෙනෙක් අපිත් එක්ක තරහෙන් ඉන්නකොට නිහඬව, සන්සුන්ව ඉන්න එක තමයි හොඳම දේ.—ගීතා. 4:4.
5. කතා කිරීමේ හැකියාව අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?
5 හිතන්න, යාළුවෙක් ඔයාට ලස්සන තෑග්ගක් දුන්නා කියලා. ඔයා ඒක හංගලා තියන්නේ නැහැ. ඒ වෙනුවට ඒක හොඳට පාවිච්චි කරලා ඒක අගය කරනවා කියලා පෙන්නනවා. කතා කිරීමේ හැකියාවත් අපිට දෙවිගෙන් ලැබුණු තෑග්ගක්. අපි ඒ තෑග්ග අගය කරනවා නම් ඒක හරි විදිහට පාවිච්චි කරනවා. (දේශ. 3:7) එහෙම කරන්න පුළුවන් විදි කීපයක් තමයි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන එක, අනිත් අයව දිරිගන්වන එක, අපේ හැඟීම්, ඕනෑ එපාකම් ගැන කියන එක.—ගීතා. 51:15.
6. කතා කරන්න ඕනෙ කොයි වෙලාවෙද කියලා තීරණය කරන එක වැදගත් ඇයි?
6 “නිසි කලට කියන වදන් කැටයම් කළ රිදී බඳුන්වල තැබූ රන් ඇපල් මෙනි” කියලා බයිබලේ කියනවා. (හිතෝ. 25:11) රනින් හදපු ඇපල් ගෙඩියක් ලස්සනයි. ඒත් ඒක රිදී බඳුනක තිබ්බම ඊටත් වඩා ලස්සනයි. ඒ වගේ, කෙනෙක්ව දිරිගන්වන්න යමක් කියන එක හොඳයි. ඒත් අපි ඒක කියන්න සුදුසුම වෙලාව තෝරගත්තොත් ඒකෙන් එයාට ලැබෙන ප්‍රයෝජන ඊටත් වැඩියි. ඒක කරන්නේ කොහොමද?
7, 8. ජපානයේ සහෝදරයන් යේසුස්ව ආදර්ශයට ගත්තේ කොහොමද?
7 කතා කරන්න සුදුසු වෙලාව තෝරගත්තේ නැත්නම් අපි කියන්නේ කොච්චර වටින දෙයක් වුණත් ඒක එයාලට තේරෙන එකක් නැහැ. සමහරවිට පිළිගන්න එකකුත් නැහැ. (හිතෝපදේශ 15:23 කියවන්න.) මේ උදාහරණේ බලන්න. 2011 මාර්තු මාසේ ජපානයේ සිදු වුණු භූමිකම්පාව සහ සුනාමිය නිසා 15,000කට වඩා වැඩිදෙනෙක් මැරුණා. ඒ විපත නිසා අපේ සහෝදරයන්ටත් පවුලේ අය, හිතවතුන් අහිමි වුණා. ඒත් එයාලට ඕන වුණා විපතට පත් වුණු අනිත් අයව සනසවන්න. ජපානයේ හුඟදෙනෙක් බෞද්ධ නිසා එයාලට බයිබලේ ගැන ඒ තරම් දැනුමක් නැහැ කියලා දැනගෙන හිටපු සහෝදරයෝ, ඒ වෙලාවේ නැවත නැඟිටීම ගැන කතා කරනවා වෙනුවට හොඳ මිනිසුන්ට මේ වගේ නරක දේවල් වෙන්නේ ඇයි කියලා තේරුම් කරලා දුන්නා.
8 ඒ සහෝදරයන් ආදර්ශයට ගත්තේ යේසුස්ව. නිහඬව ඉන්න ඕනෙ කොයි වෙලාවෙද කතා කරන්න ඕනෙ කොයි වෙලාවෙද කියලා යේසුස් දැනගෙන හිටියා. (යොහ. 18:33-37; 19:8-11) සමහර අවස්ථාවලදී ගෝලයන්ට යම් දේවල් කියන්න සුදුසු වෙලාව එන කල් ඔහු හිටියා. (යොහ. 16:12) ඒ වගේ ජපානයේ සහෝදරයනුත් තේරුම්ගත්තා නැවත නැඟිටීම ගැන කතා කරන්න සුදුසු වෙලාව ඒක නෙමෙයි කියලා. හැබැයි සුනාමියෙන් අවුරුදු 2 1⁄2කට පස්සේ ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ කියන පත්‍රිකාව මිනිසුන්ට දීලා නැවත නැඟිටීම ගැන කතා කළා. හුඟදෙනෙක් ඒ පත්‍රිකාව අරගෙන සහෝදරයන් කියපු දේවල් නිසා දිරිගැන්නුණා. අපිත් අපේ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ගේ පසුබිම ගැන හිතනවා නම් යම් දේවල් කියන්න සුදුසු වෙලාව මොකක්ද කියලා තීරණය කරන්න පුළුවන්.
9. සුදුසු වෙලාව තීරණය කරලා කතා කරන එක වැදගත් තවත් මොන වගේ අවස්ථාවලදීද?
9 කෙනෙක් අපේ හිත රිදෙන දෙයක් කිව්වා කියලා හිතන්න. කලබල වෙලා පසුතැවෙන්න වෙන දෙයක් කියනවා වෙනුවට මෙහෙම හිතලා බලන්න. ‘එයා එහෙම කිව්වේ මාව රිද්දන්න හිතාගෙනද? ඒ ගැන මං එයාත් එක්ක කතා කරන්න ඕනෙද?’ එහෙම හිතද්දී සමහරවිට ඒක අමතක කරලා දාන්න පුළුවන් කියලා ඔයාට හිතෙයි. ඒත් එයාත් එක්ක කතා කරන්න ඕනෙ කියලා හිතෙනවා නම් ඔයාගේ හිත සන්සුන් වුණාට පස්සේ ඒක කරන්න. (හිතෝපදේශ 15:28 කියවන්න.) එහෙම නැත්නම් සත්‍යයේ නැති පවුලේ කෙනෙක්ට යෙහෝවා දෙවි ගැන කියන්න ඔයා ඉන්නේ ආසාවෙන් කියලා හිතන්න. ඒත් ඉක්මන් වෙන්නේ නැතුව එයාට කියන්නේ මොනවද කියලා හොඳට හිතලා බලන්න. ඒ වගේම අපි කියන දේට එයා හොඳින් සවන් දෙයි කියලා හිතෙන වෙලාවක් තෝරගන්න. ඒකට ලොකු ඉවසීමක් ඕනේ.
මොනවද කතා කරන්නේ
10. (අ) අපේ වචන ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි? (ආ) අපි වැළකෙන්න ඕනෙ මොන වගේ කතාබහෙන්ද?
10 කෙනෙක්ගේ හිත රිද්දන්නත් එයාව සනසවන්නත් පුළුවන් බලයක් වචනවලට තියෙනවා. (හිතෝපදේශ 12:18 කියවන්න.) අද හුඟදෙනෙක් කට අරින්නේ අනිත් අයව රිද්දන්න බලාගෙන. එයාලගේ වචන හරියට “මුවහත් කඩු” පහරවල් වගේ. තියුණු “ඊතල” වගේ. (ගීතා. 64:3) ඒ අය එහෙම කතා කරන්න ඉගෙනගන්නේ අද තියෙන චිත්‍රපටි, TV වැඩසටහන්වලින්. ඒත් අපි විහිළුවක් විදිහටවත් තව කෙනෙකුට රිදෙන, කැපෙන විදිහට කතා කරන්න හොඳ නැහැ. විහිළු කළාට කමක් නැහැ. ඒත් අනිත් අයව හිනස්සවන අරමුණින් තව කෙනෙකුව ලැජ්ජාවට, අපහසුතාවට සමහරවිට නින්දාවට පත් කරන විදිහට කවදාවත් කතා කරන්න හොඳ නැහැ. බයිබලේ අපිට කියන්නේ “නින්දාසහගත කතා” ක්‍රිස්තියානි කෙනෙකුට සුදුසු නැහැ කියලයි. “ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට සුදුසු අවස්ථාවලදී සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න” කියලත් අපිට මතක් කරනවා.—එෆී. 4:29, 31.
11. අනිත් අයට ප්‍රයෝජනවත්, දිරිගැන්වෙන දේවල් කතා කරන්න අපිව පොලඹවන්නේ මොකක්ද?
11 “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි” කියලා යේසුස් කිව්වා. (මතෙ. 12:34) අපේ හිතේ මිනිසුන් ගැන ආදරයක්, අවංක සැලකිල්ලක් තියෙනවා නම් අපි කතා කරන්නේ ඒ අයට ප්‍රයෝජනවත්, දිරිගැන්වෙන දේවල් විතරයි.
12. දිරිගැන්වෙන විදිහට කතා කරන්න අපිට උදව් වෙන්නේ මොනවද?
12 දිරිගැන්වෙන දේවල් කතා කරන එක අපිට ඉබේ එන්නේ නැහැ. ඒකට අපේ පැත්තෙන් වෑයමක් දරන්න ඕනේ. සලමොන් රජ කොච්චර ප්‍රඥාවන්ත කෙනෙක් වුණත් දේවල් ලියන්න කලින් “සෑම කාරණයක් ගැනම හොඳින් සොයා බලා ගැඹුරින් කල්පනා කළා.” ඒ නිසයි ප්‍රිය වදන්, සත්‍ය වචන ලියන්න එයාට පුළුවන් වුණේ. (දේශ. 12:9, 10) අපිත් කතා කරන්න කලින් කරන්න ඕනෙ ඒකයි. කෙනෙක්ව දිරිගන්වන්න අපිට කියන්න පුළුවන් මොනවද කියලා බයිබලෙන්, අපේ ප්‍රකාශනවලින් හොයන්න. ඒවා ගැන හිතන්න. ඒක උදව්වක් වෙයි දුකෙන් ඉන්න කෙනෙකුව සනසවන්න. දිරිගැන්වෙන විදිහට කතා කරන්න අපිට යේසුස්ගෙනුත් ඉගෙනගන්න පුළුවන්. සුදුසු වෙලාවෙදී, සුදුසු වචන පාවිච්චි කරන්න යේසුස්ට පුළුවන් වුණේ “විඩා වූ අයට සහනයක් ගෙන දෙන අයුරින් කතා කිරීමට” යෙහෝවා දෙවි ඔහුට උගන්වලා තිබුණු නිසයි. (යෙසා. 50:4) ඒ වගේම යමක් කියන්න කලින් ‘මේක මෙහෙම කිව්වොත් මං කියන්න හදන දේ එයාට තේරෙයිද? ඒක එයාට කොහොම බලපායිද’ කියලත් හිතන්න.—යාකො. 1:19.
13. තේරුම්ගන්න පහසු විදිහට කතා කරන්න ඕනෙ ඇයි?
13 හොරණෑ ශබ්දයට අනුව එදා ඊශ්‍රායෙල්වරුන් තේරුම්ගත්තා එයාලා කඳවුරට එකතු වෙන්න ඕනෙද විසිරිලා යන්න ඕනෙද නැත්නම් සතුරු හමුදාවකට පහර දෙන්න ඕනෙද කියලා. ඒත් හොරණෑවේ හඬ පැහැදිලි නැත්නම් සෙනඟ හරි දේ කරයිද? තේරුම්ගන්න පහසු විදිහට කතා කරන එක බයිබලේ හොරණෑවෙන් එන පැහැදිලි ශබ්දයට සමාන කරලා තියෙනවා. අපිත් දේවල් පැහැදිලිව කිව්වේ නැත්නම් අපි කියන දේ අනිත් අය වැරදියට තේරුම්ගනියි. නැත්නම් අපි කියන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් විශ්වාසය කරයි. ඒත් පැහැදිලිව දේවල් කියනවා කියන්නේ හිතන්නේ බලන්නේ නැතිව, දේවල් කෙළින් කියලා දාන එක නෙමෙයි කියලත් මතක තියාගන්න ඕනේ.—1 කොරින්ති 14:8, 9 කියවන්න.
14. යේසුස් කතා කළේ තේරුම්ගන්න පහසු විදිහටයි කියලා කියන්නේ ඇයි?
14 යේසුස් කතා කළේ තේරුම්ගන්න පහසු විදිහටයි කියලා මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේදවලින් අපිට හොඳින්ම පැහැදිලි වෙනවා. ඒ දේශනයේදී අමුතු, බර වචන පාවිච්චි කරලා ඔහු දැනුම ප්‍රදර්ශනය කරන්න හැදුවේ නැහැ. අනිත් අයව රිද්දන විදිහට කතා කළෙත් නැහැ. ඔහු ඉගැන්නුවේ මිනිසුන්ගේ ජීවිතවලට බලපාන, හරිම වැදගත් තොරතුරු වුණත් ඒවා කිව්වේ කාටත් තේරුම්ගන්න පහසු විදිහට. උදාහරණෙකට එදිනෙදා අවශ්‍යතාවන් ගැන ඕනෑවට වඩා කනස්සලු වෙන්න ඕනෙ නැහැ කියන දේ කාවද්දන්න යෙහෝවා දෙවි හැම දවසකම කුරුල්ලන්ව පෝෂණය කරනවා කියන දේ ඔහු මතක් කළා. ඊටපස්සේ “ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද” කියලා එයාලගෙන් ඇහුවා. (මතෙ. 6:26) ඒ වැදගත් පාඩම යේසුස් පැහැදිලි කළේ මොන තරම් සරල විදිහටද! ඒක එයාලගේ හදවතටම කාවැදුණා.
කතා කරන විදිහ
15. අපි කාරුණිකව කතා කරන්න ඕනෙ ඇයි?
15 කතා කරන දේ වගේම කතා කරන විදිහ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මිනිසුන් යේසුස්ට කැමැත්තෙන්ම සවන් දුන්නේ ඔහු හරිම කාරුණික, මෘදු විදිහට කතා කරපු නිසයි. (ලූක් 4:22) අපිත් කාරුණිකව කතා කරනවා නම් මිනිසුන් අපි කියන දේට ඇහුම්කන් දෙන්න, ඒක පිළිගන්න තියෙන ඉඩකඩ වැඩියි. (හිතෝ. 25:15) එහෙම කතා කරන්න නම් අපි අනිත් අයට ගරු කරන්න ඕනේ. එයාලගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. යේසුස් ඒකට හොඳ ආදර්ශයක්. ඔහුට සවන් දෙන්න එන්න සෙනඟ දරපු උත්සාහය දැක්කම යේසුස්ට එයාලා ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඒ නිසා ‘ඔහු ඔවුන්ට බොහෝ දේ ඉගැන්නුවා.’ ඔවුන් වෙනුවෙන් කාලේ දුන්නා. (මාක් 6:34) මිනිසුන් යේසුස්ට නින්දා කරද්දීත් ඔහු ඔවුන්ට කාරුණිකව සැලකුවා.—1 පේතෘ. 2:23.
16, 17. (අ) පවුලේ අය සහ යාළුවන් එක්ක කතා කරද්දී යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) කාරුණිකව කතා කරන එක ප්‍රයෝජනවත් කියලා පැහැදිලි වෙන අද්දැකීමක් කියන්න.
16 පවුලේ අය, යාළුවන් අපිට ගොඩක් කිට්ටු නිසා එයාලා එක්ක කතාබහ කරද්දී අපි එච්චර සැලකිලිමත් වෙන්න ඕනෙ නැහැ කියලා අපිට හිතෙයි. ඒ නිසා හිතන්නේ බලන්නේ නැතුව, කියන්න තියෙන දේ කෙළින්ම කියලා දාන්න අපි පෙලඹෙන්න පුළුවන්. ඒත් යේසුස් කවදාවත් ඔහුගේ යාළුවන්ට ඒ විදිහට කතා කළේ නැහැ. උතුම්ම කෙනා කවුද කියලා ගෝලයන් නිතර නිතර වාද කළත් යේසුස් එයාලට බැන්නේ නැහැ. කාරුණිකව, ඉවසීමෙන් එයාලව නිවැරදි කළා. පුංචි දරුවෙක්ව මාක් 9:33-37) අනිත් අයට උපදෙස් දෙද්දී “මෘදුකමින්” ඒ දේ කරනවා නම් යේසුස්ව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ටත් පුළුවන්.—ගලා. 6:1.
පෙන්නලා එයාලත් ඒ දරුවා වගේ නිහතමානී වෙන්න ඕනෙ කියලා ඉගැන්නුවා. (17 කෙනෙක් අපේ හිත රිදෙන විදිහට කතා කළත් අපි එයාට කාරුණිකව කතා කරනවා නම් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. (හිතෝ. 15:1) සැමියා නැතුව යෞවන දරුවෙකුව ඇතිදැඩි කරපු සහෝදරියකගේ අද්දැකීම බලන්න. එයාගේ පුතා දෙවිට සේවය කරන ගමන් නරක වැඩත් කළා. ඒ අම්මා ගැන දුක හිතුණු සහෝදරියක් මෙහෙම කිව්වා. “ඔයාට පුතාව හොඳට හදාගන්න බැරුව ගියා කියලා ඔයා දුක් වෙන්න එපා.” එකපාරට දෙයක් කියනවා වෙනුවට එයා කියපු දේ ගැන අම්මා ටිකක් හිතලා මෙහෙම කිව්වා. “දැන් නම් පුතා දේවල් හොඳට කරන්නේ නෑ තමයි, ඒත් එයාගේ පුහුණුව තාම ඉවර නැහැ. අපි ටිකක් ඉවසලා බලමු, හර්–මගෙදොන්වලින් පස්සේ තමයි අපිට හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ එයාට දීපු පුහුණුව සාර්ථකද නැද්ද කියලා.” කේන්ති ගන්නේ නැතුව ඒ විදිහට කතා කරපු නිසා ඒ සහෝදරිය එක්ක තිබුණු යාළුකම දිගටම තියාගන්න එයාට පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි ඒ දේ ආරංචි වුණාම පුතා තේරුම්ගත්තා එයා ගැන තිබුණු බලාපොරොත්තු අම්මා තාමත් අත්හැරලා නැහැ කියලා. නරක යාළුවන්ගෙන් ඈත් වෙලා දෙවිට ජීවිතේ කැප කරන්න ඒක පුතාට උදව් වුණා. පස්සේ කාලෙක එයා බෙතෙල් එකෙත් සේවය කළා. අපි කවුරු එක්ක කතා කළත් අපේ කතාව කාරුණිකව හරියට ලුණෙන් රස කළ ආහාරයක් වගේ තියෙන එක කොච්චර වැදගත්ද!—කොලො. 4:6.
18. යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් අපි සැලකිලිමත් වෙන්නේ මොන පැති ගැනද?
18 අදහස් බෙදාගන්න අපිට තියෙන හැකියාව යෙහෝවා දෙවිගෙන් අපිට ලැබුණු වටිනා තෑග්ගක්. ඒ හැකියාව පාවිච්චි කරද්දී අපි යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් කතා කරන්න සුදුසු වෙලාව මොකක්ද කියලා, කතා කරන්නේ මොනවද කියලා හොඳට හිතනවා. ඒ වගේම අපි කතා කරන විදිහ ගැනත් සැලකිලිමත් වෙනවා. අනිත් අයව දිරිගන්වන, යෙහෝවා දෙවිව සතුටු කරන විදිහට අපි කතා කරමු.