ජීවිත කතාව
ආශීර්වාදවල නම් අඩුවක් නැහැ
1930දී මලාවි රටේ නම්කුම්බා කියන පුංචි ගමේ හිටපු යෙහෝවා දෙවිට සේවය කරපු පවුලක සාමාජිකයෙක් විදිහට මං ඉපදුණා. මගේ ජීවිතේ යෙහෝවා දෙවිට කැප කරලා බව්තීස්ම වුණේ 1942. මගේ බව්තීස්මය සිද්ධ වුණේ අපේ රටේ තිබුණු ලස්සන ගඟක. එදා ඉඳන් ගත වුණු අවුරුදු 70 පුරාම මගේ හිතේ අධිෂ්ඨානයක් තිබුණා. ඒ තමයි පාවුල් තිමෝතිට දීපු මේ උපදෙස මගේ ජීවිතේටත් අදාළ කරගන්න එක. “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න. හොඳ වාතාවරණයක් තිබුණත් නැතත් එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න.”—2 තිමෝ. 4:2.
සහෝදර නේතන් එච්. නෝර් සහ මිල්ටන් ජී. හෙන්ෂල් 1948දී මලාවිවලට ඇවිත් සහෝදරයන්ව දිරිගන්වපු විදිහ මට තාමත් මතකයි. පූර්ණකාලීන සේවය කරන්න මගේ හිතේ ආසාවක් ඇති වුණේ එදායි. ඊට ටික කාලෙකට පස්සේ තමයි මට ලිඩාසිව හම්බ වුණේ. එයාගේ ගතිගුණවලට මගේ හිත ඇදිලා ගියා. එයාත් මං වගේම දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න ආසාවෙන් හිටපු කෙනෙක්. 1950දී අපි දෙන්නා විවාහ වුණා. 1953 වෙනකොට මං දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. පවුල් වගකීම් තිබුණත් ස්ථාවර පුරෝගාමි සේවය කරන්න මට තිබුණේ පුදුම ආසාවක්. ලිඩාසිත් මට ඒකට දිරිගැන්නුවා. ස්ථාවර පුරෝගාමි සේවය පටන් අරන් අවුරුදු 2ක් විතර යද්දී විශේෂ පුරෝගාමි සේවය කරන්න මට ආරාධනාවක් ලැබුණා.
වැඩි දවසක් යන්න කලින් චාරිකා සේවයේ යෙදෙන්නත් මට අවස්ථාව ලැබුණා. පවුලේ අයවත් රැකබලා ගන්න ගමන් පූර්ණකාලීන සේවයේ යෙදෙන්න මට පුළුවන් වුණේ කොහොමද කියලා ඔයාලා හිතනවා ඇති. ලිඩාසිගේ උදව් තිබුණේ නැත්නම් ඒ දේ කරන්න මට අමාරු වෙයි. a මං විතරක් නෙමෙයි පූර්ණකාලීන සේවය කරන්න ලිඩාසි හිටියෙත් පුදුම ආසාවකින්. කොහොමහරි දේවල් හොඳට සැලසුම් කරගත්ත නිසාත් දරුවෝ පස්දෙනාගෙන් හොඳ සහයෝගයක් ලැබුණු නිසාත් 1960දී ලිඩාසිටත් පූර්ණකාලීන සේවය පටන්ගන්න පුළුවන් වුණා.
1962දී තිබුණු “ධෛර්යවත් දේවසේවකයන්” කියන සමුළුව අපිට ලොකු දිරිගැන්වීමක් වුණා. ඊළඟ අවුරුද්දෙත් බ්ලාන්ට්රේ නගරෙට කිට්ටුවෙන් විශේෂ සමුළුවක් පැවැත්තුවා. සහෝදර හෙන්ෂල් සහභාගි වුණු ඒ සමුළුවට 10,000කට වඩා වැඩිදෙනෙක් ආවා. ඉස්සරහට එන්න තිබුණු පීඩාවලට නිර්භීතව මුහුණ දෙන්න ඒ සමුළු අපිට කොයි තරම් නම් උදව් වුණාද කියලා ඒ අතීතය දිහා හැරිලා බලද්දී අපිට තේරෙනවා.
පීඩා කාලය ඇරඹෙයි
මලාවිවල හිටපු සාක්ෂිකරුවන්ට 1964 කියන්නේ අමතක නොවන අවුරුද්දක්. දේශපාලනයට හවුල් නොවුණු නිසා සාක්ෂිකරුවන්ට විරුද්ධව දරුණු පීඩා පටන්ගත්තේ ඒ අවුරුද්දෙයි. ඒ විරුද්ධවාදිකම් කොයි තරම් දරුණුද කියනවා නම් නමස්කාර මධ්‍යස්ථාන 100කටත් සහෝදරයන්ගේ ගෙවල් 1,000කටත් වඩා වැඩි ගාණක් විනාශ කළා. 1967දී රජයෙන් සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරන කල්ම මමත් ලිඩාසිත් චාරිකා සේවයේ යෙදුණා. ඔය කාලෙදී ශාඛා කාර්යාලයට අයිති දේපළ රාජසන්තක කළා. මිෂනාරිවරුන්ව රටෙන් පිටමං කළා. හුඟක් සාක්ෂිකරුවන්ව හිරගත කළා. අපි දෙන්නටත් සිද්ධ වුණා හිරේ ඉන්න. හිරෙන් නිදහස් වුණු ගමන්ම අපි ආයෙත් චාරිකා සේවය පටන්ගත්තා.
1972 අවුරුද්දේ දවසක මලාවි තරුණ සංගමය කියන අන්තවාදී දේශපාලන කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් අපේ ගේ දිහාට එමින් හිටියා. ඒත් ඔවුන්ගෙන් කෙනෙක් ඔවුන්ට කලින් ඇවිත් මට කිව්වා මාව මරන්න හොයන නිසා ඉක්මනට ගිහින් හැංගෙන්න කියලා. ලිඩාසිවත් දරුවන්වත් ළඟ තිබුණු කෙසෙල් පඳුරු අතරේ හංගලා මං ලොකු අඹ ගහකට නැග්ගා. අපේ ගෙදරත් අපිට අයිති හැම දේමත් විනාශ කරනවා මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා.
දවසින් දවස පීඩා වැඩි වුණා මිසක අඩු වුණේ නැහැ. ඒ නිසා හුඟක් සාක්ෂිකරුවන් රට අතහැරලා ගියා. අපිත් 1974 ජූනි වෙන කල්ම හිටියේ මොසැම්බික්වල තිබුණු සරණාගත කඳවුරක. ඊටපස්සේ අපි දෙන්නාට පැවරුමක් ලැබුණා මලාවි දේශ සීමාවට ආසන්නව තිබුණු පොඩි නගරෙක විශේෂ පුරෝගාමීන් විදිහට සේවය කරන්න. 1975දී මොසැම්බික්වලින් ආයෙත් මලාවිවලට යන්න කියලා බලධාරීන්ගෙන් අපිට නියෝගයක් ලැබුණා. ඒ වෙනකොටත් මලාවිවල සාක්ෂිකරුවන්ට විරුද්ධව තිබුණු පීඩා පොඩ්ඩක්වත් අඩු වෙලා තිබුණේ නැහැ.
මලාවිවලට ආවට පස්සේ මට පැවරුණේ රටේ අගනුවර වුණු ලිලාන්ග්වීවල තිබුණු සභා බලාගන්න වගකීමයි. මොන පීඩා කරදර තිබුණත් අපේ චාරිකාවේ තිබුණු සභා ගාණ දවසින් දවස වැඩි වුණා.
යෙහෝවා දෙවි අපිව ආදරෙන් බලාගත්තා
දවසක් අපි ගිය ගමක දේශපාලන රැස්වීමක් තිබුණා. අපි සාක්ෂිකරුවන් කියලා අඳුරගත්ත සමහරුන් අපිව ඒ රැස්වීමට අරන් ගිහින් එතන හිටපු මලාවි තරුණ පෙරමුණේ සාමාජිකයන් එක්ක වාඩි කළා. ඒ වෙලාවේ අපි යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලලා හුඟක් යාච්ඤා කළා. රැස්වීම ඉවර වුණාට පස්සේ ඔවුන් අපිට ගහන්න පටන්ගත්තා. එකපාරටම එතනට ආපු වයසක කාන්තාවක් “එයාලට කරදර කරන්න එපා. මේ මගේ මල්ලිගේ පුතා. එයාට යන්න දෙන්න” කියලා කිව්වා. එතකොට එතන හිටපු ප්‍රධානියාත් කිව්වා “එයාලට යන්න දෙන්න” කියලා. ඒ කාන්තාව එහෙම කිව්වේ ඇයි කියලා අපි අදටත් දන්නේ නැහැ. මොකද එයා අපේ නෑදෑයෙක් නෙමෙයි. ඒත් එදා අපිට උදව් කළේ යෙහෝවා දෙවි කියලා නම් අපිට සැකයක් නැහැ.
1981දී මලාවි තරුණ පෙරමුණේ සාමාජිකයන්
අතට අපිව ආයෙත් අහු වුණා. ඔවුන් අපේ බයිසිකල්, බෑග්, පොත් පත් වගේම මං බලාගත්ත චාරිකාවේ සහෝදරයන් ගැන විස්තර තිබුණු ලියකියවිලිත් ගත්තා. කොහොමහරි අපි එයාලගෙන් බේරිලා ළඟ තිබුණු වැඩිමහල්ලෙකුගේ ගෙදරකට ගියා. ඒත් ඔවුන්ගේ අතට ගිය ලියවිලිවල සහෝදරයන් ගැන විස්තර තිබුණු නිසා අපි හිටියේ හිතේ කරදරෙන්. ඔවුන් ඒ ලියවිලි බලද්දී මලාවි රටේ විවිධ පළාත්වල හිටපු සහෝදරයන් මට එවපු ලිපි දැකලා බය වෙලා තියෙනවා. මොකද ඔවුන් හිතලා තියෙන්නේ මං රජයේ උසස් නිලධාරියෙක් කියලයි. ඒ නිසා ඔවුන් ඉක්මනින්ම ඒ පළාතේ හිටපු වැඩිමහල්ලෙක්ට ඒ ලියවිලි භාර දුන්නා.දවසක් අපි ගඟකින් එගොඩ වෙන්න හිතාගෙන බෝට්ටුවකට නැග්ගා. ඒ බෝට්ටුවේ අයිතිකාරයා දේශපාලන නායකයෙක්. එයාට ඕන වුණා බෝට්ටුවේ හිටපු අය ළඟ දේශපාලන පක්ෂ සාමාජික කාඩ්පත් තියෙනවද කියලා බලන්න. එයා එක් එක් කෙනාගේ කාඩ් බලබල අපි ළඟට එනකොටම පොලිසියෙන් හොයන හොරෙක් එතන ඉඳලා ඔහුට අහු වුණා. ඒ වෙලාවේ ඇති වුණු කලබලයත් එක්කම කාඩ්පත් සෝදිසි කරන එකත් එහෙම්මම නතර වුණා. එදාත් අපිට උදව් කළේ යෙහෝවා දෙවියි.
අත්අඩංගුවට ගෙන සිරගත කළා
1984 පෙබරවාරි මාසේ මං ලිලාන්ග්වීවලට යන්න පිටත් වුණා. මට ඕන වුණේ එහෙ හිටපු කෙනෙක් අතේ සැම්බියාවේ තිබුණු ශාඛා කාර්යාලයට වාර්තා වගයක් යවන්නයි. අතරමඟදී පොලිස් නිලධාරියෙක් මාව නතර කරලා මගේ බෑග් එක පරීක්ෂා කරන්න පටන්ගත්තා. ඒකේ තිබුණු අපේ ප්‍රකාශන දැකලා ඔහු මාව පොලිසියට අරන් ගිහින් හොඳටම ගැහුවා. ඊටපස්සේ මාව ලණුවකින් ගැටගහලා අත්අඩංගුවට අරන් හිටපු හොරු කට්ටියක් එක්ක කාමරේකට දැම්මා.
ඊළඟ දවසේ පොලිස් ප්‍රධානියා මාව තවත් කාමරේකට අරන් ගිහින් ලිපියකට අත්සන් කරන්න කියලා කිව්වා. “ට්‍රෝෆිම් ආර්. න්සෝම්බා වන මා තවදුරටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවන බව මෙයින් සහතික කර නිදහස ලබාගත්තෙමි” කියලා ඒකේ සඳහන් කරලා තිබුණා. මං කිව්වා ඒකට අත්සන් කරන්න මට බැහැ කියලා. “හිරේ ඉන්න නෙමෙයි මැරෙන්න වුණත් මං ලෑස්තියි. ඒත් මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙමෙයි කියලා නම් කියන්න මට බැහැ” කියලා මං කිව්වා. ඒක අහලා ඔහුට කොච්චර කේන්ති ගියාද කියනවා නම් කේන්තියෙන් මේසෙට ගහපු පාර එහා කාමරේ හිටපු පොලිස් නිලධාරියාටත් ඒක ඇහිලා. මොකද වුණේ කියලා බලන්න ඒ පොලිස් නිලධාරියා කාමරේට ආවාම ප්‍රධානියා ඔහුට මෙහෙම කිව්වා. “මේ මිනිහා අත්සන් කරන්න බෑ කියනවා. ඒ නිසා තමන් සාක්ෂිකරුවෙක් කියලා පිළිගන්න ලියුමට මෙයාගෙන් අත්සන් අරන් ලිලාන්ග්වීවල තියෙන හිරගෙදරට යවන්න.” සිද්ධ වුණු ඔය කිසි දෙයක් මගේ බිරිඳ දැනගෙන හිටියේ නැහැ. මට වෙච්ච දේ එයා දැනගත්තේ දවස් හතරකට පස්සෙයි.
ලිලාන්ග්වී පොලිස් ස්ථානයේ හිටපු නිලධාරීන් නම් මට කාරුණිකව සැලකුවා. එතන හිටපු ප්‍රධානියා මට බත් පිඟානක් දෙන ගමන් මෙහෙම කිව්වා. “ඔයාව අත්අඩංගුවට ගත්තේ දේවවචනය ගැන දේශනා කරපු නිසයි. ඒත් අනිත් අය මෙතන ඉන්නේ
හොරකම් කරලා අහු වෙලයි.” එතනින් මාව කචෙරියේ තිබුණු බන්ධනාගාරයට යැව්වා. මට එහෙ මාස 5ක් ඉන්න වුණා.ඒ බන්ධනාගාරේ ජේලර් මං ආපු එක ගැන සතුටු වුණා. ඔහුට ඕන වුණා මාව හිරගෙදර පාස්ටර් හැටියට පත් කරන්න. මං එන්න ඉස්සෙල්ලා පාස්ටර් විදිහට හිටපු කෙනාට ඔහු මෙහෙම කිව්වා. “ඔයා ආයේ මෙහෙ අයට බයිබලේ උගන්නන්න ඕනෙ නැහැ. ඔයා මෙහෙ ඉන්නෙත් පල්ලියෙන් හොරකම් කරපු නිසානේ.” ඊටපස්සේ හැම සතියකම හිරකරුවන්ව රැස් කරලා ඒ අයට බයිබලේ ගැන කියලා දෙන්න මට අවස්ථාව ලැබුණා.
එත් පහු වෙනකොට තත්වය දරුණු වුණා. මලාවිවල සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද කියලා නිලධාරීන් මගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. ඒ අය බලාපොරොත්තු වුණු විදිහේ උත්තරයක් ලැබුණේ නැති නිසා ඔවුන් මට සිහිය නැති වෙන කල්ම ගැහුවා. තව දවසක් අපේ මූලස්ථානය තියෙන්නේ කොහෙද කියලා ඔවුන් මගෙන් ඇහුවා. “අයියෝ ඒක එච්චර අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට උත්තරේ බයිබලේම තියෙනවා” කියලා මං කිව්වා. “මොනවා, ඒ ගැන කොහෙද බයිබලේ තියෙන්නේ” කියලා ඒගොල්ලෝ පුදුමයෙන් ඇහුවා.
මං කිව්වා “යෙසායා 43:12 බලන්න” කියලා. එතන කියන්නේ “ඔබ මාගේ සාක්ෂිකරුවෝය. සැබෑ දෙවි මමය” කියලයි. ඔවුන් ඒ පදේ තුන්පාරක් විතර කියවලා මගෙන් මෙහෙම ඇහුවා. “මෙතන කොහෙද මූලස්ථානයක් ගැන කියන්නේ, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය තියෙන්නේ ඇමරිකාවෙනේ.” එතකොට මං කිව්වා “ඇමරිකාවේ ඉන්න සාක්ෂිකරුවොත් මූලස්ථානය කොහෙද කියලා තේරුම්ගන්නේ මේ බයිබල් පදයෙන්” කියලා. එයාලට ඕන දේ මගෙන් ගන්න බැරි වුණ නිසා 1984 ජූලි මාසේදී මාව වෙනත් බන්ධනාගාරෙකට මාරු කළා.
අමාරු කාලවලදීත් ආශීර්වාද ලැබුණා
ඒ බන්ධනාගාරේ සාක්ෂිකරුවන් 81දෙනෙක් හිටියා. ඒකේ හුඟක් හිරකරුවෝ හිටපු නිසා හැරෙන්නවත් ඉඩ තිබුණේ නැහැ. හිරකරුවන් 300දෙනාටම නිදාගන්න වුණේ එක ගොඩේ. කොහොමහරි සාක්ෂිකරුවන්ට පොඩි පොඩි කණ්ඩායම් විදිහට රැස් වෙලා හැමදාම බයිබලෙන් පදයක් සාකච්ඡා කරන්න පුළුවන් වුණා. ඒකෙන් අපි හැමෝම ලොකු ශක්තියක් ලැබුවා.
1984 ඔක්තෝබර්වලදී අපිව උසාවියට ඉදිරිපත් කළාට පස්සේ අවුරුදු 2ක සිරදඬුවමක් නියම කළා. කලින් වතාවේ වගේ මේ වතාවෙත් අපිව දැම්මේ සාක්ෂිකරුවන් නොවන හිරකරුවන් එක්කයි. ඒකේ හිටපු ජේලර්, ගාඩ්ලට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිගරට් බොන්නේ නෑ. ඒ නිසා සිගරට් ඉල්ලලා ඒගොල්ලන්ට කරදර කරන්න එපා. ඔයාලගේ සිගරට් පත්තු කරගන්න ගින්දර ගේන්න කියලා එයාලට කියන්නත් එපා. එයාලා දෙවිගේ සෙනඟ. සාක්ෂිකරුවන්ට දවසට දෙපාරක් කෑම දෙන්න. එයාලා මෙතන ඉන්නේ නීති විරෝධි වැඩ කරපු නිසා නෙමෙයි ඒගොල්ලන්ගේ විශ්වාසයන් පාවලා දෙන්න අකමැති නිසයි.”
අපේ හොඳ හැසිරීම නිසා හුඟක් හොඳ ප්‍රතිඵල ලැබුණා. සාමාන්‍යයෙන් අඳුර වැටුණම නැත්නම් වැස්ස වෙලාවල හිරකරුවන්ට එළියට යන්න 1 පේතෘ. 2:12. b
ගාඩ්ලා ඉඩ දෙන්නේ නැහැ. ඒත් අපි පැනලා යන්නේ නැහැ කියලා ඔවුන් තුළ විශ්වාසයක් තිබුණු නිසා අපිට නම් එළියට යන්න ඉඩ දුන්නා. දවසක් කෙතක වැඩ කරකර ඉද්දී අපිව බලාගත්ත ගාඩ්ට හොඳටම අසනීප වුණා. පැනලා යන්න අවස්ථාව තිබුණත් එහෙම නොකර අපි ඒ ගාඩ්වත් අරගෙන ආයෙත් හිරගෙදරට ආවා. ඒ විදිහට අපි හොඳින් හැසිරුණු නිසා හිරගෙදර හිටපු නිලධාරීන් යෙහෝවා දෙවි ගැන අගයකින් කතා කළා. අපේ හැසිරීමෙන් දෙවිගේ නමට ඒ විදිහට ලොකු ගෞරවයක් ගේන්න පුළුවන් වුණු එක ගැන අපි හිටියේ සතුටින්.—ආයෙත් සාමකාමී කාලයක්
1985 මැයි 11වෙනිදා මං හිරෙන් නිදහස් වුණා. ආයෙත් මගේ පවුලේ අය ළඟට එන්න ලැබුණු නිසා මට දැනුණේ පුදුම සතුටක්. අපිට ගත කරන්න වුණු ඒ අමාරු කාලෙදීත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න දෙවි උදව් කරපු එක ගැන අපි දෙවිට ස්තුති කරනවා. අපිට හැඟුණෙත් මේ විදිහටමයි. ‘සහෝදරයෙනි, අපට මුහුණ දෙන්න සිදු වූ පීඩා ගැන ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමු. ඇත්තටම අපගේ ජීවිත පවා තිබුණේ ඉතා අවදානම් තත්වයකය. අපට හැඟුණේ අප මරණ දණ්ඩනයට නියම වී ඇති බවය. කෙසේවෙතත් එහි ප්‍රතිඵලයක් ලෙස අප ගැනම විශ්වාසයක් තබනවා වෙනුවට මිය ගිය අයට ජීවනය ලබා දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීමට අපට හැකි විය. ඇත්තෙන්ම දෙවි මරණය තරම් දරුණු විපතකින් පවා අපව බේරාගත්තේය.’—2 කොරි. 1:8-10.
‘මේ වතාවේ නම් බේරෙන්න බැරි වෙයි. අපි මැරෙයි’ කියලා හිතුණු අවස්ථා හුඟක් තිබුණා. ඒත් ඒ හැම වතාවකදීම යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමයට ගෞරවය ලැබෙන විදිහට වැඩ කරන්න ඕන කරන ධෛර්යය, ප්‍රඥාව අපිට දෙන්න කියලත් නිහතමානී වෙන්න උදව් කරන්න කියලත් අපි දෙවිට යාච්ඤා කළා.
“හොඳ වාතාවරණයක් තිබුණත් නැතත්” අපි කරපු සේවයට යෙහෝවා දෙවි හුඟක් ආශීර්වාද කළා. අද වෙනකොට ලිලාන්ග්වීවල ඉදි කරලා තියෙන අලුත් ශාඛා කාර්යාලය දැකලා අපි හුඟක් සතුටු වෙනවා. මලාවි රටේ දැන් නමස්කාර මධ්‍යස්ථාන 1,000කට වඩා තියෙනවා. අතීතයේදී අපි විඳපු දේවල් එක්ක බලද්දී දැන් අපි විඳින ආශීර්වාද ගැන මටයි ලිඩාසිටයි හැඟෙන්න හරියට ලස්සන හීනයක් වගේ. c
a දැන් කුඩා දරුවන් ඉන්න සහෝදරයන් චාරිකා සේවකයන් විදිහට සේවය කරන්නේ නැහැ.
b මලාවිවල හිටපු සාක්ෂිකරුවන් අද්දැක්ක පීඩා ගැන දැනගන්න ‘1999 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ’ 171-223 දක්වා පිටු බලන්න. (සිංහලෙන් නැහැ.)
c මේ ලිපිය සූදානම් කරන අතරතුරේ සහෝදර න්සෝම්බා මිය ගියා. ඒ වෙනකොට එයාට වයස අවුරුදු 83යි.