ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - තායිවානයේදී
චුං කයුං සහ ජූලී වයස තිස් ගණන්වල ඉන්න යුවළක්. ඒ දෙන්නා මීට අවුරුදු 5කට කලින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ ස්ථාවර පුරෝගාමි සේවය කරකර හිටියා. ඒ ගැන කයුං මෙහෙම කියනවා. “අපි රස්සාව කළේ සතියකට දවස් කීපයක් විතරයි. සැප පහසු ජීවිතයක් ගත කරන්න අපිට ඒ ආදායම හොඳටම ඇති. එහේ දේශගුණෙත් හොඳයි. කරදරයක් නැතුව ජීවත් වෙන්න කියාපු පැත්ත. අපි පවුලේ අයයි යාළුවොයි එක්ක හරිම සතුටින් හිටියා.” ඒත් මීට වැඩි සේවයක් යෙහෝවා දෙවි වෙනුවෙන් කරන්න පුළුවන් කියලා එයාලගේ හිත නිතරම කිව්වා. හැබැයි අවශ්‍ය වෙනස්කම් කරගන්න නම් එයාලා ටිකක් අදිමදි කළා.
ඔය අතරේ 2009 සමුළුවක දීපු දේශනයක් දෙන්නාගේ හිතට ගොඩක් කාවැදුණා. සේවය තව වැඩියෙන් කරන්න පුළුවන්කම තියෙන අයව අමතලා කථිකයා මෙහෙම කිව්වා. “කාර් එකක් වමට හරි දකුණට හරි හරවන්න ඩ්‍රයිවර්ට පුළුවන් වෙන්නේ ඒක නවත්තලා තියෙද්දී නෙමෙයි ඒක යද්දියි. ඒ වගේ තමයි තව වැඩියෙන් සේවය කරන්න අපිට තියෙන සැලසුම්වලට යේසුස් මඟ පෙන්නන්නේ අපි ගමන යන්න පටන් අරන් නම් විතරයි. ඒ කියන්නේ අපි ඉලක්ක තියලා ඒ අනුව වැඩ කරන්න පියවර අරන් තියෙනවා නම් විතරයි.” * ඒ දෙන්නාට දැනුණේ ඒ දේශනය එයාලටම කියනවා වගෙයි. ඒ සමුළුවෙදීම තායිවානයේ මිෂනාරි සේවය කරන යුවළක් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. ඒකෙදී සේවයෙන් ලබන සතුට ගැනත් එහේ දේශනා කරන්න තව ගොඩක් පැති තියෙනවා කියලත් එයාලා කිව්වා. එතකොටත් කයුංටයි ජූලීටයි හිතුණේ ඒ කතා කරන්නේ ඒ දෙන්නටමයි කියලා.
ජූලී මෙහෙම කියනවා. “එදා ගෙදර ඇවිත් තායිවානයට ගිහින් සේවය කරන්න අපිට ධෛර්යය දෙන්න කියලා යෙහෝවාට යාච්ඤා කළා. ඒත් අපිට ලොකු බයකුත් දැනුණා. ජල තටාකයක ගැඹුර අඩු තැනක ඉඳන් ටිකෙන් ටික ගැඹුරු පැත්තට යන්නේ නැතුව එකපාරටම ගැඹුරු තැනට පනිනවා වගේ දෙයක්ද අපි කරන්න යන්නේ කියලත් අපිට හිතුණා.” ඒත් ඒ අමාරු තීරණය ගන්න ඒ දෙන්නාට උදව් වුණේ දේශනාකාරයා 11:4 තියෙන මේ වචනයි. “සුළඟ හමයිද කියා කල්පනා කරන තැනැත්තා කිසිවිටෙක වපුරන්නේ නැත. වැස්ස වහීද කියා කල්පනා කරන තැනැත්තා අස්වැන්න නෙළාගන්නේ නැත.” ඒ ගැන කයුං කියන්නේ මෙහෙමයි. “සුළඟ හමයිද වැස්ස වහීද කියලා තවත් බලාගෙන ඉන්නේ නැතුව වපුරන්නත් අස්වැන්න නෙළන්නත් අපි තීරණෙකට ආවා.” දෙන්නා දිගටම යාච්ඤා කළා. මිෂනාරිවරුන්ගේ ජීවිත කතා කියෙව්වා. තායිවානයේ සේවය කරන අයත් එක්ක ඊ-මේල් කරලා විස්තර දැනගත්තා. මාස 3කට පස්සේ එයාලගේ වාහනයි බඩුමුට්ටුයි විකුණලා තායිවානයට ගියා.
සේවයෙන් ලැබෙන සතුට අද්දැක්කා
මේ වෙනකොට ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජපානය, කොරියාව, ස්පාඤ්ඤය, ඇමරිකාව වගේ රටවලින් ආපු වයස 21ත් 73ත් අතර සහෝදර සහෝදරියන් 100කට වැඩිදෙනෙක් තායිවානයේ ප්‍රචාරකයන් අඩු පළාත්වල සේවය කරනවා. එයාලගෙන් 50දෙනෙකුට වඩා වැඩිදෙනෙක් තනිකඩ සහෝදරියන්. වෙනත් රටකට ගිහින් උද්‍යෝගයෙන් සේවය කරන්න ඒ අයට උදව් වුණේ මොනවද කියලා දැන් අපි හොයලා බලමු.
තායිවානයේ බටහිර පළාතේ සේවය කරන ලෝරා කැනඩාවෙන් ආපු තනිකඩ සහෝදරියක්. ඒත් මීට අවුරුදු 10කට විතර කලින් නම් එයා සේවයේ යන්න එච්චර කැමති නැහැ. “මම සේවයේ ගියේ යන්න ඕන නිසා මිසක් කැමැත්තෙන් නම් නෙමෙයි” කියලා ලෝරා කියනවා. ඒත් එයාගේ යාළුවෝ වගයක් මාසෙකට මෙක්සිකෝවේ සේවය කරන්න යද්දී ලෝරාටත් එන්න කිව්වා. “ඒක තමයි මං සේවයේ වැඩියෙන්ම හවුල් වුණු පළවෙනි වතාව. මටම පුදුමයි! මං ඒකෙන් ලොකු සතුටක් ලැබුවා” කියලා ලෝරා කියනවා.
එදා ඉඳන් ලෝරා ආසාවෙන් හිටියේ කැනඩාවේ තියෙන වෙනත් භාෂාවක් කතා කරන සභාවකට ගිහින් සේවය කරන්න. එයා චීන භාෂාව ඉගෙනගෙන ඒ භාෂාව කතා කරන කණ්ඩායමක් එක්ක සේවය කරන්න පටන්ගත්තා. ලෝරාගේ ඊළඟ ඉලක්කය වුණේ තායිවානයට ගිහින් සේවය කරන එක. එයා ඒ ඉලක්කේ 2008 සැප්තැම්බර් මාසේදී ජය ගත්තා. ලෝරා මෙහෙම කියනවා. “මේ රටට හුරු වෙන්න මට අවුරුද්දක් විතර ගියා. ඒත් දැන් මට මෙහේ දාලා යන එක ගැන නම් හිතාගන්නවත් බැහැ.” දැන් සේවය ගැන එයාට හැඟෙන්නේ කොහොමද? “නියමයි. හුඟක් අය යෙහෝවා දෙවිව දැනගෙන එයාලගේ ජීවිත වෙනස් කරගන්නවා දකින එක තරම් තෘප්තියක් තවත් නැහැ. ඒ සතුට උපරිමයෙන් අද්දකින්න මට පුළුවන් වුණේ තායිවානයට ආපු නිසයි.”
අලුත් භාෂාවක් ඉගෙනගන්න අභියෝගය
බ්‍රයන් සහ මිෂෙල් වයස තිස් ගණන්වල යුවළක්. දැනට අවුරුදු 8කට කලින් ඇමරිකාවේ ඉඳන් සේවය කරන්න තායිවානයට ආවම එයාලට දැනුණේ එයාලගේ සේවය සාර්ථක නැහැ කියලයි. කාලයක් තිස්සේ මිෂනාරි සේවය කරපු සහෝදරයෙක් ඒ දෙන්නට මෙහෙම කිව්වා. “සමහරවිට ඔයාලට දෙන්න පුළුවන් වෙන්නේ පත්‍රිකාවක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඒ කෙනාට පළවෙනි වතාවට යෙහෝවා දෙවි ගැන දැනගන්න ලැබෙන්නේ ඒ පත්‍රිකාවෙන් කියලා මතක තියාගන්න. එහෙම බලද්දී ඔයාලා කරන සේවයෙන් වැදගත් වැඩක් වෙනවා.” ඒ වචන එයාලට ලොකු දිරිගැන්වීමක් වුණා. තවත් සහෝදරයෙක් එයාලට මෙහෙම කිව්වා. “අලුත් භාෂාවක් ඉගෙනගද්දී ඒ භාෂාව ගැන ඔයාලට තියෙන දැනුම දවසින් දවස මනින්න එපා. එතකොට අධෛර්යය වෙන්න පුළුවන්. ඒත් මාස කීපයකට සැරයක් මැනලා බැලුවොත් සතුටු වෙන්න පුළුවන්.” අද වෙද්දී ඒ දෙන්නා චීන භාෂාව ඉගෙනගෙන සාර්ථක පුරෝගාමීන් විදිහට සේවය කරනවා.
වෙන භාෂාවක් ඉගෙනගන්න ආසාවක් ඇති කරගන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා සේවය කරන්න කැමති රටට නැත්නම් ප්‍රදේශයකට ගිහින් ටික දවසක් ගත කරන්න. එහේ රැස්වීම්වලට ගිහින් සහෝදරයන්ව ඇසුරු කරන්න. එයාලත් එක්ක සේවයේ යන්න. බ්‍රයන් මෙහෙම කියනවා. “හුඟක් අය ශුභාරංචිය අහන්න ආසයි කියලා දකිද්දී, සහෝදර සහොදරියන්ගේ ආදරය දැනෙද්දී ඒ රටට ගිහින් සේවය කරන්න ඔයා ඉබේම පෙලඹෙයි.”
වියදම් හොයාගන්නේ කොහොමද?
තායිවානයට ඇවිත් සේවය කරන හුඟක් අය එයාලගේ වියදම් හොයාගන්නේ ඉංග්‍රීසි භාෂාව උගන්වලා. ක්‍රිස්ටන් සහ මිෂෙල් කරන්නේ මාළු විකුණන එක. “මං මීට කලින් මේ වගේ දෙයක් කවදාවත් කරලා නෑ. ඒත් මේ රටේ සේවය කරන්න මට උදව් වෙලා තියෙන්නේ මේ රස්සාව” කියලා ක්‍රිස්ටන් කියනවා. කාලයක් යද්දී එයාටම කියලා ගනුදෙනුකරුවෝ ටිකක් හැදුණ නිසා වියදම් පිරිමහගන්න අවශ්‍ය මුදල් එයාලට ලැබුණා. ඒ නිසා දේශනා සේවයට මුල් තැන දෙන්න ඒ දෙන්නාට පුළුවන් වුණා.
‘ගමනාන්තය ගැන විතරක් හිතන්න එපා’
ඇමරිකාවේ හිටපු විලියම් සහ ජෙනිෆර් කියන යුවළ තායිවානයට ආවේ මීට අවුරුදු හතකට කලින්. විලියම් මෙහෙම කියනවා. “චීන භාෂාව ඉගෙනගන්න එක, පුරෝගාමි සේවය කරන එක, සභාව රැකබලා ගන්න එක, වියහියදම් හොයාගන්න එක ලේසි දෙයක් නෙමෙයි. මේ ඔක්කොම එක පාර කරන්න පුළුවන්ද කියලා හිතුණු වෙලාවලුත් තියෙනවා.” සතුටින් සේවය කරන්න එයාලට උදව් වුණේ මොනවද? ඒගොල්ලෝ තියාගත්තේ පුංචි පුංචි ඉලක්ක. උදාහරණෙකට චීන භාෂාව ඉගෙනගද්දී කෙටි කාලයකින් දක්ෂ විදිහට කතා කරන්න පුළුවන් වෙන්න ඕනෙ කියලා එයාලා හිතුවේ නැහැ. ඒ නිසා භාෂාව ඉගෙනගන්න කාලයක් ගියත් එයාලා අධෛර්යය වුණේ නැහැ.
විලියම්ට එක චාරිකා සේවකයෙක් මෙහෙම කියලා තියෙනවා. “ගමනක් යද්දී ගමනාන්තය ගැන විතරක් හිතලා සතුටු වෙන්නේ නැතුව යන මුළු ගමනම රස විඳින්න.” එයා ඒකෙන් අදහස් කළේ මොකක් හරි ඉලක්කයක් තියලා ඒකට ළං වෙන්න ගන්න හැම පොඩි පියවරක් ගැනම සතුටු වෙන්න කියලයි. ඒ උපදෙස අදාළ කරගත්ත නිසා ඒ රටේ සහෝදරයන් දෙන මඟ පෙන්වීම් පිළිගන්නත් ප්‍රදේශයට අනුව හැඩගැහිලා සේවය කරපු විදිහේ යම් වෙනස්කම් කරගන්නත් ඒ දෙන්නාට පුළුවන් වුණා. ඒ නිසා සේවයෙන් හොඳ ප්‍රතිඵල ඒගොල්ලන්ට ලැබුණා. විලියම් මෙහෙමත් කියනවා. “තායිවානයේ ලස්සන විඳින්න කාලය ගන්න ඕනෙ කියලා තේරුම්ගන්නත් ඒ උපදෙස අපිට උදව් වුණා.”
මෙගන් කියන්නේ ඇමරිකාවෙන් ආපු තනිකඩ සහෝදරියක්. එයාගේ ඉලක්කේ චීන භාෂාව තව හොඳට ඉගෙනගෙන සේවයේ තව හොඳින් හවුල් වෙන එකයි. ඒ අතරේ එයා දැන් කරන සේවයෙනුත් ලොකු සතුටක් ලබනවා. හැම සති අන්තයකදීම එයා ප්‍රචාරකයන් කට්ටියක් එක්ක කැවූෂියං කියන විශාල වරායේ සේවය කරන්න යනවා. නැවෙන් නැවට ගිහින් සේවය කරන්නත් බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය, වානුවාටු වගේ රටවලින් ආපු ධීවරයන්ට දේශනා කරන්නත් මෙගන්ට පුළුවන් වුණා. “ඒ අය වරායේ ඉන්නේ ටික වෙලාවක් විතරක් නිසා අපි එතනදීම ඒගොල්ලෝ එක්ක බයිබල් පාඩම් පටන්ගන්නවා. මම එකපාර හතර පස්දෙනෙකුට පාඩම කරන වෙලාවලුත් තියෙනවා.” චීන භාෂාව ඉගෙනගන්න එක ගැන එයා මෙහෙම කියනවා. “තවත් ඉක්මනින් ඉගෙනගන්න පුළුවන් නම් හොඳයි තමයි. ඒත් සහෝදරයෙක් කියපු දෙයක් මම නිතරම මතක් කරගන්නවා. එයා කිව්වේ ‘ඔයාට පුළුවන් උපරිමෙන් කරන්න. ඉතුරු ටික යෙහෝවා බලාගනියි’ කියලයි.”
සරලයි එත් සතුටුයි
කැති බ්‍රිතාන්‍යයේ ඉඳන් ආපු සහෝදරියක්. එයා තනිකඩ කෙනෙක් නිසා වෙනත් රටක සේවය කරන්න යන්න කලින් යන්න පුළුවන් හොඳම තැන් හොයලා බැලුවා. එයා යෙහෝවා දෙවිට යාච්ඤා කළාට පස්සේ ශාඛා කාර්යාල කීපයකටම ලියුම් ලියලා තනිකඩ සහෝදරියක් විදිහට මුහුණ දෙන්න වෙන අවදානම් දේවල් මොනවද කියලා අහලා බැලුවා. පරෙස්සමින් කාරණා හොයලා බලපු කැති, සේවය කරන්න තායිවානය තෝරගත්තා.
2004දී තායිවානයට එනකොට කැතිට වයස 31කයි. එයා ගත කරන්නේ හරිම සරල ජීවිතයක්. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මම නිතරම සහෝදර සහෝදරියන්ගෙන් අහනවා පලතුරු, එළවළු අඩුවට ගන්න පුළුවන් හොඳ තැන් මොනවද කියලා. එයාලා දීපු අදහස් මට උදව් වුණා අරපිරිමැස්මෙන් වියදම් කරන්න.” සරල ජීවිතයක් ගත කරන්න කැතිට උදව් වුණේ මොනවද? එයා මෙහෙම කියනවා. “මෙහෙදී ගන්න පුළුවන් කෑම බීම, ඇඳුම් ගැන සෑහීමට පත් වෙන්න මට උදව් කරන්න කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. මට ඇත්තටම ඕනෙ මොනවද කියලා අඳුනගන්නත් මං ආස කරන සමහර දේවල් ගන්න බැරි වුණත් ඒ ගැන ළත වෙන්නේ නැතුව ඉන්නත් දෙවි මට උදව් කරනවා. මං ගත කරන සරල ජීවිතේ ගැන මට සතුටුයි. ඒ නිසා මගේ සම්පූර්ණ අවධානය දෙවිගේ දේවලට යොමු කරන්න පුළුවන් වෙලා තියෙනවා.”
කැතිගේ ජීවිතේ සරලයි. හැම දවසකම කරන්න එයාට තෘප්තිමත් වැඩ තියෙනවා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මට පුළුවන් වුණා දෙවිගේ පණිවිඩේට හොඳින් ඇහුම්කන් දෙන හුඟක් අය ඉන්න ප්‍රදේශයක සේවය කරන්න. ඒක තමයි නියම සතුට.” කැති තායිවානයට ආපු මුලදී සේවය කරපු නගරේ තිබුණේ චීන භාෂාව කතා කරන සභා 2ක් විතරයි. හැබැයි දැන් එහේ සභා 7ක් තියෙනවා. “මේ පුදුම වර්ධනය මගේ ඇස් දෙකෙන්ම දකින නිසාත් ඒකට හවුල් වෙන්න ලැබෙන නිසාත් මං ගත කරන හැම දවසක්ම හරිම තෘප්තිමත්.”
“මගෙනුත් වැඩක් වුණා”
මුලින්ම කතා කරපු චුං කයුං සහ ජූලී දැන් තායිවානේ ගත කරන්නේ මොන වගේ ජීවිතයක්ද? චුං කයුංට චීන භාෂාව හොඳට කතා කරන්න බැරි නිසා එයා හිතුවේ එයාගෙන් සභාවට ඒ තරම් වැඩක් වෙන එකක් නැහැ කියලයි. ඒත් එහේ සහෝදරයෝ හිතුවේ ඒකේ අනිත් පැත්ත. චුං කයුං මෙහෙම කියනවා. “අපේ සභාව සභා දෙකක් වුණාම සහායක සේවකයෙක් විදිහට හුඟක් පැවරුම් මට භාර දුන්නා. එදා තමයි මට හිතුණේ මං ඇත්තටම සේවය කරන්නේ අවශ්‍යතාව තියෙන තැනක කියලා. මගෙනුත් වැඩක් වුණා කියලා දැනෙද්දී මට හරිම සතුටුයි.” අද වෙනකොට එයා වැඩිමහල්ලෙක්. “අපි ගත්තේ හරි තීරණය කියලා අපිට හොඳටම විශ්වාසයි. ඒ ගැන අපි ඉන්නේ ලොකු තෘප්තියකින්. කවදාවත් නැති තරම් ලොකු සතුටක් දැනෙනවා. අපි ආවේ මෙහේ ඉන්න අයට උදව් කරන්න. ඒත් ඇත්තටම උදව් ලැබිලා තියෙන්නේ අපිටයි. මෙහේ සේවය කරන්න අවස්ථාව දීපු එක ගැන අපි යෙහෝවාට ගොඩක් ස්තුති කරනවා” කියලා ජූලී කියනවා.
ගොඩක් ප්‍රදේශවල එකතු කරගන්න තව ලොකු අස්වැන්නක් තියෙනවා. ඔයා ඉස්කෝලෙ ගිහින් ඉවර වෙලා ඊළඟට මොකද කරන්නේ කියලා හිතහිතා ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දෙවිට වැඩිපුර සේවයක් කරන්න ආසාවෙන් ඉන්න තනිකඩ කෙනෙක්ද? දෙවිට වැඩියෙන් සේවය කරලා ලබන තෘප්තිය ඔයාගේ පවුලේ අයටත් ලබා දෙන්න ඔයා කැමතිද? ඔයා විශ්‍රාම අරන් ඉන්න කෙනෙක් නම් කාලයක් දෙවිට සේවය කරලා ලබලා තියෙන අද්දැකීම් අනිත් අය එක්ක බෙදාගන්න කැමතිද? ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් වැඩි සේවයක් කරන්න ඔයා තීරණයක් ගන්නවා නම් හිතාගන්න බැරි තරම් ආශීර්වාද ලැබෙනවා නිසැකයි.
^ 3 ඡේ. ‘“දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” දෙමු’ කියන පොතේ 16වෙනි පරිච්ඡේදයේ 5-6 ඡේද බලන්න.