ඔබ දැන සිටියාද?
අතීතයේදී කෙනෙක් තමන්ගේ වස්ත්‍ර ඉරාගත්ත එකෙන් අදහස් කළේ මොකක්ද?
සමහර පුද්ගලයන් ඔවුන්ගේ ඇඳුම් ඉරාගත්ත අවස්ථා ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ විදිහට ඇඳුම් ඉරාගන්න එක අද ඉන්න අයට අමුතු දෙයක් වගේ පෙනුණත් ඒ කාලේ හිටපු යුදෙව්වන්ට ඒක සාමාන්‍ය දෙයක්. ඔවුන්ට දැනුණ දුක, ලැජ්ජාව, බලාපොරොත්තු කඩවීම, කේන්තිය වගේ හැඟීම් පෙන්නන්නත් කෙනෙක්ගේ මරණය ගැන වැලපෙද්දිත් ඔවුන් එහෙම කළා. ඒ වගේ අවස්ථා කීපයක් දැන් අපි බලමු.
යෝසෙප්ව බේරගන්න රූබෙන් යොදපු සැලැස්ම අසාර්ථක වුණ නිසාත් යෝසෙප්ව වහලෙක් විදිහට විකුණුව නිසාත් රූබෙන් ‘තම වස්ත්‍ර ඉරාගත්තා.’ ඒ වගේම යෝසෙප්ව වනසතෙක් මරලා දාන්න ඇති කියලා දැනගත්තම යාකොබ් ‘තම වස්ත්‍ර ඉරාගත්තා.’ (උත්. 37:18-35) තමන්ගේ දරුවන් මිය ගියා කියන ආරංචිය ලැබුණම යෝබ් “තම සළුව ඉරාගත්තා.” (යෝබ් 1:18-20) “වස්ත්‍ර ඉරාගෙන” උත්තම පූජක ඒලී ළඟට ආව පණිවිඩකරුවෙක් ඊශ්‍රායෙල්වරු සටනින් පැරදුණා කියලත් ඒලීගේ පුතුන් දෙදෙනා මිය ගියා කියලත් ගිවිසුම් පෙට්ටිය සතුරන් පැහැරගත්තා කියලත් දැනුම් දුන්නා. (1 සාමු. 4:12-17) දෙවිගේ නීතිය කියවද්දී ඒකට සවන් දුන්න යොෂියා තම සෙනඟ කරපු වැරදි ගැන තේරුම්ගත්ත නිසා “තම වස්ත්‍ර ඉරාගත්තා.”
යේසුස් සම්බන්ධ නඩුව විභාග කරද්දී යේසුස් දේවඅපහාසයක් කළා කියලා තීරණය කරපු උත්තම පූජක කායෆස් ‘තම පිට වස්ත්‍ර ඉරාගත්තා.’ (මතෙ. 26:59-66) රබ්බිවරුන්ගේ නීතියේ සඳහන් වුණ විදිහට දෙවිගේ නමට අපහාස කරනවා යම් කෙනෙකුට ඇහුණොත් ඒ කෙනා තමන්ගේ වස්ත්‍ර ඉරාගත යුතු වුණා. ඒත් දේවමාලිගාවේ විනාශයෙන් පස්සේ ඔවුන්ගේ ඒ අදහස වෙනස් වුණා. “දෙවිගේ නමට අපහාස කරනවා කෙනෙක්ට ඇහුණට ඔහු තමන්ගේ වස්ත්‍ර ඉරාගන්න අවශ්‍ය නැහැ. ඒකට හේතුව ඒ විදිහට වස්ත්‍ර ඉරාගන්න ගියොත් අන්තිමට කෙනෙක්ට ඉතුරු වෙන්නේ වැරහැලි විතරයි” කියා ඔවුන් පැවසුවා.
ඇත්තටම කෙනෙක් අවංකවම දුක් වෙන්නේ නැතුව තමන්ගේ වස්ත්‍ර ඉරාගන්න එක දෙවි ඉදිරියේ කිසිම වටිනාකමක් නැති දෙයක්. ඒ වෙනුවට දෙවි තම සෙනඟට කිව්වේ “ඔබේ වස්ත්‍ර නොව සිත ඉරාගෙන ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී එන්න” කියලයි.