Skip to content

පටුනට යන්න

පොඩි කාලේ ගත්ත තීරණයක්

පොඩි කාලේ ගත්ත තීරණයක්

පොඩි කාලේ

මම ජීවත් වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බස් නගරේ. 1985දී ඒ කියන්නේ මට වයස දහයේදී විතර කාම්බෝජයේ ළමයි වගයක් අපේ ඉස්කෝලෙට ආවා. කාම්බෝජයේදී විඳපු වද හිංසා ගැන, මිනිසුන්ව අමු අමුවේ මරලා දාපු විදිහ ගැන, ජීවිත බේරගන්න හැංගි හැංගි තැනින් තැනට ගිය විදි ගැන එක ළමයෙක් චිත්‍ර ඇඳලා මට පෙන්නුවා. ඒ ළමයි ගැන හිතලා මම අඬපු දවස් අනන්තයි. මට ඕන වුණේ පාරාදීසය ගැනයි නැවත නැඟිටීම ගැනයි ඒගොල්ලන්ට කියලා දෙන්න. ඒත් ඒ අයට ඉංග්‍රීසි තේරෙන්නේ නැති නිසා මං ඒගොල්ලන්ගේ භාෂාව ඉගෙනගත්තොත් ඒක කරන්න පුළුවන් කියලා මට හිතුණා. පොඩි වයසේදී වුණත් මං ගත්ත ඒ තීරණය මගේ අනාගතයටම බලපායි කියලා නම් මං හිතුවේ නැහැ.

ඒ භාෂාව ඉගෙනගන්න එක මට ලේසි වුණේ නැහැ. ඒක අතහැරලා දාන්න මට දෙපාරක්ම හිතුණා. හැබැයි යෙහෝවා දෙවි මගේ දෙමව්පියන්ව පාවිච්චි කරලා මාව දිරිගැන්නුවා. ගුරුවරු, ඉස්කෝලෙ ළමයි නිතරම වගේ කිව්වේ හොඳට සල්ලි හම්බ වෙන රස්සාවක් ඉලක්ක කරගෙන දේවල් සැලසුම් කරන්න කියලයි. හැබැයි මට ඕන වුණේ පුරෝගාමි සේවය කරන්න. ඒ නිසා පොඩි රස්සාවක් හොයාගන්න මට උදව් වෙයි කියලා හිතපු විෂයන් තමයි මං ඉහළ පන්තිවලදී තෝරගත්තේ. ඉස්කෝලෙ ඇරුණට පස්සේ මං පුරෝගාමීන් එක්ක සේවයේ ගියා. එහෙම ගියේ නැති දවස්වල ඉංග්‍රීසි එච්චර දන්නේ නැති ළමයින්ට මං ඉගැන්නුවා.

කාම්බෝජියානු භාෂාව කතා කරන කණ්ඩායමක් කැලිෆෝර්නියාවේ ඉන්නවා කියලා දැනගත්තම මං ටික දවසකට එහෙට ගියා. එතකොට මට වයස 16යි. එහෙදී මං කාම්බෝජියානු භාෂාව කියවන්න ඉගෙනගත්තා. ඉස්කෝලෙ ගිහින් ඉවර වුණ ගමන්ම වගේ මං පුරෝගාමි සේවය පටන්ගත්තා. කාම්බෝජියානු භාෂාව කතා කරන අයට මං දේශනා කළා. කාම්බෝජියාවට ගිහින් සේවය කරන එක ගැනත් මං හිතුවා. ඒ වෙනකොටත් එහෙ තත්වය හරිම භයානකයි. ඒත් එහෙ ජනගහනයෙන් හරිම සුළු පිරිසක් විතරයි ශුභාරංචිය අහලා තිබුණේ. මුළු රටටම හිටියේ ප්‍රචාරකයන් 13දෙනයි. මම මුලින්ම කාම්බෝජයට යද්දී මට වයස 19යි. ඊට අවුරුදු දෙකකට පස්සේ මං එහෙ පදිංචියට ගියා. පුරෝගාමි සේවය කරන ගමන් මගේ වියදම් පියවගන්න මං ඉංග්‍රීසි ඉගැන්නුවා. පරිවර්තන වැඩත් කළා. ඊටපස්සේ මං විවාහ වුණා. එයාත් දෙවිට වැඩියෙන් සේවය කරන්න කැමති කෙනෙක්. යෙහෝවා දෙවිගේ සේවකයන් වෙන්න හුඟදෙනෙක්ට උදව් කරන්න අපි දෙන්නට පුළුවන් වුණා.

පොඩි කාලේ ඉඳන් මගේ හිතේ තිබුණ ආශාව යෙහෝවා දෙවි ඉටු කළා. (ගීතා. 37:4) ශුභාරංචිය ගැන අනිත් අයට කියන එක තරම් සතුටක් ගෙන දෙන දෙයක් තවත් නැහැ. මං මෙහෙට ඇවිත් දැන් අවුරුදු 16ක් විතර වෙනවා. එදා ප්‍රචාරකයන් 13දෙනෙක් හිටපු ඒ පුංචි සභාව අද සභා 12ක් හා කණ්ඩායම් 4ක් දක්වා වර්ධනය වෙලා!—ජේසන් බ්ලැක්වෙල්.