Skip to content

පටුනට යන්න

“ඒ දේ සිදු වන්නේ කවදාද?”

“ඒ දේ සිදු වන්නේ කවදාද?”

“ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?”මතෙ. 24:3.

1. යේසුස්ගේ ගෝලයෝ වගේ අපිත් ආශාවෙන් ඉන්නේ මොනවා ගැන දැනගන්නද?

යේසුස්ගේ මරණයට දින කිහිපයකට කලින් ඔහුගේ ගෝලයෝ හතරදෙනෙක් ඔහුගෙන් මෙහෙම ඇහුවා. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?” (මතෙ. 24:3; මාක් 13:3) යේසුස්, ඒ ප්‍රශ්නයට උත්තර විදිහට සිද්ධීන් හුඟක් ඇතුළත් අනාවැකියක් කිව්වා. මතෙව් 24වෙනි සහ 25වෙනි පරිච්ඡේදවල ඒ අනාවැකිය සඳහන් වෙනවා. යේසුස්ගේ ගෝලයෝ වගේ අපිත් අනාගතය ගැන දැනගන්න ආස නිසා, ඒ අනාවැකිය අධ්‍යයනය කිරීම අපිටත් හුඟක් ප්‍රයෝජනවත් වෙයි.

2. (අ) කාලයක් පුරා දෙවිගේ සේවකයන් අවබෝධ කරගන්න උත්සාහ කළේ මොකක්ද? (ආ) අපි මේ ලිපියේ සලකා බලන ප්‍රශ්න මොනවද?

2 අවසාන කාල පරිච්ඡේදය ගැන යේසුස් කිව්ව ඒ අනාවැකිය ඉටු වෙන කාලය තේරුම්ගන්න, යෙහෝවා දෙවිගේ සේවකයන් අවුරුදු ගාණක් පුරාම ඒක අධ්‍යයනය කරලා තියෙනවා. ඒ සඳහා ඔවුන් දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරලත් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ‘මහත් පීඩාව’ ආරම්භ වෙන්නේ කවදද, යේසුස් ‘එළුවන්ගෙන් බැටළුවන්ව’ වෙන් කරන්නේ කවදද, යේසුස් ‘එන්නේ’ කවදද කියන ප්‍රශ්න ගැන ක්‍රමානුකූලව පැහැදිලි අවබෝධයක් ඔවුන්ට ලැබුණා.—මතෙ. 24:21; 25:31-33.

මහත් පීඩාව ආරම්භ වෙන්නේ කවදද?

3. දෙවිගේ සේවකයන් මහත් පීඩාව ගැන මුලින් හිතාගෙන හිටියේ මොනවද?

3 දෙවිගේ සේවකයන් මහත් පීඩාව ගැන කලින් අවබෝධ කරගෙන හිටපු දේ ගැන අපි මුලින්ම බලමු. ඔවුන් හිතුවේ මහත් පීඩාවට අදියර තුනක් තියෙනවා කියලයි. (1) මහත් පීඩාවේ ආරම්භය. වර්ෂ 1914 සිට 1918 දක්වා තිබුණ පළවෙනි ලෝක මහා යුද්ධය, මහත් පීඩාවේ ආරම්භය කියලයි ඔවුන් හිතුවේ. (2) මහත් පීඩාවට විරාමයක්. වර්ෂ 1918දී යුද්ධය නතර වුණේ, ‘කාලය කෙටි කරනවා’ කියලා යේසුස් කිව්ව අනාවැකියේ ඉටු වීමක් විදිහට කියලයි ඔවුන් හිතුවේ. (මතෙ. 24:21, 22) යෙහෝවා දෙවි එහෙම කළේ අභිෂේක ලත් අයට ලොව පුරා දේශනා කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනෙ නිසා කියලත් ඔවුන් හිතුවා. (3) මහත් පීඩාවේ අවසානය. දේශනා කිරීමේ කාර්යය ඉවර වුණාට පස්සේ හර්–මගෙදොන් යුද්ධයත් එක්කම මහත් පීඩාව අවසන් වෙනවා කියලයි ඔවුන් හිතුවේ.

4. යේසුස්ගේ අනාවැකිය අධ්‍යයනය කරද්දී දෙවිගේ සෙනඟ තේරුම්ගත්තේ මොනවද?

4 ඒත් යේසුස් කිව්ව අනාවැකිය තවත් හොඳට අධ්‍යයනය කරද්දී, මතෙව් 24:4-22හි සඳහන් කොටසට ඉටු වීම් දෙකක් තියෙනවා කියලා දෙවිගේ සෙනඟ තේරුම්ගත්තා. ඒක මුලින්ම ඉටු වුණේ පළවෙනි සියවසේ යූදා දේශයේදී කියලත් දෙවෙනි ඉටු වීම අපේ කාලයේ ලොව පුරාම සිදු වෙනවා කියලත් ඔවුන් තේරුම්ගත්තා. ඒක අවබෝධ කරගත්ත නිසා තවත් කාරණා ගැන පැහැදිලිව තේරුම්ගන්න ඔවුන්ට පුළුවන් වුණා. *

5. (අ) වර්ෂ 1914දී ආරම්භ වුණේ මොකක්ද? (ආ) ඒකේ මුල් ඉටු වීම සිදු වුණේ කවදද?

5 මහත් පීඩාව ආරම්භ වුණේ 1914දී නෙවෙයි කියලත් ඔවුන් තේරුම්ගත්තා. ඒකට හේතුව මහත් පීඩාව ආරම්භ වෙන්නේ ජාතීන් අතර ඇති වෙන යුද්ධයකින් නෙවෙයි. බයිබලයේ කියන විදිහට ඒක ආරම්භ වෙන්නේ අසත්‍යය උගන්වන ආගම්වලට විරුද්ධව එල්ල කරන ප්‍රහාරයකින්. මහත් පීඩාව වෙනුවට 1914දී පටන්ගත්තේ “දරුණු විපත්වල ආරම්භයක්” කියලා ඔවුන් තේරුම්ගත්තා. (මතෙ. 24:8) වර්ෂ 1914දී ඉටු වුණේ “දරුණු විපත්” ගැන යේසුස් කියපු අනාවැකියේ දෙවෙනි ඉටු වීමයි. ඒකේ මුල් ඉටු වීම සිදු වුණේ ක්‍රිස්තු වර්ෂ 33ත් 66ත් අතර යෙරුසලම ඇතුළු යූදා දේශයෙයි.

6. මහත් පීඩාව ආරම්භ වෙන්නේ කුමන සිදුවීමත් එක්කද?

6 එහෙමනම් මහත් පීඩාව ආරම්භ වෙන්නේ කවදද? ඒක යේසුස් කියපු මේ දෙයින් තේරුම්ගන්න පුළුවන්. “අනාගතවක්තෘ දානියෙල් මාර්ගයෙන් කියන ලද විනාශය සිදු කරන පිළිකුල් දෙය ශුද්ධස්ථානයක තිබෙනවා ඔබ දකින විට (පාඨකයා මෙය අවබෝධයෙන් කියවිය යුතුයි), යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි.” (මතෙ. 24:15, 16) යේසුස් කිව්ව ඒ දේට ඉටු වීම් දෙකක් තියෙනවා. මුල් ඉටු වීම වුණේ ක්‍රි.ව. 66දී. එදා රෝම හමුදාව (පිළිකුල් දෙය) යෙරුසලම හා එහි තිබුණ දේවමාලිගාවට (ශුද්ධස්ථානය: යුදෙව්වන් දේවමාලිගාව සැලකුවේ ශුද්ධ දෙයක් විදිහට) පහර දෙන්න ආවා. දෙවෙනි ඉටු වීම සිදු වෙන්නේ ඉදිරියේදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය (පිළිකුල් දෙය) ක්‍රිස්තියානි කියලා කියාගන්නා ආගම් (ශුද්ධස්ථානය: ක්‍රිස්තියානි භක්තිකයන් තම ආගම් සලකන්නේ ශුද්ධ දෙයක් විදිහටයි) ඇතුළු මහ බැබිලෝනියට අයත් සියලුම ආගම්වලට ඉදිරියේදී පහර දෙනවා. එළිදරව් 17:16-18හි සඳහන් වෙන්නෙත් ඒ ප්‍රහාරය ගැනයි. මහත් පීඩාවේ ආරම්භය ඒකයි.

7. (අ) පළවෙනි සියවසේ හිටපු අභිෂේක ලත් අයට ජීවිත ගලවගන්න පුළුවන් වුණේ කොහොමද? (ආ) අනාගතයේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?

7 ඒ වගේම ‘කාලය කෙටි කරනවා’ කියලත් යේසුස්ගේ අනාවැකියේ සඳහන් වෙනවා. ඒකේ තේරුම මොකක්ද? ඒකේ මුල් ඉටු වීම වුණෙත් ක්‍රි.ව. 66දී. යෙරුසලම වට කරගෙන හිටපු රෝම හමුදාව නොසිතුව විදිහට ආපහු හැරිලා ගියා. ඒ නිසා යෙරුසලමේ සහ යුදයේ හිටපු අභිෂේක ලත් අයට තමන්ගේ ‘ජීවිත ගලවාගෙන’ පලා යන්න පුළුවන් වුණා. ඒ නිසා ‘කාලය කෙටි කරනවා’ කියන එකෙන් එදා අදහස් කළේ රෝම හමුදාව එල්ල කරපු ප්‍රහාරය අතරමඟ නැවැත්වීමයි. (මතෙව් 24:22 කියවන්න; මලා. 3:17) ඒකේ දෙවෙනි ඉටු වීම වෙන්නේ මහත් පීඩාව අතරතුරේදී කියලා අපිට හිතන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය, සියලුම අසත්‍යය උගන්වන ආගම් විනාශ කරගෙන ඇවිත් සත්‍ය ආගමට ප්‍රහාරයක් එල්ල කරන්න හදද්දී, දෙවි ඔවුන්ව නතර කරනවා. ‘කාලය කෙටි කරනවා’ කියන්නේ ඒ ප්‍රහාරය නැවැත්වීමයි.

8. (අ) අසත්‍යය උගන්වන ආගම් විනාශ වුණාට පස්සේ වෙන්නේ මොනවද? (ආ) පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අය ස්වර්ගයට ගන්නේ කුමන අවස්ථාවේ විය හැකිද? (අමතර සටහන් බලන්න.)

 8 මහත් පීඩාව ආරම්භ වෙන්නේ අසත්‍යය උගන්වන ආගම් විනාශ වීමෙන් කියලත් එය අවසන් වෙන්නේ හර්–මගෙදොන් යුද්ධයෙන් කියලත් පැහැදිලියි. ඒ සිදුවීම් දෙක අතරමැද යම් කාලයක් තියෙනවා කියලා යේසුස් කියපු දෙයින් අපිට තේරුම්ගන්න පුළුවන්. ඒ කාලය ඇතුළත වෙන්නේ මොනවද? ඒකට උත්තර එසකියෙල් 38:14-16 සහ මතෙව් 24:29-31 (කියවන්න.) යන බයිබල් පදවලින් අපිට හොයාගන්න පුළුවන්. * හර්–මගෙදොන් යුද්ධය, අපිට ක්‍රි.ව. 70දී සිදු වුණ යෙරුසලමේ විනාශයට සමාන කරන්න පුළුවන්. (මලා. 4:1) හැබැයි ඒක “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ” විනාශයක්. (මතෙ. 24:21) ඊටපස්සේ යේසුස්ගේ දහස් අවුරුදු පාලනය පටන්ගන්නවා.

9. මහත් පීඩාව ගැන සඳහන් අනාවැකිය හොඳින් තේරුම්ගන්න එක අපිට වැදගත් වෙන්නේ ඇයි?

9 මහත් පීඩාව ගැන යේසුස් කිව්ව අනාවැකිය හොඳින් තේරුම්ගත්තොත් අපිට මේ කාරණය ගැන ස්ථිර වෙන්න පුළුවන්. ඒ තමයි, මොන තරම් අමාරු තත්වයකට මුහුණ දෙන්න වුණත් කණ්ඩායමක් හැටියට යෙහෝවා දෙවිගේ සෙනඟ අනිවාර්යයෙන්ම මහත් පීඩාවෙන් ගැලවෙනවා කියන එක. (එළි. 7:9, 14) ඒ හැම දේටම වඩා හර්–මගෙදොන් යුද්ධයෙන්, දෙවිගේ නමට ඇති වෙලා තියෙන නින්දාව නැති වෙන එක ගැනත් පාලනය කිරීමට දෙවිට තියෙන අයිතිය තහවුරු වෙන එක ගැනත් අපි හුඟක් සතුටු වෙනවා.—ගීතා. 83:18; එස. 38:23.

යේසුස් ‘එළුවන්ගෙන් බැටළුවන්ව’ වෙන් කරන්නේ කවදද?

10. ‘එළුවන්ගෙන් බැටළුවන්ව’ වෙන් කරන කාලය ගැන දෙවිගේ සේවකයන් කලින් අවබෝධ කරගෙන තිබුණේ මොකක්ද?

10 යේසුස් කිව්ව අනාවැකියේ තිබුණ තවත් සිද්ධියක් තමයි එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීම. (මතෙ. 25:31-46) දෙවිගේ සෙනඟ කලින් අවබෝධ කරගෙන හිටියේ එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන කාර්යය 1914න් පටන් අරන් අවසාන කාලය පුරාවටම සිදු වෙනවා කියලයි. ඒ කාලය ඇතුළත දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රතික්ෂේප කරලා, මහත් පීඩාවට කලින් මිය යන හැමෝම එළුවන් කියලත් ඒ අයට නැවත නැඟිටීමක් නැහැ කියලත් ඔවුන් හිතුවා.

11. එළුවන්ගෙන් බැටළුවන්ව වෙන් කිරීම 1914දී ආරම්භ වුණේ නැහැ කියලා කියන්නේ කොහොමද?

11 ඒත් මතෙව් 25:31 හොඳින් අධ්‍යයනය කළාට පස්සේ ඔවුන්ට කාරණය තවත් පැහැදිලිව අවබෝධ වුණා. එතන කියන්නේ මෙහෙමයි. “මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගනියි.” ඒ බයිබල් පදය 1995දී පළ වුණ මුරටැඹ සඟරාවක විස්තර කරලා තිබුණා. ඒකේ සඳහන් වුණ විදිහට යේසුස් 1914දී රජ වුණත් ඔහු ඒ අවුරුද්දේ විනිශ්චයකරුවෙක් විදිහට “සියලු ජාතීන්” විනිශ්චය කිරීමේ අරමුණෙන් තම තේජවත් සිංහාසනයේ ඉඳගත්තේ නැහැ. (මතෙ. 25:32; දානියෙල් 7:13 බලන්න.) ඒත් එළුවන්ගෙන් බැටළුවන්ව වෙන් කරන්න නම් යේසුස් විනිශ්චයකරුවෙක් විදිහට කටයුතු කරන්න ඕනෙ කියන එක පැහැදිලියි. (මතෙව් 25:31-34, 41, 46 කියවන්න.) යේසුස් 1914දී විනිශ්චයකරුවෙක් විදිහට කටයුතු කළේ නැති නිසා එළුවන්ගෙන් බැටළුවන්ව වෙන් කරන කාර්යය 1914දී ආරම්භ වුණා කියලා කියන්න බැහැ. * එහෙමනම් ඒක වෙන්නේ කවදද?

12. (අ) යේසුස් විනිශ්චයකරුවෙක් විදිහට සියලු ජාතීන්ව විනිශ්චය කරන්නේ කවදද? (ආ) මතෙව් 24:30, 31හි සහ මතෙව් 25:31-33, 46හි සඳහන් එක හා සමාන දේවල් මොනවද?

 12 යේසුස්ගේ අනාවැකිය ගැන හොඳින් අධ්‍යයනය කරද්දී පැහැදිලි වෙන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි යේසුස් මුලින්ම විනිශ්චයකරුවෙක් විදිහට සියලු ජාතීන්ව විනිශ්චය කරන්නේ සියලුම අසත්‍යය උගන්වන ආගම් විනාශ කළාට පස්සේ කියන එක. ඒක වෙන්නේ මහත් පීඩාව අතරතුරේදියි. අපි  8වෙනි ඡේදයේ බලපු විදිහට අසත්‍යය උගන්වන ආගම් විනාශ කළාට පස්සේ සිදු වෙන දේවල් කිහිපයක් ගැන මතෙව් 24:30, 31හි සඳහන් වෙනවා. ඒ පද හොඳින් අධ්‍යයනය කළොත් ඔබ දකියි යේසුස් එතන කතා කරන දේවල්, මතෙව් 25:31-33, 46හි යේසුස් එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන අවස්ථාව ගැන කියපු දේවල්වලට සමානයි කියලා. උදාහරණයකට මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් යුතුව සියලු දේවදූතයන් සමඟ එන එක, සියලු ජාතීන්ව ඔහු ඉදිරියට රැස් කරන එක, බැටළුවන්ට සදාකාල ජීවනය හිමි වෙන නිසා ඔවුන් ‘ධෛර්යයවත්ව හිස් ඔසවන’ එක, * එළුවන් ලෙස විනිශ්චය ලබන අයට “සදාකාල මරණය” හිමි වෙන නිසා ඔවුන් ‘ශෝකයෙන් තම පපුවට ගසාගන්න’ එක වගේ දේවල් මේ අවස්ථා දෙකේදීම දකින්න පුළුවන්.

13. (අ) යේසුස් ‘එළුවන්ගෙන් බැටළුවන්ව’ වෙන් කරන්නේ මොන කාලයේදීද? (ආ) ඒ කාරණය අවබෝධ කරගැනීම අපේ දේවසේවයට බලපාන්නේ කොහොමද?

13 එහෙමනම් එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරනවා වගේ සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව විනිශ්චය කරන්නේ මහත් පීඩාව අතරතුරේදී කියන එක පැහැදිලියි. හර්–මගෙදොන් යුද්ධයේදී එළුවන් හා සමාන අයව සදාකාලයටම විනාශ කරනවා. ඒ කාරණය හොඳින් අවබෝධ කරගත්තොත් අපේ දේවසේවය කොයි තරම් වැදගත් දෙයක්ද කියලා අපිට තේරෙයි. මහත් පීඩාව එනකල් මිනිසුන්ට තාමත් අවස්ථාව තියෙනවා ඔවුන් හිතන විදිහ වෙනස් කරගෙන “ජීවනය කරා” යන පාරේ ගමන් කරන්න. (මතෙ. 7:13, 14) ඇත්ත, මේ කාලයේදිත් එළුවන් වගේම බැටළුවන් වගේ ගතිලක්ෂණ තියෙන මිනිස්සුත් ඉන්න පුළුවන්. ඒ වුණත් කෙනෙක් එළුවෙක් හා සමාන කෙනෙක්ද බැටළුවෙක් හා සමාන කෙනෙක්ද කියලා අපිට දැන් තීරණය කරන්න බැහැ. ඒක තීරණය වෙන්නේ මහත් පීඩාව අතරතුරේදී කියන එක අපි මතක තියාගමු. ඒ නිසා මේ කාලයේදී අපි හැකි තරම් දෙනෙකුට ශුභාරංචියට ඇහුම්කන් දෙන්න අවස්ථාවක් ලබා දෙමු.

මහත් පීඩාව ආරම්භ වෙන තුරුම මිනිසුන්ට තමන්ගේ ජීවිත වෙනස් කරගන්න අවස්ථාව තියෙනවා (13වෙනි ඡේදය බලන්න)

යේසුස් එන්නේ කවදද?

14, 15. යේසුස් ඉදිරියේදී විනිශ්චයකරුවෙක් විදිහට එන එක ගැන බයිබලයේ සඳහන් අවස්ථා හතර මොකක්ද?

14 යේසුස් කිව්ව අනාවැකියේ සඳහන් සිද්ධීන් දෙකක් ඉටු වෙන කාලය ගැන අපේ අවබෝධය වැඩි වුණ විදිහ ගැන අපි දැනගත්තා. එහෙමනම් යේසුස්ගේ අනාවැකියේ තියෙන අනිත් දේවල් ඉටු වෙන කාලය ගැන අපි මේ වෙන තුරු අවබෝධ කරගෙන හිටිය දේත් වෙනසක් කරගන්න ඕනෙද? දැන් අපි ඒ ගැන බලමු.

15 යේසුස්ගේ අනාවැකියේ මතෙව් 24:29–25:46 දක්වා තියෙන කොටසේ යේසුස් මූලිකවම කතා කරන්නේ මේ අවසාන දවස්වල සහ මහත් පීඩාව අතරතුර සිදු වන සිද්ධීන් ගැනයි. ඒ කොටසේ, යේසුස් තමන් ‘එනවා’ නැත්නම් ‘පැමිණෙනවා’ කියලා අට වතාවක් සඳහන් කරනවා. * ඒ අටෙන් හතරක් ගැන සඳහන් වෙන්නේ මේ විදිහටයි. (1) “වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව ඔවුන් දකියි.” (2) “ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැහැ.” (3) “මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදීයි.” (4) ‘මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් එන අවස්ථාව.’ (මතෙ. 24:30, 42, 44; 25:31) ඒ අවස්ථා හතරම අදාළ වෙන්නේ මහත් පීඩාව සිදු වෙන කාලයේදී යේසුස් විනිශ්චයකරුවෙක් විදිහට ක්‍රියා කිරීම සඳහා එන අවස්ථාවටයි.

16. යේසුස්ගේ පැමිණීම ගැන බයිබලයේ සඳහන් වෙන අනිත් අවස්ථා හතර මොනවද?

16 යේසුස්ගේ අනාවැකියේ ඔහුගේ පැමිණීම ගැන සඳහන් වෙන අනිත් අවස්ථා හතර මොනවද? (1) විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ගැන කතා කරද්දී. එතන “ස්වාමියා පැමිණි විට ඔහු එසේ කරනවා දකී නම් ඒ දාසයා සන්තෝෂවත්ය” කියලා කියනවා. (2) කන්‍යාවන් දසදෙනා ගැන කතා කරද්දී. එතන ‘ඔවුන් තෙල් මිල දී ගැනීමට පිටත්ව යන අතරතුර මනාලයා පැමිණියා’ කියලා සඳහන් වෙනවා. (3) තලෙන්ත ගැන උපමාව කියද්දී. එතන ‘බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා පැමිණියා’ කියලා යේසුස් කියනවා. (4) ඒ උපමාවෙම, ‘මා නැවත පැමිණි විට මා සතු දේ මට ලැබෙන්න තිබුණා’ කියලත් කියනවා. (මතෙ. 24:46; 25:10, 19, 27) යේසුස් ඒ අවස්ථා හතරේදී කතා කරන පැමිණීම අදාළ වෙන්නේ කොයි කාලයටද?

17. මතෙව් 24:46හි සඳහන් දෙය අපි කලින් විස්තර කළේ කොහොමද?

17 ඒ අවස්ථා හතරම අදාළ වෙන්නේ යේසුස් 1918දී පැමිණි අවස්ථාවට කියලයි අපේ ප්‍රකාශනවල මේ වෙන තුරු සඳහන් වුණේ. උදාහරණයකට යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැන කතා කරපු අවස්ථාව ගැන බලමු. (මතෙව් 24:45-47 කියවන්න.) අපි මේ වෙන තුරු අවබෝධ කරගෙන හිටියේ මතෙව් 24:46හි සඳහන් වෙන ‘පැමිණීම’ සිදු වුණේ 1918දී කියලයි. යේසුස් 1918දී ඇවිත් අභිෂේක ලත් අයව සෝදිසි කළා කියලත් 1919දී තමන් සතු සියලු දේවල් බලාගන්න ඔවුන්ව පත් කළා කියලත් අපි හිතුවා. (මලා. 3:1) ඒත් යේසුස්ගේ අනාවැකිය තවත් හොඳින් අධ්‍යයනය කරද්දී අපි මෙතෙක් අවබෝධ කරගෙන හිටපු ඒ දේවල යම් වෙනසක් කරන්න ඕනෙ කියලා පැහැදිලි වුණා. ඒ ඇයි?

18. යේසුස්ගේ පැමිණීම ගැන දැන් අපි අවබෝධ කරගෙන තියෙන්නේ මොකක්ද?

18 යේසුස්ගේ අනාවැකියේ මතෙව් 24:46 ඡේදයට කලින්, යේසුස් එනවා කියන වචනය සඳහන් වෙන හැම අවස්ථාවක්ම අදාළ වෙන්නේ මහත් පීඩාව සිදු වෙන කාලයේදී යේසුස් කරන විනිශ්චයටයි. (මතෙ. 24:30, 42, 44) ඒ වගේම අපි මේ ලිපියේ  12වෙනි ඡේදයේ සාකච්ඡා කළ විදිහට මතෙව් 25:31හි යේසුස් එනවා කියලා සඳහන් වෙන දෙය අදාළ වෙන්නෙත් මහත් පීඩාව සිදු වෙන කාලයේදී යේසුස් කරන විනිශ්චයටමයි. එහෙමනම් මතෙව් 24:46, 47හි සඳහන් විදිහට තමන් සතු සියලු දේවල් බලාගන්න විශ්වාසවන්ත දාසයාව පත් කිරීම සඳහා යේසුස්ගේ පැමිණීම සිදු වෙන්නෙත් ඉදිරියේදී, එනම් මහත් පීඩාව සිදු වෙන කාලයේදියි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ විදිහට බලද්දී යේසුස් එනවා කියලා සඳහන් වෙලා තියෙන ඒ අවස්ථා අටම අදාළ වෙන්නේ මහත් පීඩාව සිදු වෙන කාලයේදී යේසුස් විනිශ්චය කිරීමට එන අවස්ථාවටයි කියලා අපිට හිතන්න පුළුවන්.

19. අපි මේ ලිපියෙන් දැනගත්තේ මොනවද? අපි ඊළඟ ලිපිවලින් බලන්නේ මොනවද?

19 මේ ලිපියෙන් අපි ප්‍රශ්න තුනකට පිළිතුරු දැනගත්තා. මහත් පීඩාව පටන්ගත්තේ 1914දී නෙවෙයි කියලත් ඒක ආරම්භ වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මහ බැබිලෝනියට අයිති සියලුම ආගම්වලට එල්ල කරන ප්‍රහාරයත් එක්කම කියලත් අපි මුලින්ම දැනගත්තා. ඊළඟට, එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීමේ කාර්යය 1914දී ආරම්භ වුණේ නැහැ කියලත් ඒක මහත් පීඩාව අතරතුරේදී සිදු වෙනවා කියලත් අපි දැනගත්තා. යේසුස් තමන් සතු සියලු දේවල් බලාගන්න විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව පත් කළේ 1919දී නෙවෙයි කියලත් ඒක වෙන්නේ මහත් පීඩාව අතරතුරේදී කියලත් අපි අන්තිමට ඉගෙනගත්තා. එහෙමනම් ඒ සිදුවීම් තුනම වෙන්නේ අනාගතයේදී කියන එක පැහැදිලියි. අපි දැන් අවබෝධ කරගෙන තියෙන ඒ කාරණා නිසා, විශ්වාසවන්ත දාසයා ගැන අපිට තිබුණ අවබෝධයෙත් යම් වෙනසක් කරගන්න වෙයිද? ඒ වගේම දැන් අපි අවබෝධ කරගෙන තියෙන දේවල් නිසා අවසාන කාලයේදී සිදු වෙන දේවල් විස්තර කරන්න යේසුස් කියපු උපමා ගැන අපිට තියෙන අවබෝධයෙත් යම් වෙනස්කම් කරන්න වෙයිද? ඊළඟ ලිපිවලින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු හොයමු.

 

^ 4 ඡේ. 4වෙනි ඡේදය: වැඩි විස්තර දැනගන්න 1994 පෙබරවාරි 15 මුරටැඹ සඟරාවේ 8-21 පිටු සහ 1999 මැයි 1 මුරටැඹ සඟරාවේ 8-20 පිටු බලන්න.

^ 8 ඡේ. 8වෙනි ඡේදය: මේ බයිබල් පදවල සඳහන් වෙන එක සිද්ධියක් වෙන්නේ ‘තෝරාගත් අයව රැස් කිරීමයි.’ (මතෙ. 24:31) මහත් පීඩාව ආරම්භ වෙලා මහ බැබිලෝනියට අයත් සියලුම ආගම් විනාශ වුණාට පස්සේ, පොළොවේ සිටින අභිෂේක ලත් අය හර්–මගෙදොන් යුද්ධයට කලින් තියෙන කාලය ඇතුළත යම් අවස්ථාවක ස්වර්ගයට ගැනීමට දෙවි කටයුතු කරයි කියලා අපිට හිතන්න පුළුවන්. එය 1991 අගෝස්තු 1 මුරටැඹ සඟරාවේ 30-31 පිටුවල සඳහන් “පාඨකයන්ගේ ප්‍රශ්න” යන කොටසේ සංශෝධනයක්.

^ 11 ඡේ. 11වෙනි ඡේදය: වර්ෂ 1995 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවේ 18-28 පිටු බලන්න.

^ 12 ඡේ. 12වෙනි ඡේදය: ලූක් 21:28ත් බලන්න.

^ 15 ඡේ. 15වෙනි ඡේදය: ‘එනවා’ නැත්නම් ‘පැමිණෙනවා’ කියන වචන දෙකම පරිවර්තනය කරලා තියෙන්නේ “එර්කොමයි” කියන ග්‍රීක ක්‍රියා පදයෙනුයි.