Skip to content

පටුනට යන්න

ජීවිතයේ වටිනාම දේ දෙවි ලබා දෙන ගෞරවයයි!

ජීවිතයේ වටිනාම දේ දෙවි ලබා දෙන ගෞරවයයි!

“යටහත්පහත් මනසක් ඇති මිනිසා ගෞරවය හිමි කරගනියි.”—හිතෝ. 29:23.

1, 2. (අ) බයිබලය මුලින්ම ලියපු භාෂාවේ ගෞරවය යන අදහස දෙන්න පාවිච්චි කරපු වචනයට ඇතුළත් වුණේ මොනවද? (ආ) අපිට පිළිතුරු අවශ්‍ය මොන ප්‍රශ්නවලටද?

ගෞරවය කියන වචනය ඇහෙද්දී ඔබට මතක් වෙන්නේ මොනවද? ගොඩක් පොහොසත්, හොඳ අධ්‍යාපනයක් ලබපු, සාර්ථක ජීවිතයක් ගත කරන අයට ලැබෙන ප්‍රශංසාව, උසස් තත්වය ගැනද? බයිබලය මුලින්ම ලියපු හෙබ්‍රෙව් භාෂාවට අනුව ගෞරවය කියන වචනයට ‘බර’ කියන අදහසත් ඇතුළත් වුණා. අතීතයේදී කාසි හැදුවේ රන් රිදී වගේ වටිනා ලෝහවලින්. කාසියේ බර වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ වටිනාකමත් වැඩි වුණා. ඒ විදිහට බලද්දී ගෞරවය කියන වචනයට වටිනාකමින් වැඩියි යන අදහස ඇතුළත් වෙනවා.

2 සාමාන්‍යයෙන් මිනිසුන් ගෞරව කරන්නේ බලවත් ප්‍රසිද්ධ අයටයි. ඒත් දෙවි ගෞරවය ලබා දෙන්නේ මොන වගේ අයටද? හිතෝපදේශ 22:4හි මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව යටහත්පහත්ව සිටීමෙන් වස්තුවද ගෞරවයද ජීවනයද ලැබේ.” ඒ වගේම “යෙහෝවා දෙවි ඉදිරියේ යටහත්පහත් වන්න. එවිට ඔහු ඔබව උසස් කරනු ඇත” කියලත් බයිබලයේ කියනවා. (යාකො. 4:10) දෙවි අපිට ලබා දෙන්නේ මොන වගේ ගෞරවයක්ද? ඒ ගෞරවය නැති වෙන්න පුළුවන් මොන වගේ හේතු නිසාද? ඒ ගෞරවය ලබාගන්න අනිත් අයට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන දැන් බලමු.

3-5. අපිට යෙහෝවා දෙවිගෙන් ගෞරවය ලැබෙන්නේ කොහොමද?

3 කීකරු මිනිසුන්ට යෙහෝවා දෙවි ගෞරවය ලබා දෙන්නේ ඔවුන්ට තම අනුමැතිය ලබා දීමෙන් සහ ආශීර්වාද කිරීමෙනුයි. උදාහරණයකට, දෙවිගේ කැමැත්ත තේරුම්ගැනීමට උපකාර කිරීමෙනුත් ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට ඉඩ දීමෙනුත් දෙවි අපිට ආශීර්වාද කරලා තියෙනවා. (1 කොරි. 2:7; යාකො. 4:8) ගීතිකාකරු ඒක අද්දැක්කා.—ගීතාවලිය 73:23, 24 කියවන්න.

4 ශුභාරංචිය දේශනා කිරීමට අවස්ථාව දීමත් යෙහෝවා දෙවි අපිට ගෞරවය ලබා දෙන විදිහක්. (2 කොරි. 4:1, 7) දේශනා සේවයේ ගිහින් දෙවි ගැන කතා කරනකොට අනිත් අයට ඒකෙන් ප්‍රයෝජන ලැබෙනවා වගේම අපිටත් දෙවිගෙන් ගෞරවය ලැබෙනවා. “මට ගෞරව කරන අයට මමත් ගෞරව කරමි” කියලා දෙවි කිව්වේ ඒ නිසයි. (1 සාමු. 2:30) දේශනා සේවයේ හවුල් වෙන අයට දෙවි ඉදිරියෙත් සභාවේ අය අතරත් හොඳ නමක් තියෙනවා.—හිතෝ. 11:16; 22:1.

5 ‘යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන’ අයට අනාගතයේදී ලැබෙන්නේ මොන වගේ ආශීර්වාදද? බයිබලයේ මේ විදිහට පොරොන්දු වෙනවා. “ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය. දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.” (ගීතා. 37:34) සදාකල් ජීවත් වීමේ පුදුමාකාර බලාපොරොත්තුව තියෙන්නේ දෙවිට සේවය කරන අයට විතරයි.—ගීතා. 37:29.

“මිනිසුන්ගේ ගෞරවය ලබන්න මා තුළ ආශාවක් නැහැ”

6, 7. යේසුස් තමයි ගැලවුම්කරු කියලා හුඟක් අය විශ්වාස කළේ නැත්තේ ඇයි?

6 යෙහෝවා දෙවි ලබා දෙන ගෞරවය අපිට නොලැබෙන්න හේතු වෙන දේවල් තියෙනවද? ඔව්. දෙවිගේ ප්‍රතිපත්ති අගය නොකරන අය කියන දේවල් ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත් ඒකෙන් දෙවි ලබාදෙන ගෞරවය නොලැබෙන්න ඉඩ තියෙනවා. යේසුස්ගේ කාලයේ හිටපු සමහර අය එහෙම කළා. ඔවුන් යේසුස්ව විශ්වාස කළත් ‘ඒ ගැන ප්‍රසිද්ධියේ කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ, පරිසිවරුන් ඔවුන්ව සිනගෝගයෙන් නෙරපා දායි කියලා භය වුණ නිසයි. ඔවුන් ඇත්තටම ප්‍රිය කළේ දෙවිගේ අනුමැතිය ලබනවාට වඩා මිනිසුන්ගේ ප්‍රශංසාව ලබන්නයි.’—යොහ. 12:42, 43.

7 ඊශ්‍රායෙල්වරු සියවස් ගණනක් පුරා ගැලවුම්කරු එනකල් බලාගෙන හිටියා. ඒත් යේසුස් තමයි ඒ ගැලවුම්කරු කියලා ඔවුන් පිළිගත්තේ නැහැ. (යොහන් 5:39-44 කියවන්න.) දානියෙල්ගේ අනාවැකිය නිසා ගැලවුම්කරු එන කාලය ගැන ඔවුන්ට යම් අදහසක් තියෙන්න ඇති. ඒ නිසයි යොහන් බව්තීස්ත ගැලවුම්කරු කියලා සමහරු හිතුවේ. (ලූක් 3:15) ඒත් ගැලවුම්කරු ආවම ශුද්ධ ලියවිලි ගැන උගන්වපු අයවත් ඔහුව විශ්වාස කළේ නැහැ. ඒකට හේතුව යේසුස් මෙහෙම විස්තර කළා. “එකම දෙවිගෙන් ලැබෙන ගෞරවය සොයන්නේ නැතුව එකිනෙකාගෙන් ගෞරවය ලබන්නයි ඔබ උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබට මා ගැන විශ්වාසයක් ඇති වන්නේ කොහොමද?”

8, 9. ආලෝකය ගැන සඳහන් වෙන උදාහරණයට අනුව දෙවි ලබා දෙන ගෞරවය එච්චර වටින්නේ නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන් කොහොමද?

8 යෙහෝවා දෙවිගෙන් ලැබෙන ගෞරවයට වඩා මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවය වැදගත් කියලා හිතෙන අවස්ථා අපිටත් ඇති වෙන්න පුළුවන්. කිසිම එළියක් නැති අන්ධකාර රැයක එළිමහනට ගිහින් අහස දිහා බලන්න. දහස් ගාණක් තරු ඔබට පෙනෙයි. ඒවා කොච්චර ‘අලංකාරද’ කියලා ඔබට හිතෙයි. (1 කොරි. 15:40, 41) ඒත් හිතන්න, විදුලි බුබුළු රාශියක් දැල්වෙන තැනක ඉඳගෙන ඔබ අහස දිහා බලනවා කියලා. කලින් වගේ ලස්සනට ඒ තරු ඔබට පේන්නේ නැහැ. ඒ ඇයි? තරුවල ආලෝකයට වඩා විදුලි බුබුළුවල ආලෝකය වැඩි නිසාද? නැහැ. විදුලි බුබුළුවල ආලෝකය, තරුවල ආලෝකයට වඩා ඔබට කිට්ටුවෙන් තියෙන නිසයි.

9 ඒ වගේ, මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවය ගැන අපි ඕනෑවට වඩා හිතුවොත් දෙවි ලබා දෙන ගෞරවය එච්චර වටින්නේ නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන්. හුඟක් අය ශුභාරංචිය පිළිගන්නේ නැත්තේ ඔවුන්ගේ පවුලේ අය, යාළුවෝ මොනවා හිතයිද කියන භය නිසයි. දැනට දෙවිට සේවය කරන සමහරුත්, ‘මං ගැන අනිත් අය මොනවා හිතයිද’ කියලා භය වෙන්න ඉඩ තියෙනවා. තමන්ව හොඳට දන්න අඳුරන අය ඉන්න පැත්තක දේශනා සේවයේ යන්න තරුණයෙක්ට සිද්ධ වුණා කියලා හිතන්න. ඒත් ඒ පැත්තේ අය මේ තරුණයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා දන්නේ නැහැ. ඒ පැත්තේ දේශනා කරන්න ඔහු කැමති වෙයිද? මෙහෙමත් හිතන්න. කෙනෙක්ට ඕනෙ දෙවිට වැඩියෙන් සේවය කරන්න. ඒත් අනිත් අය ඔහුට ඒ ගැන විහිළු කරනවා. දෙවිගේ ප්‍රතිපත්ති ගැන කිසිම අගයක් නැති අයගේ විහිළු නිසා ඔහු තමන්ගේ තීරණය වෙනස් කරගනියිද? කවුරු හරි බරපතළ වරදක් කළා කියලා හිතන්න. සභාවේ ඔහුට දැන් තියෙන වගකීම් නැති වෙයි කියලා හරි පවුලේ අයව, යාළුවන්ව රිද්දන්න බැහැ කියලා හරි හිතලා, ඒ වරද හංගගෙන ඉන්න එක හරිද? ඔහුට වැඩියෙන්ම වටින්නේ යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම නම් ඔහු අනිවාර්යයෙන්ම වැඩිමහල්ලන්ගෙන් උපකාර ඉල්ලනවා.—යාකොබ් 5:14-16 කියවන්න.

10. (අ) අපි ගැන ඕනෑවට වඩා හිතුවොත් මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? (ආ) අපි යටහත්පහත් නම් අපිට ලැබෙන්නේ මොනවද?

10 දෙවිට කරන සේවයේ තවත් දියුණු වෙන්න ඔබ ඔබට පුළුවන් උපරිමය කරනවා කියලා හිතන්න. ඒත් සහෝදරයෙක් නිතරම ඔබට යම් යම් උපදෙස් දෙනවා. ඕනෙ නම් ඔබට පුළුවන් ඒ උපදෙස් පිළි අරන් තවත් දියුණු වෙන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් උඩඟු වෙලා ‘එයා කවුද මට උපදෙස් දෙන්න’ කියලා හිතන්න. නිදහසට හේතු ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඔබ මොකද කරන්නේ? මේ උදාහරණය බලන්න. ඔබ කණ්ඩායමක් එක්ක හවුලේ වැඩක් කරනවා. ඔබේ යෝජනා නිසත් ඔබ මහන්සි වෙලා වැඩ කරන නිසත් වැඩේ සාර්ථක වෙනවා. ඒත් ප්‍රශංසාව යන්නේ වෙන කෙනෙකුට. ඔබ ඒ ගැන දුක් වෙයිද? අමනාප වෙයිද? ඒ වගේ වෙලාවක “යටහත්පහත් මනසක් ඇති මිනිසා ගෞරවය හිමි කරගනියි” කියන දේ මතක් කරගන්න.—හිතෝ. 29:23.

11. අනිත් අය ප්‍රශංසා කරද්දී අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? ඒ ඇයි?

11 වැඩිමහල්ලන් වගේම සභාවේ වගකීම් අත් කරගන්න ආසාවෙන් ඉන්න අය ගැන මොනවද කියන්න පුළුවන්? ඔවුන්ට තියෙන්නේ ‘මිනිසුන්ගෙන් ගෞරවය’ ලබාගැනීමේ අරමුණ නම් ඒක භයානකයි. (1 තෙස. 2:6; 1 තිමෝ. 3:1) සහෝදරයෙක් කරපු දේකට අනිත් අය ඔහුට ප්‍රශංසා කරද්දී ඔහු කරන්න ඕනෙ මොකක්ද? ඒ වගේ වෙලාවලදී සාවුල් රජ වගේ තමන් ගැන ආඩම්බර වෙන්න හොඳ නැහැ. (1 සාමු. 15:12) ඒ වෙනුවට තමාට ඒ දේ හොඳට කරන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවිගේ උපකාරය නිසා කියලත් ඉදිරියේදී දේවල් හොඳින් කරන්න පුළුවන් වෙන්නෙත් දිගටම දෙවි තමන්ට උදව් කළොත් විතරයි කියලත් ඔහු පිළිගන්න ඕනෙ. (1 පේතෘ. 4:11) අනිත් අය අපිට ප්‍රශංසා කරද්දී අපිට හැඟෙන විදිහෙනුත් අපිට වැඩියෙන්ම වටින්නේ කාගෙන් ලැබෙන ගෞරවයද කියලා පැහැදිලි වෙනවා.—හිතෝ. 27:21.

‘ඔබ කැමති ඔබේ පියාගේ ආශාවන් ඉටු කරන්නයි’

12. සමහර යුදෙව්වන් යේසුස් කියපු දේ ඇහුවේ නැත්තේ ඇයි?

12 යෙහෝවා දෙවි ලබා දෙන ගෞරවය අපිට නොලැබී යන්න පුළුවන් තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ වැරදි ආසාවන්. ඒ ආසාවන් නිසා කෙනෙක් සත්‍යය පිළිගන්න අකමැති වෙන්නත් පුළුවන්. (යොහන් 8:43-47 කියවන්න.) යේසුස්ගේ කාලයේ හිටපු සමහර යුදෙව්වොත් ඒ වගේ. ඔවුන් යේසුස් කියපු දේ ඇහුවේ නැත්තේ යක්ෂයාගේ ආසාවන් ඉටු කරන්න ඔවුන් කැමති වුණ නිසයි.

13, 14. (අ) මිනිස් කටහඬට අවධානය දීමට මොළයට ඇති හැකියාව ගැන කියන්න පුළුවන් මොකක්ද? (ආ) අපි සවන් දෙන්නේ කාටද කියන එක තීරණය වෙන්නේ මොකක් මතද?

13 යෙහෝවා දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ අනවශ්‍ය ශබ්ද නොසලකාහැරලා අපිට ඕනෙ දේවලට විතරක් ඇහුම්කන් දීමේ හැකියාව ඇතුවයි. (2 පේතෘ. 3:5) ඒක තේරුම්ගන්න, දැන් ඔබට ශබ්ද කීයක් ඇහෙනවද කියලා හොඳට ඇහුම්කන් දීලා බලන්න. ඒ ශබ්ද එකිනෙක හඳුනාගන්නත් ඔබට පුළුවන්. ඒත් දෙතුන්දෙනෙක් එකම වෙලාවට කතා කරද්දී ඒ හැම කෙනාටම අවධානය දෙන්න ඔබට පුළුවන්ද? බැහැ. ඒකට හේතුව, අපිට එක වෙලාවට අවධානය දෙන්න පුළුවන් එක් කෙනෙක් කියන දේට විතරයි. ඒ වගේ වෙලාවලදී අප තෝරගන්න ඕනෙ අපි කාටද ඇහුම්කන් දෙන්නේ කියලා. අපි අනිවාර්යයෙන්ම තෝරගන්නේ අපි කැමති කෙනා කියන දේ අහන්නයි. යුදෙව්වන් කැමති වුණේ ඔවුන්ගේ පියා වන යක්ෂයා කියන දේ අහන්නයි. ඒ නිසා තමයි ඔවුන් යේසුස්ට සවන් දුන්නේ නැත්තේ.

14 ‘ප්‍රඥාවත්’ ‘මෝඩකමත්’ අපේ අවධානය ගන්න හදන දෙන්නෙකුට බයිබලයේ සමාන කරලා තියෙනවා. (හිතෝ. 9:1-5, 13-17) මේ දෙන්නගෙන් කාටද අපි ඇහුම්කන් දෙන්නේ කියලා තීරණය කරන්න අපිට පුළුවන්. අපි තෝරගන්නේ අපි කැමති කෙනාවයි. අපි යේසුස්ගේ බැටළුවන් නම් අපි ඔහුට සවන් දීලා ඔහු කැමති දේ කරනවා. (යොහ. 10:16, 27) තම අනුගාමිකයන් ‘සත්‍යයට පක්ෂව ඉන්නවා’ කියලත් ‘නාඳුනන කෙනෙක්ගේ හඬ ඔවුන් හඳුනන්නේ නැහැ’ කියලත් යේසුස් කිව්වා. (යොහ. 10:5; 18:37) යටහත්පහත්ව යේසුස් කියන දේ කරන අයට දෙවිගෙන් ගෞරවය ලැබෙනවා.—හිතෝ. 3:13, 16; 8:1, 18.

ඔබේ විඳදරාගැනීම අනිත් අයට ප්‍රයෝජනවත්

15. පාවුල් වින්ද පීඩා නිසා එෆීසයේ සිටි සහෝදරයන් දෙවි දෙන ගෞරවය ලබන්නේ කොහොමද?

15 දෙවිගෙන් ගෞරවය ලබන්න අනිත් අයට උදව් කරන්නේ කොහොමද? ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි පීඩා විඳදරාගෙන හොඳ ආදර්ශයක් තැබීම. “මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ වෙනුවෙන් මට විවිධ පීඩා විඳින්න සිදු වුවත් ඔබ දරන උත්සාහයන් අත් නොහරින ලෙසය. මන්ද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඔබ තේජසට පත් වීමය” කියලා පාවුල් එෆීසයේ හිටපු සහෝදරයන්ට ලිව්වා. (එෆී. 3:13) පාවුල් වින්ද පීඩා නිසා ඒ අය තේජසට පත් වෙන්නේ, එහෙම නැත්නම් දෙවි දෙන ගෞරවය ලබන්නේ කොහොමද? පීඩාවලට මුහුණ දෙනකොට දෙවිට කරන සේවය පාවුල් නතර කළා නම්, යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම, දෙවිට කරන සේවය සහ දෙවි දීලා තියෙන බලාපොරොත්තුව එතරම් වැදගත් නැහැ කියලා ඒ අයට හිතෙන්න ඉඩ තිබුණා. ඒත් පීඩා මැද වුණත් තම සහෝදරයන් වෙනුවෙන් කැප වෙලා වැඩ කිරීමෙන් පාවුල් පෙන්නුවේ, ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයේ තිබිය හැකි වටිනාම දේ යෙහෝවා දෙවිට සේවය කිරීම කියන එකයි. අපි කරන කැප කිරීම්වලට වඩා දෙවි දෙන ගෞරවය ගොඩක් වටිනවා කියන එක පාවුල් ඔහුගේ ආදර්ශයෙන් පෙන්නුවා.

16. ලිස්ත්‍රාවේදී පාවුල්ට සිද්ධ වුණේ මොකක්ද?

16 පාවුල්ට සේවය වෙනුවෙන් තිබුණු උද්‍යෝගයත් ඔහු පීඩා විඳදරාගත්ත විදිහත් සහෝදරයන්ට ලොකු දිරිගැන්වීමක් වුණා. ලිස්ත්‍රාවට ආපු අවස්ථාවේ පාවුල්ට වුණ දේ ක්‍රියා 14:19, 20හි සඳහන් වෙන්නේ මෙහෙමයි. “අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරුන් පිරිසක් ඇවිත් එම සමූහයාව තමන්ගේ පැත්තට නම්මාගත්තෝය. එහෙයින් ඔවුහු පාවුල්ට ගල් ගසා ඔහු මිය ගොස් ඇති බව සිතා නුවරින් පිටතට ඇද දැමුවෝය. නමුත් ගෝලයන් ඇවිත් ඔහු වටා එකතු වූ විට ඔහු නැඟිට්ටේය. ඉන්පසු ඔහු නුවරට ඇතුල් විය. පසුවදා ඔහු බානබස් සමඟ දර්බය බලා පිටත්ව ගියේය.” දර්බය තිබුණේ ලිස්ත්‍රාවේ ඉඳන් කිලෝමීටර් 100ක දුරකින්. මැරෙන තරම් ලොකු පීඩාවක් විඳලත් පහුවෙනිදාම ඒ තරම් දුරක් ඇවිදගෙන යන්න පාවුල්ට කොච්චර අමාරු වෙන්න ඇද්ද!

17, 18. (අ) පාවුල් ලිස්ත්‍රාවේදී වින්ද පීඩා ගැන තිමෝති දැනගෙන ඉන්න ඇති කියලා කියන්නේ ඇයි? (ආ) පාවුල්ගේ ආදර්ශය තිමෝතිට උපකාරවත් වුණේ කොහොමද?

17 පාවුල්ට ඒ විදිහට ගල් ගහනකොට තිමෝති එතන හිටියද නැද්ද කියලා ක්‍රියා පොතේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ඒ ගැන තිමෝති දැනගෙන හිටියා. මොකද පාවුල් තිමෝතිට ලියපු දෙවෙනි ලියුමේ මෙහෙම කිව්වා. ‘මා ඉගැන්වූ දේවල්ද මා ජීවිතය ගත කළ ආකාරයද හොඳින් දැක බලා ගැනීමට ඔබට හැකි වී ඇත.’ (2 තිමෝ. 3:10, 11) ඒ සිද්ධිය විතරක් නෙවෙයි අන්තියෝකියේදී පාවුල්ව නගරයෙන් එළවලා තිබුණා කියලත් ඉකෝනියේදී සමහරු පාවුල්ට ගල් ගහන්න උත්සාහ කළා කියලත් තිමෝති දැනගෙන හිටියා.—ක්‍රියා 13:50; 14:5, 19.

18 ඒ අමාරු අවස්ථා හැම එකකදීම පාවුල් විඳදරාගත්තා කියලා තිමෝති දැනගෙන හිටියා. තිමෝති, පාවුල්ගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න ඇති. පාවුල් ලිස්ත්‍රාවට එනකොට “තිමෝති ලිස්ත්‍රාවෙහි සහ ඉකෝනියෙහි සහෝදරයන් අතර හොඳ නමක් දිනාගෙන” හිටියා. (ක්‍රියා 16:1, 2) තිමෝති සභාවේ ආදර්ශවත් විදිහට දේවල් කරගෙන යනවා දකිද්දී පාවුල් කොච්චර සතුටු වෙන්න ඇද්ද! ටික කලක් යනකොට හුඟක් වගකීම් දරන්නත් තිමෝතිට පුළුවන් වුණා.—ෆිලි. 2:19, 20; 1 තිමෝ. 1:3.

19. අපේ විඳදරාගැනීම අනිත් අයට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

19 අපිත් දිගටම දෙවිගේ කැමැත්ත කළොත් අපේ ආදර්ශය නිසා සභාවේ ඉන්න අයට දිරිගැන්වීමක් ලැබෙයි. ඒ දිරිගැන්වීම නිසා විශේෂයෙන්ම සභාවේ ඉන්න දරුවන්, දෙවිට ගොඩක් වටිනා සේවකයන් වීමට ඉඩ තියෙනවා. ඒ දරුවන් අපි දිහා බලාගෙන ඉන්නවා. සේවයේදී අපි මිනිසුන්ට කතා කරන විදිහෙනුත් ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න ගැටලුවලට අපි මුහුණ දෙන විදිහෙනුත් ඔවුන් දේවල් ඉගෙනගන්නවා. තමා ‘හුඟක් දේවල් විඳදරාගත්තේ අනිත් අයට සදාකාල ජීවනය ලැබීමට උපකාර කරන්න පුළුවන් වීමටයි’ කියලා පාවුල් කිව්වේ ඒ නිසයි.—2 තිමෝ. 2:10.

වැඩිහිටියන්ගේ ආදර්ශය දරුවන්ගේ හිතට කාවදිනවා

20. “දෙවිගෙන් ලැබෙන ගෞරවය” ලබන්න අපි දිගටම උත්සාහ කරන්න ඕනෙ ඇයි?

20 “දෙවිගෙන් ලැබෙන ගෞරවය” ලබන්න උත්සාහ කරන එක කොච්චර වටිනවද! (යොහ. 5:44; 7:18) ඒ සඳහා ලොකු වෑයමක් දරන අයට යෙහෝවා දෙවි සදාකාල ජීවනය දෙනවා. (රෝම 2:6, 7 කියවන්න.) ඒ විතරක් නෙවෙයි අපි විඳදරාගද්දී අපේ ආදර්ශය අනිත් අයට දිරිගැන්වීමක්. දෙවිට විශ්වාසවන්තව ජීවත් වෙලා සදාකාල ජීවනය ලබාගන්න ඔවුන්ට ඒක උදව් වෙනවා. ඒ නිසා දෙවිගෙන් ලැබෙන ගෞරවය අපේ ජීවිතයේ වටිනාම දේ විදිහට හැමදාම සලකමු.