ගීතාවලිය පොතෙන් විශේෂාංග (තුන්වන හා හතරවන කාණ්ඩ)
යෙහෝවාගේ වචනය ජීවමානයි
ගීතාවලිය පොතෙන් විශේෂාංග (තුන්වන හා හතරවන කාණ්ඩ)
ගීතිකාකරු දෙවිට කළ එක් යාච්ඤාවකදී මෙසේ ඇසුවා. “ඔබගේ කරුණාව මිනීවළේදීද ඔබගේ විශ්වාසකම විනාශ ස්ථානයෙහිදීද ප්‍රකාශ කරනු ලබන්නේද?” (ගීතාවලිය 88:11) මෙයට දිය හැකි පිළිතුර නැහැ කියායි. අපිට ජීවත් වෙන්න අවස්ථාවක් නොලැබුණා නම් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න අපිට නොහැකියි. ජීවත් වීම සඳහා අපිට හොඳ හේතු බොහොමයක් තිබෙන අතර ඉන් එක් ප්‍රධාන හේතුවක් වන්නේ අපි ජීවත් වන කාලය තුළ යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට අපිට හැකිවීමයි.
ගීතාවලිය 73 සිට 106 දක්වා පරිච්ඡේද ඇතුළත් වන ගීතාවලියේ තුන්වන හා හතරවන කාණ්ඩවල අපේ මැවුම්කරුට ප්‍රශංසා කිරීම සඳහා හේතු බොහොමයක් අන්තර්ගත වී තිබෙනවා. මෙම ගීතිකා ගැන අපි සිතන විට “දෙවිගේ වචනය” කෙරෙහි ගැඹුරු අගය කිරීමක් අප තුළ ඇති විය යුතුයි. (හෙබ්‍රෙව් 4:12) එමෙන්ම ඔහුට තව තවත් ප්‍රශංසා කිරීමට අප තුළ පෙලඹීමක්ද ඇති විය යුතුයි. දැන් අපි ගීතාවලියේ තුන්වන කාණ්ඩය ගැන සලකා බලමු.
“දෙවිට ළංවීම මට යහපත”
ගීතාවලියේ තුන්වන කාණ්ඩයට අයත් මුල් ගීතිකා 11 රචනා කර තිබෙන්නේ ආසාප් හා ඔහුගේ පෙළපතට අයත් අයයි. මුල්ම ගීතිකාවෙන් විස්තර කරන්නේ වැරදි සිතුවිලි නිසා දෙවිගේ සත්‍යයේ මාර්ගයෙන් ඉවත්ව යෑමට ඉඩ තිබූ ආසාප් එයින් ආරක්ෂා වූ ආකාරය ගැනයි. පසුව ඔහු මෙසේ නිවැරදි නිගමනයට එළඹුණා. “දෙවිට ළංවීම මට යහපත.” (ගීතාවලිය 73:28) යෙරුසලමේ විනාශය ගැන ශෝකවීම පිළිබඳ විස්තරයක් 74වන ගීතිකාවේ දැකිය හැකියි. ගීතිකා 75, 76 හා 77හි යෙහෝවා දෙවිව ධර්මිෂ්ඨ විනිශ්චයකරු, මොළොක් ගුණැති අයගේ ගැලවුම්කරු හා යාච්ඤා අසන තැනැත්තා ලෙස විස්තර කර තිබෙනවා. මෝසෙස්ගේ කාලයේ සිට දාවිත්ගේ කාලය දක්වා ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය ගැන 78වන ගීතිකාවේ සඳහන් වෙනවා. දේවමාලිගාවේ විනාශය ගැන ශෝකය පළ කරන විස්තරයක් 79වන ගීතිකාවේ දැකිය හැකියි. දෙවිගේ සෙනඟව කලින් සිටි තත්වයට පත් කරන මෙන් ඉල්ලා සිටින යාච්ඤාවක් 80වන ගීතිකාවේ සඳහන් වෙනවා. යෙහෝවා දෙවිට කීකරු වන මෙන් සපයන උපදෙසක් ගැන 81වන ගීතිකාවේ තිබෙනවා. ගීතිකා 82 සහ 83හි අන්තර්ගත වන්නේ දුෂ්ට විනිශ්චයකරුවන් හා දෙවිගේ සතුරන්ට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කරන්න කියා දෙවිට කරන යාච්ඤාවක් ගැනයි.
“මාගේ ආත්මය යෙහෝවාගේ මණ්ඩපවලට ආශා වේ” කියා කෝරාගේ පුත්‍රයන් ගැයූ ගීතිකාවක සඳහන් වෙනවා. (ගීතාවලිය 84:2) වහල්භාවයෙන් නිදහස් වී ආපසු පැමිණෙන අයට ආශීර්වාද කරන්න කියා දෙවිට කරන අයැදීමක් ගැන 85වන ගීතිකාවේ සඳහන් වෙනවා. දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් පවත්වාගැනීම කිසිම සැප සම්පතකට වඩා වටින බව ඒ ගීතිකාවේ අවධාරණය කර තිබෙනවා. එමෙන්ම 86වන ගීතිකාවේ සඳහන් වන්නේ තමන්ව ආරක්ෂා කරන්න කියාත් තමන්ට මඟ පෙන්වන්න කියාත් දාවිත් දෙවිගෙන් කරන ඉල්ලීමක් ගැනයි. සියොන් ගැනත් එහි උපත ලැබූවන් ගැනත් කරන ගීතිකාවක් 87වන ගීතිකාවේ සඳහන් වන අතර ඉන් අනතුරුව යෙහෝවා දෙවිට කරන යාච්ඤාවක් ගැන 88වන ගීතිකාවේ සඳහන් වෙනවා. යෙහෝවා දෙවි දාවිත් සමඟ ඇති කරගත් ගිවිසුමෙන් දැකිය හැකි දෙවිගේ ප්‍රේමණීය කරුණාව 89වන ගීතිකාවේ අවධාරණය කරනු ලබනවා. එය ලියා තිබෙන්නේ සලමොන්ගේ කාලයේ විසූ නැණවත් මිනිසුන් හතරදෙනාගෙන් එක් අයෙක් වූ ඒතාන් විසිනුයි.—1 රාජාවලිය 4:31.
ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:
73:9—දුෂ්ටයන් ‘ඔවුන්ගේ මුඛය අහසෙහි තබා තිබෙන්නෙත් ඔවුන්ගේ දිව මුළු පොළොවෙහි සංචාරය කරන්නෙත්’ කෙසේද? දුෂ්ටයන් ස්වර්ගයේ හෝ පොළොවේ සිටින කිසිම කෙනෙක්ට ගරු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ නිසා ඔවුන්ගේ මුඛයෙන් දෙවිට පවා අපහාස කිරීමට දුෂ්ටයන් පසුබට වන්නේ නැහැ. ඔවුන් මිනිසුන්ටද අපහාස කරනවා.
74:13, 14—යෙහෝවා දෙවි ‘මුහුදේ මහා සත්වයන්ගේ හිස් බින්දෙත් ලෙවියාතන්ගේ හිස පොඩි කළෙත්’ කවදාද? ‘ඊජිප්තුවේ පාරාවෝ රජුව’ හඳුන්වා තිබෙන්නේ ‘නයිල් ගඟ මැද ලගින්නාවූ මහ කිඹුලා’ හෙවත් මුහුදේ මහා සත්වයා ලෙසයි. (එසකියෙල් 29:3) ලෙවියාතන් පාරාවෝගේ බලවතුන්ව නියෝජනය කළා විය හැකියි. ඔවුන්ගේ හිස් බිඳ දැමීමෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් නිදහස් කරගත් අවස්ථාවේදී පාරාවෝ සහ ඔහුගේ හමුදාව ලැබූ පරාජයයි.
75:4, 5, 10—මෙම වගන්තිවල සඳහන් “අඟ” හෙවත් “අං” යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? සතෙකුට තිබෙන අං බලවත් අවියකට සම කළ හැකියි. මේ අනුව “අං” යන වචනයෙන් සංකේතවත් කරන්නේ බලය හා ශක්තියයි. යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟගේ අං උස් කරන්නේ ඔවුන්ව උසස් තත්වයකට ගෙන ඒමෙනුයි. ඊට වෙනස්ව ඔහු ‘දුෂ්ටයන්ගේ අං කපා දමයි.’ අපේ ‘අං උස් කරගැනීමට’ එනම් අහංකාර වීමට එරෙහිව අපට අනතුරු අඟවා තිබෙනවා. යමෙකුව උසස් කරන්නේ යෙහෝවා දෙවියි. එනිසා සභාවේ අපට ලැබෙන වගකීම් අපි සැලකිය යුත්තේ යෙහෝවා දෙවිගෙන් ලැබෙන දෙයක් ලෙසයි.—ගීතාවලිය 75:7.
76:10—“මනුෂ්‍යයාගේ උදහස” මගින් යෙහෝවාට ප්‍රශංසාවක් අත් වන්නේ කෙසේද? අපි යෙහෝවා දෙවිගේ සේවකයන් වන නිසා ඇතැම් මිනිසුන් අපි කෙරෙහි උදහස් වී හිංසා පීඩා කරනවා. දෙවි මෙයට ඉඩ දී තිබෙන්නේ ඉන් හිතකර ප්‍රතිඵල අත් වන නිසයි. අපි අද්දකින හිංසා පීඩා නිසා යම් ආකාරවලින් අපි පුහුණුවක්ද ලබනවා. යෙහෝවා එම පීඩාවලට ඉඩහරින්නේ අපි එම පුහුණුව ලබන තුරු පමණයි. (1 පේතෘස් 5:10) ‘මිනිසාගේ උදහස දෙවි යුද්ධායුධයක් කොට බැඳගන්නවා’ කියා මෙම ගීතිකාවේ සඳහන් වෙනවා. මරණයට පවා පත්වීමට ඉඩ තිබෙන දරුණු පීඩාවලට මුහුණ දීම ගැන කුමක් කිව හැකිද? මෙයින්ද යෙහෝවාව ප්‍රශංසාවට ලක් වෙනවා කියා පැවසිය හැකියි. මන්ද දරුණු පීඩා මැද අපි විඳදරාගන්න ආකාරය දකින අය දෙවිට ගෞරව කරන්න පෙලඹිය හැකියි.
78:24, 25—මන්නා “ස්වර්ගයේ ධාන්‍ය” කියාත් “බලවතුන්ගේ කෑම” කියාත් හඳුන්වා තිබෙන්නේ ඇයි? මෙහි “බලවතුන්” කියා හඳුන්වන්නේ දේවදූතයන්වයි. කෙසේවෙතත් මෙම යෙදුම් දෙකෙන්ම අදහස් කරන්නේ මන්නා දේවදූතයන්ගේ ආහාරයක් වූ බව නොවෙයි. මන්නා “ස්වර්ගයේ ධාන්‍ය” කියා හඳුන්වා තිබෙන්නේ ඊශ්‍රායෙල්වරුන්ට ඒවා දුන්නේ ස්වර්ගයේ සිටින දෙවි නිසයි. (ගීතාවලිය 105:40) “බලවතුන්” හෙවත් දේවදූතයන් ජීවත් වන්නේ ස්වර්ගයේ නිසා “ස්වර්ගයේ ධාන්‍ය” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ ස්වර්ගයේ සිටින දෙවි ඒවා සැපයූ බවයි. (ගීතාවලිය 11:4) යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මන්නා සැපයීම සඳහා යොදාගත්තේ දේවදූතයන්ව විය හැකියි.
82:1, 6—“දෙවිවරුන්” හා “මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ” කියා හඳුන්වන්නේ කාවද? එයින් අදහස් කරන්නේ ඊශ්‍රායෙලයේ සිටි විනිශ්චයකාරයන්වයි. ඔවුන්ව එසේ හැඳින්වීම යෝග්‍ය වන්නේ ඔවුන් දෙවිගේ නියෝජිතයන් ලෙස සේවය කළ නිසයි.—යොහන් 10:33-36.
83:2—‘හිස එසවීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මින් අදහස් කරන්නේ යමකට එරෙහි වීම සඳහා හෝ ඒ දෙය සමඟ සටන් කිරීම සඳහා බලය යෙදවීමට හෝ යම් ක්‍රියාමාර්ගක් ගැනීමට සූදානම් වීමයි.
අපට ගත හැකි පාඩම්:
73:2-5, 18-20, 25, 28. දුෂ්ටයන්ගේ දියුණුව දකිද්දී අපි ඔවුන්ට ඊර්ෂ්‍යයා නොකළ යුතුයි. එමෙන්ම දෙවි හෙළා දකින ඔවුන්ගේ මාර්ගවල ගමන් නොකළ යුතුයි. දුෂ්ටයන් සිටින්නේ ලිස්සන තැන්වලයි. අනිවාර්යයෙන්ම ඔවුන් යම් දවසක ‘විනාශයට’ වැටෙනවා. එමෙන්ම මේ ලෝකයේ තිබෙන දුෂ්ටකම් කිසිම මිනිසෙකුට නැති කර දැමිය නොහැකි නිසා අපි එය ඉවත් කරන්න වෑයම් කරනවා නම් එය නිෂ්ඵල දෙයක් වෙනවා. දුෂ්ටකම්වලට අපි ගොදුරු වන විට ‘දෙවිට ළං වෙමින්’ ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නවා නම් ආසාප් මෙන් අපිටත් දුෂ්ටකම් හමුවේ කල නොකිරී සිටීමට හැකියි.
73:3, 6, 8, 27. අපි කිසිවිටෙකත් පුරසාරම් දොඩන්න හොඳ නැහැ. ඒ වගේම අහංකාර නොවිය යුතුයි. අන් අයට ගැරහිය නොයුතුයි. ඇතැම්විට එසේ ක්‍රිය කිරීම වාසිදායක බව පෙනෙන්න තිබුණත් කිසිවිටකත් එම නරක ගුණාංග අප තුළින් දිස්වීමට කිසි ඉඩක් නොදිය යුතුයි.
73:15-17. අපි යම් කාරණයක් ගැන වියවුල්සහගත තත්වයක සිටින විට අපිට ඒ ගැන පැහැදිලි අදහස් ඉදිරිපත් කළ නොහැකි විය හැකියි. එවන් අවස්ථාවකදී අපි ඉක්මන් වී අපේ අදහස් ප්‍රසිද්ධියේ පළ නොකළ යුතුයි. ‘මෙසේ කතා කළොත්’ අන් අය අධෛර්යයට පත් විය හැකියි. අපේ සිතට පීඩනයක් ඇති කරන කාරණා ගැන සන්සුන් මනසකින් සිතිය යුතුයි. සෙසු නමස්කාරකයන්ගේ උපකාරය ඇතුව අදාළ කාරණය නිරාකරණය කරගත යුතුයි.—හිතෝපදේශ 18:1.
73:21-24. දුෂ්ට අය ලබන දියුණුව දෙස බලා යම් අය ‘සිතින් ශෝක වෙනවා’ නම්, ඔවුන්ව සමාන කර තිබෙන්නේ හේතු සාධක හොඳින් කිරා මැන බලා සිතිය නොහැකි සතුන්ටයි. මුළුමනින්ම හැඟීම් මත පිහිටා ක්‍රියා කරන එවැනි අය හොඳින් සිතා බලා කටයුතු නොකරයි. එහෙත් අපි ක්‍රියා කළ යුත්තේ යෙහෝවා දෙවි ‘අපේ දකුණත අල්ලාගනිමින්’ අපිට උපකාර කරන බවට පූර්ණ විශ්වාසයෙන් යුතුව ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟවයි. එමෙන්ම යෙහෝවා දෙවි අපව “තේජසට” පත් කරන බව එනම් අපව ඔහුගේ කිට්ටු මිතුරන් ලෙස සලකන බව අපිට විශ්වාසයි.
77:6. දෙවිගේ වචනයේ සඳහන් සත්‍යයන් කෙරෙහි හෘදයාංගම ඇල්මක් ඇති කරගනිමින් ඒවා හොඳින් සොයා දැනගැනීම සඳහා අධ්‍යයනය කිරීමට හා මෙනෙහි කිරීමට කාලය වෙන් කළ යුතුයි. මේ සඳහා අන් අයගෙන් වෙන්ව යම් කාලයක් ගත කිරීම කොතරම් වැදගත්ද!
79:9. යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙයි. විශේෂයෙන්ම ඔහුගේ නාමය ගෞරවයට පත් කිරීම ගැන අපි යාච්ඤාවලදී සඳහන් කරන විට ඔහු ඒවාට සවන් දෙයි.
81:13, 16. යෙහෝවා දෙවිට ඇහුම්කන් දෙමින් ඔහුගේ මාර්ගවල හැසිරෙන අය බොහෝ ආශීර්වාද භුක්ති විඳිනවා.—හිතෝපදේශ 10:22.
82:2, 5. අසාධාරණකම් නිසා “පොළොවේ අත්තිවාරම්” සෙලවෙයි. ඉන් අදහස් කරන්නේ අයුක්තිය නිසා මිනිස් සමාජයේ ස්ථාවරය බිඳ වැටීමයි.
84:1-4, 10-12. මෙම ගීතිකාව රචනා කළ ගීතිකාකරුවන් යෙහෝවාගේ නමස්කාර ස්ථානය මහත් සේ අගය කරයි. දෙවිට සේවය කිරීමට ඔවුන්ට ලැබී තිබෙන විශේෂ ප්‍රස්තාවෙන් ඔවුන් තෘප්තිමත් වී සිටින බව ඔවුන් සිය හැඟීම් පළ කරන ආකාරයෙන් පැහැදිලියි. ඇත්තෙන්ම මෙය අපට ආදර්ශයක්.
86:5. යෙහෝවා දෙවි ‘කමා වෙන්න සූදානම්ව සිටීම’ ගැන අපි ඔහුට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! දෙවි පසුතැවිලි වන පව්කාරයෙකුට සමාව දීමට මහත් ඕනෑකමින් බලා සිටියි.
87:5, 6. ස්වර්ගයට ගිය අය කවුද කියා නම් වශයෙන් දැනගැනීමට පාරාදීස පොළොවේ ජීවත් වන අයට හැකි වෙයිද? හැකියාවක් තිබෙන බව එම වගන්තිවලින් ඇඟවෙනවා.
88:13, 14. අපි යම් ගැටලුවක් ගැන කරන යාච්ඤාවලට පිළිතුරක් ලැබීම ප්‍රමාද විය හැක්කේ යෙහෝවා දෙවි කෙරෙහි අපිට තිබෙන්නේ අව්‍යාජ භක්තියක් බව ඔප්පු කිරීමට අපට අවස්ථාවක් දීමට ඔහු කැමති වන නිසා විය හැකියි.
‘ඔහුට ස්තුති කරන්න, ඔහුගේ නාමයට ප්‍රශංසා කරන්න’
යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා තිබෙන හේතු රැසක් ගැන ගීතාවලිය හතරවන කාණ්ඩයේ සඳහන් වෙනවා. ඒ ගැන දැන් සලකා බලමු. මෝසෙස් 90වන ගීතිකාවේදී ‘සදාකාල රජ්ජුරුවන්ගේ’ පැවැත්ම හා කෙටි කාලයක් ජීවත් වන මිනිසාගේ පැවැත්ම අතර තිබෙන වෙනස පෙන්වා දෙයි. (1 තිමෝති 1:17) ගීතාවලිය 91:2හි මෝසෙස් යෙහෝවා දෙවිව විස්තර කරන්නේ ඔහුට ආරක්ෂාව ලැබිය හැකි ‘ඔහුගේ රක්ෂස්ථානය හා බලකොටුව’ ලෙසයි. ඊළඟ ගීතිකා කිහිපයේ දෙවිගේ සිත්ගන්නාසුලු ගුණාංග, ඔහුගේ ශ්‍රේෂ්ඨ සිතුවිලි හා පුදුම ක්‍රියා ගැන සඳහන් වෙනවා. “යෙහෝවා රජකම් කරන්නේය” කියා ගීතිකා තුනක දැකිය හැකියි. (ගීතාවලිය 93:1; 97:1; 99:1) අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවි ගැන කතා කරමින් ‘ඔහුට ස්තුති කරන්න, ඔහුගේ නාමයට ප්‍රශංසා කරන්න’ කියා ගීතිකාකරු අපට ආරාධනා කරනවා.—ගීතාවලිය 100:4.
දෙවි කෙරෙහි ගෞරවාන්විත බියක් තිබෙන පාලකයෙක් ඔහුගේ පාලනය ගෙන යා යුත්තේ කෙසේද? දාවිත් රජ රචනා කළ 101වන ගීතිකාව ඊට පිළිතුරු සපයයි. යෙහෝවා දෙවි “අසරණයන්ගේ යාච්ඤාව හෙළා නොදැක සැලකුවේය” කියා ඊළඟ ගීතිකාවේ සඳහන් වෙනවා. (ගීතාවලිය 102:17) යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව හා දයාව 103වන ගීතිකාවේ අපේ අවධානයට යොමු කරවයි. දෙවි පොළොවේ නිර්මාණය කර තිබෙන නානාවිධ දේවල් ගැන සඳහන් කරමින් ගීතිකාකරු මෙසේ පවසයි. “යෙහෝවා, ඔබගේ වැඩ කොපමණ නානාප්‍රකාරද? ඔබ මේ සියල්ල ඥානයෙන් සෑදුවේය.” (ගීතාවලිය 104:24) ගීතාවලියේ හතරවන කාණ්ඩයේ අඩංගු අවසන් ගීතිකා දෙකෙහි යෙහෝවාගේ පුදුම ක්‍රියා ගැන ඔහුව පැසසුමට ලක් කරනවා.—ගීතාවලිය 105:2, 6; 106:7, 22.
ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:
91:1, 2—“මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානය” කුමක්ද? අපිට එහි “වාසය” කළ හැක්කේ කෙසේද? මෙය ඇත්තටම යම් ස්ථානයක් නොවෙයි. එයින් යම් තත්වයක් සංකේතවත් කරනවා. යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ කිට්ටු මිත්‍රත්වය කිසිම හානියක් නොවන ආකාරයකින් ආරක්ෂා කරගැනීම ඉන් අදහස් කරනවා. මෙය රහස් ස්ථානයක් කියා හඳුන්වන්නේ දෙවි කෙරෙහි විශ්වාසය නොතබන අය එය නොදන්න නිසයි. යෙහෝවා දෙවිව අපේ රක්ෂස්ථානය හා බලකොටුව කරගැනීමෙන්ද, මුළු විශ්වයේම පාලකයා හැටියට ඔහුව මහිමයට පත් කිරීමෙන්ද, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන්ද අපි ඔහුව අපේ වාසස්ථානය කරගන්නවා. සැමවිටම අපිට උපකාර කිරීමට යෙහෝවා සූදානමින් සිටින බව අපි දන්න නිසා අපිට සුරක්ෂිතබවක් දැනෙනවා.—ගීතාවලිය 90:1.
92:12—ධර්මිෂ්ඨයා “තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේ” කෙසේද? තාල වර්ගයේ ගස්වල විශේෂ ලක්ෂණයක් වන්නේ බහුල වශයෙන් පල දැරීමයි. ධර්මිෂ්ඨ තැනැත්තා තාල ගසකට සමාන කරන්නේ යෙහෝවාගේ ඇස් හමුවෙහි ඔහු කෙළින් ක්‍රියා කරන පුද්ගලයෙක් වන නිසයි. එමෙන්ම ඔහු සැමදාම “හොඳ පල” දරනවා. ඔහු කරන යහපත් ක්‍රියා එම පලට අයත් වෙනවා.—මතෙව් 7:17-20.
අපට ගත හැකි පාඩම්:
90:7, 8, 13, 14. අපි වැරදි කරන විට සැබෑ දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය පලුදු වෙයි. කිසිම පාපයක් ඔහුගෙන් සැඟවිය නොහැකියි. කෙසේවෙතත් අපි අවංකවම පසුතැවිලි වී අපේ වැරදි අත්හරිනවා නම් යෙහෝවා නැවතත් අපිට ඔහුගේ අනුමැතිය ලබා දෙමින් ‘කරුණාවෙන් අපව තෘප්තියට පමුණුවයි.’
90:10, 12. ජීවිතය කෙටි නිසා “අපේ දවස් ගණින්ට” අවශ්‍යයි. මෙය කරන්නේ කෙසේද? අපේ ජීවිතයේ ඉතිරි දවස් නිකරුණේ නාස්ති නොකර, ගත වන සෑම දවසක්ම යෙහෝවාව සතුටට පත් කරන ආකාරයෙන් ජීවත් වීමට හැකි වන පිණිස ‘ප්‍රඥාවන්ත සිතක් ලබාගැනීමෙන්’ අපේ දවස් ගණින්ට අපට හැකියි. මේ සඳහා අපි දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ කටයුතුවලට මුල් තැන දෙමින් අපේ කාලය නැණවත්ව පාවිච්චි කළ යුතුයි.—එෆීස 5:15, 16; ෆිලිප්පි 1:10.
90:17. ‘අපේ හස්ත කර්මාන්තය [අත්වලින් කරන වැඩ] ස්ථීර කරන මෙන්ද,’ දේවසේවය හවුල් වීම සඳහා අපි දරන වෑයම්වලට ආශීර්වාද කරන මෙන්ද යෙහෝවාට යාච්ඤා කිරීම සුදුසුයි.
92:14, 15. දේවවචනය මහත් උනන්දුවෙන් අධ්‍යයනය කිරීමෙන්ද, දෙවිගේ ජනයා සමඟ නිතිපතා ඇසුරු කිරීමෙන්ද මහලු අය ඇදහිල්ලෙන් ‘සශ්‍රීකව’ වැඩෙයි. ඔවුන් සභාවට වටිනා සම්පතක් වෙයි.
94:19. කුමන හෝ හේතුවක් නිසා අපේ සිත්වල නොසන්සුන් “සිතිවිලි” ඇති වන විට බයිබලයේ සඳහන් ‘සැනසීම’ ගෙන දෙන වාර්තා කියවීමෙන් හා ඒවා ගැන මෙනෙහි කිරීමෙන් අපිට ලොකු සහනයක් ලබන්න පුළුවන්.
95:7, 8. ශුද්ධ ලියවිලි පදනම් කරගෙන දෙනු ලබන උපදෙස්වලට හොඳින් සවන් දී ඒවාට කැමැත්තෙන්ම කීකරු වෙනවා නම් දැඩි සිතක් ඇතිවීම වළක්වාගත හැකියි.—හෙබ්‍රෙව් 3:7, 8.
106:36, 37. පිළිම නමස්කාරය ගැනත් භූතයන්ට පූජා ඔප්පු කිරීම ගැනත් මෙහි සඳහන් වෙනවා. එයින් පැහැදිලි වන්නේ පිළිම තබාගෙන සිටින කෙනෙක් භූතයන්ගේ බලපෑම්වලට ලක් විය හැකි බවයි. බයිබලයේ අපෙන් මෙසේ ඉල්ලා සිටිනවා. “කුඩා දරුවෙනි, දේවතා රූපවලින් පරෙස්සම් වන්න.”—1 යොහන් 5:21.
“යෙහෝවාට ප්‍රශංසා කරන්න”
ගීතාවලියේ හතරවන කාණ්ඩයට අයත් අවසන් ගීතිකා තුන නිමා වන්නේ සියලුම ජනයාට මෙම උපදේශය ලබා දෙමිනුයි. “යෙහෝවාට ප්‍රශංසා කරන්න.” මේ කාණ්ඩයේ ගීතිකාව ආරම්භ වන්නේද එම උපදේශය සමඟයි. (ගීතාවලිය 104:35; 105:45; 106:1, 48) “යෙහෝවාට ප්‍රශංසා කරන්න” කියා එම කාණ්ඩයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා.
යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා අපිට ඕනෑ තරම් හේතු තිබෙනවා. හැත්තෑ තුනේ සිට එකසිය හය දක්වා වූ ගීතිකාවල අපිට සිතා බැලීම සඳහා කරුණු බොහොමයක් තිබෙන අතර, ඒවා ගැන සිතන විට අපේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වීමට අප තුළ පෙලඹීමක් ඇති වෙයි. ඔහු දැනටමත් අපි වෙනුවෙන් කර තිබෙන දේවල් ගැනත් ඉදිරියේදී කරන්න යන දේවල් ගැනත් සිතන විට අපට හැකි උපරිමයෙන් “යෙහෝවාට ප්‍රශංසා කරන්න” අප තුළ පෙලඹීමක් ඇති වෙනවා නිසැකයි.
[10වන පිටුවේ පින්තූරය]
ආසාප් මෙන් අපිත් ‘දෙවිට ළං වෙනවා’ නම් දුෂ්ටකම් හමුවේ කල නොකිරී සිටීමට අපට හැකියි
[11වන පිටුවේ පින්තූරය]
පාරාවෝ රතු මුහුද අසලදී මහත් පරාජයක් අද්දැක්කා
[11වන පිටුවේ පින්තූරය]
මන්නා “බලවතුන්ගේ කෑම” ලෙස හඳුන්වන්නේ ඇයි කියා ඔබ දන්නවාද?
[13වන පිටුවේ පින්තූරය]
අප තුළ ඇති වන නොසන්සුන් “සිතිවිලි” ඉවත් කරගැනීමට අපට හැක්කේ කෙසේද?