Skip to content

පටුනට යන්න

යේසුස්ට මරණ දඬුවම දුන් උත්තම පූජකයා

යේසුස්ට මරණ දඬුවම දුන් උත්තම පූජකයා

යේසුස්ට මරණ දඬුවම දුන් උත්තම පූජකයා

වර්ෂ 1990දී පුරාණ යෙරුසලම් නගරය පිහිටා තිබූ ස්ථානය ආසන්නයේ සේවක පිරිසක් වැඩ කරමින් සිටි අවස්ථාවේදී පැරණි සොහොන් ගෙයක තිබී අපූර්ව යමක් සොයාගත්තා. එහිදී ඔවුන්ට හමු වුණේ පුරාණ කාලයේදී මිය ගිය අයගේ ඇටකටු තැන්පත් කර තිබූ කුඩා පෙට්ටි දොළහක්. එම ස්ථානය සොහොනක් හැටියට ක්‍රි.පූ. පළමුවන සියවසේ සිට ක්‍රි.ව. පළමුවන සියවස දක්වා කාලයේදී නගරවාසීන් විසින් පාවිච්චි කර තිබෙනවා.

පුරාණ කාලයේ යෙරුසලමේ මිනී තැන්පත් කළේ කුඩා ගුහාවක් වැනි සොහොන් ගෙයකයි. පුරාණ යෙරුසලමේ වැසියන් මෙවැනි සොහොනක මිනියක් තැන්පත් කර අවුරුද්දක් පමණ ගිය පසු ඉතිරි වූ ඇටකටු පෙට්ටියක දමා තැන්පත් කළා. වර්ෂ 1990දී සොයාගත් එවැනි මිනී ඇටකටු තැන්පත් කර තිබූ පෙට්ටියක එක් පැත්තක් ඉතා අලංකාරව කැටයම් කර තිබුණා. එහි යෝසෙෆ් කායෆස් කියා කොටා තිබුණා. මෙතෙක් සොයාගෙන තිබෙන ඒ වර්ගයේ අලංකාරම පෙට්ටිය වන්නේ එයයි.

එම සොහොන් ගෙය යේසුස් ගැන නඩුව විභාග කිරීමේදී මුල් තැන ගෙන ක්‍රියා කළ උත්තම පූජකයාට අයත්ව තිබූ බව සොයාගෙන තිබෙන සාක්ෂිවලට අනුව නිගමනය කළ හැකියි. ඒ උත්තම පූජකයා වූයේ “යෝසෙෆ් කායෆස්” බව යුදෙව් ඉතිහාසඥයෙකු වූ ජොසීෆස් පෙන්වා දී තිබෙනවා. බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ කායෆස් කියායි. අපි ඔහු ගැන සොයා බැලිය යුත්තේ ඇයි? ඔහු යේසුස්ට මරණ දණ්ඩනය නියම කිරීමට හේතු වුණේ කුමක්ද?

කායෆස්ගේ පවුල් පසුබිම

කායෆස් විවාහ වී සිටියේ තවත් උත්තම පූජකයෙක් වූ අන්නස්ගේ දියණියවයි. (යොහන් 18:13) එම විවාහය තීන්දු කර තිබුණේ අවුරුදු කිහිපයකට කලිනුයි. මෙසේ කරන්න ඇත්තේ මෙම පවුල් දෙක අතර හොඳ මිත්‍රත්වයක් ඇති කරගැනීමට දෙපාර්ශ්වයටම වුවමනා වූ නිසයි. මේ කාලය අතරතුර ඔවුනොවුන්ගේ පූජක පෙළපත්වල නිකැළැල්භාවය ඔවුන් හොඳින් පරීක්ෂා කර බලන්න ඇති. ඒ කාලයේ සිටි ඉහළ පැළැන්තියට අයත් වූ මේ පවුල් දෙකටම යෙරුසලමේ විශාල වතු පිටි ඉඩ කඩම් තිබුණා. තමන්ගේ අනාගත බෑනා තමාට සමාන අදහස් දරන කෙනෙක් වෙනවා දැකීමට අන්නස් ආශාවෙන් සිටි බවට සැකයක් නැහැ. පෙනෙන විදිහට අන්නස් සහ කායෆස් යන දෙදෙනාම සැලකිය යුතු බලයක් තිබූ සද්දුසිවරුන්ගේ නිකායට අයත්ව සිටියා.—ක්‍රියා 5:17.

උසස් පූජක පැළැන්තියක කෙනෙකු හැටියට කායෆස් බයිබලයේ හෙබ්‍රෙව් බසින් ලියූ ලියවිලි ගැන හොඳින් ඉගෙනගෙන තිබෙන්න ඇති. ඔහු දේවමාලිගාවේ සේවය ආරම්භ කළේ අවුරුදු 20දී පමණ කියා සිතිය හැකි වුණත් ඔහු උත්තම පූජක තනතුරට පත් වුණේ කිනම් වයසකදීද කියා හරියටම කිව නොහැකියි.

උත්තම පූජකයන් සහ නායක පූජකයන්

උත්තම පූජක තනතුර ආරම්භ කළ මුල්ම කාලයේදී එය හිමි වූයේ පරම්පරාවෙන්. උත්තම පූජකයාද ජීවිතාන්තය දක්වාම එම තනතුරේ සේවය කළා. කෙසේවෙතත් ක්‍රි.පූ. දෙවන සියවසේදී විසූ හස්මෝනියන්වරුන් බලෙන් උත්තම පූජක තනතුරු ලබාගත්තා. * උත්තම පූජකයන්ව පත් කිරීමට හා ඉවත් කිරීමට ගලීලයේ දේශාධිපති වූ මහා හෙරොද් රජුට බලය තිබුණා. රෝම ආණ්ඩුකාරයන්ටද එවැනි බලයක් තිබුණා.

මෙයාකාරයෙන් යුදෙව් සමාජය තුළ සිදු වූ වෙනස්කම්වල ප්‍රතිඵලයක් හැටියට “නායක පූජකයෝ” කියා බයිබලයේ හඳුන්වන කණ්ඩායමක් බිහි වුණා. (මතෙව් 26:3, 4) මෙම කණ්ඩායමට කායෆස්ද, අන්නස් වැනි කලින් උත්තම පූජකයන්ව සිටි අයද ඇතුළත් වුණා. උත්තම පූජකයෙකු ලෙස සේවය කිරීමෙන් අන්නස්ව ඉවත් කර තිබුණත් උත්තම පූජකයෙකුට ලැබෙන සැලකිලි ඔහු දිගටම ලැබුණා. එම කණ්ඩායමට උත්තම පූජකයාගේ හා කලින් උත්තම පූජකයන් ලෙස සිටි අයගේ පවුල්වල කිට්ටු සාමාජිකයන්ද ඇතුළත් වුණා.

රෝම ආණ්ඩුව යුදෙව් සමාජයේ එදිනෙදා වැඩකටයුතු පරිපාලනය කිරීමට නායක පූජකයන් ඇතුළු රදළ පැළැන්තියට ඉඩ දුන්නා. මෙසේ කිරීමෙන් යුදය සිය පාලනය යටතේ තබාගැනීමටත් විශාල සොල්දාදුවන් පිරිසක් නොයවා යුදෙව්වන්ගෙන් බදු එකතු කරගැනීමටත් රෝම ආණ්ඩුවට හැකි වුණා. යුදයේ සාමය හා නීතිය රැකීමත් රෝම ආණ්ඩුවේ අභිමථාර්ථයන් ඉටු කිරීමත් යුදෙව් රදළ පැළැන්තියෙන් බලාපොරොත්තු වුණා. රෝම පාලනයට අකමැති වූ යුදෙව් නායකයන්ට රෝම ආණ්ඩුකාරයන් එතරම් ප්‍රිය කළේ නැහැ. කෙසේවෙතත් ස්ථාවර පාලනයක් ගෙන යෑමට තිබූ වුවමනාව නිසා මේ දෙපාර්ශ්වයම සහයෝගයෙන් ක්‍රියා කළා.

ඒ කාලයේදී උත්තම පූජකයා යුදෙව්වන්ගේ දේශපාලනික නායකයා ලෙසද කටයුතු කළා. ක්‍රිස්තු වර්ෂ 6දී හෝ 7දී අන්නස්ව උත්තම පූජකයා ලෙස පත් කළේ සිරියාවේ රෝම ආණ්ඩුකාරයාව සිටි කිරිනියස් විසිනුයි. ප්‍රමුඛ පෙළේ යුදෙව් රදළ පැළැන්තියට අයත් පවුල්වල සාමාජිකයන්ගේ ගතිලක්ෂණ වූයේ ගිජුකම, නෑදෑයන්ට වැඩි සැලකිල්ලක් දැක්වීම, අන් අයව පාගා දැමීම හා ප්‍රචණ්ඩත්වය යනාදිය බව යුදෙව් ආගමික නායකයන්ගේ පොත් පත්වල සඳහන් දේවලින් පෙනී යනවා. එක් ලේඛකයෙකුගේ අදහසකට අනුව කායෆස් උසස් තනතුරක් හෙබවීම තමන්ටද මහත් වාසියක් බව සිතූ නිසා අන්නස් ඔහුට දේවමාලිගාවේ උසස් වීම් ලබා දෙන්න සෑහෙන උත්සාහයක් දරන්න ඇති.

යුදයේ රෝම ආණ්ඩුකාරයාව සිටි වැලරියස් ග්‍රාටුස් ක්‍රි.ව. 15දී පමණ අන්නස්ව උත්තම පූජක තනතුරෙන් පහ කර දැමුවා. ඉන්පසු කෙටි කාලයක් ඇතුළත උත්තම පූජක තනතුර තිදෙනෙකු අතට මාරු වුණා. අන්නස්ගේ පුතෙක්ද ඔවුන් අතර සිටියා. කායෆස් ක්‍රි.ව. 18දී පමණ උත්තම පූජක තනතුරට පත් වූ අතර යුදයේ ආණ්ඩුකාරයා ලෙස ක්‍රි.ව. 26දී පත් වූ පොන්තියුස් පිලාත් ඔහුගේ දස අවුරුදු පාලන කාලය පුරාම කායෆස්ව උත්තම පූජකයා ලෙස තබාගත්තා. යේසුස් හා ඔහුගේ මුල් ගෝලයන් දේශනා කළ කාලයේදී උත්තම පූජක තනතුර හෙබවූයේ කායෆස්. ඔහු ක්‍රිස්තුස්ගේ ගෝලයන් දේශනා කළ පණිවිඩයට දැඩි සේ විරුද්ධ වුණා.

යේසුස්ටත් රෝමයටත් බිය වූ කායෆස්

කායෆස් යේසුස්ව සැලකුවේ යුදෙව් සමාජයේ සාමයට බාධාවක් වන කෙනෙක් හැටියටයි. ආගමික නායකයන් සබත් දවස පිළිබඳව වැරදි අර්ථකථනයක් දුන් බව යේසුස් පෙන්වා දුන්නා. එමෙන්ම යේසුස් දේවමාලිගාවේ සිටි වෙළෙඳුන් එය “කොල්ලකාරයන්ගේ ගුහාවක්” බවට පත් කර තිබූ බව පවසමින් ඔවුන්ව එයින් එළවා දැම්මා. (ලූක් 19:45, 46) ඇතැම් ඉතිහාසඥයන් විශ්වාස කරන ආකාරයට දේවමාලිගාවේ තිබූ එම වෙළඳසැල් අන්නස්ගේ පවුලේ අයට අයිතිව තිබුණා. යේසුස් කළ මේ දේත් කායෆස් යේසුස්ව නිහඬ කිරීමට උත්සාහ කිරීමට එක් හේතුවක් වන්නට ඇති. නායක පූජකයන් යේසුස්ව අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ව පිටත් කරහැරිය අවස්ථාවේදී යේසුස් පවසමින් සිටි දේවල් ගැන ඔවුන් කොතරම් පුදුම වුණාද කියනවා නම් ඔවුන් ආපසු හැරී ආවේ හිස් අතින්.—යොහන් 2:13-17; 5:1-16; 7:14-49.

යේසුස් ලාසරුස්ව මළවුන්ගෙන් නැවත නැඟිටෙවූ බව දැනගන්න ලැබුණු අවස්ථාවේදී යුදෙව් නායකයන් කළ දෙය ගැන සිතා බලන්න. මේ ගැන යොහන්ගේ සුවිශේෂයේ මෙසේ වාර්තා කර තිබෙනවා. “නායක පූජකයෝ සහ පරිසිවරු සැන්හෙඩ්‍රිනය රැස් කරවා මෙසේ කීවෝය: ‘අපි කුමක් කරමුද? මේ මිනිසා බොහෝ ලකුණු සිදු කරයි. අප මේ ආකාරයට ඔහුට ඉඩහැරියොත්, සියල්ලන්ම ඔහු කෙරෙහි ඇදහිල්ල තබනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇත.’” (යොහන් 11:47, 48) සැන්හෙඩ්‍රිනය කියා හැඳින්වූ යුදෙව් මහාධිකරණය යේසුස්ව සැලකුවේ එදා පැවති ආගමික ක්‍රමයට හා සමාජයට තර්ජනයක් ලෙසයි. යුදෙව් සමාජය තුළ යම් නොසන්සුන් තත්වයක් ඇති වුණා නම් ඒ ගැන එහි සාමාජිකයන් පිලාත්ට වග කිව යුතු වුණා. රෝම ආණ්ඩුවට විරුද්ධව යම් වැඩ පිළිවෙළක් දියත් වෙමින් තිබූ බව රෝමයේ පාලකයන්ට පෙනී ගියා නම් ඔවුන් යුදෙව් නායකයන් ගෙන ගිය පාලනයට මැදිහත් වන බව සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන් දැන සිටියා. මේ නිසා එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා හැකි ඕනෑම දෙයක් කරන්න යුදෙව් නායකයන් පසුබට වුණේ නැහැ.

යේසුස් බලවත් ක්‍රියා කළ බව පිළිගන්න සිදු වුණත් කායෆස් ඔහු කෙරෙහි ඇදහිල්ල තැබුවේ නැහැ. කායෆස්ට වුවමනා වුණේ ඔහුගේ නිලතල හා බලතල රැකගන්නයි. සද්දුසිවරුන් නැවත නැඟිටීම ගැන විශ්වාස කළේ නැහැ. එහෙමනම් සද්දුසිවරයෙක් වූ කායෆස් ලාසරුස්ගේ නැවත නැඟිටීම විශ්වාස කරයි කියා සිතන්න බැහැ.—ක්‍රියා 23:8.

කායෆස් ඔහුගේ සෙසු පාලකයන්ට යේසුස් ගැන මෙසේ පැවසුවා. “ඔබ කිසිම දෙයක් දන්නේ නැත. මුළු ජාතියම විනාශ වනවාට වඩා ජනතාව උදෙසා එක මිනිසෙකු මිය යෑම ඔබට ප්‍රයෝජනවත් බව ඔබ කල්පනා කරන්නේ නැත.” කායෆස් මොන තරම් දුෂ්ට පුද්ගලයෙක්ද කියා ඔහු පැවසූ එම වදන්වලින් පැහැදිලි වෙනවා. වාර්තාවේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “මෙය ඔහු විසින්ම උපදවා කී දෙයක් නොවේ. නමුත් ඔහු ඒ අවුරුද්දේ උත්තම පූජකයාව සිටි බැවින්, ජාතිය උදෙසා යේසුස් මිය යෑමට නියමිතව සිටි බවට අනාවැකි කීවේය. එමෙන්ම, ඔහුගේ මරණය ජාතිය උදෙසා පමණක් නොව, විසිරී ගිය දෙවිගේ දරුවන්ව එකට රැස් කිරීම සඳහාද සිදුවීමට තිබිණ. එබැවින් එදා පටන් ඔවුහු ඔහුව මරන්න සාකච්ඡා කළෝය.”—යොහන් 11:49-53.

ඔහු පැවසූ වචනවල සැබෑ අර්ථය කායෆස් දැන සිටියේ නැහැ. ඔහුට එවැනි අනාවැකියක් කීමට හැකි වුණේ ඔහු උත්තම පූජක තනතුර හෙබවූ නිසයි. * ඔහු පැවසූ ලෙස යේසුස්ගේ මරණය ප්‍රයෝජනදායක වුණා. එහෙත් යුදෙව්වන්ට පමණක් නොවෙයි. යේසුස්ගේ ජීවිත පූජාව නිසා පාපයට හා මරණයට වහල්ව සිටින මුළු මහත් මිනිස් වර්ගයාවම එයින් නිදහස් කරගැනීමේ මාර්ගය විවෘත වුණා.

මිනීමරු කුමන්ත්‍රණයක්

යුදෙව් නායක පූජකයන් සහ වැඩිමහල්ලන් කායෆස්ගේ නිවසට රැස් වී යේසුස්ව අල්ලාගෙන මරන්නේ කෙසේද කියා සාකච්ඡා කළා. යේසුස්ව පාවා දීම සඳහා ගෙවන මිල තීරණය කිරීමේදී යූදස් ඉස්කාරියොත් සමඟ උත්තම පූජකයාද හවුල් වෙන්න ඇතැයි කියා සිතිය හැකියි. (මතෙව් 26:3, 4, 14, 15) කායෆස්ගේ දුෂ්ට අරමුණ ඉටු කරගැනීම සඳහා එක මිනිසෙකුව පමණක් මරා දැමීම ප්‍රමාණවත් වුණේ නැහැ. මේ බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් මෙම වචනවලින් පැහැදිලි වෙනවා. “නායක පූජකයෝ ලාසරුස්වත් මරන්න සාකච්ඡා කරගත්හ. මන්ද ඔහු නිසා යුදෙව්වරුන්ගෙන් බොහෝදෙනෙක් . . . යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබුවෝය.”—යොහන් 12:10, 11.

යේසුස්ව අත්අඩංගුවට ගැනීමට යවන ලද පිරිස අතර මැල්කස් නම් කායෆස්ගේ දාසයෙක්ද සිටියා. අත්අඩංගුවට ගත් යේසුස්ව ප්‍රශ්න කිරීම සඳහා මුලින්ම ගෙන ගියේ අන්නස් ළඟටයි. ඉන්පසුව යේසුස්ව කායෆස් ළඟට ගෙන ගියා. කායෆස් ඒ වන විටත් යේසුස් ගැන නඩුව විභාග කිරීම සඳහා යුදෙව් වැඩිමහල්ලන්ගේ රැස්වීමක් රාත්‍රියේදීම කැඳවා තිබුණා. එහෙත් රාත්‍රි කාලයේදී නඩුවක් විභාග කිරීම යුදෙව් නීතියට පටහැනි දෙයක් වුණා.—මතෙව් 26:57; යොහන් 18:10, 13, 19-24.

බොරු සාක්ෂිවලින් යේසුස්ව වැරදිකරුවෙක් බව ඔප්පු කිරීමට නොහැකි වුණා. ඒත් යේසුස්ට මරණ දණ්ඩනය නියම කිරීමේ කායෆස්ගේ දුෂ්ට අරමුණට එය බාධාවක් වුණේ නැහැ. යම් කෙනෙක් තමන්ව ක්‍රිස්තුස් හෙවත් පුරෝකථනය කළ ගැලවුම්කරු ලෙස හඳුන්වා දුන්නොත් ඒ සම්බන්ධයෙන් තමන් හා එක්ව සිටින අනිත් කුමන්ත්‍රණකරුවන් දරන අදහස කායෆස් දැන සිටියා. ඒ නිසා යේසුස් ඔහුව පුරෝකථනය කළ ගැලවුම්කරු ලෙස හඳුන්වා දෙයිද නැද්ද කියා බැලීමට කායෆස් ඔහුගෙන් ඒ ගැන ඇසුවා. යේසුස් ඔහුට පිළිතුරු දෙමින් පැවසුවේ තමන් “බලවත් තැනැත්තාගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටිනවාත්, ආකාශයේ වලාකුළු පිට එනවාත් ඔබ දකින්නහුය” කියායි. තමා භක්තිවන්තයෙක් බව පෙන්වීම සඳහා “උත්තම පූජකයා තම පිට වස්ත්‍රය ඉරාගනිමින් මෙසේ කීවේය. ‘ඔහු කළේ දේවඅපහාසයකි! අපට තව සාක්ෂිකාරයන් කුමකටද?’” යේසුස්ට මරණ දඬුවම දිය යුතුයි කියා යුදෙව් මහාධිකරණය තීරණය කළා.—මතෙව් 26:64-66.

යුදෙව් මහාධිකරණය තීන්දු කළ මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි වුණේ රෝම පාලකයන් එය අනුමත කිරීමෙන් පසුවයි. යේසුස්ගේ නඩුව පිලාත් වෙතට යොමු කළේ රෝම පාලකයන් සහ යුදෙව්වන් අතර නියෝජිතයෙකු ලෙස ක්‍රියා කළ කායෆස් විය හැකියි. යේසුස්ව නිදහස් කිරීමට පිලාත් උත්සාහ කළත්, “ඔහුව ඇණ ගසන්න! ඔහුව ඇණ ගසන්න!” කියා කායෆස්ද ඇතුළුව නායක පූජකයන් මොරගැසුවා. (යොහන් 19:4-6) යේසුස් වෙනුවට මිනීමරුවෙක්ව නිදහස් කරන මෙන් කෑ මොරගැසීමට සෙනඟව උනන්දු කළේ කායෆස් කියා සිතිය හැකියි. එමෙන්ම “සීසර් හැර අපට වෙන කිසි රජෙකු නැත” කියා කුහක ලෙස පැවසූ නායක පූජකයන් අතර කායෆස්ද සිටියා.—යොහන් 19:15; මාක් 15:7-11.

යේසුස්ව මරා දැමුවත් දෙවි ඔහුව නැවත නැඟිටෙවූ බවට තිබූ සාක්ෂි කායෆස් ප්‍රතික්ෂේප කළා. ඔහු පේතෘස්ට හා යොහන්ටද පසුව ස්තේපන්ටද විරුද්ධ වුණා. දමස්කයට ගොස් එහි යේසුස්ගේ අනුගාමිකයන් සිටිනවාද කියා සොයා බලා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සාවුල්ට බලතල දුන්නේද කායෆස්. (මතෙව් 28:11-13; ක්‍රියා 4:1-17; 6:8–7:60; 9:1, 2) කෙසේවෙතත් සිරියාවේ රෝම පාලකයාව සිටි විටිලියස් විසින් ක්‍රි.ව. 36දී පමණ කායෆස්ව උත්තම පූජක තනතුරෙන් ඉවත් කළා.

කායෆස් සහ ඔහුගේ පවුලේ අය ගැන යුදෙව් පොත් පත්වල සඳහන් වන්නේ එතරම් හොඳ වාර්තාවක් නොවෙයි. උදාහරණයක් හැටියට බැබිලෝනීය තල්මුඩය කියා හඳුන්වනු ලබන යුදෙව් පොතක මෙසේ ශෝකයක් පළ කර තිබෙනවා. “අන්නස්ගේ වංශය නිසා දුක් වේ. ඔවුන්ගේ රහසිගත කූට කුමන්ත්‍රණ නිසා දුක් වේ.” මෙම වචනවලින් කියැවෙන්නේ “අන් අයට හිංසා පීඩා කිරීම සඳහා කූට උපායන් යෙදීමට ආගමික නායකයන් කළ රහසිගත රැස්වීම්” ගැනයි.

කායෆස්ගෙන් උගත හැකි පාඩම්

උත්තම පූජක තනතුරු හෙබවූ පුරුෂයන් “දැඩි, උපක්‍රමශීලි, කාර්යශූර හා උඩඟු” පුද්ගලයන් වූ බව එක් විද්වතෙක් සඳහන් කළා. කායෆස් යේසුස්ව ක්‍රිස්තුස් ලෙස පිළි නොගත්තේ උඩඟුකම නිසයි. මේ කාලයේදීත් ඒ හා සමාන ගතිලක්ෂණ තිබෙන මිනිසුන් අපි බයිබලයේ සඳහන් පණිවිඩය ගැන පවසද්දී එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපි අධෛර්යය විය යුතු නැහැ. තමන් භක්තියෙන් පිළිගෙන තිබෙන බයිබලයට පටහැනි විශ්වාසයන් ඉවත් කර දමා, එහි සඳහන් සත්‍යය පිළිගැනීමට තරම් කැමැත්තක් සමහරුන් තුළ දකින්න නැහැ. මිනිසුන් ළඟට ගොස් බයිබලයේ සඳහන් ශුභාරංචිය ගැන පැවසීම තමන්ගේ තත්වයට ගැළපෙන්නේ නැහැ කියා සමහරුන් සිතන්න පුළුවන්. එමෙන්ම වංක හා ගිජු පුද්ගලයන්ද ක්‍රිස්තියානි ප්‍රතිපත්ති අනුව ජීවත් වීමට ප්‍රිය කරන්නේ නැහැ.

ගැලවුම්කරු වශයෙන් යේසුස්ව පිළිගැනීම සඳහා සෙසු යුදෙව්වන්ට උපකාර කරන්න උත්තම පූජකයා වූ කායෆස්ට අවස්ථාව තිබුණා. එහෙත් බලයට තිබූ ගිජුකම නිසා ඔහු යේසුස්ට මරණ දණ්ඩනය නියම කිරීමට මුල් වී ක්‍රියා කළා. ඔහු මිය යන තෙක්ම ක්‍රිස්තියානීන්ට විරුද්ධවාදිකම් එල්ල කළා. කායෆස් ජීවත්ව සිටියදී කළ දේවලින් කියාපාන්නේ කෙනෙක් මැරුණු පසුවත් ඔහු ඇති කරගෙන තිබූ හොඳ හෝ නරක නාමය දිගටම පවතින බවයි. දෙවි ඉදිරියෙහි අපි ඇති කරගන්න නාමයට අපි කරන දේවල් බලපාන බව මතක තබාගනිමින් සැමවිටම දෙවි සමඟ හොඳ නමක් ඇති කරගැනීමට වෑයම් කරමු.

[පාදසටහන්වල]

^ 9 ඡේ. හස්මෝනියන්වරුන්ගේ ඉතිහාසය ගැන දැනගැනීම සඳහා 2001 ජූනි 15 මුරටැඹ සඟරාවේ 27-30 දක්වා පිටු බලන්න.

^ 19 ඡේ. කලින් වතාවකදී යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ ගැන සත්‍ය අනාවැකි පැවසීමට දුෂ්ට බාලාම්ව යොදාගත්තා.—ගණන් කතාව 23:1–24:24.

[10වන පිටුවේ පින්තූරය]

යෝසෙෆ් කායෆස්

[10වන පිටුවේ පින්තූරය]

මෑතකදී සොයාගත් මිනී ඇටකටු අඩංගු පෙට්ටිය

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Ossuary, inscription, and cave in background: Courtesy of Israel Antiquities Authority