Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

Skip to content

පටුනට යන්න

ගලීල මුහුදේ ගිය ගමනක්

ගලීල මුහුදේ ගිය ගමනක්

ගලීල මුහුදේ ගිය ගමනක්

යේසුස් සහ ඔහුගේ ගෝලයන් ඔරුවකින් ගලීල මුහුද හරහා යාත්‍රා කරමින් සිටි බව මාක් 4:35-41 දක්වා වාර්තා වෙනවා. මෙම වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “චණ්ඩ මාරුතයක් ඇති වී, ඔරුව ගිලී යන තරමටම ඒ තුළට වේගයෙන් රළ ගැසීය. නමුත් ඔහු [යේසුස්] ඔරුවේ අවරෙහි කොට්ටයක් මත නිදාගෙන සිටියේය.”

“කොට්ටය” සඳහා තිබෙන ග්‍රීක වචනය බයිබලයේ සඳහන් වන්නේ මෙම වාර්තාවේ පමණයි. මේ නිසා එම ග්‍රීක වචනයේ නියම තේරුම බයිබල් විශාරදයන් දන්නේ නැහැ. බොහෝ බයිබල් පරිවර්තනවල එම ග්‍රීක වචනය පරිවර්තනය කර තිබෙන්නේ කොට්ටය කියායි. මෙය මොන වගේ කොට්ටයක්ද? ග්‍රීක භාෂාවෙන් මුලින්ම මෙම වාර්තාව ලියූ මාක් කොට්ටයක් ගැන සඳහන් කරද්දී ඔහු ඉන් අදහස් කළේ එය ඔරුවේම තිබෙන දෙයක් හැටියටයි. කොට්ටය සඳහා මාක් භාවිත කළ ග්‍රීක වචනයෙන් අදහස් කරන දෙය දැනගැනීම සඳහා 1986දී ගලීල මුහුද අසලදී සොයාගනු ලැබූ ඔරුවක තොරතුරු උපකාරවත් වෙනවා.

මීටර් 8ක් දිග ඒ ඔරුව යාත්‍රා කළේ රුවල්වලින් සහ හබල් ගසා බව පර්යේෂණවලින් ඔප්පු වෙනවා. මසුන් ඇල්ලීම සඳහා මෙම ඔරුව යොදාගෙන තිබෙන අතර මෙහි අවරය හෙවත් පසුපස කොටස භාවිත කර තිබුණේ විශාල මාළු දැල් තැබීම සඳහායි. මේ ඔරුව ක්‍රි.පූ. 100ත් ක්‍රි.ව. 70ත් අතර කාලයේදී පාවිච්චි කළ එකක් බව විශ්වාස කරනවා. යේසුස් සහ ඔහුගේ ගෝලයන් ගලීල මුහුද හරහා ගමන් කර තිබෙන්නේ මෙවැනි ඔරුවකින් විය හැකියි. මෙම බෝට්ටුව සොයාගත් ෂෙලී වොක්ස්මන් විසින් මේ කාරණය ගැන විස්තර ඇතුළත් පොතක් ලිව්වා. (The Sea of Galilee Boat—An Extraordinary 2000 Year Old Discovery.) ඔහු පෙන්නුම් කරන පරිදි යේසුස් නිදාගෙන සිටියේ වැලි කොට්ටයක් මතයි. මෙම වැලි කොට්ටය ඔරුවේ තබා තිබුණේ එහි සමබරකම රැකගැනීම සඳහායි. බටහිර ඊශ්‍රායෙලයේ නගරයක් වූ ජැෆාහි විශාල දැල් යොදා මාළු අල්ලන පළපුරුදු ධීවරයෙක් මෙසේ පැවසුවා. “මම තරුණ කාලයේ මධ්‍යධරණී මුහුදේ මාළු අල්ලන්න ගිය ඔරුවල වැලි කොට්ටයක් දෙකක් තබා තිබුණා. . . . මේ වැලි කොට්ට තබා තිබුණේ ඔරුවේ සමබරකම රැකගැනීමටයි. මේ වැලි කොට්ට පාවිච්චි කරන්නේ නැති අවස්ථාවලදී ඒවා ඔරුවේ පිටුපස කොටසේ තබා තිබුණා. ඔරුවේ යන යම් කෙනෙකුට විඩාවක් දැනුණු විට ඔහු වැලි කොට්ටයක් මත ඔලුව තබාගෙන නිදාගන්නවා.”

බයිබල් විශාරදයන් බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ මාක් විස්තර කළ පරිදි යේසුස් නිදාගෙන සිටියේ ඔරුවේ පිටුපස තබා තිබූ වැලි කොට්ටයක් මත බවයි. කුණාටු අවස්ථාවකදී ඔරුවේ වඩාත්ම ආරක්ෂාකාරී තැන වුණේ මේ ස්ථානයයි. මෙම කොට්ටය කුමක් වුණත් වඩාත් වැදගත් වන්නේ ඒ අවස්ථාවේදී සිදු වූ දෙයයි. යේසුස් දෙවිගේ උපකාර ඇතිව මුහුදේ ඇති වූ කුණාටුව නතර කළා. ඔහුගේ ගෝලයන් පවා මෙසේ ඇසුවා. “ඇත්තටම මොහු කවුද? සුළඟ හා මුහුද පවා ඔහුට කීකරු වන්නේය.”