දෙවි ඔබ ගැන ඇත්තෙන්ම සලකයි
දෙවි ඔබ ගැන ඇත්තෙන්ම සලකයි
අප අන්ත අසරණ තත්වයකට වැටී සිටින විට දෙවිගේ උපකාරය පැතීම නිතැතින්ම සිදු වන්නකි. ඇත්තෙන්ම, ඔහු “උතුම්ය, මහා බලයෙන් යුක්තය. ඔහුගේ ඥානය අනන්තය.” (ගීතාවලිය 147:5) අපේ ප්‍රශ්න විසඳාගැනීමට අපට මුළුමනින්ම උපකාර කළ හැකි තත්වයක සිටින එකම තැනැත්තා ඔහුය. ඊට අමතරව, බයිබලය අපට ආරාධනා කරන්නේ ඔහු ඉදිරියේ ‘අපේ සිත වගුරුවන්න’ කියාය. (ගීතාවලිය 62:8) එසේනම්, දෙවි තමන්ගේ යාච්ඤාවලට පිළිතුරු නොදෙන බව බොහෝදෙනෙකුට හැඟෙන්නේ මන්ද? ඉන් අදහස් වන්නේ ඔහු සැලකිල්ලක් නොදක්වන බවද?
දෙවි පියවරක් නොගන්නා බව පෙනෙන ඕනෑම මොහොතකදී ඔහුට දොස් පැවරීමට හදිසි වෙනවා වෙනුවට, ඔබේ කුඩා අවධිය ගැන කල්පනා කර බලන්න. ඔබේ දෙමාපියන් ඔබ ඉල්ලන හැම දෙයක්ම නොදුන් විට, ඔවුන් ඔබට ආදරේ නැතැයි කියා ඔබ ඔවුන්ට චෝදනා කළාද? බොහෝ දරුවන් කරන්නේ එයයි. කෙසේවුවත්, ප්‍රේමය බොහෝ ආකාරවලින් විදහා පෑ හැකි බවත්, දරුවෙකුගේ සෑම ඉල්ලීමකටම එකඟ වීම ඇත්තෙන්ම ප්‍රේමණීය දෙයක් නොවන බවත් ඔබ වටහාගත්තේ ඔබ වයසින් මුහුකුරා ගිය විටය.
එලෙසම, යෙහෝවා අප කැමති ආකාරයට සැමවිටම අපේ යාච්ඤාවලට පිළිතුරු නොදෙනවා නම් ඉන් අදහස් වන්නේ ඔහු අපව නොසලකාහැර ඇති බව නොවේ. සැබෑව වන්නේ දෙවි බොහෝ ක්‍රමවලින් අප සියලුදෙනා කෙරෙහිම සැලකිල්ල දක්වන බවය.
‘අපට ජීවනය තිබෙන්නේ ඔහු මාර්ගයෙනි’
“අපට ජීවනය තිබෙන්නෙත් අප ක්‍රියා කරන්නෙත් අප පවතින්නෙත්” දෙවි නිසා බව අප මුලින්ම මතක තබාගත යුතුය. (ක්‍රියා 17:28, NW) අපට ජීවනය දීමෙන් ස්ථිර වශයෙන්ම පෙන්වන්නේ අප සඳහා වූ ඔහුගේ ප්‍රේමණීය සැලකිල්ලයි!
එමෙන්ම, ජීවත්ව සිටීම සඳහා අපට අවශ්‍ය කරන දේවල් යෙහෝවා අපට සපයන්නේය. ඒ ගැන අපි මෙසේ කියවමු. “ඔහු පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත් . . . හටගන්වන්නේය.” (ගීතාවලිය 104:14) ඇත්තවශයෙන්ම අපේ මැවුම්කරුවාණන් ජීවිතයේ මූලික අවශ්‍යතාවන්වලට වඩා වැඩි දෙයක් සපයයි. ඔහු ත්‍යාගශීලී ලෙස “අහසින් වර්ෂාද සාරවත් කාලවල්ද දීමෙන්, කෑමෙන්ද ප්‍රීතියෙන්ද [අපේ] සිත් සම්පූර්ණයෙන් තෘප්තිමත් කරමින් යහපත කළේය.”—ක්‍රියා 14:17, NW.
කෙසේවෙතත්, සමහරු මෙසේ කල්පනා කිරීමට ඉඩ තිබේ. ‘දෙවි අපට ඉමහත් ප්‍රේමයක් දක්වන්නේ නම්, ඇයි ඔහු අපට දුක් විඳීමට ඉඩහැර තිබෙන්නේ?’ එම ප්‍රශ්නයට උත්තරේ ඔබ දන්නවාද?
දොස් පැවරිය යුත්තේ දෙවිටද?
මිනිස් වර්ගයාගේ දුක් වේදනාවලින් වැඩි හරියක් ඔවුන් විසින්ම පමුණුවාගත් ඒවාය. උදාහරණයකට, ඉතා අවදානම් ඇතැම් ක්‍රියාකාරකම්වල අනතුරු හොඳින්ම පැහැදිලිය. එහෙත් ජනයා, ලිංගික දුරාචාරයේ, මත්පැන් අනිසි භාවිතයේ හා වෙනත් මත්ද්‍රව්‍යයන් භාවිතයේ, දුම්කොළ භාවිතයේ, අවදානම් සහිත ක්‍රීඩාවන්වල යෙදීම, වේගයෙන් රිය පැදවීම හා වෙනත් එවැනි දේවල නිරත වෙති. අවදානම් සහිත එවන් හැසිරීම්වල ප්‍රතිඵලයක් ලෙස දුක් විඳීමට සිදු වේ නම්, දොස් පැවරිය යුත්තේ කාටද? දෙවිටද? එසේ නැතහොත් අනුවණ ලෙස ක්‍රියා කරන තැනැත්තාටද? දේවානුභාවය ලත් වචනයෙහි මෙසේ පවසයි. “මුළා නොවන්න. දෙවිට සරදම් කරන්න නම් කාටවත් බැරිය. මන්ද, යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය.”—ගලාති 6:7, NW.
ඊට අමතරව, මිනිස්සු බොහෝවිට එකිනෙකාව වේදනාවට පත් කරති. ජාතියක් යුධ වදින විට, එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන වේදනාව සඳහා දොස් නැඟිය යුත්තේ දෙවිට නොවන බව ස්ථිරය. සෙසු වැසියෙකුගේ සාපරාධී ප්රහාරයන් නිසා ඇති වන හානිවලට හෝ මරණවලට වග කිව යුත්තා දෙවිද? කොහෙත්ම නෑ! ඒකාධිපති පාලකයෙකු තම පාලනය යටතේ සිටින්නන්ට තාඩන පීඩන, වධ හිංසා කරන විට හා ඔවුන්ව මරා දමන විට අප දොස් නැඟිය යුත්තේ දෙවිටද? එසේ කිරීම අසාධාරණ දෙයක් වනු ඇත.—දේශනාකාරයා 8:9.
එහෙත් අන්ත දුගී තත්වයකට පත්ව හෝ සාගින්නේ පෙළෙමින් සිටින මිලියන සංඛ්‍යාතයන් ගැන කුමක් කිව හැකිද? දොස් පැවරිය යුත්තේ දෙවිටද? නැත. අපේ නිවහන වූ මිහිතලය, සෑම කෙනෙකුවම පෝෂණය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණයටත් වඩා වැඩි ආහාර ප්‍රමාණයක් සපයයි. (ගීතාවලිය 10:2, 3; ) දසත දක්නට ඇති සාගින්න හා දුගී බව සඳහා හේතු පාදක වී ඇත්තේ දෙවි බහුල ලෙස දී තිබෙන දේවල් සමානුපාතිකව බෙදා නොහැරීමය. මෙම ගැටලුව නොවිසඳී තිබෙන්නේ මිනිසුන්ගේ ආත්මාර්ථකාමිත්වය නිසාය. 145:16
ප්‍රධාන හේතුව
කෙනෙකුගේ මහලු විය නිසා අසනීප වන විට හෝ මරණය අද්දකින විට දොස් නැඟිය යුත්තේ කාටද? ඒ ගැන පවා දෙවි වග කිව යුතු නැති බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වනු ඇද්ද? දෙවි මිනිසාව මැව්වේ මහලු වී මිය යෑමට නොවේ.
යෙහෝවා මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒවට ඒදන් උයනේ විසීමට සැලැස්වූයේ භූමික පාරාදීසයේ සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ඇතුවය. කෙසේවුවද, ඔහුට පැහැදිලිවම වුවමනා වූයේ තම උරුමය අගයෙන් යුතුව සලකන මිනිසුන්ගෙන් පොළොව ජනාවාස වෙනවා දැකීමටය. මෙබැවින්, ඔහු ඔවුන්ට අනාගත ජීවිත අපේක්ෂාව දානය කළේ කොන්දේසියක් පිටයි. ආදම් සහ ඒව පාරාදීසයේ ජීවත් වනු ඇත්තේ ඔවුන් තම ප්‍රේමණීය මැවුම්කරුට කීකරුව සිටියා නම් පමණි.—උත්පත්ති 2:17; 3:2, 3, 17-23.
කනගාටුදායක දෙය වන්නේ ආදම් සහ ඒව කැරලිගැසීමය. ඒව යක්ෂයා වන සාතන්ට සවන් දීමට තීරණය කළාය. ඔහු ඇයට බොරු කියූ අතර දෙවි යම් හොඳ දෙයක් ඇයට නොදී සිටින බවද පැවසුවේය. එබැවින් ඈ ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගනිමින් “යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන” වීමට ප්රයත්නයක් දැරුවාය. ආදම් ඇගේ කැරලිගැසීමට හවුල් විය.—උත්පත්ති 3:5, 6.
මෙයාකාරයෙන් ආදම් සහ ඒව පව් කළ විට පෙන්නුම් කළේ සදහටම ජීවත් වීමට ඔවුන් නුසුදුස්සන් බවය. ඔවුහු පාපයේ විනාශකාරී ප්‍රතිඵල අද්දුටූහ. ඔවුන්ගේ ශක්තිය හා ප්‍රාණවත්භාවය ටිකෙන් ටික හීන වී ගොස් අන්තිමේදී ඔවුහු මිය ගියහ. (උත්පත්ති 5:5) කෙසේවුවත්, ඔවුන්ගේ කැරලිගැසීම නිසා ඊටත් වඩා දරුණු ප්‍රතිඵල ඇති විණ. ආදම් හා ඒවගේ පාපයේ ප්‍රතිඵලවලින් අපි තවමත් වේදනා විඳින්නෙමු. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “එක් මිනිසෙකුගෙන් [ආදම්ගෙන්] ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.” (රෝම 5:12, NW) ඇත්තෙන්ම ආදම් සහ ඒවගේ කැරලිගැසීම නිසා පාපය සහ මරණය මුළු මිනිස් සංහතියටම පැතිර ගියේ මාරාන්තික රෝගයක් පැතිර යන්නාක් මෙනි.
දෙවි සැලකිල්ල දක්වන බවට ප්රබලතම සාක්ෂිය
දෙවිගේ මිනිස් මැවිල්ල සදහටම විනාශ වී යන බවද ඉන් අදහස් කරන්නේ? නැත. දෙවි අප ගැන සැලකිලිමත් වන බවට තිබෙන ප්රබලතම සාක්ෂියයි අප දැන් සලකා බලන්නේ. දෙවි මහත් පාඩුවක් විඳගනිමින් මිනිස් වර්ගයාව පාපයෙන් සහ රෝම 3:24) මෙබැවින් ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16, NW) මෙම අතිවිශිෂ්ට ප්‍රේමණීය ක්රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව අපට යළිත් ලැබී තිබේ. පාවුල් රෝමවරුන්ට මෙසේ ලීවේය. “එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් නිසා සියලු ආකාර මිනිසුන් ලැබූ විපාකය නම්, ජීවනය සඳහා තමන්ව ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරනු ලැබීමය.”—රෝම 5:18, NW.
මරණයෙන් මුදාගැනීමට යම් සැලැස්මක් පිළියෙල කළේය. ඔහු කැමැත්තෙන්ම අප වෙනුවෙන් දුන් යේසුස්ගේ පරිපූර්ණ ජීවිතය මිදීමේ මිලය විය. (දෙවිගේ නියමිත කාලයේදී පෘථිවි ග්‍රහයා මත තවදුරටත් වේදනාව හෝ මරණය නොතිබෙනු ඇති බවට සහතිකයක් තබාගන්න අපට හැකියි. ඒවා වෙනුවට රජයනු ඇත්තේ එළිදරව් පොතේ පූර්වාදර්ශනය කර තිබෙන මෙම තත්වයන්ය. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය; ඔවුහුද ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:3, 4, NW) ‘ඒ කාලය වෙනකම් නං මම ජීවත් වෙන එකක් නැහැ’ කියා ඔබ පැවසිය හැක. කෙසේවුවත්, සැබෑව නම් ඔබ සමහරවිට ජීවත් වීමට ඉඩ තිබීමය. එහෙත් ඔබ මිය ගියත් ඔබව මරණයෙන් නැඟිටුවීමට දෙවිට හැක. (යොහන් 5:28, 29) දෙවි අප වෙනුවෙන් අරමුණු කරන්නේ එයයි. එමෙන්ම එය සිදු වනු ඇති බව නියතයි. එසේනම් දෙවි මිනිස් වර්ගයා කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නැතැයි පැවසීම මොන තරම් සාවද්‍යද!
“දෙවිට ළං වන්න”
මිනිස් වේදනා පිළිබඳ ගැටලුවට දිගු-කාලීන, ස්ථිර විසඳුමක් ගෙන ඒමට දෙවි මුලපුරා ඇති බව දැනගැනීමට ලැබීම සැනසීමකි. එහෙත්, මේ මොහොත ගැන කුමක් කිව හැකිද? අපේ ප්රේමණීයයෙකු මිය ගියොත් හෝ අපේ දරුවෙකු අසනීප වුවහොත් අපට කුමක් කළ හැකිද? අසනීප හා මරණය ඉවත් කිරීමට ඇත්තෙන්ම දෙවිගේ කාලය තවම පැමිණ නැත. එය ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණෙන තෙක් තව කෙටි කලක් බලා සිටීමට අපට සිදු වනු ඇතැයි බයිබලයෙහි අඟවයි. එහෙත් දෙවි අපව අත්හැර දමා නැත. ශ්‍රාවක යාකොබ් මෙසේ පැවසීය. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය.” (යාකොබ් 4:8, NW) එසේය, අපේ මැවුම්කරු අපට ආරාධනා කරන්නේ ඔහු සමඟ සමීප පෞද්ගලික සබඳතාවක් පවත්වන්න කියාය. ඉතා කටුක තත්වයන්වලදී පවා ඔහුගේ උපකාරය තිබෙන බව එවැන්නන්ට නොදැනී නොතිබෙනු ඇත.
අප ඔහුට සමීප වන්නේ කෙසේද? සහස්‍රයන් තුනකට පෙර දාවිත් රජ එවැනිම ප්‍රශ්නයක් නැඟුවේය. “යෙහෝවා, . . . ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද?” (ගීතාවලිය 15:1) දාවිත් තමාගේම ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දෙමින් තවදුරටත් මෙසේ පැවසුවේය. “අවංක ලෙස හැසිරෙන්නාවූ ධර්මිෂ්ඨකම් කරන්නාවූ සිතින් සැබෑව කියන්නාවූ තැනැත්තේය. ඔහු තමාගේ දිවෙන් කේලම් නොකියයි, තමාගේ මිත්‍රයාට නපුර නොකරයි.” (ගීතාවලිය 15:2, 3) කොටින්ම කියතොත්, ආදම් සහ ඒව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ ක්‍රියාමාර්ගය අනුගමනය කරන අයව යෙහෝවා සාදරයෙන් පිළිගනියි. ඔහුගේ කැමැත්ත කරන අයට ඔහු ළං වෙයි.—ද්විතීය කථාව 6:24, 25; 1 යොහන් 5:3.
දෙවිගේ කැමැත්ත කිරීමට අපට හැකි වන්නේ කෙසේද? “අපේ ගැලවුම්කරු වන දෙවි ඉදිරියෙහි යහපත් වූද ප්‍රසන්න වූද දෙය” කුමක්ද කියා අප ඉගෙනගත යුතු අතර ඒ අනුව ක්‍රියා කිරීමටද තෝරාගත යුතුයි. (1 තිමෝති 2:3, NW) දෙවිගේ වචනය වන බයිබලය පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීමද ඊට ඇතුළත් වේ. (යොහන් 17:3; 2 තිමෝති 3:16) බයිබලය නිකම්ම ඔහේ කියවගෙන යෑම පමණක් නොසෑහේ. පාවුල්ගේ දේශනාවලට සවන් දුන් මුල් සියවසේ සිටි බෙරීයවරුන්ව අප අනුකරණය කළ යුතුය. ඔවුන් ගැන අපට කියවීමට තිබෙන්නේ මෙසේය. “ඔවුහු මහත් උනන්දුවකින් වචනය පිළිගෙන, මේ දේවල් සැබෑදැයි බලන පිණිස දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කළෝය.”—ක්‍රියා 17:11, NW.
එලෙසම අද දින අප ඉතා ගැඹුරට බයිබලය අධ්‍යයනය කිරීමෙන් දෙවි කෙරෙහි අපේ ඇදහිල්ල ශක්තිමත් වන අතර ඔහු සමඟ කිට්ටු සබඳතාවක් ගොඩනැඟීමටද අපට එය උපකාරවත් වේ. (හෙබ්‍රෙව් 11:6) කෙටි කාලීන ප්‍රයෝජන සඳහා පමණක් නොව විශේෂයෙන්ම නිසි නැඹුරුවාවක් ඇති සියල්ලන්ගේම දිගු කාලීන යහපත සඳහා යෙහෝවා මිනිස් වර්ගයා සමඟ කටයුතු කරන ආකාරය ගැන හරියටම අවබෝධ කරගන්නත් එය අපට උපකාර කරයි.
දෙවි සමඟ කිට්ටු සබඳතාවක් තිබෙන ක්‍රිස්තියානීන් කීපදෙනෙකු පැවසූ දේ සලකා බලන්න. “මම යෙහෝවාට හුඟක් ආදරෙයි. ඔහුට ස්තුති කරන්න මට හුඟක් හේතු තියෙනවා. ඔහුට අවංක ආදරයක් තියෙන
ප්‍රේමණීය දෙමාපියන්ව මට දුන්නේ ඔහුයි. ඔවුන් මට ඔහුගේ වචනයට අනුව ඉගැන්නුවා” කියා 16-හැවිරිදි ඩැනියෙල් පවසයි. උරුග්වෙහි ක්‍රිස්තියානි කෙනෙක් මෙසේ ලියයි. “මගේ හෘදය කෘතඥතාවෙන් පිරිලා තියෙනවා. යෙහෝවාගේ මහත් කරුණාවට සහ ඔහුගේ මිත්‍රත්වයට මම නිතරම ඔහුට ස්තුති කරනවා.” යෙහෝවා පුංචි අයව පවා සාදරයෙන් පිළිගන්නේය. හත්-හැවිරිදි ගාබ්‍රියෙල් මෙසේ පවසන්නේය. “මේ මුළු ලෝකෙම තියෙන හැම දේකටම වඩා මම යෙහෝවාට ආදරෙයි! මට බයිබලයක් තියෙනවා. දෙවි ගැනත්, ඔහුගේ පුතා ගැනත් ඉගෙනගන්න මං හරි ආසයි.”අද දින, ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත දෙනෙක් ගීතිකාකරු පැවසූ මෙම වදන්වලට මුළු හදින් එකඟ වෙති. “දෙවිට ළංවීම මට යහපත.” (ගීතාවලිය 73:28) ඔවුන් දැන් මුහුණ දෙන ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔවුන්ට උපකාර ලැබී තිබෙන අතර පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමේ නිසැක බලාපොරොත්තුවද ඔවුන්ට තිබේ. (1 තිමෝති 4:8) “දෙවිට ළංවීම” ඔබේ ඉලක්කය කර නොගන්නේ මන්ද? ඇත්තවශයෙන්ම, අපට මෙසේ සහතික කර තිබේ. “ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.” (ක්‍රියා 17:27, NW) දෙවි ඔබ ගැන ඇත්තෙන්ම සලකන බව නිසැකයි!
[5වන පිටුවේ පින්තූර]
දෙවි අපට සැලකිල්ල දක්වන බව බොහෝ ආකාරවලින් දක්නට ඇත
[7වන පිටුවේ පින්තූරය]
බාලයන්ට පවා හැකියි දෙවිට ළං වන්න
[7වන පිටුවේ පින්තූර]
අද දින, යෙහෝවා අපට විඳදරාගැනීමට උපකාර කරයි. නියමිත කාලයේදී ඔහු අසනීප හා මරණය ඉවත් කරනු ඇත