Skip to content

පටුනට යන්න

මහලු අයව රැකබලා ගැනීම ක්‍රිස්තියානි වගකීමකි

මහලු අයව රැකබලා ගැනීම ක්‍රිස්තියානි වගකීමකි

මහලු අයව රැකබලා ගැනීම ක්‍රිස්තියානි වගකීමකි

“[කෙනෙකුගේ] මහලු වයස දක්වාත් මම එසේමය, හිස පැසීම දක්වාත් මම ඔබ උසුලන්නෙමි.”—යෙසායා 46:4.

1, 2. අපගේ ස්වර්ගික පියාණන් දක්වන සැලකිල්ල හා ලබා දෙන රැකවරණය මිනිස් දෙමාපියන් ලබා දෙන දේට වඩා වෙනස් වන්නේ කෙසේද?

ප්‍රේමණීය දෙමාපියෝ තමන්ගේ දරුවන්ව බාල වියේදී, ළමා වියේදී හා නහඹර වියේදී ආදරයෙන් රැකබලා ගනිති. යෞවනයන් වැඩිහිටිභාවයට පත් වී ඔවුන් වෙනම පවුලක් බවට පත් වුණද, ඔවුන්ගේ පියවරු සහ මව්වරු ඔවුන්ට ප්‍රේමණීය අවධානය හා උපකාරය දිගටම ලබා දෙති.

2 කොහොමවුණත් මිනිසුන්ට තම දරුවන් උදෙසා කළ හැකි දේට සීමාවක් තිබේ. එනමුත් තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට ප්‍රේමණීය අවධානය හා උපකාරය සැමවිටම දීමට අපගේ ස්වර්ගික පියාණන්ට හැකියි. ඉපැරණි කාලවල විසූ තම තෝරාගත් ජනතාව අමතමින් යෙහෝවා ප්‍රකාශ කළේ මෙසේයි. “[කෙනෙකුගේ] මහලු වයස දක්වාත් මම එසේමය, හිස පැසීම දක්වාත් මම ඔබ උසුලන්නෙමි.” (යෙසායා 46:4) මේවා මහලු ක්‍රිස්තියානීන්හට කොතරම් දිරිගන්වනසුලු වචනද! යෙහෝවා තමන්ට පක්ෂපාතව සිටින්නන්ව අතහැර දමන්නේ නැත. ඔහු ඔවුන්ට පොරොන්දු වන්නේ ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන්ගේ මහලු වයස දක්වා ඔහු ඔවුන්ව උසුලා ඔවුන්ට උපකාර දී මඟ පෙන්වන බවයි.—ගීතාවලිය 48:14.

3. මේ ලිපියේ සලකා බැලෙන්නේ කුමක්ද?

3 මහලු අය කෙරෙහි යෙහෝවා දක්වන ප්‍රේමණීය සැලකිල්ල සම්බන්ධයෙන් ඔහුව අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද? (එපීස 5:1, 2) අපගේ ලෝක ව්‍යාප්ත සහෝදරයන් අතර සිටින වයස්ගත සාමාජිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමේදී එම අයගේ දරුවන්ට, සභාවේ අවේක්ෂකයන්ට හා එක් එක් ක්‍රිස්තියානීන්ට ඔවුන් කෙරෙහි සැලකිල්ල දැක්විය හැකි ක්‍රම දැන් අපි සලකා බලමු.

දරුවන් වශයෙන් අපගේ වගකීම

4. ක්‍රිස්තියානි දරුවන්ට තම දෙමාපියන් සම්බන්ධයෙන් ඇති වගකීම කුමක්ද?

4 “ඔබේ පියාට සහ මවට ගෞරව කරන්න.” (එෆීස 6:2, NW; නික්මයාම 20:12) හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලෙන් ගෙන ඇති මෙම සරල, ගැඹුරු උපුටනය සමඟින් ප්‍රේරිත පාවුල් දරුවන්ට සිහිපත් කරන්නේ දෙමාපියන් සම්බන්ධයෙන් තමන්ට වගකීමක් ඇති බවයි. එහෙත්, මහලු අයව රැකබලා ගැනීම සම්බන්ධයෙන් මෙම වචන අදාළ වන්නේ කෙසේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට ක්‍රිස්තියානි සමයට පෙර තිබූ හද උණුසුම් කරවන ආදර්ශයක් සලකා බැලීම අපට මහෝපකාරී වෙයි.

5. (අ) යෝසෙප් තම පියා සම්බන්ධව තමාට තිබූ වගකීම් අමතක කොට නොතිබූ බව පෙනී යන්නේ කුමකින්ද? (ආ) අපගේ දෙමාපියන්ට ගෞරව කිරීමේදී ඊට අයත් වන්නේ කුමක්ද? මේ සම්බන්ධයෙන් යෝසෙප් තැබූ කදිම ආදර්ශය කුමක්ද?

5 වසර 20කට වැඩි කාලයක් පුරා, යෝසෙප්ට තම මහලු පියා වූද පවුලේ මූලිකයා වූද යාකොබ් සමඟ කිසිදු සම්බන්ධයක් තිබුණේ නැත. කෙසේවෙතත්, පැහැදිලිව පෙනී යන්නේ, යෝසෙප් තම පියා වූ යාකොබ් කෙරෙහි තිබූ ප්‍රේමය අහිමි කරගෙන නොතිබූ බවයි. මන්ද, යෝසෙප් තමා සැබවින්ම කවුද කියා තම සහෝදරයන්ට හෙළි කළ විට, “මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි” හේ විමසීය. (උත්පත්ති 43:7, 27; 45:3) ඒ කාලයේදී, කානාන් දේශය දැඩි නියඟයකට හසුව තිබුණි. එහෙයින්, යෝසෙප් තම පියාට පණිවුඩයක් යවමින් මෙසේ කීවේය. “ප්‍රමාද නොවී මා වෙතට අව මැනවි. ඔබ ගෝෂෙන් දේශයෙහි වාසය කරමින්, . . . මා ළඟ සිටින්න. . . . එහි [ආහාර දී] ඔබ රක්ෂා කරන්නෙමි.” (උත්පත්ති 45:9-11; 47:12) එසේය, මහලු දෙමාපියන්ව ආරක්ෂා කිරීම සහ ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගත නොහැකි විට ඔවුන්ට ද්‍රව්‍යමය දේවල් සැපයීම ඔවුන්ට ගෞරව කිරීමට ඇතුළත් වෙනවා. (1 සාමුවෙල් 22:1-4; යොහන් 19:25-27) යෝසෙප් මෙම වගකීම සතුටින් භාරගත්තේය.

6. යෝසෙප් තමාගේ පියා කෙරෙහි අව්‍යාජ ප්‍රේමයක් පෙන්වූයේ කෙසේද? අපට ඔහුගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද?

6 යෙහෝවාගේ ආශීර්වාදය සමඟින්, යෝසෙප් ඊජිප්තුවේ ධනවත්ම සහ වඩාත් බලවත්ම පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. (උත්පත්ති 41:40) එහෙත්, අවුරුදු 130 හැවිරිදි තම පියාට ගෞරව නොකිරීමට තරම් ඔහු තමා අතිවැදගත් පුද්ගලයෙකුයයි කියාවත් එතරම්ම කාර්ය බහුලයි කියාවත් සිතුවේ නැත. යාකොබ් (හෙවත් ඊශ්‍රායෙල්) පැමිණෙමින් සිටි බව දැනගත් “යෝසෙප් තමාගේ රථය සූදානම් කොට, තමාගේ පිය වූ ඊශ්‍රායෙල් සම්මුඛ වෙන පිණිස ගෝෂෙන්ට ගියේය. ඔහු ඉදිරියට පැමිණ, ඔහුගේ බෙල්ල වැලඳගෙන, ඔහුගේ බෙල්ලට හාන්සි වී, බොහෝ වේලා හැඬුවේය.” (උත්පත්ති 46:28, 29) මෙම සාදර පිළිගැනීම නිකම්ම චාරිත්‍රයක් හැටියට කරන ගෞරවයකට වඩා වැඩි යමක් වූයේය. යෝසෙප් තමාගේ මහලු පියාට බොහෝ සෙයින් ප්‍රේම කළ අතර, තමාගේ එම ප්‍රේමය පෙන්වීමට ලැජ්ජා වූයේද නැත. අපටත් මහලු වියේ පසු වන දෙමාපියන් සිටිනවා නම්, අපිත් නොමසුරු ලෙස, ඔවුන් කෙරෙහි ඇති අපේ ස්නේහය ප්‍රකාශ කරන්නෙමුද?

7. යාකොබ් කානාන් දේශයේ තැන්පත් කරනු ලැබීමට කැමති වූයේ මන්ද?

7 යෙහෝවා කෙරෙහි යාකොබ්ට තිබූ භක්තිය ඔහුගේ ජීවිතයේ නිමාව දක්වාම ශක්තිමත්ව තිබිණි. (හෙබ්‍රෙව් 11:21) දිව්‍යමය පොරොන්දු කෙරෙහි ඔහුට තිබූ ඇදහිල්ල නිසා, යාකොබ් තමාව කානාන්හි තැන්පත් කරන ලෙස ඉල්ලා සිටියේය. කොතරම් මුදලක් වැය කිරීමට සිදු වුණත්, කොතරම් මහන්සියක් දැරීමට සිදු වුණත් යෝසෙප් මෙම ඉල්ලීම ඉෂ්ට කිරීමෙන් තම පියාට ගෞරව කළේය.—උත්පත්ති 47:29-31; 50:7-14.

8. (අ) අපගේ වයසක දෙමාපියන්ව රැකබලා ගැනීමට මූලිකවම අපව පෙලඹවිය යුත්තේ කුමක්ද? (ආ) එක් පූර්ණ කාලීන සේවකයෙක් තමාගේ මහලු දෙමාපියන්ව රැකබලා ගැනීම සඳහා කළේ කුමක්ද? (17වන පිටුවේ කොටුව බලන්න.)

8 තම පියාව රැකබලා ගැනීමට යෝසෙප්ව පෙලඹවූයේ කුමක්ද? තමාව ජාතක කළාවූද තමාව ආදරයෙන් ඇති දැඩි කළාවූද තැනැත්තාට වූ ප්‍රේමයේ හා කෘතඥතාවේ හැඟීමක් තිබුණා පමණක් නොව, යෙහෝවාව සතුටු කිරීමටද යෝසෙප්හට ඉතා ගැඹුරු ආශාවක් තිබුණු බවට කිසිදු සැකයක් නැත. අපටද එවන් ආශාවක් තිබිය යුතුය. පාවුල් ලීවේ මෙසේයි. “යම් වැන්දඹුවකට දරුවන් හෝ මුනුබුරු මිනිබිරියන් හෝ ඇත්නම්, ඔවුන් පළමුකොට තමුන්ගේම පවුල තුළ දේවභක්තිය පෙන්වීමටත්, ඔවුන්ගේ දෙමාපියන්ට සහ ආච්චිලා සීයලාට ප්‍රත්‍යුපකාර කිරීමටත් ඉගෙනගත යුතුය. මන්ද, එය දෙවි ඉදිරියෙහි ප්‍රසන්නය.” (1 තිමෝති 5:4, NW) ඇත්තෙන්ම, එසේ කිරීමේදීකොතරම් අභියෝගවලට මුහුණ දීමට සිදු වුවත්, අපගේ මහලු දෙමාපියන්ව රැකබලා ගැනීමට අපව පොලඹවන්නේ, යෙහෝවා කෙරෙහි අප තුළ ඇති ප්‍රේමය හා ගෞරවාන්විත භයයි. *

තමන් සැලකිලිමත් බව වැඩිමහල්ලන්ට දැක්විය හැකි අන්දම

9. යෙහෝවා මහලු ක්‍රිස්තියානීන් ඇතුළු රැළ රැකබලා ගැනීමට පත් කර ඇත්තේ කාවද?

9 යාකොබ් තම ජීවිතයේ නිමාව ආසන්නයේදී, යෙහෝවාව හැඳින්වූයේ, “මාගේ මුළු ජීවිතයෙහි මේ දවස දක්වා මා පෝෂණය කළාවූ [රැකබලා ගත්තාවූ, NW] දෙවි” හැටියටය. (උත්පත්ති 48:15) අද දින, යෙහෝවා සිය භූමික සේවකයන්ව “ප්‍රධාන එඬේරාණන්” වන සිය පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීම යටතේ සිටින ක්‍රිස්තියානි අවේක්ෂකයන් හෙවත් වැඩිමහල්ලන් මාර්ගයෙන් රැකබලා ගනියි. (1 පේතෘස් 5:2-4) වැඩිමහල්ලන්ට, රැළේ සිටින මහලු සාමාජිකයන්ව රැකබලා ගැනීමේදී යෙහෝවාව අනුකරණය කළ හැක්කේ කෙසේද?

10. මහලු ක්‍රිස්තියානීන් උදෙසා ද්‍රව්‍යමය උපකාර සැපයීමට කුමක් කර තිබේද? (19වන පිටුවේ කොටුව බලන්න.)

10 ක්‍රිස්තියානි සභාව ස්ථාපිත කර වැඩි කල් යන්නට මත්තෙන්, ප්‍රේරිතයෝ, “ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ, හොඳ නමක් දිනාගෙන ඇති පුරුෂයන් හත්දෙනෙකුව” අධීක්ෂකයන් ලෙස පත් කළේ, දිලිඳු ක්‍රිස්තියානි වැන්දඹුවන්ට ‘දිනපතා කෑම බෙදා දීම’ පිණිසය. (ක්‍රියා 6:1-6, NW) පසුව පාවුල් අවේක්ෂකයෙකු වූ තිමෝතිට, ආදර්ශවත් මහලු වැන්දඹුවන්ව ද්‍රව්‍යමය උපකාරය ලැබීමට සුදුසු වැන්දඹුවන් ලෙස ලැයිස්තුගත කරන ලෙසට උපදෙස් දුන්නේය. (1 තිමෝති 5:3, 9, 10) ඒ හා සමානව, අද දින ක්‍රිස්තියානි සභාවේ අවේක්ෂකයන් අවශ්‍යතාවක් ඇති විට මහලු ක්‍රිස්තියානීන් උදෙසා ප්‍රායෝගික උපකාර සැපයීමට කැමැත්තෙන්ම කාරණා කටයුතු සැලසුම් කරති. කෙසේවෙතත්, මෙම විශ්වාසවන්ත මහලු අයව රැකබලා ගැනීමේදී මීට වඩා දෙයක් ඇතුළත් වෙයි.

11. කුඩා සම්මාදමක් දැමූ දිලිඳු වැන්දඹුව ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

11 යේසුස් සිය භූමික දේවසේවයේ නිමාව ආසන්නයේදී, දේවමාලිගාවේ හිඳගෙන, ‘සමූහයා මුදල් බඳුන්වලට මුදල් දමනවා බලා සිටියේය.’ ඒ අවස්ථාවේදී යමෙකු ඔහුගේ නෙත ගැටුණි. වාර්තාව මෙසේ කියයි. “දිලිඳු වැන්දඹුවක් ඇවිත්, ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක් දැම්මාය.” යේසුස් සිය ගෝලයන්ව තමන් වෙතට කැඳවා ඔවුන්ට මෙසේ කීවේය. “සැබවින්ම මම ඔබට කියමි, මේ දිලිඳු වැන්දඹුව, මුදල් බඳුන්වලට මුදල් දැමූ අනික් සියල්ලන්ට වඩා දැම්මාය. මන්ද, ඒ සියලුදෙනාම දැම්මේ තමන්ට වැඩිපුර තිබුණු දෙයිනි. නමුත් ඇයට අග හිඟකම් තිබියදීත් තමන් සතුව තිබුණු සියල්ල, එනම් ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ල දැම්මාය.” (මාක් 12:41-44, NW) දැමූ සම්මාදමේ ප්‍රමාණය ගත් කළ වැන්දඹුව දැමුවේ ඉතා සුළු මුදලකි. නමුත් හද පිරි භක්තියක් පෙන්වමින් දැමූ එවන් දෙයක් තම ස්වර්ගික පියාණන් කොතරම් අගය කරනවාදැයි යේසුස් දැන සිටියේය. දිලිඳු වැන්දඹුවගේ වයස කුමක් වුවද, යේසුස් ඇය කළ දෙය නොසලකාහැරියේ නැත.

12. මහලු ක්‍රිස්තියානීන් විසින් ලබා දෙන දායකත්වය කෙරෙහි අගය පෙන්වීමට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද?

12 යේසුස් මෙන්, ක්‍රිස්තියානි අවේක්ෂකයන්ද මහලු අය විසින් සැබෑ නමස්කාරයේ වැඩි දියුණුව පිණිස කරනු ලබන දේවල් නොසලකාහරින්නේ නැත. මහලු අය දේවසේවයේ හවුල් වීම ගැන රැස්වීම්වලට සහභාගි වීම ගැන, සභාවට ඔවුන්ගෙන් ඇති වන හොඳ බලපෑම ගැන සහ ඔවුන්ගේ විඳදරාගැනීම ගැන ඔවුන්ට ප්‍රශංසා කිරීමට වැඩිමහල්ලන්ට හේතු තිබේ. අවංක ලෙස දිරිගන්වනසුලු වචනයක් ඔවුන්ට පවසන විට, තමන් කරන පරිශුද්ධ සේවය තුළ “බොහෝ සෙයින් සතුටු වීමට” හේතුවක් ඔවුන්ට තිබෙනු ඇත. වෙනත් ක්‍රිස්තියානීන්ගේ හැකියාවන් සමඟ හෝ තමන් අතීතයේ කළ දේවල් සමඟ හෝ දැන් තත්වය සසඳමින් කලකිරීමේ හැඟීමක් ඇති කරගැනීමෙන් වැළකීමට මෙමගින් ඔවුන්ට හැකි වනු ඇත.—ගලාති 6:4, NW.

13. මහලු අයගේ දක්ෂතා සහ අද්දැකීම්වලින් ප්‍රයෝජන ගැනීමට වැඩිමහල්ලන්ට හැක්කේ කවර ආකාරවලින්ද?

13 මහලු ක්‍රිස්තියානීන්ගේ අද්දැකීම් හා දක්ෂතාවන් ප්‍රයෝජනයට ගැනීමෙන්ද ඔවුන් විසින් ලබා දෙන දායකත්වය කෙරෙහි අගය පෙන්වීමට වැඩිමහල්ලන්ට හැකියි. ආදර්ශවත් මහලු අයව ඉඳ හිට නිරූපණවලට හෝ සම්මුඛ සාකච්ඡාවන්ට යොදාගැනීමටද හැකියි. “සත්‍යය තුළ දරුවන් හදා වඩා ගෙන ඇති මහලු සහෝදරයෙකුව හෝ සහෝදරියකව මා විසින් සම්මුඛ සාකච්ඡාවට භාජන කරන විට සබයේ සිටින අය හරි බරි ගැහිලා වාඩි වෙලා ඉතා තියුණු අවධානයකින් සවන් දෙනවා” යයි එක් වැඩිමහල්ලෙක් කියයි. වයස අවුරුදු 71ක් වූ පුරෝගාමි සහෝදරියක් රාජ්‍ය ප්‍රචාරකයන්ට ක්ෂේත්‍ර සේවය තුළ නිතිපතා සහභාගි වීම සඳහා ඉතා සාර්ථකව උපකාර කොට ඇතැයි තවත් සභාවක සිටින වැඩිමහල්ලෝ වාර්තා කරති. ඇය ඔවුන්ට “මූලික දේවල්” කිරීමට, එනම් බයිබලය හා දිනපදය කියවා, අනතුරුව තමන් කියැවූ දේ ගැන මෙනෙහි කිරීමටද ඔවුන්ව දිරිගන්වන්නීය.

14. එක් වැඩිමහල් මණ්ඩලයක් තමන්ගේ සභාවේ මහලු අවේක්ෂකයෙකුව අගය කරන බව පෙන්වූයේ කෙසේද?

14 මහලු වියේ පසුවන අවේක්ෂකයන්ගේ දායකත්වයද වැඩිමහල්ලෝ අගය කරති. හැත්තෑ ගණන්වල පසුවන හෝසේ වැඩිමහල්ලෙකු ලෙස දශක ගණනාවක් සේවය කර ඇති අතර, මෑතකදී බරපතළ ශල්‍ය කර්මයකට භාජන කරනු ලැබීය. එයින් සුවය ලැබීමට දිගු කාලයක් ගත වන නිසා, මුලසුන භාර අවේක්ෂක ලෙස සේවය කිරීමේ වරප්‍රසාදයෙන් ඉල්ලා අස්වීමට හේ කල්පනා කළේය. “අනික් වැඩිමහල්ලන් ඊට දැක්වූ ප්‍රතිචාරය මාව පුදුමයට පත් කළා. මා කළ යෝජනාව භාරගන්නවා වෙනුවට, මගේ වගකීම් දිගටම ඉටු කරගෙන යෑමට මට අවශ්‍ය කරන්නේ කිනම් ප්‍රායෝගික උපකාරද කියලා ඔවුන් මගෙන් ඇසුවා” යයි හෝසේ කියයි. එක් යෞවන වැඩිමහල්ලෙකුගේ උපකාරය ඇතුව, මුලසුන භාර අවේක්ෂක ලෙස ප්‍රීතියෙන් දිගටම සේවය කිරීමට හෝසේට හැකි වූ අතර, මෙය සභාවට ආශීර්වාදයක් වී තිබේ. එම සභාවේ සෙසු වැඩිමහල්ලෙක් මෙසේ සඳහන් කරයි. “සභාවේ සහෝදරයන් වැඩිමහල්ලෙකු ලෙස හෝසේ කරන සේවය ඉතා ඉහළින් අගය කරනවා. ඔහු සතු අද්දැකීම් නිසාත් ඇදහිල්ල සම්බන්ධයෙන් ඔහු තබා ඇති ආදර්ශය නිසාත් ඔවුන් ඔහුට ප්‍රේම කරනවා වගේම ගෞරව කරනවා. ඔහු අපේ සභාවේ දියුණුවට බෙහෙවින් දායක වූ කෙනෙක්.”

එකිනෙකා ගැන සැලකිල්ල දැක්වීම

15. සියලු ක්‍රිස්තියානීන් ඔවුන් අතර සිටින මහලු අයගේ ශුභසාධනය කෙරෙහි සැලකිල්ලක් දැක්විය යුත්තේ මන්ද?

15 මහලු අය කෙරෙහි සැලකිල්ල දැක්විය යුත්තේ ඔවුන්ගේ දරුවන් සහ සභාවේ සේවය කිරීමට පත් කරන ලද අය පමණක්ම නොවේ. ක්‍රිස්තියානි සභාව මිනිස් සිරුරක් හා සසඳමින් පාවුල් මෙසේ ලීවේය. “දෙවි අඩුවක් තිබුණු කොටසට වැඩි ගෞරවයක් දෙමින් ශරීරය එක් කළේය. එසේ කළේ ශරීරයේ කිසි භේදයක් නැතිව, එහි අවයව එකිනෙකාට එකම සැලකිල්ල දක්වන පිණිසය.” (1 කොරින්ති 12:24, 25, NW) තවත් පරිවර්තනයක මෙසේ කියැවේ. “[ශරීරයේ] විවිධ අවයව සියල්ලම, එකිනෙකාගේ ශුභසාධනය කෙරෙහි සැලකිලිමත් විය යුතුයි.” (නොක්ස්ගේ පරිවර්තනය) ක්‍රිස්තියානි සභාව එකඟතාවකින් යුතුව ක්‍රියා කිරීමට නම් එක් එක් සාමාජිකයා, මහලු අය ඇතුළු තමන්ගේ සෙසු ඇදහිලිවන්තයන්ගේ ශුභසාධනය ගැන සැලකිලිමත් විය යුතුය.—ගලාති 6:2.

16. අප ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන විට, මහලු අය කෙරෙහි සැලකිල්ලක් දැක්වීමට අපට හැක්කේ කෙසේද?

16 මහලු අය කෙරෙහි අප සැලකිලිමත් බව පෙන්වීමට ක්‍රිස්තියානි රැස්වීම් මහඟු අවස්ථාවක් ලබා දෙයි. (පිලිප්පි 2:4; හෙබ්‍රෙව් 10:24, 25) එවන් අවස්ථාවලදී අප මහලු අය සමඟ කතා බහ කිරීමට කාලය ගන්නවාද? ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යය ගැන විමසීම සුදුසු දෙයක් විය හැකි නමුත්, ගොඩනංවනසුලු අද්දැකීමක් හෝ ශුද්ධ ලියවිලිමය අදහසක් බෙදාගැනීම මගින් ‘යම් ආත්මික දීමනාවක් දීමට’ අපට පුළුවන්ද? මහලු අය සමහරදෙනෙකුට එහා මෙහා ඇවිදීම පහසු නොවන බැවින්, ඔවුන් තමන් ළඟට එන තෙක් බලා සිටිනවාට වඩා ඔවුන් කරා ගොස් කතා බහ කිරීම කාරුණික ක්‍රියාවකි. යමෙකුට කන් ඇසීම අඩු නම්, එවන් කෙනෙකු සමඟ කතා කරන විට, ඉක්මන් නොවී කතා කිරීමත් පැහැදිලිව වචන උච්චාරණය කිරීමත් අවශ්‍ය වේ. ඇරත් නියම “අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්” ඇතිවීමට නම්, මහලු පුද්ගලයා පවසන දේටද අප සාවධානව සවන් දිය යුතුයි.—රෝම 1:11, 12, NW.

17. නිවෙස්වලටම හිර වී සිටින මහලු ක්‍රිස්තියානීන් කෙරෙහි අපට සැලකිල්ල පෙන්විය හැක්කේ කෙසේද?

17 සමහරක් මහලු අයට ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමට නොහැකි නම් තත්වය කුමක්ද? යාකොබ් 1:27 [NW] පෙන්වන්නේ, “අනාථ දරුවන්ව හා වැන්දඹුවන්ව ඔවුන් අද්දකින පීඩාවලදී බලාගැනීම” අපගේ යුතුකමක් බවයි. “බලාගැනීම” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක ක්‍රියා පදයේ එක් අර්ථයක් නම්, ‘බැලීමට යෑම’ හෙවත් බැහැදැකීමයි. (ක්‍රියා 15:36, NW) අප මහලු අයව බලන්න යන විට ඔවුන් එය කොතරම් අගය කරනවාද! ක්‍රිස්තු වර්ෂ 65දී පමණ රෝමයේ සිරගතව සිටියදී, “වයස්ගතව සිටි” පාවුල්ට මහත් තනිකමක් දැනිණි. තමාගේ හවුල් සේවක තිමෝතිව දැකගැනීමට දැඩි ආශාවෙන් සිටි ඔහු “ඉක්මනින්ම මා වෙත පැමිණීමට හැකි උපරිමය කරන්න” යයි ලීවේය. (ෆිලෙමොන් 9; 2 තිමෝති 1:3, 4; 4:9, NW) පාවුල් මෙන් සිරගත කරනු ලැබ නොසිටියත්, ඇතැම් මහලු අය ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු නිසා නිවෙස්වලටම හිර වී සිටිති. ඇත්තෙන්ම, ඔවුන් ‘අනේ කරුණාකරලා ඉක්මනින්ම මාව බලන්න එන්න’ කියා අපට කියනවාක් වැනියි. අප එවන් ආයාචනාවලට ප්‍රතිචාරය දක්වනවාද?

18. මහලු අයව බැලීමට යෑමෙන් ඇති වන ප්‍රයෝජන කවරේද?

18 මහලු ආත්මික සහෝදරයෙකුව හෝ සහෝදරියකව බැලීමට යෑමෙන් ඇති වන ප්‍රයෝජනදායක බලපෑම ගැන කිසිම විටෙක අඩුවෙන් තක්සේරු නොකරන්න. ඔනෙසිෆරස් නම් ක්‍රිස්තියානිවරයා රෝමයට පැමිණ මහත් උත්සාහයක් දරා පාවුල්ව සොයාගෙන, පාවුල්ට ‘නොයෙක් විට ප්‍රාණවත්භාවයක් ලබා දුන්නේය.’ (2 තිමෝති 1:16, 17, NW) “තරුණ අය සමඟ කාලය ගත කරන්න මම හරි කැමතියි,” යයි එක් මහලු සහෝදරියක් පවසන්නීය. “මම හුඟාක් කැමති ඔවුන් මාව ඔවුන්ගේම පවුලේ කෙනෙක් ලෙස සලකන එකටයි. එය මට මහත් ධෛර්යයක් ලබා දෙනවා.” තවත් මහලු ක්‍රිස්තියානි සහෝදරියක් මෙසේ සඳහන් කරයි. “කවුරුහරි මට කාඩ් එකක් එවද්දී, විනාඩි කිහිපයකට හරි මට දූරකථනයෙන් කතා කරද්දී, එහෙම නැත්නම් මාව ටික වෙලාවකට බැහැදකින්න එද්දී, මම ඇත්තටම ඒ දේවල්වලින් හරිම ප්‍රබෝධයක්, දිරිගැන්වීමක් ලබනවා.”

සැලකිල්ල දක්වන අයට යෙහෝවා ආශීර්වාද කරයි

19. මහලු අය කෙරෙහි සැලකිල්ල දැක්වීමෙන් ලැබෙන ආශීර්වාද කවරේද?

19 මහලු අය කෙරෙහි සැලකිල්ල දැක්වීමෙන් බොහෝ ආශීර්වාද ලැබේ. ඔවුන් සමඟ ඇසුරු කර ඔවුන්ගේ දැනුමෙන් හා අද්දැකීම්වලින් ප්‍රයෝජන ගැනීමම වරප්‍රසාදයකි. මහලු අයව රැකබලා ගන්නා අය දීමෙන් වැඩි සන්තෝෂයක් අත්විඳින අතර, තම ශුද්ධ ලියවිලිමය වගකීම ඉටු කිරීම නිසා තෘප්තියක් හා සිතට සහනයක්ද අද්දකිති. (ක්‍රියා 20:35, NW) එපමණක්ද නොව, මහලු අයව රැකබලා ගන්නාවූ අය තමන්ගේ මහලු වියේදී තමන්ව අතහැර දමනු ලැබේය කියා භයවීමට කිසිදු හේතුවක් නැත. දේවවචනය අපට මෙසේ සහතික කරයි. “ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය. පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.”—හිතෝපදේශ 11:25.

20, 21. මහලු අයව රැකබලා ගන්නාවූ අය දෙස යෙහෝවා බලන්නේ කෙසේද? අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

20 මහලු වියේ පසු වන සෙසු ඇදහිලිවන්තයන්ව, දේවභයෙන් යුක්තව හා පරාර්ථකාමීව රැකබලා ගන්නා ඔවුන්ගේ දරුවන්ට, අවේක්ෂකයන්ට හා අනෙකුත් ක්‍රිස්තියානීන්ට යෙහෝවා විපාක දෙයි. එසේ සිතීම මෙම හිතෝපදේශයේ සඳහන් දේට අනුකූලය. “දුප්පතුන්ට [යටහත් පහත් අයට, NW] අනුකම්පා කරන්නා යෙහෝවාට ණයට දෙන්නේය. ඔහුගේ හොඳ ක්‍රියාවට ඔහු ඔහුට ප්‍රතිඵල දෙන්නේය.” (හිතෝපදේශ 19:17) ප්‍රේමය නිසා අප යටහත් පහත් අයට සහ දුප්පතුන්ට අනුකම්පා කිරීමට පෙලඹෙන්නේ නම්, දෙවි එවන් දෙයක් සලකන්නේ තමන්ට දුන් ණයක් හැටියටයි. ඒ ණය ඔහු ගෙවන්නේ අපට ආශීර්වාද කිරීමෙනි. තවද මහලුව සිටින අපගේ සෙසු නමස්කාරකයන්ගෙන් බොහෝදෙනෙක්, ‘ඇදහිල්ලෙන් ධනවත්ව සිටියත් ලෝකයට අනුව දිලිඳුව සිටිති.’ මෙවන් අයටද අප ප්‍රේමණීය සැලකිල්ලක් දක්වන්නේ නම්, ඔහු අපට ඒ සඳහා ආපසු ගෙවයි.—යාකොබ් 2:5, NW.

21 දෙවි ආපසු ගෙවන දෙයෙහි ත්‍යාගශීලිත්වය කොතරම්ද! ඒ ගෙවන දේ අතරට සදාකාල ජීවනයද ඇතුළත් වෙයි. යෙහෝවාගේ සේවකයන්ගෙන් බහුතරයකට පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලැබෙනවා ඇත. එහිදී, උරුම කරගත් පාපය නිසා ඇති වූ බලපෑම් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබන අතර, දෙවිට විශ්වාසවන්ත මහලු අය තම තරුණ ශක්තිය කරා නැවත පැමිණෙනවා ඇත. (එළිදරව් 21:3-5) ඒ ආශීර්වාද ලත් කාලය එන තෙක් බලා සිටිත්ම, මහලු අයව රැකබලා ගැනීමට ඇති අපගේ ක්‍රිස්තියානි වගකීම අපි නොපිරිහෙළා ඉටු කරමු.

[පාදසටහන]

^ 8 ඡේ. මහලු දෙමාපියන්ව රැකබලා ගන්නා අන්දම ගැන යම් ප්‍රායෝගික යෝජනා සඳහා 1994 පෙබරවාරි 8 පිබිදෙව්! සඟරාවේ 3-10 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

ඔබගේ පිළිතුරු මොනවාද?

• මහලු දෙමාපියන්ට ගෞරව කිරීමට ඔවුන්ගේ දරුවන්ට හැක්කේ කෙසේද?

• රැළට අයත් මහලු සාමාජිකයන්ව අගය කරන බව වැඩිමහල්ලන් පෙන්වන්නේ කෙසේද?

• මහලු අය කෙරෙහි තම අවංක උනන්දුව පෙන්වීමට එක් එක් ක්‍රිස්තියානිවරයෙකුට කළ හැක්කේ කුමක්ද?

• මහලු ක්‍රිස්තියානීන්ව රැකබලා ගැනීමෙන් අත් වන ආශීර්වාද මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ කොටුව]

ඔහුගේ දෙමාපියන්ට උපකාර අවශ්‍ය වූ අවස්ථාවේ

ෆිලිප් 1999 වසරේ ලයිබීරියාවේ ඉදි කිරීමේ කටයුතුවල ස්වේච්ඡා සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි විට, තම පියා දරුණු ලෙස අසනීප වී සිටින බවට ආරංචි වුණි. තම මවට තනිවම දේවල් බලා කියා ගැනීමට බැරි බව වටහාගත් හේ තම පියාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා කටයුතු පිළියෙළ කිරීම පිණිස යළිත් නිවස කරා ගමන් කිරීමට තීරණය කළේය.

“ආපසු යන එක ලෙහෙසි වුණේ නැහැ. නමුත් මම හිතුවා මගේ පළමු වගකීම වෙන්නේ දෙමාපියන්ව බලාගැනීම කියලා.” ෆිලිප් ඒ ගැන සිහි කරන්නේ එලෙසයි. ඉන්පසුව, වසර තුනක කාලයකට ඔහු තම දෙමාපියන්ව වඩාත් සුදුසු නිවසක පදිංචියට රැගෙන ගිය අතර, එම පළාතේ සෙසු ක්‍රිස්තියානීන් කිහිපදෙනෙකුගේ උදව් උපකාර ඇතිව තම පියාගේ විශේෂ අවශ්‍යතාවලට සරිලන ලෙස එම නිවස සකස් කළේය.

ෆිලිප්ගේ මව දැන් ඔහුගේ පියාගේ දරුණු සෞඛ්‍ය තත්වය සමඟ කටයුතු කිරීමට වඩාත් සූදානම් තත්වයක සිටින්නීය. එනිසා මෑතකදී මැසිඩෝනියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ස්වේච්ඡා සේවකයෙකු ලෙස සේවය කිරීමේ ආරාධනය පිළිගැනීමට ෆිලිප්ට හැකි විය.

[19වන පිටුවේ කොටුව]

ඔවුන් ඇගේ අවශ්‍යතා ගැන නොසලකා සිටියේ නැත

ඕස්ට්‍රේලියාවේ 85 හැවිරිදි ක්‍රිස්තියානිවරියක වන ඒඩා, ඇගේ දුර්වල සෞඛ්‍ය තත්වය නිසා නිවසටම කොටු වූයෙන්, සභාවේ වැඩිමහල්ලෝ ඇයට යම් උපකාර සැපයීමට කටයුතු පිළියෙල කළහ. ඇයට උපකාර කිරීමට ඔවුහු සෙසු ඇදහිලිවන්තයන් කිහිපදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සූදානම් කළහ. මෙම සහෝදර සහෝදරියන් ඇගේ නිවස පිරිසිදු කිරීමට, ඇගේ රෙදි සේදීමට, කෑම පිසීමට හා ඇය සඳහා යම් යම් දේවල් කර දීමට ඉදිරිපත් වූයේ මහත් සතුටිනි.

මෙම වැඩපිළිවෙළ ආරම්භ වුණේ මීට අවුරුදු 10කට පමණ ඉහතදීයි. මේ දක්වා යෙහෝවාගේ සාක්ෂිකරුවන් 30කට වැඩිදෙනෙක් ඒඩාව බලාගැනීමට උපකාර කර තිබේ. ඔවුහු තවමත් ඇයව බැලීමට යති. ඒ අවස්ථාවන්වල ඔවුන් බයිබලය මත පදනම් වූ ප්‍රකාශනවලින් ඇයට කියවන අතර, සභාවේ සහෝදර සහෝදරියන්ගේ ආත්මික වර්ධනය ගැන ඇයට තොරතුරුද සපයන අතරම ඇය සමඟ නිතිපතා යාච්ඤාද කරති.

එම සභාවේ එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මෙසේ පැවසීය. “ඒඩාව බලාගන්නා අය ඇයට උපකාර කිරීමට ලැබීම සලකන්නේ වරප්‍රසාදයක් හැටියටයි. දශක ගණනාවක් පුරා ඇය විශ්වාසවන්තව කළ සේවය බොහෝදෙනෙකුව දිරිමත් කරලා තියෙනවා. ඇගේ අවශ්‍යතා නොසලකා සිටීම ගැන ඒ අයට හිතන්නවත් බැහැ.”

[16වන පිටුවේ පින්තූරය]

අපි අපේ මහලු දෙමාපියන්ට ඇති ස්නේහය නොමසුරු ලෙස ප්‍රකාශ කරන්නෙමුද?

[18වන පිටුවේ පින්තූර]

මහලු වූ සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්වීමට සභාවේ සිටින සියල්ලන්ටම හැකියි