යේසුස් ක්‍රිස්තුස් මිහිතලයේ ජීවත් වූ බවට සාක්ෂි
යේසුස් ක්‍රිස්තුස් මිහිතලයේ ජීවත් වූ බවට සාක්ෂි
ඇල්බට් අයින්ස්ටයින් නමැති මිනිසා මිහිතලයේ ජීවත් වූ බව ඔබ විශ්වාස කරනවාද? ඔව් කියා ඔබ මෙම ප්‍රශ්නයට විගස පිළිතුරු දීමට ඉඩ තිබේ. එහෙත් ඔබ එසේ පිළිතුරු දෙන්නේ ඇයි? බොහෝදෙනෙකු පෞද්ගලිකව ඔහුව මුණගැසී කතා කර නැත. එසේවුවත් ඔහු කළ දේවල් පිළිබඳව ලියවී තිබෙන විශ්වාසදායක වාර්තා මගින් තහවුරු වන්නේ ඔහු ඇත්තටම මිහිතලයේ ජීවත් වූ මිනිසෙකු බවයි. ඔහුගේ සොයාගැනීම් විද්‍යා ක්ෂේත්රයේ නොයෙකුත් දේවලට සම්බන්ධ කරගනු ලබන අතර, ඔහු ජීවත් වූ බව ඒවායින් පැහැදිලි වේ. නිදසුනක් වශයෙන්, වර්තමානයේදී න්‍යෂ්ටික ශක්තිය මගින් උත්පාදනය කරනු ලබන විදුලියෙන් බොහෝ ප්‍රයෝජන ගනු ලැබේ. එම ක්‍රියාවලිය සහ E=mc2 (ශක්තිය සමානයි ස්කන්ධය වැඩි කිරීම ආලෝකයේ වේගයේ වර්ගයෙන්) නමැති අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ සමීකරණය අතර සමීප සම්බන්ධයක් තිබේ.
එලෙස හේතු සාධක දැක්වීම යේසුස් ක්‍රිස්තුස්ගේ පැවැත්ම සම්බන්ධයෙන්ද අදාළ වේ. මිනිස් ඉතිහාසයේ ජීවත් වූ අතීශය ප්‍රබල බලපෑමක් එල්ල කළ තැනැත්තා ලෙස සැලකෙන්නේ ඔහුය. ඔහු ගැන ලියා තිබෙන දේවල් මෙන්ම ඔහු ඇති කළ බලපෑම පිළිබඳව තිබෙන දෘශ්‍යමාන සාක්ෂි ඔහු ඇත්තටම මිහි තලයේ ජීවත් වූ බවට කිසිදු සැකයකට ඉඩ නොතබයි. කලින් ලිපියේ විස්තර කළ යාකොබ්ගේ නම සඳහන් ගලින් සෑදූ මිනී අස්ථි මංජුසාව සම්බන්ධයෙන් පුරාවිද්‍යාව මගින් මෑතකදී කර තිබෙන සොයාගැනීම් උනන්දුව දනවනසුලු වුවද, යේසුස් පුරාණයේ ජීවත් වූ පුද්ගලයෙකු බවට වූ කාරණය එම පෞරාණික වස්තුව මත හෝ වෙනත් දෙයක් මත රඳා පවතින්නේ නැත. යේසුස් හා ඔහුගේ අනුගාමිකයන් ගැන ඉතිහාසඥයන් වාර්තා කර තිබෙන දේවලින් ඔහු ඇත්තටම ජීවත් වූ පුද්ගලයෙකු බවට සාක්ෂි අපට සොයාගත හැක.
ඉතිහාසඥයන් සපයන සාක්ෂි
නිදසුනක් වශයෙන් මුල් සියවසේ සිටි පරිසිවරයෙකු මෙන්ම යුදෙව් ඉතිහාසඥයෙකුද වූ ෆ්ලේවියස් ජොසීෆස් සපයන සාක්ෂිය සලකා බලන්න. ඔහුගේ එක් පොතක (Jewish Antiquities) යේසුස් ගැන සඳහන් කර තිබේ. ඔහු එහි යේසුස් මෙසියස් බවට සඳහන් කරන මුල් අවස්ථාව ගැන ඇතැමුන් සැක පහළ කළත්, ඔහු යේසුස් ගැන දෙවන වතාවට සඳහන් කරන අවස්ථාව ගැන සැක පහළ කර තිබෙන්නේ අතලොස්සක් කියා යෙෂීවා සරසවියේ මහාචාර්ය ලුවිස් එච්. ෆෙල්ඩ්මන් පවසයි. දෙවන වතාවට යේසුස් ගැන කළ සඳහන් කිරීමේදී ජොසීෆස් මෙසේ පැවසුවේය. “[උත්තම පුජකයා වූ අන්නස්] යුදෙව් මන්ත්‍රණ සභාවේ විනිසුරුවන්ව කැඳවා යාකොබ් නම් මිනිසෙකුව ඔවුන් ඉදිරියට පැමුණුවේය. මෙම යාකොබ් නමැත්තා ක්‍රිස්තුස්ද කියා හැඳින්වූ යේසුස්ගේ සහෝදරයා විය.” (Jewish Antiquities, XX, 200) තමුන් යේසුස්ට සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියා සාමාජිකයන් බොහෝදෙනෙක් පැවසූ නිකායක සාමාජිකයෙකු මෙන්ම පරිසිවරයෙකුද වූ තැනැත්තෙක් “යේසුස්ගේ සහෝදරයා වූ යාකොබ්” ජීවත් වූ බව පිළිගත්තේය.
යේසුස් ඇති කළ බලපෑම ඔහුගේ අනුගාමිකයන්ගේ ක්‍රියාකාරකම්වලින් දැකගත හැකි වේ. පොදු යුගයේ 59දී පමණ ප්‍රේරිත පාවුල්ව රෝමයේ සිරගත කළ අවස්ථාවේදී යුදෙව්වන්ගේ ප්‍රධානියෝ ඔහුට මෙසේ පැවසූහ. “මේ නිකාය ගැන සැම තැනම විරුද්ධව කතා කරන බව නම් අපි දනිමු.” (ක්‍රියා 28:17-22, NW) ඔවුන් යේසුස්ගේ ගෝලයන්ව හැඳින්වූයේ “මේ නිකාය” කියාය. සැම තැනකදීම ඔවුන්ට විරුද්ධව කතා කළා නම් ඉතිහාසඥයන් ඔවුන් පිළිබඳව වාර්තා කරයි කියා සිතිය නොහැකිද?
පොදු යුගයේ 55දී පමණ උපත ලැබූ, ලෝක ප්‍රසිද්ධ ඉතිහාසඥයන්ගෙන් කෙනෙකු වූ ටැසිටස් ඔහුගේ ඓතිහාසික වාර්තා නමැති කෘතියේ ක්‍රිස්තියානීන් ගැන සඳහන් කළේය. පොදු යුගයේ 64දී රෝමයේ ඇති වූ මහා ගින්න සම්බන්ධයෙන් නීරෝ ක්‍රිස්තියානීන්ට දෝෂාරෝපණය කිරීම ගැන වාර්තා කිරීමේදී ඔහු මෙසේ ලීවේය. “නීරෝ චෝදනාව එල්ල කළේ ක්රිස්තියානීන්ටය. එදා සිටි ජනයා විසින් ඔවුන්ට ඒ නම දී තිබුණු අතර, පිළිකුල්සහගත ක්‍රියා කරන බවට චෝදනාව ලැබූ නිසා ඔවුහු සැමගේ වෛරයට පාත්‍ර වූහ. හෙතෙම ඉතාමත් දරුණු ලෙස වධ දුන්නේ මෙම පිරිසටය. ඔවුන්ව හැඳින්වූ නාමය ලැබෙන්නේ ක්‍රිස්තුස් නමැත්තෙකුගෙනි. ටයිබීරියස්ගේ පාලන සමයේදී අපගේ නියෝජිත පාලකයෙකු වන පොන්තියුස් පිලාත්ගේ නියෝගයට අනුව මෙම ක්‍රිස්තුස්ට විරුද්ධව මරණ දණ්ඩනය නියම කරන ලදි.” මෙම වාර්තාවේ සඳහන් විස්තරය හා බයිබලයේ යේසුස් ගැන ලියා තිබෙන තොරතුරු අතර එකඟතාවක් ඇත.
යේසුස්ගේ අනුගාමිකයන් ගැන අදහස් පළ කළ තවත් ලේඛකයෙක් වූයේ කණිටු ප්ලිනි යන නම දැරූ බිතිනියේ ආණ්ඩුකාරයාය. පොදු යුගයේ 111වන වසරේදී පමණ ප්ලිනි ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්න හසුරුවන ආකාරය ගැන ට්රේජන් අධිරාජ්‍යාගෙන් ලිඛිතව විමසුවේය. ක්‍රිස්තියානීන් කියා බොරුවට චෝදනා කළ අය දේවි දේවතාවුන්ට යාතිකාවක් නැවත නැවත කීමෙන් හා ට්රේජන්ගේ පිළිමයකට නමස්කාර කිරීමෙන් තමන් ක්‍රිස්තියානීන් නොවන බව ඔප්පු කර පෙන්වූ බව ප්ලිනි ලීවේය. ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය. “කොතරම් බල කළද, සැබෑ ක්‍රිස්තියානීන් නමස්කාරය හා බැඳි එවන් කිසිවක් කිරීමට එකඟ නොවූ බව පැවසේ.” ක්‍රිස්තුස් ඇත්තටම ජීවත් වූ බවට එය සාක්ෂියකි.
මන්ද ඔහුගේ අනුගාමිකයෝ ඔහු කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් තමන්ගේ ජීවිත පවා පූජා කිරීමට සූදානම්ව සිටි බැවිනි.මුල් සියවස් දෙකේ විසූ ඉතිහාසඥයන් විසින් යේසුස් ක්‍රිස්තුස් හා ඔහුගේ අනුගාමිකයන් ගැන සඳහන් දේවල් සාරාංශගත කිරීමෙන් පසු, දි එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා නමැති විශ්වකෝෂයේ (2002 සංස්කරණය) මෙසේ නිගමනය කර තිබේ. “ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ප්‍රථම වතාවට යේසුස්ගේ පැවැත්ම මතභේදයකට ලක් වූයේ 18වන සියවස අවසානයේදී හා 19වන සියවසේදී මෙන්ම 20වන සියවස ආරම්භයේදීය. කෙසේවෙතත්, මෙම ස්වාධීන වාර්තාවලින් තහවුරු වන්නේ පුරාණ කාලයේදී ක්‍රිස්තියානි ධර්මයට විරුද්ධ වූවන් පවා යේසුස් සැබවින්ම ජීවත් වූ බව කිසි දිනක සැක කර නොමැති බවයි.”
යේසුස්ගේ අනුගාමිකයන් සපයන සාක්ෂි
“ක්‍රිස්තුස්ගේ ජීවිතය හා අවසානයේදී ඔහුට අත් වූ ඉරණම පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමටත්, ඔහුගේ වැදගත්කම පිළිබඳව පැරිණිතම ක්‍රිස්තියානි මතය දැනගැනීමටත් ඉවහල් වන සෑම සාක්ෂියක්ම පාහේ නව ගිවිසුමෙන් සොයාගත හැකි වේ” කියා දි එන්සයික්ලොපීඩියා අමෙරිකානා නමැති විශ්වකෝෂයේ පවසා ඇත. සැක පහළ කරන්නන් යේසුස් මිහිතලයේ ජීවත් වූ බවට බයිබලය සපයන සාක්ෂි පිළිනොගැනීමට ඉඩ ඇත. එහෙත් යේසුස් ඇත්තටම ජීවත් වූ බව තහවුරු කරගැනීමට ශුද්ධ ලියවිල්ලේ සඳහන් වාර්තා පදනම් කරගනිමින් ගොඩනඟා ගනු ලබන තර්ක දෙකක් උපකාරවත් වේ.
අප කලින් සලකා බැලූ පරිදි අයින්ස්ටයින්ගේ ශ්‍රේෂ්ඨ න්‍යායන් මගින් ඔහු ඇත්තටම ජීවත් වූ පුද්ගලයෙකු බව තහවුරු වේ. මේ හා සමානව යේසුස්ගේ ඉගැන්වීම් මගින්ද තහවුරු වන්නේ ඔහු ඇත්තටම ජීවත් වූ පුද්ගලයෙකු බවයි. උදාහරණයක් හැටියට යේසුස් ඉදිරිපත් කළ සුප්‍රසිද්ධ දේශනයක් වන කන්ද උඩ දේශනාව සලකා බලන්න. (මතෙව් 5-7 පරිච්ඡේද) එම දේශනාව මගින් ඇති කළ බලපෑම ගැන ප්‍රේරිත මතෙව් මෙසේ ලීවේය. “සමූහයෝ ඔහු උගන්වන ආකාරය ගැන මවිත වූහ. මන්ද ඔහු බලය ලත් කෙනෙකු මෙන් ඔවුන්ට උගන්වා තිබුණේය.” (මතෙව් 7:28, 29, NW) එම දේශනාව සියවස් ගණනාවක් පුරා ජනයා මත ඇති කර තිබෙන බලපෑම ගැන මහාචාර්ය හාන්ස් ඩීටර් බෙට්ස් මෙසේ සඳහන් කළේය. “කන්ද උඩ දේශනාවේ බලපෑම යුදෙව් ධර්මය හා ක්‍රිස්තියානි ධර්මය පමණක් නොව බටහිර සංස්කෘතිය පවා අභිභවා යයි.” ඔහු තවදුරටත් සඳහන් කළේ එම දේශනාවට “විශේෂිත වූ සර්වලෝක ආකර්ෂණයක්” තිබෙන බවයි.
කන්ද උඩ දේශනාවේ සඳහන් මතු දැක්වෙන කෙටි හා ප්‍රායෝගික ඔවදන් සලකා බලන්න. “යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න.” “මිනිසුන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහි ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකිරීමට බලාගන්න.” “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසටද කරදර තිබෙනු ඇත.” “ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න.” “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ.” “අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” “පටු දොරටුවෙන් ඇතුල් වන්න.” “ඔවුන්ගේ පලවලින් ඔබ ඔවුන්ව ඇඳිනගන්නහුය.” “සෑම හොඳ ගසක්ම හොඳ පල දරයි.”—මතෙව් 5:39; 6:1, 34; 7:6, 7, 12, 13, 16, 17, NW.
එම වැකිවලින් සමහරක් හෝ ඒවායේ මූලික අදහස ඔබ අසා තිබෙනවාට සැකයක් නැත. ඇතැම් විට ඒවා ඔබේ භාෂාවේ ආප්තෝපදේශ බවට පත් වී තිබිය හැකියි. මේ සෑම එකක්ම රැගෙන තිබෙන්නේ කන්ද උඩ දේශනාවෙනි. එම දේශනාව විශාල ජන පිරිසකට හා විවිධ සංස්කෘතින්වලට ඇති කර තිබෙන්නේ ප්‍රබල බලපෑමකි. මෙය “උතුම් ගුරුවරයා” සැබවින්ම ජීවත් වූ බවට ප්‍රබල සාක්ෂියකි.
යම් කෙනෙක් යේසුස් ක්‍රිස්තුස් කියා හඳුන්වනු ලැබූ පුද්ගලයෙකුව ප්‍රබන්ධ කළා කියා සිතමු. ඒ තැනැත්තා බයිබලයේ සඳහන් යේසුස් ඉගැන්වූ දේවල් දක්ෂ ලෙස ගෙතුවා කියා සිතන්න. එම නිර්මාණකරුවා ඔහුට කළ හැකි උපරිමයෙන් යේසුස්ව හා ඔහු ඉගැන්වූ දේවල් සාමාන්‍ය ජනයාට පිළිගත හැකි තත්වයකට පත් කරයි කියා සිතිය නොහැකිද? එහෙත් ප්‍රේරිත පාවුල් මෙසේ සඳහන් කළේය. “යුදෙව්වරු ලකුණු ඉල්ලති. ග්‍රීකයෝ ප්‍රඥාව සොයති. එහෙත් අප දේශනා කරන්නේ, කණුවක ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුස් ගැනය. මෙය යුදෙව්වරුන්ට බාධාවට හේතුවකි. අන්‍ය ජාතීන්ට මෝඩකමකි.” (1 කොරින්ති 1:22, 23, NW) කණුවක ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුස්ගේ පණිවිඩය යුදෙව්වන්ගේවත් අන්‍ය ජාතීන්ගේවත් සිත්ගත් පණිවිඩයක් නොවීය. කෙසේවෙතත්, මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් ප්‍රකාශ කළේ එම ක්‍රිස්තුස් ගැනයි. ක්‍රිස්තුස්ව කණුවක ඇණ ගැසූ බව විස්තර කරන්නේ මන්ද? මෙයට දිය හැකි සෑහීම ගෙන දෙන එකම පැහැදිලි කිරීම වන්නේ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ලේඛකයන් විසින් යේසුස්ගේ ජීවිතය හා මරණය පිළිබඳ සත්‍යය තොරතුරු වාර්තා කරනු ලැබීමයි.
යේසුස්ගේ අනුගාමිකයන් කිසිම හේතුවක් නිසා අත්නෑර කළ දේශනා සේවය සලකා බැලීමෙන් ඔහු සැබවින්ම ජීවත් වූ බව තහවුරු කරන තවත් තර්කානුකූල සාධක සොයාගත හැක. යේසුස් ඔහුගේ දේවසේවය ආරම්භ කර අවුරුදු 30කට ආසන්න කාලයක් ගෙවී ගිය පසු, ශුභාරංචිය “ස්වර්ගයෙන් යට මුළු මැවිල්ල අතරේ දේශනා කළ” බව පැවසීමට පාවුල්ට හැකි විය. (කොලොස්සි 1:23, NW) ඇත්තෙන්ම, අතීතයේදී විරුද්ධවාදීකම් මැද පවා යේසුස්ගේ ඉගැන්වීම් දසත ව්‍යාප්ත වූයේය. ක්‍රිස්තියානියෙකු වශයෙන් පීඩාවලට මුහුණ දුන් පාවුල් මෙසේ ලීවේය. “ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැඟිටුවනු නොලැබුවේ නම්, නිසැකවම අපේ දේශනා කිරීමෙන් පලක් නැත. අපේ ඇදහිල්ලෙන්ද පලක් නැත.” (1 කොරින්ති 15:12-17, NW) නැවත නැඟුටුවා නොමැති ක්‍රිස්තුස් කෙනෙක් ගැන දේශනා කිරීම පලක් නැති දෙයක් වූවා නම්, කවදාවත් මිහිතලයේ ජීවත් නොවූ ක්‍රිස්තුස් කෙනෙක් ගැන දේශනා කිරීම ඊටත් වඩා පලක් නැති දෙයක් වීමට ඉඩ තිබිණ. කණිටු ප්ලිනි විසින් ලියන ලද වාර්තාවෙන් අප දකින පරිදි මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීහු ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් මිය යන්න පවා සූදානමින් සිටියෝය. ඔවුන් ක්‍රිස්තුස් වෙනුවෙන් තමන්ගේ ජීවිත පරදුවට තැබුවේ ඔහු සැබවින්ම ජීවත් වූ පුද්ගලයෙකු වූ නිසාය. සුවිශේෂ වාර්තාවේ සඳහන් වන පරිදි ඔහු මිහිතලයේ පය ගැසූ, සැබවින්ම ජීවත් වූ පුද්ගලයෙකු වූ නිසාය.
ඔබ සාක්ෂි දැක ඇත
ක්‍රිස්තියානීන් අන් අයට දේශනා කිරීමට කලින් යේසුස් ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම විශ්වාස කළ යුතු දෙයක් විය. මරණයෙන් නැවත නැඟුටුවා සිටින යේසුස් වර්තමානයේ ඇති කරන බලපෑම දැකීමෙන් ඔබට ඔහුව මනසින් දැකිය හැකියි.
යේසුස්ව කණුවක ඇණ ගැසීමට කලින් තමා අනාගතයේදී පැමිණ සිටින කාලපරිච්ඡේදයේදී මහා පරිමාණයෙන් ඉටු වන අනාවැකියක් ගැන පැවසුවේය. තමන්ව නැවත නැඟිටුවනු ලබන බවත් තම සතුරන් සමඟ කටයුතු කිරීමට කාලය පැමිණෙන තෙක් තමන් දෙවිගේ දකුණු පැත්තේ අසුන්ගෙන සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය. (ගීතාවලිය 110:1; යොහන් 6:62; ක්‍රියා 2:34, 35; රෝම 8:34) නියමිත කාලය පැමිණෙන විට ඔහු පියවර ගනිමින් සාතන්ව හා ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් පලවාහරින බවත් පුරෝකථනය කළේය.—එළිදරව් 12:7-9.
ඒ සියල්ල සිදුවීමට නියමිතව තිබුණේ කවදාද? ‘තමන් පැමිණ සිටින කාලයටත් සමාජ ක්රමයේ අවසාන කාලපරිච්ඡේදයටත් ලකුණ’ යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන්නේය. ඔහු අදෘශ්‍යමානව පැමිණ සිටින කාලපරිච්ඡේදය හඳුනාගැනීමට උපකාරවත් වන ලකුණට මහත් යුද්ධ, ආහාර හිඟකම්, භූමිකම්පා, බොරු අනාගතවක්තෘවරුන් නැඟිට සිටීම, නීති විරෝධි ක්‍රියා වැඩි වීම හා දරුණු වසංගත අයත් විය. එවන් විපත්තිදායක සිදුවීම් අපේක්ෂා කළ යුතු විය. මන්ද සාතන් නමැති යක්ෂයාව පලවාහැරීමෙන් ‘පොළොවට දුක’ අත් වන බැවිනි. “තමාට ඇත්තේ කෙටි කාලපරිච්ඡේදයකි කියා දැන” සිටින සාතන් පොළොවට වැටී සිටී. මීට අමතරව, රාජ්‍යයේ මේ ශුභාරංචිය “සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම” දේශනා කිරීමද එම ලකුණට අයත් වේ.—මතෙව් 24:3-14, NW; එළිදරව් 12:12, NW; ලූක් 21:7-19.
රූප ප්‍රහේලිකාවක එක් එක් කොටස එහි නියමිත තැනට පමණක් ගැළපෙන්නාක් මෙන් යේසුස් අනාවැකි ලෙස පැවසූ දේවල්ද ඉටු වී තිබේ. යේසුස් ක්‍රිස්තුස් අදෘශ්‍යමානව පැමිණ සිටීමේ කාලපරිච්ඡේදයට සාක්ෂි සපයන දේවල් 1914දී පළමු මහා ලෝක යුද්ධය සිදු වූ දා සිට අප දැක ඇත. ඔහු දේවරාජ්‍යයේ රජු ලෙස පාලනය කරමින් සිටින අතර ඔහුට ප්‍රබල වූ අධිකාරයක් දී තිබේ. එම රාජ්‍යය ගැන දේශනා කිරීමේ කාර්යය දැන් කෙරීගෙන යන බවට, ඔබ අතැති මෙම සඟරාව සාක්ෂියකි.
යේසුස් ඇත්තටම ජීවත් වූ බවට තිබෙන අමතර සාක්ෂි අවබෝධ කරගැනීමට නම් ඔබ බයිබලය අධ්‍යයනය කළ යුතුයි. යේසුස් අදෘශ්‍යමානව පැමිණ සිටින කාලපරිච්ඡේදය ගැන වැඩි විස්තර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසා බැලීම හොඳ අදහසක් නොවේද?
[5වන පිටුවේ පින්තූරය]
ජෝසීෆස්, ටැසිටස් සහ කණිටු ප්ලිනි යේසුස් ක්‍රිස්තුස් සහ ඔහුගේ අනුගාමිකයන් ගැන සඳහන් කළහ
[හිමිකම් විස්තර]
All three images: © Bettmann/CORBIS
[7වන පිටුවේ පින්තූරය]
යේසුස් ඇත්තටම මිහිතලයේ ජීවත් වූ බව මුල් ක්‍රිස්තියානීහු ඒත්තුගෙන සිටියෝය