දිව්‍යමය අවශ්‍යතා සපුරාලීම යෙහෝවාව මහිමවත් කරයි
දිව්‍යමය අවශ්‍යතා සපුරාලීම යෙහෝවාව මහිමවත් කරයි
‘ස්තුති කිරීමෙන් ඔහුව උසස් [මහිමයට පත්, NW] කරන්නෙමි.’—ගීතාවලිය 69:30.
1. (අ) යෙහෝවා මහිමයට පත් කරනු ලැබීමට වටිනා තැනැත්තෙකු වන්නේ මන්ද? (ආ) ස්තුති කිරීමෙන් යුක්තව අප යෙහෝවාව මහිමයට පත් කරන්නේ කෙසේද?
සර්වබලධාරී දෙවි! විශ්වයේ පරමාධිපති! මැවුම්කරු! මේ සියල්ලෙන් විස්තර කෙරෙන්නේ යෙහෝවාවයි. එමනිසා ඔහුගේ නාමය හා අරමුණු මුළුමනින්ම මහිමවත් කළ යුතුයි. යෙහෝවාව මහිමයට පත් කිරීම යන්නෙන් අදහස් කරන්නේ, කතාවෙන් සහ ක්‍රියාවෙන් ඔහුට උපරිම ගෞරවය දීමත් ඔහුව ප්‍රශංසාවට ලක් කිරීමත් උසස් කොට සැලකීමත්ය. “ස්තුති කිරීමෙන්” එසේ කිරීමට නම්, දැනුත් අනාගතයේදීත් ඔහු අප වෙනුවෙන් කරන සියල්ල සම්බන්ධයෙන් නිතරම ස්තුතිපූර්වක වීම අවශ්‍යයි. යෙහෝවාව මහිමයට පත් කිරීමේ කාර්යයට සහභාගි වන්න අපට හැක්කේ කෙසේද? අපට තිබිය යුතු ආකල්පය එළිදරව් 4:11හි මනා ලෙස දක්වා තිබෙනවා. එහිදී ස්වර්ගයේ වෙසෙන විශ්වාසවන්ත ආත්ම මැවිලි ප්‍රකාශ කරන්නේ මෙසේයි. ‘අපගේ යෙහෝවා, අපගේ දෙවියනි, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැත්තාය. මක්නිසාද ඔබ සියලු දේ මැව්වේය, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවන ලද්දේය.’ අප යෙහෝවාව මහිමයට පත් කරන්නේ කෙසේද? ඔහු ගැන ඉගෙනීමෙන් සහ ඔහුට අපගෙන් ඕනෑ කරන දේ ඉටු කිරීමෙනුයි. “ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව. මක්නිසාද ඔබ මාගේ දෙවිය” කියා ගීතිකාකරු හදපත්ලෙන්ම පැවසුවා. (ගීතාවලිය 143:10) අපටත් ඒ හා සමාන හැඟීම් තිබිය යුතුයි.
2. යෙහෝවාව මහිමයට පත් කරන අය සමඟ හා එසේ නොකරන අය සමඟ ඔහු කටයුතු කරන්නේ කෙසේද?
2 තමාව මහිමයට පත් කරන අයව යෙහෝවා සලකන්නේ මහත් අගයකින් යුක්තවයි. ඔහුව “[අවංකව, NW] සොයන්නන්ට විපාක දෙන කෙනෙකු” ලෙස විස්තර කර ඇත්තේ එමනිසයි. (හෙබ්‍රෙව් 11:6) කුමක්ද ඒ විපාකය? සිය ස්වර්ගීය පියාණන්ට කළ යාච්ඤාවකදී යේසුස් ඊට පිළිතුරු දෙන්නේ මෙසේයි. “සදාකාල ජීවනයට මඟ නම්, එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) මින් පැහැදිලි වන්නේ ‘ස්තුති කිරීමෙන් යෙහෝවාව මහිමයට පත් කරන’ අය ‘දේශය උරුම කරගෙන, සදාකල් වාසය කරන’ බවයි. (ගීතාවලිය 37:29) අනික් අතට, “නපුරන්ට අනාගතයක් නැත.” (හිතෝපදේශ 24:20, නව අනුවාදය) යෙහෝවා ළඟදීම දුෂ්ටයන්ව විනාශ කර ධර්මිෂ්ඨයන්ව ආරක්ෂා කරනු ඇති නිසා, මෙම අන්තිම දවස්වල යෙහෝවාව මහිමයට පත් කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක් තිබෙනවා. “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17; හිතෝපදේශ 2:21, 22.
3. අප මලාකී පොතට අවධානයක් දිය යුත්තේ මන්ද?
3 ‘මුළු ලියවිල්ල දේවානුභාවයෙන්’ වන නිසා, යෙහෝවාගේ කැමැත්ත බයිබලයෙහි පිටු තුළ සොයාගත හැකියි. (2 තිමෝති 3:16) යෙහෝවා තමාව මහිමයට පත් කරන අයට ආශීර්වාද කරන අන්දමත් එසේ නොකරන අයට සිදු වන දේත් දේවවචනයෙහි අන්තර්ගත නොයෙකුත් වාර්තාවල දැකගන්නට පුළුවන්. මෙම වාර්තාවලින් එකක් අනාගතවක්තෘ මලාකීගේ කාලයේදී ඉශ්රායෙල්හි සිදු වූ දේ හා සම්බන්ධයි. පොදු යුගයට පෙර 443දී පමණ නෙහෙමියා ආණ්ඩුකාරයාව සිටි කාලයේදී මලාකී තම නම දරන අනාවැකිමය පොත ලිව්වා. බලගතු හා ප්රබෝධජනක පණිවිඩයකින් යුත් මෙම පොතෙහි වැදගත් තොරතුරු හා අනාවැකි ඇති අතර, ඒවා ලියා ඇත්තේ “කාලවල කෙළවරට පැමිණ සිටින අපට අවවාද” පිණිසයි. (1 කොරින්ති 10:11) ඉතා ළඟදී දෙවි ‘යෙහෝවාගේ මහත් වූ භයානක වූ දවසේදී’ දැන් පවතින මෙම දුෂ්ට ක්‍රමය විනාශ කරනු ඇති. (මලාකී 4:5) එසේ නම්, මලාකීගේ වදන්වලට අවධානය දීම ඒ සඳහා සූදානම් වීමට අපහට උපකාරයක් විය හැකියි.
4. මලාකී 1වන පරිච්ඡේදයෙහි අපගේ අවධානයට යොමු කරවා ඇති කරුණු හය මොනවාද?
4 වසර 2,400කට ඉහතදී ලියනු ලැබූ මලාකී පොත, මෙම 21වන සියවසට පිවිස ඇති අපහට යෙහෝවාගේ මහත් වූ භයානක වූ ඒ දවසට සූදානම් වීම සඳහා උපකාරයක් වන්නේ කෙසේද? මලාකීගේ අනාවැකිය පිළිබඳ මුල්ම පරිච්ඡේදය අඩුම තරමින් වැදගත් කරුණු හයක්වත් අපගේ අවධානයට යොමු කරයි. ඒ කරුණු වැදගත් වන්නේ ස්තුති කිරීමෙන් යුතුව ඔහුව මහිමයට පත් කිරීම හා සම්බන්ධව පවතින නිසයි. එමගින් යෙහෝවාගේ අනුග්‍රහය ලබාගැනීමට සහ සදාකල් ජීවනය අත් කරගැනීමට අපට හැකි වේවි. ඒවා නම්: (1) යෙහෝවා තම සෙනඟට ප්‍රේම කරයි, (2) අප පරිශුද්ධ දේවල් සඳහා අගයක් පෙන්නුම් කළ යුතුයි, (3) අපට දිය හැකි හොඳම දේ යෙහෝවාට දීම ඔහු අපගෙන් අපේක්ෂා කරයි, (4) සැබෑ නමස්කාරය සඳහා පෙලඹීම වන්නේ ගිජුකම නොව පරාර්ථකාමී ප්‍රේමයයි, (5) දෙවිට පිළිගත හැකි සේවයක් පිරිනැමීම පීඩාකාරි පිළිවෙතක් නොවෙයි, (6) අප සැමෝම දෙවිට පෞද්ගලිකව ගණන් දිය යුතුයි යන කාරණායි. එසේ නම්, මලාකී පොත සම්බන්ධයෙන් පළ වී ඇති ලිපි තුනෙන් මෙම පළමු ලිපියේදී, මලාකී 1වන පරිච්ඡේදයේ සඳහන් ඒ කරුණු හය පිළිවෙළින් වඩාත් විස්තරාත්මකව සාකච්ඡා කරමු.
යෙහෝවා තම සෙනඟට ප්‍රේම කරයි
5, 6. (අ) යෙහෝවා යාකොබ්ට ප්‍රේම කළේ මන්ද? (ආ) අපි යාකොබ්ගේ ඇදහිලිවන්තකම අනුකරණය කරනවා නම්, අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?
5 මෙම කරුණ මලාකීගේ අනාවැකියේ මුල් පදවල පැහැදිලි කර තිබෙනවා. එම පොත ආරම්භ වන්නේ “ඉශ්රායෙල් වෙතට පැමිණි යෙහෝවාගේ වචනයේ දිව්‍ය ප්රකාශනය” කියායි. “මම නුඹලාට ප්‍රේම කෙළෙමි” කියා දෙවි තවදුරටත් පවසයි. ඒ පදයේම ඊට උදාහරණයක් සපයමින් දෙවි පවසන්නේ ‘මම යාකොබ්ට ප්‍රේම කළෙමි’ යන්නයි. යාකොබ් යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තැබූ විශ්වාසවන්ත මනුෂ්‍යයෙක්. කල් යත්ම, යෙහෝවා යාකොබ්ගේ නම ඉශ්රායෙල් යනුවෙන් වෙනස් කළ අතර, ඔහු ඉශ්රායෙල් ජාතියේ ආදි පියා බවට පත් වුණා. යෙහෝවා යාකොබ්ට ප්‍රේම කළේ ඔහු ඇදහිලිවන්ත මනුෂ්‍යයෙක් වූ නිසයි. ඉශ්රායෙල් ජාතිය අතුරින්, යාකොබ් යෙහෝවා කෙරෙහි දැක්වූ ආකල්පයම විදහාපෙන්වූ පුද්ගලයන්ද දෙවිගේ ප්‍රේමයට පාත්‍ර වුණා.—මලාකී 1:1, 2.
6 අපි යෙහෝවාට ප්‍රේම කරමින් ඔහුගේ සෙනඟට පක්ෂපාත ලෙස බැඳී සිටිනවා නම්, 1 සාමුවෙල් 12:22හි පවසන ආකාරයට ‘තමන්ගේ මහත් නාමය නිසා තමන්ගේ සෙනඟ අත් නොහරින’ බවට යෙහෝවා දී ඇති පොරොන්දුවෙන් අපට ඉමහත් සැනසීමක් ලබාගත හැකියි. යෙහෝවා තම සෙනඟට ප්‍රේම කරන අතර, සදාකාල ජීවනය නමැති තිළිණය සමඟින් ඔවුන්ට අවසානයේදී විපාක දෙනු ඇති. ඒ සම්බන්ධයෙන් අපට මෙසේ කියවීමට තිබෙනවා. “යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරන්න. දේශයෙහි වාසය කරමින් විශ්වාසකම අනුව යන්න. යෙහෝවා කෙරෙහි ප්‍රීතිමත් වන්න. ඔහුද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන්නේය.” (ගීතාවලිය 37:3, 4) කෙසේවෙතත්, අප විසින් යෙහෝවාට ප්‍රේම කිරීම නමැති කාරණය තවත් කරුණකට සම්බන්ධයි. මලාකී 1වන පරිච්ඡේදය අපගේ අවධානයට යොමු කරන දෙවන කරුණ එයයි.
පරිශුද්ධ දේවල් සඳහා අගයක් පෙන්නුම් කරමු
7. යෙහෝවා ඒසව්ට අප්‍රිය කළේ මන්ද?
7 මලාකී 1:2, 3ට අනුව ‘මම යාකොබ්ට ප්‍රේම කරමි’ කියා පැවසීමෙන් පසු, ‘ඒසව්ට අප්‍රිය කළෙමි’ කියා යෙහෝවා පවසයි. ඇයි මේ වෙනස? යාකොබ් යෙහෝවාව මහිමයට පත් කළත්, ඔහුගේ නිවුන් සොහොයුරු ඒසව් එසේ කළේ නැහැ. ඒසව්ට ඒදොම් යන නාමයද දී තිබුණා. මලාකී 1:4ට අනුව, ඒදොම් දේශය දුෂ්ටකමේ පළාත ලෙස හඳුන්වා ඇති අතර එහි වැසියන්ව හෙළා දැක තිබෙනවා. (“රතුපාට” යන තේරුම ඇති) ඒදොම් යන නාමය ඒසව්ට දෙනු ලැබුවේ රතුපාට කොල්ලු ව්‍යංජනයක් අනුභව කිරීමේ ආශාව නිසා, ඔහු තමාගේ කුලුඳුල්කම යාකොබ්ට විකුණූ බැවිනි. උත්පත්ති 25:34හි කියන ආකාරයට ‘ඒසව් තමාගේ කුලුඳුල්කම සුළු කළා.’ ප්‍රේරිත පාවුල්ද ඒසව් ගැන කතා කරමින් සෙසු ඇදහිලිවන්තයන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියා. ‘වේශ්‍යාකම් කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් පරිශුද්ධ දේවල් සුළු කොට තකන්නෙක්වත් නොසිටින පිණිස බලාගන්න.’—හෙබ්‍රෙව් 12:14-16.
8. පාවුල් ඒසව්ව වේශ්‍යාකම් කරන්නෙකුට සමාන කළ හේතුව කුමක්ද?
8 පාවුල් ඒසව්ව වේශ්‍යාකම් කරන්නෙකු හා සම්බන්ධ කර දැක්වූයේ ඇයි? මක්නිසාද ඒසව්ට සමාන ආකල්පයක් තිබීම, පරිශුද්ධ දේවල් අගය නොකිරීමට මඟ පෑදිය හැකි නිසයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වේශ්‍යාකම වැනි බරපතළ පාපවල නියැලීමට පවා පෙලඹිය හැකියි. එමනිසා අපගෙන් මෙසේ අසාගැනීම උචිතයි. ‘රතු පාට කොල්ලු ව්‍යංජනයකට සමාන කළ හැකි යම් තාවකාලික වින්දනයක් ලැබීම සඳහා මගේ ක්‍රිස්තියානි උරුමය, එනම් සදාකාල ජීවනය පරදුවට තබන්න ඇතැම් අවස්ථාවලදී මා පෙලඹෙනවාද? සමහරවිට, මම වැඩි දුර නොසිතා පරිශුද්ධ දේවල් සුළු කොට සලකනවා විය හැකිද?’ තම මාංසික ආශාව සන්සිඳුවා ගන්නා තෙක් ඒසව්ට කොහෙත්ම ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඔහු යාකොබ්ට කිව්වේ “ඔය රතු පාට කෑමෙන් ටිකක් මට [ඉක්මනට, NW] දෙන්න” කියායි. (උත්පත්ති 25:30) දෙවිගේ ඇතැම් සේවකයන්ද මේ හා සමානව කටයුතු කර තිබීම කනගාටුවට කරුණක්. “ගෞරවාන්විත විවාහයක් සිදු වන තෙක් ඉන්නේ මොකටද” කියා සිතමින් තම ලිංගික ආශාවන් සන්සිඳුවා ගැනීමට ඔවුන් ඉක්මන් වෙනවා. විඳින්න වෙන විපාකය මොකක් වුණත් තම ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීම ඔවුන්ගේ රතු පාට කෑම වී තිබෙනවා.
9. දිගටම යෙහෝවා කෙරෙහි ගෞරවාන්විත භයක් ඇතුව සිටීමට අපට හැක්කේ කෙසේද?
9 අපගේ සදාචාරමය පවිත්‍රකම, අඛණ්ඩතාව සහ ආත්මික උරුමය සුළු කොට නොතකමු. පරිශුද්ධ දේවලට කිසිදාක පිටු නොපාමු. ඒසව් මෙන් නොවන්නට උත්සාහ කරමු. ඒ වෙනුවට විශ්වාසවන්ත යාකොබ්ව අනුකරණය කරමින්, දිගටම දෙවි කෙරෙහි ගෞරවාන්විත භයක් ඇතුව සිටිමු. ඒ සඳහා පරිශුද්ධ දේවල් සඳහා ගැඹුරු අගයක් නිතරම පෙන්වමු. අපට මෙවන් යමක් කළ හැක්කේ කොහොමද? යෙහෝවාට අපගෙන් ඕනෑ කරන දේවල් සපුරාලීමට වගබලා ගැනීමෙනුයි. මලාකී 1වන පරිච්ඡේදයේ සඳහන් වී ඇති තුන්වන කාරණය මීට යම් ආකාරයකින් සම්බන්ධ නිසා, දැන් එයට අපගේ අවධානය යොමු කරමු. එය කුමක්ද?
අපට දිය හැකි හොඳම දේ යෙහෝවාට දීම
10. පූජකයන් යෙහෝවාගේ මේසය සුළු කළේ කෙසේද?
10 යූදාහි පූජකයන් යෙහෝවාට දිය හැකි හොඳම පූජා ඔප්පු කරමින් සිටි බව කිසි සේත් පැවසිය නොහැකියි. මලාකී 1:6-8හි කියන දේ බලන්න. “පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. එබැවින් මාගේ නාමය සුළු කරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවල යෙහෝවා නුඹලාගෙන් අසන්නේය.” “එහෙත් අපි ඔබගේ නාමය කුමකින් සුළු කළෙමුදැයි” පූජකයන් ඇසුවා. “මාගේ පූජාසනය පිට අපවිත්‍ර ආහාර ඔප්පු කිරීමෙන්ය” කියා යෙහෝවා පිළිතුරු දුන්නා. එහෙත් “අපි කුමකින් ඔබ අපවිත්‍ර කළෙමුදැයි” කියමින් පූජකයන් නැවතත් ප්‍රශ්න කරනවා. යෙහෝවා මෙසේ පිළිතුරු දෙයි. “යෙහෝවාගේ මේසය සුළුයයි නුඹලා විසින් කීමෙන්ය.” ඔව්, එම පව්කාර පූජකයන් “ඒක නපුරක් නොවේයයි” [NW] කියමින් පූජාවක් ලෙස අන්ධ වූ කොර වූ හෝ රෝගී සතෙකු ඔප්පු කළ සෑම අවස්ථාවකදීම යෙහෝවාගේ මේසය සුළු කළා.
11. (අ) භාරගත නොහැකි වූ මෙවැනි පූජාවන් ගැන යෙහෝවා පැවසුවේ කුමක්ද? (ආ) පොදු ජනයාද මෙම වරදට පංගුකාරයන් වූයේ කවර අන්දමකින්ද?
11 ඊළඟට, භාරගත නොහැකි වූ මෙවැනි පූජාවන් ගැන යෙහෝවා ඔවුන්ට ඉදිරිපත් කළ තර්කය බලන්න. “එය නුඹේ ආණ්ඩුකාරයාට ඔප්පු කරන්න. ඔහු නුඹ කෙරෙහි ප්‍රසන්න වේද? නොහොත් නුඹව පිළිගන්නවාද ඇද්ද?” එවැනි පඬුරක් ලැබීමෙන් ඔවුන්ගේ ආණ්ඩුකාරයා සතුටට පත් වන්නේ නැති බවට කිසිම සැකයක් නැහැ. එසේ නම්, ඔවුන්ගේ පව්කාර අත්වලින් ඔප්පු කරන මෙවැනි අපවිත්‍ර පූජා විශ්වයේ පරමාධිපති පිළිගන්නේ කොහොමද? වරදකරුවන්ව සිටියේ පූජකයන් පමණක් නොවෙයි. අන්ධ, කොර සහ රෝගී සතුන් පූජා කිරීමෙන් ඔවුන් යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ නාමය කෙලෙසමින් සිටි බව ඇත්තයි. එනමුත් පොදු ජනයාද වරදකරුවන්ව සිටියා. යෙහෝවාට ඔප්පු කරන පිණිස, පූජකයන් වෙතට අන්ධ, කොර සහ රෝගී සතුන් ගෙනාවේ පොදු ජනයා නොවේද? මොනතරම් පව්කාරකමක්ද!
12. අපට දිය හැකි උපරිමය යෙහෝවාට දීමට අපට උපකාර ලැබෙන්නේ කෙසේද?
12 යෙහෝවාට දිය හැකි උපරිමය දීම, අප ඇත්තටම ඔහුට ප්‍රේම කරන බව පෙන්වන මාර්ගයයි. (මතෙව් 22:37, 38) මලාකීගේ කාලයේ සිටි හිතුවක්කාර පූජකයන්ට වෙනස්ව, යෙහෝවාගේ වර්තමාන සංවිධානය කදිම ශුද්ධ ලියවිලිමය උපදෙස් සපයන අතර එම උපදෙස් දිව්‍ය අවශ්‍යතා සපුරාලන්නත්, ඒ තුළින් යෙහෝවාව මහිමවත් කරන්නත් අපට උපකාර කරනවා. මලාකී 1වන පරිච්ඡේදයේ සොයාගත හැකි හතරවන වැදගත් කාරණය මෙයට සම්බන්ධයි.
සැබෑ නමස්කාරය සඳහා පොලඹවන්නේ ගිජුකම නොව පරාර්ථකාමී ප්‍රේමයයි
13. පූජකයන් ගිජුකමෙන් පොලඹවනු ලැබූ බව ඔප්පු වූයේ ඔවුන්ගේ කවර ක්‍රියාකලාපයෙන්ද?
13 මලාකීගේ කාලයේ සිටි පූජකයන් ආත්මාර්ථකාමී, හිතක් පපුවක් නැති, මුදලට කෑදර අයව සිටියා. අප එය දන්නේ කොහොමද? මලාකී 1:10 මෙසේ පවසනවා. ‘අනේ, නුඹලා මාගේ පූජාසනය පිට නිෂ්ඵල ලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසා තබන කෙනෙක් නුඹලා අතරේ ඇත්නම් හොඳය! නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත. නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල යෙහෝවා කියයි.’ ඒ කෑදර පූජකයන් තමුන් කළ සේවාවන්ට ගාස්තුවක් නියම කරන්න තරම් දුරදිග ගියා. දොරවල් වැසීම හෝ පූජාසනයේ ගිනි මෙළවීම වැනි පොඩි පොඩි දේවලට පවා ඔවුන් ගාස්තු අය කළා. එසේ නම්, ඔවුන්ගේ අත්වලින් ඉදිරිපත් කළ පූජා යෙහෝවා පිළි නොගැනීම ගැන අප පුදුම විය යුතුද?
14. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රේමයෙන් පෙලඹී ක්‍රියා කරන බව අපට පැවසිය හැක්කේ මන්ද?
14 පුරාණ යෙරුසලමේ විසූ පව්කාර පූජකයන්ගේ කෑදරකම සහ ආත්මාර්ථකාමිත්වය අපට හොඳ හැටි මතක් කර දෙන්නේ කෑදර නොහොත් ගිජු පුද්ගලයන් දෙවිගේ රාජ්‍යය උරුම කර නොගන්නා බවට දේවවචනයෙහි සඳහන් අනතුරු ඇඟවීමයි. (1 කොරින්ති 6:9, 10, NW) තමාගේම යහපත තකා පමණක් සේවය කළ මෙම ආත්මාර්ථකාමී පූජකයන්ගේ ක්‍රියාකලාපය ගැන සිතා බලද්දී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ලොව පුරා සිදු කරන දේශනා කිරීමේ වැඩය සඳහා අපගේ අගයද වර්ධනය වෙයි. අපගේ සේවය ස්වේච්ඡාවෙන් කරනු ලබන්නක්. අපි කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඔව්, අපි ‘දෙවිගේ වචනය බාල වෙළඳ බඩුවක් කරන්නේ නැහැ.’ (2 කොරින්ති 2:17, න. අ.) පාවුල් කීවාක් මෙන් ‘දෙවිගේ සුබ අස්න නොමිලයේ සතුටින් දේශනා’ කළ බව අප සැමදෙනාටමත් අවංකව පැවසිය හැකියි. (2 කොරින්ති 11:7, න. අ.) පාවුල් ‘සතුටින් සුබ අස්න දේශනා කළ’ බව සැලකිල්ලට ගන්න. මෙයින් මලාකී 1වන පරිච්ඡේදයේ පස්වන කරුණ අපගේ අවධානයට යොමු වෙනවා.
දෙවිට සේවය කිරීම යම් පීඩාකාරි පිළිවෙතක් නොවේ
15, 16. (අ) පූජා ඔප්පු කිරීම සම්බන්ධයෙන් පූජකයන්ට ඇත්තේ කවර ආකල්පයක්ද? (ආ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම පූජා ඔප්පු කරන්නේ කෙලෙසද?
15 පුරාණ යෙරුසලමේ විසූ නොඇදහිලිකාර පූජකයන් පූජා ඔප්පු කිරීමේ කාර්යය පීඩාකාරි රාජකාරියක් හැටියටයි සැලකුවේ. එය ඔවුන්ට මහත් බරක් වුණා. මලාකී 1:13හි කියන අන්දමට, “මෙය කොපමණ මහත් වෙහෙසක්දැයි කියා නුඹලා එය සුළු කළහුයයි” දෙවි ඔවුන්ට පැවසුවා. එම පූජකයන් දෙවිගේ පරිශුද්ධ දේවල් සුළු කළා. අප අතින් කවදාවත් එවැනි දෙයක් සිදු නොවන්නට උපකාරය ඉල්ලා යාච්ඤා කරමු. අපි දිගටම උත්සාහ කරමු 1 යොහන් 5:3හි වදන්වල පෙන්වන ආකල්පය විදහාපෙන්වන්නට. එහි පවසන්නේ ‘දෙවිට ප්‍රේමවීම නම් අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බර නැත’ යන්නයි.
16 එසේ නම්, දෙවිට ආත්මික පූජා ඔප්පු කිරීමේ කාර්යය, වෙහෙස කරවන බරක් ලෙස නොව ප්‍රීතිමත් අවස්ථාවක් ලෙස සලකමු. අපි මෙම අනාවැකිමය වචනවලට අවනත වෙමු. “නුඹලා වචන රැගෙන යෙහෝවා වෙතට හැරී ඇවිත්, ඔහුට කතා කොට: අපේ සියලුම අපරාධවලට කමා වී, කරුණාවෙන් අප පිළිගත මැනව. එවිට අපේ තොල්වල පූජා ගොනුන් පූජා කරන්නාක් මෙන් ඔප්පු කරන්නෙමු . . . යයි කියන්න.” (හොෂෙයා 14:2, 3ආ) “තොල්වල පූජා ගොනුන්” කීමෙන් අදහස් කරන්නේ ආත්මික පූජාවන්ය. යෙහෝවාට ප්‍රශංසා කිරීමේදීත්, ඔහුගේ අරමුණු ගැන දැනුම් දීමේදීත් අප පාවිච්චි කරන වචන ඉන් අදහස් වෙනවා. ආත්මික පූජාවන් සම්බන්ධයෙන් හෙබ්‍රෙව් 13:15හි පවසන්නේ මෙසේයි. ‘දෙවිගේ නාමයට ස්තුති කරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන නිතරම දෙවිට ඔප්පු කරමු.’ අපගේ ආත්මික පූජාවන් නිකම්ම යම් වෙහෙස කරවන පිළිවෙතක් නොව නමුත් දෙවි සඳහා අපගේ හෘදයාංගම ප්‍රේමයේ ප්‍රකාශයක් වීම ගැන අපට කොතරම් සතුටු විය හැකිද! දැන් මලාකී 1වන පරිච්ඡේදයෙන් සොයාගත හැකි හයවන කාරණයට අපගේ අවධානය යොමු කරමු.
අප සෑම කෙනෙක්ම ගණන් දිය යුතුයි
17, 18. (අ) ‘ප්රයෝගකාරිව’ ක්‍රියා කළ තැනැත්තාට යෙහෝවා ශාප කළේ මන්ද? (ආ) ප්රයෝගකාරිව ක්‍රියා කළ උදවිය සැලකිල්ලට නොගත්තේ කුමක්ද?
17 මලාකීගේ කාලයේ විසූ පුද්ගලයන්ට තමන් කළ ක්‍රියා සම්බන්ධයෙන් පෞද්ගලිකව වගකියන්න සිදු වුණා. අපිටත් එහෙමයි. (රෝම 14:12; ගලාති 6:5) මලාකී 1:14හි මෙසේ පවසනවා. ‘බාරයක් වී තමාගේ රැළේ [කැලැල් රහිත] පිරිමි සතෙකු සිටිද්දී නරක් වූ සතෙකු යෙහෝවාට ඔප්පු කරන ප්‍රයෝගකාරයාට ශාප වේවා!’ රැළක අයිතිකාරයෙකුට සතුන් රංචුවක්ම අයිතියි. ඔහුට සිටින්නේ එක සතෙකු, උදාහරණයකට එක බැටළුවෙකු පමණක් නොවෙයි. එනිසා තමාට තේරීමක් කළ නොහැකියයි කීමට හේතුවක් ඔහුට තිබුණේ නැහැ. මේ අනුව, පූජාවක් සඳහා සතෙකු තෝරාගනිද්දී, අන්ධ, කොර නැතහොත් රෝගී සතෙකු තෝරාගැනීමට කොහෙත්ම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔහු එවැනි සතෙකු තෝරාගත්තා නම්, එයින් පෙන්වන්නේ ඔහු යෙහෝවාගේ පූජා විධිවිධානයට අගෞරව කළ බවක් නොවේද? ඇත්තෙන්ම සතුන් රැළක්ම සිටි කෙනෙකුට අනිවාර්යයෙන්ම නිරෝගී සතෙකුව තෝරාගැනීමේ හැකියාව තිබුණා.
18 එසේ නම් ‘ප්රයෝගකාරිව’ ක්‍රියා කළ කෙනාට යෙහෝවා ශාප කළේ හොඳ හේතු ඇතුවයි. ඒ මනුෂ්‍යයා ළඟ ඔප්පු කරන්න සුදුසු තත්වයේ සතෙකු සිටියත් ඔහු පූජකයා වෙතට ගෙනාවේ සමහරවිට ඇදගෙන ආවේ අන්ධ, කොර, නැත්නම් රෝගී සතෙකුවයි. ව්‍යවස්ථාවට යොමු දක්වා රෝගී සතෙකු පූජාව සඳහා පිළිගත නොහැකියයි කිසිම පූජකයෙකු පැහැදිලි කළ බවට මලාකීගේ අනාවැකියේ අඟවා නැහැ. (ලෙවී කථාව 22:17-20) තමාගේ ආණ්ඩුකාරයාට කෙසේ හෝ එවැනි පඬුරක් දීමට උත්සාහ කළා නම්, දඬුවම් විඳීමට සිදු වන බව සාධාරණව හිතන ඕනෑම කෙනෙකුට තේරෙන්නට ඇති. එනමුත් ඔවුන් කටයුතු කරමින් සිටියේ ආණ්ඩුකාරයෙකු සමඟ නොව, එවන් කෙනෙකුට ඉඳුරාම වෙනස් වූ ශ්‍රේෂ්ඨ, විශ්වයේ පරමාධිපති යෙහෝවා සමඟයි. මලාකී 1:14හි කියන විදිහට, “මම මහත් රජෙක්ය. මාගේ නාමය ජාතීන් අතරෙහි භයානකව තිබේයයි සේනාවල යෙහෝවා කියන්නේය.”
19. අපගේ හෘදයාංගම ආශාව වන්නේ කුමක් දැකීමද? අප කරමින් සිටිය යුත්තේ කුමක්ද?
19 දෙවිගේ පක්ෂපාත සේවකයන් වන අපගේ හෘදයාංගම ආශාව වන්නේ, ශ්‍රේෂ්ඨ රජ වන යෙහෝවා මුළු මිනිස්වර්ගයාගේම ගෞරවය ලබන දවස දැකීමයි. එදාට “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” (යෙසායා 11:9) ඒ වන තෙක්, දෙවිගේ අවශ්‍යතාවන්වලට එකඟව කටයුතු කිරීමට අපි අපගේ උපරිමය කරමු. ඒ සඳහා ගීතිකාකරුගේ ආදර්ශය අනුකරණය කිරීම වටී. ඔහු පැවසුවේ, “ස්තුති කිරීමෙන් ඔහු උසස් [මහිමවත්, NW] කරන්නෙමි” කියායි. (ගීතාවලිය 69:30) එම අරමුණ ඉටු කරගැනීමට මලාකී තවදුරටත් දෙන උපදෙස් මහෝපකාරි වේවි. මීළඟ ලිපි දෙකේදී, මලාකී පොතෙහි ඉතිරි කොටස්වලට අපගේ පූර්ණ අවධානය දෙමු.
ඔබට මතකද?
• අප යෙහෝවාව මහිමයට පත් කළ යුත්තේ මන්ද?
• මලාකීගේ කාලයේදී පූජකයන් ඔප්පු කළ පූජාවන් පිළිගත නොහැකි වූයේ මන්ද?
• අප යෙහෝවාට ප්රශංසාවේ පූජාවක් ඔප්පු කරන්නේ කෙසේද?
• සැබෑ නමස්කාරයේ යෙදීමට පෙලඹීම කුමක් විය යුතුද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[9වන පිටුවේ පින්තූරය]
මලාකීගේ අනාවැකිය අපගේ කාලයටත් අදාළයි
[10වන පිටුවේ පින්තූරය]
ඒසව් පරිශුද්ධ දේවලට අගයක් දැක්වූයේ නැහැ
[11වන පිටුවේ පින්තූරය]
පූජකයන් සහ ජනතාව ඔප්පු කළේ පිළිගත නොහැකි පූජාවන්
[12වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලොව පුරාම නොමසුරු ප්රශංසාවේ පූජා ඔප්පු කරනවා