Skip to content

පටුනට යන්න

ඔබ විශ්වාස කරන්නේ සැබෑ දෙවි කෙනෙකුවද?

ඔබ විශ්වාස කරන්නේ සැබෑ දෙවි කෙනෙකුවද?

ඔබ විශ්වාස කරන්නේ සැබෑ දෙවි කෙනෙකුවද?

වර්ෂ 1906දී දේශ ගවේෂක රොබට් ඊ. පියරි තම සංචාරයන්වලදී අලුත් ආක්ටික් දේශයක් දුටු බව වාර්තා කළේය. ඉන් වසර හතකට පසුව එම වාර්තාව පිළිබඳව ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා අමෙරිකානු ස්වභාව වස්තු විද්‍යා කෞතුකාගාරය විශේෂ කණ්ඩායමක් පිටත් කර යැවීය.

උතුරු අමෙරිකාවේ වයඹදිග මායිමේ පිහිටි කේප් කොල්ගේට්හි සිට බැලූ පියරිගේ ඇස් ඉදිරියේ දිස් වූයේ ඈත පිහිටි දේශයක සුදුවන් කඳු ශිඛර මෙන් පෙනෙන්ට තිබූ යමකි. ඔහුට මූල්‍යමය වශයෙන් උපකාරය පිරිනැමූ ක්‍රොකර් නම් තැනැත්තාගේ නම පදනම් කරගෙන ඔහු එම දේශයට ක්‍රොකර් ලෑන්ඩ් යන නම පටබැඳීය. මෙම සොයාගැනීම පිළිබඳව ගවේෂණය කිරීමට ගිය කණ්ඩායම ඉදිරියේද කඳු, තැනිතලා හා හිමෙන් වැසුණු කඳු ශිඛරවලින් ගහණ වූ ප්‍රදේශයක් දිස් වන්නට විය. එය දැකීමෙන් ඔවුන් කොතරම් ප්‍රීති උද්දාමයට පත් වෙන්නට ඇද්ද! ඒත් වැඩි වේලාවක් යන්නට කලින් එය නිකම්ම මිරිඟුවක් පමණක් බව ඔවුන්ට වැටහුණි. වායුගෝලයේ සිදු වන වෙනස්කම් හේතුවෙන් මැවෙන මෙවන් දසුනක් මගින් පියරි මුළා වී තිබූ අතර ඒ පිළිබඳව ගවේෂණය කිරීමට ගිය කණ්ඩායමටද සැබෑ නොවන යමක් සෙවීම වෙනුවෙන් තම කාලය, ශ්‍රමය හා සම්පත් නිකරුණේ වැය කිරීමට සිදු විය.

අදදින තමන් සැබෑයයි විශ්වාස කරන දෙවිවරුන්ට භක්ත්‍යාදරය පිරිනැමීම සඳහා බොහෝදෙනෙක් තම කාලය කැප කරති. යේසුස්ගේ ප්‍රේරිතයන් විසූ කාලයේදීද මිනිස්සු හෙර්මීස් හා සියුස් වැනි දෙවිවරුන්ට වන්දනාමාන කළෝය. (ක්‍රියා 14:11, 12) අද ලෝ වටා වෙසෙන ෂින්ටෝ, හින්දු හා වෙනත් ආගමික බැතිමත්හුද දෙවිවරුන් දශලක්ෂ ගණනාවකට නමස්කාර කරති. බයිබලයේ පවසන්නාක් මෙන් “බොහෝ දෙවිවරුන්ද බොහෝ ස්වාමීවරුන්ද [ඇත].” (1 කොරින්ති 8:5, 6) එහෙත් මේ සෑම දෙවි කෙනෙකුම සැබෑ විය හැකිද?

“ගළවන්ට බැරි” දෙවිවරු

උදාහරණයකට නමස්කාරයේදී රූප හෝ සංකේත භාවිත කිරීම සලකා බලන්න. රූප කෙරෙහි තම විශ්වාසය තබන හෝ යාච්ඤා කිරීමේදී ඒවා යොදාගන්නා අය සිතන්නේ ඒවා අද්භූත බලයකින් යුත් ගැළවුම්කරුවන් බවයි. මිනිසුන්ට යහපත් දේවල් දීමටත්, ඔවුන්ව අනතුරුවලින් ගළවාගැනීමටත් ඒවාට බලය තිබෙන බවද ඔවුහු විශ්වාස කරති. ඒත් ගැළවීම ලබා දීමට රූපවලට බලයක් ඇද්ද? ඒ සම්බන්ධයෙන් ගීතිකාකරු මෙසේ ගායනා කළේය. “ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය. ඒවාට කටවල් ඇත, එහෙත් කතා නොකරති. ඇස් ඇත, එහෙත් නොදකිති. කන් ඇත, එහෙත් නොඅසති. ඒවායේ කටවල හුස්මත් නැත.” ඔව්, රූප කියන්නේ කිසිවෙකුව “ගළවන්ට බැරි” දෙවිවරුන් කියා මින් පැහැදිලි වේ.—ගීතාවලිය 135:15-17; යෙසායා 45:20.

රූප සාදන්නන් තමන් නිර්මාණය කරන රූපවලට පණ ඇති බව පවසනවා විය හැකියි. තවද රූප නමස්කාර කරන අයද ඒවා කෙරෙහි විශ්වාසය තබති. “ඔවුහු එය [රූපයක්] කර පිට තබා, උසුලා, එය ගෙන ගොස්, ඊට නියම ඉඩමේ තබති. එයද සිටෙවූ ස්ථානයෙන් නොයයි” කියා යෙසායා පැවසීය. “එසේය, යමෙක් ඊට යාච්ඤා කරන නුමුත් උත්තර දෙන්ටවත් විපතෙන් ඔහු ගළවන්ටවත් එයට බැරිය” කියා ඔහු තවදුරටත් විස්තර කළේය. (යෙසායා 46:7) රූප අදහන අයගේ විශ්වාසය කොතරම් ප්‍රබල වුවද එම රූපයට කෙදිනකවත් පණ එන්නේ නැති බව නොකිවමනාය. එවැනි කැපූ රූප හා වාත්තු කරන ලද පිළිම සියල්ලක්ම “නිෂ්ඵල දෙවිවරුන්ය.”—හබක්කුක් 2:18, NW.

අද ප්‍රබලව දක්නට ලැබෙන තවත් දෙයක් වන්නේ නළු නිළියන්, සංගීතඥයන්, ක්‍රීඩා ලොවේ තරු, දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන් වැනි ඉහළ පෙළේ පුද්ගලයන්ට අනිසි ගරු සැලකිලි හා භක්ත්‍යාදරය පිරිනැමීමයි. ඒ විතරක් නොව, මුදල්ද බොහෝදෙනෙකුගේ දෙවියන් බවට පත් වී ඇත. අදහන්නේ කුමක් හෝ වේවා ඒවාට නැති වටිනාකමක් ආරූඪ කර තිබේ. ඒවා කෙරෙහි විශ්වාසය තබන අයගේ බලාපොරොත්තු කිසිවක් ඉෂ්ට නොවන අතර එසේ ඉෂ්ට කර දීමට රූපවලට කිසිඳු බලයක්ද නැත. උදාහරණයකට, ධනය මගින් බොහෝ ගැටලු විසඳීමට හැකි බව පෙනෙන්ට තිබුණත් ධනයට ඇති බලය මුළා කරවනසුලුයි. (මාර්ක් 4:19, NW) එක් පර්යේෂකයෙක් මුදල් පිළිබඳව මෙම ප්‍රශ්නය මතු කළේය. “බොහෝදෙනෙකු, ඉතා ඕනෑකමින් ලුහුබඳින මෙන්ම සෑම දෙයකටම විසඳුමක් වශයෙන් සැලකෙන දෙයක් ලැබීමෙන් පසුත් මෙතරම් බලාපොරොත්තු සුන්වීම්වලට හා සිත් වේදනාවලට ගොදුරු වන්නේ ඇයි?” ඔව්, යමෙකු ධනය පසු පස හඹා යන්නේ යහපත් සෞඛ්‍යය, තෘප්තිමත් පවුල් ජීවිතයක්, කිට්ටු මිත්‍රයන් හෝ මැවුම්කරු සමඟ තිබෙන අනර්ඝ සබඳතාව වැනි සැබවින්ම වටිනා දේවල් පවා පරිත්‍යාග කරමිනුයි. අවසානයේදී, ඔහු අදහා තිබෙන්නේ ‘බොරු දෙවිකෙනෙකු’ බව ඔප්පු වේ.—යෝනා 2:8, නව අනුවාදය.

‘උත්තර දුන් කිසිවෙක් නොවීය’

සැබෑ නොවන යමක් සැබෑයයි විශ්වාස කිරීම මෝඩකමකි. අනාගතවක්තෘ එලියාගේ කාලයේ බාල් දෙවියා වන්දනා කළ අය මේ දෙය ඉගෙනගත්තේ දුෂ්කර අද්දැකීමකට මුහුණු දුන් පසුවයි. අහසේ සිට ගිනි එවා සත්ව පූජාවක් පුළුස්සා දැමීමට බාල්ට බලය තිබූ බව ඔවුහු තදින්ම විශ්වාස කළෝය. “ඔවුහු උදය පටන් ඉර මුදුන් වේලාව දක්වා බාල්ගේ නාමයෙන් යාච්ඤා කරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තර දුන මැනවැයි කීවෝය.” ඔවුන්ගේ ආයාචනාවලට ඇහුම්කන් දීමට බාල්ට කන් තිබුණාද? ඔවුන්ට උත්තර දීමට ඔහුට කටක් තිබුණාද? වාර්තාව මෙසේ පිළිතුර සපයයි. “නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් සැලකූ කෙනෙක්වත් නොවීය.” (1 රාජාවලිය 18:26, 29) බාල්ට පණ තිබුණේවත් ක්‍රියා කිරීමට බලය තිබුණේවත් නැත. ඔහු සැබෑ දෙවි කෙනෙකු නොවූ බව ඉන් පැහැදිලි විය.

එසේ නම්, සැබෑ වූ දෙවි කෙනෙකුව දැන හඳුනාගෙන ඔහුට නමස්කාර කිරීම කොයිතරම් වැදගත්ද! ඒත් ඔහු කවුද? තවද ඔහු කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

[3වන පිටුවේ පින්තූර]

පියරිගේ මිත්‍ර ඊගින්‍යා ගොඩබිම සොයමින් ක්ෂිතිජය නිරීක්ෂණය කරයි

රොබට්. ඊ. පියරි

[හිමිකම් විස්තර]

Egingwah: From the book The North Pole: Its Discovery in 1909 Under the Auspices of the Peary Arctic Club, 1910; Robert E. Peary: NOAA

[4වන පිටුවේ පින්තූර]

මේ ලෝකයේ භක්ත්‍යාදරයෙන් සලකන දේවලට බොහෝදෙනෙක් මුළා වෙති