පන්ති භේදයේ ගැටලු
පන්ති භේදයේ ගැටලු
“සමානාත්මතාව මිනිස් අයිතිවාසිකමක් විය හැකිය. එහෙත් මිහිපිට ඇති කිසිම අධිකාරියකට එය යථාර්ථයක් කළ නොහැකිය.”
එසේ පැවසුවේ 19වන සියවසේ සිටි ඔනොරෙ ඩි බල්සැක් නම් ප්‍රංශ නවකතාකරුයි. ඔබ ඔහු සමඟ එකඟ වෙනවාද? පන්ති භේදය යනු මහා පාපයක් බවයි බොහෝදෙනාගේ සහජ හැඟීම. එසේ වුණත්, මේ 21වන සියවසේදී මිනිස් සමාජය තවමත් විවිධාකාර සමාජ පන්ති විශාල ගණනකට බෙදී පවතී.
“වර්ෂ 1923-29 දක්වා එක්සත් ජනපදයේ ජනාධිපතිව සිටි කැල්වින් කූලිඩ්ජ් සමාජයේ පැවති පන්ති භේදයෙන් ඇති වී තිබූ ගැටලු ගැන සැලකිලිමත්ව සිටි අතර, “අවසානයේදී වරප්‍රසාද ලත් පන්ති වඳ වී යෑමේ” අපේක්ෂාව ගැන කතා කළේය. කෙසේවෙතත්, කූලිඩ්ජ්ගේ ජනාධිපති ධුරයෙන් අවුරුදු 40කට පමණ පසු, විවිධ මිනිස් වර්ග අතර ඇති සම්බන්ධය අධ්‍යයනය කිරීමට පත් කළ කර්නර් කොමිසම තම භය පළ කරමින් කියා සිටියේ, එක්සත් ජනපදය සමාජ දෙකක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවය. එනම්, “එකට එක්කාසු නොවන හා සමානාත්මතාවක් නැති, කළු සමාජයක් සහ සුදු සමාජයක්” වීම වැළැක්විය නොහැකි බවයි. සමහරුන් පවසන්නේ මේ අනාවැකිය දැනටමත් ඉෂ්ට වී ඇති බවත්, එම රටේ “ආර්ථික මෙන්ම වාර්ගික පරතරය වැඩි වෙමින් පවතින” බවත්ය.
මිනිස් සමානාත්මතාව යථාර්ථයක් නැතහොත් සැබෑවක් කරගැනීම එතරම් අසීරු කාර්යයක් වන්න හේතුව කුමක්ද? ප්‍රධාන හේතුවක් වන්නේ මිනිසාගේ ස්වභාවයයි. “සියලුම මනුෂ්‍යයන්ව අඩුම තරමින් එක කාරණයක් සම්බන්ධයෙන්වත් සමානව මවා ඇත. එය නම් අසමාන වීමට තිබෙන ආශාවයි” කියා හිටපු එ.ජ. කොංග්‍රස් සාමාජිකයෙකු වූ විලියම් රැන්ඩොල්ෆ් හර්ස්ට් වරක් පැවසුවේය. ඔහු එයින් අදහස් කළේ කුමක්ද? දහනවවන සියවසේ සිටි ප්‍රංශ නාට්‍ය රචක ඔන්රි බෙක් කියූ දෙය වඩා පැහැදිලි ඇති. “සමානාත්මතාව අත් කරගැනීම වඩා අසීරු කාර්යයක් වන්නේ, අපද සමාන වීමට උත්සාහ කරන්නේ අපට වඩා උසස් අය හා සමඟ පමණක් නිසයි.” වෙනත් වචනවලින් කියනවා නම්, මිනිසුන් සමාන වීමට හදන්නේ තමන්ට වඩා උසස් සමාජ තලයක සිටින අය සමඟය. එහෙත්, තමන්ගේ වරප්‍රසාද සහ සැප පහසුකම් සීමා කරගෙන සමාජයේ තමන්ට වඩා පහත් මට්ටමේ සිටිනවායැයි කියන අය හා සමාන වීමට බොහෝදෙනෙකු කැමති නැත.
අතීතයේදී, කෙනෙකු අයිති වන්නේ පොදු ජනයාගේ පන්තියටද, රදළ පන්තියටද, එසේත් නැත්නම් රාජකීය පවුලටද යන්න උපත අනුව තීරණය විය. රටවල් අතළොස්සක එය අදටත් සැබෑවකි. එහෙත්, අද බොහෝ දේශවල කෙනෙකු පහළ, මධ්‍යම හෝ ධනපති පන්තියේද කියා තීරණය කරන්නේ ඔවුන් සතුව මුදල් තිබීමේ හෝ නොතිබීමේ පදනම මතය. ඒ වුණත්, කෙනෙකුගේ සමාජ පන්තිය වර්ගය, අධ්‍යාපනය සහ සාක්ෂරතාව වැනි වෙනත් හේතු මතද වර්ග කෙරේ. ගැහැනිය පහත්යැයි සැලකෙන
සමාජවල ඔවුන්ට වෙනස්කම් කිරීමට කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂභාවයද මූලික හේතුවක් වෙයි.පෙනෙන තෙක් මානයකවත් බලාපොරොත්තුවක් තිබේද?
සමහර පන්ති බාධක බිඳ හෙළීමට මානව හිමිකම් නීතිවලට හැකි වී තිබේ. එක්සත් ජනපදයේ ඇතැම් පන්ති භේදවලට එරෙහිව නීති පනවා ඇත. දකුණු අප්‍රිකාවේ වර්ණ භේදය නීතියෙන් තහනම් කර තිබේ. වහල්භාවය තවමත් ලොව පුරා පැතිර තිබුණත්, බොහෝ රටවල එය නීති විරෝධීය. ඇතැම් ආදිවාසී ජනතාවගේ ඉඩම් අයිතිය පිළිගැනීමට බල කෙරෙන නීතික තීන්දු දී ඇත. වෙනස්කම් කිරීමට එරෙහිව දමා තිබෙන නීති, සමහර නැති බැරි පන්තිවලට ද්‍රව්‍යමය අතින් සහනයක් වී තිබේ.
සමාජයේ පවතින පන්ති භේදය වඳ කර දැමීමට මේවාට හැකිව තිබේද? සැබවින්ම නැත. සමහර පන්ති භේද දැන් දුර්වල වී ගොස් තිබුණත්, අලුත් භේද ඇති වෙමින් පවතී. තොරතුරු යුගයේ පන්ති භේදය නමැති පොතේ (සිංහලෙන් නැත) මෙසේ කියයි. “ධනපති පන්තියය, වැඩ කරන පන්තියය කියා වෙන් කිරීම අදට උචිත නැති බව පෙනේ. ඊට හේතුව වන්නේ, අප්‍රමාණ සංඛ්‍යාවක් සිටින මේ පන්ති දෙක වෛරයෙන් සිටින කුඩා උපකණ්ඩායම්වලට බෙදී සිටීම නිසාවෙනි.”
සමාජ පන්ති භේදය දිගින් දිගටම මිනිසාව භේදභින්න කරාවිද? මීළඟ ලිපිය පෙන්වන ආකාරයට මිනිසා අන්ත අසරණ වී නැත.