“අහෝ ඇදහිල්ල වෙනුවෙන් නොපසුබටයි”
ජීවිත කතාව
“අහෝ ඇදහිල්ල වෙනුවෙන් නොපසුබටයි”
පැවසුවේ හ’බට් මූල
හිට්ලර්ගේ හමුදාව නෙදර්ලන්තය ආක්‍රමණය කරලා මාස කීපයකට පස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේවසේවයට තහංචි පැනෙව්වා. වැඩි කල් යන්න කලින්, නාට්සීන් අල්ලගන්න සොයන අයගේ ලැයිස්තුවට මාවත් ඇතුළත් වුණා. ඒගොල්ලෝ හරියට පිස්සු බල්ලෝ වගේ මගේ පස්සෙන්ම පැන්නුවා.
හැංගි හැංගි හොරෙන් එහෙට මෙහෙට පැන පැන ඉඳලා හොඳටම හෙම්බත් වෙලා හිටිය නිසා දවසක් මම මගේ භාර්යාවට කිව්වා මීට වඩා හොඳයි හමුදාවට අහු වුණා නං කියලා. ඒත් එක්කම මට ගීතිකාවක කෑල්ලක් මතක් වුණා. “අහෝ! ඇදහිල්ල වෙනුවෙන් නොපසුබටයි, සතුරු බලයෙන් සිරව සිටියත්” * කියන වචන ටික ගැන කල්පනා කරද්දී මට අමුතුම ශක්තියක් ආවා. ජර්මනියේ හිටිය මගේ දෙමාපියන්වත්, මට සුභ පතන්න ආපු මගේ යාළුවෝ මේ ගීතිකාව ගැයුව දිනයත් මගේ මතකයට නැඟුණා. මං ඒ සිද්ධ වුණ දේවල් කීපයක් ගැන ඔබටත් කියන්නම්.
මගේ දෙමාපියන්ගේ ආදර්ශය
මම ඉපදුණේ 1913දියි. ඒ කාලයේ මගේ දෙමාපියන් මා උපන් නගරය වූ කෝපිට්ස්හි එවැන්ජලිස්ත පල්ලියේ සාමාජිකයන් වෙලා හිටියා. * ඊට වසර හතකට පස්සේ, ඒ කියන්නේ 1920දී තාත්තා පල්ලියෙන් අයින් වුණා. පල්ලියෙන් අයින් වෙනවා කියලා ප්‍රකාශයක් කරන්න ඔහු අප්‍රියෙල් 6වෙනිදා ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ගියා. නගරයේ රෙජිස්ට්‍රාර් පෝර්මය පිරෙව්වා. නමුත්, සතියකට පස්සේ ආපහු තාත්තාට එහි යන්න සිද්ධ වුණා ඔහුගේ දියණියගේ නම එහි ඇතුළත් කරලා නැති බව කියන්න. මාර්තා මාගාරේතා මූලද පල්ලියෙන් අයින් වුණ බව සඳහන් කරමින් නිලධාරියා තවත් පෝර්මයක් පිරෙව්වා. එතකොට මගේ නංගි මාගාරේතාගේ වයස අවුරුදු එකහමාරයි. ඉතිං මේ වගේ සුළු දේවලදී පවා යෙහෝවාගේ නමස්කාරය හා බැඳි දේවල් අකුරටම කරන්නයි තාත්තා උත්සාහ කළේ!
ඒ අවුරුද්දෙම මගේ දෙමාපියන් බයිබල් ශිෂ්‍යයන් බවට පත් වුණා. ඒ කාලේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්නුවේ ඒ නමින්. තාත්තා අපිට ඕන ඕන දේවල් කරන්න ඉඩ දුන්නේ නැති වුණත්, ඔහු යෙහෝවාට පක්ෂපාතකම දක්වපු කෙනෙක් නිසා ඔහුගේ මඟ පෙන්වීම පිළිගන්න අපිට අමාරු වුණේ නැහැ. මගේ දෙමාපියන්ගේ පක්ෂපාතකම හින්දා ඒගොල්ලන්ට යම් යම් වෙනස්කම් කරන්න පුළුවන් වුණා. ඒ ගැන උදාහරණයක් කියන්නම්. එක කාලෙකදී අපිට ඉරිදා දවස්වල ගෙයින් පිට සෙල්ලම් කරන්න ඉඩ දුන්නේ නැහැ. කොහොමවුණත්, 1925 එක් ඉරිදාවක අපේ දෙමාපියන් අපිට කිව්වා අපි ඔක්කොම අද ඇවිදින්න යනවා කියලා. ඉතිං අපි කෑම වර්ග කීපයකුත් අරගෙන ගිහින් විනෝද වුණා. මුළු දවසෙම ගෙදරට කොටු වෙලා හිටිය අපිට ඒක මොනතරම් වෙනසක්ද! ඒ වගේ වෙනසක් වුණේ ඉරිදා වැඩකටයුතු සම්බන්ධයෙන් තිබුණු වැරදි අදහස් නිවැරදි කරගන්න ඒ දවස්වල සමුළුවකදී ඉගෙනගත්ත කරුණු කීපයක් තමන්ට උදව් වුණ හින්දයි කියලා තාත්තා කිව්වා. ඒ වගේම වෙන අවස්ථාවලදීත්, යම් යම් වෙනස්කම් කරන්න ඔහු කැමැත්තක් දැක්වුවා.
මගේ දෙමාපියන්ට ඒ තරම් හොඳ සෞඛ්‍ය තත්වයක් තිබුණේ නැතත්, ඔවුන් දේශනා සේවය අත්හරින්න කැමති වුණේ නැහැ. උදාහරණයක් වශයෙන්, ඉක්ලීසියැස්ටික්ස් ඉන්ඩයිටඩ් යන මාතෘකාවෙන් යුත් පත්‍රිකාවක් බෙදාහරින්න අපි එක හැන්දෑ වරුවක සභාවේ අනිත් අයත් එක්ක දුම්රියකට ගොඩ වෙලා ඩ්‍රෙස්ඩන්වලින් කිලෝමීටර් 300ක් විතර ඈතින් වූ රිගෙන්ස්බර්ග් නගරය බලා පිටත් වුණා. ඊළඟ දවසේ අපි ඒ නගරයේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනකම පත්‍රිකා බෙදාහැරලා, ආපහු දුම්රියේම ගෙදර ආවා. අපේ මුළු ගමනටම පැය 24ක් විතර ගත වෙලා තිබුණා.
නිවසෙන් පිට වී යෑම
මගේ සභාවේ හිටිය යොවුන් කණ්ඩායම එක්ක ආශ්‍රය කිරීමෙනුත් මට ආත්මිකව දියුණු වෙන්න උපකාරයක් ලැබුණා. හැම සතියකම, වයස අවුරුදු 14ට වැඩි යෞවනයන් සභාවේ වැඩිහිටි සහෝදරයන් කීපදෙනෙක් එක්ක ආශ්‍රය කළා. අපි එකට ක්‍රීඩා කළා; සංගීත භාණ්ඩ වාදනය කළා; බයිබලය පාඩම් කළා; මැවීම හා විද්‍යාව ගැන කතා කළා. කොහොමවුණත්, 1932දී, ඒ කියන්නේ මට අවුරුදු 19දී ඒ කාණ්ඩෙ එක්ක තිබුණු මගේ ආශ්‍රය නැවතුණා.
ඒ අවුරුද්දෙම අප්‍රියෙල්වලදී, මැග්ඩබර්ග්හි වොච් ටවර් සමිතියෙන් තාත්තට ලියුමක් ලැබුණා. එහි සඳහන් වුණේ කාර් එකක් එළවන්නත්, පුරෝගාමී සේවයේ යෙදෙන්නත් පුළුවන් කෙනෙක්ව සමිතියට වුවමනා වෙලා තිබුණ බවයි. මම පුරෝගාමී සේවය කරනවාට මගේ දෙමාපියන් කැමති බව දැනගෙන හිටියත්, මට හැඟුණේ ඒක කරන්න බැහැයි කියලයි. මගේ දෙමාපියන් දුප්පත් නිසා මම අවුරුදු 14 වෙනකොටත් බයිසිකල් සහ මහන මැෂින් විතරක් නෙවෙයි ටයිප්රයිටර් සහ කන්තෝරුවල තියෙන වෙනත් භාණ්ඩත් අලුත්වැඩියා කරන්න පටන්ගෙන තිබුණා. මගේ පවුලේ අයට මගේ උපකාරය ඕන වෙලාවේ ඒගොල්ලන්ව දාලා යන එක හරිද? ඒ විතරක් නෙවෙයි, මම එතකොට බව්තීස්ම වෙලා හිටියෙත් නැහැ. බව්තීස්මය කියන්නෙ මොකක්ද කියන එක තේරුම් අරං තියෙනවාද කියලා දැනගන්න, තාත්තා මාත් එක්ක වාඩි වෙලා මගෙන් ප්‍රශ්න කීපයක් ඇහැව්වා. බව්තීස්ම වෙන්න තරම් ආත්මික දියුණුවක් ලබලා තියෙන බව මං දීපු උත්තරවලින් වටහාගත්ත ඔහු මෙහෙම කිව්වා. “ඔයා මේ පැවරුම භාරගත්තොත් හොඳයි.” ඉතින් මම ඒ පැවරුම භාරගත්තා.
සතියකට පස්සේ මට මැග්ඩබර්ග්වලට එන්න කියලා ආරාධනයක් ලැබුණා. යොවුන් කණ්ඩායමේ හිටිය මගේ යාළුවන්ට මම ඒක කිව්වහම ප්‍රීතිමත් ගීතිකාවක් ගයලා මට සමු දෙන්න ඒගොල්ලන්ට ඕනෙ වුණා. හැබැයි මම තේරුවේ, බැරෑරුම් අර්ථයක් තියෙන ගීතිකාවක් නිසා ඒගොල්ලො පුදුම වුණා. ඒත්, කීපදෙනෙක් වයලින්, මැන්ඩලින් සහ ගිටාර් වාදනය කරන්න පටන්ගත්තා. ඒත් එක්කම අපි ඔක්කොම
එකතු වෙලා “අහෝ! ඇදහිල්ල වෙනුවෙන් නොපසුබටයි, සතුරු බලයෙන් සිරව සිටියත්. භීතියට පත් නොවෙයි, ඕනෑම භූමික විපතක් අද්දර වුවත්” කියන ගීතිකාව ගායනා කළා. අනාගතයේදී ඒ වචනවලට මාව මොනතරම් ශක්තිමත් කරන්න පුළුවන් වෙයිද කියලා එදා මම දැනගෙන හිටියේ නැහැ.දුෂ්කර ආරම්භයක්
මැග්ඩබර්ග්හි සහෝදරයන් වාහන පැදවීමේ මගේ හැකියාව සෝදිසි කළාට පස්සේ මටත් තවත් පුරෝගාමීන් හතරදෙනෙකුටත්, කාර් එකක් භාර දුන්නා. ඉතින් ඊට පස්සේ අපි බෙල්ජියම කිට්ටුව පිහිටි පළාතක් වන ෂ්නයිෆල් බලා පිටත් වුණා. කාර් එකක් ලැබුණ එක කොච්චර හොඳද කියලා අපිට ඉක්මනින්ම තේරුණා. අපේ පැමිණීම රිස්සුවේ නැති ඒ පළාතේ කතෝලික පූජකයන්ගේ උසිගැන්වීම් නිසා ගම්මු අපිව එළවලා දාන්නයි හුඟක් වෙලාවට උත්සහ කළේ. නමුත් කාර් එක තිබුණ නිසා අපිට හුඟක් අවස්ථාවලදී ඔවුන්ගේ හිරිහැරවලින් බේරිලා යන්න පුළුවන් වුණා.
වර්ෂ 1933 සිහිකිරීමේ උත්සවයෙන් පස්සේ, ජර්මනිය පුරා සමිතියේ වැඩ තහනම් කරලා කියලා ප්‍රදේශය භාර අවේක්ෂක පෝල් ග්‍රෝස්මාන් අපිට කිව්වා. ඊට ටික දවසකට පස්සේ, මගේ කාර් එකෙන් මැග්ඩබර්ග්වලට ගිහින් එහෙ තිබුණ පොත් පත් අරගෙන කිලෝමීටර් 100ක් විතර ඈතින් පිහිටි සැක්සනි ජනපදයට ගෙනියන්න කියලා ශාඛා කාර්යාලයෙන් මට කිව්වා. කොහොමවුණත්, මම මැග්ඩබර්ග්වලට යනකොට නාට්සි රහස් පොලිසිය සමිතියේ කාර්යාලය වහලා දාලා තිබුණා. මම ලිප්සිග්හි සහෝදරයෙකුට කාර් එක භාර දීලා ගෙදර ගියා. නමුත් එහෙම ගියේ වැඩි කලක් එහෙ ඉන්න හිතාගෙන නෙවෙයි.
නෙදර්ලන්තයේ පුරෝගාමී සේවය පටන්ගන්න කියලා ස්විට්සර්ලන්තයේ තිබුණ සමිතියේ කාර්යාලයෙන් මට ආරාධනාවක් ලැබුණා. මම හිතුවේ ඊට සතියකට දෙකකට විතර පස්සේ යනවයි කියලයි. ඒත් හැකි ඉක්මනින්ම පිටත් වෙන්න කියලා තාත්තා මට අවවාද කළා. ඔහුගේ අවවාදයට කීකරුව මම පැය කීපයක් ඇතුළතදී නිවසෙන් පිට වුණා. හමුදාවට නොබැඳීමේ චෝදනාව මත මාව අත්අඩංගුවට ගන්න ඊළඟ දවසේ පොලිසිය අපේ ගෙදරට ඇවිත් තිබුණා. එතකොටත් ඔවුන් ප්‍රමාද වැඩියි.
නෙදර්ලන්තයේදී සේවය පටන්ගැනීම
ඇම්ස්ටඩෑම්වලින් කිලෝමීටර් 25ක් දුරින් වූ හෙම්ස්ටේඩවල තිබුණු පුරෝගාමී නිවසකට මම 1933 අගෝස්තු 15වෙනිදා ගියා. ඊළඟ දවසේදී, ඕලන්ද භාෂාවේ වචනයක්වත් කතා කරන්න නොදැන මම දේශනා සේවයේ යෙදුණා. පණිවිඩයක් මුද්‍රණය කළ සාක්ෂි පතක් අතැතිව මම සේවය ඇරඹුවා. කතෝලික ස්ත්‍රියක් රෙකන්සිලියේෂන් නමැති පොත ලබාගත්තහම මට ඇති වුණේ අමුතුම දිරිගැන්වීමක්! ඒ දවසේදීම මම පොත්පිංච 27කුත් බෙදා දුන්නා. නැවතත් නිදහසේ දේශනා කරන්න ලැබුණු නිසා එදා දවස අවසානයේදී මට ලොකු ප්‍රීතියක් දැනුණා.
ඒ දවස්වලදී පොත් පත් බෙදාහැරීමෙන් පුරෝගාමීන්ට ලැබුණු සම්මාදම් ඇරෙන්න වෙන කිසි ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. ඒ මුදල් පාවිච්චි කළේ කෑම බීම සහ වෙනත් අත්‍යවශ්‍යම දේවල් ගන්නයි. මාසේ අවසානයේදී මුදල් ටිකක් ඉතුරු වුණොත්, පුද්ගලික වියදම් සඳහා පුරෝගාමීන් ඒ මුදල ඔවුන් අතරේ බෙදාගත්තා. ද්‍රව්‍යමය අතින් අපිට තිබුණේ ස්වල්පයක් වුණත්, 1934දී ස්විට්සර්ලන්තයේ සමුළුවකට සහභාගි වෙන්න පුළුවන් වෙන විදිහට යෙහෝවා අපේ අවශ්‍යතා සැපයුවා.
විශ්වාසවන්ත සහකාරියක්
සමුළුවේදී, මම 18-හැවිරිදි එරිකා ෆින්කේව දැක්කා. මම ගෙදර හිටිය කාලේ ඉඳන්ම ඇයව දැනගෙනයි හිටියේ. ඇය මගේ නංගිගේ යෙහෙළියක්. සත්‍යය වෙනුවෙන් එරිකා ගත්ත ස්ථාවරය ගැන මම පැහැදිලා හිටියා. ඈ 1932දී බව්තීස්මය ලබාගෙන වැඩි කලක් යන්න කලින් කවුරුහරි ඇය ගැන නාට්සි රහස් පොලිසියට ඔත්තුවක් දීලා තියෙනවා, ඇය “හයිල් හිට්ලර්” (ගැළවීම හිට්ලර්ගෙන්!) කියලා ආචාර කළේ නැහැයි කියලා. ඉතින් නාට්සි රහස් පොලිසිය ඇයව අල්ලගෙන ගිහින් එහෙම නොකිරීමට හේතුව ඇගෙන් බලෙන් දැනගන්න උත්සාහ කළා. එරිකා, පොලිසියේ හිටිය නිලධාරියාට ක්‍රියා 17:3 කියවලා, දෙවි ගැළවුම්කරුවා හැටියට පත් කරලා තියෙන්නේ එක මනුෂ්‍යයෙකුව විතරයි, ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් කියලා පැහැදිලි කළා. “තමුන්ගේ ඇදහිල්ලට අයිති තවත් අය ඉන්නවද” කියලා නිලධාරියා තර්ජනාත්මක ස්වරූපයකින් ඇහැව්වා. කිසිම නමක් හෙළි නොකිරීමට එරිකා වගබලාගත්තා. නම් ටික කිව්වෙ නැත්තං හිරේ දානවා කියලා පොලිස් නිලධාරියා තර්ජනය කළහම, මැරුණත් මම කියන්නේ නැහැ කියලා එරිකා ඔහුට කිව්වා. ඔහු ඇයට ඔරවලා “මෙතන තවත් මොහොතක්වත් රැඳෙන්නේ නැතුව යන්නයි කිව්වේ ගෙදර. හයිල් හිට්ලර්!” කියලා බෙරිහන් දුන්නා.
සමුළුවෙන් පස්සේ, එරිකා ස්විට්සර්ලන්තයේ ඉන්දැද්දී මම නෙදර්ලන්තයට ආපහු ගියා. ඒත්, අපි තවත් එකිනෙකාට කිට්ටු වුණා කියලා අපි දෙන්නාටම හැඟුණා. ස්විට්සර්ලන්තයේ ඉන්න අතරතුරේදී, නාට්සි රහස් පොලිසිය එරිකාගේ මව් රට තුළ තමන්ව සොයන බව ඇයට දැනගන්න ලැබුණා. ඒ නිසා ස්විට්සර්ලන්තයේ නැවතිලා පුරෝගාමී සේවයේ යෙදෙන්න ඈ තීරණය කළා. ඊට මාස කීපයකට පස්සේ ස්පාඤ්ඤයට යන්න කියලා ඇයට සමිතියෙන් දන්වලා තිබුණා. මුලින්ම මැඩ්රිඩ්වල, ඊට පස්සේ බිල්බාඔවල, ඊටත් පස්සේ ශාන්ත සෙබස්තියන්වල ඇය පුරෝගාමී සේවයේ යෙදුණා. එහිදී පූජකයන්ගේ උසිගැන්වීම නිසා ඇයටත් ඇගේ පුරෝගාමී මිතුරියටත් හිංසා කරලා ඒගොල්ලන්ව හිරේ දමනු ලැබුවා. වර්ෂ 1935දී ස්පාඤ්ඤයෙන් පිට වෙන්න කියලා ඔවුන්ට නියෝග කළා. මේ නිසා එරිකා නෙදර්ලන්තයට ආවා. ඒ අවුරුද්දෙම අපි දෙන්නා විවාහ වුණා.
යුද්ධයක සේයාවක්
අපේ විවාහයෙන් පස්සේ අපි හෙම්ස්ටේඩවල පුරෝගාමී සේවයේ යෙදුණු අතර, ඊට පස්සේ රොටර්ඩෑම් නගරයේ පදිංචියට ගියා. එහේ ඉන්නකොට, 1937දී, අපේ පුතා වොල්ෆ්ගාන් ඉපදුණා. ඊට අවුරුද්දකට පස්සේ අපි උතුරු නෙදර්ලන්තයේ ග්‍රොනීන්ගෙන් නගරයේ පදිංචියට ගියා. එහෙදී ජර්මන් ජාතික පුරෝගාමීන් වූ ෆර්ඩිනාන්ට් හා හෙල්ගා හෝල්ටෝෆ් සහ ඔවුන්ගේ දියණිය එක්ක එකම නිවසෙයි අපි පදිංචි වෙලා හිටියේ. ජර්මන් ජාතික සාක්ෂිකරුවන්ට නෙදර්ලන්තයේ දේශනා කිරීම තහනම් කරමින් ඕලන්ද රජය නියෝගයක් පනවා තිබෙනවා කියලා 1938 ජූලිවලදී සමිතියෙන් අපිට දැනුම් දුන්නා. ඒ කාලයේදීම මාව කලාපීය සේවකයා (චාරිකා අවේක්ෂක) හැටියට පත් කළ අතර, ලිච්ට්ඩ්‍රාග (ප්‍රදීපකයා) යනුවෙන් හැඳින්වූ බෝට්ටුව අපේ පවුලේ නිවහන බවට පත් වුණා. උතුරු නෙදර්ලන්තයේ දේශනා කිරීම සඳහා පුරෝගාමීන්ට සමිතිය විසින් සපයා තිබුණු නිවස තමයි ඒක. හුඟක් වෙලාවට, දේශනා සේවයේ නොකඩවාම යෙදෙන්න කියලා සහෝදරයන්ව දිරිගන්වන්න මම සයිකලයෙන් සභාවෙන් සභාවට ගියා. ඒ හින්දා මට මගේ පවුලේ අයගෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා. ඒ සහෝදරයනුත් ලැබුණු උපදෙස් හොඳින් පිළිපැද්දා. සමහරු ඔවුන්ගේ සේවය වැඩි වැඩියෙන් කරන්න පටන්ගත්තා. ඒකට හොඳම උදාහරණය තමයි විම් කෙටලාරේ.
මට විම්ව මුණගැහෙනකොට, ඔහු සත්‍යය වටහාගෙන හිටියත්, ගොවිපොළක වැඩ කරපු කාර්ය බහුල තරුණයෙක් වුණ නිසා ඔහුට වෙන දේවල් කරන්න කාලයක් ඉතුරු වුණේ නැහැ. “යෙහෝවාට සේවය කරන්න ඔයා කැමති නම් වෙන රස්සාවක් හොයාගන්න වෙයි” කියලා මම ඔහුට අවවාද කළා. ඔහු එහෙම කළා. පස්සේ දවසකදී, ආපහු අපි මුණගැහුණහම මම ඔහුට දිරිගැන්නුවා පුරෝගාමී සේවයේ යෙදෙන්න කියලා. “ඒත් වැඩක් නොකර මං කන්නේ කොහොමද?” කියලා ඔහු ඇහැව්වා. “ඔයාට කෑම ලැබෙයි. යෙහෝවා ඔයාව බලාගනියි” කියලා මම කිව්වා. විම් පුරෝගාමී සේවයේ යෙදෙන්න පටන්ගත්තා. පසුව, IIවන ලෝක යුද්දේ කාලෙදී පවා ඔහු සංචාරක අවේක්ෂකයෙක් හැටියට සේවය කළා. අද 80 ගණන්වල පසු වෙන විම් තවමත් ජ්වලිත සාක්ෂිකරුවෙක්. ඇත්තෙන්ම යෙහෝවා ඔහුව බලාගත්තා.
තහනම යටතේ, අල්ලාගැනීමට සොයමින්
අපේ දුව රයිනා ඉපදිලා අවුරුද්දකට විතර පස්සේ 1940 මැයිවලදී, ඕලන්ද හමුදාව යටත් වූ අතර නාට්සීන් නෙදර්ලන්තය අල්ලගත්තා. ජූලි මාසයේදී නාට්සි රහස් පොලිසිය සමිතියේ කාර්යාලය හා මුද්‍රණ යන්ත්‍ර රාජසන්තක කළා. ඊළඟ අවුරුද්දේදී සාක්ෂිකරුවන්ව අත්අඩංගුවට ගන්න පටන්ගත්තහම මාවත් කොටු වුණා. මම සාක්ෂිකරුවෙක් නිසාත්, යුද්ධයට බඳවගන්නා වයසේ හිටිය නිසාත් නාට්සි රහස් පොලිසිය මට කරන්න යන දේ ගැන නම් අමුතුවෙන් හිතන්න ඕනෙ වුණේ නැහැ. මට ආයි කවදාවත්ම මගේ පවුලේ අයව දකින්න ලැබෙන එකක් නැහැයි කියලා මම හිතුවා.
පස්සේ 1941 මැයිවලදී නාට්සි රහස් පොලිසිය මාව නිදහස් කරලා හමුදා සේවයට වාර්තා කරන්න
කියලා මට නියෝග කළා. මට අදහගන්නවත් බැරුව ගියා. හැබැයි, මම ඒ දවසෙම හැංගුණා. ඊට පස්සේ ඒ මාසයේදීම ආපහු මම චාරිකා සේවය පටන්ගත්තා. නාට්සි රහස් පොලිසියත් මගේ පස්සෙන්ම පැන්නුවා.පවුලේ අය පැනනැඟුණු තත්වයට මුහුණ දුන් අයුරු
මේ වෙනකොට මගේ බිරිඳයි, ළමයිනුයි නැඟෙනහිර නෙදර්ලන්තයේ ෆෝර්ඩන් ගම්මානයට ගිහින් තිබුණා. ඒ වුණත්, ඔවුන්ව අනතුරෙන් බේරගන්න ඕනේ නිසා මට සිද්ධ වුණා නිතර ගෙදර නොයා ඉන්න. (මතෙව් 10:16) ආරක්ෂිත පියවරක් වශයෙන් සහෝදරයන් මගේ නියම නම පාවිච්චි නොකර ඩයිට්ස යාන් (ජර්මන් භාෂාවෙන් ජෝන්) කියන ව්‍යාජ නම විතරක් පාවිච්චි කළා. ඒ වෙනකොට වයස අවුරුදු හතරක් වූ මගේ පුතා වොල්ෆ්ගාන්ට පවා “තාත්තා” ගැන කතා කිරීම තහනම් කරලා තිබුණා. හැබැයි “ඕම යාන්” (ජෝන් මාමා) කියලා විතරක් කියන්න එයාට උගන්නලා තිබුණා. එහෙම කියන එක එයාට ඒ තරම් ලේසි දෙයක් වුණේ නැහැ.
මම පොලිසියට අහු නොවී ඉන්න උත්සාහ කළ කාලය අතරතුරේදී එරිකා දරුවන්ව බලාගනිමින් දිගටම දේශනා සේවයෙත් ගියා. රයිනාට අවුරුදු දෙකේදී, එරිකා ඇයව සයිකලයේ ගමන් බඩු දමන කූඩයේ දමාගෙන ගම්බද පළාත්වල දේශනා සේවයේ ගියා. කෑම බීම සොයාගැනීම ලේසි පහසු දෙයක් වුණේ නැතත්, එරිකා කවදාවත් පවුලට අවශ්‍ය දේවල් ලබාගන්න බැරුව ලත වුණේ නැහැ. (මතෙව් 6:33) කලින් මට කියලා මහන මැෂිමක් අලුත්වැඩියා කරගත්ත එක කතෝලික ගොවියෙක් ඇයට අර්තාපල් දුන්නා. ඒ විතරක් නෙවෙයි මගේ පණිවිඩත් එරිකාට ගිහින් කිව්වා. එක වතාවක් ඈ ඔසු සලකින් යමක් මිල දී ගන්න ගල්ඩනයක් (මුදල් ඒකකයක්) ගෙව්වා. ඈ හැංගිලා ජීවත් වෙන බවත්, ඇයට ආහාර සලාක පත් ලබාගන්න හැකියාවක් නැති බවත් දැනගෙන හිටිය එහි අයිතිකරු ඇය මිල දී ගන්න ගිය දේත් ගල්ඩන දෙකකුත් ඇයට දුන්නා. එවැනි දයානුකම්පිත උපකාරවලිනුයි ඈ පණකෙන්ද රැකගත්තේ.—හෙබ්‍රෙව් 13:5.
නිර්භීත සහෝදරයන් එක්ක කරට කර වැඩේ යෙදී
මේ අතරතුරේදී, මම දිගටම සභාවලට ගිහින් වගකීම් දරන සහෝදරයන්ව විතරක් හම්බ වුණා. නාට්සි රහස් පොලිසිය මගේ පස්සෙන්ම පැන්නුව නිසා මට එක තැනක වැඩි වෙලාවක් රැඳෙන්න බැරි වුණා. සහෝදර සහෝදරියන්ගෙන් බොහෝදෙනෙකුට මාව මුණගැහෙන්න අවසර තිබුණේ නැහැ. ඒ වගේම, ඔවුන් දැනගෙන හිටියේ ඔවුන්ගේ කුඩා බයිබල්-අධ්‍යයන කණ්ඩායමේ හිටිය සාක්ෂිකරුවන්ව විතරයි. මේ නිසා, එකම නගරයේ ප්‍රදේශ දෙකක හිටිය මාංසික සහෝදරියන් දෙන්නෙක් යුද්දේ පැවතුණ කාලේදී සාක්ෂිකාරියන් බවට පත් වෙලා තිබුණත්, ඔවුන් ඒ බව දැනගත්තේ IIවන ලෝක යුද්ධයෙන් පස්සෙයි.
සමිතියේ පොත් පත් සැඟවීමට තැන් සොයන්නත් මට භාර වෙලා තිබුණා. හදිස්සියේවත් ඕන වුණොත් කියලා හිතාගෙන අපි මුරටැඹ පිටපත් හදන්න අවශ්‍ය කඩදාසි, ස්ටෙන්සිල් මැෂින් සහ ටයිප්රයිටර් හැංගුවා. සමහර අවස්ථාවලදී, සමිතියෙන් අච්චු ගැහැව්ව පොත් අපිට එක තැනකින් තවත් තැනකට ගෙනිහින් හංගන්න සිද්ධ වුණා. මට මතකයි එක අවස්ථාවකදී පොත් පත්වලින් පිරුණු පෙට්ටි 30ක් අහු නොවෙන විදිහට ගෙනිච්ච හැටි—හැබැයි අහු වුණා නං අපේ බෙල්ල ගහලා යනවා!
ඒ විතරක් නෙවෙයි, තහනම් කරලා තිබුණත් නැඟෙනහිර නෙදර්ලන්තයේ ගොවිපොළවල්වලින් බටහිරට වෙන්න පිහිටි නගරවලට ආහාර ප්‍රවාහණය කරන්න අපි සංවිධානය වුණා. අපි අශ්ව රථයක ආහාර පටවාගෙන බටහිරට ගමන් කළා. අපි ගඟක් ළඟට ආවහම සොල්දාදුවන් එතන මුර කර කර හිටිය නිසා පාලමෙන් එහා පැත්තට යන්න අපිට බැරි වුණා. ඒ හින්දා අපි පොඩි බෝට්ටුවලට ඒ ආහාර පටවලා ගඟ හරහා අනිත් පැත්තට අරගෙන ගිහින් තවත් රථයකට ආපහු ඒවා පැටෙව්වා. අපි යා යුතු නගරයට ආවට පස්සේ අඳුර වැටෙනකම් ඉඳලා, ඒවා ගෙනියන අශ්වයාගේ ලාඩම් ගළවලා හිමින් සීරුවේ ඒ නගරයේ තිබුණ සභාවේ රහස් ආහාර ගබඩාවට ඒවා අරගෙන ගියා. ඊට පස්සේ ආහාර හිඟ සහෝදරයන්ට ඒවා බෙදා දුන්නා.
ජර්මන් හමුදාවට නිකම්වත් ඒ වගේ ආහාර ගබඩාවක් අහු වුණා නම්, මැරුම් කන්න තමයි වෙන්නේ. තත්වය ඒක වුණත්, සහෝදරයන් කීපදෙනෙක්ම උපකාර කරන්න ඉදිරිපත් වුණා. උදාහරණයක් වශයෙන්, ආමස්ෆූට් නගරයේ හිටිය බ්ලූමින්ක් පවුල ජීවත් වුණේ ජර්මන් නගරාරක්ෂක හමුදා කඳවුර පිහිටා තිබුණ තැන ඉඳලා ගලක් ගැහැව්වත් වදින තරම් දුරකිනුයි. ඒ වුණත්, ඔවුන් ආහාර ගබඩා කරන්න ඔවුන්ගේ නිදන කාමරය දුන්නා! මේ වගේ නිර්භීත සාක්ෂිකරුවන් වෙනත් සහෝදරයන්ට උපකාර කළේ තමන්ගේ ජීවිත පවා පරදුවට තියලයි.
තහනම යටතේ හිටිය අවුරුදු ගණනාව තුළ මටත් මගේ බිරිඳටත් ඇදහිලිවන්තව ඉන්න යෙහෝවා උපකාර කළා. ජර්මන් හමුදාව 1945 මැයිවලදී පරාජයට පත් වුණ නිසා මට නිදහසේ එහෙ මෙහෙ යන්න පුළුවන්කම ලැබුණා. වෙන සහෝදරයෙක්ව යොදාගන්න කල් දිගටම සංචාරක අවේක්ෂකයෙක් හැටියට සේවය කරන්න කියලා සමිතිය මට කිව්වා. වර්ෂ 1947දී, බර්ටුස් ෆන් ඩ’ බේල් මගේ වැඩ කොටස භාරගත්තා. * ඒ වෙනකොට, අපේ තුන්වෙනි දරුවා ඉපදිලා හිටිය නිසා අපි රටේ නැඟෙනහිර පැත්තේ පදිංචියට ගියා.
දුකයි, ප්‍රීතියයි
යුද්ධයෙන් පස්සේ මට දැනගන්න ලැබුණා මම ගෙදරින් පිට වෙලා නෙදර්ලන්තයට ගිහින් අවුරුද්දකට විතර පස්සේ තාත්තව හිරභාරයට අරගෙන තිබුණ බව. අසනීප වුණ හින්දා ඔහුව දෙපාරක් නිදහස් කළත්, ඒ දෙපාරම ආපහු ඔහුව හිරභාරයට අරන් තියෙනවා. වර්ෂ 1938 පෙබරවාරිවලදී ඔහුව බූකන්වාල්ට්වල ගාල් කඳවුරටත්, පසුව ඩකව්වලටත් යවලා තියෙනවා. එහේ ඉන්නකොට, 1942 මැයි 14වෙනිදා මගේ තාත්තා මියගිහින්. මැරෙනකම්ම ඔහු ස්ථිරව, පක්ෂපාතව හිටියා.
අම්මවත් ඩකව් ගාල් කඳවුරට යවලා තිබුණා. ඇයට 1945දී නිදහස ලැබෙන තුරුම ඈ හිටියේ එහියි. ස්ථිරව සිටීම සම්බන්ධයෙන් මගේ දෙමාපියන් දෙන්නා තැබූ ආදර්ශය නිසා මටත් ආත්මික ආශීර්වාද ලැබිලා තියෙනවා. අම්මා 1954දී අපිත් එක්ක ඉන්න ආපු එක ඇත්තෙන්ම වරප්‍රසාදයක්. වර්ෂ 1945 පටන් කොමියුනිස්ට් රජය යටතේ තිබුණ නැඟෙනහිර ජර්මනියේ පුරෝගාමී සේවයේ යෙදුණු මගේ නංගි මාගාරේතාත් ආවා. අම්මා අසනීපයෙන් හිටියත්, ඇයට ඕලන්ද භාෂාව කතා කරන්න බැරි වුණත්, 1957 ඔක්තෝබර් මාසයේදී ඇගේ භූමික ජීවිතය අවසන් කරන තුරුම ඇය ඇදහිලිවන්තව දිගටම ක්ෂේත්‍ර සේවයේ හවුල් වුණා.
වර්ෂ 1955දී ජර්මනියේ නියුරෙම්බර්ග්හි පැවති සමුළුව විශේෂ එකක් වුණා. අපි සමුළුවට ආවහම ඩ්‍රෙස්ඩන්වලින් ආව සහෝදරයන් එරිකාට කිව්වා ඇගේ අම්මත් සමුළුවට ඇවිත් ඉන්නවා කියලා. ඒ කාලයේදී ඩ්‍රෙස්ඩන් නැඟෙනහිර ජර්මනියේ පාලනය යටතේ තිබුණ නිසා එරිකාට අවුරුදු 21ක්ම එයාගේ අම්මව දැකගන්න බැරි වුණා. ඒ දෙන්නව මුණගැස්සුවහම, අම්මයි දුවයි ආදරෙන් එකිනෙකාව වැලඳගත්තා. මොනතරම් ප්‍රීතිමත් හමුවීමක්ද!
කාලයාගේ ඇවෑමෙන් අපේ පවුල දරුවන් අටදෙනෙක් දක්වා වැඩි වුණා. ඒත් හදිසියේම එක පුතෙක් මෝටර් රථ අනතුරකින් මියගියා. අපේ අනිත් දරුවන් හැමෝම යෙහෝවාට සේවය කරනවා දැකීමෙන් කියලා නිම කරන්න බැරි ප්‍රීතියක් අපි අද්දකිනවා. අපේ ලොකු පුතා වොල්ෆ්ගාන් හා ඔහුගේ බිරිඳ චාරිකා සේවයේ යෙදෙනවා දැකීමත්, ඔවුන්ගේ පුතා චාරිකා අවේක්ෂකයෙක් හැටියට සේවය කරනවා දැකීමත් අපිට ලොකු සතුටක්.
නෙදර්ලන්තයේ සිදු කෙරෙන යෙහෝවාගේ වැඩවල ප්‍රගතිය දකින්න ලැබීම ගැන මම කෘතඥපූර්වක වෙනවා. මම 1933දී පුරෝගාමී සේවය පටන්ගත්ත කාලේ මෙහේ හිටියේ සාක්ෂිකරුවන් සීයකට කිට්ටු ගානක්. හැබැයි අද ඉන්නවා 30,000කටත් වඩා වැඩියෙන්. අපේ ශාරීරික ශක්තිය හීන වෙමින් තිබුණත්, තවමත් එරිකාගෙයි මගෙයි අධිෂ්ඨානය වෙලා තියෙන්නේ, එදා ගැයූ ගීතිකාවේ කියවුණා වගේ “අහෝ! ඇදහිල්ල වෙනුවෙන් නොපසුබටයි” කියන වචනවලට එකඟව ජීවත් වෙන්නයි.
[පාදසටහන්වල]
^ 5 ඡේ. ගීතිකා අංක 194—යෙහෝවාට ප්‍රශංසා ගී (1928).
^ 7 ඡේ. කෝපිට්ස් නගරය දැන් හඳුන්වන්නේ පිර්නා ලෙසයි. එය පිහිටා තිබෙන්නේ ඩ්‍රෙස්ඩන් නගරයෙන් කිලෝමීටර් 18ක් ඈතින් තිබෙන එල්බේ ගංගාව අසලයි.
^ 38 ඡේ. “සත්‍යයට වඩා හොඳ දෙයක් නැහැ” යන මාතෘකාවෙන් යුත් සහෝදර ෆන් ඩ’ බේල්ගේ ජීවිත කතාව ගැන දැනගැනීමට 1998 ජනවාරි 1 මුරටැඹ බලන්න.
[23වන පිටුවේ පින්තූරය]
ක්ෂේත්‍ර සේවයේ යෙදීමෙන් පසුව “යොවුන් කණ්ඩායම” විවේක ගනිමින්
[24වන පිටුවේ පින්තූරය]
සෙසු පුරෝගාමීන් සමඟ මම මුළු ෂ්නයිෆල් බලප්‍රදේශයම පියෙව්වා. එතකොට මට වයස අවුරුදු 20යි
[25වන පිටුවේ පින්තූරය]
එරිකා සහ වොල්ෆ්ගාන් එක්ක 1940දී
[26වන පිටුවේ පින්තූරය]
වමේ සිට දකුණට: මගේ මුනුබුරා යොනාතාන් සහ ඔහුගේ බිරිඳ මීරියාම්; එරිකා, මම, මගේ පුතා වොල්ෆ්ගාන් සහ ඔහුගේ බිරිඳ ජූලියා
[26වන පිටුවේ පින්තූරය]
මගේ තාත්තා එක්ක හිරේ හිටිය සහෝදරයෙක් 1941දී තාත්තාගේ මේ පින්තූරය ඇන්දා