ක්‍රිස්තුස්ට තිබූ මානසික ආකල්පය විදහාපෙන්වන්න
ක්‍රිස්තුස්ට තිබූ මානසික ආකල්පය විදහාපෙන්වන්න
“විඳදරාගැනීම සහ සැනසීම ලබා දෙන දෙවි, ක්‍රිස්තුස් යේසුස්ට තිබූ මානසික ආකල්පයම ඔබ සියලුදෙනාටම ලබා දෙත්වා!”—රෝම 15:6, NW.
1. යමෙකුගේ ආකල්ප ඔහුගේ ජීවිතයට බලපෑ හැක්කේ කෙසේද?
ආකල්ප මගින් ජීවිතයේ විශාල වෙනස්කම් සිදු කරයි. එමෙන්ම ආකල්ප විවිධ ස්වරූපවලින් යුක්තයි. උදාසීන හෝ කඩිසර වේවා, ඒකාන්ත හෝ නිෂේධාත්මක වේවා, සතුරුවාදී හෝ සහයෝගශීලී වේවා, පැමිණිලිකරනසුලු හෝ ස්තුතිපූර්වක වේවා, මෙවන් ආකල්ප මගින් පුද්ගලයෙක් යම් තත්වයන් සමඟ කටයුතු කරන ආකාරය හා අනිත් අය ඔහු කරන දේවලට ප්‍රතිචාරය දක්වන ආකාරය කෙරෙහි ප්‍රබල බලපෑම් ඇති කළ හැකියි. යමෙක් හොඳ ආකල්පයක් ඇතුව සිටිනවා නම්, ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේදී පවා ඔහුට සතුටින් සිටිය හැකියි. නරක ආකල්පයක් තිබෙන පුද්ගලයෙකුට ජීවිතය යහපත්ව තිබුණත්, ඔහු එහි කිසිම හොඳක් නොදකියි.
2. පුද්ගලයෙක් ආකල්ප ඉගෙනගන්නේ කෙසේද?
2 හොඳ හෝ වේවා නරක හෝ වේවා ආකල්ප ඉගෙනගත හැකියි. ඇත්තෙන්ම, ඒවා ඉගෙනගත යුතුයි. අලුත උපන් බිළිඳෙකු ගැන කොලියර්ස් එන්සයික්ලොපීඩියාහි මෙසේ සඳහන් වෙනවා. “පසු කාලයේදී බිළිඳෙකු තුළ දකිනු ලබන ආකල්ප බිළිඳා විසින්ම ඉගෙනගත යුතුයි. මෙය යම් දුරකට භාෂාවක් හෝ වෙනත් කුසලතාවක් ඉගෙනගන්නවා හා සමානයි.” අපි ආකල්ප ඉගෙනගන්නේ කෙසේද? මෙයට බොහෝ දේවල් බලපෑවත්, පරිසරය හා ඇසුර ප්‍රබල බලපෑමක් ඇති කරනවා. කලින් සඳහන් කළ එන්සයික්ලොපීඩියාහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “යම් ද්‍රාවණයක අණු තුනී පටලයක් හරහා ගමන් කරන්නාක් මෙන් අපි කිට්ටුවෙන් ඇසුරු කරන අයගේ ආකල්ප අපේ මනසට ඇතුල් වෙනවා. එසේ නැත්නම් අපි ඔවුන්ගේ ආකල්ප ඉගෙනගන්නවා.” මේ හා සමාන දෙයක් ගැන අවුරුදු දහස් ගණනකට කලින් බයිබලයේ මෙසේ පවසා තිබුණා. “ඥාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥාණවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.”—හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33.
හරි ආකල්පයක් ඇතුව සිටීම සඳහා ආදර්ශයක්
3. ආකල්ප සම්බන්ධයෙන් හොඳම ආදර්ශය සපයන්නේ කවුද? අපිට ඔහුව අනුකරණය කළ හැක්කේ කෙසේද?
3 සෑම කාරණයකදීම මෙන් ආකල්ප හා සම්බන්ධ කාරණයේදීද යේසුස් ක්‍රිස්තුස් හොඳම ආදර්ශය සපයයි. ඔහු මෙසේ පැවසුවා. “මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි.” (යොහන් 13:15) යේසුස් මෙන් වීමට නම්, අපි මුලින්ම කළ යුත්තේ ඔහු ගැන ඉගෙනගැනීමයි. a අපි යේසුස්ගේ ජීවිතය ගැන අධ්‍යයනය කරන්නේ ප්‍රේරිත පේතෘස් නිර්දේශ කළ මතු දැක්වෙන දෙය ක්‍රියාවට නැංවීමේ අරමුණ ඇතුවයි. “ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද [ක්‍රිස්තුස්] නුඹලා නිසා වධවිඳ, නුඹලා [ඔහුගේ] අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී [ගියේය].” (1 පේතෘස් 2:21) අපේ ඉලක්කය විය යුත්තේ හැකි තරම් දුරට යේසුස් වගේ වීමටයි. ඔහු විදහාපෙන්වූ මානසික ආකල්පය වර්ධනය කරගැනීම ඊට අයත් වෙනවා.
4, 5. රෝම 15:1-3හි කැපීපෙනෙන්න සලස්වා තිබෙන්නේ යේසුස්ගේ මානසික ආකල්පයේ කිනම් පැත්තද? මෙහිදී ක්‍රිස්තියානීන්ට ඔහුව අනුකරණය කළ හැක්කේ කෙසේද?
4 ක්‍රිස්තුස් යේසුස්ට තිබූ මානසික ආකල්පය ඇතුව සිටීමට අයත් වන්නේ මොනවාද? මෙම ප්‍රශ්නයට උත්තර දීමේදී පාවුල් රෝමවරුන්ට ලියන ලද ලිපියේ රෝම 15වන පරිච්ඡේදයේ සඳහන් දේවල් අපිට උපකාරවත් වෙනවා. යේසුස් විදහාපෙන්වූ අපූර්ව ගුණාංගයක් ගැන සඳහන් කරමින් එම පරිච්ඡේදයේ මුල් වගන්ති කිහිපයේදී පාවුල් මෙසේ පවසනවා. “බලවත්වූ [ශක්තිමත් වූ, NW] අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ [ශක්තිමත් නොවන අයගේ, NW] දුර්වලකම් ඉසිලිය යුතුය. අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා. මක්නිසාද: ඔබට නින්දාකළවුන්ගේ නින්දා මා පිටට පැමිණියේයයි ලියා තිබෙන ලෙස [ක්‍රිස්තුස්ද] තමන්ම සතුටුකර [නොගත්තේය].”—රෝම 15:1-3.
5 යේසුස්ගේ ආකල්පය විදහාපෙන්වීමේදී, තමාවම සතුටු කරගන්නවා වෙනුවට, යටහත් පහත්කමින් අනිත් අයගේ අවශ්‍යතාවන් සපුරාලීමට සූදානම්ව සිටින්න කියා ක්‍රිස්තියානීන්ව දිරිමත් කරනු ලබනවා. ඇත්තෙන්ම, අනිත් අයට සේවය කිරීම සඳහා යටහත්ව සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වීම, “ශක්තිමත්” අයගේ ලක්ෂණයක්. අන් සැමට වඩා ආත්මිකව ශක්තිමත් පුද්ගලයෙකු වූ යේසුස් තමා ගැනම මෙසේ පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය.” (මතෙව් 20:28) මේ හා සමානව ක්‍රිස්තියානීන් හැටියට අපිත් ආත්මිකව “ශක්තිමත් නොවන අය” ඇතුළුව, සෑම කෙනෙකුටම සේවය කරන්න ආශාවකින් සිටිය යුතුයි.
6. යේසුස් විරුද්ධවාදිකම්වලට හා අපහාස කිරීම්වලට ප්‍රතිචාරය දැක්වූ ආකාරය අපිට අනුකරණය කළ හැක්කේ කෙසේද?
6 යේසුස්ගේ තවත් කදිම ගුණාංගයක් වූයේ ඔහුගේ සිතුවිලිවල හා ක්‍රියාවන්වල නිතරම ඒකාන්ත නොහොත් වර්ධනය ගෙන දෙනසුලු ස්වභාවයක් දිස්වීමයි. දෙවිට සේවය කිරීමේදී තමන් සතු වූ කදිම ආකල්පයට බලපෑම් කිරීමට ඔහු කවදාවත් අනිත් අයගේ නිෂේධාත්මක ආකල්පවලට ඉඩහැරියේ නැහැ. මෙහිදී අප කළ යුත්තේද යේසුස් කළ දෙයමයි. දෙවිට ඇදහිලිවන්තව නමස්කාර කිරීම නිසා නින්දා අපහාසවලට හා හිංසා පීඩාවලට ලක් වන විට, යේසුස් පැමිණිලි කරන්නේ නැතුව සියල්ල විඳදරාගත්තා. තම අසල්වැසියන්ගේ “වැඩිදියුණුව පිණිස යහපත” කරමින් ඔවුන්ව සතුටු කරවන ආකාරයට දේවල් කරන්න උත්සාහ කරන අයට, නොඇදහිලිවන්තයන්ගෙන් හා දේවල් හරි හැටි තේරුම් නොගන්න අයගෙන් ගහන මේ ලෝකයෙන් විරුද්ධවාදිකම් එල්ල වන බව ඔහු දැන සිටියා.
7. යේසුස් ඉවසිලිවන්තකම පෙන්නුවේ කෙසේද? අපිත් ඒ දෙයම කළ යුත්තේ මන්ද?
7 යේසුස් වෙනත් ආකාරවලින්ද හරි ආකල්පයක් විදහාපෙන්නුවා. යෙහෝවා දේවල් කරන ආකාරය ගැන ඔහු කවදාවත් නොඉවසිලිමත්ව කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට, යෙහෝවා සිය අරමුණු ඉටු කරන තෙක් ඔහු ඉවසිලිවන්තව බලා සිටියා. (ගීතාවලිය 110:1; මතෙව් 24:36; ක්‍රියා 2:32-36; හෙබ්‍රෙව් 10:12, 13) ඒ විතරක් නොවෙයි, යේසුස් ඔහුගේ අනුගාමිකයන් සමඟද කටයුතු කළේ ඉවසිලිවන්තවයි. “මාගෙන් ඉගෙනගන්න” කියා ඔහු ඔවුන්ට පැවසුවා. ඔහු “මෘදුව” සිටි නිසා ඔහුගේ ඉගැන්වීම් වර්ධනය ගෙන දෙනසුලු මෙන්ම සිතට ප්‍රබෝධයක් ගෙන දෙන ඒවා වුණා. ඔහු ‘යටහත්ව’ සිටි නිසා කවදාවත් තමන්ගේ හැකියාවන් ගැන පුරසාරම් දොඩන්න ගියේ නැහැ; හිතුවක්කාර ලෙස ක්‍රියා කළේද නැහැ. (මතෙව් 11:29) යේසුස්ට තිබූ ආකල්පයෙන් දිස් වූ එම ගුණාංග අනුකරණය කරන්න කියා පවසමින් පාවුල් අපිව මෙලෙස දිරිමත් කරනවා. ‘ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණු සිතම [මානසික ආකල්පයම, NW] නුඹලා තුළත් තිබේවා. ඔහු දෙවිගේ රූපාකාරය දැරුවත්, දෙවිට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වූ වස්තුවකැයි නොසිතා, එය ඉවත් කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණියේය.’—පිලිප්පි 2:5-7.
8, 9. (අ) පරාර්ථකාමී ආකල්පයක් වර්ධනය කරගැනීම සඳහා අපි ක්‍රියා කළ යුත්තේ මන්ද? (ආ) යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීමට අපි අසමත් වන අවස්ථාවලදී අපි අධෛර්යයට පත් නොවිය යුත්තේ මන්ද? මේ සම්බන්ධයෙන් පාවුල් හොඳ ආදර්ශයක් තැබුවේ කෙසේද?
8 අනිත් අයට සේවය කරන්නත්, අපේම අවශ්‍යතාවලට වඩා ඔවුන්ගේ අවශ්‍යතා ගැන සැලකිල්ල දක්වන්නත් අපි කැමතියි කියා පැවසීම ලෙහෙසියි. එහෙත් එසේ කිරීමට අපේ හදවත් සම්පූර්ණයෙන්ම නැඹුරු වී නැති බව අපේ ආකල්ප ගැන කෙරෙන අවංක සෝදිසියක් මගින් හෙළි විය හැකියි. එසේ වීමට හේතු වන්නේ මොනවාද? මුල්ම හේතුව අපි ආදම්ගෙන් සහ ඒවගෙන් ආත්මාර්ථකාමී ගති ලක්ෂණ උරුම කරගෙන සිටීමයි. දෙවන හේතුව ආත්මාර්ථකාමිත්වයට දිරි දෙන ලෝකයක අපි ජීවත් වීමයි. (එපීස 4:17, 18) පරාර්ථකාමී ආකල්පයක් වර්ධනය කරගැනීම සඳහා, අපි සහජ අසම්පූර්ණ නැඹුරුවාවන් ඉවත් කර දමන සිතුවිලි වර්ධනය කරගත යුතුයි. මෙයට අධිෂ්ඨානය හා වෑයම අවශ්‍යයි.
9 යේසුස් අනුකරණය කිරීම සඳහා අපට දුන් පරිපූර්ණ ආදර්ශය සහ පැහැදිලිව දිස් වන අපේ අසම්පූර්ණකම් අතර විශාල පරතරයක් තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී මෙය අපව අධෛර්යයට පත් කළ හැකියි. යේසුස්ට තිබූ ආකල්පයම ඇතුව සිටින්න අපටත් හැකිද කියා සැක සහිත සිතුවිලි අප තුළ පහළ විය හැකියි. එහෙත් පාවුල්ගේ මෙම දිරිගන්වනසුලු වදන් සැලකිල්ලට ගන්න. “මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය. මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි. මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම [දෙවිගේ] ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.” (රෝම 7:18, 19, 22, 23) පාවුල් ආශා කළ ආකාරයට දෙවිගේ කැමැත්ත කරගෙන යෑමේදී නිතර නිතර ඔහුගේ අසම්පූර්ණත්වය ඔහුට බාධා ඇති කළා. එහෙත් ඔහු සතු වූ ආකල්පය, එනම් යෙහෝවා ගැනත්, ඔහුගේ ව්‍යවස්ථාව ගැනත් ඔහු තුළ තිබූ හැඟීම ආදර්ශවත් එකක් වුණා. අපිටත් ඔහුගේ ආකල්පය තබාගත හැකියි.
වැරදි ආකල්ප නිවැරදි කිරීම
10. පාවුල් පිලිප්පිවරුන්ට දිරිගැන්නුවේ කිනම් මානසික ආකල්පයක් වර්ධනය කරගැනීමටද?
10 වැරදි ආකල්පයක් නිවැරදි කරගැනීමට අවශ්‍ය කරන අය සිටිය හැකිද? ඔව් සිටිනවා. මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් මෙය සැබෑවක් වුණා. පාවුල් පිලිප්පිවරුන්ට ලියූ ලිපියේදී හරි ආකල්පයක් ඇතුව සිටීම ගැන කතා කළා. ඔහු මෙසේ ලිව්වා. “මා [කලින් නැවත නැඟිටීමේ දීමනාව මගින් ස්වර්ගික ජීවිතයක්] දැනටම ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නුමුත් යමක් පිණිස ක්‍රිස්තුස් [යේසුස්] මා [අල්ලාගත්තේද], ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගනයමි. සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙනදේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, ක්‍රිස්තුස් [යේසුස්] තුළ [දෙවිගේ] උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි. එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව [මේරූ අයව, NW] සිටිද්ද, ඔව්හු ඒ ආකාරයෙන් කල්පනා කරත්වා [එම මානසික ආකල්පයම ඇතුව සිටීවා!, NW].”—පිලිප්පි 3:12-15.
11, 12. අප තබාගත යුතු හරි මානසික ආකල්පය යෙහෝවා අපිට හෙළි කරන්නේ කිනම් ආකාරවලින්ද?
11 ක්‍රිස්තියානියෙකු බවට පත් වූ පසු, ආත්මිකව වර්ධනය වීමේ අවශ්‍යතාවක් තිබෙනවා කියා යමෙකුට හැඟෙන්නේ නැත්නම්, ඔහු තුළ තිබෙන්නේ වැරදි ආකල්පයක් බව පාවුල්ගේ වදන්වලින් පැහැදිලි වෙනවා. මෙවැනි කෙනෙකු ක්‍රිස්තුස්ගේ මානසික ආකල්පය අනුව තමන්ගේ ආකල්පය හැඩගස්වාගැනීමට අසමත් වී තිබෙනවා. (හෙබ්‍රෙව් 4:11; 2 පේතෘස් 1:10; 3:14) මෙවැනි තත්වයක පසු වන පුද්ගලයෙකු සිටින්නේ බලාපොරොත්තු නොමැති තත්වයකද? කොහෙත්ම නැහැ. ඇත්තෙන්ම අපේ ආකල්ප වෙනස් කරගන්න අපිට වුවමනාවක් තිබෙනවා නම්, එසේ කිරීමේදී අපිට උපකාර කරන්න දෙවිට හැකියි. පාවුල් තවදුරටත් මෙසේ පවසනවා. “නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් [වෙනස් මානසික නැඹුරුවාවක්, NW] ඇත්තාහු නම්, ඒකත් [දෙවි] නුඹලාට එළිදරව්කරනවා ඇත.”—පිලිප්පි 3:15.
12 කෙසේවෙතත්, අප තබාගත යුතු නිසි ආකල්පය කුමක්ද කියා යෙහෝවා හෙළි කරනවාට අපි කැමති නම්, අපි අපේ කොටස කළ යුතුයි. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” විසින් සපයා තිබෙන ක්‍රිස්තියානි ප්‍රකාශනවල උපකාරය ඇතුව දේවවචනය යාච්ඤාපූර්වකව අධ්‍යයනය කිරීමෙන් “වෙනස් මානසික නැඹුරුවාවක්” ඇති අයට නිසි ආකල්පයක් ඇති කරගත හැකියි. (මතෙව් 24:45) එමෙන්ම “එඬේරුන් සේ දෙවිගේ සභාව රැකබලාගැනීමට” ශුද්ධාත්මයෙන් පත් කර සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ද උපකාරය පිරිනැමීමට සතුටින් බලා සිටිනවා. (ක්‍රියා 20:28, NW) යෙහෝවා අපේ අසම්පූර්ණකම්වල නියම ස්වභාවය තේරුම්ගනිමින් අපට ප්‍රේමනීයව උපකාර කිරීම ගැන අපි ඔහුට මොනතරම් ස්තුතිවන්ත විය යුතුද! ඔහු සපයන උපකාරය පිළිගනිමු.
අනිත් අයගෙන් ඉගෙනගැනීම
13. බයිබලයේ සඳහන් යෝබ්ගේ වාර්තාවෙන් හරි ආකල්පයක් ඇතුව සිටීම ගැන අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?
13 අපේ ආකල්ප සකස් කරගැනීම සඳහා ඉතිහාසයේ දැක්වෙන ආදර්ශ මෙනෙහි කිරීම අපිට උපකාරවත් වන බව රෝම 15වන පරිච්ඡේදයෙහි පාවුල් පැහැදිලි කරනවා. ඔහු මෙසේ ලියනවා. “ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.” (රෝම 15:4) අතීතයේ විසූ යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන් සමහරදෙනෙකුට ඔවුන්ගේ ආකල්පයේ ඇතැම් පැති නිවැරදි කරගන්න සිදු වුණා. උදාහරණයක් හැටියට යෝබ් ගැන සලකා බලමු. සාමාන්‍යයෙන් ගත් කල, යෝබ්ට කදිම ආකල්පයක් තිබුණා. ඔහු කවදාවත් යෙහෝවා පිට වැරැද්ද පැටෙව්වේ නැහැ. දෙවි කෙරෙහි තිබූ ඔහුගේ නිසැකකම බිඳ හෙළීමට ඔහු වින්ද කිසිම පීඩාවකට ඉඩ දුන්නෙත් නැහැ. (යෝබ් 1:8, 21, 22) එහෙත් තමා හරියි කියා ඒත්තුගැන්වීමේ නැඹුරුවාවක් ඔහු තුළ තිබුණා. මෙම නැඹුරුවාව නිවැරදි කරගැනීමේදී ඔහුට උපකාර කිරීම සඳහා යෙහෝවා එලීහුට මඟ පෙන්නුවා. අමනාපයක් ඇති කරගන්නවා වෙනුවට යෝබ් තමාගේ ආකල්පයේ වෙනසක් කිරීමේ තිබෙන අවශ්‍යතාව යටහත්ව පිළිගනිමින් එය කිරීමට සූදානම්ව සිටියා.—යෝබ් 42:1-6.
14. අප තුළ තිබෙන ආකල්ප සම්බන්ධයෙන් අපිට කෙනෙක් උපදෙස් දුන්නොත්, අපිට යෝබ්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?
14 වැරදි ආකල්පයක් අප තුළ දකින්න තිබෙන බව සෙසු ක්‍රිස්තියානියෙක් අපිට පවසන විට අපි ප්‍රතිචාරය දක්වන්නේ යෝබ් මෙන්ද? යෝබ් ‘දෙවිට දොස් නොතැබුවාක්’ මෙන් අපිත් කවදාවත් කිසිම විදිහකින් දෙවිට දොස් නොතබමු. (යෝබ් 1:22) අපි අසාධාරණ ලෙස දුක් විඳිනවා නම්, කවදාවත් පැමිණිලි නොකරමු. අපි අද්දකින දුෂ්කරතාවලට යෙහෝවා වගකිව යුතුයි කියා කිසිවිටකත් නොපවසමු. යෙහෝවාගේ සේවයෙහි අපි කුමන වරප්‍රසාදයක් භුක්ති වින්දත්, අපි “නිෂ්ප්‍රයෝජන දාසයෝ” බව මතක තබාගනිමින්, අපි හරියි කියා ඒත්තුගැන්වීමට උත්සාහ නොකරමු.—ලූක් 17:10.
15. (අ) යේසුස්ගේ සමහර අනුගාමිකයන් තුළ තිබුණේ කිනම් වැරදි ආකල්පයද? (ආ) පේතෘස් කදිම ආකල්පයක් විදහාපෙන්වූයේ කෙසේද?
15 මුල් සියවසේදී යේසුස්ට සවන් දුන් සමහර අය නුසුදුසු ආකල්පයක් විදහාපෙන්නුවා. එක් අවස්ථාවකදී යේසුස් තේරුම්ගන්න අමාරු දෙයක් පැවසුවා. “ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටද” කියා පැවසුවා. මෙසේ පැවසූ අයට වැරදි ආකල්පයක් තිබූ බව පැහැදිලියි. ඔවුන්ගේ එම වැරදි ආකල්පය නිසා ඔවුන් යේසුස්ට සවන් දීම අත්හැරියා. වාර්තාවෙහි මෙසේ සඳහන් වෙනවා. “මේ නිසා එවක් පටන් [ඔහුගේ] ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, [ඔහු] සමඟ තවත් නොහැසුරුණෝය.” සෑම කෙනෙක් තුළම වැරදි ආකල්පයක් තිබුණාද? නැහැ. වාර්තාවෙහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “නුඹලාත් අහක්ව යන්ට කැමතිදැයි [යේසුස්] දොළොසගෙන් [ඇසුවේය]. සීමොන් පේතෘස් [ඔහුට] උත්තරදෙමින්: ස්වාමීනි, අපි කා ළඟට යමුද?” කියා ඇසුවේය. තමන් විසින්ම අසන ලද ප්‍රශ්නයට උත්තර දෙමින් පේතෘස් මෙසේ පැවසුවා. “සදාකාල ජීවනයේ වචන [ඔබට] ඇත්තේය.” (යොහන් 6:60, 66-68) මොනතරම් කදිම ආකල්පයක්ද! මුලින්ම අපිට තේරුම්ගැනීමට අමාරු වූ ශුද්ධ ලියවිලි පිළිබඳව පැහැදිලි කිරීම් කරන විට හෝ කලින් කරන ලද පැහැදිලි කිරීම් අලුත් කරන විට, අප තුළත් තිබිය යුත්තේ පේතෘස්ට තිබූ ආකල්පයම නොවේද? සමහර දේවල් මුලදී තේරුම්ගැනීමට අමාරු වීම නිසා යෙහෝවාට සේවය කිරීම නතර කර දැමීම හෝ “සාරවූ වචනවල [රටාවට, NW]” විරුද්ධව කතා කිරීම මොනතරම් අනුවණකමක්ද!—2 තිමෝති 1:13.
16. යේසුස්ගේ කාලයේ විසූ යුදෙව් ආගමික නායකයන් විදහාපෙන්වූයේ කිනම් තැතිගන්වනසුලු ආකල්පයක්ද?
16 මුල් සියවසේ සිටි යුදෙව් ආගමික නායකයන්ද යේසුස්ට තිබූ මානසික ආකල්පය විදහාපෙන්වීමට අසමත් වුණා. යේසුස්ට සවන් නොදීමට ඔවුන් දැඩි ලෙස අදිටන් කරගෙන සිටි බව, ලාසරුස්ව නැවත නැඟිටවනු ලැබූ අවස්ථාවේදී පැහැදිලිව දැකගත හැකි වුණා. හරි ආකල්පයක් තිබූ ඕනෑම කෙනෙකුට, මෙම ප්‍රාතිහාර්යය යේසුස්ව දෙවි විසින් එවා තිබූ බවට ප්‍රබල සාක්ෂියක් වෙනවාට සැකයක් නැහැ. කෙසේවෙතත්, අපට මෙසේ කියවීමට තිබෙනවා. “නායක පූජකයෝද ඵරිසිවරුද මන්ත්‍රණ සභාවක් රැස්කරවා: අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා බොහෝ හාස්කම් කරයි. අපි ඔහුට මෙසේ ඉඩහැරියෙමු නම් සියල්ලන් ඔහු කෙරෙහි අදහාගන්නවා ඇත. එවිට රෝමවරුන් ඇවිත් අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇතැයි කීවෝය.” ඔවුන්ගේ විසඳුම වුණේ කුමක්ද? “මෙසේ එදා පටන් ඔව්හු [ඔහුව] මරන්ට මන්ත්‍රණයකළෝය.” යේසුස්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරනවාට අමතරව, යේසු ප්‍රාතිහාර්යය කරන්නෙකු බවට වූ ජීවමාන සාක්ෂිය වන ලාසරුස්ව පවා නැති කර දමන්න ඔවුන් උත්සහ කළා. මේ ගැන අපිට මෙසේ කියවීමට තිබෙනවා. “නායක පූජකයෝ ලාසරුස්වත් මරන්ට මන්ත්‍රණය කළෝය.” (යොහන් 11:47, 48, 53; 12:9-11) ඇත්තෙන්ම අපි සතුටු විය යුතු දේවල් ගැන අමනාපයේ හැඟීමක් ඇති කරගනිමින් හෝ නොසන්සුන් තත්වයකට පත් වෙමින් යුදෙව් ආගමික නායකයන් තුළ තිබූ ආකල්පය හා සමාන ආකල්පයක් අපි තුළත් ඇති කරගත්තොත්, එය මොනතරම් පිළිකුල්සහගත දෙයක්ද! එවන් ආකල්පයක් මොනතරම් භයංකාරද!
ක්‍රිස්තුස්ට තිබූ ඒකාන්ත ආකල්පය අනුකරණය කිරීම
17. (අ) දානියෙල් නිර්භීත ආකල්පයක් විදහාපෙන්වූයේ කිනම් තත්වයන් යටතේද? (ආ) තමන් ධෛර්යසම්පන්න පුද්ගලයෙකු බව යේසුස් පෙන්වූයේ කෙසේද?
17 යෙහෝවාගේ සේවකයන් දිගටම ඒකාන්ත ආකල්පයක් විදහාපෙන්වයි. දානියෙල්ගේ සතුරන් රජුගෙන් හැර වෙනත් ඕනෑම දෙවි කෙනෙකුගෙන් හෝ මිනිසෙකුගෙන් දවස් තිහක් යන තෙක් අයැදීමක් කිරීම තහනම් කිරීම සඳහා නියෝගයක් පනවාගැනීමට කුමන්ත්‍රණය කළ අවස්ථාවේදී, මෙය යෙහෝවා දෙවි සමඟ තිබෙන තමාගේ සබඳතාව බිඳහෙළීමට ගත් වෑයමක් බව දානියෙල් තේරුම්ගත්තා. දානියෙල් දින 30ක් දෙවිට යාච්ඤා කිරීමෙන් වැළකී සිටියාද? නැහැ. ඔහු නිර්භීතව ඔහුගේ පුරුද්ද ලෙස දවසට තුන්වරක් දිගටම යෙහෝවාට යාච්ඤා කළා. (දානියෙල් 6:6-17) ඒ හා සමානව යේසුස්ද ඔහුගේ සතුරන්ගේ බියගැන්වීම්වලට යටත් වුණේ නැහැ. සබත් දවසකදී ඔහුට වියළි අතක් ඇති මිනිසෙකුව හමු වුණා. සබත් දවසේදී මේ මිනිසාව තමා සුව කළොත් එතැන සිටිය යුදෙව්වන් එය හෙළාදකින බව ඔහු දැනසිටියා. මේ කාරණය ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කියා ඔහු ඍජුව ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. එසේ කරන්න ඔවුන් ප්‍රතික්ෂේප කළ විට, තමා කරන්න සූදානම්ව සිටිය දෙය කරමින් යේසුස් ඒ මිනිසාව සුව කළා. (මාර්ක් 3:1-6) සුදුසුයි කියා තමාට හැඟුණු සෑම අවස්ථාවකදීම යේසුස්, තමාට පවරා තිබූ වැඩය ඉටු කිරීමෙන් තමාව වළක්වන්න කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ.
18. සමහරුන් අපිට විරුද්ධ වන්නේ ඇයි? එහෙත් අපි ඔවුන්ගේ නිෂේධාත්මක ආකල්පයට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
18 විරුද්ධවාදීන්ගෙන් එල්ල විය හැකි අධෛර්යය කරවනසුලු ප්‍රතිචාරයන්වලට තමන් කවදාවත් බිය නොවිය යුතු බව අදදින සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද තේරුම්ගෙන තිබෙනවා. ඔවුන් බිය වෙනවා නම් යේසුස්ට තිබූ මානසික ආකල්පය තමන් විදහාපෙන්වන බව ඔවුන්ට පැවසිය නොහැකියි. බොහෝදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධයි. සමහරුන් විරුද්ධ වන්නේ ඔවුන් සාක්ෂිකරුවන් ගැන හරි හැටි නොදන්න නිසයි. තවත් අය විරුද්ධ වන්නේ සාක්ෂිකරුවන්ගේ පණිවිඩය ඔවුන් හෙළාදකින නිසයි. එහෙත් අපේ ඒකාන්ත ආකල්පයට අහිතකර ලෙස බලපෑම් කරන්න ඔවුන්ගේ සතුරුවාදී ආකල්පයට කිසිවිටකත් ඉඩ නොදෙමු. අපේ නමස්කාරය අපි කරගෙන යන ආකාරය තීරණය කිරීමට අනිත් අයට කවදාවත් ඉඩ නොහැරිය යුතුයි.
19. යේසුස් ක්‍රිස්තුස්ට තිබුණා හා සමාන මානසික ආකල්පයක් අපිට විදහාපෙන්විය හැක්කේ කෙසේද?
19 යේසුස් සිය අනුගාමිකයන් කෙරෙහි මෙන්ම දෙවිගේ විධිවිධාන කෙරෙහි ඒකාන්ත ආකල්පයක් නිතරම විදහාපෙන්නුවා. එසේ කිරීම කොතරම් අමාරු දෙයක් වුණත්, ඔහු එම ආකල්පය දිගටම විදහාපෙන්නුවා. (මතෙව් 23:2, 3) අපි ඔහුගේ ආදර්ශය අනුකරණය කළ යුතුයි. අපේ සහෝදරයන් අසම්පූර්ණ බව ඇත්තයි. එමෙන්ම අපිත් අසම්පූර්ණ බව මතක තබාගත යුතුයි. අපේ ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයට අයත් අයට වඩා හොඳ මිතුරන්ව අපිට සොයාගත හැක්කේ වෙන කොතැනින්ද? යෙහෝවා ඔහුගේ ලිඛිත වචනයේ අඩංගු සෑම දෙයක් ගැනම අපිට තවම සම්පූර්ණයෙන්ම තේරුම් කර දී නැහැ. එහෙත් අපි ශුද්ධ ලියවිලි ගැන ලබා තිබෙන අවබෝධයට වඩා වැඩි අවබෝධයක් ලබා සිටින වෙනත් ආගමික කණ්ඩායමක් සිටිනවාද? අපි නිතරම යේසුස් ක්‍රිස්තුස්ට තිබූ මානසික ආකල්පයම තබාගනිමු. දිගටම තබාගත යුතු හරි ආකල්පය එයයි. එම ආකල්පය ඇතුව සිටීමට බොහෝ දේවල් ඇතුළත් වන අතර, එයින් එකක් වන යෙහෝවා දෙස බලා සිටින ආකාරය ගැන ඊළඟ ලිපියේදී අපි සාකච්ඡා කරන්න යනවා.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොතෙහි යේසුස්ගේ ජීවිතය හා දේවසේවය ගැන සාකච්ඡා කෙරේ.
ඔබට පැහැදිලි කළ හැකිද?
• අපේ ආකල්ප අපේ ජීවිතවලට බලපාන්නේ කෙසේද?
• යේසුස් ක්‍රිස්තුස්ට තිබූ මානසික ආකල්පය විස්තර කරන්න.
• අපිට යෝබ්ගේ ආකල්පයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?
• විරුද්ධවාදිකම් හමුවෙහි තබාගත යුතු හරි ආකල්පය කුමක්ද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[7වන පිටුවේ පින්තූර]
හරි ආකල්පයක් තිබෙන ක්‍රිස්තියානියෙකු අනිත් අයට උපකාර කිරීමට මං සොයයි
[9වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තුස්ට තිබූ මානසික ආකල්පය ඇතුව සිටීමට යාච්ඤාපූර්වකව දේවවචනය අධ්‍යයනය කිරීම අපිට උපකාරවත් වෙයි