විපර්යාසයට ලක් වන “ක්‍රිස්තියානි ධර්මය”—දෙවිගේ දෘෂ්ටියෙන් බැලීම
විපර්යාසයට ලක් වන “ක්‍රිස්තියානි ධර්මය”—දෙවිගේ දෘෂ්ටියෙන් බැලීම
ඔබව චිත්‍රයට නඟන මෙන් ඔබ චිත්‍ර ශිල්පියෙකුගෙන් ඉල්ලා සිටියායයි සිතන්න. ඔහු නිම කළ චිත්‍රය දෙස බලද්දී ඔබේ සතුට කියා නිම කරන්න බැරි තරම්ය. ඔහු නිර්මාණය කළ චිත්‍රය හා ඔබ අතර කොතරම් සමානත්වයක් තිබෙනවාද කියනවා නම් එය හරියට කැඩපතකින් ඔබව බලනවා හා සමානයි. ඔබ දැන් චිත්‍රය දෙස ආඩම්බරයෙන් බලයි. ඉදිරි පරම්පරාවලදී ඔබේ දරු දැරියන්, මුනුපුරු මිනිපිරියන් හා ඔවුන්ගේ දරු දැරියන්ට පවා එයින් ආස්වාදයක් ලබාගත හැකියි කියා සිතමින් ඔබ මහත් සතුටක් ලබයි.
පරම්පරා ගණනාවක් ගත වෙයි. ඔබේ පවුලේ කෙනෙක් චිත්‍රය දෙස බලයි. ඔබේ තට්ටය ටිකක් පෑදී ඇති බව ඔහුට පෙනෙයි. එයින් චිත්‍රය විකෘති වන බව හැඟෙන නිසා ඔහු එතැනට හිසකෙස් ටිකක් එකතු කරයි. වෙනත් කෙනෙක් ඔබේ නහයේ හැඩයට අකමැති නිසා එය වෙනස් කරයි. කාලයාගේ ඇවෑමෙන් තවත් “සකස් කිරීම්” බොහොමයක් සිදු කෙරේ. අවසානයේදී, චිත්‍රයත් ඔබත් අතර සමානත්වයක් නොමැති තරම්ය. මෙවැනි දෙයක් සිදු වන බව ඔබ දැනගෙන සිටියා නම් ඔබට හැඟෙන්නේ කෙසේද? ඔබට කෝපයක් දැනෙන්නේ නැද්ද?
කනගාටුවකට මෙන් ක්‍රිස්තියානි යන නාමය දරන පල්ලිවලට සිදු වී ඇත්තෙත් මේ හා සමාන දෙයකි. බයිබලයේ පවසා තිබූ ආකාරයටම ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන්ගේ අභාවයෙන් පසුව, “ක්‍රිස්තියානි ධර්මය” විපර්යාසයට ලක්වීමට පටන්ගත්තේය. මේ සම්බන්ධයෙන් ඉතිහාසය තුළින් ඕන තරම් සාක්ෂි ඉදිරිපත් කළ හැකිය.—මතෙව් 13:24-30, 37-43; ක්‍රියා 20:30. a
බයිබල් ප්‍රතිපත්ති විවිධ යුගවලට හා විවිධ සංස්කෘතීන්වලට අදාළ කිරීම යෝග්‍ය දෙයකි. නමුත් ජනයා පොදුවේ පිළිගන්නා මතවලට ගැළපෙන සේ බයිබලයේ ඉගැන්වීම් වෙනස් කිරීම කොහෙත්ම පිළිගත නොහැකි දෙයකි. නමුත් කනගාටුවකට මෙන් අද සිදු වී ඇත්තේ එයයි. අපි දැන් ක්‍රිස්තියානි ධර්මයේ ප්‍රධාන ඉගැන්වීම් කිහිපයක්ම වෙනස් කර ඇති ආකාරය සලකා බලමු.
පල්ලිය දේශපාලනය සමඟ අත්වැල් බැඳගනී
තමාගේ රාජ්‍යය නොහොත් පාලනය ස්වර්ගික එකක් බව යේසුස් ඉගැන්වූයේය. ළඟදීම එය සියලු මනුෂ්‍ය පාලන ක්‍රම විනාශ කරමින් මුළු පොළොවම පාලනය කිරීමට නියමිතයි. (දානියෙල් 2:44, 45ආ; මතෙව් 6:9, 10) මිනිස් දේශපාලනය යොදාගෙන ඔහු පාලනය කරන්න යන බව යේසුස් පැවසුවේ නැත. ඒ වෙනුවට “මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ” කියා ඔහු පැවසුවේය. (යොහන් 17:16; 18:36) එමනිසා යේසුස්ගේ අනුගාමිකයන් නීතිගරුක පුරවැසියන් වුවත් ඔවුන් දේශපාලනයට සම්බන්ධ වූයේ නැත.
හතරවන සියවස වන විට රෝම අධිරාජ්‍යයා වන කොන්ස්ටන්ටයින්ගේ පාලනය ඇරඹිණ. ඒ වන විට ක්‍රිස්තියානි යන නාමය දැරූ අයගේ තත්වය කුමක් වූවාද? බොහෝදෙනෙකු ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය හා දෙවිගේ රාජ්‍යයේ පාලනය ආරම්භ වන තෙක් සෑහෙන කාලයක් පුරා බලා සිටියත්, ඒ වෙද්දී ඔවුන් වෙහෙසට පත් වී තමන්ගේ ඉවසීම නැති කරගෙන තිබිණ. ඔවුහු දේශපාලනය සම්බන්ධයෙන් තිබූ තම ස්ථාවරය ක්‍රමක්‍රමයෙන් අත්හැරියහ. යුරෝපයේ ඉතිහාසය (ඉංග්‍රීසියෙන්) නමැති කෘතියේ එය මෙසේ පැහැදිලි කර දෙයි. “කොන්ස්ටන්ටයින්ගේ පාලනයට පෙර තමන්ගේ අරමුණු ඉටු කරගැනීමේ අටියෙන් [දේශපාලන] බලය අත් කරගැනීමට ක්‍රිස්තියානීන් වෙර දැරුවේ නැත. නමුත් කොන්ස්ටන්ටයින්ගේ පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තියානි ධර්මය දේශපාලනය
සමඟ අත්වැල් බැඳගත්තේය.” එතැන් පටන් එම සකස් කරන ලද ක්‍රිස්තියානි ධර්මය “විශ්වනීය” ආගම වශයෙන් රෝම අධිරාජ්‍යය පුරාම පිළිගැනීමට පටන්ගත් අතර, එය “කතෝලික” ආගම වශයෙන්ද හඳුන්වන ලදි.මිනිස් ඉතිහාසයේ පෙරළියක් ඇති කළ යුග (ඉංග්‍රීසියෙන්) නමැති විශ්වකෝෂයේ පල්ලියත් දේශපාලනයත් අතර ඇති වූ මෙම කුලුපගභාවයේ ප්‍රතිඵලය විස්තර කරයි. “ක්‍රිස්තු වර්ෂ 385 වන විට පල්ලියේ ඉගැන්වීම්වලට විරුද්ධව කතා කළ අයව මරණයට පත් කරන ලදි. තවද පල්ලියේ පූජක පක්ෂය අධිරාජ්‍යවරුන්ට සමාන බලයක් අත් කරගත්හ. මෙය සිදු වෙද්දී ක්‍රිස්තියානීන්ට එරෙහිව දියත් කළ අවසාන පීඩා රැල්ල ඇති වූ කාලයේ සිට ගත වී තිබුණේ අවුරුදු 80ක් පමණයි.” මෙතැන් පටන් අලුත් යුගයක් ආරම්භ විය. එය ක්‍රිස්තියානි ධර්මය පිළිගැනීමට සැලැස්වීම සඳහා තර්කය හා ඒත්තුගැන්වීම වෙනුවට කඩුව භාවිත කළ යුගයකි. පළමුවන සියවසේ නිහතමානීකම විදහාපෙන්වූ දේශනාකරුවන් වෙනුවට විවිධ තානාන්තර දරන බලලෝභී පූජක පක්ෂයක් රජයන යුගයක් බිහි වී තිබිණ. (මතෙව් 23:9, 10; 28:19, 20) හතරවන සියවසේ ක්‍රිස්තියානීන් හා “නාසරීය යේසුස්ගේ ඉගැන්වීම් අතර විශාල පරතරයක් තිබූ” බව ඉතිහාසඥ එච්. ජී. වෙල්ස් ලීවේය. මෙම “විශාල පරතරය” නිසා දෙවි හා ක්‍රිස්තුස් සම්බන්ධව තිබෙන ප්‍රධාන ඉගැන්වීම් පවා සෑහෙන දුරට වෙනස් විය.
දෙවිගේ අනන්‍යතාවට පහරක්
‘ඇත්තේ එකම දෙවිකෙනෙක්’ පමණක් බව ක්‍රිස්තුස් හා ඔහුගේ අනුගාමිකයෝ ඉගැන්වූහ. තවද සැබෑ දෙවිව වෙන් කර හඳුනාගැනීම සඳහා ඔහුට පෞද්ගලික නාමයක් තිබේ. ඒ නම යෙහෝවාය. එම නාමය බයිබලයේ මුල් පිටපත්වල 7,000 වාරයක් පමණ සඳහන් වී තිබේ. (1 කොරින්ති 8:6; ගීතාවලිය 83:17) යේසුස්ව මැව්වේ දෙවිය. බයිබලයේ කොලොස්සි 1:15හි ඔහුව හඳුන්වන්නේ “මුළු මැවිල්ලේ කුළුඳුලා” වශයෙනි. දෙවි විසින් මවන ලද තැනැත්තෙක් හැටියට ‘පියා මට වඩා උතුම්’ කියා පැවසීමට යේසුස්ට හොඳ හේතු තිබුණේය.—යොහන් 14:28.
තුන්වන සියවස වෙද්දී, මිථ්‍යා දෘෂ්ටික ග්‍රීක දාර්ශනිකයෙක් වූ ප්ලේටෝගේ ත්‍රිත්ව ඉගැන්වීම, බලතල තිබූ ඇතැම් පූජකවරුන්ගේ සිත්ගත්තේය. ත්‍රිත්ව ඉගැන්වීමට ගැළපෙන සේ ඔවුහු දෙවිගේ අනන්‍යතාව වෙනස් කිරීමට පටන්ගත්හ. කාලයාගේ ඇවෑමෙන් මෙම බොරු ඉගැන්වීම නිසා යේසුස් හා යෙහෝවා එකම තැනැත්තා බවත් දෙවිගේ ක්‍රියාකාරි බලය වන ශුද්ධාත්මය පුද්ගලයෙකු බවත් බහුතරයක් විශ්වාස කිරීමට පටන්ගත්හ.
ත්‍රිත්වය නමැති මිථ්‍යා සංකල්පය පල්ලියේ ප්‍රධාන ඉගැන්වීමක් වශයෙන් පිළිගැනීම පිළිබඳව නව කතෝලික විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ පවසයි. “හතරවන සියවසේ අගභාගයට කලින් ‘එක දෙවිකෙනෙකු තුළ තුන්දෙනෙකු සිටිනවා’ යන විශ්වාසය අසා තිබුණේ නැති තරම්ය. ක්‍රිස්තියානියෙකුගේ ඇදහිල්ලට හා ඔහුගේ ජීවිතයට මෙම විශ්වාසය කොයිම ආකාරයකින්වත් සම්බන්ධ නොවූ බව පැහැදිලියි. නමුත් දැන් ප්‍රධාන වශයෙන් ත්‍රිත්ව මූලධර්මය හැටියට පිළිගෙන තිබෙන්නේ මෙම සංකල්පයයි. අපෝස්තලික පියවරුන් මෙසේ විශ්වාස කළ බවටවත්, ඔවුන් අතර එවැනි අදහසක් ප්‍රචලිත වූ බවටවත් කිසිම සාක්ෂියක් නැත.”
අමෙරිකානා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) ඊට සමාන අදහසක් ඉදිරිපත් කරයි. “දෙවිගේ අනන්‍යතාව පිළිබඳව මුල් ක්‍රිස්තියානීන් ඉගැන්වූ දෙය හා හතරවන සියවසේ මතු වූ ත්‍රිත්ව ඉගැන්වීම අතර කිසිම සමානත්වයක් නැත. එම ඉගැන්වීම් දෙක සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධියි” කියා එය පවසයි. ඔක්ස්ෆඩ් බයිබල් අත්පොත (ඉංග්‍රීසියෙන්) පවසන්නේ, “පසුව සකස් කරන ලද විශ්වාස ලක්ෂණයට” ත්‍රිත්ව ඉගැන්වීමත් ඇතුල් කර තිබුණ බවයි. ත්‍රිත්ව ඉගැන්වීමට අමතරව වෙනත් මිථ්‍යා දෘෂ්ටික ඉගැන්වීම්ද පල්ලිය පිළිගත්තේය.
ආත්මය පිළිබඳ සංකල්පය
ශරීරය මිය යෑමෙන් පසුව දිගටම පවතින්නාවූ අමරණීය ආත්මයක් මිනිසාට තිබෙන බව ක්‍රිස්තියානි ලෝකයේ ජනයා පොදුවේ පිළිගනිති. මෙයත් පසු කලෙක පල්ලියේ ඉගැන්වීම්වලට එකතු කළ එකක් බව ඔබ දැනගෙන සිටියාද? “මළාහු කිසිවක් නොදනිති” යන බයිබල් සත්‍යය යේසුස් තහවුරු කළේය. මළවුන් සිටින්නේ නින්දකට සම කළ හැකි තත්වයකය. (දේශනාකාරයා 9:5; යොහන් 11:11-13) නැවත නැඟිටීමේදී ඔවුන් මරණ නින්දෙන් පිබිද යළි ජීවත් වේ. (යොහන් 5:28, 29) මරණින් පසුව අමරණීය ආත්මයක් තිබෙනවා නම් අප කෙදිනකවත් මිය යන්නේ නැත. මෙය සත්‍යයක් නම් නැවත නැඟිටීමක් අවශ්‍ය නොවේ.
නමුත් යේසුස් මළවුන්ව නැඟිටුවීමෙන්, ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ නැවත නැඟිටීම පිළිබඳ ඉගැන්වීමේ සත්‍යතාව තහවුරු කළේය. ලාසරුස්ගේ අද්දැකීම මෙයට හොඳ නිදසුනකි. ඔහු මැරී දින සතරක් ගත වී තිබිණ. නමුත් යේසුස් ඔහුව නැවත නැඟිටුවද්දී ඔහු සොහොන් ගෙයින් පිටත් වූයේ පණ ඇති කෙනෙකු වශයෙනි. ස්වර්ගයේ සැප විඳිමින් සිටි අමරණීය ආත්මයක් නැවතත් ඔහුගේ ශරීරය තුළට ඇතුල් වූයේ නැත. එවැනි දෙයක් සිදු වූවා නම්, ලාසරුස්ව නැවත නැඟිටුවීමෙන් යේසුස් ඔහුට යහපතක් කළා කියා පැවසිය හැකිද?—යොහන් 11:39, 43, 44.
එසේ නම්, අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීමෙහි මූලාරම්භය කුමක්ද? ක්‍රිස්තියානි දේවධර්මවාදය
පිළිබඳ වෙස්ට්මිනිස්ටර් ශබ්දකෝෂය (ඉංග්‍රීසියෙන්) පවසන පරිදි, මෙම සංකල්පය “ග්‍රීක දර්ශනවාදයෙන් හටගත්තා මිස බයිබලයෙන් හෙළි වූ යමක් නොවේ.” යුදෙව් විශ්වකෝෂයේ (ඉංග්‍රීසියෙන්) පවසන්නේ, “ශරීරය මිය යෑමෙන් පසුව ආත්මය දිගටම පවතිනවා යන ඉගැන්වීම, ක්‍රිස්තියානි ඇදහිල්ලට අයත් එකක් නොවේ” කියායි. “එය දර්ශනවාදීන් හෝ දේවධර්මවාදීන් විසින් ගෙතූ එකක් වන අතර, ශුද්ධ ලියවිල්ලේ කිසිම තැනකින් සොයාගත නොහැකි” බව එහි තවදුරටත් සඳහන් කර ඇත.බොහෝදුරට එක බොරුවක් තවත් බොරුවක් කීමට මඟ පාදයි. අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීම සම්බන්ධයෙන්ද මෙය සැබෑවකි. මෙම මිථ්‍යා ඉගැන්වීම, නිරයක හෝ අපායක සදාකාලිකව ගින්නෙන් වධ කරනු ලැබීම යන මිථ්‍යා ඉගැන්වීමට තුඩු දුන්නේය. b නමුත් සදාකාලිකව වධ කරනු ලබන ස්ථානයක් ගැන බයිබලය කිසිවිටකත් සඳහන් නොකරයි. ඒ වෙනුවට, “පාපයේ කුලී නම් මරණයය” යනුවෙන් එහි පැහැදිලිව උගන්වා ඇත. (රෝම 6:23) බයිබලය නැවත නැඟිටීම විස්තර කරන්නේ මෙලෙසයි. “සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් [නිරයත්, කිං ජේම්ස් වර්ෂන්] එහි උන් මළවුන් පාවාදුන්නෝය.” වර්ෂ 1897දී සිංහලෙන් පළ කරන ලද කතෝලික පරිවර්තනයක් එය විස්තර කරන්නේ, “සමුද්‍රයද එහි සිටි මළවුනුත් පාවාදුන්නේය; තවද මරණයත්, නිරයත්, තම තුළ සිටි මළවුනුත් පාවාදුන්නේය” කියායි. සරලව පැවසුවොත් නිරයෙහි සිටින අය මැරිලාය. ඔව්, යේසුස් පැවසූ ලෙස ඔවුන් ‘සැතපී සිටියි.’—එළිදරව් 20:13.
සදාකාලිකව වධ කරනු ලැබීම නමැති ඉගැන්වීම ඇසූ විට ජනයා දෙවි වෙතට ඇදී යයි කියා සිතිය හැකිද? කොහෙත්ම නැත! යුක්තියට ඇලුම් කරන, ප්‍රේමනීය මිනිසුන්ට මේ ගැන සිතීම පවා පිළිකුලක්ය! ‘දෙවි ප්‍රේමය’ බවත් සතුන්ට පවා වද හිංසා කිරීම ඔහු පිළිකුල් කරන බවත් බයිබලයේ උගන්වා ඇත.—1 යොහන් 4:8; හිතෝපදේශ 12:10; යෙරෙමියා 7:31; යෝනා 4:11.
වත්මන් තත්වය
අදදිනත් දෙවිගේ අනන්‍යතාව හා ක්‍රිස්තියානි ඉගැන්වීම් දිගටම විකෘති කරනු ලැබේ. ආගම් පිළිබඳ මහාචාර්යවරයෙක් තම රෙපරමාදු පල්ලියේ තත්වය, “ශුද්ධ ලියවිල්ලේ පිළිගත් ඉගැන්වීම්වල අධිකාරය හා මිනිස් අධිකාරිය අතරද, යේසුස් ක්‍රිස්තුස්ගේ අධිකාරියට පක්ෂපාත වීම හා වත්මන් ආකල්පවලට අනුව ක්‍රිස්තියානි ඉගැන්වීම් සකස් කිරීම අතරද පවතින නිරන්තර සටනක්” ලෙස විස්තර කරයි. “ඉස්මතු වන වැදගත්ම ප්‍රශ්නය වන්නේ, අදදින පල්ලියේ ක්‍රියාකලාපය තීරණය කරන්නේ කවුද යන්නයි. . . . එනම්, ශුද්ධ ලියවිල්ලද, එහෙමත් නැත්නම් යම් කාලයකදී බලපවතින්නාවූ මිනිස් චින්තනයද?” කියා ඔහු ප්‍රශ්න කරයි.
කනගාටුදායක ලෙස ජය අත් කරගෙන තිබෙන්නේ ‘බලපවතින්නාවූ මිනිස් චින්තනයයි.’ තමන් වඩා ප්‍රගතිශීලී බවත් විවෘත මනසක් තිබෙන බවත් පෙන්වීමට, බොහෝ පල්ලි විවිධ කාරණා සම්බන්ධයෙන් තම ස්ථාවරය අත්හැර තිබේ. මෙය කොයි කවුරුත් හොඳින් දන්නා කාරණයකි. පළමුවන ලිපියේ සඳහන් කළ පරිදි, විශේෂයෙන්ම සදාචාරමය කාරණා සම්බන්ධයෙන් පල්ලි දැන් සෑහෙන ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරයි. එනමුත්, කාමමිථ්‍යාචාරය, වේශ්‍යාකම, සමලිංගික සේවනය වැනි දේවල් දෙවි බරපතළ පාප ලෙස සලකන බව බයිබලයේ ඍජු ලෙස ප්‍රකාශ කර ඇත. මෙම ක්‍රියාවල නියැලෙන ජනයා ‘දෙවිගේ රාජ්‍යය උරුම කර නොගන්නා’ බවත් එහි පවසයි.—1 කොරින්ති 6:9, 10; මතෙව් 5:27-32; රෝම 1:26, 27.
ප්‍රේරිත පාවුල් ඉහත සඳහන් උපදෙස් ලියද්දී ඔහු අවට සිටි ග්‍රීක-රෝම ජනයාගේ සදාචාරය සෑම අතින්ම පිරිහී තිබිණ. ‘ලිංගික අපරාධ නිසා දෙවි සොදොම හා ගොමොරාව සහමුලින්ම විනාශ කළ බව ඇත්තයි. නමුත් ඒක සිද්ධ වුණේ අවුරුදු 2,000ට කලින්. ඒක අපේ කාලය වගේ දියුණු යුගයකට ගැළපෙන්නේ නැහැයි’ කියා තර්ක කිරීමට පාවුල්ට ප්‍රස්තාව තිබිණ. නමුත් ඔහු එසේ කළේ නැත. ඔව්, පාවුල් කිසිවිටකත් බයිබල් සත්‍යය දූෂ්‍ය කළේ නැත.—ගලාති 5:19-23.
සත්‍යයේ උල්පත දෙස බලන්න
යේසුස් තම කාලයේ සිටි ආගමික නායකයන්ට පැවසුවේ, ‘මනුෂ්‍ය ශික්ෂා ගුරුකම් කොට ඉගැන්වීම නිසා ඔවුන්ගේ නමස්කාරය නිරර්ථක’ බවයි. (මතෙව් 15:9) එම පූජකයෝ යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් දුන් ව්‍යවස්ථාව විකෘති කළහ. ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂයද කර තිබෙන්නේ ඒ හා සමාන දෙයකි. අද පවා ඔවුන් ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාව නොසලකාහරිමින් මනුෂ්‍ය සම්ප්‍රදායන් උසස් කොට දක්වයි. මෙයින් ඔවුන් කරන්නේ සත්‍යය යටපත් කිරීමකි. නමුත් අවංක සිත් ඇති ජනයාගේ ශුභසිද්ධිය තකා යේසුස් සෑම බොරුවක්ම හෙළි කළේය. (මාර්ක් 7:7-13) එය ජනයාගේ සිත්ගත්තත් නැතත් ඔහු නිතරම සත්‍යය ප්‍රකාශ කළේය. ඔහු තම අධිකාරය වශයෙන් සෑම විටම යොමු දැක්වූයේ දෙවිගේ වචනයටයි.—යොහන් 17:17, 18අ.
යේසුස්, ක්‍රිස්තියානි යන නාමය දරන බොහෝදෙනෙකුට වඩා කොතරම් වෙනස්ද! ඇත්තෙන්ම බයිබලය මෙසේ පුරෝකථනය කළේය. “තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කරගන්නා කාලයක් 2 තිමෝති 4:3, 4, නව අනුවාදය) මෙම ලිපියේ අප එවැනි “මිථ්‍යා ප්‍රබන්ධ” කිහිපයකට යොමු දක්වා ඇත. මිථ්‍යා ප්‍රබන්ධ ආත්මික විනාශයට මඟ පාදයි. නමුත් දෙවිගේ වචනයෙහි ගැබ් වී ඇති සත්‍යය අපව ගොඩනංවයි. එය සදාකාල ජීවනයට අපව මඟ පෙන්වයි. මෙම සත්‍යය හැදෑරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට ඇරයුම් කරයි. ඔබ එම ඇරයුම පිළිගන්නවාද?—යොහන් 4:24; 8:32; 17:3.
පැමිණෙන්නේ ය. එවිට ඔව්හු සත්‍යයට කන් නොදී, මිථ්‍යා ප්‍රබන්ධවලට හැරෙන්නෝ ය.” ([පාදසටහන්වල]
a ඉදිරි පරම්පරාවලදීත් සැබෑ ක්‍රිස්තියානි ආගම දිගටම පවතින්න යන බව තිරිඟු හා කිරිඳි පිළිබඳ මෙන්ම පටු හා පළල් මාර්ග (මතෙව් 7:13, 14) පිළිබඳ උපමාවලින් යේසුස් හෙළි කළේය. නමුත් සැබෑ නමස්කාරය පවතින්නේ ස්වල්පදෙනෙකු අතර පමණයි කියාත්, කිරිඳි වැනි ව්‍යාජ ක්‍රිස්තියානීන් නිසා සැබෑ ක්‍රිස්තියානි ධර්මය වැසී යයි කියාත් ඔහු පැහැදිලි කර දුන්නේය. අදදින මෙවැනි කිරිඳි හා සමාන ක්‍රිස්තියානීන් දහස්ගණනක් සිටින අතර තමන් සැබෑ ක්‍රිස්තියානි ධර්මය අදහන බව ඔවුන් කියාපායි. මෙම ලිපියේ, විපර්යාසයට ලක් වෙමින් පවතින ක්‍රිස්තියානි ධර්මය වශයෙන් යොමු දැක්වෙන්නේ මෙම ව්‍යාජ ක්‍රිස්තියානි ධර්මයටයි.
b “නිරය” හෝ “පාතාලය” යන වචන පරිවර්තනය කර ඇත්තේ, ෂෙයෝල් යන හෙබ්‍රෙව් වචනයෙන් හා හේඩීස් යන ග්‍රීක් වචනයෙනි. මෙම වචන දෙකෙහිම අර්ථය වන්නේ “මිනිවළය.” එමනිසා කිං ජේම්ස් වර්ෂන් නමැති ඉංග්‍රීසි බයිබලයේ, ෂෙයෝලය “නිරය” වශයෙන් 31ක් වරක්ද, “මිනි වළ” වශයෙන් 31ක් වරක්ද, “පාතාලය” වශයෙන් තුන් වරක්ද පරිවර්තනය කර ඇත. මේ වචන තුනේම ගැබ් වී ඇත්තේ එකම අර්ථයක් බව මෙයින් පෙනී යයි.
[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ක්‍රිස්තියානි යන නාමයේ මූලාරම්භය
යේසුස් මිය ගොස් අඩුම තරමින් අවුරුදු දහයකට පසුව ඔහුගේ අනුගාමිකයන්ව දෙවිගේ “මාර්ගයට” අයිති අය වශයෙන් හැඳින්වීය. (ක්‍රියා 9:2; 19:9, 23; 22:4) ඒ මන්ද? ඔවුන්ගේ ජීවන මාර්ගය “මාර්ගයද සැබෑවද ජීවනයද” වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කිරීම වටා කේන්ද්‍රගත වී තිබූ නිසයි. (යොහන් 14:6) දිව්‍ය මැදිහත් වීමකින් පසුව, සිරීය අන්තියෝකියේදී යේසුස්ගේ ගෝලයන්ව ‘ක්‍රිස්තියානීන්’ වශයෙන් හැඳින්වීමට පටන්ගත්තේය. මෙය සිදු වූයේ පො.යු. 44න් ටික කලකට පසුවය. (ක්‍රියා 11:26) මෙම නාමය ජනයා ඉක්මනින් පිළිගත් අතර ප්‍රසිද්ධ පාලකයෝ පවා එය භාවිත කිරීමට පටන්ගත්හ. (ක්‍රියා 26:28) නමුත් ඔවුන්ට අලුත් නාමයක් ලැබුණා කියා ක්‍රිස්තියානීන් තම ජීවන මාර්ගය වෙනස් කළේ නැත. ඔවුහු දිගටම ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුකරණය කිරීමට වෙර දැරූහ.—1 පේතෘස් 2:21.
[7වන පිටුවේ පින්තූර]
ඔවුන්ගේ ප්‍රසිද්ධ දේශනා සේවය තුළින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිගේ වචනය වන බයිබලය වෙතට ජනයාව මඟ පෙන්වයි
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
වමේ සිට තුන්වන එක: United Nations/Photo by Saw Lwin