මුල් පිටුවෙන්
අපරාධ වැඩියි! පරෙස්සමින්!
“ගෙදර එන්න රෑ වුණාම සාමාන්‍යයෙන් යාළුවො මාව ගෙදරටම ඇරලෝනවා. එදා මහන්සි නිසා මං කිව්වා ටැක්සියෙන් යන්නං කියලා.
“ඒත් ටැක්සිකාරයා මාව ගෙනිච්චෙ ගෙදරට නෙමේ පාළු තැනකට. මිනිහා මාව දූෂණය කරන්න හැදුවා. ඒ වෙලාවෙ මං යටි ගිරියෙන් කෑගැහුවා. මිනිහා ගැස්සිච්ච පාර මාව අත් ඇරලා පස්සට ගියා. ආයෙත් ළඟට එන්න හදනකොට මං කෑගහගෙන දිව්වා.
“ඉස්සර නම් මං හිතුවෙ ඒ වගේ වෙලාවක කෑගහලා කොහොමද බේරෙන්නෙ කියලා. ඒත් එදා තමයි තේරුණේ කෑගහන එකේ වටිනාකම.”—කැරන්. *
ප්රවෘත්තිවල අද වැඩියෙන්ම අහන්න දකින්න තියෙන්නෙ අපරාධ ගැන. අපරාධ වැඩිපුර සිදු වෙන රටක විනිසුරුවරයෙක් කිව්වේ “අද අපරාධයකට ගොදුරු වෙන්නැති කෙනෙක් නැති තරම්” කියලා. ඒත් සමහර රටවල අපරාධ වෙන්නෙ අඩුවෙන්. එහෙමයි කියලා තමන්ගෙ ආරක්ෂාව ගැන නොහිතන එක මෝඩකමක්. මොකද වැඩියෙන්ම අපරාධවලට ගොදුරු වෙන්නෙ ඒ වගේ අය.
ඔබේ පළාතේ අපරාධ වැඩියෙන් වුණත් නැතත් ඔබෙත් පවුලේ අයගෙත් ආරක්ෂාව වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්? “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 22:3) පොලිස් නිලධාරීන් පවා කියන්නේ අපරාධයක් වෙන්න කලින් ඒක වළක්වගන්න පියවර ගැනීම තමයි හොඳම දේ කියලා.
කෙනෙක් අපරාධයකට ලක් වුණොත් හානි වෙන්නෙ ශරීරයට, දේපොළවලට විතරක් නෙමෙයි. සෑහෙන කාලයක් යන තුරු මානසිකවත් ඒ කෙනා පීඩා විඳිනවා. ඒ නිසා අපරාධයක් වෙන්න කලින් ඒක වළක්වගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන එක හුඟක් වටිනවා. අද සිදු වෙන අපරාධ වර්ග හතරක් ගැනත් ඉන් ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් දේ ගැනත් අපි බලමු.
සොරකම
අදහස් වෙන දේ. අනතුරක් කරනවා කියලා තර්ජනය කරමින් හරි බලහත්කාරයෙන් හරි අනුන්ගේ දේවල් පැහැරගැනීම.
සිදු වෙන හානිය. බ්‍රිතාන්‍යයේ එක දිගටම සොරකම් කීපයක් සිදු වුණා. ශාරීරික හානි වුණේ නැතත් ගොදුරු වුණ හැමෝම හිටියේ ලොකු මානසික පීඩනයකින් කියලා නීතිඥවරියක් දැක්කා. ඇය කිව්වේ “හුඟදෙනෙක්ට එදිනෙදා වැඩ කරගන්න බැරි තරමට ඒ ඇද්දැකීම බලපාලා. කීපදෙනෙක් තාමත් කාංසාව, නිදාගන්න බැරිකම වගේ දේවලට මුහුණ දෙනවා” කියලයි.
කරන්න පුළුවන් දේ.
-
සුපරීක්ෂාකාරී වෙන්න. හොරු අවස්ථාවාදියෝ. එයාලා ඉලක්ක කරන්නෙ තමන්ට කාගෙන්වත් කරදරයක් වෙන්නෙ නෑ කියලා හිතන අයවයි. ඒ නිසා ඔබ දිහාම බලාගෙන ඉන්න අය ගැන, වටපිටාව ගැන සැලකිල්ලෙන් ඉන්න. සිහිකල්පනාව බොඳ කරන මත්පැන්, මත්ද්‍රව්‍ය වගේ දේවලින් වැළකෙන්න. “කෙනෙක් මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් ගත් විට ඔහුට පැහැදිලිව හිතන්න බැරි වෙන අතර අනතුරක් සිදු වෙන්න තියෙන ඉඩ ගැන අවබෝධය නැති වෙනවා” කියලා විශ්වකෝෂයක කියනවා.
-
දේපළ ආරක්ෂා කරගන්න. වාහනයේ සහ නිවසේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. නාඳුනන අයව ගෙට ගන්නවත් වටිනා දේවල් ප්‍රදර්ශනය කරන්නවත් එපා. හොරු, අනුන්ගෙ දේවල් කඩා වඩා ගන්න බලං ඉන්න ළමයි නිතරම ඇහැ ගහං ඉන්නෙ වටිනා ආභරණ පළඳින සහ අලුත් ෆෝන් වගේ දේවල් අරගෙන යන අයව. ‘නිහතමානී අය ප්‍රඥාවන්තයි’ කියලා බයිබලෙත් කියනවා.—හිතෝපදේශ 11:2
-
මඟ පෙන්වීම් ලබාගන්න. “අඥානයා තමා කරන දේ හරියයි සිතයි. නමුත් උපදෙස්වලට සවන් දෙන්නා ප්‍රඥාවන්තයෙකි.” (හිතෝපදේශ 12:15) ඒ නිසා ගමනක් යනකොට පළාත ගැන දන්න කෙනෙක්ගෙන් හරි පොලිස් නිලධාරියෙක්ගෙන් හරි තොරතුරු අහලා දැනගන්න. එතකොට ආරක්ෂාව අඩු තැන් සහ ඔබ සතු දේවල් ආරක්ෂා කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන්.
ලිංගික අතවර
අදහස් වෙන දේ. දූෂණය කිරීම විතරක් නෙමෙයි බලහත්කාරකම් කිරීම, තර්ජනය කර බියගැන්වීම වගේ දේවලුත් මීට අයිතියි.
සිදු වෙන හානිය. “අතවරයක් වුණාම ඒ වේදනාකාරී අද්දැකීම හුඟ කාලයක් යනකං අමතක වෙන්නෑ. මුළු ජීවිතේම අවුල් වෙනවා. පවුලේ අයටත් බලපානවා.” ඒ අතවරයට ලක් වුණු තැනැත්තියක් කිව්ව අදහස්. මෙහිදී වරද සම්පූර්ණයෙන්ම පැටවෙන්නෙ අතවර කළ කෙනාට මිසක් ඊට ගොදුරු වුණ කෙනා මත නෙමෙයි.
කරන්න පුළුවන් දේ.
-
සැකේ ගණන් නොගෙන ඉන්න එපා. “යම් කෙනෙක් හෝ තැනක් ගැන සැකයක් තියෙනවා නම් එතැනින් ඉවත් වෙන්න. කවුරු මොනවා කිව්වත් ඔයාගේ හිත කියනවා නම් එතැන ඉන්න එක භයානකයි කියලා එතැනින් යන්න.” එහෙම කියන්නෙ ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පොලීසිය.
-
භය ගතියක් පෙන්වන්න එපා. සුපරීක්ෂාවෙන් ඉන්න. කාමාතුරයන් ගොදුරු කරගන්න හදන්නෙ තමන්ට කිසි අනතුරක් වෙන්නෙ නෑ කියලා හිතන අයව සහ අසරණ අයව. ඒ නිසා පාර තොටේ යද්දී කල්පනාවෙන් යන්න. භය ගතියක් පෙන්වන්න එපා.
-
විගස ක්‍රියාත්මක වෙන්න. යටි ගිරියෙන් කෑගහන්න. (ද්විතීය කතාව 22:25-27) එතැනින් පැනලා දුවන්න. පොර බදින්න සිද්ධ වුණොත් කාමාතුරයා බලාපොරොත්තු නොවන ඕනෙම දෙයක් කරන්න. පුළුවන් නම් ආරක්ෂිත තැනකට ගිහිල්ලා පොලීසියට කතා කරන්න. *
අන්තර්ජාලය හරහා සිදු වෙන අපරාධ
අදහස් වෙන දේ. බදු සහ සුභසාධන වංචා කිරීම, අනුන්ගේ ක්‍රෙඩිට් කාඩ්වලින් බඩු මිල දී ගැනීම, භාණ්ඩයට මුදල් ලබාගත්තත් එය නොයවා සිටීම වැනිදේ ඊට ඇතුළත්. අන්තර්ජාල ආයෝජන සහ වෙන්දේසිවලදීත් වංචා සිදු වෙනවා.
සිදු වෙන හානිය. ගොදුර වෙන අයටත් සමාජයටත් සිදු වෙන පාඩුව රුපියල් කෝටි ගණනක්. උදාහරණෙකට සැන්ඩ්‍රාට වෙච්ච දේ බලන්න. බැංකු ගිණුම්වල තොරතුරු ඉල්ලලා ඇයට ඊමේල් එකක් ලැබුණා. ඒක ලැබුණෙ එයා ගනු දෙනු කරන බැංකුවෙන් කියලා හිතලා ඇය තොරතුරු යැව්වා. හැබැයි විනාඩි කීපයක් යන්න කලින් එයාගේ ගිණුමෙන් ඩොලර් 4,000ක් වෙනත් විදේශ බැංකු ගිණුමකට යවලා කියලා එයා දැනගත්තා. පස්සෙ තමයි ඇයට තේරුණෙ තොරතුරු යවලා තියෙන්නෙ හොරෙක්ට කියලා.
කරන්න පුළුවන් දේ.
-
කල්පනාකාරී වෙන්න. විශ්වාසවන්ත ආයතනයක නිල වෙබ් අඩවියක් වගේ පෙනෙන වෙබ් අඩවිවලට රැවටෙන්න එපා. විශ්වාසවන්ත මුල්‍ය ආයතනයක් ඉතාම රහස්‍ය තොරතුරු ඊමේල් එකකින් එවන්න කියලා කියන්නෑ කියලා මතක තියාගන්න. අන්තර්ජාලයෙන් යම් දෙයක් මිල දී ගන්න හෝ ආයෝජනය කරන්න කලින් ඒ ආයතනයේ විශ්වාසවන්තභාවය ගැන හොඳට හොයලා බලන්න. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි” කියලයි බයිබලේ කියන්නෙ. (හිතෝපදේශ 14:15) ගනු දෙනු කරන ආයතනය විදේශ රටක එකක් නම් ටිකක් පරෙස්සමෙන්. මොකද ගැටලුවක් මතු වුණොත් විසඳගන්න ලේසි නෑ.
-
සමාගම ගැනත් එහි නීති රිතිත් දැනගන්න. මේ ගැන හිතන්න. කාර්යාලයේ ලිපිනය මොකක්ද? දුරකතන අංකය හරිද? මිල දී ගන්න භාණ්ඩයේ සම්පූර්ණ මුදල මේකද? තව අමතර මුදලක් ගෙවන්න වෙයිද? භාණ්ඩය ලැබෙන්නෙ කවදද? භාණ්ඩය එපා නම් මුදල් ආපහු ලබාගන්න පුළුවන්ද?
-
හිතාගන්න බැරි තරම් ලාභයක් ලැබෙනවා නම් පරෙස්සම් වෙන්න. අන්තර්ජාලයේ හොරුන් වැඩියෙන්ම ඉලක්ක කරන්නෙ කෑදරකමට සහ කුණු කොල්ලෙට බඩු හොයන අයවයි. මේ හොරුන්ගේ ඇමවල් තමයි මහන්සි නොවී ලොකු මුදලක් හොයාගන්න ක්‍රම, ණය මුදලක් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බැරි අයටත් එවැනි දෙයක් ලබා දීම, අවදානමක් නැහැයි කියා පෙන්වමින් වැඩි පොලියක් ලබා දෙන ආයෝජන ක්‍රම වගේ දේවල්. ඒ නිසා එක්සත් ජනපදයේ ජාතික වෙළඳ කොමිසම (FTC) මේ වගේ උපදෙසක් දෙනවා. “වැඩි ලාභ ලබා දෙන්න පොරොන්දු වෙනවා නම් එතැන අවදානම වැඩියි. ඒ නිසා ආයෝජනයක් කරන්න කලින් ඒක නීත්‍යානුකූල ආයතනයක්ද කියලා හොයලා බලන්න. වෙළඳ ප්‍රචාරකයන් පීඩනයක් එල්ල කළ පළියට ඒ ආයතනය ගැන සොයා බලන්නෙ නැතුව කිසි දෙයක් කරන්න එපා.”
අනන්‍යතාව සොරාගැනීම
අදහස් වෙන දේ. තව කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු නීති විරෝධි විදිහට හොරකම් කරලා ඒ පුද්ගලයා නමින් වංචා කිරීම හෝ වෙනත් අපරාධ සිදු කිරීම.
සිදු වෙන හානිය. මේ හොරුන් ඔබේ නමින් ක්‍රෙඩිට් කාඩ් හෝ ණය මුදල් ලබාගන්නවා. අලුත් ගිණුම් අරිනවා. එහෙම කරලා ඔබව ලොකු ණයකාරයෙක් කරනවා. ඔබ කොහොම හරි ඒ ණය මුදල් අවලංගු කරගැනීමට පියවර ගත්තත් බැංකුවට ඔබ ගැන තිබුණ විශ්වාසය නැති වෙනවා. “ණයකාරයෙක් කියලා නරක නමක් ලැබෙනවට වඩා හොඳයි මගෙ සල්ලි ටික එක සැරේ හොරකම් කෙරුවා නං” කියලා ඊට ගොදුරු වූ කෙනෙක් කියනවා.
කරන්න පුළුවන් දේ.
-
රහස්‍ය තොරතුරු ආරක්ෂා කරන්න. ඔබ අන්තර්ජාලය හරහා බැංකු කටයුතු හෝ මිල දී ගැනීම් කරනවා නම් ඔබේ පාස්වර්ඩ් එක නිතර නිතර මාරු කරන්න. පොදු පරිගණකයක් පාවිච්චි කරනවා නම් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. කලින් කිව්වා වගේ ඊමේල් එකකින් ඔබේ රහස්‍ය තොරතුරු ඉල්ලනවා නම් හුඟක් පරෙස්සම් වෙන්න.
මේ හොරකම් සිදු කරන්නේ පරිගණකවලින් විතරක් නෙමෙයි. එම හොරුන් බැංකු ගනු දෙනු පත්‍ර, චෙක් පොත්, ක්‍රෙඩිට් කාඩ්, හැඳුනුම් පත් අංක වගේ දේවල් හොරකම් කරලා වංචනික වැඩ කරනවා.
ඒ නිසා ඒ වගේ දේවල් පරෙස්සමෙන් තියාගන්න. ඒ වගේ රහස්‍ය ලියවිල්ලක් අහක දාද්දී නිකම්ම විසි කරන්නැතුව පුච්චලා දාන්න. හදිස්සියෙවත් ඒ වගේ වැදගත් දෙයක් හොරකම් කරලා කියලා දැනගත්තොත් ඉක්මනින්ම අදාළ තැන්වලට දැනුම් දෙන්න. -
ගනු දෙනු ගැන අවධානයෙන් ඉන්න. “අනන්‍යතාව සොරාගන්න අයගෙන් ගැලවෙන්න තියෙන හොඳම ක්‍රමය තමන් කරන හැම ගනු දෙනුවක් ගැනම සුපරීක්ෂාවෙන් සිටීමයි. ගනු දෙනුවල යම් වෙනසක් වෙලා කියලා ඉක්මනින්ම දැනගත්තොත් ප්‍රශ්න ගැටලු අඩු කරගන්න පුළුවන්” කියලා FTC කියනවා. ඒ නිසා ඔබේ බැංකු ගිණුම මාසෙකට වතාවක්වත් පරීක්ෂා කරන්න. ගනු දෙනුවල අසාමාන්‍ය වෙනසක් තියෙනවාද කියලා බලන්න. ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත ගැන වාර්තාවක් ලබා ගෙන ඔබේ ගිණුමෙන් මුදල් ගෙවා තියෙන්නෙ ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතට පමණක්ද කියලා සොයා බලන්න.
අපි ඉන්නෙ දුෂ්ට ලෝකයක. ඒ නිසා කිසිම දෙයක් ගැන සියයට සීයක් විශ්වාස කරන්න බෑ. හැම දෙයක් ගැනම සුපරීක්ෂාරීව ඉන්න අය පවා අපරාධවලට ගොදුරු වෙනවා. ඒත් බයිබලේ තියෙන නැණවත් උපදෙස් පිළිපැදීමෙන් අපිට ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. “ප්‍රඥාව අත් නොහරින්න. එවිට එය ඔබව ආරක්ෂා කරනු ඇත. ප්‍රඥාවට ඇලුම් වන්න. එයින් ඔබ රැකෙනු ඇත.” (හිතෝපදේශ 4:6) අද තියෙන අපරාධ දෙවියන් සම්පූර්ණයෙන්ම නැති කරනවා කියලා පොරොන්දු වෙනවා. ඒක මොනතරම් සහනයක්ද!
අපරාධ නැති සමාජයක් ළඟදීම!
දෙවියන් එහෙම කාලයක් ගෙනෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ද? මේ දේවල් ගැන හිතන්න.
-
දෙවියන්ට ඕනේ අපරාධ නැති කරලා දාන්න. “යෙහෝවා දෙවි වන මම යුක්තියට ප්‍රිය කරමි. අධර්මිෂ්ඨකමත් සොරකමත් මම හෙළාදකිමි.”—යෙසායා 61:8.
-
දෙවියන්ට බලය තියෙනවා අපරාධ නැති කරලා දාන්න. “ඔහු බලයෙන් ඉතා උසස්ය. ඔහු කිසිදා යුක්තිය හා ධර්මිෂ්ඨකම සුළු කොට තකන්නේ නැත.”—යෝබ් 37:23.
-
දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා දුෂ්ටයාව විනාශ කරලා ධර්මිෂ්ඨයාව රැකගන්නවා කියලා. “දුෂ්ටයන්ව විනාශ කරනු ලබන්නේය.” “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:9, 29.
-
දෙවියන් පොරොන්දු වෙනවා අවංක අයට සාමය රජයන අලුත් සමාජයක ජීවත් වෙන්න ලැබෙනවා කියලා. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:11.
ඔබ කියෙව්ව දේවල් ඇත්තටම අද්දකින්න ආසද? එහෙමනං දෙවියන් ගැනත් ඔහු අපි වෙනුවෙන් ඉටු කරන පොරොන්දු ගැනත් බයිබලයෙන් තවදුරටත් දැනගන්න. බයිබලේ තරම් වෙන කිසිම පොතක එදිනෙදා ජීවිතේට ගැළපෙන නැණවත් උපදෙස් නෑ. ඒ විතරක් නෙමෙයි අපරාධ නැති සමාජයක් ගැන පොරොන්දුවක් දීලා තියෙන්නේ බයිබලේ විතරයි! *
^ 5 ඡේ. නම් වෙනස් කර ඇත.
^ 22 ඡේ. හුඟ වෙලාවට අතවරයට ලක් වෙන්නෙ දන්න අඳුනන අය අතින්මයි. මේ ගැන තව තොරතුරු දැනගන්න යොවුන් සිතේ ගැටලු 1වන පොතේ 228වෙනි පිටුවේ “කාමාතුරයන්ගෙන් මම ආරක්ෂා වෙන්නේ කොහොමද” යන පරිච්ඡේදය බලන්න. මේ පොත www.jw.org/si යන වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.
^ 44 ඡේ. බයිබලේ තියෙන වැදගත් ඉගැන්වීම් ගැන දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ පිටපතක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ලබාගන්න. නැත්නම් www.jw.org/si වෙබ් අඩවියෙන් කියවන්න.