Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

පාරාදීසය

පාරාදීසය

පාරාදීසය කියන්නේ මොකක්ද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

සමහර අය හිතන විදිහට පාරාදීසය කියන්නේ මේ ලෝකයේදී ලබන්න බැරි සැප සම්පත් තියෙන තැනක්. තවත් අයට ඒක හිතින් මවාගත්තු සුරංගනා ලෝකයක් විතරයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දෙවියන් මුල් මිනිස් යුවළ නිර්මාණය කරලා ඔවුන්ව පදිංචි කෙරුවේ ඒදන් කියන උයනෙයි. (උත්පත්ති 2:7-15) පොළොව මත තිබුණ ඒ උයන ඇත්ත එකක්. බයිබලයේ කියන විදියට ඔවුන් එහි ගත කළේ අසනීප සහ මරණය නැති සර්ව සම්පූර්ණ ජීවිතයක්. (උත්පත්ති 1:27, 28) ඒ නිසා ඒ උයන විස්තර කරන්න “පාරාදීසය” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඒ යුවළ දෙවියන්ට අකීකරු වුණ නිසා ඒ පාරාදීසය ඔවුන්ට නැති වුණා. නමුත් අනාගතයේදී මේ මුළු පොළොවම ආපහු පාරාදීසයක් කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.

මේ තොරතුරු ඔබටත් වැදගත්.

මුල් යුවළ අකීකරු වුණේ ප්‍රේමණීය දෙවි කෙනෙක්ට. ඔහු එච්චර ප්‍රේමණීය දෙවි කෙනෙක් නම් ඔහුට කීකරු වන අයට සර්ව සම්පූර්ණ ජීවිතයක් නොදී ඉඳියිද? පාරාදීස පොළොවේ ජීවත් වෙන්න ඔහු ඔබටත් අවස්ථාව දෙන්න කැමතියි. හැබැයි ඒක ලැබෙන්නේ දෙවියන්ව දැන හඳුනාගෙන ඔහුගේ ආඥා පිළිපැද්දොත් විතරයි.—යොහන් 17:3; 1 යොහන් 5:3.

“යෙහෝවා දෙවි, . . . ඒදන්හි උයනක් සාදා තමා සෑදූ මිනිසාව එහි තැබුවේය.”උත්පත්ති 2:8.

පාරාදීසය තියෙන්නේ කොහේද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

පාරාදීසය තියෙන්නේ ස්වර්ගයේ කියලා සමහරු හිතනවා. තවත් සමහරු විශ්වාස කරන්නේ අනාගතේදී පොළොව පාරාදීසයක් වෙනවා කියලයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.” (ගීතාවලිය 115:16) පොළොව නිර්මාණය කරලා තියෙන්නේ සදහටම පවතින්න කියලත් බයිබලයේ කියනවා. (ගීතාවලිය 104:5) ඒකෙන් පැහැදිලි වෙන්නේ මුල් මිනිස් යුවළට සදහටම ජීවත් වෙන්න දුන් පාරාදීසය තිබුණේ මේ පොළොවේ බවයි.

එහෙමනම් දෙවි අනාගතේදී අපිට දෙන්න යන පාරාදීසය තියෙන්න ඕනෙත් මේ පොළොවෙමයි. ඒ කාලයේදී මිනිසුන් දුක වේදනාව නැති සාමය දසත පැතිරුණු පොළොවක සදාකාලයටම ජීවත් වෙන්න යනවා. මුළු පොළොවම පාරාදීසයක් වුණාම එය උපරිමයෙන් භුක්ති විඳින්නත් එහි සුන්දරත්වය අත්විඳින්නත් අපි හැමෝටම පුළුවන් වෙයි.—යෙසායා 65:21-23.

“දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. . . . මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”එළිදරව් 21:3, 4.

පාරාදීසයේ ජීවත් වෙන්නේ කවුද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

පාරාදීසයේ ජීවත්වෙන්න ලැබෙන්නේ හොඳ මිනිස්සුන්ට කියලා හුඟක් ආගම්වල කියනවා. හැබැයි හොඳ මිනිස්සු කියන්නේ මොන වගේ අයටද කියන එක ඒ අයට ප්‍රශ්නයක්. සමහරු හිතන්නේ හොඳ මිනිස්සු කියන්නේ ආගමික වත්පිළිවෙත්වලට හවුල් වෙන අය කියලයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

පාරාදීසයේ ජීවත් වෙන්නේ “ධර්මිෂ්ඨ” අයයි. ධර්මිෂ්ඨයි කියලා දෙවි සලකන්නේ මොන වගේ අයවද? බයිබලයේ මේ වගේ ප්‍රශ්නයක් අහනවා. “යෙහෝවා දෙවි කැමති තමාට යාග හා දවන පූජා ඔප්පු කරනවාටද නැත්නම් තමාට කීකරුකම පෙන්වනවාටද?” ඊටපස්සේ මෙහෙම කියනවා. “පූජාවලට වඩා කීකරුකම වටිනවා.” (1 සාමුවෙල් 15:22) ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවිට කීකරුනොවී ආගමික වත්පිළිවෙත්වලට පමණක් හවුල් වෙන අය ධර්මිෂ්ඨ අය විදිහට දෙවියන් සලකන්නේ නැහැ කියලයි. කෙටියෙන්ම කියනවා නම් පාරාදීස පොළොවේ ජීවත්වෙන ධර්මිෂ්ඨ අය වෙන්නේ බයිබලයේ සඳහන් දෙවිගේ නීති සහ ප්‍රතිපත්තිවලට කීකරු වන අයයි.

ඔබට කළ හැකි දේ.

ඔබේ ජීවිතය ගත කරන විදිහෙන් ඇත්තටම දෙවිව සතුටු කරනවාද නැද්ද කියලා පෙන්වන්න ඔබට පුළුවන්. දෙවිව සතුටු කරන්න ඔබ කරන්න ඕනෙ දේ බයිබලය අධ්‍යයනය කිරීමෙන් දැනගන්න. දෙවිව සතුටු කරන එක අමාරු දෙයක් නෙමෙයි. මොකද බයිබලයේ කියන්නේ දෙවිගේ “ආඥා පිළිපැදීම බරක් නොවේ” කියලයි. (1 යොහන් 5:3) ඔබත් දෙවිට කීකරු වුණොත් මේ පොළොව පාරාදීසයක් වුණාම එහි ජීවත් වෙන්න දෙවි ඔබටත් අවස්ථාව ලබා දෙනවා.

“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”ගීතාවලිය 37:29.