Skip to content

පටුනට යන්න

කකුල් හතරේ සල්ලි මල්ල

කකුල් හතරේ සල්ලි මල්ල

කකුල් හතරේ සල්ලි මල්ල

“අපි ජීවත් වන පළාතේ ඌරෝ කියන්නේ වටිනා සම්පතක්. ඒ නිසා ඌරෙක්ව ඇති කරනවා කියන්නේ ලොකු වගකීමක්. මගේ තාත්තා මට ඌරු පැටියව බලාගන්න කිව්වහම මට සතුටක් වගේම භයකුත් දැනුණා. ඌ හුඟක් පුංචි නිසා මම හිතුවා ඌ මැරෙයි කියලා.” එසේ පැවසුවේ පැපුවා නිව් ගිනියාවේ ජීවත් වෙන ඇන්මරී.

ඇන්මරී ඇගේ පුංචි ඌරු පැටියව බලාගත්තේ කොහොමද? පැපුවා නිව් ගිනියාවේ ගම්බද වාසීන්ට ඌරෝ සල්ලි තරම් වටින්නේ ඇයි? ඇය පිබිදෙව්! වාර්තාකරුට පැවසුවේ මෙයයි.

ඔයා ගැනයි ඔයා ජීවත් වෙන ප්‍රදේශය ගැනයි ටිකක් කියන්න පුළුවන්ද?

මට මල්ලිලා දෙන්නෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. අපි ජීවත් වෙන්නේ බටහිර පැත්තට වෙන්න තියෙන කඳුකර පළාතේ පුංචි ගම්මානයක. අපේ ගේ පිදුරු සෙවිලි කළ පුංචි ගෙයක්. ගේ තියෙන්නේ ඇළ පාරක් ළඟ. අපේ ගමේ 50දෙනෙක් විතර ඉන්නවා. ඒ හැමෝම නෑදෑයෝ.

ගමේ හුඟදෙනෙක් කරන්නේ හේන් ගොවිතැන්. අපිටත් තියෙනවා එළවළු කොටුවක්. බතල, පිපිඤ්ඤා, වට්ටක්කා, කෝපි වගේ දේවල් වගා කරලා තියෙනවා. මම ආසයි මහන්සි වෙලා වත්තේ වැඩ කරන්න. මම ගෙදර උයන පිහන වැඩත් රෙදි හෝදන වැඩත් කරනවා. ඒ විතරක් නෙවෙයි මම පුංචි ඌරු පැටියවත් බලාගන්නවා.

ඌරු පැටියව බලාගන්න විදිහ කියන්න පුළුවන්ද?

තාත්තා දැනට අවුරුද්දකට කලින් ඌරු පැටියව ගේනකොට ඌව අත්දෙකට ගන්න පුළුවන් තරම් පුංචි එකෙක්. හැමදාම මම ඌට බතල පොඩි කරලා ඒකට මාළු, ලුණු, වතුර, උක්ගස් යුෂ දාලා ඌට කන්න දෙනවා. රෑට අපේ පැත්තේ හුඟක් සීතල නිසා ඌරු පැටියා නිදාගත්තේ ලිප ළඟ එල්ලලා තිබුණු ගෝණියේ. මමත් එතනම පැදුරක් එළාගෙන නිදාගන්නවා. ඌව එහෙම බලාගත්තු නිසා තමයි ඌ හොඳට හැදුණේ.

මම ඌරු පැටියට නමක් තිබ්බේ නැහැ. අපි ඌට අඬගැහුවේ ඌරා කියලමයි. මම ඌරු පැටියව බලාගත්තේ දරුවෙක් වගේ. කෑම බීම දුන්නා, නෑව්වා, ඌත් එක්ක සෙල්ලම් කළා. ඌ කොච්චර මට කිට්ටු වුණාද කිව්වොත් මම යන හැම තැනම ඌත් පස්සෙන් එනවා.

ඌ ලොකු වුණාට පස්සේ මම හැමදාම එළවළු කොටුවට යනකොට ඌවත් ගෙනිච්චා. අපේ ගෙදර ඉඳන් එළවළු කොටුවට යන්න විනාඩි 15ක් විතර යනවා. මම එහේ වත්තේ ගහක ඌව ගැටගහනවා. ඌ දවස පුරාම පස් පෙරළ පෙරළා පණුවොයි ගස්වල මුලුයි හාරලා කනවා. එහෙම පස් පෙරළන එක අපේ වගා වැඩවලටත් ප්‍රයෝජනවත්. හවසට මම ඌව ගෙදර ගෙනල්ලා මඩුවට දාන්න කලින් අමු බතල හරි උයපු බතල හරි දෙනවා.

කඳුකරයේ ඉන්න අයට ඌරෝ එච්චර වටින්නේ ඇයි?

අපේ පැත්තේ අය කියන්නේ සල්ලි කියන්නේ ඌරෝ, ඌරෝ කියන්නේ සල්ලි කියලයි. මුදල් නෝට්ටු පාවිච්චි කරන්න හුඟ කාලෙකට කලින් මුදල් වෙනුවට පාවිච්චි කළේ ඌරන්වයි. අදටත් ඒ විදිහට ගනු දෙනු කරනවා. එක සැරයක් කාර් විකුණන අය අලුත් කාර් එකක් මිල දී ගත්ත අයට ඌරෙක්වත් දුන්නා. මෙහේ ඉන්න ගෝත්‍රික අය ආරවුලක් වුණාම ඒක විසඳගන්නේ සල්ලි හරි ඌරෙක් හරි දීලයි. මනමාලයන් හුඟදෙනෙක් මනමාලිගේ පැත්තේ දෙමාපියන්ට අඹුවැද්ද හැටියට දෙන්නේ ඌරන්වයි.

එහෙමනම් ඌරු මස් කියන්නේ මසුරං වටින කෑමක් වෙන්න ඇති

ඔයා හරි. ඌරු මස් හරි ගණන්. අපි ඌරු මස් කන්නේ මළ ගෙයක්, මගුල් ගෙයක් වගේ අවස්ථාවකදී විතරයි. මෙහේ ඉන්න සමහර ගෝත්‍රවල අය ලොකු උත්සවවලදී කෑමට ඌරෝ සිය ගණන් මරනවා. එහෙම කරන්නේ ඒ අයගේ වත් පොහොසත්කම් පෙන්නන්න, එහෙම නැත්නම් උදව් කරපු අයට කළ ගුණ සලකන්න.

ඔයගොල්ලන් ඇති කරන ඌරන්ට මොකද කරන්නේ?

ඌරෝ කියලා කියපු එක හරි. අපි ගෙනාපු පැටියා ලොකු වෙලා පැටව් දැම්මා. අපි ළඟදී එක පැටියෙක්ව කීනා 100කට වික්කා (රුපියල් 5,000ක් විතර). අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. අවුරුද්දකට සැරයක් අපිට ලොකු සමුළුවක් තියෙනවා. ඒ සමුළුවට යන්න බස් වියදම්වලට තමයි ඒ සල්ලි පාවිච්චි කළේ. පවුලේ අනිත් වියදම් පිරිමහගන්න තාත්තා ඉතුරු පැටවුන්වත් විකුණයි.

ගොඩක් ඌරෝ හැදුවොත් ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන්නේ?

අපිට පොහොසත් වෙන්න ඕනේ නැහැ. අපිට ඕන වෙන්නේ අපේ මූලික අවශ්‍යතා පිරිමහගන්න විතරයි. අපේ පවුලේ අය වැඩි අවධානයක් දෙන්නේ යෙහෝවා දෙවියන්ට සේවය කරන්නයි. රැස්වීම්වලට යන එක, අනික් අයට දෙවි ගැන උගන්වන එක තමයි අපිට වැදගත් වෙන්නේ. අපි ගත කරන ජීවිතය හරි සරලයි. ඒත් ඉන්නේ සතුටෙන්.

මම දැන් තවත් වැදගත් වැඩක් කරනවා. ඒ නිසා මගේ මුළු කාලයම වත්තේ වැඩ කරන්නයි ඌරෝ හදන්නයි වැය කරන්නේ නැහැ. මම අපේ අසල්වැසියන්ට බයිබලයේ තියෙන සත්‍යය උගන්වන දේවසේවිකාවක්. යේසුස් අණ කරපු මේ සේවය කරන්න මම සතියේ දවස් කිහිපයක්ම වෙන් කරලා තියෙනවා. (මතෙව් 28:19, 20) මං හරි ආසයි කවදා හරි දවසක පෝට් මෝස්බි නගරයේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ කාර්යාලයේ වැඩ කරන්න. සාක්ෂිකරුවන්ගේ පොත් පත් දේශීය භාෂාවලට පරිවර්තනය කරන්නේ ඒ කාර්යාලයේ. මට ඒ අවස්ථාව නොලැබුණත් යෙහෝවා දෙවිට සේවය කරන එක තමයි මගේ ජීවිතයේ වැදගත්ම දේ. කකුල් හතරේ සල්ලි මල්ලෙන් ලැබෙන ආදායම අපිට ලොකු උපකාරයක්.

[12වන පිටුවේ පින්තූරය/කොටුව]

අපේ පුවත්

● නිව් ගිනියා දූපතේ වැසියන් මිලියන දෙකකට ආසන්න ඌරෝ ඇති කරනවා. ඒ අනුව ජනගහනය සහ ඌරන් සසඳන විට එය තුනට එකේ අනුපාතයක්.

● ගම්බද පළාත්වල වෙසෙන ජනයාගෙන් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක් ඌරන්ව ඇති කරනවා.

[10වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

ඉන්දුනීසියාව

පැපුවා නිව් ගිනියාව

ඕස්ට්‍රේලියාව

ඉන්දුනීසියාව

පැපුවා නිව් ගිනියාව

පෝට් මෝස්බි

බටහිර කඳුකරය

ඕස්ට්‍රේලියාව

[10, 11වන පිටුවල පින්තූරය]

වත්තට යනවා

[11වන පිටුවේ පින්තූරය]

නාන වෙලාව

[11වන පිටුවේ පින්තූරය]

සෙල්ලම් කරන වෙලාව