Skip to content

පටුනට යන්න

“මෙහෙමත් නහයක්”

“මෙහෙමත් නහයක්”

“මෙහෙමත් නහයක්”

අපිව දැක්ක ගමන් කාගේ කටිනුත් පිට වෙන්නේ ඒ වචන ටික තමයි. හැමෝම එහෙම කියන්නේ අපේ ලොකු නහය නිසයි. * අපිව හඳුන්වන්නෙත් දික් නාස වඳුරන් (Proboscis monkeys) කියලයි. අපේ සමහර පිරිමි අයගේ නහය ගොඩක් දිගයි. අපේ ඇඟේ දිග ප්‍රමාණයෙන් හතරෙන් එකක් විතර නහය දිගයි. ඒ කියන්නේ අඟල් හතක් විතර දිගයි. අපේ නහය නිකට ගාවට විතර දිග නිසා කෑම කනකොට නහය පැත්තකට කරලා තමයි අපිට කන්න වෙන්නේ. මිනිස්සුන්ට අපේ වගේ නහයක් තිබුණා නම් එයාලගේ පපුව ගාවට විතර ඒක එල්ලෙයි.

පිරිමි අපිට මේ නහය ගොඩක් ප්‍රයෝජනවත්. * මම හිතන විදිහට අපේ ඇඟේ උෂ්ණය පිට කරන්නත් ගැඹුරු හඬක් නිකුත් කරන්නත් අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ නහය නිසයි. රැළේ ඉන්න අනික් පිරිමින්ව භය කරගන්නෙත් නහය පෙන්නලා. ටිකක් කේන්ති යනකොටයි කලබල වෙනකොටයි නහය ටිකක් ලොකු වෙලා රතු වෙනවා. අපේ නහය නිසා අපිට තවත් වාසියක් තියෙනවා. මොකද අපේ කෙල්ලන්ගේ හිත යන්නෙත් මේ නහයට තමයි. මම කිව්වේ අපේ නහයෙන් තියෙන ප්‍රයෝජන කිහිපයක් විතරයි. අපේ නහය ගැන තවමත් හොයාගෙන නැති තොරතුරු ගොඩක් තියෙන්න පුළුවන්.

කළගෙඩියක් වගේ බඩගෙඩියක්

ගැහැනු පිරිමි කියලා නැහැ අපි හැමෝටම කළගෙඩි වගේ බඩගෙඩි තියෙනවා. අපේ බඩේ බර ඇඟේ බරෙන් හතරෙන් එකක් විතර වෙනවා. පිරිමි අපිව පේන්නෙත් බඩදරු අම්මලා වගේ.

අපිට ලොකු බඩක් තියෙන්නේ ඇයි කියලා දන්නවාද? අපේ බඩත් එළදෙනුන්ගේ බඩ වගේලු. උන්ට තියෙනවලුනේ ආමාශයේ දියර සහ බැක්ටීරියා. අපෙත් එහෙමලු. අපි කන ආහාර මේ බැක්ටීරියා නිසා බඩේදී පැසෙනවා. ඒ නිසා අපිට පැණි රස වැඩි පලතුරු ජාති කන්න බැහැ. කෑවොත් බඩ පිපිලා අපි මැරෙයි.

මේ බැක්ටීරියා නිසා අපිට ප්‍රයෝජන තියෙනවා. අපි කන කෑමවල තියෙන සෙලියුලොස් දිරවන්න පහසු අංශු බවට පත් කරන්නෙත් මේ බැක්ටීරියා. ඒ වගේම අපි කන කෑමවල විස නසන්නෙත් මේ බැක්ටීරියා තමයි. මේ නිසා අපිට පැණි රස නැති පලතුරු, ඇට වර්ග, තාල වර්ගයට අයත් ගස්වල කොළ වගේ දේවල් කිසි භයක් නැතුව කන්න පුළුවන්.

අපි කන්නේ සෙලියුලොස් වැඩිපුර තියෙන කෑම ජාති නිසත් අපේ ආමාශය හැදිලා තියෙන විදිහ නිසත් අපි කෑවම දිරවන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා උදේට කෑවට පස්සේ ඊළඟට කන්න කලින් අපි හොඳ නින්දක් දානවා.

අපි තනි වෙන්න කැමති නැහැ

අපි ගොඩක් වෙලාවට කන්නෙත් විවේක ගන්නෙත් එකට. සාමාන්‍යයෙන් එක රැළක පිරිමියෙකුයි ගැහැනු අටදෙනෙකුයි එයාලගේ පැටව්නුයි ඉන්නවා. රැළේ ඉන්න පිරිමි පැටව්න්ට යමක් කමක් කරගන්න පුළුවන් වුණාම උන්ව රැළෙන් අයින් කරනවා. මේ වගේ පිටවෙන නහඹරයෝ ටික වැඩිහිටියෝ එක් කෙනෙක් දෙන්නෙක් එක්ක වෙනම රැළක් හදාගන්නවා. බැලූ බැල්මට එයාලවත් පේන්නේ අපේ රැළ වගේ තමයි.

අපි කොහොමත් ආසයි අනික් අයත් එක්ක එකතු වෙලා ඉන්න. හැන්දෑවට අපි හැමෝම වගේ ගං ඉවුරට එකතු වෙනවා. ඒ වගේ වෙලාවට පොඩි පොඩි ප්‍රශ්නත් ඇති වෙනවා. එක රැළක ඉන්න කෙනෙක් තවත් රැළක ඉන්න ගැහැනු සතෙකුට බැල්ම දැම්මොත් ඒ රැළේ නායකයා එයාගේ ශක්තිය පෙන්නන්න එක එක දේවල් කරනවා. කිලෝ 20ක් විතර බර, රැළේ නායකයා අතපය දික් කරලා, කට ඇරලා ඌව භය කරනවා. “එහෙම කරලා භය කරගන්න බැරි වුණොත් එක පාරටම ගහකට නැඟලා දිරච්ච අතුවලට පනිනවා. ඒ අතු කඩා වැටෙන සද්දෙට අනිත් වඳුරෝ භය වෙනවා.” අපි ගැන පොතක සඳහන් වෙලා තිබුණේ ඒ විදිහටයි. (Proboscis Monkeys of Borneo) අපි ඉඳලා හිටලා රණ්ඩුත් වෙනවා.

“අපේ පෙනුම විතරක් නෙමෙයි අපේ සද්දෙත් හරිම අමුතුයි” කියලා ඒ පොතේ කියලා තිබුණා. අපි හවසට ගං ඉවුරේ එකතු වුණාම ටිකක් සද්දේ දානවා. අපිට තියෙන්නේ ගොරහැඬි හඬක්. අවට මොන සද්දේ තිබුණත් අම්මලාට නම් කිසි ගාණක් නැහැ. ඒගොල්ලන් තමන්ගේ පාඩුවේ දරු සුරතල් බලබලා ඉන්නවා. අපේ පුංචි එවුන් හරිම ලස්සනයි. උන්ගේ මූණවල් නිල් පාටයි. ටිකක් අඳුර වැටීගෙන එද්දී අපි රැය පහන් කරන්න ගං ඉවුරේ තියෙන උස ගස් හොයාගන්නවා.

අමුතු තාලේ කකුල්

නහය වගේම අපේ කකුලුත් ටිකක් අමුතුයි. අපේ කකුලේ ඇඟිලිවලින් බාගයක් තාරාවන්ගේ කකුල් වගේ එකට ඇලිලා. අපිට පීනන්නත් මඩ තියෙන කඩොලාන බිම්වල ඇවිදින්නත් පුළුවන් වෙලා තියෙන්නේ මේ වගේ කකුල් තියෙන නිසයි. කඩොලාන බිම් කියනකොට ඔයාලට කිඹුල්ලු මතක් වෙනවා ඇති. අපි ඉන්න ගං ඉවුරුවල කිඹුල්ලු හුඟක් ඉන්නවා. ඒ නිසා අපි ඉන්නේ භයෙන්.

අපිත් තැනේ හැටියට ඇණේ ගහන්න දන්නවා. අපි ගඟෙන් එගොඩ වෙන්නේ හරිම පරෙස්සමින්. අපි හෙමිහිට වතුරට බැහැලා බල්ලෝ පීනලා යනවා වගේ සද්ද බද්ද කරන්නේ නැතුව පීනලා යනවා. ගංගා පටු නම් අපි ගහක අත්තක එල්ලිලා පුළුවන් තරම් ඈතට පනිනවා. එතකොට අපිට පීනන්න තියෙන්නේ ටික දුරයි. අපි ඒ ටික දුර එක හුස්මට පීනලා යනවා. පොඩි උන් ඉන්න අම්මලත් ගඟෙන් එගොඩ වෙන්නේ මේ විදිහටම තමයි. සමහර වෙලාවට අපි රංචු පිටින් මේ විදිහට ගඟෙන් එගොඩ වෙනවා. කොහොමවුණත් කිඹුල්ලුන්ටත් වඩා අපිට නපුරුකම් කරන අය ඉන්නවා.

අපේ ජීවිත අනතුරේ

අපේ රැළ එන්න එන්නම අඩු වෙනවා. අපේ ජීවිතයට වැඩියෙන්ම හානියක් වෙලා තියෙන්නේ මිනිසුන්ගෙන්. පිටරටවලින් එන අය නිසාත්, වගා කරන්න ගෙවල් හදන්න කැලෑ එළි කරන නිසාත් අපිට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපිට වෙඩි තියලා මිනිස්සු විනෝදයක් ලබනවනේ. අපිට නම් ඒ වගේ දෙයක් හිතාගන්නවත් බැහැ. තවත් අය අපිව මරන්නේ කෑමට. පාරම්පරික බෙහෙත් හේත් හදන්නත් අපිව මරනවා. අපි ගං ඉවුරේ තියෙන ගස්වල ඉන්න නිසා ඕනෙම කෙනෙකුට අපිව ඉක්මනින්ම පේනවා. ඒ නිසා බෝට්ටුවල යන අයට අපිට වෙඩි තියන්න හරිම ලෙහෙසියි. අවුරුදු පහක් ඇතුළත අපේ සංඛ්‍යාව භාගයක්ම අඩු වෙලා.

අපේ ආරක්ෂාව සඳහා බෝර්නියෝ දූපතේ ඉන්න සත්ව සංරක්ෂණ නිලධාරීන් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවලු. ඒත් අපිට වෙන අනතුරු නම් අඩු වෙලා නැහැ. ඒ ක්‍රියාමාර්ග සාර්ථක වෙයිද කියලා අපිත් කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා.

අමුතු පෙනුමක් හා අසාමාන්‍ය සැකැස්මක් ඇති එම වඳුරු විශේෂය අපේ සත්ව සම්පතින් තුරන් වී ගියොත් එය මොන තරම් අපරාධයක්ද! එම වඳුරු විශේෂයත් වඳ වී යන සත්ව විශේෂයක් ලෙස නම් කර තියෙනවා. වෙනත් සත්ව විශේෂ රාශියක් දැනටමත් වඳ වී ගොස් හමාරයි. නමුත් සතුටට කරුණක් වන්නේ එවැනි දෙයක් දිගටම සිදු වීමට මේ විශ්වයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි ඉඩ නොදීමයි. ළඟදීම ඔහු මේ පොළොවෙන් දුෂ්ටයන්ව ඉවත් කර ඔහුගේ සෙනඟට මේ පොළොව රැකබලා ගන්නා ආකාරය උගන්වයි. (හිතෝපදේශ 2:21, 22) ඒ කාලයේදී ලැබෙන ආශීර්වාද ගැන දෙවි මෙසේ පොරොන්දු වී තිබෙනවා. “මගේ ශුද්ධ කන්දේ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත් විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.”—යෙසායා 11:9.

[පාදසටහන්වල]

^ 2 ඡේ. මෙම වඳුරු විශේෂය දැකගත හැකි වන්නේ බෝර්නියෝ දූපතේයි.

^ 3 ඡේ. පිරිමි සතුන්ගේ නහය තරම් ගැහැනු සතුන්ගේ නහය දිග නැහැ.

[12වන පිටුවේ පින්තූරය]

අසාමාන්‍ය නහයක් සහ කළගෙඩියක් වගේ බඩගෙඩියක් තියෙනවා

[හිමිකම් විස්තර]

© Peter Lilja/age fotostock

[13වන පිටුවේ පින්තූරය]

පිරිමි සතාගේ නහය දිග නිසා කෑම කනකොට නහය පැත්තකට කරලයි කන්නේ

[හිමිකම් විස්තර]

© Juniors Bildarchiv/Alamy

[14වන පිටුවේ පින්තූරය]

බොහෝ වෙලාවට කන්නෙත් විවේක ගන්නෙත් එකට

[හිමිකම් විස්තර]

© Peter Lilja/age fotostock