Skip to content

පටුනට යන්න

ඉතිරියටත් ඉඩක් දෙන්න

ඉතිරියටත් ඉඩක් දෙන්න

ඉතිරියටත් ඉඩක් දෙන්න

‘අතේ ඇති දේ හිතේ හැටියට විදම් කරලා සතුටින් ඉන්න එක හොඳයි’ කියා අද බොහෝදෙනෙක් සිතනවා.

ලෝක ආර්ථිකය බිඳවැටීමත් සමඟම එසේ සිතීම එතරම් ඥානවන්ත දෙයක් නොවෙයි. ඒ නිසා මුදල් ඉතිරි කිරීම හා කල්පනාකාරීව වියදම් කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඒ සඳහා අපට ප්‍රායෝගික උපදෙස් ලබාගත හැක්කේ කොතැනින්ද?

ණැනවත් උපදෙස්

පොළොවේ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. ඔහු පැවසූ එක් උපමාවක සඳහන් වන ස්වාමියා, තම දාසයාට මෙවැනි දෙයක් පැවසුවා. “මගේ රිදී මුදල් බැංකුකරුවන්ට දී ඔවුන් ළඟ එය තැන්පත් කරන්න ඔබට තිබුණා. එවිට මා නැවත පැමිණි විට මා සතු දේ පොලියත් සමඟ මට ලැබෙන්න තිබුණා.” (මතෙව් 25:27) එහි පෙන්නුම් කරන්නේ ඉතිරි කිරීමේ ඇති වටිනාකමයි. එය අපි කාටත් අදාළයි.

මෑත කාලවලදී සමහර රටවල, කෙනෙක් යම් මුදලක් තැන්පත් කළ විට වසර දහයක් වැනි කාලයක් ඇතුළත ඔහු තැන්පත් කළ මුදලට වඩා වැඩි මුදලක් පොලිය ලෙස ඔහුට ලබාගැනීමට හැකියාව තිබුණා. නමුත් අද බොහෝ බැංකුවල එවැනි පොලියක් ලබා නොදෙන බව ඇත්තයි. ඒ කෙසේවෙතත් මුදල් ඉතිරි කිරීමෙන් හදිසි අවස්ථාවකදී එය ඔබට පිහිට වෙයි.

බයිබලයේ පවසන්නේ “මුදල ආරක්ෂාවක්” කියායි. (දේශනාකාරයා 7:12) නමුත් ඔබ මුදල් ඉතිරි කරන්නේ නැත්නම් එය ඔබට ආරක්ෂාවක් වන්නේ නැහැ. ඒ නිසා ඔබේ තත්වයට අනුව යමක් ඉතිරි කිරීමට පුරුදු වන්න.—1 කොරින්ති 16:2.

ඉතිරි කිරීමට යෝජනා

1වන යෝජනාව යම් මිල අධික භාණ්ඩයක් ගැනීමට පෙර එය ඔබට අත්‍යවශ්‍යද කියා සිතන්න.

2වන යෝජනාව අලුත් භාණ්ඩයක් වෙනුවට හොඳ තත්වයේ තිබෙන පාවිච්චි කළ එකක් ගත හැකිද කියා බලන්න. එසේ නැත්නම් සේල් දමා ඇති ස්ථානයකින් ගත හැකිද කියා බලන්න. ඒ වගේම යුරෝපයේ එක් රටක ජීවත් වන එස්පන් හා යාන් නමැති යුවළට තම සිඟිත්තා වෙනුවෙන් ළදරු කරත්තයක් මිල දී ගැනීමට අවශ්‍ය වුණා. ඔවුන් අලුත් එකක් වෙනුවට අඩු මිලකට හොඳ තත්වයේ තිබෙන පාවිච්චි කළ එකක් මිල දී ගත්තා. ඒ ගැන යාන් මෙවැනි දෙයක් පවසනවා. “පස්සේ අපිට මේක විකුණන්න වුණත් පුළුවන්. හැබැයි පාවිච්චි කළ භාණ්ඩ හොයන්න ටිකක් කාලය ඕනේ.” *

3වන යෝජනාව ඔබට යම් භාණ්ඩයක් අවශ්‍යයි කියා සිතෙනවා නම් එය මිල දී ගැනීමට හදිසි වෙන්න එපා. ඒ භාණ්ඩය මිල අධික හෝ ප්‍රසිද්ධ කඩයක විකුණූ පමණින් එය උසස් තත්වයේ එකක් කියා සිතන්නත් එපා. ඒ වගේම කුඩා දරුවන්ගේ ඇඳුම් මිල අධික බව ඔබ දැක ඇති. ඒ නිසා ඔබේ නෑදෑ හිතමිතුරන් කැමැත්තෙන් දෙන පාවිච්චි කළ ඇඳුම්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්ද බලන්න.

කුඩා දරුවන්ට ඩයපර්ස් පාවිච්චි කරනවා වෙනුවට නැවත සෝදා පාවිච්චි කළ හැකි රෙදි නැපි භාවිත කිරීමට පුරුදු වීම වඩා හොඳයි. ඒ ගැන එක් පොතක සඳහන් වුණේ මෙයයි. “අවුරුදු දෙකක් ඩයපර්ස් භාවිත කරනවා නම් ඒ සඳහා ඩොලර් 2,000ක මුදලක් [රුපියල් 2,20,000ක් පමණ] වැය වන අතර රෙදි නැපි භාවිත කිරීමට වැය වන්නේ ඩොලර් 300ත් 500ත් අතර [රුපියල් 33,000ත් 55,000ත් අතර] ප්‍රමාණයක් පමණයි. ඒ වගේම රෙදි නැපි දරුවටත් පහසුයි. ඉන් පරිසරයට හානියකුත් නැහැ.”—Budgeting—Personal Spending and Money Management a Key to Weathering the Storm.

4වන යෝජනාව කඩෙන් කනවාට වඩා නිවසේදී ආහාර පිසීමට උත්සාහ කරන්න. ඒ වගේම පාසැල් ගෙන යෑම සඳහා නිවසේ පිළියෙල කළ ආහාරයක් දරුවාට දෙන්න. අනික් අතට විවිධ බීම වර්ග වෙනුවට ජලය පානය කරන්න. එය ලාභදායී මෙන්ම ශරීරයටද හිතකරයි.

ඔබේ වත්තේ පලතුරු හෝ එළවළු වර්ග වගා කළ හැකිදැයි බලන්න. ඔබට තිබෙන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක් වුවත් ඔබ එය අත්හදා බැලුවහොත් ලැබෙන ප්‍රයෝජනය ගැන ඔබ පුදුම වෙයි.

ඔබ ජංගම දුරකථනයක් භාවිත කරන කෙනෙක් නම් අත්‍යවශ්‍යම කාරණාවලට පමණක් එය භාවිත කරන්න. ඒ වගේම පසු ගෙවුම් පැකේජයක් භාවිත කරනවා වෙනුවට පෙර ගෙවුම් පැකේජයක් භාවිත කිරීමෙන් දුරකථන ඇමතුම් සඳහා සීමාවක් ඇතුව මුදල් වැය කිරීමට ඔබට හැකියි. ඔබ රෙදි සෝදන යන්ත්‍රයක් භාවිත කරන කෙනෙක් නම් වරින් වර රෙදි සෝදනවා වෙනුවට එකවිට ඔබේ රෙදි සෝදන්න. ඔබ වායුසමීකරණයක් හෝ වෙනත් විදුලි උපකරණ භාවිත කරනවා නම් අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිහරණය කිරීමට වගබලා ගන්න.

ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම බොහෝ සේ ප්‍රයෝජනවත් විය හැකියි. දකුණු අප්‍රිකාවේ ජීවත් වන හිල්ටන් මෙවැනි දෙයක් පවසනවා. “ඔබේ මුදල් එක බැංකුවක තැන්පත් කරන්න එපා. කොයි වෙලේ බැංකුව බංකොලොත් වෙයිද කියලා දන්නේ නැහැ. ඒක අපිටත් වුණා.” ඒ නිසා බැංකු ගිණුමක් විවෘත කිරීමට ප්‍රථමයෙන් එම බැංකුවට රජයේ අනුමැතිය තිබෙනවාද කියා සොයා බලන්න.

ණය බරින් ගොඩ එන්නේ කෙසේද?

1වන යෝජනාව ඔබට මාසිකව යම් ණයක් ගෙවීමට තිබෙනවා නම් මාසික වාරිකයට වඩා මදක් වැඩිපුර ගෙවීමට උත්සාහ කරන්න.

2වන යෝජනාව ඔබ ගෙන ඇති ණය මුදල් අතරින් වැඩි පොලියක් අය කරන මුදල් ගෙවීමට මුල් තැන දෙන්න.

3වන යෝජනාව අනවශ්‍ය වියදම් කපාහරින්න.

බොහෝවිට වෙළෙඳ දැන්වීම්වලින් සිදු වන්නේ ණය වීමට මිනිසුන්ව පෙලඹවීමයි. ස්වීඩනයේ ජීවත් වූ ඩැනීගේ අද්දැකීම වුණේ එයයි. ඕනෑවට වඩා බඩුමුට්ටු ගැනීමට ගොස් ණය වීම නිසා අවසානයේදී ඔහුගේ සාර්ථක ව්‍යාපාරයත් ඔහුට විකිණීමට සිදු වුණා. දැන් ඔහු මුදල් පරිහරණයේදී හුඟක් පරෙස්සම් වෙනවා. ඔහු පවසන්නේ “තමන්ගේ සීමාව දැනගෙන වියදම් කරන්න” කියායි.

දිගුකාලීන ආයෝජනයක්

බොහෝ අයට එකවර මුදල් ගෙවා නිවසක් මිල දී ගැනීමට නොහැකි නිසා ඔවුන් බැංකු ණයක් ගෙන නිවසක් මිල දී ගන්නවා. ඔවුන් මාසිකව ගෙවන බැංකු වාරිකය සලකන්නේ ගෙවල් කුලිය ලෙසයි. බැංකු ණය ගෙවා අවසන් වන විට ඔවුන්ට තමාටම කියා නිවසක්ද තිබෙනවා. එය ඔවුන්ට ඉතිරියක්.

සමහර අය වාහනයක් මිල දී ගැනීම සඳහා බැංකු ණයක් ලබාගන්නවා. * මිල දී ගන්නා වාහනය ඉන්ධන පිරිමැස්මකින් භාවිත කළ හැකි එකක් නම්, ඒ වගේම ගත් ණය ඉක්මනින්ම ගෙවා දැමීමට හැකියාව තිබෙනවා නම් එයින්ද යම් මුදල් ඉතිරියක් වෙනවා. තවත් සමහර අය අලුත් වාහනයක් මිල දී ගන්නවා වෙනුවට හොඳ තත්වයේ තිබෙන පාවිච්චි කරන ලද වාහනයක් මිල දී ගන්නවා. එසේ කිරීමෙන්ද සිදු වන්නේ මුදල් ඉතිරි කරගැනීමක්. ඒ වගේම වාහන පහසුකම් තිබුණත් බයිසිකලයක් හෝ පොදු ගමනාගමන සේවයෙන් ප්‍රයෝජන ගන්නා අයද සිටිනවා. ඔවුන් එසේ කරන්නේ යම් මුදලක් ඉතිරි කරගැනීම සඳහායි.

ඔබ කුමන ක්‍රමයකට මුදල් ඉතිරි කළත් එම මුදල් යොදවන්නේ කුමකටද යන්න ගැන කල්පනාකාරී වීම අවශ්‍යයි. එසේ නැත්නම් ඔබ හිතුමතේට වියදම් කළොත් ප්‍රශ්න රැසකට මුහුණ දීමට ඔබට සිදු වෙනවා. අනික් අතට මුදල් ඉතිරි කිරීමෙන් දිගුකාලීන සතුටක් අත් වන බව කාලයත් සමඟම ඔබටම වැටහේවී.

මුදල් ඉතිරි කිරීමට නම් අරපිරිමැස්මෙන් යුතුව මුදල් පරිහරණය කරන්නේ කෙසේද කියාත් ඔබ දැනගත යුතුයි. ඊළඟ ලිපියේ අපි සාකච්ඡා කරන්නේ ඒ ගැනයි.

[පාදසටහන්වල]

^ 10 ඡේ. සමහර අය සොරකම් කළ භාණ්ඩ විකුණන නිසා ඔබ භාණ්ඩය මිල දී ගන්නා කෙනාගෙන් ඔහුගේ නම සහ ලිපිනය ඇතුළත් රිසිට්පතක් ලබාගන්න.

^ 24 ඡේ. යම් හෙයකින් ඔබට බැංකු ණය ගෙවීමට නොහැකි වුණොත් මිල දී ගත් නිවෙස හෝ වාහනය වගේම ඒ දක්වා ගෙවූ මුදල්ද ඔබට අහිමි වෙන බව මතක තබාගන්න.

[5වන පිටුවේ පින්තූර]

ඉතිරි කිරීමට ක්‍රම

සේල් දැමූ භාණ්ඩ ගැන සොයා බලන්න

රෙදිපිළි ගැනීමේදී සේල්වලින් ගත හැකිදැයි බලන්න

නිවසේදීම ආහාර පිළියෙල කිරීමට දරුවන්ට කියා දෙන්න

[6වන පිටුවේ පින්තූරය]

කුඩා ඉඩක වුණත් වගා කරන්න. ඇඳුම් සෝදන විට එකවර සෝදන්න.