Skip to content

පටුනට යන්න

කියන්න පෙර සිතන්න

කියන්න පෙර සිතන්න

කියන්න පෙර සිතන්න

‘අපරාදේ, මට ඒක නොකියා ඉන්න තිබුණේ’ කියා කවදා හෝ ඔබට හැඟී තිබෙනවාද? බොහෝදෙනෙකුගේ අද්දැකීම එයයි. අපට ඕනෑම සතෙකුව මෙල්ල කිරීමට හැකි වුණත් “දිව මෙල්ල කිරීම” නම් පහසු නැහැ. (යාකොබ් 3:7, 8) ඉන් අදහස් කරන්නේ ඒ සඳහා උත්සාහ කිරීම නිෂ්ඵල දෙයක් බවද? නැහැ. පහත සඳහන් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව වැඩ කිරීමෙන් කුඩා නමුත් මේ ප්‍රබල ඉන්ද්‍රිය පාලනය කරන්න අපට හැකියි.

“කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය. එහෙත් බුද්ධිමත් තැනැත්තා තම වචන කල්පනාකාරීව හසුරුවයි.” (හිතෝපදේශ 10:19) අපි සීමාවක් නැතුව කතා කරනවා නම් අපේ මුවින් යම් මෝඩ දෙයක් හෝ අන් අයව රිදවන දෙයක් පිට විය හැකියි. පාලනයකින් තොරව භාවිත කරන දිවක් නිසා අපහාසාත්මක දේවල් හා ඕපාදූප ලැව් ගින්නක් මෙන් පැතිර යා හැකියි. (යාකොබ් 3:5, 6) අනික් අතට වචන ‘කල්පනාකාරීව හසුරවනවා’ නම් ඇති විය හැකි හානි අවම කරගන්න පුළුවන්. එවිට අප නුවණින් කටයුතු කරන අය බවට පත් වන අතර අන් අයගේ ගෞරවය හා විශ්වාසය දිනාගැනීමටත් සමත් වෙනවා.

“ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.” (යාකොබ් 1:19) කෙනෙක් යමක් පවසන විට අප ඊට ඇහුම්කන් දෙනවාට ඔහු කැමතියි. ඉන් අප පෙන්වන්නේ ඔහු ගැන සැලකිලිමත් කියා පමණක් නොව ඔහුට ගෞරව කරන බවයි. නමුත් කෙනෙක් අපගේ සිත රිදවන හෝ අපව කෝප කරවන යමක් පවසන විට අප ‘කෝප වීමට ප්‍රමාද විය යුතුයි.’ සමහරවිට ඔහු එසේ පැවසුවේ යම් පීඩනයකින් සිටි නිසා විය හැකියි. පසුව ඔහු ඒ ගැන කනගාටු වී අපෙන් සමාව ඉල්ලීමට ඉඩ තිබෙනවා. නමුත් ඔබේ කෝපය පාලනය කරගැනීම අපහසුයි කියා ඔබට දැනෙනවාද? එසේනම් උපකාර ඉල්ලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. එවැනි අවංක ඉල්ලීම්වලට ඔහු නිසැකවම සවන් දෙනවා.—ලූක් 11:13.

“මෘදු වූ වදන්වලින් ඇටකටු පවා බිඳිය හැක.” (හිතෝපදේශ 25:15) බොහෝදෙනෙක් සිතන්නේ මෘදු කෙනෙක්, බියගුලු කෙනෙක් කියායි. නමුත් ඔහු එවැනි කෙනෙක් නොව, ශක්තිමත් කෙනෙක්. කෝපය නිසා හෝ වරදවා වටහාගැනීමක් නිසා අපට විරුද්ධව රළු ලෙස කටයුතු කරන කෙනෙකුගේ සිත වෙනස් කිරීමට මෘදු වචන කිහිපයකට හැකියි. නමුත් එවැනි අවස්ථාවක මෘදු ලෙස කතා කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. ඒත් අපේ මෘදු වචනවලින් ඇති විය හැකි හොඳ ප්‍රතිඵල ගැන කල්පනා කර බැලීම සුදුසුයි.

ඉහත සඳහන් ප්‍රතිපත්ති ඇත්තෙන්ම දෙවිගෙන් ලැබුණු ‘ප්‍රඥාවන්ත’ මඟ පෙන්වීම්. (යාකොබ් 3:17) ඒවා අදාළ කරගන්න අපි උත්සාහ කරනවා නම් අපගේ වචන ඉතා ගෞරවාන්විත, ප්‍රියමනාප මෙන්ම අන් අයව දිරිගන්වනසුලු ඒවා බවට පත් වෙයි. එවැනි වචන බයිබලයේ විස්තර කර තිබෙන්නේ මේ ආකාරයටයි. “නිසි කලට කියන වදන් කැටයම් කළ රිදී බඳුන්වල තැබූ රන් ඇපල් මෙනි.”—හිතෝපදේශ 25:11.