Skip to content

පටුනට යන්න

ධනයට වඩා වටිනා ආශීර්වාද

ධනයට වඩා වටිනා ආශීර්වාද

තරුණ වියේ පසු වූ ජෝන් එක්සත් ජනපදයේ උසස් රැකියාවක නිරත වූ කෙනෙක්. ඔහු ලෝකය පුරාම සංචාරය කරමින් බොහෝ මුදල් ඉපයුවා. ඔහුත් ඔහුගේ භාර්යාවත් ජීවත් වුණේ සුඛෝපභෝගි නිවසක. ඔවුන්ට කිසි දෙයකින්වත් අඩුවක් තිබුණේ නැහැ. බොහෝදෙනා සිතුවේ ඔවුන් ආශීර්වාදලත් යුවළක් කියායි.

තවත් අද්දැකීමක් සලකා බලන්න. ඔහුගේ නම කොස්තා. * ප්‍රසිද්ධ යුරෝපීය බැංකුවක තනතුරකට අයදුම්පත් 5,000ක් අතරින් තෝරාගත් 80දෙනා අතරට ඔහුවද තේරී පත් වුණා. වසර කිහිපයක් ඇතුළත ඔහුට උසස්වීම් ගණනාවක් ලැබුණා. අවසානයේදී ඔහු වෙනත් බැංකුවක ප්‍රධාන අංශයක් භාරව කටයුතු කළා. පසු කාලයකදී ඔහු ඔහුගේම ආයතනයක් ආරම්භ කළා. සාමාන්‍ය පුද්ගලයෙක් ජීවිත කාලය පුරාම උපයන මුදල්වලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ඔහු වසරකදී හම්බ කළා. ඔහු සිතුවේ ඔහු ආශීර්වාද ලත් තැනැත්තෙක් කියායි.

එහෙත් ඉහත කී දෙදෙනා තේරුම්ගත්තේ ධනයට වඩා වටිනා ආශීර්වාද තිබෙන බවයි. උදාහරණයකට අද ජොන් දෙවිට ළං වීමට අවශ්‍ය බයිබල් දැනුම අන් අයට ලබා දීමේ ස්වේච්ඡා සේවයේ හවුල් වෙනවා. ඔහු මෙසේ පවසයි. “ධන සම්පත්වලට සැබෑ සතුට ලබා දෙන්න බැරි බව මම අද්දැකීමෙන් තේරුම්ගත් දෙයක්. ධන සම්පත් ලබාගැනීමටත් එය රැකගැනීමටත් කාලය යෙද වූ විට වෙනත් දෙයක් සඳහා කාලය ඉතිරි වන්නේ නැහැ. එහෙත් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමෙන් බොහෝ ආශීර්වාද භුක්ති විඳිමට ඉඩ සැලසෙනවා. ඒවා නම් හොඳ පවුල් ජීවිතයක්, සාමකාමී මනසක් හා හොඳ හෘදය සාක්ෂියක්.”

කොස්තා එවැනිම දෙයක් පවසනවා. “අපි ධන සම්පත් ප්‍රදර්ශනය කරනවාට දෙවි කවදාවත් කැමති නැහැ. අපේ අවශ්‍යතාවන්ට වඩා වැඩියෙන් ලබාගැනීමට දෙවි ආශීර්වාද කරන්නේ ඒවා ඔහුගේ කැමත්තට අනුව යෙදවීම සඳහායි. මෑතකදී කොස්තා හා ඔහුගේ පවුලේ අය බයිබල් සත්‍යයන් අන් අයට ඉගැන්වීම සඳහා තවත් භාෂාවක් ඉගෙනගත්තා. ඔහු පවසන්නේ ගැනීමට වඩා දීමෙන් මහත් සතුටක් ලැබෙන බව අපි හොඳින් තේරුම්ගෙන තිබෙනවා” කියායි.—ක්‍රියා 20:35.

මේ දෙදෙනා තේරුම්ගත්තේ දෙවි සමඟ තිබෙන සම්බන්ධය නිසා ලැබෙන ආශීර්වාද ධන සම්පත්වලට වඩා බොහෝ සෙයින් වටිනා බවයි. හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යය ඩැනියල් ගිල්බර්ට් පවසන්නේ මානසික සෞඛ්‍ය විශේෂඥවරුන් “ධනයෙන් සතුට ලැබෙනවාද කියා දශක ගණනාවක් පුරා සොයා බලා තිබෙනවා කියායි. ඔවුන් කියා සිටින්නේ දුගී කෙනෙකුට ධනය ලැබීමෙන් ඔහුගේ ජීවන තත්වය උසස් වන විට යම් ප්‍රීතියක් ලැබුණත් එම තත්වය අත් කරගැනීමෙන් පසු ඉන් එහාට ප්‍රීතිය වැඩිවන්නේ නැති බවයි.”

යථාර්ථය තේරුම්ගනියි

“කෙනෙක් දුගී තත්වයෙන් ගොඩ ආ පසු ඔහු ඒ ගැන යම් සතුටක් ලබනවා. ඔහුගේ ආදායම වැඩි වූ පමණින් ඔහුගේ ජීවිතයේ සතුට වැඩි වන්නේ නැහැයි කියා” ඒ පිළිබඳව නිරීක්ෂණය කළ කෙනෙක් පැවසුවා. පසුගිය ශතවර්ෂයේ මුල්භාගයේ වානේ කාර්මාන්තය දියුණු කිරීමට පුරෝගාමීව කටයුතු කළ ඇන්ඩෘ කානගී නම් ව්‍යාපාරිකයා සමඟ සාකච්ඡාවක් පැවත්වීමට වාර්තාකරුවෙකුට හැකි වුණා. එම ව්‍යාපාරිකයා එවකට ලෝකයේ සිටි ධනවත් පුද්ගලයන්ගෙන් කෙනෙක්. ඔහු මෙසේ පැවසුවා. “කිසි කෙනෙක් මං ගැන ඊර්ෂ්‍යා කළාට වැඩක් නැහැ. මගේ වයස දැන් අවුරුදු හැටයි. මම කෑම කෑවත් ඒ කෑම දිරවන්නේ නැහැ. මට මගේ තරුණ ශක්තියත් නිරෝගීකමත් ලබාගන්න පුළුවන් නම් මගේ මුළු සේසතම වුණත් දෙන්න කැමතියි.”

වාර්තාකරු තවදුරටත් මෙසේ පවසනවා. “කානගී මහතා හැරී ඉතා පහත් ස්වරයෙන් හා කළකිරීමකින් යුතුව මෙහෙම කිව්වා. ‘මට නිරෝගී ජීවිතයක් ආපහු ලබාගන්න පුළුවන් නම් මා සන්තක ඕනෑම දෙයක් දෙන්න ලෑස්තියි.’” තෙල් ව්‍යාපාරයෙන් හිණිපෙත්තටම ගිය කෝටිපතියෙක් වන ජේ. පෝල් ගෙටිත් ඒ හා සමාන අදහසක් දරනවා. “සල්ලිවලින් සතුට ලැබෙනවාට වඩා බොහෝවිට අත් වන්නේ දුකයි.”

බයිබල් ලේඛකයෙක් කළ අයැදීම කොතරම් ඥානවන්තද කියා ඔබත් පිළිගනියි. “මට දුප්පත් වීමටවත් පොහොසත් වීමටවත් ඉඩ නොදී, එදිනෙදා අවශ්‍ය ආහාර පාන විතරක් ලබා දෙන්න. නැත්නම් මා ඕනෑවට වඩා තෘප්තියට පත් වී, “යෙහෝවා දෙවි කවුද? මා ඔහුව හඳුනන්නේ නැහැ” යයි කියමින් ඔබව ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ. එසේත් නැත්නම්, මා දිලිඳුකමට වැටී සොරකමට පුරුදු වී ඔබගේ නමට නින්දා කිරීමට පෙලඹෙයි.”—හිතෝපදේශ 30:8, 9NW.

ඉපැරණි ඊශ්‍රායෙලයේ රජ කෙනෙක් වූ සලමොන් රජ ඔහු අත් කරගත් සාර්ථකත්වය ගැන පැවසුවේ මෙසේයි. “මට කලින් යෙරුසලමේ ජීවත් වූ අන් සියලුදෙනාටම වඩා මම ඉතා ශ්‍රේෂ්ඨ, බලවත් කෙනෙකු වුණෙමි.” ඒත් පසුව ඔහු පැවසුවේ “කිසිම දෙයකින් පලක් නැත. ඒ සියල්ල සුළඟ පසුපස හඹා යෑමකි” කියායි. (දේශනාකාරයා 2:9-11NW) නමුත් “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි” කියා ඔහු තේරුම්ගත්තා.—හිතෝපදේශ 10:22NW; දේශනාකාරයා 5:12, 13.

සදාකාලික ආශීර්වාද

ජීවිතයේ සෑම දෙයකටම වඩා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය වැදගත් කියා සිතනවා නම් අපට ඉන් සැබෑ සතුට හා තෘප්තිය ලබාගත හැකියි.

අපට මුදල් ගැන තිබෙන කනස්සල්ල සැමදා පවතින්නේ නැහැ. එයට හේතුව ගිජු වාණිජ ලෝකය මුළුමනින්ම උපුටා දමන කාලයක් අනාගතයේදී පැමිණෙන බවට බයිබලයේ සහතික කර තිබීමයි. (1 යොහන් 2:15-17) දුෂ්ට පිළිවෙළ විනාශ වීමෙන් අනතුරව දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ඔහුගේ පාලන ක්‍රමය ආරම්භ වෙයි. එවිට පොළොවේ රජයන්නේ සාමය, සතුට සහ ප්‍රේමයයි. එය මොන තරම් ආශීර්වාදයක්ද!—යෙසායා 2:2-4; 2 පේතෘස් 3:13; 1 යොහන් 4:8-11.

ජීවිතයේ වැදගත්ම දේ දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය කියා සිතනවා නම් ඉන් බොහෝ ආශීර්වාද ලැබෙයි

ඒ කාලයේදී දෙවි මනුෂ්‍යයන්ගේ සෑම අවශ්‍යතාවක්ම ඉටු කර දෙනවා පමණක් නොව වැදගත්ම දේ වන දෙවිත් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමටද මනුෂ්‍යයන්ට අවස්ථාවක් ලබා දෙනවා. එම නිසා ජීවිතය කිසිදා නිරස වන්නේ නැහැ. කෑම, බීම, ඉඳුම් හිටුම් සහ තෘප්තිය ගෙන දෙන කාර්යයන්වලද නිරත වීමට හැකි වෙනවා. කිසිවෙක් දුගීකමෙන් පෙළෙන්නේ නැහැ.—ගීතාවලිය 72:16; යෙසායා 65:21-23; මීකා 4:4.

බයිබලයේ සඳහන් යෙහෝවා නම් දෙවිගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබන අයගේ බලාපොරොත්තුව කිසිදා කඩ වෙන්නේ නැහැ. (රෝම 10:11-13) එසේ නම් ධනය පසු පස හඹා යනවාට වඩා දෙවි ලබා දෙන ආශිර්වාද අත් කරගැනීමට වෙහෙසීම කොතරම් ඥානවන්තද!—1 තිමෝති 6:6-10.

^ 3 ඡේ. නම වෙනස් කර ඇත.