රෙදිවලට පාට ලැබුණේ කොහොමද?
රෙදිවලට පාට ලැබුණේ කොහොමද?
බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්
වර්ණවත් දේ අප නෙත නොගැටෙනවා නම් අපේ ජීවිතය කොතරම් නීරස දෙයක් වෙයිද! එසේනම් ඉතිහාසය පුරාම මිනිසා රෙදිවලට පාට පාට සායම් දැමීම පුදුමයක්ද!
සාමාන්‍යයෙන් අපි ගන්නා රෙදිපිළිවල සායම් යනවට අපි කැමති නැහැ. ඒ නිසා සායම් ලබාගන්නේ කොහොමද, මේවා රෙදිවලට යොදන්නේ කොහොමද කියා දැනගැනීමට අපි උතුරු එංගලන්තයේ බ්‍රැඩ්ෆර්ඩ්හි තිබෙන විශේෂ කෞතුකාගාරයකට ගියා. * එහිදී ඈත අතීතයේ සිට අද දක්වා සායම් නිපදවීම සඳහා භාවිත කර තිබූ විවිධ දේවල් අපට දැකගන්න ලැබුණා.
ඈත අතීතයේදී
දහනවවන සියවසේ අගභාගය වන තුරුම සායම් ලබාගත්තේ විවිධ ශාක, කෘමීන් හා මුහුදු බෙල්ලන් වැනි ස්වාභාවික දේවලින් පමණයි. උදාහරණයකට නිල් හා කහ සායම් ලබාගත්තේ පැළෑටි වර්ග දෙකකින් (1), (2). රතු සායම් ලබාගත්තේ තවත් පැළයක මුල්වලින්. විශාල ගස් වර්ගයක කඳෙන් කලු සායමත්, පාසි වර්ගයකින් දම් පාට සායමත් ලබාගත්තා. මිල අධික රතට හුරු දම් පැහැති සායම් වර්ගයක් ලබාගත්තේ මුහුදු බෙල්ලො වර්ගයකින් (3). මෙම සායම් වර්ගය යෙදූ රෙදිපිළි බොහෝවිට පරිහරණය කළේ රෝම පාලකයන් විසින්.
නමුත් රෝම අධිරාජ්‍යටත් කලින් විවිධ ධනවතුන්ගේ රෙදිපිළිවලට භාවිත කළේ ස්වාභාවික සායම් වර්ගයි. (එස්තර් 8:15) එක් රතු සායම් වර්ගයක් ලබාගත්තේ කුඩා කෘමියෙකුගෙන් (4). පෙනෙන විදිහට පුරාණ ඊශ්‍රායෙල්වරුන්ගේ මණ්ඩපයේ තිබූ තිර රෙදි සඳහාත් උත්තම පූජකයාගේ නිළ ඇඳුම සඳහාත් මේ වර්ගයේ සායම් භාවිත කර තිබෙනවා.—නික්මයාම 28:5; 36:8.
සායම් දැමීමේ ක්‍රියාවලිය
සායම් දමනවා කියන්නේ නිකම් රෙද්ද සායම්වල ඔබනවාට වඩා සංකීර්ණ දෙයක් කියා අපිට මේ සංචාරයේදී පැහැදිලි වුණා. බොහෝවිට සායම් දමන රෙදිවල, සායම් රඳවාගැනීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා. මෙවැනි රෙද්දක් සේදුවත් ඉන් සායම් යෑමක් සිදු වන්නේ නැහැ. කෙසේවෙතත් මේ රසායනික ද්‍රව්‍ය සැර නිසා අත් දෙක පරිස්සම් කරගෙන වැඩ කිරීම අවශ්‍යයි.
සායම් දැමීමේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ඉතා දර්ශනීය එකක් වුණත් සමහර අවස්ථාවලදී මේ ක්‍රියාවලිය අතරතුරේදී අමිහිරි සුවඳක්ද පිට වෙනවා. උදාහරණයකට පැළයක මුල්වලින් ලබාගත් රතු පැහැති සායම් වර්ගය කපු රෙද්දට දැමූ විට දීප්තිමත් රත් පැහැයක් ගෙන දුන්නා. ඒ වර්ණය හිරු එළියටත්, ජලයටත්, බ්ලීච්වලටත් ඉතා හොඳින් ඔරොත්තු දෙනවා. එක් වකවානුවකදී මේ සායම් වර්ගය ගැනීමේ සිට රෙදිවලට දැමීම දක්වා විවිධ පියවර 38ක්ම සිදු කළ යුතු
වුණා. එය සම්පූර්ණයෙන්ම නිම කරන්න මාස හතරක් විතර ගත වුණා. මේ ආකාරයට සායම් දැමූ මෝස්තරයක් මොන තරම් අලංකාරද! (5).කෘත්‍රිම සායම්
මුල් වතාවට කෘත්‍රිම සායම් වර්ගයක් නිෂ්පාදනය කළේ විලියම් හෙන්රි පර්කින් විසින්. ඒ 1856දීයි. එය රතට හුරු දම් පැහැති සායම් වර්ගයක්. දහනවවන සියවසේ අගභාගයේදී විවිධ වර්ණයන්ගෙන් යුත් කෘත්‍රිම සායම් වර්ග බොහොමයක් නිපදවා තිබුණා. අද දින මෙවැනි කෘත්‍රිම සායම් වර්ග 8,000කටත් වැඩියෙන් නිෂ්පාදනය කරනවා (6). ස්වාභාවික සායම් ලෙස දැනට භාවිත වෙන්නේ ගසක කඳෙන් ලබාගන්නා කලු වර්ණය හා පතොක් පැළවල සිටින කෘමියෙකුගෙන් ලබාගන්න රතු වර්ණය පමණයි.
කෞතුකාගාරයේ, කෘත්‍රිම සායම් භාවිත කරන ආකාරය ගැන පැහැදිලි කර තිබෙනවා. අද බොහෝ කෘත්‍රිම රෙදිපිළි වර්ගත් තිබෙනවා. ඒවා අතරින් වැඩියෙන්ම භාවිත වන්නේ 1905දී නිපදවීමට පටන්ගත් විස්කෝස් රෙද්දයි. මේ රෙදි වර්ගය, කපු රෙද්දට සමාන නිසා එදා තිබූ සායම් වර්ග මේ රෙද්දට හොඳින් ගැළපෙනවා. නමුත් දැන් දැන් නිපදවන රෙයෝන්, පොලියෙස්ටර්, නයිලෝන් වැනි වෙනත් කෘත්‍රිම රෙදිවලට ගැළපෙන ආකාරයේ සායම් වර්ග සොයාගන්නත් නිපදවන්නත් සිදු වුණා.
කල් පවතින වර්ණ
රෙද්දක වර්ණය අඩු වී යන්න විවිධ හේතු බලපානවා. අව්වට පාට පිච්චෙන්න පුළුවන්. නැත්නම් නිතර නිතර සැර සබන් වර්ග යෙදීමෙන් හෝ පැල්ලම් ඉවත් කිරීමට භාවිත කරන රසායනික ද්‍රව්‍ය නිසාත් වර්ණය අඩු වන්න පුළුවන්. එහෙමත් නැත්නම් දහඩිය නිසාත් වර්ණය වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට විවිධ වර්ණවල රෙදි එකට සේදීමත් ගැටලුවක් විය හැකියි. කෙසේවෙතත් රෙදිපිළිවල වර්ණය කල්පවතිනවා නම් තමයි කවුරුත් කැමති. ඒ නිසා බොහෝ සායම් නිෂ්පාදකයෝ ඔවුන්ගේ සායම් භාවිත කරන්න කලින් ඒවා අව්වටත්, වතුරටත්, විවිධ සබන් වර්ගවලටත්, දහඩියටත් ඔරොත්තු දෙනවාද කියා පරීක්ෂා කර බලනවා.
මේ කෞතුකාගාරයට ගිය සංචාරය අපිට ඉතා ප්‍රයෝජනවත් වුණා. අපගේ ඇඳුම්වලට භාවිත කරන විවිධ රෙදි වර්ග ගැන අපිට හොඳ දැනුමක් ලැබුණා. ඒ වගේම අපේ රෙදිපිළි වර්ණවත් කරන සායම් නිපදවන ආකාරය ගැනත් සායම් යෙදීමේ ක්‍රියාවලිය ගැනත් කල්පවතින සායම් දමන ආකාරය ගැනත් අපිට පුළුල් අවබෝධයක් ලැබුණා.
[පාදසටහන]
^ 4 ඡේ. මෙම කෞතුකාගාරය පවත්වාගෙන යන්නේ සායම් ගැනත් වර්ණ ගැනත් අධ්‍යයනය කරමින් සිටින සායම් දමන්නන්ගේ සංගමය විසින්.
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Photos 1-4: Courtesy of the Colour Museum, Bradford (www.colour-experience.org)
[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Photo 5: Courtesy of the Colour Museum, Bradford (www.colour-experience.org); Photo 6: Clariant International Ltd., Switzerland