Skip to content

පටුනට යන්න

ළදරුවන්ගේ අවශ්‍යතාවන් හා ආශාවන්

ළදරුවන්ගේ අවශ්‍යතාවන් හා ආශාවන්

ළදරුවන්ගේ අවශ්‍යතාවන් හා ආශාවන්

ළදරුවෙකුට ඔහුගේ උපතේ සිටම අවශ්‍ය වන්නේ මුදු මොළොක් සැලකිල්ලයි. මෘදු ලෙස අත ගෑම, මවගේ හා ළදරුවාගේ සම එකිනෙකට ස්පර්ශ වීම මෙයට ඇතුළත්. සමහර වෛද්‍යවරුන්ගේ මතයට අනුව ළදරුවෙකු උපත ලැබූ විගස ගත වෙන පළමුවෙනි පැය 12 ඉතා වැදගත්. දරු ප්‍රසූතියෙන් අනතුරුව මවට සහ දරුවාට අවශ්‍ය වන්නේ “කෑම බීම හෝ නින්ද නොව සුමුදු ලෙස ස්පර්ශ කිරීම, තුරුලු කරගැනීම, එකිනෙකා දෙස ආදරයෙන් බලා සිටීම හා සවන් දීම” බව වෛද්‍යවරු පවසනවා. *

දෙමව්පියන් දරුවන්ව ළං කරගන්න, තුරුලු කරගන්න, අත ගාන්න හා වැලඳගන්න පෙලඹෙන්නේ නිතැතින්මයි. අනිත් අතට ළදරුවා දෙමව්පියන් හා කිට්ටු බැඳීමක් ඇති කරගන්නා අතර ඔවුන් දක්වන සැලකිල්ලට ප්‍රතිචාරය දක්වනවා. මේ බැඳීම කොතරම් බලවත්ද කියනවා නම් දෙමව්පියන් තම කිරිකැටියා වෙනුවෙන් කිසිම වෙහෙස මහන්සියක් නොබලා වැඩ කරනවා.

ඒ වගේම දෙමව්පියන් හා සමීප බැදීමක් නැති ළදරුවෙකු ඇත්තටම දුර්වල වී මරණයට පත් වෙන්නත් පුළුවන්. ඒ හේතුව නිසා සමහර වෛද්‍යවරු පවසන්නේ ළදරුවෙකු ඉපදුණු වහාම මවට ළදරුවා භාර දිය යුතු බවයි. ඔවුන් යෝජනා කරන්නේ ළදරුවෙකු ඉපදී ගත කරන පළමු විනාඩි 30 සිට 60 දක්වා කාලය අතරතුර මවගේ උණුහුම විඳීමට දරුවාට සැලැස්විය යුතුයි කියායි.

මෙම බැඳීම ඇති කරගැනීමේ වැදගත්කම ගැන කොපමණ කාවැද්දුවද සමහර රෝහල් දරුවෙකු ඉපදුණු විගසම මවට ළං කර තැබීම අපහසු යමක් හෝ කළ නොහැකි යමක් ලෙස සලකනවා විය හැකියි. බොහෝවිට අලුත උපන් බිළිදාව මවගෙන් වෙන් කරනු ලබන්නේ දරුවාට යම් ආසාදන බෝ වීමේ ඇති අවදානම නිසයි. තවත් සමහර සාක්ෂිවලින් පෙන්නුම් කරන්නේ අලුත උපන් දරුවා මව සමඟ සිටීම හේතුකොටගෙන මාරාන්තික ආසාදනවලට ගොදුරු වීමේ අවදානම අඩු වන බවයි. මේ නිසා අලුත උපන් දරුවන්ව හා මව්වරුන්ව වැඩි කාලයක් එකට තැබීමට වැඩි වැඩියෙන් අවස්ථා සලසා දීමට රෝහල් උත්සුක වෙයි.

බැඳීම පිළිබඳ කනස්සල්ල

සමහර මව්වරුන් තම ළදරුවාව දකින පළමුවෙනි අවස්ථාවේදීම ආදරයෙන් බැඳෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් හිතන්න පුළුවන් ‘බැඳීමක් ඇති කරගැනීමේදී මට යම් ගැටලු පැනනඟීද?’ කියා. පිළිගත යුතු දෙය නම් සෑම මවක්ම ළදරුවාව දකින පළමු අවස්ථාවේදීම ඔහු සමඟ ආදරයෙන් බැඳෙන්නේ නැති බවයි. නමුත් මේ ගැන කනස්සලු වීමට අවශ්‍ය නැහැ.

දරුවා කෙරෙහි මව් සෙනෙහස පෙන්වීමේ යම් ප්‍රමාදයක් තිබුණද කාලයත් සමඟ එය සම්පූර්ණයෙන්ම වර්ධනය වීමට පුළුවන්. “දරුවා සමඟ සම්බන්ධයක් ඇති වන්නේ හෝ නැති වන්නේ දරුවා ඉපදුණු ගමන් මුහුණ දෙන තත්වය මත නොවෙයි” යැයි එක් පළපුරුදු මවක් පැවසුවා. කෙසේවෙතත් ඔබ දරුවෙකු බලාපොරොත්තු වෙනවා නම් හා ඒ ගැන යම් බියක් තිබෙනවා නම් කල් ඇතුව ඔබේ ප්‍රසව වෛද්‍යවරයා හමු වී සාකච්ඡා කිරීම වඩාත් සුදුසුයි. ඔබේ අලුත උපන් දරුවා සමඟ එකට පෑහී කටයුතු කිරීමට ඔබට කොපමණ කාලයක් අවශ්‍යදැයි පැහැදිලිව පවසන්න.

“මා එක්ක කතා කරන්න!”

ළදරුවන් යම් නිශ්චිත උත්තේජනවලට ඉතා සංවේදීව ප්‍රතිචාරය දක්වන නියමිත කාල පරිච්ඡේද තිබෙන බව පෙනී යනවා. ඉන්පසු මෙම කාල පරිච්ඡේදය අවසන් වෙනවා. උදාහරණයක් ලෙස එක භාෂාවක් හෝ එසේත් නැත්නම් භාෂා කිහිපයක් ප්‍රගුණ කිරීමේ හැකියාව චූටි මොළේ සතු වටිනා දායාදයක්. නමුත් භාෂාවක් හැදෑරීමේ දක්ෂකම වයස අවුරුදු පහ පමණ වෙද්දී නැතිවීමට පටන්ගන්නා බවයි පෙනී ගොස් තිබෙන්නේ.

දරුවෙකුට අවුරුදු 12ක් 14ක් වන විට භාෂාවක් ඉගෙනගැනීම ඉතා දුෂ්කර කාර්යයක් විය හැකියි. ඒ කාලයේදී “භාෂාවක් ඉගෙනගැනීමේ හැකියාවට සම්බන්ධ වන මොළයේ තිබෙන උපාගම ප්‍රමාණය හා එය පැතිරී තිබෙන පරාසය අඩු වන” බව ළමා ස්නායු විශේෂඥ හට්ටන්ලෝකර්ගේ අදහසයි. එසේනම් පැහැදිලිවම භාෂාවක් හැදෑරීමට වඩාත්ම යෝග්‍යම කාලය වන්නේ ළමා කාලයේ මුල් අවුරුදු කිහිපයයි.

අනාගත ජීවිතයේ බුද්ධි වර්ධනයට බෙහෙවින් බලපාන සාධකයක් වන කතා කිරීමේ කුසලතාව ළදරුවන් ඉගෙනගන්නේ කොහොමද? මූලිකවම මෙය සිදු වන්නේ දෙමව්පියන් සමඟ වචනවලින් අදහස් හුවමාරු කරගැනීමෙන්. ළදරුවන් විශේෂයෙන්ම මිනිස් උත්තේජනවලට ප්‍රතිචාරය දක්වනවා. “කිරි දරුවෙක් ඔහුගේ මවගේ කටහඬේ ශබ්දයට අනුව හඬ නඟයි” යැයි මැසචුසෙට්ස් කාර්මික ආයතනයේ බැරී ඒරන්ස් පවසනවා. ළදරුවන් සියලුම ශබ්ද අනුකරණය නොකිරීම හරි අපූරු දෙයක්. ඒරන්ස් පවසන්නේ ළදරුවෙක් “මවගේ කටහඬත් තොටිල්ලේ ක්‍රීක් ශබ්දයත් එකවිට ඇසුණත් ඔහු අනුකරණය කරන්නේ මවගේ කටහඬ විතරයි” කියායි.

විවිධ පසුබිම්වල වුවත් දෙමව්පියෝ එක හා සමාන තාලයකට දරුවන්ට කතා කිරීමට හුරු වී තිබෙනවා. මේ භාෂා ශෛලිය හඳුන්වන්නේ “තොඳොල් භාෂාව” කියායි. දෙමව්පියන් ප්‍රේමණීය ආකාරයෙන් කතා කරන විට දරුවාගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. මේ ආකාර කතා විලාසය නිසා දරුවා වචනයත් එය හා බැඳි භාණ්ඩයත් අතර සම්බන්ධය ඉක්මනින්ම තේරුම්ගන්නා බවට විශ්වාසයක් තිබෙනවා. මෙසේ, එක වචනයක්වත් කතා නොකර “මා එක්ක කතා කරන්න!” කියා දරුවා අයැදිනවා.

“මා දිහා බලන්න!”

දරුවාගේ පළමුවෙනි අවුරුදු කිහිපයේදී ඔහුව රැකබලා ගන්නා වැඩිහිටි කෙනෙකු කෙරෙහි ආදරයෙන් බැඳෙන බව සොයාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි බැඳීමක් ඇති කරගන්නේ මව සමඟයි. මෙම ප්‍රේමණීය බැඳීමෙන් ආරක්ෂාවක් ලබන දරුවා එවැනි බැඳීමක් අද්දකින්නේ නැති දරුවෙකුට වඩා අන් අය සමඟ සුහදව ඇසුරු කිරීමට කැමැත්තක් දක්වනවා. වයස අවුරුදු තුන වන විට මව සමඟ මෙවැනි බැඳීමක් දරුවාට තිබිය යුතු බවයි විශ්වාස කෙරෙන්නේ.

මනස පිටස්තර බලපෑම්වලට වැඩියෙන්ම නිරාවරණය වන මෙම කාලයේදී දරුවාව නොසලකාහරිනවා නම් කුමක් වෙන්න පුළුවන්ද? මව්වරු 267දෙනෙකුව හා ඔවුන්ගේ දරුවන්ගේ වර්ධනය අවුරුදු 20කට වඩා වැඩි කාලයක් පුරා අධ්‍යයනය කළ මාර්තා ෆැරල් එරික්සන් පවසන්නේ මෙහෙමයි.“දරුවෙකුව නොසලකාහරින විට එය කෙමෙන් වුවද දිගටම දරුවාගේ උද්‍යෝගය කා දමන අතර අන්තිමේදී අන් අය සමඟ ඇසුරු කිරීමට හෝ පිටස්තර ලෝකය සමඟ වැඩි සම්බන්ධකම් පැවැත්වීමට දරුවාට තිබෙන උනන්දුව නැති වී යයි.”

අවශ්‍ය ප්‍රේමය හා කරුණාව නොලැබෙන දරුවන්ට අත් වන දරුණු ඵලවිපාක ගැන විස්තර කිරීමට ප්‍රයත්නයක් දැරූ ටෙක්සස්හි ළමා රෝහලේ දොස්තර බ්‍රෘස් පෙරී ගෙනහැර පෑ උපහැරණය මෙයයි. “මට මාස හයක් වයසැති ළදරුවෙකු ගෙන ඔහුගේ ශරීරයේ සියලුම ඇටකටු බිඳ දැමීමට හෝ දරුවාට මාස දෙකකට ආදරය කරුණාව නොපෙන්වා සිටීමට යන දෙක අතර තේරීමක් කිරීමට දුන්නොත් මම කියන්නේ දරුවාගේ ඇටකටු බිඳ දැමීම හොඳයි කියලා.” ඇයි එහෙම කියන්නේ? පෙරීගේ අදහස නම් “බිඳුණු ඇටකටු නැවත සුව වෙයි. නමුත් දරුවෙකුට මාස දෙකක් මොළයට උත්තේජනයක් නොලැබුණොත් ඔබට ඉතිරි වන්නේ සදාකාලයටම ව්‍යාකූල මනසක් හිමි ළමයෙක්.” එහෙත් එම තත්වයෙන් කවදාවත් ගොඩ ඒමට නොහැකි බව සෑමදෙනාම විශ්වාස කරන්නේ නැහැ. කෙසේවෙතත් විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ ආදරයෙන් කරුණාවෙන් පිරුණු පරිසරයක් තුළ හැදී වැඩීම චූටි මොළයට අත්‍යවශ්‍ය බවයි.

ළදරුවන් (සිංහලෙන් නොමැත) යන පොතේ පවසන්නේ මෙසේයි. “කොටින්ම කියනවා නම් ළදරුවන් ආදරය ලැබීමටත් ආදරය කිරීමටත් සූදානම්.” ළදරුවන් අඬන විට බොහෝ වේලාවට ඔහු දෙමව්පියන්ගෙන් අයැද සිටින්නේ “මා දිහා බලන්න!” කියායි. දෙමව්පියන් ඊට ප්‍රතිචාරය දක්වමින් දරුවා කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ලක් දැක්වීම අවශ්‍යයි. එවැනි අදහස් හුවමාරුවක් තුළින් දරුවා දැනගන්නවා ඔහුගේ අවශ්‍යතාවන් අන් අයට දැන්විය හැකි බව. මෙයාකාරයෙන් දරුවා සමාජීය සම්බන්ධකම් පැවැත්වීමට ඉගෙනගන්නවා.

‘මම දරුවාව නරක් කරයිද දන්නේ නැහැ’

‘දරුවා අඬන අඬන හැම සැරේම ඔහුට අවධානය දීමෙන් මම දරුවාව නරක් කරයිද දන්නේ නැහැ’ කියා ඔබ සිතන්න පුළුවන්. සමහරවිට එහෙම වෙන්න ඉඩ තිබෙනවා. එහෙත් මේ ප්‍රශ්නය පිළිබඳව විවිධ මතයන් පවතිනවා. ළමයින් එකිනෙකාට වෙනස් නිසා කොයි ක්‍රියාමාර්ගයද වඩාත් ගැළපෙන්නේ කියා දෙමව්පියන් තීරණය කළ යුතුයි. කෙසේවෙතත් ළඟදී කරන ලද පරීක්ෂණයකින් පෙන්නුම් කළේ අලුත උපන් දරුවාට බඩගින්නක්, අපහසුතාවක් හෝ යම් අවුල්සහගත හැඟීමක් ඇති වන විට එයට ප්‍රතිචාරයක් ලෙස මානසික පීඩනයට හේතු වන හෝමෝන නිකුත් වෙන බවයි. ඔහුගේ මේ පීඩන තත්වය ඔහු පිට කරන්නේ ඇඬීමෙන්. දරුවාගේ එම අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වී දෙමාපියා එය ඉටු කර දෙනවා නම්, එම දෙමාපියාට පුළුවන් දරුවාගේ මනසේ සෛල පද්ධතියක් ඇති කිරීමට. එම පද්ධතිය මගින් දරුවා ඉගෙනගන්නවා ඔහුවම සනසාගත හැකි අයුරු. වෛද්‍ය මේගන් ගනා පවසන්නේ දරුවාට ප්‍රේමණීයව ප්‍රතිචාරය දක්වන විට මානසික පීඩනය නිසා නිකුත් කරනු ලබන කෝටිසෝල් හෝමෝනය අඩුවෙන් නිපදවන බවයි. තවද කැලඹිලි සහිත තත්වයක් අද්දකින විටදීත් එම පීඩනයට ප්‍රතිචාරයක් දැක්වුවද එය ඉක්මනින්ම නතර වෙනවා.

“ළදරුවන්ගේ පළමුවෙනි මාස 6-8 දක්වා කාලය තුළදී ඔවුන් අඬ අඬා කරන ඉල්ලීම්වලට ඉක්මනින් හා දිගටම ප්‍රතිචාරයක් ලැබූ විට, ඔවුන්, ඔහේ අඬන්න හැරියාවූ දරුවන්ට වඩා අඩුවෙන් අඬන බව” එරික්සන් පවසයි. තවද ඔබ ප්‍රතිචාරය දක්වන ක්‍රම වෙනස් කිරීමද අවශ්‍යයි. ඔබ සෑමවිටම එකම විදිහට ප්‍රතිචාරය දක්වනවා නම්, උදාහරණයකට නිතරම කිරි දෙනවා නම් හෝ වඩාගන්නවා නම් ඔහු ඇත්තටම නරක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඔහු අඬන විට ඔබ යමක් සැනසෙන්න කීම පමණක් ප්‍රමාණවත් වෙයි. එහෙමත් නැත්නම් දරුවාට ළං වී කනට කර ආදරයෙන් වදන් කිහිපයක් මිමිනීම ප්‍රමාණවත්. සමහර අවස්ථාවලදී ඔහුගේ පිට හෝ බඩ මෘදු ලෙස අත ගෑමෙන්ද වෙනසක් සිදු කළ හැකියි.

“ළමයි ඉතින් අඬනවා තමයි” යැයි පෙරදිග රටවල කියමනක් තියෙනවා. දරුවාගේ පැත්තෙන් බලද්දී, ඔහුට අවශ්‍ය දේ පැවසීමට තිබෙන ප්‍රධානතම ක්‍රමය වන්නේ ඇඬීමයි. ඔබ යමක් ඉල්ලන හැම අවස්ථාවකදීම ඔබව නොසලකාහැරියොත් ඔබට කොහොම හැඟෙයිද? රැකබලා ගැනීමට කෙනෙක් නැතුව අසරණව සිටින ඔබේ දරුවා අවධානය ඉල්ලන සෑමවිටම එසේ නොසලකාහරිනවා නම් ඔහුට කොහොම හිතෙයිද? ඔහුගේ ඇඬීමට අවධානය දිය යුත්තේ කවුද?

දරුවා බලාගන්නේ කවුද?

එක්සත් ජනපදයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ළමුන් සියයට 54ක්ම උපතේ සිට අවුරුදු අටක් නවයක් පමණ වෙන තුරුම තමන්ගේ දෙමව්පියන්ගෙන් නොව වෙනත් කෙනෙකුගේ රැකවරණය යටතේ හැදෙන බවයි. බොහෝ පවුල්වල වියදම් දැරීම සඳහා දෙමව්පියන් දෙදෙනාටම රැකියාවක් කරන්න වෙනවා විය හැකියි. තවද මව්වරු බොහෝදෙනෙක් තම අලුත උපන් කිරිකැටියා රැකබලා ගැනීම සඳහා ප්‍රස්තාව ඇත්නම් සති කිහිපයක් හෝ මාස කිහිපයක් ප්‍රසූත නිවාඩු ලබාගන්නවා. නමුත් ඊටපස්සේ දරුවා රැකබලා ගන්නේ කවුද?

එවැනි තීරණ ගැනීමේදී පිළිපැදිය යුතු තද නීති රීති නැහැ. නමුත් මතක තබාගත යුතු දෙයක් නම් දරුවාගේ ජීවිතයේ මේ වැදගත්ම කාල පරිච්ඡේදය තුළදී දරුවා පහසුවෙන් හානිකර බලපෑම්වලට ලක් වෙන්න පුළුවන්. දෙමව්පියන් දෙදෙනාම මේ කාරණය ගැන බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුයි. මේ සම්බන්ධව තීරණ ගැනීමේදී ඔවුන්ගේ තේරීම් පිළිබඳව සුපරීක්ෂාකාරීව සලකා බැලිය යුතුයි.

ළමා රෝග පිළිබඳ විශේෂඥවරුන්ගේ අමෙරිකානු ඇකඩමියේ දොස්තර ජෝසේප් සැන්ගා පැවසුවේ මෙසේයි. “දැන් එන්න එන්නම පැහැදිලි වන දේ නම් දරුවන් සුරැකීම සඳහා හොඳම වැඩසටහන් ක්‍රම තිබුණත් තම මව හෝ පියා සමඟ දරුවා ගත කිරීමට අවශ්‍ය කාලය සඳහා මෙය විකල්පයක් නොවෙයි.” දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ළදරුවන්ව බලාගන්නා අය සමඟ ළදරුවන්ට අවශ්‍ය තරම් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පවත්වාගත නොහැකි වී තිබෙන බව සමහර ප්‍රවීණයන්ගේ අවධානයට ලක් වී තිබෙනවා.

රැකියාවල නිරත වී සිටින සමහර මව්වරු තම දරුවන්ගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන ගෙදර නතර වීමට තීරණය කර තිබෙනවා. මෙලෙස ඔවුන් තම දරුවන්ට අවශ්‍ය මානසික වර්ධනය ලබා දීමට වෙනත් අයගේ අතට භාර දෙනවා වෙනුවට තමන්ම එය ඉටු කිරීමට තීරණය කර තිබෙනවා. එක් කාන්තාවක් පැවසුවේ “මට වෙන කිසිම රැකියාවකින් නොලැබෙන තෘප්තියක් දරුවා බලාගැනීමෙන් ලැබී තිබෙන බව මම අවංකව පිළිගන්නවා” කියායි. ඇත්තයි, අද තිබෙන ආර්ථික ගැටලු නිසා හැම මවකටම එවැනි තේරීමක් කරන්න ඉඩ සැලසෙන්නේ නැහැ. සමහර දෙමව්පියන්ට තම දරුවා බලාගැනීමට දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ උපකාරය පතනවාට වඩා වෙනත් කිසිම විකල්පයක් නැහැ. ඒ නිසා ඔවුන් දරුවා සමඟ එකට ගත කරන කාලය තුළදී දරුවාට වැඩි අවධානයක් හා සෙනෙහසක් දැක්වීමට අමතර වෑයමක් ගන්නවා. ඒ හා සමානව රැකියාවල නිරත වී සිටින තනි මාපියන්ට මේ කාරණයේදී කළ හැකි වෙනත් තේරීම් නැති වුවද ඔවුන් දරුවන් ඇති දැඩි කිරීමේදී ඉතා කැපීපෙනෙන ප්‍රයත්නයන් දරා තිබෙන අතර ඔවුන්ගේ උත්සාහයන්ට විශිෂ්ට ප්‍රතිඵල ලැබී තිබෙනවා.

දරුවන් රැකබලා ගැනීමට දෙමව්පියන්ට පැවරී තිබෙන කාර්යය ඉතා ප්‍රීතිමත් මෙන්ම කුල්මත් කරවන අද්දැකීමක් විය හැකියි. එහෙත් එය ඉතා අභියෝගාත්මක වන අතර එය වෙනුවෙන් බොහෝ කාලය හා ශ්‍රමය වැය කිරීමටද සිදු වෙනවා. ඔබට එය සාර්ථක කරගත හැක්කේ කොහොමද?

[පාදසටහන]

^ 2 ඡේ. පිබිදෙව්! සඟරාවේ, මෙම ලිපිවල පළ වෙන්නේ ළදරුවන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවීණයන් ඉදිරිපත් කර ඇති අදහස්. මෙවැනි පර්යේෂණ කරන ලද තොරතුරු දෙමව්පියන්ට ප්‍රයෝජනවත් මෙන්ම උපකාරවත් වෙනවා. කෙසේවෙතත් පිළිගත යුතු යමක් නම් මේ අදහස් කලින් කලට වෙනස් වීම්වලට හා නැවත සකස් කිරීම්වලට භාජන වන බවයි. එහෙත් පිබිදෙව්! සඟරාවේ ඉතා විශ්වාසයෙන් යුක්තව ඉදිරිපත් කෙරෙන බයිබල් ප්‍රමිති කිසිදා වෙනස් නොවෙයි.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

නිහඬ ළදරුවෝ

අඬන්නේ නැති හා සිනාසෙන්නේ නැති ළදරුවන්ගේ ගණන වැඩි වී ඇති බව ජපානයේ සමහර වෛද්‍යවරුන් පවසයි. ළමා විශේෂඥ වෛද්‍යවරයෙක් වන සාටෝෂි යානාගිසාවා එවැනි ළදරුවන්ව හඳුන්වන්නේ නිහඬ ළදරුවන් ලෙසයි. මේ ළදරුවන් තමන්ගේ හැඟීම් ප්‍රකාශ නොකරන්නේ ඇයි? දෙමව්පියන් තම දරුවන් සමඟ හොඳ සබඳතාවක් නොපවත්වන නිසා මෙවැනි තත්වයක් උදා වන බවයි වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ. මෙම තත්වය හඳුන්වන්නේ බලහත්කාරයෙන් අසරණභාවයට පත් කිරීම ලෙසයි. අදහස් හුවමාරු කිරීමට ඇති අවශ්‍යතාව දිගටම නොසලකාහරිනවා නම් හෝ ළදරුවාගේ අවශ්‍යතාවන් වැරදි ලෙස තේරුම්ගන්නවා නම් අවසානයේදී ඔහු ඔහුගේ හැඟීම් ප්‍රකාශ කිරීම නතර කරන බවට මතයක් පවතිනවා.

ළදරුවෙකුට අවශ්‍ය උත්තේජනය ඔහුට අවශ්‍ය කාලයේදී ලබා නොදුන්නොත් ඔහුගේ මොළයේ අන්‍යයන්ව තේරුම්ගැනීමේ ගුණාංගය වන සංවේදනය ඇති කරවන කොටස වර්ධනය නොවිය හැකි බව ටෙක්සස් ළමා රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය බ්‍රෘස් පෙරී පවසනවා. ආදරය හා කරුණාව දැඩි ලෙස අහිමි වන ළදරුවන්ගේ සංවේදනය ඇතිවීමේ ධාරිතාව සම්පූර්ණයෙන්ම පාහේ නැති වී යා හැකියි. මෙවැනි ළදරු කාලයක් පසු කරන දරුවන් පසු කාලයකදී විවිධ ඇබ්බැහි වීම්වලට හා සහසික ක්‍රියාවලට යොමු විය හැකි බව වෛද්‍ය පෙරීගේ විශ්වාසයයි.

[7වන පිටුවේ පින්තූරය]

දරුවා සහ මව අතර ඇති බැඳීම අදහස් හුවමාරුව තුළින් ශක්තිමත් වෙනවා