“මේඝ වලාවන්ගේ නිවහන”
“මේඝ වලාවන්ගේ නිවහන”
ඉන්දියාවේ පිබිදෙව්! ලේඛක විසින්
ලෝකයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශය තිබෙන්නේ ඉන්දියාවේ. වෙන්න බැහැ. ඉන්දියාව වතුර හිඟ රටක්නේ. එහේ කුඩයක් පාවිච්චි කරන්නේ කලාතුරකින්! අප මේ කතා කරන්නේ කුමන ප්‍රදේශය ගැනද කියා දැනගන්න ඔබ තුළ කුතුහලයක් ඇති වී තිබෙන බව නිසැකයි. සෞභාග්‍යයේ සංකේතයක් වන වර්ෂාවෙන් ආශීර්වාද ලැබූ එම සුන්දර ප්‍රදේශයේ නම චීරාපුන්ජී. එය ඊසානදිග ඉන්දියාවේ බංග්ලාදේශයට මායිම්ව පිහිටි මේඝාලයා ප්‍රාන්තයේ නගරයක්. සුන්දරත්වයට උරුමකම් කියන මේඝාලයාව “නැඟෙනහිර ස්කොට්ලන්තය” යන නමින්ද හඳුන්වයි. මේඝාලයාව යන වචනයේ අර්ථය නම් “මේඝ වලාවන්ගේ නිවහන” යන්නයි. නමුත් චීරාපුන්ජී නගරය ලෝකයේ වැඩිම වර්ෂාපතනයක් ලබන ප්‍රදේශ අතුරින් එකක් ලෙස හඳුන්වා තිබෙන්නේ මන්ද කියා සොයා බැලීමට ස්වභාව ධර්මයේ අපූර්ව දායාදකින් ආශීර්වාද ලැබූ සිත්කලු චීරාපුන්ජී ප්‍රදේශයට පිය නඟමු. a
මේඝාලයා ප්‍රාන්තයේ අගනුවර වන ෂීලෝං සිට අපේ ගමන ඇරඹුවා. එතැන් සිට අපි සංචාරකයන් ගෙන යන බස් රථයක නැඟ දකුණු දිශාව බලා ගමන් ගත්තා. විවිධ රටාවන්ට විහිදී ගිය කඳු සහ තණ පිට්ටනි පසු කරමින් යන විට අපට ඉහළින් ඇති මේඝ වලාවන් දුටු සැණින් මේඝාලයා යන නම මේ නගරයට කොයිතරම් උචිතද කියා අපට සිතුණා.
අපේ මාර්ගය ඉතාමත් දුෂ්කර වංගු සහිත මාර්ගයක්. දෙපසින් පෙනෙන්නේ විශාල රුක් ගොමු සහිත ප්‍රපාතයි. ඉතා උස් ස්ථානවලින් කඩා හැළෙන දිය ඇළිවලින් පෝෂණය වන ගංගාවන් මිටියාවත් දිගේ ගලා බසී. අපේ බස් රථය මෝඩක්වල නතර කරන විට කඳු අතරින් මතු වූ මීදුම් වලාවන් මුළු පරිසරයම වෙළාගෙන තිබුණා. සුළු මොහොතකට අපවත් මීදුමෙන් වැසී ගියා. නමුත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් මීදුම නොපෙනී ගිය අතර ඉතාමත් දැකුම්කලු ලෙස හිරු රැස්වලින් මුළු ප්‍රදේශයම නැහැවී තිබෙන ආකාරය අපිට දැකගන්න පුළුවන් වුණා.
චීරාපුන්ජී පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 1,300ක් පමණ ඉහළින්. අපි එම නගරයට ළඟා වන විට එක වැහි වලාවක්වත් දැකගන්න තිබුණේ නැහැ. ඒ වගේම කිසිවෙකු අත කුඩයක් තිබුණෙත් නැහැ. වැස්සට සූදානම් වී සිටියේ අපි පමණයි! වැස්ස ඇද හැළෙන්නේ කොයි වෙලාවටද කියා දැනගැනීමට අපි තුළ ලොකු කුතුහලයක් තිබුණා.
හිරු රශ්මියේ උණුසුම නිසා සාගරවල උණුසුම් ජලය සහිත ස්ථානවලින් විශාල ජල කන්දරාවක් වාෂ්ප වීම හේතුවෙන් නිවර්තන ප්‍රදේශවල
ධාරානිපාත වර්ෂා ඇති වෙනවා. ඉන්දියන් සාගරයෙන් හමන ජල වාෂ්ප පිරි සුළඟ හිමාල කඳු වැටියේ දකුණු බෑවුමේ වැදී ඉහළට නඟින අතර පසුව එය ධාරානිපාත වැසි ලෙස කඩා හැළෙනවා. වර්ෂාව වැඩියෙන්ම ලැබෙන ස්ථානයක් වන්නේ මේඝාලයා සානුවයි. මෙම උස් ප්‍රදේශයට දිවා කාලයේදී නිවර්තන හිරු රශ්මිය නොඅඩුව ලැබෙන අතර වැහි වලාවන් සානුවට ඉහළින් ඇති වී සවස් වරුවේ වාතය සිසිල් වන තෙක් රැඳෙයි. රාත්‍රි කාලයෙදී වර්ෂාව ඇද හැළීමට මෙය මූලික හේතුව විය හැකියි.වර්ෂ 1861 ජූලි මාසයේ චීරාපුන්ජී ප්‍රදේශයට ලැබුණු වර්ෂාපතනය සෙන්ටිමීටර 930යි! වර්ෂ 1860 අගෝස්තු 1වෙනිදා සිට 1861 ජූලි 31වෙනිදා දක්වා ලැබූ වාර්ෂික වර්ෂාපතනය සෙන්ටිමීටර 2,646යි. අදදින චීරාපුන්ජී නගරයට සාමාන්‍යයෙන් අවුරුද්දකට දින 180වත් වැසි වසිනවා. වැඩි වර්ෂාපතනයක් තිබෙන්නේ ජූනි සිට සැප්තැම්බර් දක්වායි. වර්ෂාව වැඩි වශයෙන් කඩා හැළෙන්නේ රාත්‍රි භාගයේදී නිසා සංචාරකයන්ට අපහසුවකින් තොරව නගරයේ සුන්දරත්වය රස විඳිය හැකියි.
නමුත් මවිතයට කාරණයක් වන්නේ මෙතරම් වර්ෂාපතනයක් ලබන එම නගරය පවා ජල හිඟයකට මුහුණ දීමයි. එම ජල හිඟය ඇති වන්නේ ශීත කාලයේදීයි. කඩා හැළෙන මෝසම් වැසි ජලයට සිදු වන්නේ කුමක්ද? චීරාපුන්ජී නගරයට පිටතින් ඇති වනාන්තර එළි පෙහෙළි කිරීම නිසා මූලිකවම සිදු වන්නේ වැහි වතුර උස් සානුව දිගේ පහළට ගලා ගොස් නිම්නවල තිබෙන ගංගාවන්ට එකතු වී බංග්ලාදේශයට ගලා යාමයි. මේ හේතුවෙන්, ගංගා ඔස්සේ ගලා යන ජලය රඳවාගැනීමට වේලි බැඳීම සහ ජලාශ සෑදීම පිළිබඳ යෝජනාවල් දැන් සලකා බලමින් සිටිනවා. නමුත් මෞසින්රාම්වල ගෝත්‍රික නායකයෙක් වන ජී. එස්. මැන්යාන් පවසන්නේ, “තවම මෙම ජල ප්‍රශ්නය විසඳීමට කිසිම පියවරක් ගෙන” නොමැති බවයි.
චීරාපුන්ජී නගරයේ කළ සංචාරයෙන් අප දැනුමක් ලැබුවා වගේම විනෝදයකුත් ලැබුවා. එම නගරයේ දැකීමට ඇති දර්ශන සිත ඇදගනියි. එහි විසිතුරු මල් සහ ඕකිඩ් වර්ග 300ක් පමණ තිබෙන අතර, විශේෂ වර්ගයක මාංශ භක්ෂක ශාකයක්ද දක්නට ලැබෙනවා. එමෙන්ම එහි සිටින වන ජීවීන් ගැන මෙන්ම හිරිගල් ලෙන් සහ ගල් ස්මාරක ගැනද නොකියාම බැහැ. මහා පරිමාණයෙන් දොඩම් වගා කෙරෙන අතර එම දොඩම්වලින් ප්‍රණීත දොඩම් පැණි නිෂ්පාදනය කරයි. “මේඝ වලාවන්ගේ නිවහන” සහ ලෝකයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයන්ගෙන් එකක් වන මේඝාලයාවට පැමිණෙන අමුත්තන්ව පිළිගන්න මේ සියල්ලක්ම බලා සිටියි.
[පාදසටහන]
a හවායි දූපත්වල වායිලිලි කඳුකරයේ පිහිටි කාවී සහ චීරාපුන්ජී නගරයේ සිට කිලෝමීටර්16ක් පමණ එපිටින් පිහිටි මෞසින්රාම් යන නගරවලට චීරාපුන්ජීවලට වඩා වාර්තාගත වර්ෂාපතනයක් ලැබී තිබේ.
[22වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ඉන්දියාව
චීරාපුන්ජී
[හිමිකම් විස්තර]
Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.
[23වන පිටුවේ පින්තූරය]
මෙම ප්‍රදේශයට පමණක් ආවේණික වූ මාංස භක්ෂක ශාක විශේෂයක්
[23වන පිටුවේ පින්තූරය]
දිය ඇලි, මිටියාවත් දිගේ ගලා යන ගංගාවන් පෝෂණය කරයි
[හිමිකම් විස්තර]
ඡායාරූපය: Matthew Miller