Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 24

ගීතිකාව 98 දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්

මරණ ඇඳේ ඉද්දී කියපු අනාවැකිවලින් පාඩම් - 1 කොටස

මරණ ඇඳේ ඉද්දී කියපු අනාවැකිවලින් පාඩම් - 1 කොටස

“ඔයාලා හැමෝම මං ළඟට එන්න. අනාගතේදී ඔයාලට වෙන්න යන දේවල් ගැන මං දැන් කියන්නම්.”උත්. 49:1.

ලිපියේ අරමුණ

මරණ ඇඳේ ඉද්දී යාකොබ් රූබෙන්ට, සිමියොන්ට, ලෙවීට සහ යූදාට කියපු අනාවැකිවලින් අපිට ගන්න පුළුවන් පාඩම්.

1-2. මරණයට ළං වෙලා ඉද්දී යාකොබ් කළේ මොකක්ද? ඒ ඇයි? (පින්තූරයත් බලන්න.)

 යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණ යාකොබ් කානාන් දේශයේ ඉඳන් ඊජිප්තුවට ඇවිත් දැන් අවුරුදු 17ක් විතර ගෙවිලා ගිහින්. (උත්. 47:28) මැරුණා කියලා එයා හිතන් හිටපු එයාගේ පුතා යෝසෙප්ව ආයෙත් හම්බ වුණ එක ගැන, එයාගේ පවුලේ අය ආයෙත් එකතු වුණ එක ගැන එයා හිටියේ ලොකු සතුටකින්. හැබැයි යාකොබ්ට තේරුණා දැන් එයාගේ ජීවිතේට සමු දෙන්න කාලේ ඇවිත් කියලා. ඉතින් එයා එයාගේ පවුලේ අයව එකට රැස් කරනවා.—උත්. 49:28.

2 සාමාන්‍යයෙන් ඒ කාලේ තාත්තා කෙනෙක් මැරෙන්න ළං වෙලා ඉද්දී එයාගේ පවුලේ අයව එකට එකතු කරලා එයාලට වටින මඟ පෙන්වීම් දෙනවා. (යෙසා. 38:1) ඒ වගේ වෙලාවට එයා මැරුණාට පස්සේ පවුලේ මූලිකයා විදිහට වැඩ කරන්නේ කවුද කියලත් කියනවා.

මරණ ඇඳේ ඉද්දී යාකොබ් එයාගේ පුතාලා 12දෙනාට අනාවැකි කියනවා (1-2 ඡේද බලන්න)


3. යාකොබ් කියපු දේවල් වැදගත් වුණේ ඇයි? (උත්පත්ති 49:1, 2)

3 උත්පත්ති 49:1, 2 කියවන්න. ඒත් යාකොබ් පවුලේ අයව එකතු කරපු අවස්ථාව ඊට වඩා වෙනස්. එයා යෙහෝවාගේ උදව්වෙන් එයාගේ පුතාලටයි, පුතාලාගෙන් පැවතෙන අයටයි අනාගතේ වෙන්න යන දේවල් ගැන කිව්වා. ඒ නිසයි යාකොබ්ගේ වචන අනාවැකි විදිහට හඳුන්වන්නේ.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? (“යාකොබ්ගේ පවුලේ අය” කියන කොටුවත් බලන්න.)

4 මේ ලිපියෙන් අපි බලනවා යාකොබ්ගේ පුතාලා හතරදෙනෙක් වුණ රූබෙන්, සිමියොන්, ලෙවී සහ යූදාට එයා කියපු දේවල් ගැන. ඊළඟ ලිපියෙන් අපි බලනවා එයාගේ අනිත් පුතාලා අටදෙනාට එයා කියපු දේවල් ගැන. යාකොබ් එයාගේ පුතාලා ගැන විතරක් නෙවෙයි, එයාලාගෙන් පැවතෙන අය ගැනත් කතා කළා. ඒ අයගෙන් තමයි ඊශ්‍රායෙල් ජාතිය හැදුණේ. ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය දිහා බලද්දී යාකොබ්ගේ වචන ඉටු වුණ විදිහ අපිට පැහැදිලි වෙයි. එයා කියපු දේවල් හොඳින් අධ්‍යයනය කරද්දී ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාව සතුටු කරන්න උදව් වෙන වටින පාඩම් අපිට ඉගෙනගන්න පුළුවන්.

රූබෙන්

5. තාත්තාගෙන් මොන වගේ දේවල් ලැබෙයි කියලද රූබෙන් හිතන්න ඇත්තේ?

5 යාකොබ් මුලින්ම කතා කරන්නේ රූබෙන්ට. එයා කියනවා “ඔයා මගේ කුලුඳුලා” කියලා. (උත්. 49:3) කුලුඳුලා නිසා රූබෙන් හිතන්න ඇති තාත්තා දරුවන්ට දෙන උරුමයෙන් කොටස් දෙකක්ම එයාට ලැබෙයි කියලා. තාත්තාගේ මරණයෙන් පස්සේ පවුලේ මූලිකයා වෙන වගකීම එයාට ලැබෙයි කියලත් පස්සේ ඒ වගකීම එයාගේ පරම්පරාවේ අයට උරුම වෙයි කියලත් එයා හිතන්න ඇති.

6. කුලුඳුලාට ලැබෙන්න ඕන උරුමය රූබනේට ලැබුණේ නැත්තේ ඇයි? (උත්පත්ති 49:3, 4)

6 හැබැයි කුලුඳුලාට ලැබෙන උරුමය රූබෙන්ට ලැබුණේ නැහැ. (1 ලේක. 5:1) මොකද යාකොබ් ගොඩක් ආදරේ කරපු එයාගේ බිරිඳ වුණ රාකෙල් මැරිලා අවුරුදු කීපයකට පස්සේ රූබෙන් රාකෙල්ගේ සේවිකාව වුණ බිල්හා එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. බිල්හාව උපභාර්යාවක් විදිහට රාකෙල් යාකොබ්ට දීලයි තිබුණේ. (උත්. 35:19, 22) හැබැයි රූබෙන් කියන්නේ යාකොබ්ගේ අනිත් බිරිඳ වුණ ලෙයාගේ පුතා. සමහරවිට රූබෙන් බිල්හා එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඇත්තේ එයාට ඇති වුණ ආශාවන් පාලනය කරගන්න බැරි වුණ නිසා වෙන්න ඇති. නැත්නම් එයා හිතන්න ඇති එයා එහෙම කළොත් තාත්තාට බිල්හාව එපා වෙලා එයාගේ අම්මාට වැඩියෙන් ආදරේ කරයි කියලා. ඒ මොන හේතුව නිසා එයා ඒ දේ කළත් එයා කරපු දේ ගැන යෙහෝවාවත් එයාගේ තාත්තාවත් පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ.—උත්පත්ති 49:3, 4 කියවන්න.

7. රූබෙන්ටයි, එයාගෙන් පැවත ආපු අයටයි මොකක්ද වුණේ? (“ යාකොබ් කියපු අනාවැකි” කියන කොටුවත් බලන්න.)

7 යාකොබ් රූබෙන්ට කිව්වා “ඔයාගේ සහෝදරයන්ට වඩා ඔයා උසස් වෙන්නේ නැහැ” කියලා. ඒ වචන ඒ විදිහටම ඉටු වුණා. බයිබලේ කොහෙවත් කියන්නේ නැහැ රූබෙන්ගෙන් පැවත ආපු කෙනෙක් රජෙක්, පූජකයෙක්, අනාගතවක්තෘවරයෙක් වුණා කියලා. හැබැයි එහෙමයි කියලා යාකොබ් රූබෙන්ව පැත්තකට දැම්මේ නැහැ. එයා එයාටත් උරුමයක් දුන්නා. රූබෙන්ගෙන් පැවත ආපු අය ඊශ්‍රායෙල්වරුන්ගේ එක ගෝත්‍රයක්. (යොෂු. 12:6) වෙනත් අවස්ථාවලදී රූබෙන් එයාට තිබුණ ලස්සන ගුණාංග පෙන්නුවා. අනික, බයිබලේ කොහෙවත් කියන්නේ නැහැ එයා ආයේ අනාචාරයේ යෙදුණා කියලා.—උත්. 37:20-22; 42:37.

8. රූබෙන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

8 අපිට පාඩම්. වැරදි හැඟීම් පාලනය කරගන්නත් අනාචාරයට වැටෙන්නේ නැතුව ඉන්නත් අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. වරදක් කරන්න අපිට පෙලඹීමක් ආවොත් අපි ඉක්මනින්ම හිතන්න ඕනෙ ‘මං මේ දේ කරොත් යෙහෝවාට, මගේ පවුලේ අයට, අනිත් අයට ඒක කොච්චර වේදනාවක් වෙයිද’ කියලා. ඒ වගේම “කෙනෙක් යම් දෙයක් වපුරනවා නම් එයාට නෙළාගන්න වෙන්නෙත් ඒ දේමයි” කියන දේත් අපි මතක තියාගන්න ඕනේ. (ගලා. 6:7) යෙහෝවා කොච්චර දයාවන්තයිද කියලත් රූබෙන්ගේ සිද්ධියෙන් අපිට මතක් කරනවා. ඇත්ත, අපි වරදක් කළාම ඒකේ ප්‍රතිඵලවලින් යෙහෝවා අපිව ආරක්ෂා කරන්නේ නැහැ. හැබැයි අපි අවංකවම පසුතැවිලා හරි දේ කරන්න ලොකු උත්සාහයක් ගන්නවා නම් යෙහෝවා අනිවාර්යයෙන්ම අපිට ආශීර්වාද කරනවා.

සිමියොන් සහ ලෙවී

9. යාකොබ් සිමියොන් ගැනයි, ලෙවී ගැනයි සතුටු වුණේ නැත්තේ ඇයි? (උත්පත්ති 49:5-7)

9 උත්පත්ති 49:5-7 කියවන්න. ඊළඟට යාකොබ් කතා කළේ සිමියොන්ටයි, ලෙවීටයි. යාකොබ් ඒ දෙන්නාට කියපු දේවල්වලින් තේරෙනවා එයා එයාලා ගැන සතුටු වුණේ නැහැ කියලා. අවුරුදු කීපයකට කලින් යාකොබ්ගේ දුව වුණ දීනාව කානාන් ජාතිකයෙක් වුණ ෂීකෙම් දූෂණය කළා. ඒක දැනගත්තාම යාකොබ්ගේ පුතාලා හැමෝටම කේන්ති යන්න ඇති. හැබැයි සිමියොන්ටයි, ලෙවීටයි එයාලාගේ කේන්තිය පාලනය කරගන්න බැරුව ගියා. යාකොබ්ගේ පුතාලා කපටි විදිහට ෂීකෙම්ටයි, එයාගේ නගරේ හිටපු පිරිමින්ටයි කිව්වා ඒගොල්ලෝ චර්මච්ඡේදනය වුණොත් ඒ දෙගොල්ලෝ අතරේ සමාදානය ඇති කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නගරේ මිනිස්සු ඒකට කැමති වුණා. එයාලා චර්මච්ඡේදනය කරගෙන වේදනාවෙන් ඉද්දී සිමියොනුයි, ලෙවීයි “කඩු අරගෙන නගරෙට ඇතුල් වුණා. හැබැයි කවුරුත් එයාලව සැක කළේ නැහැ. එයාලා නගරෙට ගිහින් එහේ හිටපු හැම පිරිමියෙක්වම මරලා දැම්මා.”—උත්. 34:25-29.

10. සිමියොන් සහ ලෙවී ගැන යාකොබ් කියපු දේවල් ඉටු වුණේ කොහොමද? (“ යාකොබ් කියපු අනාවැකි” කියන කොටුවත් බලන්න.)

10 පුතාලා දෙන්නා ඒ තරම් දරුණු විදිහට වැඩ කරපු එක ගැන යාකොබ්ට දැනුණේ ලොකු කේන්තියක්. ඒකයි එයා අනාවැකියක් විදිහට කිව්වේ එයාලාගෙන් පැවතෙන අයව ඊශ්‍රායෙල් දේශය පුරා විසුරුවාහරිනවා කියලා. ඊශ්‍රායෙල් ජාතිය පොරොන්දු දේශයට ඇතුල් වුණාම ඒ අනාවැකිය ඉටු වුණා. ඒ, යාකොබ් ඒක කියලා අවුරුදු 200කටත් වඩා වැඩි කාලෙකට පස්සේ. සිමියොන් ගෝත්‍රයේ අයට එයාලාගේ උරුමය ලැබුණේ යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශයේ තැන් තැන්වල. (යොෂු. 19:1) ලෙවී ගෝත්‍රයේ අයට හම්බ වුණ නගර 48ම ඊශ්‍රායෙල් දේශය පුරාම විසිරිලයි තිබුණේ.—යොෂු. 21:41.

11. සිමියොන් සහ ලෙවී ගෝත්‍රයේ අය කරපු හොඳ දේවල් මොනවාද?

11 සිමියොන්ගෙන් සහ ලෙවීගෙන් පැවත ආපු අය එයාලාගේ මුතුන්මිත්තන් වගේ වැඩ කළේ නැහැ. ලෙවී ගෝත්‍රයේ හුඟදෙනෙක් යෙහෝවාට විශ්වාසවන්තව නමස්කාර කළා. යෙහෝවාගෙන් නීතිය ලබාගන්න මෝසෙස් සීනයි කන්දට ගිය වෙලාවේ ඊශ්‍රායෙල්වරු හුඟදෙනෙක් වස්සෙක්ගේ රූපයකට නමස්කාර කළා. හැබැයි ලෙවීවරු මෝසෙස්ට කීකරු වෙලා බොරු නමස්කාරයට සම්බන්ධ වුණ අයව විනාශ කරන්න උදව් කළා. (නික්. 32:26-29) යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පූජකයන් විදිහට සේවේ කරන්න තෝරගත්තෙත් ලෙවී ගෝත්‍රයේ අයව. (නික්. 40:12-15; ගණන්. 3:11, 12) පස්සේ කාලෙක පොරොන්දු දේශයේ යූදා ගෝත්‍රයේ අයට අයිති කොටස අල්ලගන්න සිමියොන් ගෝත්‍රයේ අය එයාලට උදව් කළා. ඒක යෙහෝවාගේ අරමුණටත් එකඟයි.—විනි. 1:3, 17.

12. සිමියොන්ගෙන්, ලෙවීගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 අපිට පාඩම්. කවදාවත් කේන්තියෙන් කිසිම දෙයක් කරන්න එපා. ඔයාට, ඔයා ආදරේ කරන කෙනෙක්ට අසාධාරණයක් වුණොත් කේන්තියක් දැනෙන එක සාමාන්‍යයි. (ගීතා. 4:4) හැබැයි අපිව රිද්දපු කෙනාව රිද්දන්න අපි දේවල් කිව්වොත්, කළොත් ඒ ගැන යෙහෝවා පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ. (යාකො. 1:20) සභාවේ කෙනෙක් වුණත් පිට කෙනෙක් වුණත් අපිට අසාධාරණයක් කළොත් අපි එයාත් එක්ක වැඩ කරන්න ඕනෙ යෙහෝවා සතුටු වෙන විදිහට. එහෙම කරනවා නම් අපිට පුළුවන් අනිත් අයට හානියක් වෙන දෙයක් කියන එකෙන්, කරන එකෙන් වැළකෙන්න. (රෝම 12:17, 19; 1 පේතෘ. 3:9) ගන්න පුළුවන් තව පාඩමක් තමයි ඔයාගේ දෙමාපියන් යෙහෝවා අකමැති දෙයක් කළත් ඔයාට හරි දේ කරන්න පුළුවන් කියන දේ. ඔයාට යෙහෝවාව සතුටු කරන්න බැරි වෙයි කියලා කවදාවත් හිතන්න එපා. හරි දේ කරන්න ඔයා ගන්න උත්සාහයට යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා වගේම ඔහු ඔයාට ඒකට උදව් කරනවා.

යූදා

13. තාත්තා මොනවා කියයිද කියලා යූදාට බයක් දැනෙන්න ඇත්තේ ඇයි?

13 යාකොබ් ඊළඟට කතා කරන්නේ යූදාට. අයියලා තුන්දෙනා ගැන තාත්තා කියපු දේවල් නිසා යූදාට පොඩි බයක් දැනෙන්න ඇති. මොකද එයාගේ අතිනුත් බරපතළ වැරදි කීපයක්ම වෙලා තිබුණා. ෂීකෙම් නගරේ කොල්ලකද්දී එයාත් ඒකට හවුල් වුණා. (උත්. 34:27) එයාලාගේ මල්ලි වුණ යෝසෙප්ව වහලෙක් විදිහට විකුණලා ඒ ගැන තාත්තාට ඇවිත් බොරු කියන්න එයාත් හවුල් වුණා. (උත්. 37:31-33) පස්සේ කාලෙක එයා ගණිකාවක් කියලා හිතලා එයාගේ ලේළි වුණ තාමර් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා.—උත්. 38:15-18.

14. යූදා කරපු හොඳ දේවල් මොනවාද? (උත්පත්ති 49:8, 9)

14 හැබැයි යාකොබ් යූදා ගැන කිව්වේ හොඳ දේවල්. එයාටයි, එයාගෙන් පැවතෙන අයටයි හුඟක් ආශීර්වාද ලැබෙනවා කියලත් යාකොබ් කිව්වා. (උත්පත්ති 49:8, 9 කියවන්න.) මහලු වයසේ හිටපු එයාගේ තාත්තා ගැන එයා ගොඩක් හිතනවා කියලත් එයාගේ බාලම මල්ලි වුණ බෙන්ජමින්ට එයා ගොඩක් ආදරෙයි කියලත් එයා වැඩ කරපු විදිහෙන් යූදා පෙන්නලා තිබුණා.—උත්. 44:18, 30-34.

15. යූදාට ආශීර්වාද ලැබුණේ මොන විදිවලින්ද?

15 යාකොබ් කිව්වා යූදා එයාගේ සහෝදරයන් අතරේ පෙරමුණ ගන්නවා කියලා. හැබැයි ඒ අනාවැකිය ඉටු වුණේ ඊට අවුරුදු 200කට විතර පස්සේ. ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නිදහස් වෙලා පොරොන්දු දේශයට යන ගමනේදී ඉස්සරහින්ම ගියේ යූදා ගෝත්‍රයේ අය. (ගණන්. 10:14) ඊට දශක ගාණකට පස්සේ කානානිවරුන්ට විරුද්ධව සටන් කරලා පොරොන්දු දේශය අල්ලගන්න යෙහෝවා මුලින්ම යැව්වේ යූදා ගෝත්‍රයේ අයව. (විනි. 1:1, 2) දාවිත් කියන්නේ යූදා ගෝත්‍රයෙන් ආපු රජවරු හුඟදෙනෙක් අතරෙන් පළවෙනි කෙනා. හැබැයි යූදා ගැන කියපු ඒ අනාවැකියට තවත් ඉටු වීමක් තිබුණා.

16. උත්පත්ති 49:10 තියෙන අනාවැකිය ඉටු වුණේ කොහොමද? (“ යාකොබ් කියපු අනාවැකි” කියන කොටුවත් බලන්න.)

16 යාකොබ් කිව්වා යූදා පෙළපතින් තමයි මිනිස්සුන්ව හැමදාටම පාලනය කරන කෙනා එන්නේ කියලා. (උත්පත්ති 49:10 සහ පාදසටහන කියවන්න.) ඒ පාලකයා යේසුස්. යාකොබ් ඔහුව හැඳින්නුවේ ෂීලෝ කියලා. යේසුස් ගැන දේවදූතයා කිව්වේ “යෙහෝවා දෙවියන් එයාට එයාගේ තාත්තා වුණ දාවිත්ගේ සිංහාසනය ලබා දෙනවා” කියලා. (ලූක් 1:32, 33) “යූදා ගෝත්‍රයෙන් ආපු සිංහයා” කියලත් යේසුස්ව හඳුන්වනවා.—එළි. 5:5.

17. යෙහෝවා වගේ අනිත් අය දිහා බලන්න අපිට පුළුවන් කොහොමද?

17 අපිට පාඩම්. යූදා අතින් බරපතළ වැරදි කීපයක්ම වුණත් යෙහෝවා එයාට ආශීර්වාද කළා. සමහරවිට යූදාගේ සහෝදරයෝ හිතන්න ඇති ‘යෙහෝවාගෙන් මෙයාට මෙච්චර ආශීර්වාද ලැබෙන්නේ ඇයි’ කියලා. එයාලා කොහොම හිතුවත් යෙහෝවා බැලුවේ යූදාට තිබුණ හොඳ ගති දිහා. ඒකයි ඔහු එයාට ආශීර්වාද කළේ. යෙහෝවාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? සහෝදරයෙක්ට, සහෝදරියකට විශේෂ පැවරුමක් ලැබුණාම සමහරවිට අපිට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ එයාගේ අඩුපාඩුකම්. ඒ නිසා අපිට හිතෙයි ‘මේ වගේ කෙනෙක්ට කොහොමද මෙහෙම දෙයක් හම්බ වුණේ’ කියලා. හැබැයි මතක තියාගන්න යෙහෝවා එයාගේ හොඳ දැකලා ඒ ගැන සතුටු වෙනවා කියලා. යෙහෝවා හැම තිස්සේම බලන්නේ ඔහුගේ සේවකයන්ට තියෙන හොඳ ගුණාංග දිහායි. අපිත් කරන්න ඕනෙ එකම නෙවෙයිද?

18. ඇයි අපි ඉවසන්න ඕනේ?

18 ඉවසන එකේ වැදගත්කම යූදාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තවත් පාඩමක්. යෙහෝවා පොරොන්දුවක් දුන්නොත් ඔහු ඒක අනිවාර්යයෙන්ම ඉටු කරනවා. හැබැයි ඒක හැම වෙලේම අපි බලාපොරොත්තු වෙන විදිහට, අපි හිතන වෙලාවටම වෙන්නේ නැති නිසා අපිට ඉවසන්න වෙයි. ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පෙරමුණ අරගෙන වැඩ කරන්න යෙහෝවා මුලින්ම තෝරගත්තේ යූදා ගෝත්‍රයේ අයව නෙවෙයි. හැබැයි යෙහෝවා පත් කරපු අයට එයාලා සම්පූර්ණ සහයෝගය දුන්නා. උදාහරණෙකට ලෙවී ගෝත්‍රයෙන් ආපු මෝසෙස්ට, එෆ්‍රායිම් ගෝත්‍රයෙන් ආපු යොෂුවාට, බෙන්ජමින් ගෝත්‍රයෙන් ආපු සාවුල් රජට එයාලා සහයෝගය දුන්නා. අදත් යෙහෝවා පෙරමුණ ගන්න පත් කරන ඕනම කෙනෙක්ට අපි සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ.—හෙබ්‍රෙ. 6:12.

19. මරණ ඇඳේදී යාකොබ් කියපු දේවල්වලින් අපිට යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

19 යාකොබ් එයාගේ පුතාලට කියපු අන්තිම වචනවලින් මොනවාද අපි ඉගෙනගත්තේ? “දෙවියන් දේවල් දිහා බලන්නේ මිනිස්සු බලන විදිහට නෙමෙයි” කියලා අපිට පැහැදිලියි. (1 සාමු. 16:7) යෙහෝවා ගොඩක් ඉවසනවා. සමාව දෙනවා. වැරදි දේවල් ඔහු සැහැල්ලුවට ගන්නේ නැති වුණාට අපි හැම දෙයක්ම තිතටම කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. බරපතළ වැරදි කරපු කෙනෙක් වුණත් අවංකව පසුතැවිලා ඒ වැරදි හදාගන්න ලොකු උත්සාහයක් ගන්නවා නම් ඒ වගේ කෙනෙක්ට වුණත් ඔහු ආශීර්වාද කරනවා. අපි ඊළඟ ලිපියෙන් බලමු යාකොබ් එයාගේ අනිත් පුතාලා අටදෙනාට මොනවාද කිව්වේ කියලා.

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු