පාඩම් ලිපිය 26
ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු
නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
“සියලු බලැති දෙවියන් කරන හැම දෙයක් ගැනම අපිට තේරුම්ගන්න බැහැ.”—යෝබ් 37:23.
ලිපියේ අරමුණ
ඉස්සරහට වෙන හැම දෙයක් ගැනම අපි දන්නේ නැහැ. ඒත් අපි දැනටමත් දන්න දේවල් ගැන හිතන එක, යෙහෝවා ගැන විශ්වාසේ තියන එක අභියෝග දරාගන්න උදව්වක්.
1. යෙහෝවා අපිට දීලා තියෙන්නේ කොයි වගේ හැකියාවන්ද? ඒ ඇයි?
යෙහෝවා අපිව නිර්මාණය කරලා තියෙන විදිහ හරිම පුදුමාකාරයි. ඔහු අපිව හදලා තියෙන්නේ හිතීමේ හැකියාව, අලුත් දේවල් ඉගෙනගැනීමේ හැකියාව සහ ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගැනීමේ හැකියාව ඇතුව. ඔහුට ඕනෙ අපි හිතන්නේ බලන්නේ නැතුව දේවල් කරනවා වෙනුවට ‘ඔහුව දැන හඳුන ගෙන’ ඔහුට සේවේ කරනවා දකින්නයි.—හිතෝ. 2:1-5; රෝම 12:1.
2. (අ) අපි අපි ගැනම තේරුම්ගන්න ඕනෙ මොකක්ද? (යෝබ් 37:23, 24) (පින්තූරයත් බලන්න.) (ආ) අපි හැම දේම දන්නේ නැහැ කියලා තේරුම්ගන්න එකෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද?
2 හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන් හැකියාව යෙහෝවා අපිට දුන්නාට අපි නොදන්න ගොඩක් දේවලුත් තියෙනවා. (යෝබ් 37:23, 24 කියවන්න.) යෝබ් ගැන හිතන්න. යෝබ් දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා කියලා එයාට තේරුම් කරන්න යෙහෝවා එයාගෙන් ප්‍රශ්න ඇහුවා. ඒක එයාට උදව් වුණා නිහතමානී වෙලා එයා හිතන විදිහ වෙනස් කරගන්න. (යෝබ් 42:3-6) හැම දේම දන්නේ නැහැ කියලා තේරුම්ගන්න එක නිහතමානී වෙන්න අපිටත් උදව් වෙනවා. හොඳ තීරණ ගන්න උදව් වෙන හැම දේම යෙහෝවා අපිට කියයි කියලා විශ්වාස කරන්නත් ඒක උදව් වෙනවා.—හිතෝ. 2:6.
යෝබ් වගේ අපිත් හැම දේම දන්නේ නැහැ කියලා පිළිගන්න එකෙන් අපිට ප්‍රයෝජන තියෙනවා (2 ඡේදය බලන්න)
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 අපි දන්නේ නැති සමහර දේවල් මොනවාද, ඒ නිසා අපිට මොන වගේ අභියෝග එන්න පුළුවන්ද කියලා අපි මේ ලිපියෙන් බලනවා. සමහර දේවල් අපි නොදන්න එක ඇත්තටම හොඳයි කියන්නේ ඇයි කියලත් අපි බලනවා. ඒ පැති බලද්දී “හැම දේම දන්න දෙවියන්” අපි දැනගන්නම ඕන දේවල් අපිට කියයි කියන විශ්වාසේ තව ශක්තිමත් වෙයි.—යෝබ් 37:16.
අවසානය එන්නේ කවදාද?
4. මතෙව් 24:36 කියන විදිහට අපි දන්නේ නැති එක දෙයක් මොකක්ද?
4 මතෙව් 24:36 කියවන්න. අවසානය එන්නේ කවදාද කියලා අපි දන්නේ නැහැ. පොළොවේ ඉද්දී යේසුත් ඒ ‘දවස, පැය’ දැනන් හිටියේ නැහැ. a පස්සේ කාලෙක ඔහු කිව්වා දේවල් වෙන්න ඕන කාලය “නියම කරන්න අයිතිය තියෙන්නේ” යෙහෝවාට විතරයි කියලා. (ක්‍රියා 1:6, 7) අවසානය එන දවස යෙහෝවා දැනටමත් තීරණේ කරලා ඉවරයි. හැබැයි ඒ කවද්ද කියලා දැනගන්න අපිට බැහැ.
5. අවසානය එන දවස දන්නේ නැති එක අපිට කොහොම බලපාන්න පුළුවන්ද?
5 අවසානය එන කල් තව කොච්චර කල් බලන් ඉන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි අධෛර්යය වෙයි. දැන් බලන් හිටියා ඇති කියලා හිතෙයි. විශේෂයෙන්ම යෙහෝවාගේ දවස එන කල් අපි අවුරුදු ගාණක් තිස්සේ බලන් ඉන්නවා නම් එහෙම හිතෙන්න පුළුවන්. “කෝ, ඔයාලා කියන අවසානේ තාම ආවේ නැහැනේ” කියලා අපේ පවුලේ අය හරි වෙන අය හරි අපිට කියද්දී අපි මානසිකව වැටෙයි. (2 පේතෘ. 3:3, 4) එතකොට අපිට හිතෙයි ‘අවසානය එන දවස අපි දන්නවා නං අපිට බලන් ඉන්න ලේසියි, අනිත් අය කියන දේවල් දරාගන්නත් ලේසියි’ කියලා.
6. අවසානය එන දවස අපි දන්නේ නැති එක හොඳයි කියලා කියන්නේ ඇයි?
6 අවසානය එන දවස හරියටම කියලා නැති එකෙන් යෙහෝවා අපිට අවස්ථාවක් දෙනවා අපි ඔහුට සේවේ කරන්නේ ඔහුට තියෙන ආදරේ නිසයි, විශ්වාසේ නිසයි කියලා පෙන්නන්න. අපි යෙහෝවාට සේවේ කරන්නේ දවසක් මනසේ තියාගෙන නෙවෙයි. අපිට ඕනෙ ඔහුට හැමදාටම සේවේ කරන්න. “යෙහෝවාගේ දවස” එන්නේ කවදාද කියලා හිතහිත ඉන්නේ නැතුව අපිට පුළුවන් ඒ දවස ආවාට පස්සේ සිද්ධ වෙන හොඳ දේවල් ගැන හිතන්න. එහෙම කරද්දී දෙවියන් ගැන අපිට තියෙන භක්තිය වැඩි කරගෙන ඔහුව සතුටු කරන්න පුළුවන් හැම දේම කරන්න අපිට පුළුවන් වෙයි.—2 පේතෘ. 3:11, 12.
7. අපි දන්නේ මොනවාද?
7 අපි දැනටමත් දන්න දේවල් ගැන හිතන එකත් හරිම වැදගත්. අපි දන්නවා අවසාන කාලේ පටන්ගත්තේ 1914දී කියලා. ඒක තේරුම්ගන්න උදව් වෙන ගොඩක් අනාවැකි යෙහෝවා අපිට දීලා තියෙනවා. 1914ට පස්සේ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන ගොඩක් විස්තරත් යෙහෝවා කියලා තියෙනවා. ඒ අනාවැකි ඉටු වෙනවා දකිද්දී “යෙහෝවා දෙවියන්ගේ මහත් දවස ළං වෙලා” කියලා අපිට විශ්වාසයි. (ශෙප. 1:14) ඒ වගේම අපි දන්නවා යෙහෝවා මේ කාලේදී අපිට කරන්න වැදගත් වැඩක් භාර දීලා තියෙනවා කියලා. ඒ, පුළුවන් හැම කෙනෙක්ටම “රාජ්‍යය ගැන ශුභාරංචිය” කියන එක. (මතෙ. 24:14) අපි ඒ ශුභාරංචිය භාෂා 1,000කට වැඩි ගාණකින් රටවල් සහ ප්‍රදේශ 240ක දේශනා කරනවා. ඉතින් උද්‍යෝගයෙන් දේශනා සේවේ කරන්න අවසානය එන ‘දවස, පැය’ අපි දැනන් ඉන්නම ඕනෙ නැහැ.
යෙහෝවා වැඩ කරන්නේ කොහොමද?
8. “සැබෑ දෙවියන් වැඩ කරන්නේ කොහොමද” කියලා ඔයා දන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (දේශනාකාරයා 11:5)
8 “සැබෑ දෙවියන් වැඩ කරන්නේ කොහොමද” කියලා අපි හැම වෙලේම දන්නේ නැහැ. (දේශනාකාරයා 11:5 කියවන්න.) මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? යෙහෝවා ඔහුගේ අරමුණ ඉටු කරන්න කරන දේවල්, සිද්ධ වෙන්න ඉඩහරින දේවල් අපි දන්නේ නැහැ. යෙහෝවා දේකට ඉඩහරිනවා නම් ඒකට හේතු වෙන හැම දේම අපි දන්නේ නැහැ. ඔහු අපිට උදව් කරන්න මොන වගේ දේවල් කරයිද කියලත් අපි දන්නේ නැහැ. (ගීතා. 37:5) සැබෑ දෙවියන් වැඩ කරන විදිහ බයිබලේ සමාන කරලා තියෙන්නේ මව්කුසේ දරුවෙක් වැඩෙන ක්‍රියාවලියට. ඒ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා හැම තොරතුරක්ම විද්‍යාඥයන්වත් දන්නේ නැහැ.
9. යෙහෝවා අපිට උදව් කරන විදිහ හරියටම දන්නේ නැති නිසා අපිට කොහොම දැනෙයිද?
9 යෙහෝවා අපිට හරියටම කොහොම උදව් කරයිද කියලා දන්නේ නැති නිසා සමහර තීරණ ගන්න අපි අදිමදි කරන්න පුළුවන්. කැප කිරීම් කරලා සේවේ වැඩි කරන්න පස්ස ගහන්න පුළුවන්. උදාහරණෙකට අපේ ජීවිතේ සරල කරගන්න, ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවේ කරන්න අපි දෙපාරක් හිතයි. මහන්සි වෙලා සේවේ කළත් අපේ ඉලක්කවලට යාගන්න බැරි වෙද්දී අපිට හිතෙයි යෙහෝවාගේ ආශීර්වාදය අපිට නැහැ කියලා. කොච්චර සේවේ කළත් තාම බයිබල් පාඩමක්වත් නැත්නම්, ඉදි කිරීම් ව්‍යාපෘතිවල හවුල් වුණත් ඒ වැඩවල එක පිට එක ප්‍රශ්න එනවා නම් අපිට හිතෙයි යෙහෝවාගේ අනුමැතිය අපිට නැහැ කියලා.
10. යෙහෝවා දේවල් කරන විදිහ අපි හරියටම දන්නේ නැති එක අපිට උදව් වෙන්නේ මොන වගේ ගුණාංග දියුණු කරගන්නද?
10 යෙහෝවා අපි වෙනුවෙන් දේවල් කරන්නේ කොහොමද කියලා නොදන්න එක අපිට උදව් වෙනවා නිහතමානිකම වගේ ගුණාංග වර්ධනය කරගන්න. මොකද යෙහෝවා හිතන, වැඩ කරන විදිහ අපි හිතන, වැඩ කරන විදිහට වඩා ගොඩක් උසස් කියලා අපි තේරුම්ගන්නවා. (යෙසා. 55:8, 9) අපි යෙහෝවා ගැන තව වැඩියෙන් විශ්වාසේ තියන්නත් පෙලඹෙනවා. මොකද අපි තේරුම්ගන්නවා අපි කරන දේවල් සාර්ථක වෙන්නේ යෙහෝවා නිසයි කියලා. ඒ නිසා සේවේදී, පැවරුමකදී හොඳ ප්‍රතිඵල ලැබුණාම අපි ඒකේ ගෞරවේ යෙහෝවාට දෙනවා. (ගීතා. 127:1; 1 කොරි. 3:7) අපි හිතපු විදිහට දේවල් වෙන්නේ නැති වුණත් අපි මතක තියාගන්නවා යෙහෝවා හැම දේම දකිනවා කියලා. (යෙසා. 26:12) අපි අපේ කොටස කරලා යෙහෝවා ඔහුගේ කොටස කරයි කියලා අපි දිගටම විශ්වාසෙන් ඉන්නවා. අතීතයේදී වගේ යෙහෝවා අද ආශ්චර්යවත් විදිහට මඟ පෙන්නන්නේ නැති වුණාට ඔහු අපිට ඕන කරන මඟ පෙන්වීම් දෙයි කියලා අපිට විශ්වාසයි.—ක්‍රියා 16:6-10.
11. අපි දන්න වැදගත් දේවල් මොනවාද?
11 අපි දන්නවා යෙහෝවා හැම වෙලේම හරිම ආදරණීයව, සාධාරණව, ප්‍රඥාවන්තව වැඩ කරන දෙවි කෙනෙක් කියලා. අපි ඔහු වෙනුවෙන්, අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් කරන දේවල් ඔහු ගොඩක් අගය කරනවා කියලා අපි දන්නවා. යෙහෝවා ඔහුට ළැදිව ඉන්න හැමෝටම අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලත් අපි දන්නවා.—හෙබ්‍රෙ. 11:6.
හෙට මොනවා වෙයිද?
12. යාකොබ් 4:13, 14 කියන විදිහට අපි දන්නේ නැත්තේ මොනවාද?
12 යාකොබ් 4:13, 14 කියවන්න. හෙට අපිට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ සමාජයේ අපි “නොහිතන වෙලාවක බලාපොරොත්තු නොවුණ දේවල්” අපි ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. (දේශ. 9:11) ඒ නිසා අපි සැලසුම් කරපු සමහර දේවල් ඒ විදිහටම වෙයිද, ඒවා කරන්න අපි ජීවතුන් අතර ඉඳීද කියලවත් අපි දන්නේ නැහැ.
13. හෙට ගැන දන්නේ නැති එක අපිට බලපාන්න පුළුවන් කොහොමද?
13 හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැති නිසා අපිට මූණ දෙන්න වෙන දේවල් දරාගන්න අමාරු වෙයි. ඒ කොහොමද? ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතහිත අපි වධ වෙන්න ගියොත් අපේ සතුට නැති වෙයි. හිතපු නැති විදිහට ජීවිතේ වෙනස් වෙද්දී, හිටිහැටියේ නරක දේවල් වෙද්දී අපිට ලොකු දුකක් දැනෙයි. හැම දේම එපා වෙයි. හිතපු විදිහට දේවල් වෙන්නේ නැති වුණාමත් අපි අධෛර්යය වෙලා කලකිරෙයි.—හිතෝ. 13:12.
14. සතුටින් ඉන්න නම් අපි කරන්න ඕනෙ සහ දැනන් ඉන්න ඕනෙ මොනවාද? (පින්තූරත් බලන්න.)
14 අපේ ජීවිතේ මොන වගේ දේවල් වුණත් ඒවා දරාගද්දී අපිට පෙන්නන්න පුළුවන් අපි යෙහෝවාට සේවේ කරන්නේ ඔහුට තියෙන ආදරේ නිසයි කියලා. බයිබලේ තියෙන දේවලින් පැහැදිලියි අපිට එන හැම පීඩාවකින්ම යෙහෝවා අපිව ආරක්ෂා කරයි කියලා අපි හිතන්න හොඳ නැහැ කියලා. අනික අපේ ජීවිතේ ඉස්සරහට වෙන දේවල් යෙහෝවා කලින්ම සැලසුම් කරලත් නැහැ. අනාගතේ වෙන හැම දේම දන්නේ නැති වුණත් අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා යෙහෝවා දන්නවා. මොකද අපේ සතුට රැඳිලා තියෙන්නේ ඔහුගේ මඟ පෙන්වීම් පතලා ඒවාට කීකරු වෙන එක මතයි. (යෙරෙ. 10:23) තීරණ ගන්න වෙද්දී අපි යෙහෝවා දිහාවට හැරෙනවා නම් අපිටත් පුළුවන් මෙහෙම කියන්න. “යෙහෝවා කැමති නම් අපිට පුළුවන් ජීවත් වෙලා ඒ දේ හරි මේ දේ හරි කරන්න.”—යාකො. 4:15.
යෙහෝවාගේ මඟ පෙන්වීම් පතලා ඒවාට කීකරු වෙන එකෙන් අපිට ආරක්ෂාවක් ලැබෙනවා (14-15 ඡේද බලන්න) b
15. අනාගතේ ගැන අපි දන්නේ මොනවාද?
15 ගෙවෙන දවසක් දවසක් ගාණේ අපේ ජීවිතවල මොනවා වෙයිද කියලා අපි දන්නේ නැති වුණත් අපි දන්නවා යෙහෝවා අපිට සදාකල් ජීවිතේ දෙන්න පොරොන්දු වෙලා තියෙනවා කියලා. ඒක එක්කෝ ස්වර්ගයේ වෙන්න පුළුවන් නැත්නම් මේ පොළොවේ වෙන්න පුළුවන්. යෙහෝවාට බොරු කියන්න බැහැ කියලත් ඔහු දීලා තියෙන පොරොන්දු ඉටු කරන එකෙන් ඔහුව වළක්වන්න කාටවත් බැහැ කියලත් අපි දන්නවා. (තීත. 1:2) ‘අවසානයේදී සිද්ධ වෙන දේ ගැන දැනුම් දෙන්නෙත් අනාගතයේ වෙන දේවල් ගැන ඈත අතීතයේ ඉඳලාම දැනුම් දුන්නෙත්’ ඔහු විතරයි. අතීතයේ ඔහු කියපු හැම දේම ඒ විදිහටම ඉටු වුණා. අනාගතේ ගැන කියලා තියෙන දේවලුත් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. (යෙසා. 46:10) යෙහෝවා පෙන්නන ආදරෙන් අපිව ඈත් කරන්න කිසිම දේකට බැහැ කියලා අපි දන්නවා. (රෝම 8:35-39) ඕනම දෙයක් දරාගන්න ඕන කරන ප්‍රඥාව, සහනය, බලය ඔහු අපිට දෙනවා. යෙහෝවාගේ උදව්, ආශීර්වාද දිගටම අපිට ලැබෙනවා කියලා අපිට ස්ථිරයි.—යෙරෙ. 17:7, 8.
යෙහෝවා අපිව කොච්චර දුරට දන්නවාද?
16. ගීතාවලිය 139:1-6 කියන විදිහට යෙහෝවා අපි ගැන දන්නේ මොනවාද? ඒ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?
16 ගීතාවලිය 139:1-6 කියවන්න. අපේ නිර්මාතෘ අපි ගැන හැම දේම දන්නවා. අපි හිතන විදිහ, අපිට හැඟෙන විදිහ වගේම ඇයි අපිට එහෙම හිතෙන්නේ, දැනෙන්නේ කියලත් යෙහෝවා දන්නවා. අපි කියන දේවල් ගැනත් අපි ඒකෙන් ඇත්තටම අදහස් කළේ මොකක්ද කියලත් ඔහු දන්නවා. අපි කරන්නේ මොනවාද, ඇයි අපි එහෙම කරන්නේ කියලත් ඔහු දන්නවා. දාවිත් රජ කිව්වා යෙහෝවා හැම තිස්සේම අපිට උදව් කරන්න ලෑස්ති පිට ඉන්නවා, ඔහු අපිට උදව් කරන්න බැරි තරම් දුරකට යන්නේ නැහැ කියලා. සියලු බලැති දෙවියන්, ශ්‍රේෂ්ඨතම තැනැත්තා, අපේ නිර්මාතෘ ඔයා ගැන එච්චර හිතන එක ගැන ඔයාට කොහොමද දැනෙන්නේ? දාවිත්ට දැනුණ විදිහ ගැන එයා මෙහෙම කිව්වා. “ඔබට මං ගැන තියෙන අවබෝධය හිතාගන්නවත් බැරි තරම්. මට ඒක තේරුම්ගන්න බැරි තරම් ගැඹුරුයි.”—ගීතා. 139:6.
17. යෙහෝවා අපිව හොඳටම දන්නවා කියලා පිළිගන්න අමාරු වෙන්න පුළුවන් ඇයි?
17 අපේ පවුල් පසුබිම, සංස්කෘතිය, සත්‍යයට එන්න කලින් අපි විශ්වාස කරපු දේවල් නිසා අපි ගැන හිතන, ආදරණීය තාත්තා කෙනෙක් විදිහට යෙහෝවාව දකින්න අපිට අමාරු වෙන්න පුළුවන්. කලින් කරපු වැරදි නිසා ‘අපිව යාළුවෙක් කරගන්න යෙහෝවා කැමති නෑ, ඔහු අපෙන් ගොඩක් ඈත් වෙලා ඉන්න කෙනෙක්’ කියලා අපිට දැනෙන්න පුළුවන්. දාවිත්ටත් එහෙම දැනුණා. (ගීතා. 38:18, 21) යෙහෝවාව සතුටු කරන්න ආස නිසා අමාරුවෙන් ජීවිතේ වෙනස්කම් කරගන්න හදන කෙනෙක්ට සමහරවිට මෙහෙම හිතෙයි. ‘දෙවියන්ට මගේ හැඟීම් දැනීම් තේරුම්ගන්න පුළුවන්නේ. එහෙනං ඇයි යෙහෝවා මට වෙනස් වෙන්න කියන්නේ? ඇයි යෙහෝවාට බැරි මං මේ ඉන්න විදිහටම මාව පිළිගන්න?’
18. අපි අපි ගැන දන්නවාට වඩා යෙහෝවා අපි ගැන දන්නවා කියලා පිළිගන්න එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද? (පින්තූරත් බලන්න.)
18 අපි අපි ගැන දන්නවාටත් වඩා යෙහෝවා අපි ගැන දන්නවා. අපි නොදකින අපේ හොඳ යෙහෝවා දකිනවා කියලා පිළිගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඔහුට අපේ අඩුපාඩු පේනවා. හැබැයි ඇයි අපි එහෙම කළේ, ඇයි අපිට එහෙම දැනුණේ කියලා ඔහු තේරුම්ගන්නවා. ඔහු අපිට ගොඩක් ආදරෙයි. (රෝම 7:15) ඔහු හැම තිස්සේම බලන්නේ අපිට මොන වගේ අය වෙන්න පුළුවන්ද කියලයි. ඒ ගැන හිතද්දී ඔහුට විශ්වාසවන්තව, සතුටින් සේවේ කරන්න ඕන ශක්තිය අපිට ලැබෙනවා.
අනාගතේදී ලැබෙන ලස්සන ජීවිතේ ගැන අපිට තියෙන විශ්වාසේ වැඩි කරගන්න යෙහෝවා උදව් කරනවා. හිතාගන්න බැරි දේවල් වෙද්දී ඒවා දරාගන්න ඔහු උදව් කරන්නේ ඒ විදිහටයි (18-19 ඡේද බලන්න) c
19. අපි යෙහෝවා ගැන දන්නේ මොනවාද?
19 අපි දන්නවා යෙහෝවා දෙවියන් තමයි ආදරය කියලා. ඒ ගැන ආයේ කතා දෙකක් නැහැ. (1 යොහ. 4:8) ඔහු අපිට දෙයක් කරන්නද එපාද කියලා කියන්නේ අපිට ආදරේ නිසයි කියලා අපි දන්නවා. මොකද ඔහුට ඕනෙ අපිට හොඳම ජීවිතේ දෙන්න. ඔහුට ඕනෙ අපි සදාකල් ජීවත් වෙනවා දකින්න. ඒකයි ඔහු යේසුස්ගේ ජීවිත පූජාව දුන්නේ. අපි අතින් මොන අඩුපාඩුකම් වුණත් ඒ පූජාව නිසා අපිට පුළුවන් යෙහෝවා කැමති විදිහට ඔහුට සේවේ කරන්න. (රෝම 7:24, 25) ඒ වගේම “දෙවියන් අපිට වඩා හොඳින් අපේ හිත් ගැන දන්නවා කියලත් ඔහු හැම දේම දන්නවා කියලත්” අපි දන්නවා. (1 යොහ. 3:19, 20) අපේ ජීවිතේ වෙන හැම දෙයක්ම යෙහෝවා දකිනවා. ඔහුගේ කැමැත්තට එකඟව අපිට දේවල් කරන්න පුළුවන් කියන දේ ඔහුට විශ්වාසයි.
20. අපි දන්නේ නැති දේවල් ගැන හිතහිත වධ නොවී ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?
20 මෙච්චර කාලෙකට අපි දැනගන්න ඕන හැම දෙයක්ම යෙහෝවා අපිට නොකියා ඉඳලා නැහැ. ඒ නිසා අපි දන්නේ නැත්තේ මොනවාද කියලා හිතහිත වධ වෙන්නේ නැතුව අපිට පුළුවන් ඊට වඩා වැදගත් දේවල්වලට අවධානය දෙන්න. එතකොට අපි පෙන්නන්නේ “දැනුම අතින් කිසිම අඩුවක් නැති තැනැත්තා” වන යෙහෝවා ගැනයි අපි විශ්වාසේ තියන්නේ කියලා. (යෝබ් 36:4) දැනට අපිට සමහර දේවල් නොතේරුණත් අපි දන්නවා යෙහෝවා සදාකාලෙටම අපිට අලුත් දේවල් උගන්නයි කියලා. අපේ ශ්‍රේෂ්ඨ දෙවියන් ගැන සදාකාලෙටම ඉගෙනගන්න අපි ඉන්නේ හරිම ආසාවෙන්.—දේශ. 3:11.
ගීතිකාව 104 ත්‍යාගයක් වන දෙවිගේ බලය