පාඩම් ලිපිය 29
ගීතිකාව 121 අපව පාලනය කරගනිමු
වැරදි පෙලඹීම්වලට අහු වෙන්න එපා
“යම් වරදක් කිරීමට පෙලඹීමක් ඇති නොවීම සඳහා ඔබ අවදිව සිට නොකඩවා යාච්ඤා කළ යුතුයි.”—මතෙ. 26:41.
ලිපියේ අරමුණ
අපි බරපතළ වැරදි නොකර ඉන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. බරපතළ වරදකට මඟ පාදන දේවල්වලින් ඈත් වෙන එක කොච්චර වැදගත්ද කියලා අපි බලමු.
1-2. (අ) යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන්න අනතුරු ඇඟවීම මොකක්ද? (ආ) යේසුස්ගේ ගෝලයන් ඔහුව අත්හැරලා ගියේ ඇයි? (පින්තූරත් බලන්න.)
හරි දේ කරන්න “සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ.” (මතෙ. 26:41ආ) යේසුස්ගේ ඒ වචනවලින් තේරෙනවා පව්කාරකම උරුම කරගෙන තියෙන මිනිස්සුන්ට කරන්න තියෙන සටන ඔහු තේරුම් අරන් හිටියා කියලා. හැබැයි ඒකේ අනතුරු ඇඟවීමකුත් තියෙනවා. ඔහු කියනවා තමන් ගැන ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා කියලා. මොකද මේ සිද්ධිය වෙන්න පැය කීපයකට කලින් ගෝලයෝ යේසුස්ට කිව්වා මොන දේ වුණත් ඔහුව අත්හරින්නේ නැහැ කියලා. (මතෙ. 26:35) එයාලාගේ අධිෂ්ඨානය නම් හොඳයි. හැබැයි එයාලා තේරුම් අරන් හිටියේ නැහැ පීඩනයක් එද්දී හරි දේ කරන්න අරන් තියෙන අධිෂ්ඨානය ලේසියෙන්ම දුර්වල වෙන්න පුළුවන් කියලා. ඒකයි යේසුස් එයාලට කිව්වේ “යම් වරදක් කිරීමට පෙලඹීමක් ඇති නොවීම සඳහා ඔබ අවදිව සිට නොකඩවා යාච්ඤා කළ යුතුයි” කියලා.—මතෙ. 26:41අ.
2 හැබැයි ගෝලයන්ට යේසුස් කියපු දේ කරන්න බැරි වුණා. අන්තිමේදී යේසුස්ව අත්අඩංගුවට ගද්දී මොකද වුණේ? එයාලා පොරොන්දු වුණ විදිහටම යේසුස් එක්ක හිටියාද, නැත්නම් බයෙන් යටපත් වුණාද? ඒ වගේ අවස්ථාවකට මූණ දෙන්න එයාලා ලෑස්ති වෙලා හිටියේ නැති නිසා එයාලා යේසුස්ව අත්හැරලා ගියා.—මතෙ. 26:56.
3. (අ) අපි ගැනම ඕනෑවට වඩා විශ්වාස කරන එකෙන් වළකින්න ඕනෙ ඇයි? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 අපි හැම තිස්සේම හරි දේ කරයි කියලා අපි ගැන ඕනෑවට වඩා විශ්වාසෙකින් ඉන්න අපිට බැහැ. ඇත්ත, අපේ අධිෂ්ඨානය යෙහෝවා අකමැති කිසිම දෙයක් නොකර ඉන්න එක. හැබැයි අපි පව්කාරයන් නිසා වැරදි පෙලඹීමකට නිකම්ම අහු වෙන්න පුළුවන්. (රෝම 5:12; 7:21-23) නොහිතපු වෙලාවක, ලේසියෙන්ම ඇදිලා යන විදිහේ වැරදි පෙලඹීම් අපිට එන්න පුළුවන්. යෙහෝවාටයි, යේසුස්ටයි ළැදිව ඉන්න නම් වැරදි පෙලඹීම් ගැන විමසිල්ලෙන් ඉන්න කියලා යේසුස් කියපු දේ අපි මතක තියාගන්න ඕනේ. ඒකට මේ ලිපිය උදව් වෙනවා. අපි මුලින්ම බලමු අපි සැලකිලිමත් වෙන්න ඕනෙ පැති මොනවාද කියලා. ඊළඟට වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්න පුළුවන් කොහොමද කියලා බලමු. වැරදි පෙලඹීම්වලට විරුද්ධව දිගටම සටන් කරන්නේ කොහොමද කියලත් බලමු.
දුර්වල පැති අඳුරගන්න
4-5. පොඩියි කියලා හිතෙන වැරදිවලිනුත් අපි වළකින්න ඕනෙ ඇයි?
4 සමහර වැරදි එච්චර බරපතළ නැහැ කියලා හිතුණත් ඒවා නිසාත් යෙහෝවා එක්ක තියෙන අපේ බැඳීම දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම ඒවා බරපතළ වැරදිවලට අත වනන්නත් පුළුවන්.
5 අපි හැමෝටම වැරදි පෙලඹීම් එනවා. අපි එක් එක් කෙනාගේ දුර්වල පැතිත් වෙනස්. ඒ නිසා අපිට සටන් කරන්න වෙන දේවලුත් වෙනස්. උදාහරණෙකට කෙනෙක් අනාචාරය වගේ බරපතළ පාපයකට අහු නොවී ඉන්න සටන් කරනවා ඇති. තව කෙනෙක් ස්වයංවින්දනය, අසභ්‍ය දර්ශන බලන එක වගේ අපවිත්‍ර පුරුදු එක්ක පොරබදිනවා ඇති. තවත් කෙනෙක් මිනිස්සුන්ට තියෙන බය, කවුරුත් කියන දෙයක් කනකට ගන්නේ නැති එක, ඉක්මනින් කේන්ති යන එක වගේ දේවලින් ගොඩ එන්න මහන්සි වෙනවා ඇති. ඒකයි යාකොබ් කියන්නේ “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසා” කියලා.—යාකො. 1:14.
6. අපි අවංක වෙන්න ඕනෙ මොකක් ගැනද?
6 ඔයාට තියෙන දුර්වලකම් මොනවාද කියලා ඔයා දන්නවාද? ඒවා ගණන් නොගෙන ඉන්න එක, මගේ අතින් වරදක් වෙන්නේ නැහැ කියලා හිතන එක හරිම භයානකයි. (1 යොහ. 1:8) පාවුලුත් කිව්වා සෝදිසියෙන් හිටියේ නැත්නම් “ශුද්ධ ලියවිලිවලට අනුව සුදුසුකම් ලබා ඇති” අය වුණත් වරදකට අහු වෙන්න පුළුවන් කියලා. (ගලා. 6:1) ඒ නිසා අපි අපිටම අවංක වෙලා අපේ දුර්වල පැති අඳුරගන්න ඕනේ.—2 කොරි. 13:5.
7. අපි වැඩි අවධානයකින් ඉන්න ඕනෙ මොකක් ගැනද කියලා උදාහරණෙකින් පැහැදිලි කරන්න.
7 අපේ දුර්වල පැති අඳුරගත්තාට පස්සේ මොකක්ද කරන්න ඕනේ? ඒක තේරුම්ගන්න මේ උදාහරණේ බලන්න. බයිබල් කාලවල තිබුණ නගර වටේට පවුරු තිබුණා. ඒ පවුරුවල දුර්වලම තැන් තමයි දොරටු තිබුණ තැන්. ඉතින් ඒ තැන්වලට මුරකරුවෝ ගොඩක් දාලා ආරක්ෂාව වැඩි කළා. අපේ දුර්වල පැතිවලටත් කරන්න ඕනෙ ඒකමයි. අපි ඒවාවලට වැඩි අවධානයක් දීලා අපේ හිත ආරක්ෂා කරගන්න පියවර ගන්න ඕනේ.—1 කොරි. 9:27.
අහු නොවී ඉන්න නම් . . .
8-9. හිතෝපදේශ 7 කතා කරන තරුණයාට බරපතළ වරදකට වැටෙන්නේ නැතුව ඉන්න කරන්න තිබුණේ මොකක්ද? (හිතෝපදේශ 7:8, 9, 13, 14, 21)
8 වරදකට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද? හිතෝපදේශ 7 කතා කරන තරුණයාගෙන් අපිට ඉගෙනගන්න දෙයක් තියෙනවා. එයා නරක ස්ත්‍රියක් එක්ක ලිංගික දුරාචාරයේ යෙදුණා. 22වෙනි පදේ කියන්නේ එයා ඒ ස්ත්‍රිය පස්සේ “විගස” ඒ කියන්නේ එකපාරටම ගියා කියලා. හැබැයි කලින් පද බලද්දී තේරෙනවා ඒ තරුණයා ගත්ත මෝඩ තීරණ කීපයක්ම නිසයි එයා ඒ වරදට වැටුණේ කියලා.
9 මොනවාද එයා ගත්ත මෝඩ තීරණ? ‘එයා අඳුර වැටීගෙන එද්දී වීථිය දිගේ ගිහිල්ලා ඒ ස්ත්‍රිය ඉන්න පාරට හැරෙනවා.’ ඊළඟට එයා ඒ ස්ත්‍රියගේ ගෙවල් පැත්තට යනවා. (හිතෝපදේශ 7:8, 9 කියවන්න.) ස්ත්රියව දැක්කාම එයා හැරිලා යන්නෙත් නැහැ. ඒ වෙනුවට එයාව සිපගන්න ඉඩ දීලා හවුල් පූජා ඔප්පු කරපු එක ගැන ඒ ස්ත්‍රිය කියපු දේවල් අහගෙනත් හිටියා. ඒ ස්ත්‍රිය ඒ ගැන කියන්න ඇත්තේ එයා නරක කෙනෙක් නෙවෙයි කියලා පෙන්නන්න වෙන්න ඇති. (හිතෝපදේශ 7:13, 14, 21 කියවන්න.) තරුණයා ඒ මෝඩ තීරණ ගත්තේ නැත්නම් වරදක් කරන්න ආපු පෙලඹීමට අහු නොවී ඉන්න තිබ්බා.
10. ඒ තරුණයාට වුණා වගේම දෙයක් අද ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන් කොහොමද?
10 ඒ වාර්තාවේ තියෙන දේ යෙහෝවාට නමස්කාර කරන ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. කෙනෙක් අතින් බරපතළ වරදක් වුණාට පස්සේ එයාට හිතෙයි “හැම දෙයක්ම හරි ඉක්මනින් වුණානේ,” “හිතපු නැති විදිහට ඒක වුණේ” කියලා. ඒත් වෙච්ච දේවල් ගැන කල්පනා කරද්දී එයාට තේරෙයි ඒ වරදට වැටෙන්න එයා ගත්ත මෝඩ තීරණ බලපාලා තියෙනවා කියලා. සමහරවිට එයා යෙහෝවාට ආදරේ නැති අයව යාළුවෝ කරගෙන ඇති. එයා විනෝදෙට කරපු දේවල්, එයා ගිය තැන්, බලපු වෙබ් සයිට් ක්‍රිස්තියානීන්ට සුදුසු නැති ඒවා වෙන්න ඇති. එයා යාච්ඤා කරන එක, බයිබලේ කියවන එක, රැස්වීම්, සේවේ යන එක නතර කරලා තියෙන්න ඇති. ඒවාවලින් තේරෙනවා හිතෝපදේශ පොතේ කතා කරපු තරුණයා වගේ මෙයාත් වරදකට වැටුණේ ‘හදිස්සියේ’ නෙවෙයි කියලා.
11. බරපතළ වරදකට වැටෙන්නේ නැතුව ඉන්න අපි කරන්න ඕනෙ මොනවාද?
11 මොකක්ද පාඩම? බරපතළ වරදක් කරන එකෙන් විතරක් නෙවෙයි ඒ වරදට පාර කපන දේවලිනුත් අපි සම්පූර්ණයෙන්ම වැළකෙන්න ඕනේ. ඒ තරුණයා ගැනයි, නරක ස්ත්‍රිය ගැනයි කිව්වාට පස්සේ සලමොනුත් ඒ කාරණය කාවද්දනවා. එයා කිව්වා “මංමුළා වී ඇගේ මාවත්වලට හැරී නොයන්න” කියලා. (හිතෝ. 7:25) “ඇගෙන් ඈත්ව සිටින්න. ඇගේ දොරකඩ ළඟටවත් නොයන්න” කියලත් එයා කිව්වා. (හිතෝ. 5:3, 8) බරපතළ වරදක් නොකර ඉන්න නම් ඒ වගේ දේකට අපිව තල්ලු කරන හැම දේකින්ම, හැම අවස්ථාවකින්ම අපි ඈත් වෙන්න ඕනේ. a සමහර දේවල් තියෙනවා ක්‍රිස්තියානීන් විදිහට ඒවා කරන එකේ වරදක් නැහැ. හැබැයි ඒ වගේ දේකින් වුණත් වැරදි දෙයක් කරන්න අපේ හිතේ පෙලඹීමක් ඇති වෙනවා නම් අපි ඒකත් නොකර ඉන්න ඕනේ.—මතෙ. 5:29, 30.
12. යෝබ් ගත්ත තීරණේ මොකක්ද? වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්න ඒක එයාට උදව් වුණේ කොහොමද? (යෝබ් 31:1)
12 වරදකට මඟ පාදන දේවලින් වළකින්න නම් අපි ඒ ගැන ස්ථිර අධිෂ්ඨානයක් අරන් ඉන්න ඕනේ. යෝබ් ඒක කළා. එයා ස්ත්‍රියක් දිහා වැරදි චේතනාවකින් බලන්නේ නැතුව ඉන්න ‘එයාගේ දෑස් සමඟ ගිවිසුමක් ඇති කරගත්තා.’ (යෝබ් 31:1 කියවන්න.) එයා ගත්ත ඒ තීරණේට ඇලිලා හිටපු නිසා අනාචාරය කියන උගුල ළඟටවත් යන්නේ නැතුව ඉන්න එයාට පුළුවන් වුණා. වරදකට පොලඹවන ඕනෑම දේකින් වැළකිලා ඉන්න අපිටත් අධිෂ්ඨානයක් ගන්න පුළුවන්.
13. අපි හිතන දේවල් ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි? (පින්තූරත් බලන්න.)
13 අපි හිතන දේවල් ගැනත් පරෙස්සම් වෙන්න ඕනේ. (නික්. 20:17) සමහරු විශ්වාස කරනවා වරදක් නොකරන තාක් කල් වැරදි දේවල් හිතින් මවාගත්තාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් ඒක වැරදියි. මොකද වැරදි දෙයක් ගැන හිතන්න හිතන්න ඒක කරන්න තියෙන ආසාවත් වැඩි වෙනවා. ඒ වගේ කෙනෙක් කරන්නේ එයාම වළක් කපාගෙන ඒකට වැටෙන්නේ නැතුව ඉන්න සෑහෙන මහන්සියක් ගන්නවා වගේ වැඩක්. සමහර වෙලාවට අපේ මනසට වැරදි අදහස් එයි. හැබැයි එහෙම ආපු ගමන් අපි කරන්න ඕනෙ ඒක සම්පූර්ණයෙන් මනසින් අයින් කරලා හොඳ දේවලින් මනස පුරවගන්න එකයි. අපි එහෙම කරනවා නම් ඒ ආසාව අපේ හිතේ උඩු දුවලා ඒක පාලනය කරන්න බැරි තැනට එන්නේ නැහැ. ඒක පාලනය කරන්න බැරි තැනට ආවොත් අපේ අතින් බරපතළ වරදක් වුණත් වෙයි.—ෆිලි. 4:8; කොලො. 3:2; යාකො. 1:13-15.
14. වැරදි පෙලඹීමකට අහු නොවී ඉන්න අපිට උදව් වෙන තව දෙයක් මොකක්ද?
14 වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්න උදව් වෙන තව දෙයක් මොකක්ද? යෙහෝවා දීලා තියෙන නීතිවලට කීකරු වෙන එක අපිටමයි හොඳ කියලා අපි 100%ක් විශ්වාස කරන්න ඕනේ. සමහර වෙලාවට අපි හිතන දේවල්, අපේ ආශාවන් යෙහෝවා කැමති විදිහට හදාගන්න අපිට ලොකු සටනක් කරන්න වෙනවා. හැබැයි ඒ වෙනුවෙන් මහන්සි වෙන තරමට අපිට ලැබෙන සතුටත් වැඩියි.
15. හරි දේ කරන්න ලොකු ආසාවක් ඇති කරගන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද?
15 අපි හරි දේ කරන්න ලොකු ආසාවක් ඇති කරගන්න ඕනේ. “දුෂ්ට දේට පිළිකුල් කරලා යහපත් දේට ඇලුම් කරන්න” අපි ඉගෙනගන්නවා නම් හරි දේ කරන්න අපේ හිතේ තියෙන ආසාව තව වැඩි වෙනවා. වරදකට අපිව ඇදගෙන යන්න පුළුවන් දේවලින් අයින් වෙන්නත් ඒක අපිට උදව්වක්. (ආමො. 5:15) සමහර වැරදි පෙලඹීම් එන්නේ අපි බලාපොරොත්තු නොවුණ වෙලාවක. සමහර ඒවා අපිට මඟහරින්න බැහැ. හැබැයි ඒ වගේ වෙලාවලදීත් ස්ථිරව ඉන්න අපිට උදව් වෙන්නේ හරි දේ කරන්න අපේ හිතේ තියෙන ආසාවයි.
16. වැරදි පෙලඹීමකට අහු නොවී ඉන්න නමස්කාරයේ දේවල් කරන එක උදව් වෙන්නේ කොහොමද? (පින්තූරත් බලන්න.)
16 හරි දේ කරන්න තියෙන ආසාව තව වැඩි කරගන්න පුළුවන් කොහොමද? පුළුවන් තරම් නමස්කාරයේ දේවල් කරන්න. අපි රැස්වීම්වල ඉද්දී, සේවේ යද්දී වැරදි දේවල් කරන්න අපි පෙලඹෙන්නේ හරිම අඩුවෙන්. මොකද ඒ වගේ වෙලාවට අපි කරන්නේ යෙහෝවාව සතුටු කරන්න තියෙන ආසාව තව වැඩි කරගන්න එක. (මතෙ. 28:19, 20; හෙබ්‍රෙ. 10:24, 25) බයිබලේ කියවලා, ඒක අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට හිතද්දී හරි දේ කරන්න තියෙන ආසාව වැඩි වෙනවා. වැරදි දේට තියෙන පිළිකුලත් වැඩි වෙනවා. (යොෂු. 1:8; ගීතා. 1:2, 3; 119:97, 101) මතකද යේසුස් ගෝලයන්ට කිව්වේ ‘යම් වරදක් කිරීමට පෙලඹීමක් ඇති නොවීම සඳහා නොකඩවා යාච්ඤා කරන්න’ කියලා. (මතෙ. 26:41) අපි අපේ තාත්තා වන යෙහෝවා එක්ක යාච්ඤාවෙන් කාලේ ගත කරන තරමට අපි කරන්නේ අපිට උදව් කරන්න ඔහුට ඉඩ දෙන එකයි. ඔහුව සතුටු කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානයත් ඒකෙන් වැඩි වෙනවා.—යාකො. 4:8.
දිගටම ලෑස්ති පිට ඉන්න
17. පේතෘස්ගේ ආයේ ආයේ මතු වුණ දුර්වලකම මොකක්ද?
17 අපිට තියෙන සමහර දුර්වලකම්වලින් සම්පූර්ණයෙන්ම ගොඩ එන්න අපිට පුළුවන්. හැබැයි තවත් ඒවා එක්ක අපිට ජීවිත කාලේ පුරාම සටන් කරන්න වෙයි. පේතෘස් ගැන හිතන්න. මිනිස්සුන්ට තිබුණ බය නිසා එයා යේසුස්ව තුන් පාරක්ම අඳුරන්නේ නැහැ කියලා කිව්වා. (මතෙ. 26:69-75) හැබැයි පස්සේ කාලෙක මන්ත්‍රණ සභාව ඉස්සරහා එයා යේසුස් ගැනම නිර්භීතව සාක්ෂි දැරුවා. පේන විදිහට එයා බය කියන දුර්වලකමින් ගොඩ ඇවිත් වගේ. (ක්‍රියා 5:27-29) හැබැයි අවුරුදු කීපයකට පස්සේ ‘චර්මච්ඡේදනයට පක්ෂව හිටපු අයට එයා බය වුණ නිසා’ යුදෙව් නොවන ක්‍රිස්තියානීන් එක්ක කෑම කන එක නැවැත්තුවා. (ගලා. 2:11, 12) එයාගේ දුර්වලකම ආයේ උඩට ආවා. සමහරවිට කවදාවත් එයාට ඒ දුර්වලකම සම්පූර්ණයෙන්ම ජය ගන්න බැරි වෙන්න ඇති.
18. දුර්වලකම් ගැන අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?
18 පේතෘස්ට වගේ අපිටත් ගොඩ ආවා කියලා හිතපු දුර්වලකමක් එක්ක ආයේ ආයේ සටන් කරන්න වෙයි. එක සහෝදරයෙක් මෙහෙම කියනවා. “මං අසභ්‍ය දර්ශන බලන එක නවත්තලා අවුරුදු දහයක්ම ගියා. ඉතිං මං හිතුවා දැන් මට ඒ ප්‍රශ්නේ නෑ කියලා. ඒත් ඒ දුර්වලකම හරියට මාව අල්ලගන්න හැංගිලා බලන් ඉන්න භයානක සතෙක් වගේ කියලා මට තේරුණා.” හොඳ වෙලාවට ඒ සහෝදරයා සටන අත්හැරියේ නැහැ. මේ දුෂ්ට සමාජය තියෙන තාක් කල් හැමදාම ඒ වැරදි පෙලඹීමත් එක්ක එයාට ලොකු සටනක් කරන්න වෙනවා කියලා එයා තේරුම්ගත්තා. ඒ නිසා අසභ්‍ය දර්ශන කියන උගුලෙන් ඈත් වෙලාම ඉන්න එයා කලින්ටත් වඩා පරෙස්සම් වුණා. ඒක කරන්න එයාගේ නෝනායි, සභාවේ වැඩිමහල්ලොයි එයාට උදව් කළා.
19. ආයේ ආයේ මතු වෙන දුර්වලකමක් එක්ක සටන් කරන්න පුළුවන් කොහොමද?
19 ආයේ ආයේ මතු වෙන දුර්වලකමකට අහු වෙලා වරදක් නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද? “අවදිව ඉන්න” කියලා යේසුස් කියපු උපදෙස අදාළ කරගන්න. ‘දැන් නං මං ඒකට අහු වෙන්නේ නෑ. මං ඒකෙන් ගොඩ ඇවිල්ලා’ කියලා හිතුණත් වැරදි පෙලඹීමක් එන්න පුළුවන් අවස්ථා දිගටම මඟහරින්න. (1 කොරි. 10:12) දුර්වලකමත් එක්ක සටන් කරන්න මේ වෙන කල් උදව් වුණ දේවල් දිගටම කරන්න. 2 පේතෘස් 3:14ත් කියන්නේ වැරදි පෙලඹීමකට අහු නොවී ඉන්න “උපරිම උත්සාහයක් දරන්න” කියලා.
ලැබෙන ආශීර්වාද
20-21. (අ) අපි අවදිව ඉන්න එකෙන් ලැබෙන ආශීර්වාද මොනවාද? (ආ) අපි අපේ කොටස කරනවා නම් යෙහෝවා අපි වෙනුවෙන් මොනවා කරයිද? (2 කොරින්ති 4:7)
20 වැරදි දේකට අහු නොවී ඉන්න අපි ගන්න උත්සාහය කවදාවත් අපතේ යන්නේ නැහැ. පව්කාර දේවල් කරලා ‘තාවකාලික සතුටක්’ ලැබෙයි. හැබැයි යෙහෝවාගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙද්දී ඊට එහා ගිය සතුටක් ලබාගන්න පුළුවන්. (හෙබ්‍රෙ. 11:25; ගීතා. 19:8) මොකද යෙහෝවා අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඔහුගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙලා සතුටක් ලබන විදිහට. (උත්. 1:27) එහෙම ජීවත් වෙද්දී අපේ හිත වධ දෙන්නේ නැති නිසා අපිට අපි ගැනම හොඳ හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම සදාකල් ජීවත් වෙන්න අවස්ථාවත් අපිට ලැබෙනවා.—1 තිමෝ. 6:12; 2 තිමෝ. 1:3; යූද් 20, 21.
21 ඇත්ත, හරි දේ කරන්න පව්කාර ශරීරය ඉඩ දෙන්නේ නැහැ. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි දුර්වලකමට යට වෙන්න ඕනෙ කියලා. මොකද අපිට උදව් කරන්න යෙහෝවා ඕන වෙලාවක ලෑස්ති පිට ඉන්නවා. (2 කොරින්ති 4:7 කියවන්න.) හැබැයි යෙහෝවා අපිට දෙනවා කියන්නේ සාමාන්‍ය ඉක්මවූ බලය. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? වැරදි පෙලඹීමක් එද්දී අපි අපිට තියෙන සාමාන්‍ය බලය පාවිච්චි කරලා ඒකට අහු නොවී ඉන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒ විදිහට අපි අපේ කොටස කරද්දී යෙහෝවා අපේ යාච්ඤා අහලා මදිපාඩුව පුරවනවා. (1 කොරි. 10:13) යෙහෝවාගේ උදව්වෙන් වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන්.
ගීතිකාව 47 සැමදා යාච්ඤා කරන්න
a බරපතළ වරදක් කරපු කෙනෙක්ට උදව් වෙන තොරතුරු ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න’ පොතේ 57වෙනි පාඩමේ 1-3 කරුණුවල සහ 2020 නොවැම්බර් ‘මුරටැඹ’ සඟරාවේ “ඉදිරියම බලා සිටින්න” කියන ලිපියේ 27-29 පිටුවල 12-17 ඡේදවල තියෙනවා.
b පින්තූරේ අදහස: සහෝදරයෙක් උදෙන්ම දිනපදය කියවනවා. දවල් කෑම වෙලාවේ බයිබලේ කියවනවා. හවස සති මැද රැස්වීමට සහභාගි වෙනවා.