Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

බැබිලෝනියේ කැණීම්වලින් හොයාගත්ත ගඩොල්වලින් සහ උදුන් ගැන තියෙන සටහන්වලින් බයිබලේ නිවැරදිභාවය ඔප්පු වෙන්නේ කොහොමද?

බැබිලෝනියේ කරපු පුරාවිද්‍යා කැණීම්වලදී නුවර හදන්න පාවිච්චි කරපු ගඩොල් විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. පුරාවිද්‍යාඥයෙක් වන රොබට් කෝල්ඩවයි කියන විදිහට “මේ ගඩොල් පුච්චන්න හදපු උදුන් තිබුණේ නගරයෙන් එළියේ. මොකද ඒ පැතිවල හොඳ මැටි සහ දර ඕන තරම් හොයාගන්න තිබුණා.”

පැරණි වාර්තාවල පෙන්නන විදිහට බැබිලෝනියේ නිලධාරීන් මේ උදුන් පාවිච්චි කළේ ගඩොල් පුච්චන්න විතරක් නෙවෙයි. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ඇසිරියානු ශිෂ්ටාචාරය ගැන හදාරන මහාචාර්ය පෝල් ඇලන් බොල්යූ මෙහෙම කියනවා. “බැබිලෝනියේ පැරණි සටහන් කීපයකම සඳහන් වෙන විදිහට රජුට විරුද්ධව කැරලිගහන, ආගමට නිග්‍රහ කරන අයව මේ උදුන්වලට දාලා පුච්චන්න රජ අණ කළා.” නෙබුකද්නෙෂර් රජ පාලනය කරපු කාලෙට අයිති සටහනක මෙහෙම කියනවා. “උන්ව නැත්තටම නැති කරලා දාන්න. හොඳට දුම් දාන කල් ගින්දර වැඩි කරන්න. උන්ව පණ පිටින්ම උදුනේ පුච්චන්න. බුරබුරා නඟින ඒ ගින්නෙන් උන් අළු වෙලාම ගියදෙන්.”

ඒ ගැන කියවද්දී අපිට දානියෙල් 3වෙනි පරිච්ඡේදයේ තියෙන වාර්තාව මතක් වෙනවා. ඒකේ කියනවා නෙබුකද්නෙෂර් රජ බැබිලෝනිය නුවරට පිටින් තිබුණ දූරා කියන සමභූමියේ රත්තරන්වලින් අතිවිශාල රූපයක් හැදුවා කියලා. ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ ඒ රූපයට නමස්කාර කරපු නැති නිසා රජට හුඟක් කේන්ති ගියා. ඒ නිසා “ගිනි උදුන සාමාන්‍ය උෂ්ණත්වයට වඩා හත් ගුණයකින් රත් කරලා” ඒ තුන්දෙනාව “ඇවිළෙන ගිනි උදුනට දාන්න” කියලා රජ අණ කළා. හැබැයි දෙවියන් එයාලව බේරගන්න බලවත් දේවදූතයෙක්ව එව්වා.—දානි. 3:1-6, 19-28.

© The Trustees of the British Museum. Licensed under CC BY-NC-SA 4.0. Source

නෙබුකද්නෙෂර් රජගේ නම කොටපු ගඩොලක්

කැණීම්වලදී හොයාගත්ත ගඩොල්වලිනුත් බයිබලේ සත්‍යයක් කියලා ඔප්පු වෙනවා. මොකද හුඟක් ගඩොල්වල මේ විදිහට කොටලා තිබුණා. “මං තමයි බැබිලෝනියේ ශ්‍රේෂ්ඨ රජ වන නෙබුකද්නෙෂර්. මගේ අතින්මයි මේ තේජවත් මාලිගාව ගොඩනැඟුවේ. මගේ පෙළපතට සදහටම රජ කිරුළ හිමි වේවා!” ඒක කියවද්දී අපිට මතක් වෙනවා දානියෙල් 4:30 නෙබුකද්නෙෂර් රජ තමන් ගැනම මහ උජාරුවෙන් කියපු මේ දේ. “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස මගේම බලයෙන් මා ගොඩනැඟූ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?”