අභියෝගය ජය ගන්න කරන්න ඕන දේ
හරි වැරැද්ද අතර වෙනස ඉගෙනගන්න
කැනඩාවේ ඉහළ පෙළේ ප්‍රසිද්ධ පාසැලක විනෝද චාරිකාවකට සහභාගි වුණු පිරිමි ළමයි කිහිපදෙනෙක් තවත් පිරිමි ළමයෙක්ට අතවර කරලා තියෙනවා. ඒ ගැන පුවත්පතක මෙහෙම සඳහන් වුණා. “බුද්ධිය තිබුණත් ධන සම්පත් තිබුණත් හොඳ අධ්‍යාපනයක් ලබලා තිබුණත් යෞවනයෙක් වැරදි දේවල් නොකර ඉඳියි කියලා හිතන්න බැහැ.”—Ottawa Citizen.
ඒ පුවත්පතේ මෙහෙමත් සඳහන් වුණා. “දරුවෙක්ට හොඳ නරක මොකක්ද කියලා උගන්වන එක තමයි දෙමාපියන් කරන්න ඕන වැදගත්ම දේ. ඒත් හුඟක් දෙමාපියන් වැඩි අවධානයක් දෙන්නේ ඉහළට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා සල්ලිකාරයෙක් වෙන්න දරුවන්ට උදව් කරන එකටයි.”
පාසැල් අධ්‍යාපනය වැදගත්. ඒත් මොන තරම් හොඳ අධ්‍යාපනයක් ලැබුවත් වැරදි දේ කරන්න එන පෙලඹීම් එක්ක සටන් කරන්න ඒ දැනුම උදව් වෙන්නේ නැහැ. ඒ වගේ දේවලින් ජය ගන්න උදව් වෙන අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන් කොහෙන්ද?
හොඳම අධ්‍යාපනය
බයිබලය හරියට කණ්ණාඩියක් වගේ. ඒක කියවද්දී අපේ සීමාවන්, දුර්වල පැති හඳුනගන්න පුළුවන්. (යාකොබ් 1:23-25) සාමයට සහ එකමුතුකමට දායක වෙන ගුණාංග වර්ධනය කරගන්නත් බයිබලය අපිට උදව් වෙනවා. යහපත්කම, කරුණාවන්තකම, ඉවසීම, තමාවම පාලනය කරගැනීම සහ ආදරය ඒ ගුණාංගවලින් කීපයක්. බයිබලයේ ආදරය කියන ගුණාංගය හඳුන්වලා තියෙන්නේ “එක්සත්කමට දායක වන හොඳම බැඳීම” කියලයි. (කොලොස්සි 3:14) ආදරය ඒ තරම්ම විශේෂ වෙන්නේ ඇයි? ඒකට උත්තරේ බයිබලයෙන් බලමු.
-
‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත. ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත. අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත. ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. අමනාපයක් සිතේ තබාගන්නේ නැත. ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අධර්මිෂ්ඨ [නරක] දේවල් ගැන ප්‍රීති වන්නේ නැත. ඒ වෙනුවට සත්‍යය ජය ගන්නා විට ඔහු ඒ ගැන ප්‍රීති වෙයි. ඔහු සියල්ල ඉවසා දරාගනියි. සියල්ල විඳදරාගනියි. ප්‍රේමය නමැති ගුණාංගය සදාතනිකය.’—1 කොරින්ති 13:4-8.
-
“ප්‍රේමය පෙන්වන කෙනෙක් තම අසල්වැසියාට විරුද්ධව කිසි නපුරු දෙයක් කරන්නේ නැත.”—රෝම 13:10.
-
“අන් සෑම දෙයකටම වඩා එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න. මන්ද ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.”—1 පේතෘස් 4:8.
ඔයාට ආදරේ කරන අයත් එක්ක ඉද්දී ඔයාට ආරක්ෂාවක්, සහනයක් දැනෙනවා නේද? එයාලා කැමති ඔයාට හොඳක් වෙනවාටයි කියලත් කවදාවත් එයාලා හිතාමතාම ඔයාව රිද්දන්නේ නැහැ කියලත් ඔයා දන්නවා.
ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් ඕනෙම දෙයක් කැප කරන්නත් ජීවිතේ ඕනෙම වෙනසක් කරන්නත් මිනිසුන් පෙලඹෙනවා. මේ අද්දැකීම බලන්න. සීයා කෙනෙක්ට එයාගේ මුනුපුරා ගැන හිතේ ලොකු ආදරයක් තිබුණා. ඒත් එයා සිගරට් බොන්න ඇබ්බැහි වෙලා හිටිය නිසා බෑනා කැමති වුණේ නැහැ එයා දරුවා ළඟට යනවාට. සීයා කළේ මොකක්ද කියලා දන්නවාද? අවුරුදු 50ක් තිස්සේම සිගරට්වලට ඇබ්බැහි වෙලා හිටියත් මුනුපුරා වෙනුවෙන් සිගරට් බොන එක සම්පූර්ණයෙන්ම නතර කළා. ආදරය මොන තරම් නම් ප්‍රබලද!
යහපත්කම, කරුණාවන්තකම සහ විශේෂයෙන්ම ආදරය වගේ ගුණාංග වර්ධනය කරගන්න බයිබලය උදව් වෙනවා
ආදරය කරන්න අපි ඉගෙනගන්න ඕනේ. පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට ඒ ගැන කියලා දෙන වගකීම තියෙන්නේ දෙමාපියන්ට. දරුවන්ව පෝෂණය කරන්නත් රැකබලා ගන්නත් එයාලා දරන්නේ ලොකු වෙහෙසක්. දරුවන් අසනීප වුණාම, තුවාල වුණාම දෙමාපියන් එයාලට සාත්තු කරනවා. දරුවන්ට ආදරේ කරන දෙමාපියන් දරුවන් එක්ක කතා කරන්නත් දරුවන්ට උගන්වන්නත් කාලය ගන්නවා. ඕන කරන හික්මවීම් ලබා දීලා දරුවන්ට හරි වැරැද්ද කියලා දෙනවා. ඒ වගේම එයාලගේ හැසිරීමෙන් දරුවන්ට හොඳ ආදර්ශයක් තියනවා.
ඒත් අද ඉන්න සමහර දෙමාපියන් තමන්ගේ වගකීම් හරියට ඉටු කරන්නේ නැහැ. ඒ නිසා එයාලගේ දරුවන් කවදාවත් හොඳ වැඩිහිටියන් වෙන එකක් නැද්ද? එහෙම කියන්න බැහැ. මොකද වැඩිහිටි අය ඇතුළු දෙමාපියන්ගේ ආදරය, රැකවරණය නොලැබුණු පවුල්වලින් ආපු අය පවා එයාලගේ ජීවිතවල වෙනස්කම් කරගෙන අනිත් අය ගැන සැලකිලිමත්, විශ්වාසවන්ත වැඩිහිටියන් වෙලා තියෙනවා. කවදාවත් වෙනස් වෙන එකක් නැහැ කියලා හිතපු අයත් එයාලගේ ජීවිත වෙනස් කරගෙන තියෙනවා. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.