පාඩම් ලිපිය 11
බයිබලය අධ්‍යයනය කරලා ශක්තිමත් වෙන්න
‘විඳදරාගැනීමට උපකාරය ලබා දෙන්නේ දෙවිය.’—රෝම 15:5.
ගීතිකාව 94 ස්තුති වෙමු දේවවචනයට
මේ ලිපියෙන් a
1. යෙහෝවා දෙවියන්ගේ සේවකයන් මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද?
මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඔයා ඉන්නේ දුකෙන්ද? සභාවේ කෙනෙක් ඔයාගේ හිත රිදෙන දෙයක් කළාද? (යාකො. 3:2) යෙහෝවා දෙවියන්ට සේවය කරන නිසා ඉස්කෝලේ අය නැත්නම් වැඩපොළේ අය ඔයාට විහිළු කරනවාද? (1 පේතෘ. 4:3, 4) ඔයා රැස්වීම් යන එක, සේවේ යන එක පවුලේ අය නතර කරන්න හදනවාද? (මතෙ. 10:35, 36) මුහුණ දෙන ප්‍රශ්න නිසා යෙහෝවා දෙවියන්ට කරන සේවය නතර කරන්න ඔයාට හිතිලා තියෙනවාද? ඔයා මොන දේවලට මුහුණ දුන්නත් විඳදරාගන්න ශක්තිය, ප්‍රඥාව ඔයාට දෙන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියලා අමතක කරන්න එපා.
2. රෝම 15:4 අනුව බයිබලේ කියවන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
2 අතීතයේ දෙවියන්ගේ සේවකයන් පීඩා විඳදරාගත්ත විදිහ ගැන ගොඩක් තොරතුරු යෙහෝවා දෙවියන් බයිබලේට ඇතුළත් කරලා තියෙනවා. මොකද ඔහු දන්නවා එයාලගෙන් අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන් කියලා. (රෝම 15:4 කියවන්න.) සහනය අද්දකින්නත් බලාපොරොත්තුව ශක්තිමත්ව තියාගන්නත් ඒ තොරතුරු කියවන එක අපිට උදව් වෙනවා. හැබැයි ඒ දේවල් කියවලා විතරක් මදි. කියවන දේවල් ගැන හොඳට හිතලා යෙහෝවා දෙවියන් කැමති විදිහට අපේ සිතුවිලි සකස් කරගන්නත් ඕනේ. උදාහරණෙකට යම් ප්‍රශ්නෙකට හොඳින් මුහුණ දෙන්න අපිට මඟ පෙන්වීම් ඕනෙ නම් මොකද කරන්නේ? අපි කරන්න ඕන දේවල් හතරක් තියෙනවා. (1) යාච්ඤා කරන්න. (2) හිතින් මවාගන්න. (3) ගැඹුරින් කල්පනා කරන්න. (4) අදාළ කරගන්න. ඒ එක් එක් දේවල්වලින් අදහස් වෙන්නේ මොනවාද කියලා අපි මුලින් බලමු. b ඊටපස්සේ ඒ ක්‍රමය පාවිච්චි කරලා දාවිත් රජගෙනුයි පාවුල්ගෙනුයි අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි බලමු.
3. බයිබලේ කියවන්න කලින් අපි කරන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?
3 (1) යාච්ඤා කරන්න. බයිබලේ කියවන්න කලින් කියවන කොටසින් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. උදාහරණෙකට ඔයා මුහුණ දෙන ප්රශ්නය විසඳගන්න අදාළ කරගන්න ඕන ප්‍රතිපත්ති හඳුනගන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න.—ෆිලි. 4:6, 7; යාකො. 1:5.
4. කියවන කොටස හිතට කාවදින්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?
4 (2) හිතින් මවාගන්න. හිතින් මවාගන්න අපිට තියෙන හැකියාව යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක්. ඔයා බයිබලේ කොටසක් කියවද්දී ඒ කොටසේ ඉන්න ප්‍රධාන චරිතය ඔයා කියලා හිතන්න. එයාට කොහොම හැඟෙන්න ඇද්ද, දැනෙන්න ඇද්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න.
5. ගැඹුරින් කල්පනා කරන්න ඕනෙ මොනවා ගැනද? ඒක කරන්න පුළුවන් කොහොමද?
5 (3) ගැඹුරින් කල්පනා කරන්න. ඔයා කියවන කොටස හොඳින් තේරුම්ගන්නත් ඒක ඔයාට අදාළ වෙන විදිහ තේරුම්ගන්නත් ගැඹුරින් කල්පනා කරන එක උදව් වෙනවා. බයිබලේ කියෙව්වත් ඒ තොරතුරු ගැඹුරින් කල්පනා කරන්නේ නැත්නම් ඒක හරියට ජිග්සෝ පසල් එකක, ඒ කියන්නේ පින්තූර ප්‍රහේලිකාවක පින්තූරයේ කොටස් මේසේ උඩ තියන් බලන් ඉන්නවා වගේ. ගැඹුරින් කල්පනා කරන එක හරියට ජිග්සෝ පසල් එකක පින්තූරවල කෑලි එකතු කරලා සම්පූර්ණ පින්තූරය හදනවා වගේ. ඔයා කියවන කොටසේ තොරතුරු ගැන ගැඹුරින් කල්පනා කරන්න උදව්වක් විදිහට මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ‘කියවන බයිබල් කොටසේ ප්‍රධාන චරිතය ප්රශ්නය විසඳගන්න මොනවාද කළේ? යෙහෝවා දෙවියන් එයාට උදව් කළේ කොහොමද? පීඩා විඳදරාගන්න ඒ තොරතුරු මට උදව් වෙන්නේ කොහොමද?’
6. ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න ඕනෙ ඇයි?
6 (4) අදාළ කරගන්න. යේසුස් කිව්වා ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නේ නැති කෙනෙක් හරියට වැලි මත ගෙයක් ගොඩනඟන කෙනෙක් වගේ කියලා. එයා මහන්සි වෙලා ගෙයක් ගොඩනැඟුවත් ලොකු හුළඟක්, ගං වතුරක් ආවාම ඒ ගේ කඩන් වැටෙනවා. එයාගේ මහන්සිය අපතේ යනවා. (මතෙ. 7:24-27) ඒ වගේ අපිත් බයිබලේ කියවන්න කලින් යාච්ඤා කරලා කියවන කොටස හිතින් මවාගෙන ඒ ගැන ගැඹුරින් කල්පනා කළත් ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නේ නැත්නම් අපේ මහන්සිය අපතේ යනවා. මොකද පීඩා පරීක්ෂා අද්දකින්න වෙද්දී ඒවාට හොඳින් මුහුණ දෙන්න තරම් විශ්වාසයක් අපි ගොඩනඟාගෙන නැහැ. හැබැයි අපි ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නවා නම් හොඳ තීරණ ගන්න, සාමකාමී ජීවිතයක් ගත කරන්න වගේම ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟාගන්න අපිට පුළුවන් වෙනවා. (යෙසා. 48:17, 18) අපි දැන් දාවිත්ගේ ජීවිතේ ගැන සලකලා බලද්දී අපි ඉගෙනගත්ත කරුණු හතර අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා බලමු.
දාවිත්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
7. අපි දැන් බලන්න යන්නේ මොන සිද්ධිය ගැනද?
7 යාළුවෙක් හරි පවුලේ කෙනෙක් හරි ඔයාට ද්‍රෝහි වෙලා තියෙනවාද? එහෙනම් දාවිත්ගේ පුතා වුණු අබ්සලොම් ද්‍රෝහි වෙලා රජකම උදුරගන්න හැදුවාම දාවිත් කළේ මොනවාද කියලා දැනගන්න එක ඔයාට උදව් වෙයි.—2 සාමු. 15:5-14, 31; 18:6-14.
8. යෙහෝවා දෙවියන්ගෙන් උදව් ලබාගන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?
8 (1) යාච්ඤා කරන්න. බයිබලෙන් ඔයා තෝරගත්ත කොටස කියවන්න කලින් ද්‍රෝහි වුණ කෙනා කරපු දේ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද කියලා නිශ්චිතව යෙහෝවා දෙවියන්ට කියන්න. (ගීතා. 6:6-9) ඊටපස්සේ ඔයා කරන්න ඕනෙ මොකක්ද කියලා තේරුම්ගන්න උදව් වෙන ප්‍රතිපත්ති ඔයා කියවන කොටසෙන් හඳුනගන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න.
9. දාවිත් සහ අබ්සලොම්ගේ සිද්ධිය කෙටියෙන් විස්තර කරන්න.
9 (2) හිතින් මවාගන්න. දාවිත්ට හැඟුණේ කොහොමද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. දාවිත්ගේ පුතා වුණු අබ්සලොම් කපටි විදිහට මිනිසුන්ගේ හිත් දිනාගන්න අවුරුදු ගාණක් එක එක දේවල් කළා. (2 සාමු. 15:7) සුදුසුම වෙලාව ආවාම එයා ඊශ්‍රායෙලයේ හැම පළාතකටම ඔත්තුකාරයන්ව යැව්වා. එහෙම කළේ රජ විදිහට තමන්ව පිළිගන්න මිනිසුන්ව පොලඹවන්න. ඒ විතරක් නෙවෙයි එයා දාවිත්ගේ කිට්ටුම මිතුරෙක් සහ උපදේශකයෙක් වුණ අහිතොෆෙල්වත් තමන්ගේ පැත්තට නම්මගත්තා. ඊටපස්සේ එයා දාවිත්ව මරන්නත් සැලසුම් කළා. ඒ වෙද්දී දාවිත් අසනීප තත්වෙන් ඉන්න ඇති. (ගීතා. 41:1-9) හැබැයි තමන්ව අබ්සලොම් මරන්න හදනවා කියලා දැනගත්ත දාවිත් අබ්සලොම්ගෙන් පලා ගියා. අන්තිමේදී අබ්සලොම්ගේ හමුදාව දාවිත්ට විරුද්ධව සටනට ආවා. ඒ සටනින් අබ්සලොම් මැරුණා.
10. ඕනෙ නම් දාවිත්ට මොනවා කරන්න තිබුණාද?
10 දැන් හිතන්න සිද්ධ වෙච්ච දේවල් ගැන දාවිත්ට කොහොම හැඟෙන්න ඇද්ද කියලා. එයා අබ්සලොම්ට පණ වගේ ආදරේ කළා. අහිතොෆෙල්ව ගොඩක් විශ්වාස කළා. හැබැයි ඒ දෙන්නම දාවිත්ට ද්‍රෝහි වුණා. දාවිත්ව මරන්නත් හැදුවා. සිද්ධ වෙච්ච දේවල් නිසා ඕනෙ නම් දාවිත්ට තිබුණා කිසිම කෙනෙක්ව විශ්වාස නොකර ඉන්න. එහෙම නැත්නම් එයා ගැන විතරක් හිතලා තනියම පලා යන්න. අධෛර්යය කරවන සිතුවිලි නිසා පැත්තකට වෙලා ඔහේ ඉන්නත් එයාට තිබුණා. හැබැයි දාවිත් ඒ කිසිම දෙයක් කළේ නැහැ. එයා සාර්ථකව ඒ අභියෝගය ජය ගත්තා. ඒක කරන්න එයාට පුළුවන් වුණේ කොහොමද?
11. පීඩා එද්දී දාවිත් කළේ මොනවාද?
11 (3) ගැඹුරින් කල්පනා කරන්න. දාවිත්ගේ සිද්ධියෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒක තේරුම්ගන්න පීඩා එද්දී දාවිත් කළේ මොනවාද කියලා හොඳට හිතලා බලන්න. එයා හදිස්සි වෙලා වැරදි තීරණ ගත්තෙවත් බය වෙලා කිසිම දෙයක් කරකියාගන්න බැරුව පැත්තකට වෙලා හිටියෙවත් නැහැ. ඒ වෙනුවට එයා යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. යාළුවන්ගෙනුත් උදව් ගත්තා. පරක්කු කරන්නේ නැතුව එයා ගත්ත තීරණවලට අනුව වැඩ කළා. ලොකු හිත් වේදනාවකින් හිටියත් එයා අනිත් අයත් එක්ක කේන්තියෙන් වැඩ කළේ නැහැ. ඒ වෙනුවට එයා දිගටම යෙහෝවා දෙවියන් මත විශ්වාසය තියලා වැඩ කළා. යාළුවන් ගැන තිබුණු විශ්වාසය නැති කරගත්තෙත් නැහැ.
12. යෙහෝවා දෙවියන් දාවිත්ට උදව් කළේ කොහොමද?
12 යෙහෝවා දෙවියන් දාවිත්ට උදව් කළේ කොහොමද? ඒ ගැන හොඳින් අධ්‍යයනය කළොත් ඔයාට තේරෙයි පීඩා විඳදරාගන්න දෙවියන් දාවිත්ට ශක්තිය දුන්නා කියලා. (ගීතා. 3:1-8; හැඳින්වීම) යෙහෝවා දෙවියන් දාවිත් ගත්ත තීරණවලට ආශීර්වාද කළා. ඒ වගේම එයාගේ රජකම ආරක්ෂා කරගන්න සටන් කරපු එයාගේ විශ්වාසවන්ත යාළුවන්ටත් උදව් කළා.
13. කෙනෙක් ඔයාව රිද්දුවොත් දාවිත්ව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද? (මතෙව් 18:15-17)
13 (4) අදාළ කරගන්න. ‘දාවිත්ව ආදර්ශයට ගන්න මට පුළුවන් කොහොමද’ කියලා හොඳට හිතන්න. ප්‍රශ්නේ විසඳගන්න කල් දාන්න එපා. තත්වයට අනුව මතෙව් 18 යේසුස් දීපු උපදෙස අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. (මතෙව් 18:15-17 කියවන්න.) හැබැයි හැඟීම්වලට වහල් වෙලා හදිස්සි තීරණ ගන්න එපා. ඒ වෙනුවට සන්සුන් මනසක් ඇතුව ඉන්න සහ කරන්න ඕනෙ හරි දේ මොකක්ද කියලා තේරුම්ගන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. යාළුවන් ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා. ඒ වෙනුවට එයාලා දෙන උදව් පිළිගන්න. (හිතෝ. 17:17) වැදගත්ම දේ වෙන්නේ බයිබලය මාර්ගයෙන් යෙහෝවා දෙවියන් දෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න එක කියලා අමතක කරන්න එපා.—හිතෝ. 3:5, 6.
පාවුල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
14. 2 තිමෝති 1:12-16; 4:6-11, 17-22 ඔයාට දිරිගැන්වීමක් වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?
14 යෙහෝවා දෙවියන්ට සේවය කරන නිසා ඔයාගේ පවුලේ අය ඔයාට පීඩා කරනවාද? එහෙම නැත්නම් ඔයා සේවය කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තහංචි පනවලා තියෙන නැත්නම් එයාලව තහනම් කරලා තියෙන රටකද? එහෙනම් 2 තිමෝති 1:12-16; 4:6-11, 17-22 කියවන එක ඔයාට ලොකු දිරිගැන්වීමක් වෙයි. c පාවුල් ඒ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ එයා හිරේ හිටපු කාලෙදී.
15. ඔයාට යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න පුළුවන් මොනවාද?
15 (1) යාච්ඤා කරන්න. බයිබලෙන් ඔයා තෝරගත්ත කොටස කියවන්න කලින් ඔයාගේ ප්‍රශ්නේ ගැනත් ඒ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද කියලත් නිශ්චිතව යෙහෝවා දෙවියන්ට කියන්න. පාවුල්ගේ සිද්ධිය කියවද්දී පීඩා ජය ගන්න පාවුල්ට උදව් වුණ ප්‍රතිපත්ති තේරුම්ගන්නත් ඒවා ඔයාට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්නත් යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න.
16. පාවුල් අද්දැක්ක දේ කෙටියෙන් විස්තර කරන්න.
16 (2) හිතින් මවාගන්න. හිතන්න ඔයා පාවුල් කියලා. දැන් එයා ඉන්නේ රෝමයේ හිරගෙදරක. කලිනුත් එයා හිරේ ඉඳලා තියෙනවා. හැබැයි මේ පාර නම් එයාට මරණ දඬුවම ලැබෙයි කියලා එයා හොඳින්ම දන්නවා. මේ වෙද්දී එයාගේ සමහර යාළුවොත් එයාව දාලා ගිහින්. ඒ විතරක් නෙවෙයි මුහුණ දෙන්න වුණ දේවල් නිසා එයා හොඳටම හෙම්බත් වෙලයි ඉන්නේ.—2 තිමෝ. 1:15.
17. ඕනෙ නම් පාවුල්ට කරන්න තිබුණේ මොනවාද?
17 ඕනෙ නම් පාවුල්ට මෙහෙම හිතන්න තිබුණා. “අපරාදේ මම උද්යෝගයෙන් සේවය කරන්න පටන්ගත්තේ. මේ හැම දෙයක්ම වුණේ ඒ නිසානේ.” එයාව අත්හැරිය ආසියාවේ සහෝදරයන් ගැන කේන්තියෙන් ඉන්නත් එයාට තිබුණා. කිසිම යාළුවෙක්ව ආයෙ නම් විශ්වාස කරන්නේ නැහැ කියලා හිතන්නත් තිබුණා. හැබැයි ඒ කිසිම දෙයක් එයා කළේ නැහැ. ඒ වෙනුවට එයාගේ යාළුවන් දිගටම එයාත් එක්ක ඉඳියි කියලත් යෙහෝවා දෙවියන් දිගටම එයාට ආශීර්වාද කරයි කියලත් එයා විශ්වාස කළා. එහෙම කරන්න එයාට පුළුවන් වුණේ කොහොමද?
18. පීඩාවලට සාර්ථකව මුහුණ දෙන්න පාවුල්ට පුළුවන් වුණේ ඇයි?
18 (3) ගැඹුරින් හිතන්න. ඒ දේවලට සාර්ථකව මුහුණ දෙන්න පාවුල් කළේ මොනවාද කියලා හිතලා බලන්න. ටික දවසකින් එයාට මැරෙන්න සිද්ධ වෙනවා කියලා දැනගෙන හිටියත් වැදගත්ම දේ යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන එකයි කියලා එයා අමතක කළේ නැහැ. අනිත් අයව දිරිගන්වන්න පුළුවන් විදි ගැන එයා කල්පනා කළා. දිගටම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඔහු මත රඳලා හිටියා. (2 තිමෝ. 1:3) පාවුල් එයාව දාලා ගිය අය ගැන හිත හිතා දුක් වෙනවා වෙනුවට එයාගේ ළඟින් ඉඳලා එයාට උදව් කරපු යාළුවන් ගැන යෙහෝවා දෙවියන්ට හුඟක් ස්තුති කළා. මොන හේතුවක් නිසාවත් දේවවචනය අධ්‍යයනය කරන එක එයා නතර කළෙත් නැහැ. (2 තිමෝ. 3:16, 17; 4:13) ඒ හැම දේටම වඩා පාවුල්ට උදව් වුණ තවත් දෙයක් තිබුණා. ඒ තමයි යෙහෝවා දෙවියනුත් යේසුත් එයාට ගොඩක් ආදරෙයි, එයා කරපු සේවයට ඒ දෙන්නා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා එයා දැනන් හිටපු එක. ඇත්තටම යෙහෝවා දෙවියන් සහ යේසුස් එයාව අත්හැරියේ නැහැ.
19. යෙහෝවා දෙවියන් පාවුල්ට උදව් කළේ කොහොමද?
19 පාවුල්ට පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා යෙහෝවා දෙවියන් එයාට කලින්ම අනතුරු අඟවලා තිබුණා. (ක්‍රියා 21:11-13) ඒ පීඩාවලට මුහුණ දෙන්න ඔහු පාවුල්ට උදව් කළේ කොහොමද? යෙහෝවා දෙවියන් පාවුල්ගේ යාච්ඤාවලට ඇහුම්කන් දීලා පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය එයාට ලබා දුන්නා. (2 තිමෝ. 4:17) වෙහෙස මහන්සි වෙලා එයා කරපු සේවයට ආශීර්වාද ලැබෙනවා කියන සහතිකයත් එයාට ලැබුණා. ඒ වගේම එයාට උදව් කරන්න යෙහෝවා දෙවියන් එයාගේ යාළුවන්ව පෙලඹෙව්වා.
20. රෝම 8:38, 39 අනුව පීඩා විඳදරාගන්න පාවුල්ට උදව් වුණේ මොකක්ද? එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
20 (4) අදාළ කරගන්න. ඔයාට පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. දෙවියන්ට සේවය කරද්දී පාවුල්ට වගේ පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා අපි දන්නවා. (මාක් 10:29, 30) පීඩාවලදී විශ්වාසවන්තව ඉන්න නම් ශක්තිය ඉල්ලලා දිගටම යාච්ඤා කරන එකත් බයිබලය අධ්‍යයනය කරන එකත් හරිම වැදගත්. හැම දේටම වඩා වැදගත් වෙන්නේ යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන එකයි කියලා මතක තියාගන්න ඕනේ. යෙහෝවා දෙවියන් අපිව කවදාවත් අත්හරින්නේ නැහැ කියන එක ගැනත් ඔහුගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න කාටවත් බැහැ කියන එක ගැනත් අපිට කිසිම සැකයක් නැහැ.—රෝම 8:38, 39 කියවන්න; හෙබ්‍රෙ. 13:5, 6.
බයිබල් චරිතවලින් ඉගෙනගන්න
21. අභියෝග ජය ගන්න ආයාටයි හෙක්ටටයි උදව් වුණේ මොනවාද?
21 ඕනෙම අභියෝගයක් ජය ගන්න බයිබලේ තියෙන ආදර්ශ අපිට උදව් වෙනවා. උදාහරණෙකට ජපානයේ පුරෝගාමි සේවය කරන ආයාට පොදු සේවය කරන්න තිබුණු බයෙන් ගොඩ එන්න යෝනාගේ ජීවිත කතාව උදව් වුණා. ඉන්දුනීසියාවේ ජීවත් වෙන යෞවන හෙක්ටගේ පවුලේ කවුරුත් සත්‍යයේ නැහැ. හැබැයි යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්නත් දිගටම ඔහුට සේවය කරන්නත් රූත්ගේ ආදර්ශය එයාට උදව් වුණා.
22. බයිබල් නාට්‍යවලින් සහ “ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්” කියන ලිපි මාලාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?
22 ඔයාව ශක්තිමත් කරන බයිබල් ආදර්ශ හොයාගන්න පුළුවන් කොහෙන්ද? අපේ වීඩියෝවලින් නාට්‍යවලින් සහ “ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්” කියන ලිපි මාලාවෙන් ඔයාට ඒවා හොයාගන්න පුළුවන්. d හොඳින් තොරතුරු හොයලා බලලා සකස් කරපු ඒ දේවල් කියවන්න, අහන්න නැත්නම් බලන්න කලින් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඔයා අදාළ කරගන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න උදව් ඉල්ලන්න. ඒ සිද්ධියේ ප්‍රධාන චරිතය ඔයා කියලා හිතන්න. ඒ අභියෝගය ජය ගන්න එයාලා කළේ මොනවාද, යෙහෝවා දෙවියන් එයාලට උදව් කළේ කොහොමද කියලා හිතන්න. පස්සේ ඔයා ඉගෙනගත්ත වටිනා පාඩම් අදාළ කරගන්න. දැනටමත් යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරලා තියෙන එක ගැන ඔහුට ස්තුති කරන්න. උදව් ඕන කරන්නේ කාටද කියලා හොයලා බලලා එයාලට උදව් කරනවා නම් දිරිගන්වනවා නම් යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණු උදව් ඔයා ඇත්තටම අගේ කරනවා කියලා පෙන්නන්න පුළුවන්.
23. යෙසායා 41:10, 13 අනුව යෙහෝවා දෙවියන් අපිට පොරොන්දු වෙලා තියෙන්නේ මොකක්ද?
23 සාතන්ගේ පාලනය යටතේ තියෙන මේ ලෝකයේ ජීවත් වෙන එක හරිම දුෂ්කර දෙයක්. සමහර වෙලාවට ප්‍රශ්න නිසා අපි හොඳටම හෙම්බත් වෙනවා. (2 තිමෝ. 3:1) හැබැයි අපි කලබල වෙන්නවත් බය වෙන්නවත් ඕනෙ නැහැ. මොකද අපි මුහුණ දෙන හැම දෙයක් ගැනම යෙහෝවා දෙවියන් දන්නවා. අපිට උදව් ඕන කරන හැම වෙලාවකම ඔහුගේ දකුණු අතින් අපිව තදින් අල්ලන් ඉන්නවා කියලා ඔහු අපිට පොරොන්දු වෙලා තියෙනවා. (යෙසායා 41:10, 13 කියවන්න.) යෙහෝවා දෙවියන් අපිට උදව් කරනවා කියන එක ගැනත් ඕනම අභියෝගයක් ජය ගන්න ඕන කරන ශක්තිය බයිබලය මාර්ගයෙන් අපිට ලබාගන්න පුළුවන් කියන එක ගැනත් අපිට කිසිම සැකයක් නැහැ.
ගීතිකාව 96 දෙවිගේ ලියවිල්ල නිධානයකි
a යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට ආදරෙයි කියලත් එයාලා මුහුණ දෙන අභියෝගවලින් ජය ගන්න ඔහු උදව් කරනවා කියලත් බයිබලේ සඳහන් හුඟක් සිද්ධිවලින් ඔප්පු වෙනවා. උපරිම ප්‍රයෝජන ලැබෙන විදිහට බයිබලය අධ්‍යයනය කරන්න මේ ලිපියේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.
b මේ ලිපියෙන් බලන්නේ බයිබලය අධ්‍යයනය කරන්න පුළුවන් එක ක්‍රමයක් ගැන විතරයි. තවත් ක්‍රම ගැන දැනගන්න ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැළක්’ කියන පොතේ “බයිබලය” කියන විෂය යටතේ “බයිබලය කියවා තේරුම්ගැනීම” කියන උපමාතෘකාව බලන්න.
c සභාවේ ‘මුරටැඹ’ පාඩම කරද්දී මේ බයිබල් පද කියවන්න එපා.
d jw.org වෙබ් අඩවියේ “ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - බයිබලේ සඳහන් විශ්වාසවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන්” කියන කොටස බලන්න. (බයිබල් ඉගැන්වීම් > දෙවියන් ගැන විශ්වාසය යටතේ බලන්න.)