ජීවිත කතාව
යෙහෝවා දෙවි කවදාවත් මාව අත්හැරියේ නෑ
දවසක් ඇඩොල්ෆ් හිට්ලර් දේශනයක් දීලා ඉවර වුණාම එයාට මල් කලඹවල් දෙන්න පොඩි ගැහැනු ළමයි හතරදෙනෙක්ව තෝරගෙන හිටියා. මාත් එයාලගෙන් එක් කෙනෙක්. ඒකට මාව තෝරගත්තේ තාත්තා නාට්සි පාලනය වෙනුවෙන් බැහැලා වැඩ කරපු කෙනෙක් නිසයි. මගේ අම්මා භක්තිමත් කතෝලිකයෙක්. එයාට ඕනෙ වුණේ මාව කන්‍යා සොහොයුරියක් කරන්න. ඒත් මං කන්‍යා සොහොයුරියක් වුණේවත් දේශපාලනයට හවුල් වුණේවත් නැහැ. ඒ ඇයි කියලා මං ඔයාලට කියන්නම්.
මං හැදී වැඩුණේ ඔස්ට්‍රියාවේ ග්‍රාස් කියන නගරේ. මට වයස 7දී අම්මලා මාව ආගම උගන්වන ඉස්කෝලෙකට යැව්වා. ඒත් මං එහේ අවුරුද්දක්වත් හිටියේ නැහැ. එහේ හිටපු පූජකයොයි, කන්‍යා සොහොයුරියොයි අනාචාරයේ යෙදෙනවා දැකලා මං ඒ ගැන අම්මාට කිව්වාම අම්මා මාව එහෙන් අස් කරගත්තා.
ඊටපස්සේ මං ඉස්කෝලෙක බෝඩිං වෙලා ඉගෙනගත්තා. දවසක් රෑ තාත්තා හදිසියේම ඇවිත් මාව එක්කගෙන ගියා. එදා ග්රාස්වලට බෝම්බ දාපු දවසක්. ඒකෙන් බේරෙන්න අපි ගියේ ෂ්ලාඩ්මිං නගරෙට. අපි එහෙට ඇවිත් පාලමක් පහු කරපු ගමන්ම ඒ පාලමට බෝම්බයක් දැම්මා. තව දවසක් මායි, ආච්චියි වත්තේ ඉද්දී යුධ ගුවන්යානාවලින් අපි හිටපු දිහාට වෙඩි තිබ්බා. ඔය හේතු නිසා යුද්දේ ඉවර වෙද්දී දේශපාලනය ගැනත් ආගම ගැනත් අපි හිටියේ කලකිරීමකින්.
දෙවි ගැන දැනගත්තා
1950දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් අම්මාත් එක්ක බයිබලේ සාකච්ඡා කරන්න පටන්ගත්තා. ඒ දෙන්නා කතා කරද්දී මාත් අහගෙන හිටියා. සමහර දවස්වල අම්මා එක්ක සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් මං ගියා. බයිබලේ තියෙන දේවල් හරියටම උගන්වන්නේ සාක්ෂිකරුවන් කියලා තේරුණ නිසා 1952දී අම්මා බව්තීස්ම වුණා.
ඒ දවස්වල අපි ගිය සභාවේ වැඩිපුර හිටියේ වයසක අය. මට දැනුණේ මං වයසක කාන්තාවන්ගේ සංගමයකට යනවා වගෙයි. ඒත් පස්සේ අපි ගිය සභාවක තරුණ අය හුඟදෙනෙක් හිටියා. ග්රාස්වලට ආයෙත් ආවම මං හැම රැස්වීමකටම ගියා. වැඩි කල් යන්න කලින් මටත් තේරුණා මං ඉගෙනගන්නේ සත්‍ය ඉගැන්වීම් කියලා. යෙහෝවා දෙවි හැම වෙලේම ඔහුගේ සේවකයන්ව රැකබලා ගන්නවා කියලත් තනියම ගොඩ එන්න බැහැ කියලා හිතෙන අමාරුම තත්වයන්වලදී වුණත් දෙවි අපිව අත්හරින්නේ නැහැ කියලත් මං දැනගත්තා.—ගීතා. 3:5, 6.
මට ඕනෙ වුණා සත්‍යය ගැන අනිත් අයටත් කියන්න. මං ඒක පටන්ගත්තේ මගේම පවුලේ අයගෙන්. ඒ වෙද්දී මගේ අක්කලා හතරදෙනා
වෙන වෙන පැතිවල ගුරුවරියන් විදිහට වැඩ කරකරයි හිටියේ. මං එයාලව හම්බ වෙන්න ගිහින් බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න එයාලව දිරිගැන්නුවා. අන්තිමේදී අක්කලා හතරදෙනායි, අයියායි, නංගියි සාක්ෂිකරුවන් වුණා.සේවේ ගිය දෙවෙනි සතියේ කාන්තාවක් එක්ක මං පාඩමක් පටන්ගත්තා. එයා පස්සේ බව්තීස්මත් වුණා. එයාගේ මහත්තයායි, පුතාලා දෙන්නයි සත්‍යයට ආවා. ඒ පාඩම නිසා මගේ විශ්වාසයත් ශක්තිමත් වුණා. ඒ කොහොමද? කවුරුත් මට පාඩමක් කරලා තිබුණේ නැහැ. එයාට උගන්වන්න කලින් මං තොරතුරු හොඳට අධ්‍යයනය කරලා ඒවා හිතට ගත්තා. ඒ විදිහට පාඩමට හොඳින් සූදානම් වුණ නිසා සත්‍යය ගැන මට තිබුණු අගය තවත් වැඩි වුණා. 1954 අප්‍රියෙල් මාසේ මං බව්තීස්ම වුණා.
‘පීඩා කළත් අපිව අතහැරලා දැම්මේ නැහැ’
1955දී ජර්මනියේ, ප්‍රංශයේ, එංගලන්තයේ තිබුණ ජාත්‍යන්තර සමුළුවලට මට යන්න පුළුවන් වුණා. ලන්ඩන්වලට ගිය ගමනේදී මට සහෝදර ඇල්බට් ෂ්‍රෝඩර්ව මුණගැහුණා. එතකොට එයා ගිලියද් පාසැලේ උපදේශකයෙක්. පස්සේ කාලෙක එයා පාලක මණ්ඩලයෙත් සේවය කළා. අපි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය බලන්න ගිය වෙලාවේ සහෝදර ෂ්රෝඩර් දෙවිගේ නම සඳහන් වෙන පැරණි බයිබල් අත්පිටපත් වගයක් අපිට පෙන්නලා ඒවායේ වැදගත්කම ගැන අපිට කියලා දුන්නා. ඒකෙන් මගේ විශ්වාසය වගේම අනිත් අයට දේවවචනය ගැන කියලා දෙන්න මට තිබුණ අධිෂ්ඨානය තව වැඩි වුණා.
1956 ජනවාරි 1වෙනිදා මං පුරෝගාමි සේවේ පටන්ගත්තා. මාස 4කට පස්සේ විශේෂ පුරෝගාමියෙක් විදිහට ඔස්ට්‍රියාවේ මිස්ටල්බාක්වල සේවේ කරන්න මට පැවරුමක් ලැබුණා. එහේ සාක්ෂිකරුවන් හිටියේ නැහැ. ඒ පැවරුමත් එක්ක මට අභියෝගයකටත් මුහුණ දෙන්න වුණා. මාත් එක්ක සේවේ කරපු සහෝදරියයි, මායි හුඟක් වෙනස්. මට එතකොට වයස 19ට කිට්ටුයි. මං හැදුණේ වැඩුණේ නගරයේ. එයාට වසය 25යි. එයා ඇති දැඩි වෙලා තිබුණේ ගමක. මං සාමාන්‍යයෙන් උදෙන්ම නැඟිටින්න කැමති නැහැ. ඒත් රෑ වෙන කල් ඇහැරලා ඉන්න කැමතියි. හැබැයි එයා උදෙන්ම නැඟිටිනවා. වේලාසනින්ම නිදා ගන්නවා. අපි අතරේ ඒ වගේ වෙනස්කම් තිබුණාට අපි බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා ඒවා පැත්තකට දාලා සතුටින් පුරෝගාමි සේවේ කරන්න අපිට පුළුවන් වුණා.
තවත් අභියෝගවලට මුහුණ දෙන්නත් අපිට වුණා. දවසක් අපි ඈත ගමක සේවේ යද්දී මිනිස්සු එයාලගේ බල්ලන්ව ලිහලා උසිගැන්නුවා. බල්ලෝ ටික බුරාගෙන ආවා. අපි දෙන්නා අත් දෙක තදින් අල්ලගෙන හිටියා. මට මතකයි මං දෙවිට කිව්වා “අනේ යෙහෝවා, උන් අපිව අල්ලගත්තාම අපිව ඉක්මනින්ම මැරෙන්න සලස්වන්න” කියලා. ඒත් බල්ලෝ ටික අපි ළඟටම ඇවිල්ලා නතර වුණා. ඊටපස්සේ නැට්ට වනවන යන්න ගියා. යෙහෝවා දෙවිගේ රැකවරණය එදා අපිට හොඳින්ම දැනුණා. ඊටපස්සේ අපි ඒ ගමේ හිටපු අයට දේශනා කළා. අපිටත් පුදුමයි හැමෝම වගේ අපේ පණිවිඩයට ඇහුම්කන් දුන්නා. සමහරවිට එහෙම වුණේ බල්ලෝ අපිව හැපුවේ නැති එක ගැන එයාලා පුදුම වුණ නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් ඒ වගේ දේකට මුහුණ දීලත් අපි අත් නෑර සේවේ කරපු නිසා වෙන්න ඇති. පස්සේ කාලෙක එයාලගෙන් සමහරදෙනෙක් සත්‍යයට ආවා. විරුද්ධවාදීකම් ආවත් යෙහෝවා දෙවි ‘අපිව අත්හැරියේ නැහැ’ කියලා ඒ වගේ අද්දැකීම් නිසා අපිට හොඳින්ම දැනුණා.—2 කොරි. 4:7-9.
තව දවසක් අපි නතර වෙලා හිටපු ගෙදර අයිතිකාරයා හොඳටම බීලා ඇවිත් අපි කරන සේවේ ඒ පැත්තේ ඉන්න අයට මහා වධයක් කියලා අපිට
බණින්න පටන්ගත්තා. අපිව මරණවා කියලත් තර්ජනය කළා. අපි උඩ තට්ටුවේ ඉඳන් ඔක්කොම අහගෙනයි හිටියේ. අපි ඉක්මනටම කාමරේ දොර වහලා පුටු කීපයක් දොර හරහට තියලා අපේ ඇඳුම් ටික සූට්කේස්වලට දාගත්තා. දොර ඇරලා බලද්දී ගෙදර අයිතිකාරයා ලොකු පිහියකුත් තියාගෙන පඩි පෙළ ළඟ ඉන්නවා අපි දැක්කා. අපි බඩු ටිකත් අරන් පිටිපස්ස දොරෙන් පැනලා ගියා.එහෙන් ගිහින් අපි නතර වුණේ හෝටල් කාමරේක. අවුරුද්දක් විතර යන කල්ම අපි හිටියේ එතන. ඒක අපේ සේවේටත් උදව් වුණා. මොකද ඒ හෝටලේ තිබුණේ ටවුන් එකේ. ඒ නිසා අපිත් එක්ක බයිබලේ පාඩම් කරපු සමහරුන්ට එතනට ඇවිත් පාඩම කරන එක ලේසි වුණා. ටික දවසක් ගියාට පස්සේ අපි පොත් පාඩමයි, ‘මුරටැඹ’ පාඩමයි එතන කරන්න පටන්ගත්තා. ඒකට 15දෙනෙක් විතර ආවා.
මිස්ටල්බාක්වල අවුරුද්දකට වැඩි කාලයක් සේවේ කළාට පස්සේ ෆෙල්ට්බාක්වල සේවේ කරන්න මට පැවරුමක් ලැබුණා. එහේදී මගේ සහයකයා වුණේ වෙන සහෝදරියක්. ඒ පැත්තෙත් සභාවක් තිබුණේ නැහැ. අපි හිටියේ ලී කොටංවලින් හදපු ගෙදරක උඩ තට්ටුවේ පුංචි කාමරේක. ලී කොටං අතරින් තිබුණ හිඩැස්වලින් ආපු සීතල හුළං නවත්තගන්න අපි පත්තර කොළ ඇලෙව්වා. වතුර ගන්න වුණෙත් ළිඳකින්. ඒ වගේ අමාරුකම් දරාගත්ත එක අපතේ ගියේ නැහැ. මාස කීපයක් යද්දී ඒ පැත්තේ අලුත් කණ්ඩායමක් ඇති වුණා. අපි පාඩම් කරපු එක පවුලක 30දෙනෙක්ම සත්‍යයට ආවා.
දේවරාජ්‍යයට මුල් තැන දෙන අයව දෙවි අත්හරින්නේ නැහැ කියන විශ්වාසය ඒ අද්දැකීම් නිසා තවත් ශක්තිමත් වුණා. කාගේ උදව් ලැබුණේ නැතත් යෙහෝවා දෙවි හැම තිස්සෙම අපි එක්ක හිටියා.—ගීතා. 121:1-3.
‘ධර්මිෂ්ඨකම නමැති ඔහුගේ දකුණතින්’ දෙවි අපිව තදින් අල්ලගෙන හිටියා
1958දී නිව් යෝර්ක්වල ජාත්‍යන්තර සමුළුවක් පවත්වන්න සූදානම් කරලයි තිබුණේ. ඒකට මමත් අයදුම් කළා. එතකොට ඔස්ට්‍රියාවේ ශාඛා කාර්යාලය මගෙන් ඇහුවා ගිලියද් පාසැලේ 32වෙනි පන්තියට සහභාගි වෙන්න කැමතිද කියලා. කවුද ඒ වගේ දේකට බැහැ කියන්නේ. මං පැනලා “හා” කිව්වා.
ගිලියද් පන්තියේදී මගේ එහා පැත්තේ වාඩි වෙලා හිටියේ මාර්ටින් පෝට්සිංගර්. එයා නාට්සි ගාල් කඳවුරුවල හුඟක් වධ වින්ද කෙනෙක්. පස්සේ කාලෙක එයා පාලක මණ්ඩලයේ සහෝදරයෙක් විදිහටත් සේවය කළා. පන්තියේ උගන්වපු සමහර දේවල් තේරුණේ නැති වුණාම එයා මගෙන් හෙමිහිට අහනවා “එරිකා, ඒක ජර්මන් භාෂාවෙන් පොඩ්ඩක් කියන්න පුළුවන්ද” කියලා.
පන්තිය පටන් අරන් මාස කීපයක් යද්දී සහෝදර නේතන් නෝර් ශිෂ්‍යයන්ට පැවරුම් ලැබෙන්නේ කොහේටද කියලා නිවේදනය කළා. මට පැවරුම ලැබුණේ පැරගුවේවලට. ඒ වෙද්දී මං යෞවන වයසේ හිටපු නිසා ඒ රටට ඇතුල් වෙන්න නම් මට තාත්තාගේ අවසරය ඕනෙ වුණා. තාත්තාගේ අවසරය අරන් 1959 මාර්තු මාසේ මං එහෙට ගියා. මං නැවතිලා හිටියේ අසුන්සියොන්වල තිබුණ මිෂනාරි නිවසේ.
මිෂනාරි සේවය කරපු වෝල්ට බ්රයිට්ව මට හම්බ වුණේ ඒ රටේදී. එයා ගිලියද් පාසැලේ 30වෙනි පන්තියට සහභාගි වුණ කෙනෙක්. ටික කාලෙකට පස්සේ අපි දෙන්නා විවාහ වුණා. අභියෝගයක් ආපු හැම වෙලාවෙම අපි දෙන්නා යෙසායා 41:10 යෙහෝවා දෙවි දීලා තියෙන මේ පොරොන්දුව කියෙව්වා. “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි.” දේවරාජ්‍යයට මුල් තැන දීලා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න තාක් කල් දෙවි අපිව අත්හරින්නේ නැහැ කියන දේ මතක් කරගන්න ඒක අපිට උදව් වුණා.
කාලයක් ගියාම බ්‍රසීලයේ දේශ සීමාවට කිට්ටුවෙන් තිබුණ ප්‍රදේශයක සේවේ කරන්න අපිට පැවරුමක් ලැබුණා. දවසක් පූජකයන් උසිගන්වලා තරුණ කට්ටියක් අපි හිටපු මිෂනාරි නිවසට ගල් ගැහුවා. ඒත් වෝල්ට ඒ පැත්තේ හිටපු පොලිසියේ ප්රධානියාත් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තාට පස්සේ සතියක් විතර පොලිස් ආරක්ෂාව අපිට ලැබුණා. ටික දවසකින් අපි දේශ සීමාවේ එහා පැත්තේ තිබුණ ගෙදරකට පදිංචිය මාරු කළා. එහෙට ගිය නිසා අපිට පුළුවන් වුණා පැරගුවේ විතරක් නෙමෙයි බ්‍රසීලයෙත් රැස්වීම් තියන්න. අපි එහෙන් යද්දී එහේ පුංචි සභා දෙකක්ම තිබුණා.
යෙහෝවා දෙවි දිගටම මාත් එක්කම හිටියා
දොස්තරලා කියලා තිබුණේ මට දරුවෝ හදන්න බැහැ කියලා. ඒ නිසා 1962දී මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම අපි පුදුම වුණා. පස්සේ අපි ෆ්ලොරිඩාවල වෝල්ටගේ පවුලේ අය හිටපු පැත්තේ පදිංචියට ගියා. පවුලේ වගකීම් නිසා අවුරුදු ගාණක් යන කල් මටයි, වෝල්ටටයි පුරෝගාමි සේවේ කරන්න බැරි වුණත් අපි දිගටම දේවරාජ්‍යයේ වැඩවලට ජීවිතේ මුල් තැන දුන්නා.—මතෙ. 6:33.
අපි 1962 නොවැම්බර් මාසේ ෆ්ලොරිඩාවල පදිංචියට එද්දී එහේ කලු සුදු භේදය තදින්ම තිබුණා. සමාජයේ වැඩිදෙනෙක් කලු සුදු අය එකට රැස් වෙනවාට අකමැති වුණ නිසා සහෝදරයොත් රැස්වීම් පැවැත්තුවේ වෙන වෙනම. සේවේ ගියෙත් වෙන වෙන පැතිවල. ඒත් යෙහෝවා දෙවිට කලු සුදු කියලා භේදයක් නැහැ. වැඩි කල් යන්න කලින් හැමෝම එකට රැස් වෙන්න කියලා මඟ පෙන්වීමක් ලැබුණා. අද ඒ පැත්තේ සභාවන් ගොඩක් තියෙනවා. ඒකෙන් පේන්නේ ඒ සැලැස්ම පිටිපස්සේ යෙහෝවා දෙවි හිටියා කියලයි.
මොළේ පිළිකාවකින් 2015දී වෝල්ට මැරුණා. අවුරුදු 55ක් පුරා දුකේදීත් සැපේදීත් එයා මගේ හෙවණැල්ල වගේ හිටියා. එයාට යෙහෝවා දෙවි ගැන තිබුණේ පුදුම ආදරයක්. එයා සහෝදරයන්ටත් හුඟක් උදව් කළා. පාරාදීසයේදී ආයෙත් එයාව දකින්න මං ඉන්නේ ඇඟිලි ගැණගැණ.—ක්‍රියා 24:15.
අවුරුදු 40කටත් වැඩි කාලයක් පුරා පූර්ණකාලීනව සේවය කරන්න ලැබුණ එක මං හුඟක් අගය කරනවා. ඒ කාලේ පුරාම හුඟක් ආශීර්වාද ලබන්නත් සතුටින් ඉන්නත් පුළුවන් වුණා. 136දෙනෙකුට එයාලගේ ජීවිත දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න උදව් කරන්න මටයි, වෝල්ටටයි පුළුවන් වුණ එක ඒ එක ආශීර්වාදයක්. අභියෝග තිබුණේ නැතුවම නෙමෙයි. ඒත් අපේ ආදරණීය දෙවිට කරන සේවය නවත්තන්න ඒ එකකටවත් අපි ඉඩ දුන්නේ නැහැ. ප්‍රශ්න එන තරමට අපි තව තවත් දෙවිට ළං වුණා. දෙවි කැමති විදිහට, නියමිත කාලේදී ඔහු ඒ ප්‍රශ්නවලට විසඳුමක් දෙනවා කියලා අපි විශ්වාස කළා. දෙවි ඒ විශ්වාසය ඒ විදිහටම රැක්කා.—2 තිමෝ. 4:16, 17.
වෝල්ට නැති පාළුව මට අදටත් දැනෙනවා. ඒත් ඒ තනිකම අඩු කරගන්න පුරෝගාමි සේවේ කරන එක මට ලොකු උදව්වක් වෙලා තියෙනවා. අනිත් අය එක්ක නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන කතා කරද්දී ඒක මටත් ලොකු ශක්තියක්. යෙහෝවා දෙවි අත්හරින්නේ නැතුව මාත් එක්කම හිටියා කියලා මං අද්දැක්ක අවස්ථා ගණන් කරන්න බැරි තරම්. පොරොන්දු වුණා වගේම දෙවි මාව ශක්තිමත් කළා. ඔහු දිගටම ‘ධර්මිෂ්ඨකම නමැති ඔහුගේ දකුණතින්’ මාව අල්ලගෙන ඉන්නවා.—යෙසා. 41:10.