පාඩම් ලිපිය 8
‘සිහිකල්පනාව ඇතුව සෝදිසියෙන් ඉන්න!’
“සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න.”—1 පේතෘ. 5:8.
ගීතිකාව 144 යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත
මේ ලිපියෙන් a
1. අවසානය එන දවස සහ වෙලාව ගැන යේසුස් කිව්වේ මොනවාද? ඔහු ගෝලයන්ට දීපු අනතුරු ඇඟවීම මොකක්ද?
යේසුස් මැරෙන්න දවස් කීපයකට කලින් ගෝලයෝ හතරදෙනෙක් ඔහුගෙන් ඇහුවා “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න මොකක් හරි ලකුණක් තියෙනවාද” කියලා. (මතෙ. 24:3) එහෙම අහද්දී එයාලාගේ මනසේ තියෙන්න ඇත්තේ යෙරුසලමේ විනාශය ගැන වෙන්න ඇති. හැබැයි යේසුස් දීපු උත්තරෙන් පැහැදිලියි ඔහු කතා කළේ යෙරුසලමේ විනාශය ගැන විතරක් නෙවෙයි කියලා. ඔහු කියපු දේවල් අද අපි ජීවත් වෙන මේ “සමාජයේ අවසාන කාල පරිච්ඡේදයටත්” අදාළයි. ඒ ගැන ඔහු මෙහෙමත් කිව්වා. “මා පැවසූ ඒ දේවල් සිදු වන දවස හෝ වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයේ සිටින දේවදූතයන්වත් පුත්‍රයාවත් එය දන්නේ නැහැ. ඒ ගැන දන්නේ පියාණන් පමණයි.” ඒ දේ කිව්වාට පස්සේ යේසුස් එයාලට අනතුරු ඇඟෙව්වා “අවදිව, සෝදිසියෙන් ඉන්න” කියලා.—මාක් 13:32-37.
2. යුදෙව් සමාජයේ විනාශය අද්දර හිටපු අය සෝදිසියෙන් ඉන්න එක වැදගත් වුණේ ඇයි?
2 මුල් සියවසේ හිටපු යුදෙව් ක්‍රිස්තියානීන් සෝදිසියෙන් ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක් වුණා. මොකද එයාලාගේ ජීවිත ගැලවෙනවාද නැද්ද කියලා තීරණය වුණේ ඒ මත. ඒත් යුදෙව් සමාජයේ අවසානය අඳුරගන්න යේසුස් මොකක් හරි ඉඟියක් දුන්නාද? ඔව්. බලන්න ඔහු කියපු දේ. “සේනාවන් ඇවිත් යෙරුසලම වටා කඳවුරු බැඳගෙන සිටින ආකාරය ඔබ දකින විට යෙරුසලමේ විනාශය ළඟා වී ඇති බව ඔබ දැනගත යුතුයි.” යේසුස් කිව්වා ඒ ලකුණ ඉටු වෙනවා දැකපු ගමන් “කඳුවලට පලා යන්න” කියලා. (ලූක් 21:20, 21) යේසුස් කියපු දේවල් ගැන හොඳ අවධානයෙන් ඉඳලා ඔහු දුන්න අනතුරු ඇඟවීමට කීකරු වුණ අයට විතරයි ඒ විනාශයෙන් බේරෙන්න පුළුවන් වුණේ.
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 අද අපිත් ඉන්නේ මේ දුෂ්ට සමාජයේ විනාශය අද්දර. ඒ නිසා අපිත් සෝදිසියෙන් ඉන්න ඕනේ. මොකද අපි ගැලවෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ මත. ඒත් මේ ලෝකේ සිද්ධ වෙන දේවල්වලට හොඳ අවධානයක් දෙන ගමන් ඒ දේවල් දිහා සමබරව බලන්නේ කොහොමද? අපිට අපි ගැනම සෝදිසියෙන් ඉන්න පුළුවන් කොහොමද? ඒ වගේම ඉතුරු වෙලා තියෙන මේ කෙටි කාලය උපරිමයෙන් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.
සමබරව හිතන්න
4. බයිබල් අනාවැකි දැන් ඉටු වෙන විදිහ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනෙ ඇයි?
4 අද ලෝකේ සිද්ධ වෙන දේවල් බයිබල් අනාවැකිවල ඉටු වීමට සම්බන්ධ වෙන විදිහ දකින්න අපි හැමෝම ආසයි. අවසානය ළං වෙද්දී මේ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන යේසුස් පවා නිශ්චිතවම කිව්වා. (මතෙ. 24:3-14) ඒ විතරක් නෙවෙයි පේතෘස් දිරිගැන්නුවෙත් අනාවැකි ඉටු වෙන විදිහ ගැන හොඳ අවධානයකින් ඉන්න කියලා. මොකද ඒකෙන් අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා. (2 පේතෘ. 1:19-21) ඒ වගේම බයිබලේ අන්තිම පොතත් පටන්ගන්නේ මේ වචනවලින්. ‘මේ එළිදරව්ව යේසුස් ක්‍රිස්තුස්ට දෙනු ලැබුවේ දෙවි විසිනි. දෙවි එය ලබා දුන්නේ තව කෙටි කලකින් සිදු වීමට නියමිත දේවල් තම දාසයන්ට පෙන්වීම සඳහාය.’ (එළි. 1:1) ඔව්, අපි මේ ජීවත් වෙන්නේ අනාවැකි ඉටු වෙන කාලෙක. ඉතින් ඒවා ඉටු වෙන විදිහ ගැන දැනගන්න අපිට තියෙන්නේ පුදුම ආසාවක්. ඒ විතරක් නෙවෙයි ඒවා ගැන අනිත් අයත් එක්ක කතා කරන කල් අපිට ඉවසිල්ලකුත් නැහැ.
5. අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොකකින්ද? ඒත් අපි කරන්න ඕනෙ මොකක්ද? (පින්තූරත් බලන්න.)
5 බයිබල් අනාවැකි ගැන අනිත් අයත් එක්ක කතා කරද්දී අපි පරෙස්සම් වෙන්න ඕනෙ පැත්තකුත් තියෙනවා. දැන් සිද්ධ වෙන දේවල් දිහා බලලා කවදාවත් අපිම නිගමනවලට එන්න හොඳ නැහැ. මොකද ඒකෙන් අපි අතර තියෙන එක්සත්කම නැති වෙන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? උදාහරණෙකට ලෝක නායකයන් ලොකු ප්‍රශ්නයක් විසඳලා ලෝකේට සාමය, සුරක්ෂිතභාවය ගේන විදිහ ගැන කතා කරනවා කියලා හිතන්න. ඒ වෙලාවට ඔයාට හිතෙයිද ‘ඔන්න, 1 තෙසලෝනික 5:3 ඉටු වෙනවා’ කියලා? ඒත් නිගමනවලට එන්න කලින් සංවිධානයෙන් දීලා තියෙන අලුත්ම තොරතුරු ගැන හොයලා බලන්න. අපි කතා කරන දේවල් ඒ තොරතුරුවලට එකඟයි නම් අපි හැමෝටම “එක හා සමානව කල්පනා කරන්න පුරුදු වෙලා” අපි අතර තියෙන එක්සත්කම රැකගන්න පුළුවන්.—1 කොරි. 1:10; 4:6.
6. 2 පේතෘස් 3:11-13න් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
6 2 පේතෘස් 3:11-13 කියවන්න. අපි බයිබල් අනාවැකි ගැන අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි? ඒකට හේතුව පේතෘස් පැහැදිලි කළා. බලන්න එයා කියන දේ. “යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය බලා සිටිමින් එය ඔබේ මනසෙහි ප්රමුඛව තබාගන්න.” හැබැයි අපි එහෙම කරන්න ඕනෙ හර්–මගෙදොන් එන “දවස හා වෙලාව” හරියටම දැනගන්න ලොකු ඕනකමක් තියෙන නිසා නෙවෙයි. (මතෙ. 24:36; ලූක් 12:40) ඒ වෙනුවට අපිට ඕනෙ ඒ දවස එන කල් ‘අපේ හැසිරීම ශුද්ධව තියාගන්න.’ ඒ වගේම ‘දෙවියන් සඳහා අපිට තියෙන භක්තිය අපේ ක්‍රියාවෙන් පෙන්නන්න.’ වෙන විදිහකින් කියනවා නම් අපිට ඕනෙ අපි ජීවිතේ කරන හැම දේකින්ම යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න. අපේ හිතේ ඔහු ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියලා පෙන්නන්න. හැබැයි ඒක කරන්න නම් අනාවැකි ඉටු වෙන විදිහ ගැන විතරක් නෙවෙයි අපි අපි ගැනත් සෝදිසියෙන් ඉන්න ඕනේ.
ඔයාවම සෝදිසි කරගන්න
7. අපි අපි ගැනම සෝදිසියෙන් ඉන්නවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (ලූක් 21:34)
7 ලෝක සිද්ධීන් ගැන විතරක් නෙවෙයි “ඔබ ගැනත් හොඳ අවධානයකින් ඉන්න” කියලා ලූක් 21:34 යේසුස් ගෝලයන්ට කිව්වා. (කියවන්න.) තමන් ගැනම හොඳ අවධානයකින් ඉන්න කෙනෙක් යෙහෝවාත් එක්ක එයාට තියෙන බැඳීමට හරස් වෙන්න කිසිම දේකට ඉඩ දෙන්නේ නැහැ. එයා ඒ දේවල් කල් තියාම අඳුරගෙන ඒවායින් පුළුවන් තරම් ඈත් වෙනවා. එහෙම කරද්දී දෙවියන්ගේ ආදරේ දිගටම ලබන්න එයාට පුළුවන්.—හිතෝ. 22:3; යූද් 20, 21.
8. පාවුල් ක්‍රිස්තියානීන්ට දීපු උපදෙස මොකක්ද?
8 පාවුල් පවා ක්‍රිස්තියානීන්ට කිව්වා තමන් ගැන හොඳ සෝදිසියකින් ඉන්න කියලා. උදාහරණෙකට එයා එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන්ට කියපු දේ බලන්න. “ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න.” (එෆී. 5:15, 16) පාවුල් ඇයි එහෙම කිව්වේ? මොකද එයා දැනගෙන හිටියා යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම කුඩුපට්ටම් කරලා දාන්න සාතන් පුළුවන් හැම දේම කරනවා කියලා. ඒ නිසයි අපි “යෙහෝවා දෙවිගේ කැමැත්ත මොකක්ද කියලා වටහාගන්න නිරතුරුවම උත්සාහ කරන්න” ඕනේ. (එෆී. 5:17) එතකොට අපිට පුළුවන් සාතන් ගේන ඕනම ප්‍රහාරයකට අහු නොවී ඉන්න.
9. දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා අපි හරියටම තේරුම්ගන්නේ කොහොමද?
9 යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම පළුදු කරන හැම දේකම ලැයිස්තුවක් බයිබලේ දීලා නැහැ. ඒ නිසා කරන්න ඕනෙ මොකක්ද කියලා බයිබලේ කෙළින්ම කියලා නැති අවස්ථාවලදී වුණත් හොඳට හිතලා තීරණ ගන්න අපිට සිද්ධ වෙනවා. හැබැයි එහෙම කරන්න නම් අපි “යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත මොකක්ද” කියලා හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ? ඒකට අපි හැම දවසකම බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට කල්පනා කරන්න ඕනේ. ඒ වගේම “ක්‍රිස්තුස්ගේ මනස” ඇතුව ඉන්නත් පුරුදු වෙන්න ඕනේ. එහෙම කරද්දී බයිබලේ කෙළින්ම නීතියක් දීලා නැති අවස්ථාවලදී වුණත් “ඥානවන්තයන් වගේ” වැඩ කරලා යෙහෝවාගේ හිත සතුටු කරන්න අපිට පුළුවන්. (1 කොරි. 2:14-16) හැබැයි දෙවියන් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන සමහර අනතුරු අපිට ලේසියෙන්ම අඳුරගන්න පුළුවන් වුණත් තවත් ඒවා හරිම සූක්ෂ්මයි.
10. අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොන දේවල්වලින්ද?
10 ආලවන්ත හැඟීම් පාන එක, සීමාවක් නැතුව කන බොන එක සහ මත්පැන් ගන්න එක, හිත රිද්දන කතාබහ, සැහැසික විනෝදාංශ, කාමුක දර්ශන බලන එක වගේ දේවල්වලින් අපිට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම ඒවායින් ඈත් වෙන්න ඕනේ. (ගීතා. 101:3) මොකද අපේ විරුද්ධවාදියා වන සාතන්, යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම බිඳලා දාන්න අවස්ථා හොයහොයා ඉන්නේ. (1 පේතෘ. 5:8) ඉතින් අපි පරෙස්සම් වුණේ නැත්නම් සාතන්ට පුළුවන් ඊර්ෂ්‍යාව, වංකකම, කෑදරකම, වෛරය, උඩඟුකම, අමනාපය වගේ බීජ අපේ හදවතේ පැළ කරන්න. (ගලා. 5:19-21) මුලදී ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ කියලා හිතුණත් ඉක්මන් පියවර ගත්තේ නැත්නම් අපිටත් හොරෙන් ඒ බීජ විසකුරු ගස් විදිහට අපේ හිතේ දිගින් දිගටම වැඩෙයි. අන්තිමේදී හිතුවෙවත් නැති විදිහට අපි අතින් ගොඩක් වැරදි වෙයි.—යාකො. 1:14, 15.
11. අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොන අනතුරෙන්ද? ඒ ඇයි?
11 එක සූක්ෂ්ම අනතුරක් තමයි නරක ආශ්‍රය. ඒකේ භයානකකම ගැන තේරුම්ගන්න අපි උදාහරණයක් බලමු. හිතන්න, දෙවියන් ගැන කිසි විශ්වාසයක් නැති කෙනෙක් එක්ක ඔෆිස් එකේදී ඔයාට කිට්ටුවෙන් වැඩ කරන්න වෙනවා. ඔයාට ඕනෙ කොහොමහරි එයාගේ හිතේ සාක්ෂිකරුවන් ගැන හොඳ චිත්‍රයක් අඳින්න. ඒ නිසා ඔයා එයාට කාරුණිකව සලකනවා, උදව් කරනවා. ඉතින් දවසක් දෙකක් එයාත් එක්ක කෑම කන්න එන්න කියලත් එයා කියනවා. දැන් ඔයා හැමදාම කෑම කන්නේ එයාත් එක්කමයි. ඔහොම යද්දී එයාගේ කතාබහෙන් ඔයාට තේරෙනවා එයාට දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිති ගැන පොඩ්ඩක්වත් ගාණක් නැහැ කියලා. මුලින් නම් ඒවා අහන්න කැමති නැති වුණත් ඔයා සද්ද නොකර ඉන්නවා. හැබැයි කාලයක් යද්දී ඒවා ඇහෙන එක ඔයාට සාමාන්‍ය දෙයක් වෙනවා. දවසක් එයා ඔයාගෙන් අහනවා වැඩ ඇරිලා මොනවා හරි බොන්න යමුද කියලා. ඔයාත් ඉතින් යනවා. ඔය දෙන්නා දැන් වෙනදාටත් වඩා ගොඩක් කිට්ටුයි. දැන් දැන් ඔයා හිතන්නෙත් එයා හිතන විදිහටමයි. ඔය දෙන්නා හිතන විදිහේ වැඩි වෙනසක් නැත්නම් එයා වගේ වැඩ කරන්නත් වැඩි දවසක් යයි කියලා ඔයා හිතනවාද? ඇත්ත, අපි සාක්ෂිකරුවෝ විදිහට අනිත් අයට කාරුණිකව, ගෞරවයෙන් සලකන්න ඕනේ. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ දේකුත් තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් කිට්ටුවෙන් ආශ්‍රය කරන අයගේ බලපෑම අපේ ජීවිතේට හරි ඉක්මනටම කාන්දු වෙනවා. (1 කොරි. 15:33) ඒ නිසයි යේසුස් කියපු විදිහට අපි අපි ගැනම සෝදිසියෙන් ඉන්න ඕනේ. එතකොට දෙවියන්ගේ ප්‍රමිති රකින්නේ නැති අයත් එක්ක අපි ඕනෑවට වඩා ඇලිලා ගැලිලා යන්නේ නැහැ. (2 කොරි. 6:15) ඒ වෙනුවට අපි අනතුරක් දැක්ක ගමන්ම ඉක්මනටම එතනින් අයින් වෙනවා.
කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න
12. යෙරුසලමේ විනාශය ගැන සෝදිසියෙන් ඉන්න අතරේ මොනවා කරන්න කියලද යේසුස් ගෝලයන්ට කිව්වේ?
12 මේ සමාජයේ අවසානය එන කල් නිකම් අත් දෙක බැඳගෙන ඔහේ බලාගෙන ඉන්න කියලා නෙවෙයි යේසුස් ගෝලයන්ට කිව්වේ. ඒ වෙනුවට ඔහු එයාලට කරන්න ලොකු වැඩක් භාර දුන්නා. ඔහු අණ කළා “යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද” ශුභාරංචිය දේශනා කරන්න කියලා. (ක්‍රියා 1:6-8) ඒක මොන තරම් භාරදූර වැඩක්ද! හැබැයි යේසුස් කියපු විදිහට ඒ වැඩේ උපරිමයෙන්ම කරන්න නම් එයාලාගේ කාලයත් එයාලා උපරිමයෙන්ම පාවිච්චි කරන්න ඕනේ.
13. අපි කාලය උපරිමයෙන් පාවිච්චි කරන්න ඕනෙ ඇයි? (කොලොස්සි 4:5)
13 කොලොස්සි 4:5 කියවන්න. අපි ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක “බලාපොරොත්තු නොවූ දේවල්” වෙන්න පුළුවන්. (දේශ. 9:11) සමහර වෙලාවට අපි හිතපු නැති විදිහට අපේ ජීවිත වුණත් නැති වෙන්න පුළුවන්. ඒ නිසයි අපි අපි ගැනම සෝදිසියෙන් ඉඳලා අපිට තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ.
14-15. කාලය උපරිමයෙන් පාවිච්චි කරන්න අපිට පුළුවන් කොහොමද? (හෙබ්‍රෙව් 6:11, 12) (පින්තූරයත් බලන්න.)
14 යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සහ ඔහුත් එක්ක තියෙන අපේ බැඳීම තව තවත් ගැඹුරු කරගන්න අපි අපේ කාලය උපරිමයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. (යොහ. 14:21) ඒ විතරක් නෙවෙයි ‘ස්ථිරව, නොසැලී ඉන්නත් ස්වාමීන් වෙනුවෙන් කරන සේවේ වෙහෙස මහන්සිය නොබලා කරන්නත්’ අපි උත්සාහ කරන්න ඕනේ. (1 කොරි. 15:58) එතකොට අවසානය එද්දී ඒ කියන්නේ අපේ ජීවිතේ අවසානය එහෙම නැත්නම් මේ දුෂ්ට සමාජයේ අවසානය එද්දී අපිට පසුතැවිලි වෙන්න කිසිම හේතුවක් ඉතුරු වෙන එකක් නැහැ.—මතෙ. 24:13; රෝම 14:8.
15 ශුභාරංචිය පොළොව පුරාම ගෙනියන්න යේසුස් ඔහුගේ පැත්තෙන් උපරිම සහයෝගය දෙනවා. ඔහු මිනිස්සුන්ගේ හදවත්වලට කතා කරන විදිහ සංවිධානය මාර්ගයෙන් අපිට උගන්වනවා. ඒ වගේම සේවේට ඕනෙ කරන හැම දෙයක්මත් ඔහු අපිට දීලා තියෙනවා. (මතෙ. 28:18-20) ඒ නිසා අවසානය එන කල් අපි උද්යෝගයෙන් සේවේ කරමු. ඒ වගේම හැම කාරණයකදීම යෙහෝවා මත රඳා ඉමු. එහෙම කරනවා නම් හෙබ්‍රෙව් 6:11, 12 කියන විදිහට අපිටත් පුළුවන් “අවසානය දක්වාම” අපේ බලාපොරොත්තුව තදින් අල්ලාගෙන ඉන්න.—කියවන්න.
16. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?
16 සාතන්ගේ මේ දුෂ්ට සමාජය විනාශ කරන්නේ කවදාද, මොන පැයේදීද කියලා යෙහෝවා දෙවියන් දැනටමත් තීරණය කරලා ඉවරයි. ඒ පැය එන කල් ඔහු බයිබලේ කියලා තියෙන හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වෙනවා. ඒත් සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් විනාශය එන්න ඇයි මෙච්චර පරක්කු කියලා. අපිට ඒ කොහොම හිතුණත් යෙහෝවා දෙවියන්ගේ දවස නම් එක දවසක්වත් “ප්‍රමාද වෙන්නේ නැහැ.” (හබ. 2:3) ඒ නිසා ‘යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තියලා ඔහු ගැලවීම දෙන කල් ඉවසිල්ලෙන් බලන් ඉන්න’ අපි දිගටම අධිෂ්ඨාන කරගමු.—මීකා 7:7.
ගීතිකාව 139 පාරාදීසය සිතින් මවාගන්න
a මේ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න අතරේ ඒවා ගැන සමබරව හිතන්න පුළුවන් කොහොමද? අපිට අපි ගැනම සෝදිසියෙන් ඉන්න පුළුවන් කොහොමද? ඒ වගේම කාලය උපරිමයෙන් පාවිච්චි කරන්න අපිට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලනවා.
b පින්තූරයේ අදහස: (ඉහළ) යුවළක් ටීවී එකෙන් නිව්ස් බලනවා. ඊටපස්සේ රැස්වීමක් ඉවර වුණාම ඒ නිව්ස් එක ගැන එයාලාගේ පෞද්ගලික මතය එයාලා අනිත් අයට බලෙන් පොවන්න හදනවා. (පහළ) යුවළක් බයිබල් අනාවැකි ගැන දාසයා දෙන අලුත්ම අවබෝධය ගැන දැනගන්න පාලක මණ්ඩලයේ වාර්තාවක් බලනවා. ඒ වගේම එයාලා දාසයා දෙන බයිබලේ මත පදනම් ප්‍රකාශන අනිත් අයත් එක්ක බෙදාගන්නවා.