Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

Skip to content

පටුනට යන්න

කරුණාවන්තකම කතාවෙන් වගේම ක්‍රියාවෙන් පෙන්නන ගුණාංගයක්

කරුණාවන්තකම කතාවෙන් වගේම ක්‍රියාවෙන් පෙන්නන ගුණාංගයක්

කෙනෙක්ගේ කාරුණික ක්‍රියාවකින් අපි ලබන්නේ මොන තරම් සහනයක්ද! තව කෙනෙක් අපි ගැන සැලකිලිමත් කියලා දැනෙද්දී එයා ගැන අපේ හිතේ ලොකු අගයක් ඇති වෙනවා. අපි හැමෝම ආස කරන කරුණාවන්තකම කියන ලස්සන ගුණාංගය වර්ධනය කරගන්න අපිට පුළුවන් කොහොමද?

කරුණාවන්ත කෙනෙක් අනිත් අයගේ යහපත ගැන අවංකවම සැලකිලිමත් වෙනවා. එයා ඒ සැලකිල්ල කියන දේවලින් වගේම ක්‍රියාවෙන් පෙන්නනවා. ඒක අනිත් අයට පේන්න කරන දෙයක් නෙමෙයි. කරුණාවන්ත කෙනෙක් දේවල් කරන්නේ අනිත් අය ගැන තියෙන ආදරය, අනුකම්පාව නිසයි. කරුණාවන්තකම කියන්නේ දෙවිගේ බලය කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. ඒක ක්‍රිස්තියානීන් වර්ධනය කරගන්නම ඕනෙ ගුණාංගයක්. (ගලා. 5:22, 23) යෙහෝවා දෙවිත් යේසුත් ඒ ගුණාංගය පෙන්නලා තියෙන්නේ කොහොමද කියලත් ඒ දෙන්නාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

යෙහෝවා දෙවි හැමෝටම කරුණාවන්තව සලකනවා

යෙහෝවා දෙවි හැමෝටම කරුණාවන්තව සලකනවා. ‘කෙළෙහි ගුණ නොදක්වන අයත් දුෂ්ටයනුත්’ දෙවිගේ කරුණාව අද්දකිනවා. (ලූක් 6:35) උදාහරණෙකට ඔහු කිසි වෙනසක් නොකර “දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙනවා.” (මතෙ. 5:45) දෙවිව තමන්ගේ නිර්මාතෘ විදිහට පිළිගන්නේ නැති අයත් ජීවිත පවත්වගෙන යන්න දෙවි සපයන දේවලින් ප්‍රයෝජන ලබනවා. දෙවිගේ කරුණාව නිසා යම් සතුටක් එයාලා අද්දකිනවා.

යෙහෝවා දෙවි මොන තරම් කරුණාවන්ත කෙනෙක්ද කියලා ඔහු ආදම් සහ ඒවට සලකපු විදිහෙන් හොඳින්ම පැහැදිලි වුණා. ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණාට පස්සේ එයාලා “අත්තික්කා කොළ එකට අමුණා තම නග්නභාවය වසාගත්තා.” ඒත් ඒදන් උයනෙන් පිටමං කළාම එයාලට ජීවත් වෙන්න වෙන්නේ “කටු පඳුරු හා වල් පැළෑටි” තියෙන තැන්වල නිසා ඊට වඩා හොඳ තත්වයේ තියෙන ඇඳුම් එයාලට ඕනෙ වෙනවා කියලා දෙවි දැනන් හිටියා. ඒ නිසා දෙවි එයාලට “දිග සම් වස්ත්‍ර සාදා දුන්නා.”—උත්. 3:7, 17, 18, 21.

යෙහෝවා දෙවි “දුෂ්ටයන්ටයි, යහපතුන්ටයි” කාරුණිකව සැලකුවත් ඔහු තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට පෙන්නන කරුණාව ඊට වඩා විශේෂයි. උදාහරණෙකට සෙකරියාගේ කාලේ හිටපු අය දේවමාලිගාව නැවත ගොඩනඟන වැඩ අත්හැරලා දාලා කියලා දැක්කාම එක දේවදූතයෙක් දුකෙන් ඒ ගැන දෙවිට කිව්වා. යෙහෝවා දෙවි ඒ දේවදූතයාට ‘සැනසිල්ලක් ගෙන දෙන අයුරින් කාරුණිකව පිළිතුරු දුන්නා.’ (සෙක. 1:12, 13) දෙවි එලියාටත් කරුණාව පෙන්නුවා. එක අවස්ථාවක එලියා කොච්චර කනස්සල්ලකින් හිටියාද කියනවා නම් එයාව මරලා දාන්න කියලා දෙවිට කිව්වා. දෙවි එලියාගේ හැඟීම් තේරුම් අරන් එයාව ශක්තිමත් කරන්න දේවදූතයෙක්ව එව්වා. එයා තනි වෙලා නැහැ කියලත් දෙවි එයාට කිව්වා. දෙවිගේ උදව් ලැබුණාම, ඔහුගේ කාරුණික වදන් ඇහුවාම තමන්ගේ පැවරුම දිගටම කරගෙන යන්න එලියාට ලොකු ශක්තියක් ලැබුණා.—1 රාජා. 19:1-18.

යේසුස් කරුණාවන්ත කෙනෙක්

යේසුස් පොළොවේ සේවය කරපු කාලේ පුරාම අනිත් අයට කරුණාවන්තව සැලකුවා. එයාලට සැරෙන් කතා කළේවත් එයාලව පාලනය කරන්න හැදුවේවත් නැහැ. එයාලව තේරුම්ගත්ත ඔහු මෙහෙම කිව්වා. ‘වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා ඔබ පිට තබන වියගහ පහසුයි.’ (මතෙ. 11:28-30) යේසුස් කරුණාවන්ත කෙනෙක් නිසයි ඔහු ගිය ගිය තැන්වලට මිනිසුන් ඔහුව හොයාගෙන ආවේ. මිනිසුන් ගැන ඔහුට තිබුණ “මහත් අනුකම්පාව” නිසා ඔහු එයාලට කන්න දුන්නා. එයාලගේ අසනීප සුව කළා. දෙවි ගැන “බොහෝ දේ” එයාලට ඉගැන්නුවා.—මාක් 6:34; මතෙ. 14:14; 15:32-38.

අපහසු වෙලාවලදී වුණත් මිනිසුන් යේසුස්ව හොයාගෙන ආවාම ඔහු එයාලව “කාරුණිකව” පිළි අරන් ඔහුගෙන් බලාපොරොත්තු වුණ දේ එයාලා වෙනුවෙන් කළා. (ලූක් 9:10, 11) ලේ ගැලීමක් නිසා අපවිත්‍ර තත්වයක හිටපු කාන්තාවක් තමන්ට සුවය ලැබෙයි කියලා හිතාගෙන යේසුස්ගේ පිටත වස්ත්‍රය ඇල්ලුවාම යේසුස් එයාට බැන්නේ නැහැ. එයා ඉන්නේ බයෙන් කියලා යේසුස් තේරුම්ගත්තා. (ලෙවී. 15:25-28) අවුරුදු 12ක් තිස්සේ දුක් වින්ද ඒ කාන්තාව ගැන ඇති වුණ අනුකම්පාව නිසා යේසුස් මෙහෙම කිව්වා. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න. ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා.”—මාක් 5:25-34.

කරුණාවන්ත කෙනෙක් යහපත් දේවල් කරනවා

ඒ උදාහරණවලින් තේරෙන්නේ කෙනෙක් කරුණාවන්තයි නම් ඒක එයා කරන දේවලින් පේනවා කියලා. ඒක වැදගත් කියලා යහපත් සමරිතානුවරයා ගැන යේසුස් කිව්ව උපමාවෙනුත් තේරෙනවා. සමරිතානුවන් සහ යුදෙව්වන් අතර අමනාපයක් තිබුණත් කොල්ලකරුවන්ගෙන් පහර කාලා, භාගෙට මැරිලා හිටපු යුදෙව්වා ගැන ඒ සමරිතානුවරයාගේ හිතේ ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඒ අනුකම්පාව නිසා යුදෙව්වාට කරුණාවන්තව සලකන්න එයා පෙලඹුණා. තුවාලවලට බෙහෙත් දාලා එයා යුදෙව්වාව තානායමකට අරන් ගියා. ඒ විතරක් නෙමෙයි යුදෙව්වාව බලාගන්න කියලා තානායම්කරුට මුදල් දීලා ඊට වැඩියෙන් වියදම් වුණොත් ආයෙත් ආවාම ඒක දෙන්නම් කියලත් එයා කිව්වා.—ලූක් 10:29-37.

කෙනෙක් කරුණාවන්තයි නම් ඒක එයාගේ ක්‍රියාවලින් වගේම එයා කියන දේවලිනුත් පේනවා. එයා අනිත් අය ගැන හිතලා එයාලව දිරිගන්වන විදිහට කතා කරනවා. “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි” කියලා බයිබලේ කියනවා. (හිතෝ. 12:25) අපි අනිත් අයට කරුණාවන්තව, යහපත් විදිහට සලකනවා නම් අපි එයාලට කියන්නේ දිරිගන්වන දේවල්. a ඒකෙන් එයාලා ප්‍රබෝධයක් ලබනවා. අපි කාරුණිකව කතා කරද්දී එයාලට තේරෙනවා අපි එයාලා ගැන සැලකිලිමත් කියලා. ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න ඒ සැලකිල්ල එයාලට ශක්තියක්.—හිතෝ. 16:24.

කරුණාවන්ත කෙනෙක් වෙන්නේ කොහොමද?

දෙවි අපිව නිර්මාණය කළේ “ඔහුගේම ගතිලක්ෂණ ඇතුව” නිසා අනිත් අයට කාරුණිකව සලකන්න අපි ඕනෙම කෙනෙක්ට පුළුවන්. (උත්. 1:27) උදාහරණෙකට ජූලියස් කියන රෝම නිලධාරියා පාවුල්ව රෝමයට අරන් යද්දී එයාට “ඉතා කාරුණිකව සලකා” සීදොන් නුවරේදී එයාගේ “මිතුරන් සමඟ කාලය ගත කිරීමට යම් නිදහසක් ලබා දුන්නා.” (ක්‍රියා 27:3) පස්සේ අවස්ථාවක පාවුල් ගිය නැව මුහුදුබත් වෙලා එයාලා මෝල්ටාව කියන දූපතට ආවාම එහේ හිටපු අය පාවුල්ටයි, අනිත් අයටයි “ඉතා කාරුණිකව සැලකුවා.” (ක්‍රියා 28:1, 2) එයාලා පෙන්නපු කාරුණාවන්තකම අගය කරන්න වටිනවා. ඒත් ඉඳලා හිටලා කාරුණික ක්‍රියාවක් කළාට කෙනෙක් කරුණාවන්ත කෙනෙක් වෙන්නේ නැහැ.

දෙවි කැමති අපි කරුණාවන්තකම අපේ පෞද්ගලිකත්වයේ කොටසක් කරගන්නවාටයි. ඒ කියන්නේ අපි හැම දවසකම කරන කියන දේවලින් අපි කාරුණික අය කියලා පේන්න ඕනේ. (කොලො. 3:12) ඒත් ලැජ්ජාශීලීකම නිසා, තමන් ගැන අඩුවෙන් හිතන නිසා, විරුද්ධවාදිකම් නිසා, ආත්මාර්ථකාමී විදිහට වැඩ කරන්න සමහර අවස්ථාවලදී අපි පෙලඹෙන නිසා ඒක කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ අභියෝග ජය ගන්න පුළුවන් කොහොමද? දිගටම දෙවිගෙන් බලය ඉල්ලන්න. යෙහෝවා දෙවිගේ කරුණාවන්තකම ආදර්ශයට ගන්න.—1 කොරි. 2:12.

තව වැඩියෙන් කරුණාවන්ත වෙන්න අපිට පුළුවන් මොන පැතිවලින්ද කියලා හඳුනගන්න මෙහෙම හිතන්න. ‘අනිත් අය එයාලගේ දුක කියද්දී මං ඇහුම්කන් දෙනවාද? අනිත් අයට උදව් ඕනෙ වෙද්දී මං ඒක තේරුම්ගන්නවාද? මගේ පවුලේ කෙනෙක්ට, කිට්ටු යාළුවෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට මං අන්තිමට කරුණාවන්තව සැලකුවේ කවදාද?’ ඒ පැති ගැන හිතුවාට පස්සේ සභාවේ ඉන්න අයව තවත් හොඳින් දැන හඳුන ගන්න ඉලක්කයක් තියාගන්න. එයාලා මුහුණ දෙන දේවල්, එයාලගේ අවශ්‍යතා ගැන තව හොඳින් තේරුම්ගන්න එතකොට අපිට පුළුවන්. ඊටපස්සේ අපි එයාලගේ තත්වයේ හිටියා නම් අනිත් අය අපිට කොහොම සලකනවාටද කැමති කියලා හිතලා ඒ දේ එයාලා වෙනුවෙන් කරන්න. (මතෙ. 7:12) කරුණාවන්තකම වර්ධනය කරගන්න අපි දෙවිගෙන් උදව් ඉල්ලනවා නම් දෙවි අනිවාර්යයෙන්ම අපිට උදව් කරනවා.—ලූක් 11:13.

සිත් ඇදගන්න ගුණාංගයක්

දෙවිගේ සේවකයන්ව හඳුනගන්න උදව් වෙන දේවල් ගැන කියද්දී පාවුල් “කරුණාවන්තකමත්” ඇතුළත් කළා. (2 කොරි. 6:3-6) පාවුල් අනිත් අය ගැන පෞද්ගලිකවම සැලකිලිමත් වෙලා එයාලට කරපු කාරුණික ක්‍රියා, කියපු කාරුණික වචන නිසා හුඟක් අය පාවුල්ට කිට්ටු වුණා. (ක්‍රියා 28:30, 31) අපිත් කාරුණිකව අනිත් අයට සලකද්දී සත්‍යය ගැන දැනගන්න එයාලා කැමති වෙයි. අපිට විරුද්ධ වෙන අයටත් කාරුණිකව සලකනවා නම් එයාලගේ හිතේ අපි ගැන තියෙන තරහ අඩු වෙයි. (රෝම 12:20) කාලයක් යද්දී එයාලා අපේ පණිවිඩය පිළිගන්නත් ඉඩ තියෙනවා.

පාරාදීසයේදී නැවත නැඟිටින මිලියන ගාණක් අනිත් අයගේ කාරුණාවන්ත ක්‍රියාවලින් ප්‍රයෝජන ලබයි. සමහරු ඒ වගේ කරුණාවක් අද්දකින්නේ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. එයාලා අද්දකින දේ නිසා අනිත් අයට කරුණාවෙන් සලකන්න එයාලත් පෙලඹෙයි. එකිනෙකාට කරුණාවන්තව සලකන්න අකමැති අයට දෙවිගේ රාජ්‍යය යටතේ හැමදාම ඉන්න ලැබෙන්නේ නැහැ. ඒත් පාරාදීසයේ හැමදාටම ජීවත් වෙන්න දෙවිගේ අනුමැතිය ලැබෙන අය එකිනෙකාට කරුණාවන්තව, ආදරෙන් සලකන්න යනවා. (ගීතා. 37:9-11) ඒක මොන තරම් සුරක්ෂිත, සාමකාමී කාලයක් වෙයිද! ඒත් කරුණාවන්ත වෙන එකෙන් මේ කාලේ අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

ලැබෙන ප්‍රයෝජන

“කරුණාවන්තව කටයුතු කරන තැනැත්තා බොහෝ ආශීර්වාද ලබයි” කියලා බයිබලේ කියනවා. (හිතෝ. 11:17, NWT) හුඟක් අය කරුණාවන්ත කෙනෙක්ට කිට්ටු වෙන්න ආසයි. ඒ කෙනාට කරුණාවන්තව සලකන්නත් ඒ අය පෙලඹෙනවා. යේසුස් මෙහෙම කිව්වා. “ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබෙයි.” (ලූක් 6:38) කරුණාවන්ත කෙනෙක්ට ලේසියෙන්ම හොඳ යාළුවන්ව හොයාගන්නත් ඒ යාළුකම් දිගටම තියාගන්නත් පුළුවන්.

පාවුල් මෙහෙම කිව්වා. ‘එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.’ (එෆී. 4:32) සභාවේ ඉන්න හැමෝම අනිත් අය ඉන්න තත්වය තේරුම් අරන් එකිනෙකාට කාරුණිකව සලකනවා නම්, උදව් කරනවා නම් මුළු සභාවම ඒකෙන් ප්‍රයෝජන ලබයි. කරුණාවන්ත අය අනිත් අයගේ හිත රිදෙන වචන කියන්නේවත් අනිත් අයව විවේචනය කරන්නේවත් ඇනුම් පද කියන්නේවත් නැහැ. ඕපදූප පතුරුවනවා වෙනුවට එයාලා අනිත් අයව දිරිගන්වනවා. (හිතෝ. 12:18) ඒකේ ප්‍රතිඵලයක් විදිහට සභාව ශක්තිමත් වෙනවා වගේම හැමෝම දෙවිට සතුටින් සේවය කරයි.

කෙනෙක් කරුණාවන්තයි නම් ඒක එයාගේ ක්‍රියාවෙන් වගේම එයා කියන දේවලින් පැහැදිලි වෙනවා. අපි අනිත් අයට කරුණාවන්තව සලකද්දී අපි ආදර්ශයට ගන්නේ අපේ ආදරණීය දෙවි යෙහෝවාව. (එෆී. 5:1) එහෙම කරද්දී සභාව ශක්තිමත් වෙනවා වගේම දෙවිට නමස්කාර කරන්න තව හුඟදෙනෙක් පෙලඹෙයි. ඒ නිසා කරුණාවන්ත අය වෙන්න අපි හැමෝම උත්සාහ කරමු.

a දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග 9 ගැන කතා කරන ලිපි මාලාවේ ඉස්සරහට යහපත්කම ගැන කතා කරනවා.