පාඩම් ලිපිය 52
අමාරු කාලවලදී අනිත් අයට ළං වෙලා ඉන්න
“අගහිඟකම් තිබෙන අයට යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී එසේ කිරීමට පසුබට නොවන්න.”—හිතෝ. 3:27.
ගීතිකාව 103 එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි
මේ ලිපියෙන් a
1. හුඟක් වෙලාවට යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද?
ඔයා දන්නවාද කෙනෙක්ගේ යාච්ඤාවකට උත්තර දෙන්න යෙහෝවා දෙවියන්ට ඔයාවත් පාවිච්චි කරන්න පුළුවන් කියලා? ඔයා වැඩිමහල්ලෙක්, සහායක සේවකයෙක්, පුරෝගාමියෙක්, ප්‍රචාරකයෙක් වුණත් ඒක ඔහුට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම ඔයා මහලු කෙනෙක්ද තරුණ කෙනෙක්ද සහෝදරයෙක්ද සහෝදරියක්ද කියන එකත් ඒකට බලපාන්නේ නැහැ. කෙනෙක් යෙහෝවාගෙන් උදව් ඉල්ලද්දී ඔහු වැඩිමහල්ලන්වයි, අනිත් අයවයි පොලඹවනවා එයාට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” වෙන්න. (කොලො. 4:11) එහෙම බලද්දී අපේ සහෝදරයන්ටයි, දෙවියන්ටයි සේවය කරන්න අපිට ලැබිලා තියෙන්නේ මොන තරම් වටිනා අවස්ථාවක්ද!
වසංගතයක් මැද උදව්
2. වසංගතයකදී අනිත් අයට උදව් කරන එක අභියෝගයක් වෙන්නේ ඇයි?
2 භයානක වසංගතයකදී අනිත් අයට උදව් කරන එක ලේසි නැහැ. හිතන්න, ඔයාට ඕනෙ ඔයාගේ යාළුවන්ව ගිහින් බලන්න. ඒත් ඒක ආරක්ෂිත නැහැ. එහෙම නැත්තම් ඔයාට ඕනෙ අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න පවුලකට එන්න කියලා කෑම වේලක් දෙන්න. ඒකත් කරගන්න බැහැ. සමහර වෙලාවට අනිත් අය වෙනුවෙන් දෙයක් කරන්න ඕන වුණත් ඔයාගේ පවුලේ අයත් ඉන්නේ ප්‍රශ්න මැද්දේ නම් ඒක කරන එකත් ලේසි නැතුව ඇති. හැබැයි ඒ මොනවා වුණත් ඔයාට ඕනෙ කොහොමහරි අනිත් අය වෙනුවෙන් දෙයක් කරන්න. ඒකෙන් යෙහෝවාත් සතුටු වෙනවා කියලා ඔයා දන්නවා. (හිතෝ. 3:27; 19:17) ඒත් කොහොමද ඒ දේ කරන්නේ?
3. සහෝදරි ඩේසිගේ සභාවේ වැඩිමහල්ලන්ගෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? (යෙරෙමියා 23:4)
3 වැඩිමහල්ලන්ට කරන්න පුළුවන් දේ. වැඩිමහල්ලෙනි, බැටළුවන්ට තව කිට්ටු වෙන්න. (යෙරෙමියා 23:4 කියවන්න.) කලින් ලිපියේ හිටපු සහෝදරි ඩේසි මෙහෙම කියනවා. b “මගේ සේවා කණ්ඩායමේ වැඩිමහල්ලෝ අපිට ගොඩක් කිට්ටු වුණා. අපිත් එක්ක සේවේ ගියා, විනෝද වුණා.” ඒ නිසා කොරෝනාවලින් සහෝදරි ඩේසිගේ පවුලේ කීපදෙනෙක් නැති වුණ වෙලාවේ එයාට අවශ්‍ය උදව් ලේසියෙන්ම දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන් වුණා.
4. ඩේසිට උදව් කරන්න වැඩිමහල්ලන්ට ලේසි වුණේ ඇයි? ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
4 සහෝදරි ඩේසි මෙහෙම කියනවා. “වැඩිමහල්ලෝ මගේ කිට්ටු යාළුවෝ වුණා. ඒ නිසා ඕනම දෙයක් මං බය නැතුව එයාලට කිව්වා.” වැඩිමහල්ලෙනි, මොනවාද ඔයාලා ඉගෙනගන්නේ? සහෝදරයන්ට ළං වෙන්න වසංගතයක් එන කල්ම ඉන්න එපා. දැන් ඉඳන්ම එයාලට හොඳ යාළුවෙක් වෙන්න. වසංගතය නිසා එයාලව හම්බ වෙන්න බැරි වුණත් වෙන විදිවලින් එයාලා ගැන හොයලා බලන්න. සහෝදරි ඩේසි මෙහෙම කියනවා. “සමහර වෙලාවට එකම දවසේ වැඩිමහල්ලෝ කීපදෙනෙක්ම කෝල් කළා, මෙසේජ් එව්වා. එයාලා පෙන්නපු බයිබල් පද මං අහලා නැති ඒවා නෙවෙයි. හැබැයි ඒවා මගේ හිතට වැදුණා.”
5. සහෝදරයන්ට ඕනෙ මොනවාද කියලා හොයලා බලලා එයාලට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?
5 සහෝදරයන්ට ඕනෙ මොනවාද කියලා දැනගන්නේ කොහොමද? ඒකට එයාලව අපහසුතාවට පත් වෙන්නේ නැති විදිහට මේ පැති ගැන අහලා බලන එක උදව් වෙයි. (හිතෝ. 20:5) එයාලට ඇති තරම් කෑම, බෙහෙත්, අවශ්‍ය දේවල් තියෙනවාද? රස්සාව නැති වෙයි කියලා එයාලා ඉන්නේ බයෙන්ද? ගෙවල් කුලී ගෙවාගන්න විදිහක් තියෙනවාද? රජයෙන් දෙන සහනාධාර ගන්න මොකක් හරි උදව්වක් ඕනෙද? සහෝදරි ඩේසිටත් සභාවේ අය අවශ්‍ය දේවල් දීලා ගොඩක් උදව් කළා. හැබැයි එයා කියනවා ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වැඩියෙන්ම උදව් කළේ වැඩිමහල්ලෝ කියලා. මොකද එයාලා එයාගේ විශ්වාසය ශක්තිමත් කළා. එයාව දිරිගැන්නුවා. බලන්න එයා කියන දේ. “වැඩිමහල්ලෝ මාත් එක්ක යාච්ඤා කළා. මට මතක නෑ එයාලා මොනවාද කිව්වේ කියලා. හැබැයි මට දැනුණ විදිහ අද වගේ මතකයි. මට හිතුණේ යෙහෝවා මං ළඟට ඇවිත් ‘මං ඔයාව තනි කරන්නේ නෑ’ කියලා කියනවා වගේ.”—යෙසා. 41:10, 13.
6. සභාවේ අයට කරන්න පුළුවන් මොනවාද? (පින්තූරය බලන්න.)
6 අනිත් අයට කරන්න පුළුවන් දේ. සභාවේ අයව බලාගන්න මූලිකම වගකීම තියෙන්නේ වැඩිමහල්ලන්ට. හැබැයි දෙවියන් අපි හැමෝගෙන්ම ඉල්ලනවා සහෝදරයන්ව දිරිගන්වන්න, එයාලට උදව් කරන්න කියලා. (ගලා. 6:10) සමහරවිට අසනීපෙන් ඉන්න කෙනෙක් වෙනුවෙන් අපි කරන පුංචි දේකින් එයාට ලැබෙන සහනය අපිට හිතාගන්නවත් බැහැ. දරුවෙක්ට පුළුවන් ඒ වගේ සහෝදරයෙක්ව දිරිගන්වන්න පුංචි කාඩ් එකක්, චිත්‍රයක් ඇඳලා දෙන්න. යෞවනයන්ට පුළුවන් අසනීපෙන් ඉන්න සහෝදරියක් වෙනුවෙන් කඩේට ගිහිල්ලා බඩු ටිකක් ගේන්න. නැත්නම් වෙන උදව්වක් කරන්න. කෑම ටිකක් හදලා අසනීපෙන් ඉන්න කෙනෙක්ගේ දොරකඩින් තියලා එන්න පුළුවන්ද? දරුණු වසංගතයක් මැද ඉද්දී හැමෝම අසරණයි. හැමෝටම දිරිගැන්වීම් ඕනේ. ඒ නිසා රැස්වීම් වීඩියෝ කොන්ෆරන්ස් හරහා තිබ්බත් ශාලාවේ තිබ්බත් ඉවර වුණ ගමන්ම යන්නේ නැතුව අනිත් අයව දිරිගන්වන්න ඔයාට පුළුවන්ද? වැඩිමහල්ලන්ටත් දිරිගැන්වීම් ඕනෙ කියලා අමතක කරන්න එපා. වසංගතයක් මැද එයාලා අනිත් අය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. ඒ නිසා පුංචි තැන්ක් යූ කාඩ් එකක්, මෙසේජ් එකක් එයාලටත් යවන්න පුළුවන්ද? ඒ පැතිවලින් අපි අපේ උපරිමය කරද්දී “දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න” අපිටත් පුළුවන්.—1 තෙස. 5:11.
ආපදාවක් මැද උදව්
7. ආපදාවකට මුහුණ දුන්න කෙනෙක්ට මොන වගේ අභියෝග එන්න පුළුවන්ද?
7 ආපදාවකට පුළුවන් ඇහිපිය හෙළන සැණින් කෙනෙක්ගේ මුළු ජීවිතේම කණපිට පෙරළන්න. ජීවිත කාලෙම හරිහම්බ කරපු දේවල්, එයාගේ ගේ දොර සහ එයා ගොඩක් ආදරේ කරන කෙනෙක් වුණත් ආපදාවකින් නැති වෙන්න පුළුවන්. දෙවියන්ගේ සේවකයන් කියලත් වෙනසක් නැහැ. මේ අභියෝගවලට මුහුණ දෙන අපේ සහෝදරයන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?
8. ආපදාවකට කලින් වැඩිමහල්ලන්ට, පවුලේ මූලිකයාට කරන්න පුළුවන් මොනවාද?
8 වැඩිමහල්ලන්ට කරන්න පුළුවන් දේ. වැඩිමහල්ලෙනි, ආපදාවකට කලින්ම සූදානම් වෙන්න සහෝදරයන්ට උදව් කරන්න. ඒ වගේ වෙලාවකදී කරන්න ඕනෙ මොනවාද, වැඩිමහල්ලන්ව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා එයාලා දැනුවත්ද කියලා බලන්න. කලින් ලිපියේ හිටපු සහෝදරි මාගරට් මෙහෙම කියනවා. “වැඩිමහල්ලෝ සභා අවශ්‍යතා කොටසේදී කිව්වා ‘ලැව් ගින්න පැතිරෙන එකේ අවදානම තාම ඉවර නෑ, ඒ නිසා අවධානෙන් ඉන්න’ කියලා. ‘අනතුරක් තියෙනවා කියලා දැක්කොත් එහෙම නැත්නම් බලධාරීන් පිට වෙන්න කියලා කිව්වොත් බලබල ඉන්න එපා ඉක්මනින්ම ඔයාගේ ප්‍රදේශයෙන් යන්න’ කියලත් කිව්වා.” ඒක ලැබුණේ නියම වෙලාවට. මොකද ඊට සති පහකට පස්සේ ලැව් ගින්න ඒ පැත්තට හරිම දරුණු විදිහට බලපෑවා. පවුලේ මූලිකයෙනි, ඔයාලටත් කරන්න දෙයක් තියෙනවා. ආපදාවකදී මොනවාද කරන්න ඕනෙ කියලා පවුලේ නමස්කාරයේදී ආයේ ආයේ මතක් කරගන්න. දැන් ඉඳන්ම දරුවෝ එක්ක හොඳට සූදානම් වෙනවා නම් හදිසි තත්වයකදී ඔයාලා කවුරුත් කලබල වෙන්නේ නැහැ.
9. ආපදාවකට කලින් සහ පස්සේ දේවල් සැලසුම් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?
9 ඔයා කණ්ඩායම් භාර වැඩිමහල්ලෙක්ද? එහෙමනම් ඔයාගේ කණ්ඩායමේ අයගේ දුරකථන අංක, ලිපින ගන්න විපතක් එන කල් ඉන්න එපා. ඒවා අලුත්ම තොරතුරුද කියලත් කාලෙන් කාලෙට හොයලා බලන්න. එතකොට විපතකදී සහෝදරයන්ට ඕනෙ මොන වගේ උදව්ද කියලා දැනගන්න පුළුවන්. කෙනෙක්ට උදව් ඕනෙ කියලා දැක්කොත් ඒ ගැන ඉක්මනටම වැඩිමහල් මණ්ඩලේ සම්බන්ධීකාරකට දැනුම් දෙන්න. එතකොට එයාට පුළුවන් ඒ ගැන චාරිකා සේවකව දැනුවත් කරන්න. ඒ විදිහට හැමෝටම එකතු වෙලා සහෝදරයන්ට අවශ්‍ය උදව් දෙන්න පුළුවන්. ඒක සහෝදරි මාගරට්ගේ අද්දැකීමෙනුත් පැහැදිලියි. ලැව් ගින්නෙන් සහෝදර සහෝදරියන් 450ක් විතර අවතැන් වුණා. චාරිකා සේවක හරිහමන් නින්දක්වත් නැතුව එක දිගට පැය 36ක් එයාලව බලාගන්න වැඩිමහල්ලන්ට උදව් කළා. (2 කොරි. 11:27) ඒ විදිහට වැඩ කරපු නිසා අවතැන් වුණ ඒ හැමෝටම ඉන්න තැනක් හොයලා දෙන්න එයාලට පුළුවන් වුණා.
10. සහෝදරයන් ගැන හොයලා බලන එක, දිරිගන්වන එක වැදගත් දෙයක් විදිහට වැඩිමහල්ලෝ සලකන්නේ ඇයි? (යොහන් 21:15)
10 සහෝදරයන්ගේ විශ්වාසය ශක්තිමත් කරන්න, එයාලව සනසන්න මූලිකම වගකීම තියෙන්නේ වැඩිමහල්ලන්ට. (1 පේතෘ. 5:2) ඒ නිසා ආපදාවක් වුණාම සභාවේ අය ආරක්ෂිතව ඉන්නවාද, එයාලට ඇති තරම් කෑම බීම, ඇඳුම් පැළඳුම් තියෙනවාද, නවාතැනක් තියෙනවාද කියලා වැඩිමහල්ලෝ මුලින්ම හොයලා බලන්න ඕනේ. හැබැයි ඊට මාස ගාණකට පස්සෙත් එයාලගේ විශ්වාසය ශක්තිමත් කරන්න, දුකෙන් ගොඩ එන්න උදව් කරන්න වැඩිමහල්ලන්ට සිද්ධ වෙයි. (යොහන් 21:15 කියවන්න.) හැරල්ඩ් කියන්නේ ශාඛා කමිටුවක සහෝදරයෙක්. ආපදාවලට මුහුණ දීපු හුඟක් සහෝදර සහෝදරියන් එක්ක කතා කරන්න එයාට පුළුවන් වුණා. එයා මෙහෙම කියනවා. “ඒ වගේ දේකට මූණ දුන්නාම ජීවිතේ ආයෙත් සාමාන්‍ය අතට හැරෙන්න සෑහෙන කාලයක් යනවා. ඒකෙන් ගොඩ ආවත් සමහර දේවල් නිසා කෙනෙක් ආයෙත් වැටෙන්න පුළුවන්. උදාහරණෙකට ඒකෙන් එයා ගොඩක් ආදරේ කරන කෙනෙක් මැරුණා නං, ගොඩක් වටින කියන දෙයක් නැති වුණා නං, නැත්තං භයානක දේකට මූණ දීලා ජීවිතේ බේරුණේ අනූනවයෙන් නං ඒ අමිහිරි මතකයන් ලේසියෙන් මැකෙන්නේ නෑ. ඒවා සැරින් සැරේ උඩට මතු වෙද්දී ලොකු වේදනාවක් දැනෙන්න පුළුවන්. එහෙම වෙන්නේ දෙවියන් ගැන විශ්වාසයක් නැති හින්දා නෙවෙයි. ඒක සාමාන්‍යයි.”
11. එක එක පවුලට දිගටම උදව් ඕනෙ මොන වගේ පැතිවලින්ද?
11 “හඬන අයත් සමඟ හඬන්න” කියන උපදෙස වැඩිමහල්ලන් හිතට ගන්නවා. (රෝම 12:15) මොන දේ නැති වුණත් යෙහෝවාගේ, සහෝදරයන්ගේ ආදරේ පොඩ්ඩක්වත් නැති වෙලා නැහැ කියලා විපතකින් බේරුණ කෙනෙක්ට මතක් කරන්න සමහරවිට වැඩිමහල්ලන්ට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි යාච්ඤාව, අධ්‍යයනය, රැස්වීම් සහ සේවේ කලින් වගේම ආයෙත් පිළිවෙළකට කරන්න දිරිගන්වන්නත් එයාලට සිද්ධ වෙයි. සමහර වෙලාවට දෙමාපියන්ටත් වැඩිමහල්ලන්ගේ උදව් ඕනෙ වෙනවා. කිසිම ආපදාවකට විනාශ කරන්න බැරි දේවල්වලට අවධානය දෙන්න දරුවන්ට උදව් කරන්න කියලා දෙමාපියන්ව දිරිගන්වන්න. එතකොට දෙමාපියන්ටත් පුළුවන් “යෙහෝවා කවදාවත් අපිව තනි කරන්නේ නෑ. අපි දෙවියන්ට ළැදිව ඉන්න තාක් කල් අපේ උදව්වට ලෝකේ පුරාම සහෝදර පවුලකුත් අපිට ඉන්නවා” කියලා දරුවන්ට මතක් කරන්න.—1 පේතෘ. 2:17.
12. ආපදාවකට මුහුණ දීපු අයට උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද? (පින්තූරය බලන්න.)
12 අනිත් අයට කරන්න පුළුවන් දේ. ආපදාව වුණේ ළඟපාතක නම් ඒ සහෝදරයන්ට උදව් කරන්න පුළුවන් පැති ගැන වැඩිමහල්ලන්ගෙන් අහන්න. සමහරවිට විපතට පත් වුණ අයට, උදව්වට ආපු ස්වේච්ඡා සේවකයන්ට නවාතැන් දෙන්න ඔයාට පුළුවන්. එහෙම නැත්නම් කෑම බීම වගේ අත්‍යවශ්‍ය දේවල් ගිහින් දෙන්නත් පුළුවන්. හැබැයි ආපදාව වුණේ ඔයා ඉන්න තැන ඉඳන් ගොඩක් ඈතක නම්? ඒත් උදව් කරන්න ඔයාට පුළුවන්. ඒ කොහොමද? එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න. (2 කොරි. 1:8-11) ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් සම්මාදම් කරන්න. (2 කොරි. 8:2-5) දුරක් ගෙවාගෙන හරි විපත වුණ පැත්තට ගිහිල්ලා උදව් කරන්න ඔයාට පුළුවන් නම් ඒ ගැන වැඩිමහල්ලන්ට කියන්න. ඒකට ඔයාට ආරාධනාවක් ලැබුණොත් ඔයාට අවශ්‍ය පුහුණුවත් ලැබෙයි. එතකොට උදව් අවශ්‍යම වෙලාවේදී අවශ්‍යම තැනට ඔයාව යවන්න සහෝදරයන්ට පුළුවන්.
විරුද්ධවාදිකම් මැද උදව්
13. අපේ වැඩ තහනම් කරපු රටවල්වල සහෝදරයන්ට තියෙන්නේ මොන අභියෝගද?
13 සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රශ්න එද්දී, ලෙඩ වෙද්දී එහෙම නැත්නම් අපි ආදරේ කරන කෙනෙක් මැරෙද්දී ඒක දරාගන්න අපිට හරිම අමාරුයි. හැබැයි අපේ වැඩ තහනම් කරපු රටවල්වල ඉන්න සහෝදරයන්ට ඒවාට මුහුණ දෙන්න ඊටත් වඩා අමාරුයි. මොකද මේ තහනම නිසා එයාලව මුණගැහිලා දිරිගන්වන්න, එයාලත් එක්ක කතා කරන්න වැඩිමහල්ලන්ට ලේසි නැහැ. ඒකම තමයි කලින් ලිපියේ හිටපු ඔන්ද්රේටත් වුණේ. එයාගේ සේවා කණ්ඩායමේ ගොඩක් අගහිඟකම් තිබුණ සහෝදරියක් හිටියා. දවසක් ඇක්සිඩන්ට් එකක් වෙලා එයාට ඔපරේෂන් කීපයක්ම කරන්න වුණා. ඒ නිසා රස්සාවක් කරගන්නත් පුළුවන් වුණේ නැහැ. තහනමයි, වසංගතයයි මැද්දේ ඒ සහෝදරියට උදව් කරන්න සහෝදරයෝ පුළුවන් උපරිමය කළා. යෙහෝවා දෙවියන් තමයි එහෙම කරන්න එයාලව පෙලඹුවේ.
14. යෙහෝවාව විශ්වාස කරලා වැඩ කරන එක ගැන හොඳ ආදර්ශයක් තියන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?
14 වැඩිමහල්ලන්ට කරන්න පුළුවන් දේ. ඔන්ද්‍රේ යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා එයාට පුළුවන් දේ කළා. එයාගේ යාච්ඤාවට යෙහෝවා උත්තර දුන්නේ කොහොමද? ඔහු ඔන්ද්රේට වඩා නිදහසේ දේවල් කරන්න පුළුවන් සහෝදර සහෝදරියන්ගේ හිත් පෙලඹුවා අර සහෝදරියට උදව් කරන්න. සමහරු එයාව බෙහෙත් ගන්න එක්කන් ගියා. තවත් අය සල්ලිවලින් උදව් කළා. හැමෝම එකා වගේ තමන්ගේ ජීවිතත් පරදුවට තියලා උදව් කරන්න ගත්ත වෑයමට යෙහෝවා ආශීර්වාද කළා. (හෙබ්‍රෙ. 13:16) ඔයාත් තහංචි දාපු රටක ඉන්න වැඩිමහල්ලෙක්ද? එහෙමනම් සහෝදරයන්ට උදව් කරන්න අනිත් අයගේ උදව් ඉල්ලන්න. (යෙරෙ. 36:5, 6) ඒ හැම දේටම වඩා යෙහෝවා මත රඳා ඉන්න. එතකොට එයාලව බලාගන්න ඔහු ඔයාට උදව් කරයි.
15. පීඩා මැද පවා අපි අතර තියෙන එක්සත්කම රැකගන්න පුළුවන් කොහොමද?
15 අනිත් අයට කරන්න පුළුවන් දේ. තහනමක් මැද ඉද්දී සමහරවිට සභාවේ හැමෝවම හම්බ වෙන්නේ නැහැ. පොඩි පොඩි කණ්ඩායම් විදිහට තමයි රැස්වීම් තියන්නේ. ඉතින් හරිම ලේසියෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසයි වෙනදාටත් වඩා එක්සත්කම රැකගන්න අපි මහන්සි වෙන්න ඕනේ. කෙනෙක් අතින් හිත රිදෙන දෙයක් වුණොත් ඒක අමතක කරලා දාන්න. නැත්නම් පුළුවන් තරම් ඉක්මනට ඒක විසඳගන්න. (හිතෝ. 19:11; එෆී. 4:26) මොකද අපි පහර දෙන්න ඕනෙ සාතන්ට මිසක් අපේ සහෝදරයන්ට නෙවෙයි. ඒ වගේම අනිත් අයට උදව් කරන්නත් ලෑස්ති පිට ඉන්න. (තීත. 3:14) කලින් ඡේදේ කතා කරපු සහෝදරියට උදව් කරන්න එයාගේ කණ්ඩායමේ හැමෝම මහන්සි වුණා. ඒ නිසා එයාලට දැනුණේ එයාලා එක පවුලක් වගේ කියලා.—ගීතා. 133:1.
16. පීඩාවලට මුහුණ දෙන අයට උදව් කරන්න පුළුවන් කොහොමද? (කොලොස්සි 4:3, 18)
16 ලෝකේ වටේ ඉන්න දහස් ගාණක් තහංචි මැද යෙහෝවාට සේවේ කරනවා. සමහරු විශ්වාසය නිසා හිරබත් කනවා. එයාලා වෙනුවෙන්, එයාලගේ පවුලේ අය වෙනුවෙන් යාච්ඤා කරන්න. ඒ වගේම එයාලගේ විශ්වාසය ශක්තිමත් කරන්න, එයාලට අවශ්‍ය දේවල් දෙන්න සහ නීතිය පැත්තෙන් උදව් කරන්න ජීවිතේ පරදුවට තියලා වැඩ කරන සහෝදර සහෝදරියන් ඉන්නවා. එයාලා වෙනුවෙනුත් යාච්ඤා කරන්න. c (කොලොස්සි 4:3, 18 කියවන්න.) මොකද ඔයාගේ යාච්ඤාව ගොඩක් බලවත් දෙයක්!—2 තෙස. 3:1, 2; 1 තිමෝ. 2:1, 2.
17. පීඩාවලට දැන්ම ලෑස්ති වෙන්නේ කොහොමද?
17 පවුලක් විදිහට පීඩාවලට කල්තියාම ලෑස්ති වෙන්න. (ක්‍රියා 14:22) හැබැයි එහෙමයි කියලා වෙන්න පුළුවන් හැම නරක දේ ගැනම හිතහිත ඕනෑවට වඩා කරදර වෙන්න එපා. ඒ වෙනුවට යෙහෝවා එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න. එහෙම කරන්න දරුවන්ටත් උදව් කරන්න. ඉස්සරහා ගැන හිතද්දී කනස්සල්ලක් දැනෙනවා නම් ඒ හැම දේම යෙහෝවාට කියන්න. (ගීතා. 62:7, 8) ඒ විතරක් නෙවෙයි දෙවියන්ව විශ්වාස කරන්න කොච්චර හේතු තියෙනවාද කියලා පවුලේ අයත් එක්ක කතා කරන්න. d මොකද ඔයා යෙහෝවාව විශ්වාස කරලා වැඩ කරනවා නම්, කලින්ම ලෑස්ති වෙනවා නම් ඒක ආපදාවකදී වගේම පීඩාවලදීත් සන්සුන්ව, ධෛර්යවන්තව ඉන්න දරුවන්ට උදව් වෙනවා.
18. අපේ අනාගතය මොන වගේ එකක් වෙයිද?
18 දෙවියන් දෙන සමාදානය අපිට ආරක්ෂාවක්. (ෆිලි. 4:6, 7) ඒ නිසයි වසංගත, ආපදා සහ පීඩා මැද සන්සුන්ව ඉන්න අපිට පුළුවන්. ඒ වගේම අපිව බලාගන්න මහන්සි වෙලා වැඩ කරන වැඩිමහල්ලන්වත් දෙවියන් පාවිච්චි කරනවා. අනිත් අයට උදව් කරන්න ඔහු අපිටත් අවස්ථාව දීලා තියෙනවා. දැන් අපි අද්දකින දෙවියන්ගේ සමාදානය ඉස්සරහට මීටත් වඩා අමාරු දේවල් වෙද්දී, විශේෂයෙන්ම “මහත් පීඩාවේදී” සන්සුන්ව ඉන්න අපිට උදව් වෙනවා. (මතෙ. 24:21) එදාට අපේ හිතේ සාමය රැකගන්න මහන්සි වෙන අතරේ අනිත් අයටත් ඒක කරන්න උදව් කරන්න අපිට වෙයි. හැබැයි ඒ කාලෙන් පස්සේ උදා වෙන්නේ දීප්තිමත් කාලයක්. එදාට අපේ මනසට බරක් වෙන කිසිම දෙයක් නැහැ. යෙහෝවා දෙන්න ආසාවෙන් හිටපු සාමය, සතුට සදහටම රජයන ඒ ජීවිතේ භුක්ති විඳින්න එදාට අපි හැමෝටම අවස්ථාව තියෙනවා.—යෙසා. 26:3, 4.
ගීතිකාව 109 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය
a ප්‍රශ්නවලට මුහුණ දෙන අයට උදව් කරන්න යෙහෝවා දෙවියන් ගොඩක් වෙලාවට ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව පාවිච්චි කරනවා. ඔයාවත් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න ඔහුට පුළුවන්. අනිත් අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.
b සමහර නම් වෙනස් කර ඇත.
c හිරේ ඉන්න සහෝදර සහෝදරියන්ට අපේ ලියුම් යවන්න ලෝක මූලස්ථානයට, ශාඛා කාර්යාලයට පුළුවන්කමක් නැහැ.
d 2019 ජූලි ‘මුරටැඹ’ සඟරාවේ “විරුද්ධවාදිකම්වලට දැන්ම සූදානම් වෙන්න” කියන ලිපිය බලන්න.
e පින්තූරේ අදහස: ආපදාවකින් පස්සේ යුවළක් පවුලකට කෑම බීම ගෙනල්ලා දෙනවා.